"අපි ඉතිහාසය ඉගෙනගමු" ලිපිය පිළිබඳව කිහිප දෙනෙකු inbox කර තිබූ අදහස් කිය වූ විට මට සිත් වුයේ එම ලිපියෙන් මා ඉදිරිපත්කල කරුණ අමුවෙන්ම පැවසිය යුතු බවයි. බොහෝ දෙනෙකු එය කියවා ඇත්තේ පූර්ව-නිගමනයකින් පසුවයි.
මා මෙහිදී කිසිම තැනක ඉතිහාසය දරුවෙකුට උගැන්විය යුතු නැතැයි කියා නැත. ඒ වෙනුවට කියන්නේ දරුවාට ඉතිහාසය ඉගැන්වීම යහපත් පුරවැසියෙකු බිහිකිරීමේ ලා ඉවහල්වන පරිදි අර්ථාන්විතව සහ සහේතුකව කල යුතු බවයි. මේ අදහස් වර්තමානයේ ඉතිහාස විෂය පිළිබඳව ඇතිවී ඇති කතිකාවතෙන් එපිටට විහිදුනු පුළුල් වපසරියක ග්‍රහණය කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.
මේ ලිපිය ලියන්නට පෙර මම ස්වීඩනයේ, ජපානයේ, සහ බ්‍රිතාන්‍යයේ පාසල්වල ඉතිහාසය උගන්වන අයුරු පිළිබඳව ඒ ඒ රටවල මා හඳුනන පාසල් ගුරුවරුන් ගෙන් අසා අධ්‍යනය කලෙමි. මේ රටවල් තුනේ ඓතිහාසික කාල රාමු එකිනෙකට වෙනස්ය.
මේ ජපන් ගුරුවරයා ඉදිරිපත් කල අදහසේ ආසන්න පරිවර්තනයයි. අනෙක් රටවල් දෙකෙන් ලැබුණු ප්‍රතිචාරද මීට බොහෝ සෙයින් සමාන බැවින් ඒවා ඉදිරිපත් නොකරමි.
"Middle school education අවසන් වන විට, ජපන් සිසුන්ට තම ජාතියේ පැවැත්ම සහ විකාශය පිළිබඳව තාර්කික සහ අර්ථාන්විත අවබෝධයක් ඇතිවෙයි. මෙහිදී මූලික කරුණු පුරාවිද්‍යාත්මක පසුබිමක ඉදිරිපත් කෙරෙන අතර ජන සාහිත්‍යයෙන් පැමිණෙන පුරාවෘත පිළිබඳව වෙනමම කියා දෙනු ලැබේ. දරුවා මේ දෙක අතර ඇති වෙනස හඳුනාගෙන විද්‍යාත්මක කරුණු ඒවායේ අවිනිශ්චිත පරාස (uncertainity margins) තුල ධාරණය කරගන්නා අතර පුරාවෘතවල ඇති සෞදර්යත්මක අගයයන්ද මැනවින් වින්දනය කරයි".
"ජපානයේ අනන්‍ය සංස්කෘතික උරුමයන් පිළිබඳව ඉගෙනීම, වැදගත් ඓතිහාසික චරිත අගය කිරීම සහ තුන්වන පාර්ශව මානසිකත්වයකින් එම චරිත විග්‍රහ කිරීමට දරුවා හුරුකිරීම අපේ අධ්‍යාපන ක්‍රමයේ තවත් මූලික සංකල්පයකි. වර්තමාන ජන සමාජයට මේ ආශ්‍රයෙන් ගත හැකි යහපත් ඵල නෙලාගැනීම මෙන්ම අයහපත් ඵල ප්‍රතික්ෂේප කිරීමද මෙහි අරමුණයි".
"අතීතයේ සිටම ඇතිවූ කලාපීය සහ ගෝලීය අන්තර්ක්‍රියා සහ සාමයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම පිළිබඳ දරුවාට මූලික අවබෝධයක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මේ සඳහා විෂය මාලාව ජාතික අනන්‍යතාවය, කලාපීය/ගෝලීය සහයෝගිතාව සහ පුළුල් ඓතිහාසික දැනුවත්භාවය සමඟ සමතුලිත කරයි. ජාතියක් ලෙස අප ගත් තීරණවල හොඳ-නරක පිළිබඳව පන්තියේදී සිසුන් අතර විවෘත සංවාද-විසංවාද ඇතිකිරීම සඳහා අපගේ ගුරුවරුන්ව උනන්දු කරනු ලැබේ. මෙහිදී දරුවන් ජාතියේ නායකත්වය ගත් සමහර තීරණ වෙනස් වුවා නම් රට යාමට තිබුණු අත පිළිබඳවද විනෝදාත්මක අයුරින් විග්‍රහ කිරීමට පෙළඹෙයි".
"මෙම අධ්‍යාපනයේ වැදගත්ම අපේක්ෂාව නම් ඉතිහාසය තුලින් අපට ලැබෙන පණිවිඩ තාර්කිකව ග්‍රහණය කරගෙන එතුලින් වර්තමානය සරු කරගැනීමත් අනාගතයේ සිදුවිය හැකි වැරදි අවම කරගනිමත්ය. ඒ තුලින් අපි අභ්‍යන්තර-කලාපීය-ගෝලීය තලයන්හිදී අන්‍යන්ට ගරුකරන, අන් මත ඉවසන, මානසිකව පිරිපුන් පුරවැසියෙකු තැනීමට උත්සුක වෙමු. කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ භූමිකාව වැනි ඇතැම් සංවේදී මාතෘකා උගන්වන ආකාරය පිළිබඳ විවාද දිගටම පවතී".
දැන් ඔබ නැවතත් මේ ගැන හිතන්න.
No comments:
Post a Comment