"What is the main cause of unhappiness?" (අසංතෝෂයේ මූලික හේතුව කුමක්ද?).
මේ ටික කලකට පෙර මැලේසියාවේදී බෞද්ධ වියතෙක් මගෙන් ඇසූ පැනයකි. ඔහු මගෙන් ප්රශ්නය ඇසුවේ මගේ උත්තරය පිළිබඳව උනන්දුවකින් නොවේ. ඔහුගේ ස්වභාවය අනුව මට ඒත්තු ගියේ ඔහුට බුදුදහම ඈඳාගෙන මට දීර්ඝ දේශනයක් දීමට අවශ්‍ය බවයි.
"මා ඇතුළු සියළු දෙනා සුදු හෝ කළු ලෙස දැකීමයි". ඒ මගේ පිළිතුර විය.
මගේ පිළිතුරෙන් ඔහු මදක් පසුබෑවේය. එය ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිචාරය නොවීය. එබැවින් ඔහු තමාට කීමට ඇති දේ පසෙක තබා මා කියූ දෙය පිළිබඳව විමසා සිටියේය. පහත දැක්වෙන්නේ ඉන් පසු අප දෙදෙනා අතර ඇති වූ සංවාදයේ සාරාංශයයි.
"මට කෙනෙක්ව එපා වුනොත් ඉතින් ජීවිතේටම එපා තමයි" මේ මගේ මව නිතරම කී කතාවකි. කාටත් දුකකදී පිහිටවෙන ඉතා කරුණාවන්ත කාන්තාවක් වූ ඇය කිසිවෙකු සමග කිසිම හේතුවකට දීර්ඝ කාලයක් අමනාප වී සිටිනවා මට මතක නැත. එබැවින් ඇය මේ කතාව නිතරම කිව්වේ ඇයිදැයි මට තවමත් නොතේරෙයි.
පසු කලෙක ලොව පුරා රටවල් ගණනාවක ජීවත්වෙමින් නොයෙකුත් ජාති ආගම් අධ්‍යාපන මට්ටම්වල පිරිස් සමග ගැටී ගැඹුරු ජීවන අත්දැකීම් ලැබෙන විට මට පෙනී ගියේ මගේ මවගේ කතාව ලෝක ස්වභාවය පිලිබඳ අනවබෝධයේ ප්රතිමුර්තියක් බඳු බවයි.
මා දකින ආකාරයට ලෝකයේ සියළු දෙනා සුදු සහ කළු අන්ත දෙකක් අතර වූ අළු පරාසයක (grey spectrum) දෝලනය වෙයි. මේ සුදු සහ කළු අර්ථ දැක්වීමද පුද්ගල-සාපේක්ෂ කරුණකි. එනම් මගේ සුදු සහ කළු ඔබේ සුදු සහ කළු වලින් වෙනස් වීමට හැකිය. මා දන්නා බොහෝ දෙනෙක් තමාව සදාකාලිකව සුදු අන්තයේ තබාගෙන අනෙක් අයගේ සුදු කළු පිහිටීම් ලකුණු කිරීමට උත්සහ කරයි. මෙය කෙනෙකුට සිතේ සතුට තුරන් වීමේ ප්‍රධානම හේතුකාරකයයි.
යම් කාල-අවකාශ රාමුවකදී මට ඉතාම කිට්ටුවන්ත වූ අයගෙන් පවා මා අකමැති දෙයක් සිදුවීමට ඇති සම්භාවිතාව පිළිබඳව මම හොඳ අවබෝධයකින් පසුවෙමි. එසේම මා අකමැතිම පුද්ගලයන්ගෙන් පවා ඊළඟ පැයේදී යහපත් දෙයක් සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳව මා දැනුවත්ව සිටිමි. මෙය අනෙකාට පමණක් නොව මටද අදාළය. මේ නිසා මට "කිසිවෙක් සදහටම එපා වෙන්නේ නැත" (I never hate anyone). එසේම මට වඩාත් සමීප වූ කෙනෙකුගෙන් සිදුවන සිත් තැවුලකට, ක්ෂණිකව ඇතිවන තරහව, ශෝකය සහ කලකිරීමෙන් ඔබ්බට මා දීර්ඝ කාලීනව කම්පා වන්නේ හෝ අසතුටු වන්නේද නැත.
වසර 2025 ඔබත් සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න.
No comments:
Post a Comment