Tuesday 29 November 2022

තව වසර 2500 කට පසු මානව බුද්ධියට ගෝචර වන බුදු දහම


මානව සමූහයක් විසින් ශිෂ්ඨාචාරයක් ගොඩ නගයි. මෙය ඒකක දහස් ගණනකින් සැදුම් ලත් තනි පද්ධතියකි. මෙම පද්ධතියේ පැවැත්ම රඳා පවතින්නේ තනි තනි ඒකකයන්ගේ පැවැත්ම මතය. එසේම තනි තනි ඒකකයන්ගේ පැවැත්ම පවතින්නේ පද්ධතියේ පැවැත්ම මතය. එනම් මෙම ශිෂ්ඨාචාරයේ පැවැත්ම එක් එක් ඒකකයේ පැවැත්ම මෙන්ම සමුහයේ පැවැත්ම මතද රඳා පවතී. මේ කාරණය මුලින්ම තේරුම් ගන්න උත්සහ කරන්න.

තනි ඒකකයක යහපත් පැවැත්ම රඳා පවතින්නේ ඔහු හෝ ඇය සතුටින්, සැහැල්ලුවෙන් සිටින සහ සමාජයට පලදායි භූතාර්ථයක් වන විටය. සමස්ත පද්ධතියේ පැවැත්ම පවතින්නේ එය එකකයක් ලෙස අවට පරිසරය සමග (එම ඒකකය පවතින පරිසර පද්ධතිය සහ තනි තනි ඒකක) පවත්වන යහපත් සබඳතාවය මතය. 

යම් කාල-අවකාශ රාමුවක් තුල ශිෂ්ඨාචාරයේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා තනි තනි ඒකකය මෙන්ම සමුහයද ක්‍රියාකළ යුතු සුදුසුම ආකාරයක් හෝ ආකාර කිහිපයක් ඇත. ඒ සඳහා තනි තනි ඒකකය මෙන්ම සමුහයද යොමු කරවීමට ක්‍රම තුනක් ඇතැයි මට සිතෙයි.

1. නොපෙනෙන බලවේගයක් මගින් මෙලොව මෙන්ම මරණින් මතු පැවැත්මද පාලනය කරන බවට පිළිගැනීමක් සමාජය තුල ස්ථාපිත කිරීම 

2. සමාජ සංස්ථාව මගින්ම මෙහෙයවන්නා වූ නීති-විනිශ්චය පද්ධතියක් ස්ථාපිත කර පවත්වාගෙන යාම 

3. තනි තනි ඒකකයේ මෙන්ම සමාජ පද්ධතියේද පැවැත්ම උදෙසා තමාගේ කාර්ය බාරය සෑම මානව ඒකකයක් මෙන්ම සමාජ ඒකකයද අවබෝධ කරගැනීම. 

මානව ශිෂ්ඨාචාරය පවත්නා වසර 20,000 ක ඉතිහාසයෙන් වසර දෙතුන් සියයක් හැර අනෙක් මුළු කාලයම ගත වුනේ පළමු ක්‍රමය හෝ පළමු ක්‍රමය මත දැඩිව රඳා පැවති දෙවන ක්‍රමයෙනි. අදත් ඉතා දියුණු යයි පවසන රටවල පවා නීතිය විමසන්නේ අදාළ ආගමික ග්‍රන්ථයක් මත දිවුරා සිටීමෙන් පසුවයි. මෙම නොපෙනන බලවේගය + මරණින් මතු පැවැත්මේ තවමත් පවතින දැඩි අවශ්‍යතාවය ඔබට මෙයින්ම පැහැදිලි වේ.

මගේ කලින් ලිපියට පිළිතුරු අදහස් සපයන කිහිප දෙනෙක්ම පවසන්නේ මරණින් මතු පැවැත්මක් නැත්නම් අපට ජොලියේ ඕනේ දෙයක් කරන්න පුලුවන්නේද යන්නයි. මට හිතෙන ආකාරයට සමාජයේ අති බහුතරය සිතන්නේ මෙලෙසය. එය එසේ වීමේ කිසිඳු අරුමයක් නැත. අප ජීවිතයේ බලාපොරොත්තුවන ජොලිය කුමක්දැයි බොහෝ දෙනෙකුට වැටහීමක් නැත.

මා සිතන විදියට "මරණින් මතු පැවැත්මක් හෝ එය පවතින ආකාරය තීරණය කරන බලවේගයක් නැත" යන යථාර්තය අවබෝධකරගෙන, තුන්වෙනි ක්‍රමවේදය හරහා සමාජ පද්ධතිය ස්ථාවර කරගැනීම පිළිබඳව පැවසු දහම් කිහිපයෙන් තවමත් රැඳී ඇත්තේ බුදුදහම පමණකි (සහ බුදු දහමේ ආභාෂයෙන් පෝෂණය වූ චීන-ජපන් දහම්).

නමුත් මෙම යථාර්තය අවබෝධයෙන් යහපත් වූ සමාජයක් බිහිවීමට තරම් මානව බුද්ධිය වර්ධනය වීමට තවත් වසර දෙදහස් පන්සියක පමණවත් කාලයක් ගතවනු ඇති බව මගේ හැඟීමයි. මේ අනුව බුදුන් තමන් අවබෝධකරගත් යථාර්තය පවසා ඇත්තේ වසර 5000 පමණ in advance ය.

බුදුන්ගේ කාලයෙන් සියවස් දෙක තුනක් යන විටම පාලකයන්ට සහ පුජ්‍ය-පූජකයන්ට මෙම දර්ශනය සමාජ පාලනයට හිතකර නොවන බව පෙනෙන්නට ඇත. මේ අනුව වසර තුන් හාරදහසක් ස්ථාපිතව තිබූ වෛදික දර්ශනය, සහ ඒ ආශ්‍රිතව ගොඩනැගු කතන්දර බුදුදහම නමින් එලි දක්වන්න ඇත. එය එසේ නොවුනා නම් අශෝක අධිරාජ්‍යයා කිසිසේත් මෙම දහම ප්‍රවර්ධනය කරන්නේ නැත. බුදු දහම මේ දක්වා කාලයක් පැවතුණේ  මෙම වෛදික ප්‍රවිෂ්ඨය නිසා බව මම සිතමි.

වෛදික පෝෂණය ඉවත්කළ විට මට පෙනෙන්නේ බුදු දහම යනු තනිකරම ක්‍රමවේදයකි. ඒ මරණින් මතු පැවැත්මක හෝ නොපෙනෙන බලවේගයක බිය ගැන්වීමකින් තොරව ස්ථාවර මානව ඒකකයක් සහ සමාජ පද්ධතියක් පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයයි. එසේම එයින් ඈත්වන විට තනි තනි ඒකකය මෙන්ම සමාජ සංස්ථාවද බිඳ වැටෙන ආකාරයයි. 

තව වසර 2500 කින් බිහිවන මානවයෙක් සිතන ආකාරයට ඔබටත් සිතිය හැකිද? 



4 comments:

  1. ආගම් ගැන උනන්දුවක් දක්වන බහුතර ලෝකවාසීන් බුද්ධාගමේ සංකල්ප සහ වේදයේ සංකල්ප අතර දකින්නේ නාමකරණයේ වෙනසක් පමණක් බව නොරහසකි. ඔවුන්ට සාපේක්ෂව සංඛ්‍යාත්මකව ඉතා අඩු ලංකාවේ බහුතර බොදු ජනයා බෞද්ධ නම් වලින් අදහන්නේ වෛදික සංකල්පම බව තේරුම් ගැනීම ලාංකිකයෙකුටද "පෙට්ටියෙන් ඔබ්බට" සිතිය යුතු බැරෑරුම් කරුණක් නොවේ.

    වෛදික ගැටයට හසුවී ඇති බව තේරුම් ගත් පසු නැවතත් සත්‍ය සොයායෑම ඇරඹෙන අතර විවිධ පුද්ගලයින් එයට විවිධ ක්‍රම අනුගමනය කරයි. බොහෝවිට සිදුවන්නේ වෛදික ගැටය තේරුම්ගත් පුද්ගලයින් තමාගේම බුද්ධි මහිමය ගැන මත්වී තමන්ට ඇතිවෙන සිතිවිලිම නිවැරදි යැයි සිතාගෙන ගවේෂණයෙන් ඈත්වීමයි. ශාස්ත්‍රීය පර්යේෂණයක් හෝ අරිය පරියෙසනයක් කර සත්‍ය සොයාගැනීමට අර බුද්ධිමත් බවම හරස් වේ. මේනිසා වෛදිකයෙන් බුදුදහම වෙන්කරන රේඛාව මෙසේ වියයුතුයැයි තීරණය කිරීමට ඔවුන් කිසිවක් බාධක හෝ පාදක කරගෙන නැත.

    උපතිස්ස, කෝලිත පිරිවැජියන්ට සෝවාන් ඵලය ලබන්නට මුල් වූ "යෙ ධම්මා හෙතුප්පභවා..." දේශනාවේ හෝ බාහිය දාරුචීරියතුමාට අරහත් ඵලයෙන් නිවන පූරණය කරගැනීමටම මුල් වූ "දිට්ඨෙව දිට්ඨ මත්තං..." දේශනාවේ මරණින් මතු පැවැත්මක් ගැන බියවැද්දීමක් නොවිනි. වර්තමාන මොහොතේ සිත හා මනස රාග, දෝස, මෝහ වලින් 100% ක් පිරිසිදු කරගැනීමම උන්වහන්සේලාට නිවනට මූලික විය.

    මරණින් මතු පැවැත්මක් විශ්වාස කළත්, නොකළත්, රාග, දෝස, මෝහ සහිත සිතකින් කරන නිගමනයන් පාට කණ්ණාඩි දමා පරිසරයේ වර්ණයන් තීරණය කිරීමක් බව තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ නිහතමානී බව පමණි. රාග, දෝස, මෝහ සහිත සත්ත්වයා යලි යලිත් ඒවා සංතර්පණය කරගැනීමට, පුනපුනා ඉපදීම හේතුඵල ක්‍රියාදාමයක් බව තේරුම් ගෙන එය නවතා දැමීමෙන් නිවන් දැකීම මෙන්ම එයට බියවී යහපත් පැවැත්මකට අනුගතවීමද සත්ත්වයාගේම තීරණයකි.

    "මමෙක් නැත = අනාත්ම" යන වෛදික රාමුව තුළම සිටිම හෝ බුද්ධ භාෂිතයේ "අනත්ත" ලෙස හැඳින්වූයේ අනාත්මයම දැයි සුලුවෙන් හෝ කල්පනා කිරීමට තරම් ප්‍රමාණවත් ආත්ම ශක්තියක්, නිදහස් චින්තනයක් නොමැතිවීම ගැන "පෙට්ටියෙන් ඔබ්බට" අදහස් ඉදිරිපත් කරන බුද්ධිමතුන්ගෙන් අති බහුතරයකට හාංකවිසියක් නැත.

    ReplyDelete
  2. මේකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි නේද?

    https://fb.watch/he8oA-r61E/

    ReplyDelete
  3. රසිකසූරියආරච්චිගේ අම්මා මැරුණම නිවන් සැප ලැබේවා කියලා දැන්වීම් ගැහුවේ ඇයි? නාකි උන්දා නිවන් නොයයි කියලා සැක හිතුනද? අනික බෝර්ඩ් ගැහුවා කියලා නිවන් යනවද? අනික් උන් කරන දේ තමුනුත් කරන්නේ ඇයි? ඕකට විරුද්ධ වෙන්න තිබ්බනේ. වෙන උන් ඔහොම කරද්දී ඒවා විවේචනය කරන මිනිහා තමුන්ගේ අම්මා මලාමත් එහෙම තමයි කරන්නේ.

    මේ පින්තුරය රසික ෂෙයාර් කර ඇති නිසා මම ප්‍රශ්නේ ඇහුවේ. අනික දු දරුවන් මේක හදලා තියෙන්නේ කියලා යටින්ම දාලත් තියෙන්නේ. ඒ කියන්නේ රසිකත් ඇතුළුව.
    මේවා ගැහුවා කියලා නිවන් යනවද? ෆේස්බුක් එකේ ෂෙයාර් කළා කියලා? කොහෙද නිවන තියෙන්නේ? අමන කම නිසා කරන වැඩ.

    නිවන් සැප ලැබේවා

    ReplyDelete
  4. @ Chandima Gomes,

    ලංකාවේ ළඟක දී ඉඳලා, PhD ගන්න පුළුවන් කෙටි ක්‍රම ගැන, මාස හයෙන් PhD එකක් කරන විදිය ගැන, ලංකාවේ ලෙක්චරර් කෙනෙක් වෙන විදිය ගැන එහෙම කරපු වීඩියෝ වගයක් වගේ ම, එක එක "විශ්වවිද්‍යාල" වලින් නිකං දෙන "ආචාර්යය උපාධි" ගැන පළවෙච්ච පෝස්ට් ටිකක් මගේ ඇහැ ගැටුණු නිසා, කෙටියෙන් හරි මේ ටික ලියන එක මගේ වගකීමක් කියලා හිතුණා..

    මේ කමෙන්ට් එක කියවන අය කවුරුම හරි, PhD එකක් අරගෙන, ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම්, දෙයියන්ගේ නාමෙ ට කෙටි ක්‍රම නම් හොයන්න එපා.. කෙටි ක්‍රම ප්‍රමෝට් කරන YouTube චැනල් වල ට, පේජ් වල ට අහු වෙන්න ත් එපා.. කියලයි මට කියන්න තියෙන්නේ

    මම කියන්නේ හොඳම දේ තමයි මූලික උපාධිය ලංකාවේ යුනිවර්සිටි එකකින් ගත්තා ට පස්සේ, මාස්ටර්ස් උපාධිය හරි PhD එක හරි ගන්න රටෙන් එළියට යන්න..ගිහිං, ඒ විදේශ අධ්‍යාපන අත්දැකීම අර ගන්න..

    විදේශ අධ්‍යාපනයෙන් ලැබෙන පන්නරය යි දැනුම යි වගේ ම, විදේශ රටක ජීවත් වෙද්දී මනුස්සයෙක් විදියට ලබා ගන්න පුළුවන් ආකල්ප දියුණුව ත් ජීවිතේ ට හරි ම වැදගත්!

    ලෝකෙට මෙලෝ නිරාවරණය වීම ක් නැතුව, ලංකාව ඇතුළේ ම කරන්න තියෙන ඔක්කොම උපාධි සම්පූර්ණ කරලා, ඒක ත් කෙටි ක්‍රම මාර්ගෙන්, ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළට රිංඟ ගන්න ආචාර්යයවරුන් ගෙන් ලංකාවේ උසස් අධ්‍යාපනයට වෙන විනාසේ කියලා නිම කරන්න බෑ!

    ඒක දීර්ඝ කාලීන විපාක තියෙන, බොහොම දරුණු විනාසයක්!

    එහෙම අය අධිවේගී PhD මාර්ග ගැන කියලා, මිනිස්සු නොමග යවන්නේ, මිනිස්සු නොමග යවන අරමුණෙන් ම නෙමෙයි වෙන්න ඇති..එයාලා ඒ කියලා දෙන්නේ එයාලා දන්න ටික වෙන්න ඇති..
    හැබැයි, දැනුවත් ව හරි නොදැනුවත්ව හරි ඒ කියලා දෙන එව්වා නම් බොහොම විසයි..

    පළවෙනි අවුරුද්දේ ඉඳලා ම 1st Class එක යි, A ගැනිල්ලයි, පදක්කම් ගැනිල්ලයි විතරක් ම ඔලුවේ තියා ගෙන වැඩ කරලා, ලංකාව ඇතුළේ ම මාස්ටර්ස්, PhD ත් කරලා, ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ආචාර්යය මහාචාර්යය පට්ටම් අරගන්නවා කියන්නේ, එයාලා ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ..
    ඒක ට කියන්නේ "inbreeding" කියලා..

    සාමාන්‍යයෙන් ඒ වගේ අය විද්‍යා පීඨ වල (Science Faculties) වල නම් අඩුයි.. විද්‍යා පීඨ වල ඉන්න ආචාර්යයවරු මහාචාර්යවරු හැමෝම වගේ මාස්ටර්ස් උපාධිය ට හරි PhD එක ට හරි වෙන රටක ට ගිහිං, අන්තර්ජාතික මට්ටමෙන් රිසර්ච් කරලා ලංකාව ට ආපු මිනිස්සු..
    එව්වා inbreeding ක්‍රමය ට ගතපු PhD වත්, අධිවේගී PhD වත් නෙමෙයි!
    එව්වා හරියට කාලය අරගෙන,

    නිර්නායක වලට අනුව සම්පූර්ණ කරපු PhD!

    ගොඩාක් වෙලාව ට ඔහොම ගෙම්බෝ වගේ හැසිරෙන්නේ, සමාජ විද්‍යා පීඨ වල, මානව ශ්‍රාස්ත පීඨ වල සමහර ආචාර්යය මහාචාර්යවරු..(තමන් එහෙම ගෙම්බෙක් වගේ හැසිරෙන කෙනෙක් නෙමෙයි නම්, මම මේ කියපු ටික කියවලා තරහ ගන්න හේතුවක් නෑ, හොඳේ..)

    PhD එකක් කියන්නේ, අවුරුදු ගාණක් මෙලෝ වැඩක් නොකර ඉඳලා, මාස කිහිපයකින් ගොඩ දාන්න පුළුවන් දෙයක් කියලා හිතාගෙන ඉන්නවා නම්, කවුරු ම හරි එහෙම කළා කියනවා නම්, ඒ PhD එක බොහොම විහිලුවක්!

    එහෙම PhD කරපු අය, දැන් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ඉන්නවා කියන්නේ, ඒ ගැන කටමැත දොඩවනවා කියන්නේ, ඒක ලොකු ඛේදවාචකයක්!

    ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන අවම පහසුකම් යටතේ වුණත්, අපි ට අන්තර්ජාතික ප්‍රමිතිය ට අනුකූල අධ්‍යාපනය ක් ලැබුණේ, අපි ට උගන්නපු ගුරුවරු එහෙම අධිවේගී PhD නොගතපු, විදේශ අධ්‍යාපනය ලබපු මිනිස්සු නිසා..

    ඒ අධ්‍යාපනය ට පින් සිද්ධ වෙන්න තමයි, අපේ ළමයින් ට විදේශ ශිෂ්‍යත්ව අරගෙන ඇවිත් දියුණු රටවල උසස් අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලැබෙන්නේ..

    ලංකාවේ මේ PhD දෙන දීමට, විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ම ඉන්න මහාචාර්යවරු කියලා කියා ගන්න මිනිස්සු තමන් අධිවේගී PhD ගැනිල්ල කරපු හැටි ගැන කිය කියා, එව්වා ප්‍රමෝට් කරන ප්‍රමෝට් කිරිල්ලට, ඉස්සරහට එන පරම්පරාවල ළමයින් ට ලැබෙන්න තියෙන උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ලොකු හෝඩුවාවක් ලැබෙනවා..

    ඒ නිසා, දෙයියන් ගේ නාමෙ ට, PhD එකක් කරනවා නම් ඒක හරියට කරන්න කියන එකයි මගේ ඉල්ලීම, නැතුව ඔය තමන් ගනිපු අධිවේගී PhD ගැන පුරාජේරු කියවන, Educational Consultancy දෙන අයගෙන් පරිස්සම් වෙන්න ඕන කියලා මම හිතන්නේ එහෙම නේද මහාචාර්ය චන්දිම?

    ReplyDelete