Friday 31 December 2021

හෝරාවේ තේමාව-7: ජවිපෙන් මිදී ජවිපෙ යා යුතු මග


හෝරාවේ තේමාව මේ වසරින් අවසන් කල යුතු බව මට සිතෙයි. 

පසුගිය සති කිහිපය තුල දුටු සිදුවීම්, ඊට දේශපාලකයා මෙන්ම ජනතාවද දක්වන ප්‍රතිචාර අප ඉතා විමසිල්ලෙන් විශ්ලේෂණය කල යුතුව ඇත. ලංකාවේ ඉදිරියට යන දේශපාලන පක්ෂයකට මේ ප්‍රතිචාර පෙන්වන යතාර්ථය තේරුම් නොගෙන ගිය හැකි දුර සීමිතය.

මහා බැංකු අධිපති හෙළිකිරීමට නොහැකි මූලාශ්‍රයකින් විදේශ වත්කම් වැඩි වුවා කියන විට ඒ පිළිබඳව ඔල්වරසන් දෙමින් පෝස්ට් පළකරන්නේ, දුරස්ථ සංවාදවලදී උජාරුවෙන් කතා කරන්නේ රටේ නුගත් ජනතාව නොවේ. ඒ බොහෝ දෙනෙක් උසස් යැයි සම්මත රැකියා කරන උදවියයි. රටක මහා බැංකු අධිපතිවරයෙකුට මෙවැනි ප්‍රකාශයක් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බව බහුතරයක් ජනතාව නොදන්නා බවක් මට හැඟේ. එය තනිකරම මාෆියා සංවිධානයක නායකයෙකුගේ ප්‍රතිචාරයකි. යුරෝපය, උතුරු ඇමරිකාව පසෙකින් තබන්න. දකුණු අප්‍රිකාවේ මේ සිද්ධිය වුවා නම් පසුදා මහා බැංකුවේ අධිපති සිරගෙදරය.

මේ මුදල් ලැබෙන්නේ රටේ නිෂ්පාදනයක් අලෙවි කිරීමෙන් නොවන බව ඉතා පැහැදිලිය. එක්කෝ එය ගිනි පොලියට ලැබෙන ණයකි. නැත්නම් රටේ සම්පතක් විකුණා ලැබෙන ධනයකි. නොඑසේ නම් එය ජාවාරම්කරුවකුගේ කළු මුදලකි. මේ කුමන ආකාරයෙන් වුවත් එය උදම් ඇනීමට කරුණක් නොවෙයි.

මීට අමතරව, කිරිපිටි, ඉන්ධන, ගෑස්, ඇතුළු අත්‍යවශ්‍ය බොහෝ ද්‍රව්‍ය වල මිළ අහස උසට වැඩි වන විට ඒවා සාධාරණීකරණය කරන්න මේ "උගත්" පිරිස් ගන්නා හාස්‍යජනක උත්සාහයන් ඇත්තටම උපදවන්නේ හාස්‍ය නොව සංවේගයකි. තව ටික දිනකින් බත් කෑම දියවැඩියාවට නුසුදුසු බව මේ උදවියම කියනු ඇත. 

බොහෝ දියුණු රටවල රාජ්‍ය නායකයන්ට කිසිවකුගෙන් ලබා ගත හැකි පෞද්ගලික පරිත්‍යාගයක් සඳහා සීමාවක් ඇත. බ්‍රිතාන්‍ය අගමැතිට නම් එය ස්ටර්ලින් පවුම් 140 කි. ලංකාව ඌන සංවර්ධිත රටක් බැවින් එහි මෙලෙස සීමාවක් ඇත්දැයි මම නොදනිමි. තිබුණත් ලංකාවේ දේශපාලකයාටවත් ඔවුන් පසු පස යන පිරිසටවත් එහි වගක් නැත. ඔවුන්ට මොන දේත් සාධාරණීකරණය කිරීමට හේතු ඇත. මේ තත්වය ඛේදජනකය.   

ඔව්, ඔබ දේශපාලනය කල යුත්තේ මෙවන් පුද්ගලයන්ගෙන් ගහන පසුබිමකය. රාජපක්ෂවරුන් මේ හද ගැස්ම දශක දෙකක් පුරා මැනවින් වටහාගෙන ඇත. විපක්ෂ නායකවරයා ඔලමොට්ටල කතා කියන්නේ සහ අඳබාල ආකාරයෙන් හැසිරෙන්නේ ඔහුටත් රටේ ජනතාවගේ මන්ද මානසික පරිසරය ගැන යම් අවබෝධයක් ඇති නිසා යයි සිතමි. මේ අතින් මම රනිල් වික්‍රමසිංහ මහතාට ගරු කරමි. ඔහු කෙදිනකවත් මේ ජනතාවගේ අබුද්ධික ස්වරුපයෙන් අනිසි ඵල නෙලාගන්න ගියේ නැත. ඒ සඳහා ඔහුට හැකියාවක්ද නැත.

ජවිපෙ තම ගැලවුම්කරුවා බවට ජනතාව තුල සංකල්පයක් බිහිවෙමින් පවතිනුයේ මෙවන් වාතාවරණයකදීය. ජනහදට ආමන්ත්‍රණය කිරීමේදී ජවිපෙ සහ රනිල් වික්‍රමසිංහ අතර වැඩි වෙනසක් මම නොදකිමි. ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් දෙපැත්තක සිටියත්, ඉහත මා සඳහන් කල බහුතර ලාංකිකගේ මානසිකත්වය වටහා ගැනීමේ හැකියාව අතින් ඔවුන් දෙපසම එකම ආකාරයේ දුර්වලකම් පෙන්වා ඇත. 

වසර දහස් ගණනක් හුරු වූ රාජත්වයෙන් තැලුම් කෑමේ ලාංකික මානසිකත්වය සුද්දාටවත් ප්‍රජාතන්ත්‍රවාදයටවත් යටපත් කිරීමට හැකිවී නැත. එය ඔවුන් තුල ජානගතව පවතී. වෛද්‍ය, ඉංජිනේරු, විධායක, ආචාර්ය, මහාචාර්ය ආදී පදවි තානාන්තර වලින්වත් මේ මානසිකත්වය දුරු කල නොහැකි බව සමාජ ජාලා තුලින් පවා දැක ගත හැක. 

"සමාජවාදියා" පිළිබඳව බහුතරයක් ලාංකික ජනතාව තුල ඇත්තේ පැහැදීමක් නොවේ. එය සාධාරණ-අසාධාරණ කරුණු රාශියක් මත පදනම් වේ. බොහෝ සමාජවාදී ව්‍යුහයන් කඩාගෙන වැටීම තුලද මේ අපැහැදීම සාධාරණීකරණය විය. ලංකාවේ සරසවි පද්ධතිය තුල සිප් හැදෑරු බහුතරයකටද ඇත්තේ සමාජවාදියා, විශේෂයෙන්ම ජේවීපීකාරය, පිළිබඳව ප්‍රසන්න හැඟීමක් නොවේ. මේ පිළිබඳව ජවිපෙ පුළුල්ව සිතා, තම රාමුව වෙනස් කරගත යුතුය. ඔවුන් මේ සම්බන්ධයෙන් දැනටත් යම් යම් පියවර ගෙන ඇති බව පෙනෙයි. එහෙත් ඒවා තව දුරටත් පුළුල් කල යුතුව ඇත.

සමාජයේ අති බහුතරයකට ආර්ථික-විදේශ-දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව දැනගැනීමට අවශ්‍යතාවයක් නැත. දේශපාලන මාර්ග සිතියම් හෝ මාර්ගෝපදේශ පිළිබඳව අසාවත් නැත. ඒ ගැන දැනගැනීමට වුවමනාවක්ද නැත.  ඔවුන් බොහෝ විට කරන්නේ දැන-උගත් අය ලෙස ඔවුන් විසින්ම ලේබල් ගත කල අතලොස්සක් කියන දේ පිළිගැනීමයි. මේ තත්වය වෙනස් කිරීමට දශක කිහිපයක් ගතවනු ඇත. එබැවින් හැකි සෑම අයුරකින්ම මෙම අතලොස්ස "බුද්ධිමත්" කිරීම ජවිපෙ සහ ඊට අනුගත කේඩරයේ මූලික කර්තව්‍යයක් විය යුතුය.

ඉහත සඳහන් කල අතලොස්සට ජවිපෙන් ඇසීමට බොහෝ දේ ඇත. ඒ අතර වියත්-අවියත් කරුණු කාරණා තිබිය හැක. නමුත් ඒ සැමටම ජවිපෙ විනිවිද පෙනෙන පිළිතුරු ලබා දිය යුතුය. 

"ජවිපෙ අතින් 88/89 කාලයදී සිදුවූ අපරාද පිළිබඳව ඔබේ මතය කුමක්ද?" ජවිපෙන් ජනතාව සදාතනිකව අසනා පැනය මෙයයි. මෑතකදී පැවති සාකච්චාවකදී ලාල් කාන්ත මහතා මීට දුන් පිළිතුර මම ඉහලින් අගය කරමි. 

අපි ඕනෑම දෙයක හොඳ-නරක විමසිය යුත්තේ එය සිදුවන රාමුවට සාපේක්ෂවය. යුද්ධයකදී සාමකාමී සිවිල් සමාජයක සිදු නොවිය යුතු බොහෝ දේ සිදුවේ. උදාහරණයක් ලෙස මනුෂ්‍ය ඝාතනයන්ට සහ විනාශ කිරීම්වලට පදක්කම්, ඇගයීම් සමග උසස්වීම් ලැබේ. මේ අනුව සිවිල් යුධ සමයකදී අප ඒ රාමුව තුල සිට එහි හොඳ නරක සෙවිය යුතුය. එම රාමුවෙන් පිටත වූ සමාජ-කාල අවකාශයකදී අදහස් දක්වන විට සිදු නොවිය යුතුදේ සිදුවූ බවත් එය අනාගතයේ නැවත සිදු නොවිය යුතු බවත් පිළිගෙන ප්‍රසිද්ධියේ ප්‍රකශ කල යුතුය. ලාල් කාන්තා මහතා සිදුකලේ එයයි. එතුලින් එබඳු සිදුවීම් නැවත නොවන්නට ජවිපෙ වගබලාගන්නා බවට මහජනතාව තුල විශ්වාසයක් ගොඩ නැගේ.  නෙල්සන් මැන්ඩෙලා පවා යම් කාලයකදී අද සමාජයේ මිනුම් දඬු වලින් ඉතා දරුණු ඝනයේ වූ අපරාද සිදුකර ඇත. මේ අදහස මීට පෙරද ජවිපෙ නායකයන් යම් යම් ආකාරයෙන් පලකලත් මෙතරම් පැහැදිලිව සහ ඍජුව එය පැවසූ අවස්ථාවක් මා අසා නැත. 

ජවිපෙට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමට හෝ ආර්ථික මාර්ග සිතියම් සකස්කර ක්‍රියාත්මක කිරීමට තරම් හැකියාව ඇති නායකත්වයක් නැති බවට ඇතැමුන් තර්ක කරයි. මෙය හරයක් නොමැති හිස් කතාවක් බව මගේ හැඟීමයි. රටක මූලික අංශ පිළිබඳව ප්‍රතිපත්ති නිර්මාණය කිරීම හෝ ක්‍රියාත්මක කරවීම සඳහා පක්ෂ නායකයන්ට දැනුමක් තිබිය යුතුයයි මම නොසිතමි. ඔවුන්ට හැකියාව තිබිය යුත්තේ යමක් කල හැකි නියම පුද්ගලයන් නිවැරදිව හඳුනාගැනීමටයි. දැනට පවතින රජයේ නායකයන්ට නැත්තේද එම හැකියාවයි. මේ වන විටත් ජවිපෙ වටා මේ දැනුම, බුද්ධිය සහ හැකියාව ඇති පුද්ගලයන් ගණනාවක් එකතුවෙමින් සිටින බව පෙනෙයි. රාජ්‍ය පාලනය බාරගන්නා කණ්ඩායමට යම් යම් ක්‍ෂේත්‍රයන්හි බුද්ධිමය හිදැස් ඇත්නම් සහ ඒවා පිරවීමට වුවමනාවක් ඇත්නම්, ඒ සඳහා දායකත්වය ලබාදීම පුරවැසියාගේ යුතුකමකි. 

කෙසේ නමුත් ජවිපෙ සාමාන්‍ය ජනතාවට පත්‍ය වූ පැහැදිලි වැඩ පිළිවෙලක් ජනගත කල යුතුව ඇත. ඒ උදෙසා නැගෙන ගැටළු වාද-විවාද වලට ඍජුව පිළිතුරු දීමද ඔවුන්ගේ යුතුකම වී ඇත. උදාහරණයක් ලෙස 'පෞද්ගලික සරසවි පිළිබඳව ජවිපෙ මතය කුමක්ද?" යන්න මට සැමදා පවතින ගැටළුවකි. 

මේ සියළු කරුණු සම්පිණ්ඩනය කළහොත් මට කෙටියෙන් කිව හැක්කේ "ජවිපෙ, ජවිපෙන් මිදී ඉදිරියට යා යුතු බවයි". මා සිතන ආකාරයට ඉදිරියට යා යුත්තේ ජවිපෙ නොව ජාතික ජන බලවේගයයි. බොහෝ දෙනෙකුට එය තවමත් පෙනෙන්නේ ජවිපෙ කැටයමට උඩින් ගැසූ ස්ටිකරයක් ලෙස පමණි.  කොයි මොහොතේ හෝ ස්ටිකරය ගැලවී යාමට ඉඩ ඇතැයි මට වුවද සිතෙන වාර ඇත. මේ නිසා එය මහජනතාවට දැනෙන තරමට ජවිපෙන් ඈත් කල යුතුය. එවිට ජාජබ යනු බොහෝ දෙනෙකුට පාද නොපිලිස්සී ගොඩ විය හැකි වේදිකාවක් වනු ඇත. 


3 comments:

  1. "ජවිපෙ, ජවිපෙන් මිදී ඉදිරියට යා යුතු බවයි". මා සිතන ආකාරයට ඉදිරියට යා යුත්තේ ජවිපෙ නොව ජාතික ජන බලවේගයයි!
    Well said!

    ReplyDelete
  2. ජවිපෙ රට වෙනුවෙන් තීරණයක් ගත යුතු කාලයයි. ජවිපෙ ලෙස ගොස් නැවතත්, 3%ක් හිමිකර ගන්නවාද, නැතහොත් ජාතික ජන බලවේගයෙන්, ලංකාවේ සහ විදේශගතව සිටින විද්වතුන්ගෙන් ඉදිරිපත්වී, රටේ අනාගතය සුබදායි කරනවද යන්න ඔවුන්ට ඇති ප්‍රශ්නාර්ථයයි. මේ මොහොතේ ඔවුන්, ඔවුන් ගැන නොසිතා රට ගැන සිත කටයුතු කරයි යැයි මම බලාපොරොත්තු වෙනවා. එය මේ රටේ අවශ්‍යතාවයයි.

    ReplyDelete
  3. හොඳ වැදගත් පෝස්ට් එකක් ආචාර්ය චන්දිම මහතාගෙන්, ඔබ මෙතන මතුකරන මේ ගොඩක් දේවල් ගැන ඉතා ගැඹුරු සහ පුළුල් සංවාදයක් රට පුරා ව්‍යාප්තව ගොඩ නැගීම කළ යුතුයි නැතුව මේ ගැන සමස්ත සමාජය තුළ හැඟීමක් ඇති කරන්න අමාරුයි. ඉතිහාසය පිළිබඳ මගේ පෞද්ගලික අද්දැකීම් පවසනවා නම් මම ප්‍රේමදාසට චන්දෙ දීලා තියනවා, රනිල්ටත් දීලා තියනවා, මහින්දටත් දුන්නා, සිරිසේනටත් දුන්නා අන්තිමට ගෝටාටත් දුන්න. දැන් මට පෙනෙන්නෙ මුන් ඔක්කොම එකයි නීල කාස කම්බා හොරු. බොරුවට පෑති දෙකකට බෙදිලා අපිව ගොනාට අන්ඳනවා වගේ. මාරුවෙන් මාරුවට මුන් හොරා කනවා. විපක්ෂේ ඉන්නකොට පට්ට විදියට කෑගහල ලොවෙත් නැති තර්ක විතර්ක ඉදිරිපත් කරලා අලුත්ම බලාපොරොත්තු ඇතිවන කැම්පේන් කරලා බලය ගන්නවා, එත් එකෙක් වත් අනික් පැත්තේ උන්ව බලයට ආවම අල්ලනේ නෑ. මුන් පට්ට ඩීල් එකේ ඉන්නේ. අර රන්ජා විතරයි ටිකක් විතර ඩීල් අඩුවෙන් දාගෙන හිටියේ ඒත් මුන් දෙගොල්ලම එකතුවෙලා ඌවත් ඇතුලට දැම්මා. ඒ නිසා මේ සැරේ වීරවංශ ගම්මන්පිල වගේ ආණ්ඩුවේ ඉන්න රට තුල ජනප්‍රියතාවක් තියෙන කට්ටිය ජවිපෙ බලවේග කණ්ඩායම එක්ක එකතු වෙලා ආවොත් නම් මමත් හොරා කාපිය කියලා හරි දෙනවා ජවිපෙ බලවේගේට. එකම කට්ටියක් හැමදාමත් කන්න ඕනේ නැනේ. අලුත් එවුනුත් ඇවිල්ලා කාපුදෙන්. කෙලවෙලාම යන්න. රෙද්ද. මොකෝ මුන්ට කාල ඇතිවීමක් නෑනේ. කලින් කාපු උන් ආයේ ඇවිත් කාගෙන කාගෙන කාගෙන යනවා ඉවරයක් නැහැ. අනෙක් පැත්තෙන් පාලනයට සම්බන්ධ නොවූ නිසා ජවිපෙ ක්‍රියාකාරිකයන් දශක ගණනාවක් තිස්සේ ඉතාමත් සාමාන්‍ය රැකියා කරමින් ජීවත් වෙන්නේ. ඒ අයත් හොඳින් ගෙවල් දොරවල් හා වත්කම් එකතු කරගෙන යාන වාහන සහිතව ජීවිත ගොඩ දාගන්න අවස්ථාවක් දෙන එක හොඳයි. කොහොම වුණත් හෙට දවස ගැන විස්වාසයක් තියන්න නම් බැහැ මෙහෙම ගියොත්. රටේ පොදු ජනතාවට නම් අබ සරණයි කවුරු රට පාලනය කළත් මේක ගොඩ දාගන්න බැරි වේවි කියන එක තමයි බහුතර ජනතාව අතර ජනප්‍රිය මතය. නමුත් අපි උත්සාහ කරමු අනාගතය දෙස නිතර සුභ වාදීව බලන්න ඕන. දියසේන කුමාරයා එන කම් බලන් ඉන්න ලංකාවේ ජනතාවට තව වසර කීපයක් ඔය වගේ උත්සාහ කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මම හිතන්නේ ඉදිරි වසර තුල නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල දයාසිරි එස් බී වගේම වීරවංශ ගම්මන්පිල වාසුදේව සහ තවත් පොදුජන පෙරමුණේ සහ වෙනත් පක්ෂ වල අය දැනට ජාතික ජන බලවේගය සමග පවත්වන සාකච්ඡා සාර්ථක කර ගනිමින් ආණ්ඩුවේ මංත්‍රී වරු 60 - 70 ක් පමණ එකතු කරගන්න පුළුවන් වෙයි. එහෙම වුනොත් ලබන වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් පත් කර ගනිමු. හැකි වුණොත් සාකච්ඡාවෙන් බැරි නම් දෝෂාභියෝගයක් හරහා ජනපති අස් කර ජනපතිවරණයක් ද හැකි ඉක්මණින් පවත්වා මෙම දූෂිත පවුල් පාලනය වෙනස් කර වෙනත් සාපේක්ෂව වඩාත් ජනතාවාදී පාලනයක් ගෙන ආ යුතුයි.

    ReplyDelete