ආගම සහ විද්‍යාව යන කාරණා දෙකම බිහිවන්නේ සමාන මානව මනෝභාවයන් තුලින්. ආගම "මම කවුද" සහ විද්‍යාව "ලොව කුමක්ද" යන කුතුහලයන් මතත් මේ දෙකම "අපට ප්‍රත්‍යක්ෂ වන ජීවිතය සැපවත් කරගැනීම" යන සිතුවිල්ල මතත් බිහිවෙනවා. ආගම සහ විද්‍යාව යන කාරණා දෙකේ සමානකම් සහ වෙනස්කම් මම කලින් කතා කර තිබෙනවා .
පහුගිය කාලයේදී මගේ අවධානය බොහෝ සෙයින් යොමු වුණේ "මම කවුද" යන පැනයට බුදු දහම සහ අද්වෛත වේදාන්ත සංකල්ප විසින් ලබා දෙන එකිනෙකට ඉතා සමාන එහෙත් පැහැදිලිවම වෙනස් පිළිතුරු දෙක පිළිබඳවයි.
මේ ගැන නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර අපූරු උපමාවක් ඉදිරිපත් කරනවා. අද්වෛත වේදානතයේ මම යනු කපු නූලක්. එහි ජිවිත නැමැති පබළු ඇමිණෙනවා. බුදුදහමේ මම යනු කෙඳි අඹරා සෑදෙන කඹයක්. මේ උපහැරණය මම තවදුරටත් ඉදිරියට ගෙන යයි නම් මෝක්ෂය යනු නූල නැවතත් පුළුන් බවට පත් කර එය විශාල සදාතනික පුළුන් ගොඩක් හා එක් කිරීමයි. එවිට තවදුරටත් පබළු ඇමිණීමට නූලක් නැහැ. නූලට අයත් පුළුන් යයි කීමට යමක් ඇත්තෙත් නැහැ. එය විශාල පුළුන් ගොඩක කොටසක් බවට පත්වී අවසානයි.
නිර්වාණය යනු කඹයේ කෙඳි වෙන්කර තවදුරටත් කෙඳි සැපයීම නැවැත්වීමයි. එවිට තව දුරටත් කඹයක් පවතින්නේ නැහැ.
මෙහිදී දර්ශන දෙක වෙනස් වන්නේ "මම" නැමැති භූතාර්ථයේ පැවැත්ම සම්බන්ධයෙන් පමණයි. "ආත්ම" සහ "අනාත්ම" සංකල්ප ඇතිවන්නේ මේ පදනම මතයි. මෙහිදී මරණින් මතු පැවැත්ම අද්වෛත වේදාන්ත සංකල්පයෙන් පැහැදිලි කරගැනීම ඉතා සරලයි. නමුත් බුදුදහම මේ සංසිද්ධිය පැහැදිලි කරන ආකාරය තවමත් මට අපැහැදිලියි.
අවසානයේ මම දකින්නේ මේ සංකල්ප දෙකම තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරගන්නා තුරු මොඩලයන් දෙකක් පමණක් වන බවයි. මේ නිසා තමන්ට අවශ්‍ය මොඩලය තෝරාගැනීම හෝ මොඩලයක් තෝරා නොගෙන සිටීම සෑම දෙනෙකුගේම අයිතියයි.
No comments:
Post a Comment