Follow this Blog

Sunday, 28 May 2017

ගං වතුරෙන් ගැලවීමක් නැද්ද .... මේ ඉහළ සිට පහලට සිටින ඇත්තන්ට



ලංකාවට ගං වතුර අලුත් දෙයක් නොවේ. හරියටම මීට වසරකට පෙරද දරුණු ජල ගැලීමක් රට තුල සිදුවිය. එවන් වාතාවරණයක් පවතින රටක් දිගු කාලීන විපත් අවම කරගැනීමේ වැඩ පිළිවෙලකට යා යුතුව ඇත. පමා වී හෝ දැන් එය කල යුතුව තිබේ.

"ස්වභාවික විපත් (natural disaster)" කියා දෙයක් නැත. ඇත්තේ ස්වභාවික ආන්තික සිදුවීම් (natural extreme events) සහ මානව විපත් (human disasters) යන සංසිද්ධි දෙකයි. ස්වභාව ධර්මයේ නිරන්තර වෙනස් කම් සිදුවේ. සමහර වෙනස්කම් සිදුවන්නේ කලාතුරකිනි. වසර 2004ට පෙර ලංකාවේ වැසියන් සුනාමියකට මුහුණ දී තිබුණේ වසර 500 කට වඩා ඈත අතීතයේය. ඒ පෘතුගීසීන් මුහුදුබඩ පෙදෙස් අත්පත් කරගෙන සිටින සමයේය. ඊට පෙර ඒ පිළිබඳව ලියවෙන්නේ විහාරමහා දේවියගේ යුගයේය. ඒ වසර දෙදහසකට පමණ පෙරදීය.  මේවා අපි ආන්තික සංසිද්ධි ලෙස හඳුන්වමු. ගං වතුර ඊට වඩා වැඩි සම්භාවිතාවයකින් ලංකාවේ ඇතිවන ආන්තික සිදුවීම්ය. 

අරණායක කන්ද නාය ගියේ මිනිස් වාසයක් යට කරගෙනය. එම ප්‍රදේශයේ මිනිසුන් පදිංචිව නොසිටියා නම් එය ස්වභාවික ආන්තික සිදුවීමක් පමණකින් කෙලවර වන්න තිබුණි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස එය මානව විපතක් බවට පත් විය. ස්වභාවික ආන්තික සිදුවීම් වළක්වාලීම සැහෙන අපහසු කර්තව්‍යයකි. එහෙත් මානව විපත් අවම කරගැනීමට හැකියාව ඇත. නැතිනම් අපි හැකියාවක් ඇතිකරගත යුතුය. 

ජල ගැලීම් විපත් අවම කරගැනීම පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන්ට 2016 සිදුවීම ඉතා වටිනා දත්ත සමුහයක් කරගත හැකිව තිබුණි. ඒ තුලින් නිසි පියවර පිළිබඳව වගකිව යුත්තන් දැනුවත් කර තිබුණි නම් මෙවර ගං වතුරේ ප්‍රතිඵල වෙනස් වන්න තිබුණා යයි අපට සිතෙයි.

ජල ගැලීමක විපත් අවම කරගැනීම සඳහා කරුණු රාශියක එකතුවක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් නිවර්තන සහ උපනිවර්තන කලාපීය රටවල දේශගුණය පිළිබඳව අනාවැකි පළකිරීම තරමක් අපහසුය. ඊට හේතුව දේශගුණයේ හැරුම් ලක්ෂ තීරණය කරන පරාමිති විශාල ප්‍රමාණයක් තිබීමයි. එහෙත් මේ සඳහා මේ වන විට පරිඝනක වැඩසටහන් සහ මෘදුකාංග රාශියක් බිහිවී ඇත. මෙම මෘදුකාංග මිළ අධිකය. එබැවින් වඩාත් උචිත වන්නේ අප රටට හෝ කළාපයට වඩාත් ගැලපෙන මෘදුකාංගයක් නිපදවීමයි. මේ සඳහා අපට මෘදුකාංග විශේෂඥයන් ඕනෑතරම් ඇත. එමෙන්ම අප රටේ සිටින හෝ වෙනත් රටවල සේවය කරන ලාංකික කාලගුණ විද්‍යාඥයන්ගේ දැණුම මේ සඳහා යොදාගත හැක. අවශ්‍යවන්නේ මේ දෙපිරිස එකතුකර කාර්යයට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපාදන සැළසීමයි. පෞද්ගලිකව මගේ මතය වන්නේ මේ සඳහා පසුගිය දශක කිහිපයක සිට කලාපීය දේශගුණ රටාවන් පිළිබඳව මහා පරිමාණයේ පර්යේෂණ පවත්වන ඉන්දීය විද්‍යාඥයන්ගේ සහයෝගය ගතයුතු බවයි. කලාපීය සහයෝගයෙන් තොරව දේශගුණික විපර්‍යාස පිළිබඳව පර්යේෂණ පැවැත්වීම උගහටය. 

ඉහත සඳහන් මෘදුකාංගයක් මගින් ඉදිරි වසර, වසර දහය, විස්ස, පනහ වැනි කාල වකවානු සඳහා ඇතිවිය හැකි ආන්තික වර්ෂාපතනයන් පිළිබඳව අනාවැකි පලකළ හැක. අපගේ ගං වතුර විපත් අවම කරගැනීමේ සැලැස්ම ගොඩ නැගිය යුත්තේ මේ අනාවැකි මතය.

ඊළඟ මෘදුකාංගය වර්ධනය කල යුත්තේ ඇතිවන ආන්තික වර්ෂාපතනයකදී දිවයිනේ ඒ ඒ ප්‍රදේශවල ඇතිවිය හැකි උපරිම ජල  මට්ටම්වල ව්‍යාප්තිය ගණනය කිරීමටයි. මේ සඳහා භූ තොරතුරු පද්ධති (GIS) දත්ත උපයෝගී කරගත යුතුය. වසර 2016 දී අපි ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂමේ (NASTEC) අනුග්‍රහයෙන් ස්වභාවික ආන්තික සිදුවීම් වල බලපෑම අවම කරගැනීමේ ප්‍රතිපත්ති පිළිබඳව ජාත්‍යන්තර සමුළුවක් ලංකාවේ පැවැත් වීමු. මෙයට සහභාගී වූ මැලේසියානු විශේෂඥයා (මහාචාර්ය බිස්වජිත් ප්‍රධන්) කියා සිටියේ මේ කටයුත්ත ලංකාවේ ආරම්භ කරනවා නම් මැලේසියාවේ පුර්ණ සහයෝගය පර්යේෂණ මට්ටමින් ලංකාවට ලබා දීමට ඔවුන් කැමති බවයි. නමුත් ලංකාවේ කිසිවෙකු මේ සඳහා තවමත් ඉදිරිපත් වී නැත.

මෘදුකාංගයෙන් ජල මට්ටම් විශ්ලේෂණය කල පසු කලයුතු ඊළඟ කාර්ය නම් එය අවම කරගැනීමේ පියවර ගැනීමයි. මේ සඳහා ජල පිටාරක මාර්ග (water egress) ඇතිකිරීම හෝ පිළිසකර කිරීම, පහත් බිම් සැකසීම, ගංගා නිම්න සංවර්ධනය කිරීම, ජල පාලක සහ තාවකාලික රඳවන සැදීම ආදී පියවර රාශියක් ඇත. 



මැලේසියාවේ ක්වාලාලම්පුර් නගරයේ ඇති බුහුටි උමග (smart tunnel) මේ සඳහා හොඳ උදාහරණයකි. කිලෝ මීටර 9 ක් පමණ දිගින් යුත් මෙම උමග කොටස් තුනකින් යුක්තය. ඉහල මාල දෙක උපයෝගී කරගන්නේ වාහන දෙපැත්තට යාම සඳහා වන මාර්ග ලෙසටයි. යටම මාලය නගරයට වැටෙන වර්ෂා ජලය එක්රැස් වන සුවිසල් ටැංකියක් ලෙස ක්‍රියා කරයි. ලංකාවටත් වඩා ඉහල වර්ෂාපතනයක් ලැබෙන මැලේසියාවේ, ක්වාලාලම්පුර් නගරය දැඩි රථවාහන තදබදයක් සහිත එමෙන්ම ගං වතුරෙන් නිතර බැටකන ප්‍රදේශයක් විය.   මෙම බුහුටි උමග ඉහත ගැටළු දෙකටම එකවර විසඳුම් සැපයිය. 



මෘදුකාංගයක ඇති වැදගත්කම නම් යොදන පිළියමින් ඇතිවන තත්වය කල් තබා ගණනය කිරීමට ඇති හැකියාවයි. මේ නිසා යෙදිය හැකි විවිධ උපක්‍රම සහ ඒ සඳහා යන වියදම් ව්‍යාපෘතිය සැළසුම් කිරීමටද පෙරම දන ගත හැක. ලංකාවේ මෙතෙක් කිසිඳු අවධානයක් යොමු නොවූ කරුණක් ලෙස මේ පුර්ව විශ්ලේෂණය සඳහන් කල හැක. 

ඉහත ක්‍රියාකාරකම් වලින් ගං වතුර උපද්‍රව අඩු කරගත හැක. එහෙත් එමගින් මානව විපත් ශුන්‍ය කරගැනීමට හැකි නොවේ. ඊට පෙර සුදානමක් සහ මනා විපත් කළමනාකරණයක් අවශ්‍යවේ. මේ සඳහා ඉදිරියෙන්ම ඇති විසඳුම තාක්ෂණයයි.  අප නොයෙක්වර මේ පිළිබඳව අදහස් පළකර ඇත. 

ගං වතුර කළාපයක (flood plain) පදිංචි ජනතාව සඳහා උභයජීවී නිවාස (amphibious houses) ලබා දීම ඉක්මණින් ඇති කල යුතු ව්‍යාපෘතියකි.  නිතර ගං වතුරට ලක්වන ප්‍රදේශවල පහත සඳහන් පියවර වහා ගත යුතුය.

සියලු ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වලට ඩිංගි බෝට්ටු සහ හුළං පුරවන යන්ත්‍ර ලබා දීම. මෙය නිවාස මට්ටමින් කල හැකි නම් ඉතා අගනේය.

සියළු පාසල්වල ගං වතුර සහ නාය යාම් අවස්ථාවලදී ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව දරුවන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම. මෙය පංසල් සහ දේවස්ථාන වලද ක්‍රියාත්මක  කල හැකි නම් ඉතා අගනේය. 

නාය යාමට ඉඩ ඇති උස් බිම් හඳුනාගෙන පදිංචි කරුවන් ඉවත් කිරීම (සුදුසු ආදේශක සහිතව) හෝ නාය යාම වැලැක්වීම සඳහා රඳවා තබා ගැනීමේ බිත්ති (retention walls) ඉදිකිරිම. මෙම පියවර දෙකම අධික වියදම් සහ ගැටළු සහගත කාර්යයන් බැවින්, අඩුම ගණනේ අන්තරායකර නිවාසවල පදිංචි කරුවන්ට නාය යාමක පුර්ව ලක්ෂණ හඳුනාගැනීම පිළිබඳව පුහුණු සැසියක් ගම් මට්ටමින් පැවැත්වීම. 

ගං වතුර බැස යන්නේ ව්‍යසන රාශියක් ඉතිරි කරමිනි. පස බුරුල් වීම, වගා පාලු වීම, පානීය ජලය අපවිත්‍ර වීම මින් කිහිපයකි. විශේෂයෙන්ම කලින් නාය යාමක් ගැන අවධානය යොමු නොවූ උස් බිම් පිළිබඳව දැන් සලකා බැලිය යුතුව ඇත. එසේම අධි වේගී මාර්ගවල පාර පස් පුරවා ඉහලට එසවූ කොටස්වල ගිලා බැසීම් (sink holes) ඇතිවීමට ඉඩකඩ ඇත.  

මේ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙයි. 




1 comment:

  1. ප්රජා මූල කාළගුණ අනාවැකි ආයතන (ගං වතුරේ උගත් පාඩම්)
    පැය 24 ක වැස්සකින් 180කට වඩා මරු දැකීම රටක් ලෙස අපගේ (රජය, නිළදාරීන් සහ ජනතාව ) අසමත් කම නැවත වරක් පෙන්වා දී ඇත. ආපදාවෙන් පසු විපතට පත් වූවන්ට සහන සැලසීමේ රටේ ක්රියාකාරිත්වය සතුටු විය හැකි වුවත් කණගාටුවට කරුණ නම් ඊළඟ ගං වතුරේදීවත් විපත අඩු කර ගැනීමට අප යමක් ඉගෙන නොගැනීමයි. මුලින්ම අප අපෙන් ඇසිය යුතු ප්රශ්න නම්,
    - ගිය අවුරුද්දේ ගං වතුරෙන් අපි උගත්තේ මොනවාද ?
    - ආපදා පූර්වෝකථනයේදී අදාළ ආයතන වල (කාළගුණ වි.දෙ., ආපදා ක.ම.) මැදිහත් වීම ප්රමාණවත් ද?
    - අනතුරු ඇඟවීම් වලට ජනතාවගේ අවදානය ප්රමාණවත්ද ?
    - ආපදාවෙන් පසු සහන යාන්ත්රණය ශක්තිමත් ද? …..යනාදියයි.
    නමුත් අදාල නිළදාරීන්ගේ මාධ්ය ප්රකාශ වලින් මේ ප්රශන වලට උත්තර ලැබෙනවාට වඩා සිදු වන්නේ ප්රශ්නාවලිය තවත් දිගු වීමයි. උදාහරණ ලෙස, කාළගුණ නිළධාරීන්ම පවසන පරිදි, කාළගුණ තොරතුරු එක් රැස් කිරීමේ ස්ථාන 400 ක් ඇතත් දිනපතා තොරතුරු වාර්ථා වන්නේ ස්ථාන 180 කින් පමණි. වෙනත් විදියකින් කියනවානම් දැනට සිදු වන්නේ කුඩා, එක, වර්ෂා මානයකින් වර්ග කිලෝමීටර 300ක විතර තොරතුරු ආවරණයයි. ඉතින් දත්ත එකතු කිරීම අතින් අපි අසමත්. නිවැරදි ඉතිහාස දත්ත නැතිව කොහොමද හරි පුරෝකථනයක් කරන්නෙ.
    අනෙක් අතට ආපදා කළමණාකරන මධ්යස්ථානයට හැකියාව ඇත්තේ ප්රා. ලේ. මට්ටමින් අනතුරු ඇඟවීමටයි. මා ජීවත් වූ යක්කලමුල්ල ප්රාදේශීය තුල පමණක් මධ්යම කඳු වැටි විස්සකට වඩා තියෙනව. ගිං ගඟේ පෝෂක ජල මාර්ග බොහොමයක් තිබෙනවා. කවදාද අපට පුළුවන් වෙන්නෙ කඳු මට්ටමින් (උදා: කොට්ටව කන්ද, ඇත්ගාලවෙල කන්ද ලෙස ) නාය යෑම් අනතුරු නිකුත් කරන්න. නැත්නම් වාරි මාර්ග මට්ටමින් ගං වතුර පුරෝකථනය කරන්න. කවදද අපට පුළුවන් වෙන්නෙ වර්ෂාපතනයට සමරූපීව, සමෝච්ඡ රේඛානුගත, ගංවතුර සිතියමක් හදා ගන්න.
    පැහදිලිවම පෙනෙන දෙයනම් තවදුරටත් අපට සීමිත (සීමිත සම්පත්, සීමිත උනන්දුව සහිත ) ආයතන ටිකක් මතම යැපිය නොහැකි බවයි.
    ඉතිං අපි මොකද කරන්නෙ ?
    මාගේ යෝජනාව සියළුම පාසැල් මගින් කාළගුණ තොරතුරු එක් රැස් කිරීමේ කාර්ය සිදු කර ගැනීමයි. දැනට ලංකාවේ පාසල් 10,000 කට වඩා ඇති බැවින් මෙමගින් සියළුම ගම්මාන ආවරණය වන පරිදි තොරතුරු එකතු කළ හැක. මේ සඳහා අමතර වියදමක් හෝ ශ්රමයක් අවශ්ය නොවේ. හිස් බෝතලයකින් සරල වර්ෂාමානයක් සදා ගත හැක ( රූපය බලන්න ). උෂ්ණත්වමානයක් සහ අනිලමානයක් ඉතා සුළු මුදලකට ගත හැක. දත්ත සටහන් කිරීමට 7 වසරේ විද්යා ගණිත දැනුම හොඳටම ප්රමානවත්ය. සෑම විදුහලකම වාගේ පරිගණක ඇති බැවින් දත්ත පිළිවෙලකට එක් කළ හැක.
    දත්ත එකතු කිරීම පමණක් ප්රමාණවත් නැත. මේ දත්ත විශ්ලේෂණය දිස්ත්රික්කයේ විශ්ව විද්යාලයකට ස්වේඡාවෙන් කළ හැක (උදා: ගල්ලේ හපුගල පීඨය ). මෙමගින් දිවයින පුරා කාලගුණ දත්ත එකතු කිරීමේ ස්ථාන 10,000 කට ආසන්න ප්රමාණයක් සහ තොරතුරු විශ්ලේෂණය කිරීමේ ස්ථාන 25+ ක් පිහිටුවා ගත හැක.
    සරලව පටන් ගෙන ගම්මාන මට්ටමින් වර්ෂාපතනය, ගං වතුර, නාය යෑම් ආදිය දක්වා තොරතුරු මෙමගින් එක් රැස් කල හැක. අවුරුදු කිහිපයක් ක්රියාත්මක කිරීමෙන් තම ගම්මානයේ ආපදා ගැන ගමේ පාසලට ම පුරෝකථනය කල හැකි වනු ඇත. ඉතින් මෙයට ප්රජා මූල කාළගුණ අනාවැකි ආයතන නොකියා කොහොමද. කා. වි. දෙ. ට මේ සියල්ලට ඉහලින් හිඳිමින් වඩාත් ඉහළ සේවාවක් දිය හැකි වනු ඇත.
    අවශ්ය වන්නේ ඕනෑ කම සහ පාසලකින් දිනකට විනාඩි තුනක් පමණි. දිනක වැස්සට 180ක් බිලි දීලාත් අපි යමක් උගෙන ගන්නේ නැතිනම්, අපි තරම් පහත් ජාතියක් ලොවෙත් නැත.
    - රුවන් විජේමාන්න

    ReplyDelete