Saturday 26 July 2014

අපට වැරදුන තැන




වෛද්‍ය පාරේ අතීතය  

දෙහිවල වෛද්‍ය පාරේ නොම්මර 41 දරණ නිවෙස මට කිසිදා අමතක නොවේ. එය මා කුඩා කල හැදුනු වැඩුණු නිවෙසයි. එම නිවස අපට පිය උරුමයෙන් ලැබුණකි. එවකට, එනම් 70 දශකයේ මැද භාගය වන විට වෛද්‍ය පාරේ කුඩා මුස්ලිම් ජනපදයක් පැවතුනි. එය පරණ වෛද්‍ය පාරේ සිත්තියා පෙදෙසට සීමා විය. මීට අමතරව තව මුස්ලිම් පවුල් කිහිපයක් වෛද්‍ය පාරේ විසිරි තිබුණි. අපගේ නිවසට මෙම මුස්ලිම් ජනපදය ඉතා ආසන්න වූ හෙයින් මගේ කුඩා කල සිටි බොහෝ යහළුවන් මොහොමඩ්ලා, රෂීඩ්ලා විය. මේ නිසා මට ඉස්ලාම් සමාජය අදටත් නුහුරු නොවේ.

වෛද්‍ය පාරේ පදිංචිව සිටි මෙම මුස්ලිම් ප්‍රජාවගේ නිල නොලත් ප්‍රධානියා වුයේ රසාක් හජ්ජියාර් නමැත්තෙකි. මට තේරෙන කාලය වන විටත් ඔහු ප්‍රදේශයේ සිටි ධනවතෙකි. ප්‍රදේශයේ ජීවත්වූ බොහෝ මුස්ලිම් අයට රසාක් මුදලාලි (මගේ පියා ඔහුව හැඳින්වුයේ ඒ ලෙසය) සමග යම් ලෙසකින් ඥාති සම්බන්ධතාවයක් තිබුණි.

මට මතක ඇති විදියට නම් රසාක් මුදලාලි කලේ මස් සහ සම් ව්‍යාපාරයයි. ඔහු සිංහ සමාජයේද ප්‍රබල සාමාජිකයෙකු විය. ඔහුගේ ව්‍යාපාරය වෛද්‍ය පාරේ පදිංචි මුළු මුස්ලිම් ප්‍රජාවටම රැකියා සැපයිය. 

මා වියපත් වන වේගයෙන්ම මෙම මුස්ලිම් ප්‍රජාවද විශාල වනවා මට මතකය.නොයෙකුත් අලුත් මුස්ලිම් මුහුණු හැමදාමත් දකින්න ලැබුණු අතර ඒ අය අපේ මස්සිනා, බාප්පා, අක්කා කෙනෙක්, ඇන්ටිලාගේ ගෙදර සර්වන්ට් ආදී වශයෙන් මගේ මුස්ලිම් යහළුවෝ මට හඳුන්වා දුන්නෝය. මෙම යහළුවන් සියලු දෙනාම පාහේ රසාක් මුදලාලිගේ මුණුපුරෝය. 

කුමක් හෝ හේතුවක් නිසා 77 චන්දයෙන් පසුව මෙම මුස්ලිම් ප්‍රජාවගේ සෞභාග්‍ය වේගයෙන් වැඩි දියුණු විය. 80 දශකය වන විට අවට ගෙවල්වල සිටි සිංහල පවුල් එක දෙක තම නිවෙස් මුස්ලිම් මිනිසුන්ට විකුණා වෙනත් පැති වලට සංක්‍රමණය විය. මුස්ලිම් උදවිය ඉතා හොඳ වටිනාකමක් ගෙවල් වලට දෙන බව මගේ පියා දිනක් පවසනු මා අසාගෙනය. මේ සඳහා පල්ලියෙන් විශාල සහයක් ලැබෙන බව අපේ පවුලේ සිංහල හිතවතුන් කතා වෙනු මා අසා ඇත. අපේ ගෙදරට ඉඳ හිට ආ ගිය ප්‍රාදේශීය දේශපාලකයෙක් පැවසුවේ දෙහිවල පල්ලියේ ඇති විශේෂ ගිණුමකට අරාබියේ සිට විශාල වශයෙන් මුදල් ගලා ගෙන එන වගයි. එම මුදල් බෞද්ධ ජනතාවගේ නිවාස මිලදී ගැනීමට ඉතා අඩු පොලියට මුස්ලිම් අයට ලබා දෙන බව ඔහුගේ අදහස විය.....

අවසානයේ අපේ පවුලත්, කාරණා කිහිපයක් නිසා මුස්ලිම් මුදලාලි කෙනෙකුට තම පාරම්පාරික ඉඩම විකුණා දෙහිවල වෙනත් ප්‍රදේශයකින් ඉඩමක් මිලදී ගෙන වෛද්‍ය පාරෙන් ඉවත් විය. 

අද දින වෛද්‍ය පාරේ හැඩ රුව කව්රුන් හෝ පවසනවා නම් (මෙය කියවන කිහිප දෙනෙක්ම ඒ ප්‍රදේශයෙන් බව මම දනිමි) යෙහෙකි..

ස්වීඩනයේ කථාවක් 


මා ආචාර්‍ය උපාධිය නිම කර ස්වීඩනයෙන් පිටවන කාලය, එනම් 1999 වන විට, ගොත්සුන්ඩා යනු උප්සලා ප්‍රදේශයේ පිහිටි සුදු, දුඹුරු, කළු ජාතික සම්මිශ්‍රණයක් සහිත කුඩා නගරයක් විය. එහි බහුතරය එවන විටත් ස්වීඩන් ජාතිකයෝය. ආගමික සිද්ධස්ථානයක් ලෙස නගරයේ තිබුනේ එක් ඔතඩොක්ස් ක්‍රිස්තියානි පල්ලියකි.

ඊට දස වසරකට පසු, 2009 දී මා නැවතත් උප්සලා නුවරට ප්‍රවිෂ්ඨ වුයේ මාස කිහිපයක් උප්සලා සරසවියේ පර්යේෂණ කටයුතු කිරීමටයි. එහි ගත කල කාලය අතර තුර මගේ මිත්‍රයෙකු වූ ශිරාන් ලියනගේ සමග මට ගොත්සුන්ඩා නගරයට යාමට අවස්ථාව ලැබුණි. 

එහිදී ඇස ගැටුණු ප්‍රථම දසුනින්ම මා පුදුම වුනි. බොහෝ මං මාවත් වල හිජාබයෙන් සිරුරම වසා ගත් කාන්තාවන් සහ සුදු තොප්පිය පැළඳ රැවුල වවාගත් තරුණයන්ය. 

ඇතින් ගුවන සිසාරා ලංකාවේ හොඳට අසා පුරුදු  "අල්ලාහු අක්බර්....." ඉස්ලාම් පාඨ ඇසෙයි. 

"මොකද ශිරන් මේ"

"ඔවු බන් උන් දැන් ගොත්සුන්ඩා ඒරියා එකම අල්ලලා" ශිරන් පවසයි. 

අප ඇත්තටම එහි ගියේ ඊට වසර කිහිපයකට පෙර සිට ගොත්සුන්ඩා හි පවත්වාගෙන යන ඉරාන සුපිරි වෙළඳ සැලකින් බඩු කිහිපයක් මිලට ගැනීමටය. 

නගරය කෙලවර තරමක විශාල වෙළඳ සැළකී. පෙර අප ස්වීඩනයේ ගත කල කාලයේදී ඉරාන කඩවලින් බඩු ගත්තේ යුරෝපීය නොවන විදේශිකයෝ පමණකි. සුදු හමක් දකින්නේ කලාතුරකිනි. එහෙත් දැන් තත්වය වෙනස්ය. වෙළදසැලේ වැඩිපුර ඉන්නේ ස්වීඩන් ජාතිකයෝය. 

"මේකනේ මචන්, මුන්ගේ බඩු ලාබයි,  ඕනෙම ජාතියක් තියෙනවා, එළවලු පලතුරු එහෙමත් සැහෙන ෆ්‍රෙෂ්, උදේ ඉඳන් රෑ 12 වෙනකන් කඩේ ඇරලා. ඉතින් ඕන කෙනෙක් එනවා" මගේ සිතේ ඇතිවූ ප්‍රශ්න කියෙව්වා මෙන් ශිරාන් මා කිසිවක් නොඅසාම පැහැදිළි කරයි. 

මතුරා පුර ක්‍රිෂ්ණා ගේ උපන්බිම  


මීට වසර 15 ට පමණ පෙර මට ඉන්දියාවේ මතුරා පුර පිහිටි ක්‍රිෂ්ණා දෙවියන්ගේ උපන් ස්ථානයට යාමට හැකිවිය. නව දිල්ලියේ සිට උදැසනම බස් රථයට ගොඩවූ අප පැය 2-3 ක ගමනකින් පසු මතුරා පුරයට පැමිණියේය. සුවිසල් හින්දු දේවස්ථානයක් දකින තෙක් දෑස යොමාගෙන ගිය අපට දැකගත හැකිවුයේ විශාල මුස්ලිම් පල්ලියකි. පල්ලියට යාබදව ක්‍රිෂ්ණ දේවස්ථානය පිහිට ඇත. ක්‍රිෂ්ණා මාලිගාවේ බොහෝ ස්ථාන අද ඇත්තේ මුස්ලිම් පල්ලියේ පාදමටත් පහලිනි.  ඒ කරා යායුත්තේ ක්‍රිෂ්ණා දේවස්ථානය ඇතුලෙන් පහතට බැසීමෙනි.

අප සමග සිටි මග පෙන්වන්නා මෙහි ඉතිහාසය අපට කියා දුන්නේය. ක්‍රිෂ්ණා සිටියා යැයි සැලකෙන්නේ මීට වසර 5000-6000 අතර කාලයකට පෙරය. ඔහුගේ මාලිගයත් ඔහු වෙනුවෙන් තැනු සුවිසල් දේවස්ථානයත් කාලයාගේ අවෑමෙන් වැලි සහ පස් තලාවෙන් යටවී ක්‍රි.ව. 1000 පමණ වන විට තිබී ඇත්තේ කුඩා කෝවිලකි. 

උතුරු ඉන්දියාව මුස්ලිම් ආක්‍රමණයට යට වීමත් සමගම එවකට හමුදා මෙහෙයවූ ගස්නි හි මුහම්මද් නැමැත්තා මෙම කෝවිල බිමට සමතලා කරන ලෙස අණ දී ඇත. ඉන් වසර 500 ට පමණ පසු දිල්ලිය පාලනය කල ඉස්ලාම් භක්තික මෝගල් අධිරාජ්‍යයා ක්‍රිෂ්ණා ගේ සලකුණු සියල්ල යට කරමින් මෙම සුවිසල් පල්ලිය තනා ඇත. ඔහුගේ අණ පරිදි උතුරු ඉන්දියාවේ පැවති  බොහෝ හින්දු දේවස්ථාන සම්පුර්ණයෙන්ම විනාශ කර දමන ලද බව ඉතිහාසයේ කියවේ. 

මෙම ක්‍රිෂ්ණා දෙවිඳු උපන් භූමිය මුස්ලිම්වරුන් අතින් නැවත බේරා ගැනීමට තවත් වසර 500 ක් ගෙවී ගියේය. 1950 ගණන් වලදී, වසර ගණනාවක නීති අරන්ගලයකින් පසු මෙම භූමියේ අයිතිය නැවතත් හින්දුන් අතට පත්විය. ඔවුන් පවතින මුස්ලිම් පල්ලියටද හානි නොකර අද පවතින ක්‍රිෂ්ණ දෙවොල ගොඩනගා ඇත. කාලයේ වැලි තලාවන්ට පින් සිදු වන්න වසර පන්දහසක් පමණ පැරණි නටබුන් අදටත් එහිදී දැකිය හැක.

ඉස්ලාම් ආගමට බයද?


මීට දෙවසරකට පමණ පෙර මම පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සිට පැයකින් පමණ යා හැකි තක්ෂිලාවේ නටබුන් බැලීමට ගියෙමි. තවමත් ඉතිරිව ඇති නටබුන් දකින විට මෙම ගොඩනැගිලි සංකීර්ණයේ විශාලත්වය මට අනුමාන කළ හැකි විය. බොහෝ විද්වතුන් පිළිගන්නා ලෙස එය ලොව මෙතෙක් පැවති විශාලම සරසවිය බව නොඅනුමානය. 

සියවස් ගණනාවක් පුරා ගොඩනැංවුන මේ මහා දැනුම් සම්භාරය දින කිහිපයකින් දවා අළු කිරීමට මුස්ලිම් ආක්‍රමණිකයා සමත් විය. ඊජිප්තුවේ සිට ඉන්දියාව තෙක් මුස්ලිම් ආක්‍රමණිකයා ගමන් කලේ තමාට විනාශ කල හැකි සියලුම දැනුම මුළුමනින්ම මෙලොවින් තුරන් කිරීමෙනි. ඒ ගමන මුළු ලෝකයම වසර දහස් ගණනක් පිටු පසට ගෙන ගියේය. 

ඉස්ලාම් භාක්තිකයාගේ දැනුමට ඇති බිය මට අද දිනයේද මැනවින් පෙනේ. නවීණ බටහිර විද්‍යාවේද පදනම වූ හේතු-ඵල මුලධර්මය (Principle of cause and effect) ගැන කතා කිරීමටත් මගේ ඉස්ලාම් ගෝලයෝ බිය වෙති.

ඉස්ලාම් ධර්මයෙහි අන්තර්ගතය හෝ එහි මුලධර්ම පිළිබඳව කතා කිරීමට මට දැනුමක් හෝ අයිතියක් නැත. එහෙත් ඉස්ලාම් ධර්මය හා බැඳුනු ඓතිහාසික කරුණු විග්‍රහ කිරීමට මට පැහැදිලි අයිතියක් ඇත. ඉස්ලාම් පත පොතෙහිද පිළිගත් ඉතිහාස ග්‍රන්ථ වලද සඳහන් වන අයුරින් මිනිස් ඉතිහාසය තුල  මුස්ලිම් ආක්‍රමණිකයන් අතින් මියගිය මිනිසුන්  සංඛ්‍යාව ගනින්නේ කෝටි ගණන් වලිනි. 

මුස්ලිම් භක්තිකයන් ප්‍රදේශයක් ආක්‍රමණය කල පසු මුලික සංහාරයෙන් අනතුරුව ඉතිරිවන ජනතාවට ලැබෙන තේරීම් ගණන සාමාන්‍යයෙන් දෙකකි. එනම් මරණය හෝ ඉස්ලාම් ආගමට හැරීමයි. ඉස්ලාම් ආගමට හැරුන පසු මරණය මිස නැවත ඉන් මිදීමක් නැත. අදටත් එය එලෙසමය.  

ඉඳ හිට අවස්තාවලදී, දරුණු කමින් මදක් අඩු ආක්‍රමණ නායකත්වයක් තුල, තුන් වෙනි තේරිමක්ද යටත් වන ජනතාවට ලැබුණි. එනම් ඉතා විශාල බද්දක් ගෙවා ස්වකීය ආගම ඇදහීමයි. මෙය බොහෝ විට මිනිසුන් නොමරා මරණ ක්‍රමයක් විය. ජීවිත ආශාව ඇති බොහෝ දෙනා ටික කලකින් මුස්ලිම් ආගමට හැරෙන්නේ බද්ද ගෙවූ පසු හාමතේ මිය යාමට සිදුවන නිසාය.

ඉහත තත්වය මුලින්ම ඇසෙන්නේ ඉස්ලාම් ධර්මය බිහිවී ටික දවසකිනි. අවසන් වරට ඇසෙන්නේ මීට දින කිහිපයකට පෙරයි. එනම් ඉරාකයේ වෙසෙන ක්‍රිස්තියානි ජනතාවට මෙම තේරීම් ලබා දීම ගැනයි.

මධ්‍යතන යුගයේදී ක්‍රිස්තියානිවරු අතින් බලවත් අපරාධ බොහෝ සෙයින් සිදුවිය. එහෙත් නොයෙකුත් කරුණු කාරණා මත ඔවුන් ක්‍රමයෙන් ශිෂ්ඨ සම්පන්න විය. 21 වන ශතවර්ෂය ලබන විට ඔවුන්ගේ තත්වය මීට වසර 1000 ට පෙර පැවතියාට වඩා හාත් පසින්ම වෙනස්ය. එහෙත් ඉස්ලාම් භක්තිකයා එදා සිට අද මේ මොහොත වන තෙක් කිසිසේත්ම වෙනස් වී නැත. පවතින පරිසරය අනුව ඔවුන්ගේ දරුණු බව අඩු වැඩි ආකාරයෙන් පවතී.

මැලේසියාව හැරුණු කොට ලෝකයේ වෙන කිසිම මුස්ලිම් රටක සාමාන්‍ය ජනතාව හිතේ සුවයකින් පසු නොවේ. මෙහි වරද කොතැනක දැයි මට නොතේරේ. ලොවම මුස්ලිම් වුවහොත්  ප්‍රශ්න නැතිවේ යැයි කෙනෙක් මා සමග තර්ක කළේය. මට ඔහුගේ තර්කය බිඳ හෙලීමට ගත වුයේ නිමේෂයකි. 

මේ වනවිට ලෝකයේ වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මැරෙන්නේ මුස්ලිම්-මුස්ලිම් සටන් වලිනි. මේ අනුව ලෝකයම මුස්ලිම් ජනපදයක් වුවහොත් එහි මිනිසුන් කිහිප දෙනෙකු වත් ඉතිරි වේදැයි සැකයක් පහලවේ.

අද වනවිට බහුතරය මුස්ලිම් වන බොහෝ රටවල් මීට සියවස් කිහිපයකට පෙර බෞද්ධ රාජ්‍යයන්ය. වෙනත් ආගම් වලට අයත් පිරිස බහුතරය වන රටවලට වඩා විශාල වේගයකින් ථෙරවාදී බෞද්ධ රටක් මුස්ලිම් කරණය කිරීම පහසු බව ඉතිහාසය පෙන්වා ඇත. මීට හේතුව බොහෝ විට ථෙරවාද බෞද්ධයා තුල ඇති යුධ හා අරගල විරෝධී ආකල්ප වන්න ඇත.

මේ සියලු කරුණු එක තැන කල විට මෙම කොටසේ මාතෘකව වන ප්‍රශ්නයට පිළිතුර ලැබෙනු ඇත...

අහිමි වීම සහ රැක ගැනීම 


පරම්පරා ගණනාවක් තුල සිදුවන සිතුම් පැතුම් රටාවන්ගේ සැකසීම පෘථග්ජන සියලු දෙනා යම් යම් චෛතසික සංකල්පයන්හි එල්වා තබයි. මේ මතවාද වලින් මිදීමට මනස දක්වන අකමැත්ත "psychological inertia" ලෙස අපි ඉංග්‍රීසි බසින් හඳුන්වමු. ආගම හා සමාජය සම්බන්ධව අපට "අහිමි වීම" යන භීතියත් "රැක ගැනීම" යන තෘෂ්ණාවත් තදින් පවතී. කුමන ආගමකට අයත් වුවත් මෙම තත්වය එලෙසමය. 

බෞද්ධ පරිසරයක ජීවත් වන්නෙකුට ඉස්ලාම් ධර්මයේ පැතිරීමත් සමග අහිමි වෙතැයි සිතෙන බොහෝ දේ ඇත. රැකගත යුතු යැයි සිතෙන කාරණාද රාශියකි. එසේ සිතීමට පාදක වන හේතු කාරණාද  ඇත. 

මා මෙතෙක් සඳහන් කළ අතීත හා වර්තමාන සිදුවීම් සමුහය දෙස බලන විට මේ අහිමි විය හැකි සහ රැක ගත යුතු දේ කුමක් දැයි ඔබට වැටහිය යුතුය. මෙහිදී මා උත්සහ ගන්නේ ආගම් අතර සාමාජියව ඇති වෙනස තේරුම් කිරීමට මිස කුමන ආගම හරිදැයි තර්ක කිරීමට නොවේ. 

අහිමි වීම සහ රැක ගැනීම පිළිබඳව කාරණය මතු වෙන්නේ ඉස්ලාම් සහ බෞද්ධ ආගම් අතර ඇති පරතරය නිසාය. මෙම පරතරයන් පැහැදිලිව පෙනෙන අවස්ථා ගණනාවක් ඇත. සිතීමේ සහ අදහස් පල කිරීමේ නිදහස, සත්ව කරුණාව, මානව දයාව, පවුල් සංස්ථාවේ හැසිරීම, කාන්තාවට පවුලේ සහ සමාජයේ ඇති ස්ථානය, නම්‍යශිලිත්වය මේ අතරින් කිහිපයකි. 

මෙහිදී අප පැහැදිලිව තේරුම් ගත යුත්තේ නූතන සමාජය තුල මිනිසාට වෙනස් වීමට හෝ වෙනස් නොවී සිටීමට ඇති අයිතියට අප ඉහලින්ම ගරු කල යුතු බවයි. එය බෞද්ධයාටද මරක්කලයාටද පොදු විය යුතුය. 

මා මේ ලිපියේ ඉතිරි කොටසට යන්නේ මේ අදහස පෙරදැරි කරගෙනයි.  

ආක්‍රමණවාදය  සහ ව්‍යාප්තවාදය



මුස්ලිම්වරයා පසුගිය සහශ්‍ර එකහමාර තුල වෙනසකට භාජනය වී නැති බව මා පෙර ප්‍රකාශ කලත් එයට යම් ඌන පුර්ණයක් සිදු කල යුතු බව මට හැඟෙ. ඇත්තෙම්ම එහි යම් වෙනසක් සිදුවී ඇත. 

ඉස්ලාම් ධර්මය බිහිවුදා සිට එයට අයිති වූ සදාතනික ගති ලක්ෂණය නම් ව්‍යාප්තවාදයයි. මෙම සහශ්‍රක එකහමාර තුල ඔවුන් දැඩි ආක්‍රමණ ව්‍යාප්තවාදයක සිට ආර්ථික හා දාරක ව්‍යාප්තවාදයක් කරා සංක්‍රමණය වී ඇති බව මගේ හැඟීමයි. 

ආක්‍රමණ ව්‍යාප්තවාදය යනු අවි බලයෙන් හෝ වෙනත් භීෂණ ක්‍රමවේදයකින්  අන් දේශයක් හෝ භූමියක් යටපත් කරගෙන එහි මුල් හිමිකරුවන් බලහත්කාරයෙන් තම පසට හරවා ගැනීම හෝ ඔවුන් විනාශ කර දමා ඔවුන් සතු වස්තුව හා දේපල තමා සන්තකයට ගැනීමයි. මෙය වසර දහස් ගණනක් පුරා ලොව බොහෝ තැන්වල සිදුවිය. 

ලෝකයේ ශිෂ්ඨාචාරාමය දියුණුවත් සමගම මෙම ආක්‍රමණවාදය යම් ප්‍රමාණයකට අඩුවී ආර්ථික ව්‍යාප්තවාදයත්, දාරක ව්‍යාප්තවාදයත් එම ස්ථානය අරගත්තේය. 

සමුහයක් ලෙස ක්‍රියා කොට අන් සමාජයන් තම ආර්ථික බලයෙන් යටපත් කිරීම ආර්ථික ව්‍යාප්තවාදයයි. මේ මගින් අන් ජාතින් සහ ආගමිකයන් ක්‍රමයෙන් සිය නිජබිම් වලින් ඉවත් කිරීම සිදුවේ. දාරක ව්‍යාප්තවාදයකදී සිදුවන්නේ හැකිතරම් දරුවන් බෝ කිරීම මගින් තම වර්ගයා ව්‍යාප්ත කිරීමයි. වෛද්‍ය  පාරෙත්, ගොත්සුන්ඩා නගරයේත් සිදු වන්නේ මෙම ක්‍රියාවලියනුයි. 

මුස්ලිම් ප්‍රජාව යම් අවස්ථාවක ආර්ථික සහ දාරක ව්‍යාප්තවාදයේ සිට ආක්‍රමණ ව්‍යාප්තවාදයකට නැඹුරු නොවෙතැයි කිසිවෙකුටත් සහතිකයක් දිය නොහැක. නයිජීරියාවේ, පකිස්ථානයේ, බංගලාදේශයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ඉහල මුස්ලිම් ඝනත්වයක් ඇති ප්‍රදේශ වලද යම් යම් ප්‍රමාණ වලින් ආක්‍රමණවාදය ක්‍රියාවේ යෙදෙනවා අප දැක ඇත. 

මේ කාරණා වලින් පැහැදිලි වන්නේ, ක්‍රමයෙන් ලංකාවේ බෞද්ධයා වාසය කිරීමට අකමැති, අබෞද්ධ පරිසරයක් නිර්මාණය වීමට ඉඩ කඩ ඇති බවයි. මෙය බෞද්ධයෙකුට දැරීමට අපහසු තත්වයක් බව අප අමතක නොකළ යුතුය. 

මෙතැන් සිට


මේවන විට අප ප්‍රශ්නයක් (most appropriate word is "issue")  ඇති බව අවබෝධ කරගෙන ඇත. එය එසේ නොවේ යැයි තර්ක කිරීම පහසු නොවන බව මගේ හැඟීමයි.

ලංකාවේ සිංහල බෞද්ධයා අනා ගන්නේ මෙතනින් පසුවයි. අපි මොනතරම් බෞද්ධ යැයි කෑගැසුවත් සමාජීය, ආර්ථික සහ දේශපාලනික යන ත්‍රිවිධ අංගයන්ගෙන්ම අපි බුදු දහමින් ගව් ගණනක් ඈත්ව ඇත. 

යමෙක් තම නිවසට පහර දෙන්න සතුරන් පැමිණෙන විට වහලේ ඇති උළු, පරාල, ජනෙල්, දොරවල්, බඩුමුට්ටු වලින් සතුරාට පහර දෙන්නේ කෙසේද සිංහල බෞද්ධයා බුදු දහම රැකගන්න හදන්නේද එලෙසමය. 

රැකගැනීමේ ක්‍රමෝපාය කල්පනා කිරීමට පෙර රැක ගත යුත්තේ කුමක්දැයි අවබෝධ කර ගත යුතුය. නොඑසේ නම් බුදු දහමට සිදුවන්නේ මෝඩ පුතාට ලැබුන පරම්පරාවේ මුට්ටියට අත්වූ ඉරණමයි.

බුදු දහම අනුව යන ගිහියෙක් අඩුම වශයෙන් පංචශීලය රැක ගත යුතුය. පැවිදි බිමට පිළිපන් තැනැත්තෙක් කෝටියක් සංවර ශීලය රැක ගත යුතු යැයි කියැවේ. කෝටිය කෙසේ වෙතත් සිත කය වචනය සංවර කර ගැනීම භික්ෂුවකගෙන් අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙමු. 

මෙයින් හැගෙන්නේ භික්ෂුව හෝ ගිහි බෞද්ධයා නිවටයෙකු විය යුතු බව නොවේ. එහෙත් කුමන රාමුවක කටයුතු කලත් බුදු දහමේ හරයන් රැක ගන්නේ නැතුව බුදු දහම රැක ගැනීම යනු විහිළුවක් පමණි.

බල්ලකු සපා කන්න පනින විට මිනිසෙකු කලයුත්තේ හතර ගාතෙන් දපා බල්ලාව සැපීමද......?

අබන්ගාට පියා දුන් උපදෙස් 


මම මේ වන විට ලියා නිම කළ එහෙත් පල කර නොමැති පොතකින් කතා පිංචක් මෙහි ලියන්නට සිතුවෙමි.

අප්‍රිකාවේ කඳුකර කැළෑ පෙදෙසක වෙසෙන ලුගුරු නම් කුඩා දේහධාරී ගෝත්‍රයකට කඳු පාමුළ සැවාන පහත් බිම් වාස භූමිය කරගත් වෙනත් ගෝත්‍රයකින් නොසිතු ලෙස ප්‍රහාරයක් එල්ල විය. එයින් ගම් වාසින් කිහිප දෙනෙකු මිය ගිය අතර ලුගුරු නිවාස කිහිපයක්ම ගිනි තබා විනාශ කිරීමට සැවානාවේ සිට පැමිණි ගෝත්‍රිකයෝ සමත් විය.

මෙම සැවාන භූමියේ වැසියන් විසල් දේහධාරින්ය. ඔවුන් යුධ වැදුනේ තියුණු තුඩු සහිත දිගු හෙල්ල විශේෂයකිනි.

ලුගුරු ගෝත්‍රික නායකයා දිනක් දුටුවේ තම තරුණ පුත් අබන්ගා දිගු ලීයක කෙලවරට තියුණු තලයක් තබා සවිමත් ගස් පට්ටයකින් එය බඳිමින් සිටින ආකාරයයි. ගෝත්‍ර නායකයා තම පුත්‍රයාගෙන් ඔහු කරන කාර්ය පිළිබඳව විමසීය.

සිය පියා දෙස බලු අබන්ගා මෙසේ පැවසුවේය.

"ඔවුන් ළඟ මේ ආයුධය තියෙනවා. ඒ වගේම ඔවුන් බොහොම ශක්තිමත්. ඊළඟ වතාවේ ඔවුන් ආවොත් මුහුණ දෙන්න නම් මේ හෙල්ලයක් හැම ලුගුරු තරුණයෙක් ලඟම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි, අපි පුළුවන් තරම් හොඳින් කාල බීල ඔවුන් වගේ උස් මහත් වෙන්න ඕනේ".

දිගු සුසුමක් ගත් ගෝත්‍ර නායකයා මෙසේ කිවේය.

"අබන්ගා, මේ අහන්න, ඔවුන් පරම්පරා ගණනාවක ඉඳන් හෙල්ලෙන් සටන් කරන්න පුරුදුවෙලා තියෙන්නේ. උඹලට තව අවුරුදු ගණනක් පුරුදු උනත් ඔවුන් වගේ හෙල්ල හසුරුවන්න පුළුවන් වෙන එකක් නැහැ. ඒ වගේම තමයි ඔවුන් උස මහත නිසා ඔවුන්ට සැවානා බිම් වල වේගයෙන් දුවන්නත් සතුන් සමග පොර බදන්නත්  පුළුවන්".

අබන්ගාට අසල තිබු සුවිසල් ගසක් පෙන්වූ ගෝත්‍ර නායකයා,

"අපිට තියෙන කුඩා ඇඟවල් නිසා අපිට අර වගේ විශාල ගස් නගින්නත් ගස් අතර වේගයෙන් ගමන් කරන්නත් පුළුවන්. නමුත් ඔවුන්ගේ උස මහත ඇඟවල් එක්ක ඔවුන්ට එහෙම කරන්න අපහසුයි. ඒ වගේම තමයි අපි මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන්ම දක්ෂයි ඈත ඉඳන් බට හීයෙන් විදින්න. ඒක තමයි අපේ සටන් කලාව".

"කලින් පාර අපිට පහර දීලා ඉවත් වෙන්න සැවාන මිනිසුන්ට හැකි වුනේ අපි එහෙම පහර දීමක් කොහොමවත්ම බලාපොරොත්තු වෙලා තිබුනේ නැති නිසයි. දැන් අපි ඒකට සුදානම්. ඔය හෙල්ලවල් හදන එක පැත්තකට දාල හී බට අරන් ලැහැස්ති වෙමු. ඔවුන් නැවත පැමිණුනොත් ඔවුන්ව ගස් අතරට රැගෙන යන්න උපායක් කල්පනා කරමු".

"අබන්ගා, මේක හොඳට අහගන්න, කිසිම අවස්ථාවක සතුරාගේ සටන් කලාවට අනුකුලවත්, සතුරාට හුරු භූමියේත් සටනක් පටන් ගන්න එපා. හැම විටම සතුරා අපට හුරු භූමියකට රැගෙන් විත් අපේ සටන් කලාවෙන් ඔහුට පහර දෙන්න"

බෞද්ධයාගේ සටන් කලාව


මේ වන විට මා කිහිප ආකාරයකින්ම උත්සහ කලේ බෞද්ධයකු ලෙස ප්‍රශ්නයට පිළිතුර සෙවිය යුත්තේ ඥාන ශක්තියෙන් මිස කාය ශක්තියෙන් නොවන බව පෙන්වීමයි. බුදු දහමේ ශක්තිය ඇත්තේ ඒ හා කැටිවූ ඥාන සම්භාරය තුලයි. වසර දහස් ගණනක් තුල බුදු දහම රැකුණේ බුද්ධියේ බලයෙන් මිස අවියේ බලයෙන් නොවේ.

එහෙත් ඉස්ලාම් ධර්මය බිහිවූ දා සිට එය මුලිකවම පැතිරුනේ අවියේ ශක්තියෙනි. මේ නිසා අද ඔවුන් රණ ශක්තියෙන් බෞද්ධයාට වඩා වට ගණනාවක් ඉදිරියෙන් සිටියි. බෞද්ධ සමාජයේ තරුණ ජවය මෙය වටහා ගැනීමට අකමැතිය. එහෙත් අකමැත්තෙන් වුනත් අප වටහා ගත යුතු යථාර්තය මෙයයි.

අනෙක් අතට අන් බොහෝ ආගමිකයන්ට වඩා බුද්ධිමය ශක්තියෙන් බෞද්ධයා ගව් ගණනක් ඉදිරියෙනි. තමන්ගේ ශක්තිය වටහා නොගෙන අනුන්ගේ ශක්තිය වැඩි මාධ්‍ය යුද්ධය සඳහා තෝරා ගන්නේ අඥානයෙකි.


අපි ඉන්නා තැන කොතැනා



මොහොතකට අපගේ ජාතික ප්‍රෞඩත්වය පසෙක තබා අප අද ලෝක ගෝලයේ කොතැනක සිටීදැයි විමසා බලමු. දශක 6ක් තිස්සේ සිදු වූ යම් යම් වැරදි දේශපාලනික තීරණ හේතුවෙන් ලාංකිකයා අද සිටින්නේ පුලන්නකුගේ තත්වයෙනි. පුලන්නා යනු හොඳින් හැඳ පැළඳ ගත් තමා හිගන්නෙක් යැයි පෙන්වීමට අකමැති හිගන්නෙකි.

අප රටට වැඩිම (හෝ දෙවැනි වැඩිම) ආදායම ලැබෙන්නේ මැද පෙරදිග සිටින කම්කරු-ගෘහ සේවිකා රකියාවන්ගෙනි. මැද පෙරදිග බළධාරීන් ශ්‍රී ලංකිකයන්ට රැකියාව කල නොහැකි යැයි හෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට සේවය සඳහා තම රටට පැමිණීමට නොහැකි යැයි අණ පනත් පමුණුව හොත් රටට යන කල දසාව කුමක් ද? අණ පනත් නැතත් මෙම රටවල වැඩි ප්‍රතිශතයක් සිටින මුස්ලිම් භක්තිකයින්, ලාංකික බෞද්ධයන්ට හිරිහැර සිදු කරන්න පටන් ගත්තොත්? එය ලක්ෂ ගණනක් මැද පෙරදිග රැකියා කරන සිංහල බෞද්ධයන්ට මාරාන්තික පහරක් වනු ඇත. දැනටත් මෙවන් අවදානමක සේයා මතුවෙමින් පවතින බව මැද පෙරදිගින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

මුහුණු පොතේ යටිගිරියෙන් හඬ නගන මුස්ලිම් විරෝධී බලකාය මේ අපේම සහෝදර සහෝදරියන්ගේ අනාගතය ගැන බිඳුවක් වත් සිතනවාද? ඔවුන්ට රැකියා නැති වුනොත් ඔවුන්ගේ පවුලකට කන්න බොන්න දෙන්න එක් එක් මුහුණු පොත් වීරයා බාර ගන්නවාද?

පැවති හැම රජයක්ම කලේ ජනතාව රවටමින් ඔවුන් තුල බොරු ආඩම්බරයක් ජනිත කොට ලොව පුරා හිගා කෑමේ යාමයි. ඒ අතින් පවතින රජය මා දකින විදියට බිහිවූ දක්ෂතම පුලන්නාය. 

මේ වන විට රටේ බහුතරයක් සිතා සිටින්නේ රජය සහ ජනාධිපති වරයා ඉදිරියේ ලෝකයම දණ ගසන බවකි. එහෙත් රටින් පිටතදී අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ ඔවුන් ඉතාම නිවට නියාලු ස්වභාවයක් පෙන්වයි. ජනාධිපතිවරයා සමග විදේශ ගතවන පිරිවරෙන් කෙනෙකු සමග අවංක කතා බහක යෙදෙන කෙනෙකුට මා කියනදේ මැනවින් වැටහෙනු ඇත.

අප පැහැදිලිවම වටහා ගත යුත්තේ ලෝකයෙන් පරිබාහිරව අපට පැවැත්මක් නැති බවයි. ලෝක බැංකුවෙන් ගත්තත්, චීනෙන් ගත්තත්, රුසියාවෙන් ගත්තත්, බ්‍රික් බැංකුවෙන් ගත්තත් අපේ රට දුවන්නේ පොළියට ගන්නා ණය වලිනි. අප පොළිය ගෙවන්න, පොලියට ණය ගන්නා රටක් බව අමතක නොකළ යුතුය.

අප බෞද්ධයා වෙනුවෙන් අරඟල කල යුත්තේ මෙම පසුබිම මැනවින් තේරුම් ගෙනයි.

දුබලම පුරුක



සිංහල බෞද්ධයාට ආර්ථික, දාරක හෝ ආක්‍රමණ ව්‍යාප්ත වාදයන්ට මුහුණ දීගත හැකි නොවන ප්‍රධානම කාරණය තේරුම් නොගෙන කුමන මතවාද, ක්‍රියාමාර්ග ඉදිරිපත් කලත් ඵලක් නැත. 

අප හොඳින් තේරුම්ගත යුතු සිංහල බෞද්ධයාගේ දුබලම පුරුක නම් ආර්ථික තත්වයයි. දැවෙන ආර්ථික තත්වය හේතුවෙන් මධ්‍යම පන්තිය හා ඉන් පහළ සිංහල බෞද්ධ ජනතාව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරයි. අද අපි සාකච්ඡා කරන බොහෝ කාරණා වලට පාදක වන්නේ මේ තත්වයයි.

බෝබසේ ඇතුළු පසුගිය සමයේ බිහිවූ බෞද්ධාගම වෙනුවෙන් සටන් කරනවා යයි කියා ගන්නා බොහෝ දැඩි මතවාදීන් මුලික වශයෙන්ම සෝම හිමියන්ගෙන් වෙනස් වන්නේ මේ කාරණයේදීය (වෙනත් කරුණුද රාශියක් ඇත)

සිංහල බෞද්ධයාගේ එකම ගැලවුම් කරු යයි කියා ගන්නා බොහෝ පරපුටුවන් ප්‍රශ්නයේ මුල, මැද, අග පටලවාගෙන දගලද්දී සෝම හිමිපාණෝ පමණක් ඉතා නිවැරදිව හා තර්කානුකුලව කලයුතු දෙය ඉදිරිපත් කළෝය. සෝම හිමියන්ගේ අකල් නික්ම යාමත් ඒ වෙනුවට කරලියට බට චීවරධාරින්ට නොර්වේ ආදී රටවලින් නොමසුරුව කාසි ලැබීමත් අප තේරුම් ගත යුත්තේ මේ පසුබිම තුලයි. 

අදටත් බෝබසේ, රාවණා බලකාය වැනි සංවිධාන වලට වෙබ් පිටු පුරා සහය පල කරමින් කොමෙන්ටු වැටෙන්නේද, ඔවුන් පසු පස ඉබාගාතේ දිවයන පිරිසක් සිටින්නේද සෝම හිමියන් ප්‍රශ්නයේ ස්වභාවය තේරුම් කර දුන් නිසාවෙනි. සිංහල බෞද්ධයා අද පත්ව ඇති දුක්ඛිත තත්වයත්, සමහර ප්‍රදේශවලදී මුස්ලිම් වරුන් අතින් ඔවුන්ට සිදුවන ගැහැට පිළිබඳවත් ඥානසාර හිමි මයික්‍රෆෝනය දෙදරන්න කෑගසන විට "අනේ ඇත්ත නෙන්නම්", කියා වැඩි දෙනෙකුට සිතෙන්නේද සෝම හිමි කල සිත් අවදිය හේතුවෙනි.

එහෙත් මෙම සංවිධාන එතැන් සිට රටේ තරුණ පෙළ රැගෙන යන්නේ හිතා මතා හෝ නොසිතා උතුර දකුණ මාරු කල දිශාවකටයි. නැවත පැමිණීමක් නොපෙනෙන අගාධයක් වෙතටයි.

සිංහලයාගේ ආර්ථිකය වැටුණේ ඇයිදැයි සොයා බැලීමට පෙර, පවතින බෞද්ධ යයි කියා ගන්නා සංවිධාන සහ ඒවායේ නායකත්වය දරණ චීවරධාරීන් රටට දෙන පණිවිඩවල යථාර්ථය තේරුම් ගන්න උත්සහ කරමු. 

දන් දීමට දරුවන් හැදීම  


ආර්ථිකය දුර්වල වන විට දරුවන් සැදීම ප්‍රශ්ණයකි. දරුවන් නඩත්තු කිරීමද ප්‍රශ්නයකි. මේ නිසා සිංහල බෞද්ධයා දරුවන් ගණන සීමා කිරීමේ ව්‍යාපෘතිවලට ඉත සිතින් සහයෝගය පල කළේය. මේ හේතුවෙන් සිංහල බෞද්ධයාගේ ජනගහන වර්ධනය ඉස්ලාම් වර්ගයාට වඩා පස්සට ගියේය. 

බෝබසේ සහ රවණා බලකාය වැනි සංවිධාන මෙම තත්වයට දෙන විසඳුම කුමක්ද? 

හැකිතරම් දරුවන් වදන්න යැයි සිංහල පවුල් වලට අණ කරයි. කාන්තා සායන වලට කඩා පැන මවුවරුන් බිය වද්දා එළවා දමයි. භික්ෂුවකට නොතරම් පහත් භාෂාවෙන් සිංහල බෞද්ධ පියවරුන්ට බැන වදී.

ආර්ථිකය වර්ධනය නොවී පැටවුන් බෝ කිරීමෙන් බුද්ධාගමට සුගතියක් වෙයිද?

කටුබැද්දේ මොල්පේ ප්‍රදේශයේ පන්සලක (අපේ ගමේ පන්සලේ) ඉතා සුමදුරව ධර්ම දේශණා කල හැකි වයස අවුරුදු 25  පමණවූ හාමුදුරු නමක් වැඩ වාසය කළේය. දකුණේ ඉතා දිළිඳු පවුල් පසුබිමකින් පැමිණ ඇති මේ ස්වාමින් වහන්සේ ප්‍රදේශයේ කාගේත් සිත් දිනාගෙන සිටියේය. අපි සැවොම එතුමාගේ ඉගෙනීම් කටයුතු වලට හැකි පමණින් උදව් කළෙමු. 

එකවරම මෙම ස්වාමින් වහන්සේ පන්සලෙන් අතුරුදහන් විය. තමා ගැන නොසොයන ලෙස ලිපියක් ලියා තබා ගොස් තිබුනද නායක හාමුදුරුවෝ ඇතුළු දායක පිරිස මේ පිළිබඳව පොලිසියටද පැමිණිලි කළහ. මේ නික්ම යාම පිලිබඳව නොයෙකුත් කටකතා සහ රසකතා පැතිර ගිය අතර මාස කිහිපයකට පසු ගමේ වැඩිහිටියෙකුට වෙනත් ප්‍රදේශයකදී මෙම ස්වාමින් වහන්සේ (වෙනත් ස්වරූපයකින්) මුණගැසීමෙන් පසු කාගේත් දෑස් හැරෙන්නට විය.

ගමේ වැඩිහිටි තැනැත්තාට නැවත මුණගැසෙන විට ස්වාමින් වහන්සේ, ස්වාමි කෙනෙකි, නොඑසේ නම් පාශ්ටර්වරයෙකි. එතුමාගේ විවරණයට අනුව යම් ක්‍රිස්තියානි සංවිධානයක් විසින් මෙතුමාට පාශ්ටර්වරයකු වන ලෙස ඉල්ලීමක් කර ඇත. ඒ සඳහා ගමේ සිටින එතුමාගේ පවුලට මිලියනයක් පමණ වටිනා නිවසක් තනා දීමට ඔවුන් පොරොන්දු වී ඇති අතර, එතුමාගේ සොහොයුරන් දෙදෙනාට සහ සොහොයුරියට රැකියා අවස්ථා සලසා දී ඇත. මීට අමතරව පවුලේ නඩත්තුව සඳහා එම ක්‍රිස්තියානි නිකාය මසකට රුපියල් 10,000 ලබා දෙන බවද එතුමා පවසා ඇත. ඒ වන විට ඔහු ගේ පවුලේ අය පමණක් නොව එම ගමේද වැඩි පිරිසක් මෙම ක්‍රිස්තියානි ධර්මයට හැරී ඇත. 

මා හොඳින් දන්නා ආකාරයට මේවන විට බලපිටිය, කොස්ගොඩ, බෙන්තර, ඇල්පිටිය, රත්ගම ආදී නම් දැරු බෞද්ධ ප්‍රදේශ වල පවා ගම් පිටින් නොයෙකුත් ක්‍රිස්තියානි දර්ශනවලට පරිවර්තනය වෙමින් පවතී. මෙයට ප්‍රධාන සහ එකම හේතුව දරිද්‍රතාවයයි.

දැන් ඔබම සිතන්න.........

ආර්ථිකය ගොඩ ගන්නේ නැතුව ළමයි වැදීමෙන් සිංහල බෞද්ධයාට සුගතියක් වෙයිද? සිදුවන්නේ වෙනත් ආගම් වලට ළමයි හදන මැෂින් බවට බෞද්ධ මවුවරු පත්වීම නොවේද?

මීට අමතරව, බෞද්ධ යයි කියා ගන්නා, සොරු, මංකොල්ල කරුවෝ, ජාවාරම් කරුවෝ, තක්කඩියෝ, අපතයෝ බිහි වීමෙන් බුදු දහමට හෝ රටට යහපතක් වෙයිද?

ඉස්ලාම් ධර්මයට හෝ මුස්ලිම් සමාජයට මේ පිළිබඳව වගක් නැත. ඔවුන්ට අවශ්‍ය හැකි පමණ මුස්ලිම්වරුන් බිහි කිරීමටය. අද වනවිට බහුතරයක් මුස්ලිම් රටවල සිදුවන මිනිස් සංහාර සහ කෘරතර ක්‍රියාදාමයන් මෙම ඉවක් බවක් නොමැතිව පැටවුන් බෝ කිරීමේ ආදීනවය. බෝබසේ, රවණා බලකායන් කියන්නේ අපටද එතනට යන ලෙසය.

වලිගයට ගිනි තබා ගැනීම


ලංකික මුස්ලිම් ව්‍යාපාරිකයෙක් බංකොලොත් වුවහොත් එහි අවසන් අලාබය කාටද? ලාංකික මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ කඩයක් ගිනි තැබීමෙන් අවාසිය සිදුවන්නේ කාටද? 

පිළිතුර නම් මුළු ලංකාවටම බවයි.

හිමිකරුවන් මුස්ලිම් වරුන් වන, බ්‍රැන්ඩික්ස්, ජෆාර්ජිස්, මුසාජීස්, අක්බාර් බ්‍රදර්ස්, වැනි විශාල ආයතන ප්‍රමාණයක් හරහා සිංහල බෞද්ධ ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ලාංකිකයන් පිරිසකට රැකියා හිමිවී ඇත. එමෙන්ම මෙම ආයතන මගින් රටට ලැබෙන ආදායමද සුළු පටු නොවේ. බහිරා ෆාම් කාරයාගේ සිට වලේ තම්බි කඩේ මුදලාලි දක්වා මුස්ලිම් ව්‍යාපාරිකයන් සේවය ලබාදෙන්නේ සියලුම ලාංකිකයන්ටයි. 

ඔවුන් විනාශ කිරීමෙන් විනාශ වන්නේ මුළු ලාංකික සමාජයමයි. මේ බව තේරුම් ගන්න සිංහල බෞද්ධයාට අපහසු නම් එය ජාතියේ කරුමයයි. 

මා මෙය දකින්නේ තමන්ගේ වලිගය තමන් විසින්ම ගිනි තබා ගැනීමක් ලෙසටයි.

සෝම හිමිට-ඥානසාර හිමිට බය කවුද?


මා නැවතත් ඔබව සෝම හිමි ඉදිරිපත් කල දර්ශනය වෙතට ගෙන යන්නම්. එතුමා පැවසුවේ සිංහලයා ආර්ථික වශයෙන් ශක්තිමත් වී ඉස්ලාම් ආර්ථික ශක්තිය අභිබවා යායුතු බවයි. ඉස්ලාම් ආර්ථිකය ශක්තිමත්ව පවතින අතරම සිංහල බෞද්ධ ආර්ථිකයට එය ඉක්මවා යා හැකි නම් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් බිම හෙළිය හැක. එක පැත්තකින් රටේ ආර්ථිකය ඉහල ගොස් සියලු දෙනාටම සැනසුමෙන් සිටිය හැකි සුබදායක පරිසරයක් බිහිවෙනු ඇත. අනෙක් අතට සිංහල බෞද්ධයාට ඉදිරියට පැමිණ තම වර්ගයා රැකගත හැකි පසු බිමක් සැකසෙනු ඇත.

සෝම හිමිගේ අනෙක් අභිප්‍රාය වුයේ ගුණ ගරුක, පන්සලට ලැදි තරුණ පරපුරක් බිහි කිරීමය. එතුමා නික්ම යන කාලය වන විට රට පුරා එතුමා පැතූ බෞද්ධ සමාජය බිහිවෙමින් පැවතුණි. 

එදා බෞද්ධයෝ මෙන්ම අන්‍ය ආගමිකයෝද එතුමාගේ බණ ශ්‍රවනය කිරීමට පුරු දු වී සිටියෝය. සාමාන්‍ය අන්‍ය ආගමික ජනතාව එතුමාට ආදරය කළේය.  එතුමා වෙතින් හමන බෞද්ධ ගුණ ධර්ම අගය කළේය. එහෙත් අන්‍යාගමික නායකයෝ එතුමාට බිය වුහ. බෞද්ධ දර්ශනය තුල ඇති හරය කෙරේ සාමාන්‍ය අන්‍යාගමික ජනතාව පැහැදෙනවාට ඔවුන් කිසිසේත් කැමති වුයේ නැත. එතුමාගේ ධවල විප්ලවය තම ආගම් වලට මරු පහරක් බව ඔවුනට දැනෙන්න ඇත.

මෙදා ඥානසාර හිමිගේ විප්‍රකාර වලට සාමාන්‍ය අන්‍යාගමික ජනතාව බියෙන් සලිත් වී ඇත. කුමන අවස්තාවක තම ගෙවල් දොරවල් වලට ගල් පහර වදී දැයි ඔවුහු සැකයෙන් සිටිති. එහෙත් අන්‍යාගමික නායකයන්ට මේ බෝබසේ ඇතුළු අනෙකුත් සංවිධාන වල විසුක දස්සන නෙතට රසඳුන්ය. ඥානසාර බලකාය මේ විනාශ කරන්නේ බෞද්ධයාගේ ශක්ති මූලය බව ඔවුන් දනී. මේ විප්‍රකාර වලට එරෙහිව අන්තර්ජාතික ප්‍රජාවගේ පමණක් නොව රට තුලින්ම බෞද්ධ ජනතාවගේද විරෝධය පළවන බව ඔවුන් මැනවින් පසක් කරගෙන ඇත. 

මෙය ඔවුනට දෙආකාරයකින් වාසි සහගතය. එක අතකින් බුදු දහම විනාශ වනවා මෙන්ම අනෙක් අතට තම වර්ගයා තව තවත් එක් රොක් කර ගැනීමටද මෙම තත්වය ඉවහල් වේ. 

මල් වට්ටිය දෝතින් ගෙන දැහැමි සිතින් බුදු පුදට පිය නගන සිංහල බෞද්ධ තරුණයා දකින විට අන්‍යාගමික නායකයෝ සලිත වෙති. 

පොලු මුගුරු අතින් ගෙන සැහැසි බස් දොඩමින් හාමුදුරු වීරයා පසු පස දුවන සිංහල බෞද්ධ තරුණයා දකින අන්‍යාගමික නායකයෝ ප්‍රීතියෙන් පිනා යති. 

මේ යථාර්තය තේරුම් නොගන්නා තාක් කල් අප අගාධයට ඇදෙන වේගය වැඩි වනු ඇත.  



    



       

11 comments:

  1. ලිපිය අතිවිශිෂ්ට බව මුලින්ම කියමි.බටහිර ක්‍රිස්තියානි ලෝකය මුස්ලිම්වරුන් සමඟ සටන් කරන්නේ බාහුවේ හයියෙන් නොවේ.එසේ කරනවානම් ඔවුන්ට මුස්ලිම් ලෝකයම සුන් කිරීමට තරම් අවි බලයක් ඇත.එහෙත් ඔවුහු මොළයෙන් වැඩ ගනිති.අද මැදපෙරදිග සිදුවන්නේ සුන්නි ශියා සටනකි.සවුදි අරාබියේ ඉස්ලාමීය කාල්ෆ් රාජ්‍යයේ සතුරා ශියා ඉරානයයි.ඊශ්‍රායලය නොවේ.මට හිතෙන හැටියට ඊශ්‍රායල් ඇමරිකා සැලැස්ම වී ඇත්තේ ඉස්ලාමීය රාජ්‍ය හා ඉරානය අතර දිගුකාලීන ගැටුනක් නිර්මානය කිරීමයි.සවුදියේ ඉස්ලාමීය හරයන් විනාශකිරීම ඊට සමගාමීව කෙරේ.

    ශ්‍රී ලංකාවේ අපි මේ ප්‍රශ්නයට චන්ඩිකමින් උත්තර සෙවීම අමු ගොන් කමකි.අරාබි ආර්ථිකය මත යැපෙන අපට එවැනි ශක්තියක්ද නැත.ඉස්ලාමීය ව්‍යාප්තවාදයට එරෙහිව ඔවුන්ගේ දුර්වල තැන්වලින්ම පටන් ගත යුතුය.
    කවුරු කොහොම කිව්වත් මුස්ලිම් තරුණයා මෙන්ම මුස්ලිම් කාන්තාවද ඉන්නේ අසහනයෙනි.මුස්ලිම් තරුණයන් හා කාන්තාවන් ඉලක්ක කරගත් වැඩසටහන් හරහා මෙය කළ හැක.කොටි පැරදවීමට කරුනා බැංකොක් එක්කගෙන ගිය හැටි සිහි කරන්න.
    විනෝදය මූලික කොටගත් වැඩසටහන් තුලින් ඊට ඉඩ නොලැබෙන මුස්ලිම් පල්ලිය ගැන තරුණැයන්ට අප්‍රසාදයක් ඇතිවේ.එවිට ඔහු ප්‍රතික්ෂේප කරන්නේ සමස්ත මුස්ලිම් හර පද්ධතීන්ය.
    අලුත් පැෂන් කරන මුස්ලිම් කෙල්ලට පල්ලියේ අන්තවාදීන් නෝක්කාඩු කියන විට වලිය යන්නේ එම කෙල්ලගේ පියා සහ සහෝදරයින් හා පල්ලිය අතරයි එය මුස්ලිම් මුස්ලිම් ගැටුමකි.අවශ්‍ය නම් අපට පැත්තක සිට ආරාවුල් නිරවුල් කරන්නාගේ භූමිකාව රඟ දැක්විය හැක.
    ඥානසාර කරන පිස්සු වැඩ නිසා දැන් මධ්‍යස්තව සිතන මුස්ලිම් තරුනයෝද පල්ලිය හා එක්වී සිටිති.

    ReplyDelete
  2. ඉතා හොඳින් ලියා ඇති ලිපියකි.

    ReplyDelete
  3. Great ! waiting for the next part !!!

    ReplyDelete
  4. ඔබේ විශ්ලේෂණය විශිෂ්ටයි..චන්දිම!!!

    ReplyDelete
  5. ඔබගේ මෙම ලිපිය මා කියවූ විශිෂ්ඨම පැහැදිලි කිරීම් වලින් එකකි. පසු ගිය දශකය තුල සිදු වූ ඉස්ලාම් වාර්ගික සහ ආගමික ව්‍යාප්තිය සහ මුලධර්මවාදී පාර්ශවයට නැඹුරුවීම අප කම්පනයට ලක් කරවන තරම් විය. මෙම ව්‍යාප්තිය වැලැක්වීම සඳහා මෙතෙක් මෙරට සාමාන්‍ය බොදුනු ජනතාව අසාර්ථක සහ අසංවිධිත ක්‍රමවේදයන් තුලින් කිසිදු ජයග්‍රහණයක් ලබා නැති තරම්ය.
    වත්මන් කතෝලික කාදිනල් වරයා කොළඹ සිට මිගමුව දක්වා ඉස්ලාම් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා භාවිත කළා යයි කියවෙන ක්‍රම වේදයක් ගැන පසුගිය කාලයේ අසන්නට ලැබුණි. එනම් එම කලාපය තුල සිටි දුගී කතෝලික ජනතාවට ඇතිකිරීමට ඌරන් ලබා දීම සහ අවට කතෝලික ප්‍රජාව ගේ එකඟතාවයද ඇතිව එම සතුන්ට නිදහසේ සැරිසරන්නට අවකාශ ලබා දීමයි. එම ප්‍රජාවගේ ආගමික සහ අනෙකුත් උත්සව අවස්ථාවන් සඳහා අදාල මස් එම සතුන්ගෙන් ලැබුණු අතර එතරම් අසංකීර්ණ ක්‍රමයක් ඔස්සේ දිගුකාලීනව පවත්වාගත හැකි ආර්ථික චක්‍රයක් ද නිර්මාණය කෙරුණි. මෙය කෙතරම් සාර්ථක වුනි ද යත් පකිස්ථානයේ සිටි කතෝලික සරණාගතයන් මෙරටට ගෙනවිත් පදිංචි කරවන්නට තරම් භුමිය ලැබුණු බව මට දැනගන්නට ලැබුණි. ඉස්ලාම් භක්තිකයින් තුල එම සතුන් කෙරෙහි පවත්නා නොකැමැත්ත ඉතා සාර්ථක ලෙස එහිදී භාවිත කර තිබුණි.
    අපගේ බොදු පරිසරය සතුන් ඇති කිරීම සහ මස් මාංශ අනුභවය අනු නොදක්වන බැවින් ඉහත ආකාරයේ වෙනත් පාලන ක්‍රමයක් සොයාගන්නේ නම් යහපත් බව සිතමි. මේ සඳහා කිසිදු දේශපාලකයින් කිසිවක් මේ දක්වා කිසිවක් නොකෙරු අතරම ඉදිරියේදීද සිදු නොවනු ඇත. පවත්නා ක්‍රමය තුල මෙම අවදානම දැකීමට තරම් දැන උගත් අය අපගේ දේශපාලන පක්ෂ කිසිවක් තුල ඇතිවීමට ඉඩකඩ නොපවතී..
    නොමේරු, බොළඳ ප්‍රචණ්ඩත්වය මෙම ගැටළුව පමණක් නොව බොහෝ ගැටළු විසඳීමට ඇති අසාර්ථක සහ හානිදායක බැවින් අධිකම ක්‍රම වේදයයි. එය මහා හඬක් හගන අතරම ප්‍රචණ්ඩත්වයට ලක්වන්නා කෙරෙහි අනුකම්පාවක් ඇතිකරවයි..........
    ඔබගේ ලිපිය අවසානය දක්වා කියවීම මෙම ගැටළුව පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති කරවයි..........

    ReplyDelete
  6. මා මාගේ ජීවිත කාලයේ කියවපු ක්‍රමානුකුලව නිවැරදිව පෙලගස්සවා තියන ලිපියකි මේ.

    ReplyDelete
  7. මෙය සියළු ශ්‍රි ලංකික බෞද්ධයකුම කියවිය යුතු ලිපියකි. පර්යේෂකයෙකු ලෙස ඔබ සතු පරිචයටම අනුව පුළුල් තාර්කික කරුණු මෙන්ම රසවත් උදාහරණ සහිතව ඔබගේ මතය සනාතකොට ඇත. මෙය මුද්‍රිත මාධ්‍යක පළකල හැකිනම් බොහෝදෙනෙකුට කියවිය හැකිය. එසේ නොමැතිනම් වගකිවයුතු පාර්ශව කිහිපයකගේ හෝ අතට පත්කරිම ඉතා සුදුසුය. වෘත්තිමය ලියන්නෙකු නොවුවද ඔබට රහට ලියන්නට නිසග හැකියාවක් ඇත. මා ඔබට සුභ පතමි

    ReplyDelete
  8. නිවැරදි විග්‍රහයකි. බෞද්ධයාගේ ආර්ථික සහ සමාජීය දර්ශණය බුදුදමට අනුකූල නොවීම මීට හේතුවයි.

    බුදුන් වහන්සේ පෙන්වාදුන් ආර්ථික න්‍යාය බෞද්ධයා තුල නොව මුස්ලිම් ජාතිකයන් තුල ඇති බැවින් ඔවුන් මෙලෙසින් ආර්ථික දියුණුව ලබති.

    මේ මගේ ඒ පිළිබඳ ලිපිය.

    http://adahasawakashaya.blogspot.com/2016/08/blog-post_19.html

    ReplyDelete
  9. අති විශිෂ්ඨයි sir! මුහුණු පොතේ බෙදා හැරියෙමි.

    ReplyDelete