Saturday 31 December 2022

ව්‍යාකූල 2023 ලංකාව


වසර 2022 නිම වන්නේ දේශපාලන-පක්ෂ ගැති බොහෝ ලාංකිකයන් විශාල ව්‍යකුලත්වයකට පත්කරමින් බව පෙනෙයි. වඩාත්ම ව්‍යකුලත්වයකට පත්ව ඇත්තේ රාජපක්ෂ ගැති පිරිසයි. එය මහාචාර්ය නලීන් ද සිල්වාගේ සිට පොල් කඩන ජෙමා දක්වා විහිදී යයි. රාජපක්ෂ ගැත්තන්ගේ (රාජපක්ෂ රෙජිමයට චන්දය දුන් සියල්ලන් මේ වර්ගීකරණයට අයත් නොවේ) මූලික ලක්ෂණය නම් සිංහල-බෞද්ධ යනුවෙන් ඔවුන් ගොඩනගා ගෙන ඇති සංකල්පය රාජපක්ෂ රෙජීමයට අනුයාත කිරීමයි. එසේම රනිල් ප්‍රමුඛ එජාපය මීට ප්‍රතිවිරුද්ධ පසට ඔවුන් දමා තිබුණි. දැන් සියල්ල පැටලී ඇත. අනාගතයේදී එජාප-පොහොට්ටු ඒකාබද්ධ වේදිකා තැනෙන්නට ඉඩ ඇත. මේවා ඉදිරියට යාමට එජාප ගැත්තන් කෙසේ වෙතත් රාජපක්ෂ ගැත්තන් හිත හදා ගන්නේ කෙසේදැයි මට සිතාගත නොහැක.

පක්ෂ ගැති වීම තුල මිනිසුන්ගේ තර්ක ඥානය කෙතරම් පහතට ඇද වැටේදැයි මට වැටහුනේ ඇමරිකාවේ වෙසෙන උගත් යයි සම්මත ස්ථරයට අයත් ලාංකිකයෙක් පල කර තිබූ පෝස්ට් එකක් දුටු විටය. අධිවේගී මාර්ග, නෙලුම් කුළුන, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, බලාගාර ආදියට එරෙහි වුවන් LRT ව්‍යාපෘතිය නැවත්වීම පිළිබඳව එරෙහිවීම ගැන ඔහු අවලාද නගා තිබුණි. මිනිසුන් එරෙහි වුයේ රාජපක්ෂ ව්‍යාපෘතිවල කුමන කරුණු අරඹයාද, LRT නැවත්වීමට ඔවුන් විරුද්ධ වන්නේ කුමන කරුණක් අරඹයා ද කියා සිතා ගැනීමටවත් නොහැකි තරමට ඔවුන්ගේ බුද්ධිය රාජපක්ෂ ගැති බාවය විසින් මොට කර ඇත. ඒ ගැන තව දුරටත් කතා කිරීම ඵල නැත. වසර 2023දී ඔවුන් තවත් ව්‍යාකුල වනු ඇත. ඒ රටේ දරුණු බිඳ වැටීමේ අයිතිය කාට පවරන්නදැයි ඔවුන්ට සිතාගැනීමට නොහැකි වීම නිසයි. 

UNP කාරයාට ව්‍යාකුලවන්නට තරම්වත් සිදුවන දේ පිළිබඳව හැඟීමක් ඇතැයි මම නොසිතමි. මට හිතෙන ආකාරයට ඔවුන්ට එකවරම ලොතරැයියක් ඇදුනා  වැනි හැඟීමක් පහළවී ඇත. රනිල් වික්‍රමසිංහ විසින් කරන්නේ අනාගතය විකුණා වර්තමානයට කන්න දීම බව UNP කාරයන්ට තියා බහුතරයක් පොහොට්ටුවන්ටවත් තේරෙන්නේ නැත. ඔවුන් කෙටි කාලීන සහනය සැපතක් කරගෙන ඇත. ඇත්තෙන්ම මේ ගෙවෙන්නේ කලින් තිබුනටත් වඩා භයානක කාල පරිච්චේදයකි. ඔබට මා කියන්නේ කුමක්දැයි හෙට සිටම අවබෝධ වනු ඇත. මන්ද 2023 ඇරඹෙන්නේම අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවයේ විශාල රික්තයක් ඇතිකරමිනි. 

පොහොට්ටුවේ අනුකණ්ඩ (මෛත්‍රී කණ්ඩායම, වීරවංශ කණ්ඩායම, ඩලස් කණ්ඩායම ආදිය) මේ වන විට බහුරූ කෝලම් මඩු පවත්වමින් සිටිති. ඔවුන්ගේ තත්වය "ව්‍යාකුල" යන වදනින් විස්තර කල නොහැක. එය ඇත්තටම ජංජාලයකි. ඊට වඩා ඒ ගැනත් කතාකළ යුතු නැත. ඔවුන් වේගයෙන් අභාවයට යන දේශපාලන සත්වයන් විශේෂයකි. බොහෝ විට 2023දී ඔවුන් කොතැනකට හෝ සක්කයක් ගැසීමට ඉඩ ඇත.

සජබය පත්ව ඇති තත්වයද අනුකම්පාසහගතය. එය දැන් එඩේරා රා බී වෙරිවූ ගව රැලක් බඳුය. සජිත් යනු දේශපාලන විඥානය ඉතා පහල මට්ටමක පවතින පුද්ගලයෙකි. ඔහු ලාංකික හද ගැස්ම උඩු යටිකුරු කර තේරුම් ගන්න උත්සහ කරයි. අඩුම ගණනේ ඔහුට ලාංකිකයා ආකර්ෂණය කර ගත හැකි  "සරලකම" කුමක්ද කියාවත් තේරුම් ගැනීමට නොහැකි වී ඇත. ඔහු නිකම්ම නිකන් පවුඩර් බබෙකි. සජබයේ සිටින අනෙක් පළමු පෙළ නායකයන් තම නායකයාගේ මේ දුර්වලකම අවබෝධ කරගෙන ඇති සේයකි. හිරුණිකා, SF, පාඨලී, ඉරාන්, හර්ෂ වැනි අය මේ වන විට තමන්ට කියා අනන්‍යත්වයක් ගොඩනගා ගනිමින් පවතී. එහෙත් ඔවුන් කිසිවෙක් තවම ජාතික මට්ටමේ නායකයන් ලෙස ජනතාව හඳුනාගෙන නැත. මේ තත්වය අනුව සජබ පාක්ෂිකයා මේ වන විට දැඩි අර්බුදයකට මැදිවී සිටියි. මේ වන විට ඉතාම අඩුවෙන් සමාජ මාධ්‍ය හරහා දේශපාලනය කතා කරන්නේ ඔවුන්ය. බොහෝ විට 2023දී ඔවුන් තවත් නිහඬ වනු ඇත.

තවත් ව්‍යකුලත්වයට පත් වූ කණ්ඩායමක් වන්නේ පෙරටුගාමී පක්ෂයයි. තමන් ගැන අධිතක්සේරුව මොනතරම් භයානකදැයි පෙන්වා දීමට හැකි හොඳම උදාහරණය ඔවුන්ය. මා දන්නා තරමට මේ වන විට පෙරටුගාමී පක්ෂයට නගර සභාවක ආසනයක් දිනාගැනීමත් සෑහෙන අභියෝගයකි. නමුත් ඔවුන් ජන අරගලය තමන්ගේ කරගන්න යාම තුල ඉතා අසරණ තත්වයකට පත්ව ඇති බව වැටහේ. ඔවුන් ජනතා නැගිටීමේ ක්‍රයතාවය සම්පුර්ණයෙන්ම වැරදි ලෙස තේරුම් ගෙන තිබුණි. අරගලය දැවැත්ත මැෂිමක් නම් ඔවුන් එහි කුඩා දැති රෝදයක් පමණක් විය. ඉතා අසාධාරණ ලෙස සිරගත කර ඇති තම සඟයන් බේරා ගැනීමටවත් ඔවුන්ට නොහැකිය. රජයට අවශ්‍ය ආකාරයට දැන් එකිනෙකා ඇතුලට ගනියි. එලියට දමයි. සරසවි වසයි. නැවතත් විවෘත කරයි. පෙරටුගාමින් පෙළපාලි යයි. වසර 2023 දී ඔවුන් තව තවත් දුර්වල වනු ඇත. එය රටේ ප්‍රගතිශීලි බලවේගයන්ට අහිතකර වනු ඇත. භයානකම ප්‍රතිඵලය විය හැක්කේ ඉච්ඡභංගත්වය කරන කොට ගෙන ඔවුන් ප්‍රචණ්ඩත්වයට තල්ලු වීමට ඇති ඉඩ කඩයි.

මේ වන විට ව්‍යාකූල නොවී ඉතා සුක්ෂම සහ සැලසුම් සහගතව රට පුරා සාර්ථක දේශපාලනික මෙහෙවුමක යෙදෙන්නේ ජවිපෙ ඉහල ස්ථරය ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි. අරගලය අවසන්වීමත් සමගම මා පෙන්වා දුන්නේද කල යුත්තේ මෙය බවයි. ජාජබ පිළිබඳව රටේ බොහෝ දෙනෙකුට ගැටළු ඇත. ඒ බොහොමයක් එම පක්ෂයේ මූලිකයා වන ජවිපෙ අතීත ක්‍රියාකාරකම් හා සබැඳේ. මීට අමතරව ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳවද සමහර කරුණු පැහැදිලි නැත. සමහර කාරණාවලදී ඔවුන්ට තාර්කිකව දිනිය හැකි වුවත් ජනතාවට ඔවුන් කියන කරුණ කා වැද්දීමට ඔවුන් තවමත් අසමත්ය. මේ කරුණු කෙසේ වුවත් චන්දයකදී ඔවුන් හැර චන්දය දීමට වෙන කිසිවෙක් නැති තැනට ඔවුන් ජන මනස මෙහෙයවන බව පෙනෙයි. මට සිතෙනා ආකාරයට නම් 2023 ජාතික ජන බලවේගයේ ජයග්‍රාහී වසරයි. මේ වන විට එම ගම්‍යතාවය වෙනස් කිරීමට සමත් පක්ෂයක් හෝ සංවිධානයක් අහලකවත් පෙනෙන්නට නැත. එම ජයග්‍රහණය ඉදිරි වසර කිහිපය කරා ගෙන යා හැකිදැයි අපි බලා සිටිමු.

ජවිපෙ ඉහල ස්ථරය සහ තරුණ නායකත්වය කෙසේ වෙතත් එහි බිම් මට්ටමේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සෑහෙන පිරිසක් තවමත් ව්‍යාකූලව සිටින බව පෙනෙයි. ඔවුන්ව මට සිහිගන්වන්නේ දෙවෙනි ලෝක යුද්ධය අවසන් වී වසර කිහිපයක් යන තෙක් කැලෑ වැදී එකිනෙකා මරාගනිමින් සිටි යුධ සොල්දාදුවන්ය. මේ ජවිපෙ පහලම පෙලට ඉහල සිදුවන පරිණාමය තවමත් ප්‍රක්ෂේපනය වී නැති සැටියකි. ඔවුන් වෙනදා පුරුදු JVP ගැති භාවයෙන් අනෙකුත් පුද්ගලයන් හා ද්වන්ධ මෙන්ම සමුහ සටන් වලටද පිවිසීමට පසුබට නොවෙයි. මේ පිරිස මෙල්ල කරගත්තේ නැත්නම් ජාජබයට 2023 වසරේදී අනවශ්‍ය අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. 

 



11 comments:

  1. මගේ මතය ජේවීපී එක ස්වයන් විවේචනයකින් පසු සුදුසු වෙනස්කම් නොකර, මිනිස්සුන්ගෙ මතය වෙනස් කරන්න යෑම අසාර්තක උත්සාහයක් කියලයි…

    ReplyDelete
    Replies
    1. ජවිපෙ මතය වෙනස් කරගන්න ඕන නෑ ජවිපෙ හැමදාම හරි තීරණය අරගත්තා, හරි තැන හිටගත්තා නමුත් බොලා වගේ මෝඩ යක්කු තමයි ජවිපෙට බලයක් නුදුන්නේ ඒක නිසා තමුන් තමුන්ගේ අවුරුදු 74 ක් තිස්සේ කරපු තකතීරු ගොන් මෝඩ මීහරක් වැඩ ගැන ස්වයං විවේචනයක් කරගෙන තමුන්ගේ ගොන් මෝඩ අදහස් වෙනස් කර ගන්නවා හරිද?

      ඊට පස්සෙ මෙදා සැරේ ලැබෙන මුල්ම මැතිවරණය සීට ජවිපෙ ජාතික ජන බලවේගයට ගිහින් ඡන්ඔය දෙනවා පණ්ඩිත කතා නොකියා, ඊට පස්සේ රටේ පාලනය ගැන සහ විය යුතු දේවල් ගැන ජවිපෙ ජාතික ජන බලවේගය බලාගනී තමුන් මීට කලින් රට හදන්න කියලා ගෙනාපු හරක් කරපු විනාසය පේනවා නේද? ඒ නිසා දැන් ඒ වැරදි නිවැරදි කරන්න ජවිපෙ ජාතික ජන බලවේගයට ඡන්දෙ විතරක් දීලා කට පුප වහගෙන පැත්තකට වෙලා ඉන්නවා ඒ ඇති. තව පඬි ටෝක්ස් එපා.

      Delete
  2. චන්දිම, ඔබ එල් ආර් ටී එක ගැන කතා කර ඇති නිසා ඒ ගැන යමක් සඳහන් කරන්න පුළුවන්.

    ලංකාවේ නව ව්‍යාපෘති වලට සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් පක්ෂ හෝ විපක්ෂ වෙන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලනික න්‍යාය පත්‍රයට අනුව මිසක් හරි හමන් අධ්‍යයනයක නිරත වෙලා නෙවෙයි නෙළුම් කුළුණ මත්තල ගුවන් තොටුපල වගේම තවත් එක් සුදුඅලි ව්‍යාපෘතියක් තමයි ඔය ලංකාවේ ජයිකා ණය ලබා කරන්න හදපු එල් ආර් ටී එකත්

    ඕකේ අඩු පොලී අනුපාත ප්‍රෝඩාවක් තියෙන්නේ ජපන් යෙන් වලින් ණය ලැබෙන නිසා නමුත් ජපානයේ ආර්ථිකය උද්ධමනය ණය පොළිය වගේ දේවල් ගැන හොයල බැලුවොත් ඒ ගැන තේරුම් ගන්න පුළුවන් වෙයි ඊට වඩා ඕකට යන කොස්ට් එක ටූ මච් මොකද බංග්ලාදේශයේ දින දෙකක් විතර කලින් අලුතින්ම විවෘත කල මෙට්‍රො දුම්රිය එම ගමනාගමනය අපහසුවට සලසන්නේ ඉතා කුඩා පිලිසරනක් වෙන්න පුලුවන්. ඒත් ඒ සදහා ගිය වියදම ඉතාමත්ම අධිකයි.

    ලංකාවේ මෙට්‍රො දුම්රිය ව්‍යාපෘතිය ගැන නැගුණු ප්‍රශ්නයත් ඒකයි. වියදම ඉතාමත්ම අධිකයි.

    කොළඹ මෙට්‍රො ව්‍යාපෘතියට යන වියදම ඇ. ඩොලර් මිලියන 2,300 ක් වගේ, මේක ඉතාමත්ම විශාල වියදමක් බව සදහන්වූවා.

    The total project cost for the Phase I was estimated to be 246,641 billion yen (US$ 2.3 billion) 

    https://www.sundaytimes.lk/220130/news/cancellation-of-japan-funded-lrt-project-govt-yet-to-pay-claims-by-consultants-471017.html

    මේක සරලව පැහැදිලි කළොත් මාතර ඉදන් බෙලිඅත්තට දික් කරපු දුම්රිය මර්ගය හදන්නමත් ගියේ ඇ. ඩොලර් මිලියන 278.2ක්. ඒ හරස් මාර්ග 18ක්, පාලම් 12ක්, කල්වර්ට් (බෝක්කු) 49ක්, දුම්රිය ස්ථාන 6ක් ඇතුළත්ව. එහෙව් එකේ මාලඹේ ඉදන් කොටුව දක්වා කිලෝ මීටර් 16 ක් පමණ කෙටි දුරක් මෙට්‍රො දුම්රියක් හදන්න ඩොලර් මිලියන 2,200ක් වියදම් කරනවා කියන්නේ තේරුමක් නැති මහා විසාල අපරාධයක්. විශේෂයෙන් ලංකාව වගේ බංකොලොත් වී ඇති රටක.

    ඒ වගේම කොළඹ මෙට්‍රො ව්‍යාපෘතිය නතර කරද්දී කියපු තව කතාවක් තමයි මුළු ලංකාව වටේම කිලෝමීටර 605ක අධිවේගී මාර්ගයක් ඉදිකරන්න වියදම් වෙන්නෙත් ඩොලර් මිලියන 4,350ක් බව, ඉතින් එකෙන් භාගයක් විතර වියදම් කරලා මාලඹේ ඉදන් කොටුවට කි. මී. 15 -16 ක් පමණ කෙටි දුරකට මෙට්‍රො දුම්රියක් හදන එක මොන විකාරයක්ද කියන එක.

    ඒ වගේම බංග්ලාදේශයේ 28/12/2022 විවෘත කල මෙට්‍රො දුම්රියත් කිලෝමීටරයක් සඳහා ඩොලර් මිලියන 150කට වඩා වියදම් වී තියෙනවා කියනවා. ඒහෙම ගත්තහම ඒ ව්‍යාපෘතියත් අති විශාල වියදමක්. ඒකත් ජපන් අඩු පොලී වුනත් දැවැන්ත ණයක්. ඒ මුදලින් ඒ රටේ දුම්රිය සේවය මුළුමනින්ම විදුලියෙන් දුවවන්න තිබ්බයි කියන අය ඕනතරම් ඒ රටේ ඉන්නවා. බංග්ලාදේශයේ ඕකේ විවේචකයන් පෙන්වා දෙන කරුණු රාශියක් ගැන ලංකාවේ මාධ්‍යවේදීන් කවුරුත් කතා කරන්නේ නෑ.

    අනිත් විශාලම ප්‍රශ්නය දුම්රිය සඳහා අවශ්‍ය බලශක්තිය. බංග්ලාදේශයත් ලංකාව වගේම අධික විදුලි ඉල්ලුමට සාපේක්ෂව බලශක්ති අර්බුදයක ඉන්නේ. එහෙව් එකේ ධකා මෙට්‍රො දුම්රියත් කොරේ පිටට මරේ වගේ වෙයිද දන්නේ නෑ.

    ඉතින් ඔය බංග්ලාදේශය ඉස්සර හිටියේ, තිබුනේ මෙහෙමයි, ලංකාවට වෙච්චි දේ බලන්නකෝ, ඔහොම බයිලා ගහන ඒ අයට දැන් මෙට්‍රො දුම්රියත් තියෙනවා කියමින් හැපිභැපි වැලපෙන මධ්‍යවේදී ඔස්තාර්ලා, එක එකාගේ දේශපාලන ව්‍යාපෘති ගොඩදාන්න කඩේ යන සමාජ මාධ්‍යකාරයෝත් ඔය කලින් කියපු වියදම ගැනවත්, බලශක්ති ප්‍රශ්නය ගැනවත්, බංග්ලාදේශයේ ශේක් හසීනාගේ රජය බංග්ලාදේශය අරන් යන 'ණය මාවතේ දේශපාලනය' ගැනවත් කතාකරන්නේ නෑ.

    ඇත්තටම වලක වැටීම මොලයට ලාභයක් කිව්වට අපේ ඉන්නවුන්ට එහෙම නිනව්වක් නෑ. රෑ වැටුන වලේම දවලුත් වැටෙනවා. දැන දැන වැටෙනවා.... ලංකාවේ සැබෑ අවුල කාඩපක්ෂ හොර පවුලේ වරදක් පමණක්ම නෙවෙයි කියලා තමයි කියන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඕක තමයි වැඩේ මහා විනාශයක් වෙනවා තව ටිකෙන් නන්දසේන ගෝතයා බලන් යනකොට මොළේ පාවිච්චි කරලා ඕක නවත්තන්න කටයුතු කළ එක නරක දෙයක් නෙවෙයි හරියට හොයලා බැලුවොත්...

      ඔය ලංකාවේ එල් ආර් ටී එකත් සමහරු මෙට්‍රො කිව්වට ඕක මෙට්‍රො නෙමෙයි, ලංකාවේ කරන්න හදපු එක සැහැල්ලු ලෝ කැපෑසිටි මොනෝ රේල් එකක්. මෙට්‍රෝ කියන්නේ නිකම් එක රූට් එකකට දාන සොලූශන් එකක් නෙමෙයි, රූට් නෙට් වර්ක් එකක්.

      මේ නන්දසේන එපා කියපු ප්‍රොජෙක්ට් එක කිලෝ මීටර් 16ක විතර එක රූට් එකක් විතරයි. මේකේ ලෑන්ඩ් ඇක්විසිශන් කොස්ට් එක සහ ලංකා ආන්ඩුවෙන් කරන්න ඕනේ වියදම ඇරෙන්න ජපානෙං දෙන ණය මුදලේ ප්‍රමානට ඇමරිකන් ඩොලර් බිලියන් 2.3යි (USD 2,300,000,000/=). ඒක රුපියල් වලින් ගත්තොත් දළ වශයෙන් රුපියල් බිලියන් 805ක් (LKR 805,000,000,000/=).

      ඕකේ ගෙනියන්න පුලුවන් මගීන් විතරයි, ඒ කියන්නේ දවසට උපරිම මගීන් 20,000 ක් ගෙනිච්චා කියමු. රුපියල් 500/= ගානේ ටිකට් කඩලා ඔය 20,000 දින පතා ගෙනිච්චත් ඔය ප්‍රොජෙක්ට් එක රිකවර් කරන්න අවුරුදු 220ක් යනවා.

      කොහෙත්ම වෙන්න බැරි උනත් දවසට මගීන් 100,000ක් රු 500/= ගානේ ටිකට් කඩලා ගෙනිච්චත් රිකවරි එකට අවුරුදු 44ක් යනවා.

      මේ කැල්කියුලේශන් එක කලේ , නඩත්තු වියදම්, සේවක පඩි නඩි, විදුලි බල සහ බලශක්ති පිරිවැය ආන්ඩුවේ කොටස, ඉඩම් අත්පත් කර ගැනීමේ වියදම් 0.00 කියලා උපකල්පනය කරලා.

      ඉතිං මට අහන්න තියෙන්නේ,

      ඔක්කෝටම කලින් , රු 500ක් ගෙවලා , කිලෝ මීටර් 16ක් තරම් කෙටි දුරක් දවස් 365 පුරා පොදු ප්‍රවාහන සේවයක යන්න, ඊට පස්සේ බැහැලා ඉතුරු ටික යන්න වෙනමම විදියක් හොයන්න ලෑස්ති කට්ටිය මුලින්ම අත උස්සන්න බලන්න.

      ඊට පස්සේ අහන්න තියෙන්නේ; රිකවරි එක අවුරුදු 50ක් හෝ ඊටත් වඩා යන ප්‍රොජෙක්ට් එකකට කැමති අය අත උස්සන්න.

      ඔයිට වඩා වටිනවා ඔය සල්ලි වලින් මාසික විදුලිය පරිභෝජනය යුනිට් 1000 පමණ වන කම්හල් වාණිජ ගොඩනැගිලි කර්මාන්ත වගේ ඒවා, පන්සල් සහ ගෙවල් තෝරලා කිලෝ වොට් දහයක් බැගින් ස්ථාන ලක්ෂ දෙකකට 2,000 MW රූෆ් ටොප් ඕෆ් ග්‍රිඩ් සොලාර් ප්ලාන්ට් සිස්ටම් ගෙන්නලා මිනිස්සු අතරේ නොමිලේ බෙදා හරින්න තිබුණා නම්. එහෙම නම් ලංවිම බිලියන ගණනක පාඩුව සහ තෙල් සංස්ථාවේ ට්‍රිලියන ගණනක් වූ පාඩුවේ බර සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන්, ඒ නැතත් අඩුම තරමින් තව ගල් අඟුරු බලාගාර දෙකක් හදනවා. ඒකත් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා නේද? අඩු ගානේ විදුලි බිල වැඩි නොකර ඉන්න හරි තිබුණා නේද?

      ඔය ඩොලර් එක 360 දිගටම තියෙනවා කියලා හිතල. ඩොලර් එක තව depreciation වුණොත් ඕක රිකවර් කරන්න යන කාලය තවත් වැඩි වෙනවා මොකද ගාස්තු සංශෝධනය කරන්නේ ඉඳලා හිටලා යන්තම් පොඩි ගානකින් නිසා... තව වසර පහකින් ඩොලර් එක රුපියල් දාහක් වුණොත්.. එහෙම නේද?

      ඕකේ මුළු ව්‍යාපෘති අදියර සේරටම මතක හැටියට ඩොලර් බිලියන හයක් හතක් විතර, නමුත් ඕකට සේරම ඩොලර් බිලියන දහයකට වඩා යයි කරගෙන යද්දී රටේ සමස්ත ණය බර විදේශ ණය ඩොලර් බිලියන 54 තව දහයක් විතර වැඩි වෙනවා ඕකෙන් විතරක් ඉතින් ඔබ ඕකට තාමත් පක්ෂයි ද?

      Delete
  3. මම නම් කියන්නේ රාජපක්ෂවරුන් ,රනිල් සජිත් අනුර ප්‍රමුඛ මේ සියලුම දෙනා දැන් ඇති ,,,,, ඔය සේරම යාලුවෝ සෙට් එකක්බො
    රුවට අපට පේන විදියට රංඩුවෙනවා වගේ රඟපානවා

    ඔය කට්ටිය සේරම අවුරුදු පණස් පහ පැනපු එක්ස්පයර්ඩ් නාකි කෝලම්, ඔය ජාතික ජන බලවේග ලේබල් එකක් ගහල අලුත් බෝඩ් එකක් වගේ පෙන්වන ජවිපෙ සැබෑ නායක ටිල්වින් සිල්වා සහ නාමික නායක අනුර ඇතුළු විජිතලා ලාල් කාන්තලා සේරම දැන් කාලෙට ගැලපෙන්නේ නැහැ අවුරුදු ගානක් තිස්සෙ හොරු අල්ලන්න එනවා කියලා එකම පරණ තැටියම වාදනය කරනවා විතරයි, ඔවුන්ටද එච්චරයි කියන්න තියෙන්නෙ

    ඒ නිසා අඩුම තරමින් අවුරුදු 50 ට අඩු කෙනෙක් තමයි මේ රට බාර ගන්න ඕනි, අවුරුදු තිස් පහ හතළිස් පහක් අතර බුද්ධිමත් පළපුරුද්දක් ඇති වෘත්තීයවේදී දේශපාලන ක්‍රියාකාරිකයෙක් නම් වඩාත් හොඳයි හැබැයි රටේ ආර්ථිකය දියුණුවට නිසි පරිදි පිළිගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් බවට අපට විස්වාස කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ ,මොකද අපි එදා ඉදන් අද වෙනකල් දැක්කේ මේ වයසක හාල්පාරුවන් තමයි ,දැන් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනි රට වෙනුවෙන් හොදක් වෙන්න නම් තාරුණ්‍යය නායකත්වයක් බලයට අරගෙන එන්න ඕනි ,ඒ ඔය 225 ම නියෝජනය නොකරන කෙනෙක්...

    ReplyDelete
  4. Jvp කරන දේවල්නම්‍ අන්තිම පහත් ගොං ආතල් මෝඩයි එයාලට ජන්දය දෙනවනම්‍

    ReplyDelete
  5. I t00 feel none of the current political parties including JVP can or will bring us the governance change or economic recovery we need.As stated in another reply we need a new group led by educated youth

    ReplyDelete
  6. චන්දිම, 2023 අවුරුද්දේ අලුත් පොලිටිකල් උපක්‍රම ගැන කල්පනා කළොත් විප්ලවයක් කරන්න බැරිනම් මේ අවුරුද්දේ හරියට කකුල් මාට්ටුවක්වත් දාන්න අපි උත්සාහ කරන්න ඕන.

    උදාහරණයක් විදියට 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අත්දැකීම් අනුව සහ අප අතරින් සමුගත්ත පේලේ ගේ ජීවිත කතාව ඇසුරින් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

    පේලේ මියගියාට පස්සේ මමත් ආපහු පේලේ (Pele, 2016) ෆිල්ම් එක බැලුව. ඇත්තටම පේලේ වගේම ලංකාවේ ජයසූරිය මුරලිදරන් සුසන්තිකා අරවින්ද නෙට්බෝල දර්ශිනීලා වගේ අපේම කියල සමහර දේවල් අපිට හොයාගන්න වෙනවා යම් නිශ්චිත සිරගතවීමකින් ගොඩ එන්න ඕනිනම්.

    චන්දිම දන්නවා ඇතිනේ හා හා පුරා කියල පේලේ සැන්තෝස් (Santos) ක්ලබ් එකට බැඳුනට පස්සේ ඒකෙ පුහුණුකරු කිව්වේ දැන් ඔය උඹල ඔයි ගහන ගමේ රිලා නැටුම් (monkey game) නවත්වල ටවුමේ විදියට අලුත්ම ඇඩ්වාන්ස් තාක්ෂණය හා සම්බන්ධ පර්යේෂණ කරලා දියුණු කරලා තියෙන යුරෝපියන් පාපන්දු ගහන්න කියල. කොටින්ම වෙස්ටන් ස්ටයිල් එකට ගහන්න කියල. ඒ කියන්නේ පොතට අනුව ගහන්න කියල. දැනට පිළිගෙන තියන න්‍යායට අනුව ගහන්න කියල.

    හැබැයි හැමෝම දන්නවා පේලේ එහෙම ගහන්න ගිහිල්ල අනික් අය ගහන අහලක් පහලක් ළඟටවත් යන්න බැරිවුණා කියල. අලුත් විදියට යන්න ගිහිල්ල සමස්ත කණ්ඩායමම එක තැනක හිරවෙන්න ගන්නවා. එතනින් එහාට ගමනක් නැති වෙනවා.

    ඒ උනාට පේලේ පොඩිම කාලේ කරපු සෙල්ලම් වලින් දැනගෙන හිටිය එයාගේ ස්ටයිල් එක (style). එහෙන් මෙහන් දාල, පොඩි පටු පාරවල් වල වංගු දාල, බැරල් උඩින් බෝලෙ අරගෙන, එහෙට කපල මෙහෙට කපල, අමුතුම ආකාරයේ වෙනමම විශ්මයජනක ක්‍රමයක් තුලින් පන්දුව ගෝල් එකට අරන් ගිය ලස්සන ගමන.

    ඒ තමයි ඇත්ත පේලේ.....

    ඒ තමයි එයාගේ ඉතිහාසය. ඒ තමයි එයාගේ ගමන. ඒ තමයි එයාගේ හුරුව. ඕකයි විශේෂ ප්‍රාගුන්‍යය. ඒක අනික් අයගෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක අනික් අයට වඩා සුවිශේෂියි. ඒක අසමසමයි. කොපි කරන්න හරිම අමාරුයි. අනිත් ටීම් වලට ටැකල් කරන්න ඊටත් වඩා අමාරුයි.

    අන්තිමට හැමෝම තේරුම් ගන්නවා ඇත්තටම දිනන්න නම් ඒ ඇත්ත පේලේ, ඇත්ත ඉතිහාසය, ඇත්ත ගමන්මග හොයාගන්න ඕනි කියල. ඊට පස්සේ තමයි පේලේට කියන්නේ ''ඔව්... ඔබ ඔබ බවට පත්වෙන්න'' කියල. ඔබේ විදියට ගහන්න කියල. අර යුරෝපීය පොතේ ෆුට්බෝල් වලින් නිදහස් වෙන්න කියල. න්‍යායෙන් නිදහස් වෙන්න කියල.

    ඊට පස්සේ තමයි පේලේ පේලේ බවට පත්වෙන්නේ. බ්‍රසීලය බ්‍රසීලය බවට පත්වෙන්නේ. වෙනත් විදියකින් කිව්වොත් එක මොහොතක බ්‍රසීලය පේලේ බවට පත්වෙන්නේ.

    ලංකාවේ පහුගිය කාලේ කරපු අරගලය ජයග්‍රහණයක් කරා ගෙනියන්න බැරිවුණා. පොදුවේ සාමාන්‍ය ජනතාව තුලින් ආරම්භ වුණත් ඒක නොදැනීම විදේශ බළල් අත් වලින් හයිජැක් වෙලා පොදුජන අරගලයක් වෙනුවට රනිල් වික්‍රමසිංහ බලයට පත් කිරීමට නටපු විකාර නාඩගමක් බවට පත්වෙනවා ඊට පස්සෙ අරගලය තුල තම කථිකත්වය තුලින් පමණක් පොරවල් වෙන්න ආපු ගොඩක් කලාකාරයෝ කියන නලාකාරයො ඇතුළු විශාල පිරිසක් බොරුවට පුම්බලා උඩ යවපු හිස් දූෂිත පුද්ගලයන් පිරිසක් බවට පොදුවේ සමස්ත සමාජය තුළ පුරවැසියන් තේරුම් ගත්තා.

    මේ පළවෙනි වතාව නෙවෙයි චන්දිම අපි උපදින්න ඉස්සර පවා, 1971ත්, 1989ත් එහෙම උණා කියලා තමයි මගේ අවබෝධය. මේ හැම එකකම අතුරු ධනාත්මක ප්‍රථිපල නැත්තේම නෑ ඉතින් ඒත් ඒක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නය වෙන්නේ බහුතර ජනතාව දකින අවසන් කඩයිම සැබෑ අරමුණූ දක්වා අපිට මේ කිසිම අවස්ථාවක මේ බලවේග සෝ කෝල්ඩ් ''විප්ලවයක්'' දක්වා ගෙනියන්න බැරිවුණා කියන එක. ඒ අර්ථයෙන් මේ අවුරුද්ද ගැනවත් ඊළඟ අවුරුද්ද ගැනවත් සුබපතන්න බැහැ.

    ඉතින් පේලේගේ මරණයෙන් පස්සේ එයාගේ ෆිල්ම් එක බලල අපිට ඉගෙනගන්න පුළුවන් විප්ලවීය පාඩම මොකක්ද?

    ඒක තමයි යුරෝපීය අධිපති පාපන්දු පුහුණු සැසිවල මොනවා ඉගැන්නුවත් අපේම කියල ශෛලියක්, ක්‍රමවේදයක් ප්‍රගුණ කරන්න වෙනවා අරමුණ කරා යන්න නම්.

    සනත් මුරලි අරවින්ද එයාලගේ විදියට ක්‍රිකට් ගැහුවා. සුසන්තිකා ෂෙහාන් යුපුන් සුගත් දර්ශා ශ්‍රියානි එයාලගේ විදියට දිව්වා. අර්ජුන මහේල එයාලගේ විදියට කණ්ඩායම හැසිරෙව්වා. දසුන් වෙනමම විදියකට දැන් කණ්ඩායම හසුරුවන බවත් පේනවා.

    ඉතිං පේලේ ට තිබ්බ එයාගේ විදියට හුරුවෙච්ච රිලා කකුල්. ඒවාට යුරෝපය හිනාවෙන්න ඇති. හැබැයි ඒවා සංරක්ෂණය කරන්න තරම් වටිනා මැජික් කකුල්. ඒ රිලා කකුල් තමයි බ්‍රසීලයට ජයග්‍රහණ ගෙනාවේ.

    මාක්සුයි එංගල්සුයි කියපු පොතේ විදියට විප්ලව කරන්න හිතුවොත් අපිටත් හැමදාම මෙහෙම දත නියව නියව ඉන්න වෙයි. මාක්ස්ගේ පොත් යන්තම් පැත්තකින් තියනකොට ඔන්න ජිජැක්ගේ පොතුයි මූෆ්ගෙයි ලැක්ලෝගේ පොතුයි ඇවිල්ල තියනවා. දැන් ඒ විදියට විප්ලව වෙනකල් අපි බලාන ඉන්නවා.

    එයාලගේ ලස්සන වර්සෝ පොත් අපිට විශ්වාසයි. හැබැයි අපේ රිලා කකුල් ගැන අපිට ලැජ්ජයි. ඒ නිසා අපි හැමදාම එතැනමයි.

    ReplyDelete
    Replies
    1. අඩුම තරමින් පේලේ ගේ 'මැජික් කකුල්' වල අසහාය බලය ගැන අපි පාඩමක් මේ අවුරුද්දේවත් ඉගෙන ගත්තොත් විප්ලවයක් කරන්න බැරි වුණත් හරියට ආණ්ඩුවට කකුල් මාට්ටුවක්වත් දාගන්න පුළුවන් වෙයි.

      ඒ නිසාම මේක ජයග්‍රහණයේ වසරක් කරගන්න උත්සාහ කරමු අපේම විදියකට.... !

      Delete
  7. අදහස් පලකපු හැමෝටම ස්තුතියි. හැම comment එකකින්ම වගේ ගන්න යමක් තියෙනවා. හැකි නම් ඊළඟ වර තමන්ගේ නම comment එකට යටින් පලකරන්න. මොකද මේ සමහර අදහස්වල ගෞරවය පළකරන්නට හිමිවිය යුතුයි. ඒ වගේම පිළිතුරු දීමේදී ඍජුවම ආමන්ත්‍රණය කල හැකියි.

    බොහෝ අදහස් පක්ෂව හා විරුද්ධව ගොනුවෙන්නේ එක් තැනක් වටා බව පෙනෙන්නට තිබෙනවා. මෙය ලාංකික සමාජය සිසාරා පැතිර යන trend එකක් බව ලාංකිකයන් සමග කරන දුරස්ථ කතා බහේදී පෙන්නුම් කරනවා. සමාජය සෙමෙන් සෙමෙන් for-NPP සහ anti-NPP පිල් දෙකකට බෙදෙමින් පවතිනවා. මෙහි හොඳ-නරක ගැන අනාවැකි කියන්න කල් වැඩියි වගෙයි.

    අළුතින් යමක් ගැන සිතීම සහ අළුත් විදියට යමක් ගැන සිතීම යන කාරණා දෙක ගැන අප සංවාදය ඉදිරියට ගෙන යා යුතුයි. එය වැදගත් ප්‍රවේශයක්. ඉදිරිපත් කල ඔබට ස්තුතියි. පේලේ පිළිබඳව ගත් උදාහරණය ඉතාම සාධාරණයි. ඔබ FB එකේ මා හඳුනනවා නම් අපි එහිදී මේ ගැන තවදුරටත් කතා කරමු. එතැන වේදිකාව වඩාත් පුළුල්.

    LRT ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉතා දීර්ඝ විග්‍රහයක් කල ඔබටත් ස්තුතියි. මෙතැනදී අප සිහි තබාගත යුතු කරුණක් තිබෙනවා. ඕනෑම රටක මෙගා-පරිමාණයේ ව්‍යපෘති දෙවර්ගයක් පවතිනවා; ජාතික සේවා ආයෝජන (national service investments) සහ වාණිජමය ලාබ සඳහා වූ යෝජනා (investments for commercial gains). අධිවේගී මාර්ග, ප්‍රවාහන මාධ්‍ය, විදුලි බලාගාර ආදිය පළමු ආයෝජන වර්ගයාටත්, ගුවන් තොටුපල, වරාය, සන්නිවේදන කුළුණු (විශේෂයෙන්ම නෙලුම් කුලුන වැනි) දෙවැනි වර්ගයාටත් අයත්. අප ROI ප්‍රමුඛත්වය ලබා දෙන්නේ දෙවෙනි වර්ගයට. ඒවා රටක ජනතාවට අත්‍යවශ්‍ය අංග නොවේ. ඒවා ඇති කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ලැබ ඉපයීමයි. මේ නිසා මෙහිදී අපි ගන්නා ණය-පොලිය ගෙවා නිමකිරීම සහ ROI එක පිළිබඳව ඉතා සුක්ෂමව විශ්ලේෂණය කල යුතුයි. පළමු වර්ගයේ යෝජනා වලදී අප ROI එක පිළිබඳව උනන්දු වන්නේ නැහැ. මෙහිදී අපි ජනතා සේවයට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. එතැනදී අපට සලකා බැලිය යුතු වෙනත් කාරණා කිහිපයක් පවතිනවා; ව්‍යාපෘතියෙන් ලැබෙන සේවයේ අවශ්‍යතාවය සහ ප්‍රමුඛතාවය, එම අවශ්‍යතාවය සපුරා ගත හැකි විකල්ප ක්‍රමවේදයන්ගේ සංසන්දනාත්මක වියදම, ව්‍යාපෘතිය හරහා රටට ලැබෙන වක්‍ර ලාබ, ණය ලබා ගත හැකි විකල්ප ප්‍රභව/මාර්ග අතර සංසන්දනය ආදිය.

    මේ ගැන අපි ඉදිරියේදී තවදුරටත් කතා කරමු.

    ReplyDelete
  8. ทดลองเล่นสล็อต Pg เว็บ ตรง เป็นผู้ให้บริการเกมพร้อมให้ผู้เล่นทุกคนได้รับโบนัสทดสอบเล่นสล็อต pg ฟรี 2022แล้ววันนี้ ที่นี้ที่เดียวทุกท่าน ได้เล่นได้ก่อนผู้ใดเข้าเล่นได้เลย

    ReplyDelete