Saturday 26 November 2022

මා සොයා ගිය මගේ ගමනේ නිමාව


බුදු දහම නමින් ඔබ ඉගෙනගත් සියළු දේ මදකට අමතක කරන්න. එසේම මොළය හා සම්බන්ධ වූ මතකය (memory) සහ පරිකල්පනය (imagination) යන හැකියාවන් නැතැයි උපකල්පනය කරන්න. 

දැන් ඔබ කවුද? 

පංචෙන්ද්‍රිය මගින් ලැබෙන සංඥා මත ක්ෂණයෙන් ක්ෂණය වෙනස්වන සිතුවිලි සමුදායක් පමණකි. 

"මම" නමින් භූතාර්ථයක් ඇතැයි යන හැඟීම ඇතිවන්නේ මතකය (අතීතය) සහ පරිකල්පනය (අනාගතය) යන හැකියාවන් නිසාය. 

භෞතික ශරීරයේ පැවැත්ම නැති වූ විට මතකය, පරිකල්පනය මෙන්ම සිතුවිලි සමුදායද නැතිවී යයි. එතෙක් "මම" නමින් ඔබ ගොඩ නගාගෙන සිටි පැවැත්මේ අවසානයද එය වෙයි.  

මට වැටහෙන පටිච්ච සමුප්පාදය මෙයයි. මෙය අවබෝධ කරගත් විට (තේරුම් ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ) මමත්වය අහෝසි වී ඔබ වර්තමානයේ ජිවත්වන (අතීතය  සහ අනාගතය මෙනෙහි කරමින් දුකට පත් නොවන), ඉතා සැහැල්ලු, තෘප්තිමත් සහ ප්‍රීතිමත් කෙටි කාලීන පැවැත්මක් බවට පත්වෙයි. 

මේ සරල සංසිද්ධිය තේරුම් ගත නොහැක්කේ ඔබ මරණින් මතු පැවැත්මක් ගැන ඉතා ස්ථාවර පදනමක් ප්‍රාථමිකවම ඇති කරගන්නා බැවිනි. බුදුන් තම මූලික ඉගැන්වීම් තුලින් පැවසුවේ එවැනි පැවැත්මක් නොමැති බවයි. එහෙත් බුදුන්ට වසර දෙතුන් දහසක පෙර සිට පැවත ආ වෛදික මතවාද ඉතා කෙටි කාලෙකින් නැවතත් බුදු දහමට එක්වී ඇති බව මගේ වැටහීමයි. එය එසේ නොවුනා නම් බුදු දහමට දශක කිහිපයකට වඩා පැවැත්මක් තිබෙන්නේ නැත. වෛදික මූලධර්ම ගොඩ නැගෙන්නේම ශිෂ්ඨාචාරයේ පැවැත්ම ස්ථාවර කරගැනීම සඳහාය. එය රජුන්ට සහ පූජ්‍ය-පූජකයන්ට අත්‍යවශ්‍ය උපකරණයකි. මේ වෛදික ප්‍රවිෂ්ඨය බුදුදහමට අවතීරණය වී නොතිබුනා නම් අශෝක අධිරාජ්‍යයා එය ප්‍රවර්ධනය කරන්නේ නැත. 

බුදු දහම නමින් අද අපි සියළු දෙනාම ඉගෙන ගන්නේ ඉතා සුළු වෙනසකට බඳුන් වූ වෙදාන්තයයි. මම එහි වරදක් නොදකිමි. එය ශිෂ්ඨාචාරයේ පැවැත්ම උදෙසා අවශ්‍ය වෙයි. 

බුදුන් කියූ යථාර්තය අවබෝධ කරගෙන ස්ථාවර ශිෂ්ඨාචාරයක් පවත්වා ගත හැකි බුද්ධි මට්ටමකට මානවයා එළඹීමට තවත් වසර දෙදහසක් වත් යා යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි. එතෙක් ඔබ වේදාන්ත මොඩලයට අනුයුක්ත වීමේ වරදක් නැත. 



            




3 comments:

  1. වර්තමානයේ(ප්‍රත්‍යයෙන් උපන්) කිසිවකට නොබැඳී සිටීමද අනිවාර්‍යයි.

    ReplyDelete
  2. ඇත්ත කියා මට හිතෙනවා. කොහොමත්, නිවන කියන්නේ ජීවයේ පැවැත්මට හිතකර සංකල්පයක් නෙවෙයි. මිනිසා ජීවිතයට බැඳ තබන සංකල්ප නැතුව ආගමකට සහ රාජ්‍ය පාලනයකට එම දර්ශනයෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසයි මට හිතෙන්නේ විවිධ කාලවකවාණුවල දී බුදුන් ගේ දර්ශනය ආගමක් හැටියට හැඩ ගැසුණේ.

    ReplyDelete
  3. බොහෝ අයට මේ මොහොතේ ජීවිතය තේරුම් ගන්න පුළුවන් සියල්ල හොඳින් සිදුවන අවස්ථාවලදී පමණයි. ටිකක් දරුණු ලෙස අවස්තාව වෙනස් වෙච්ච ගමන් ඒ මොහොතේ ජීවිතය අමතක වෙලා අනාගත පරිකල්පන සහ අතීත මතක එක්ක ආයේ ගැටෙන්න පටන් ගන්නවා . "මම" නැති වීමත් එහෙම තමා. වැදගත් වන්නේ සිහිය හැම විටම පවත්වා ගැනීමට හැකිවීම. සිහිය තිබෙන විට මම සිටීම ගැටලුවක් නෙමේ.

    ReplyDelete