Friday 6 May 2022

අබන්ගාගේ කතාව - උ.ගැ. ධනවතෙකු වීමේ මග


අප්‍රිකාවේ කඳුකර කැළෑ පෙදෙසක වෙසෙන ලුගුරු නම් කුඩා දේහධාරී ගෝත්‍රයකට කඳු පාමුළ සැවාන පහත් බිම් වාස භූමිය කරගත් වෙනත් ගෝත්‍රයකින් නොසිතු ලෙස ප්‍රහාරයක් එල්ල විය. එයින් ගම් වාසින් කිහිප දෙනෙකු මිය ගිය අතර ලුගුරු නිවාස කිහිපයක්ම ගිනි තබා විනාශ කිරීමට සැවානාවේ සිට පැමිණි ගෝත්‍රිකයෝ සමත් විය.

මෙම සැවාන භූමියේ වැසියන් විසල් දේහධාරින්ය. ඔවුන් යුධ වැදුනේ තියුණු තුඩු සහිත දිගු හෙල්ල විශේෂයකිනි.

ලුගුරු ගෝත්‍රික නායකයා දිනක් දුටුවේ තම තරුණ පුත් අබන්ගා දිගු ලීයක කෙලවරට තියුණු තලයක් තබා සවිමත් ගස් පට්ටයකින් එය බඳිමින් සිටින ආකාරයයි. ගෝත්‍ර නායකයා තම පුත්‍රයාගෙන් ඔහු කරන කාර්ය පිළිබඳව විමසීය.

සිය පියා දෙස බලු අබන්ගා මෙසේ පැවසුවේය.

"ඔවුන් ළඟ මේ ආයුධය තියෙනවා. ඒ වගේම ඔවුන් බොහොම ශක්තිමත්. ඊළඟ වතාවේ ඔවුන් ආවොත් මුහුණ දෙන්න නම් මේ හෙල්ලයක් හැම ලුගුරු තරුණයෙක් ලඟම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි, අපි පුළුවන් තරම් හොඳින් කාල බීල ඔවුන් වගේ උස් මහත් වෙන්න ඕනේ".

දිගු සුසුමක් ගත් ගෝත්‍ර නායකයා මෙසේ කිවේය.

"අබන්ගා, මේ අහන්න, ඔවුන් පරම්පරා ගණනාවක ඉඳන් හෙල්ලෙන් සටන් කරන්න පුරුදුවෙලා තියෙන්නේ. උඹලට තව අවුරුදු ගණනක් පුරුදු උනත් ඔවුන් වගේ හෙල්ල හසුරුවන්න පුළුවන් වෙන එකක් නැහැ. ඒ වගේම තමයි ඔවුන් උස මහත නිසා ඔවුන්ට සැවානා බිම් වල වේගයෙන් දුවන්නත් සතුන් සමග පොර බදන්නත්  පුළුවන්".

අබන්ගාට අසල තිබු සුවිසල් ගසක් පෙන්වූ ගෝත්‍ර නායකයා,

"අපිට තියෙන කුඩා ඇඟවල් නිසා අපිට අර වගේ විශාල ගස් නගින්නත් ගස් අතර වේගයෙන් ගමන් කරන්නත් පුළුවන්. නමුත් ඔවුන්ගේ උස මහත ඇඟවල් එක්ක ඔවුන්ට එහෙම කරන්න අපහසුයි. ඒ වගේම තමයි අපි මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන්ම දක්ෂයි ඈත ඉඳන් බට හීයෙන් විදින්න. ඒක තමයි අපේ සටන් කලාව".

"කලින් පාර අපිට පහර දීලා ඉවත් වෙන්න සැවාන මිනිසුන්ට හැකි වුනේ අපි එහෙම පහර දීමක් කොහොමවත්ම බලාපොරොත්තු වෙලා තිබුනේ නැති නිසයි. දැන් අපි ඒකට සුදානම්. ඔය හෙල්ලවල් හදන එක පැත්තකට දාල හී බට අරන් ලැහැස්ති වෙමු. ඔවුන් නැවත පැමිණුනොත් ඔවුන්ව ගස් අතරට රැගෙන යන්න උපායක් කල්පනා කරමු".

"අබන්ගා, මේක හොඳට අහගන්න, කිසිම අවස්ථාවක සතුරාගේ සටන් කලාවට අනුකුලවත්, සතුරාට හුරු භූමියේත් සටනක් පටන් ගන්න එපා. හැම විටම සතුරා අපට හුරු භූමියකට රැගෙන් විත් අපේ සටන් කලාවෙන් ඔහුට පහර දෙන්න"

-උ.ගැ. ධනවතෙකු වීමේ මග: Chandima Gomes

3 comments:

  1. ඒකනම් මාරු කතාව... නොදන්න දේ කොරන්ට ගිහින් වරිගෙ නහගන්නෙ මොකෑ

    ReplyDelete
  2. හරිනෙ, දැන් සටන කෙරෙනුයෙ නියම තැන
    තකතිරුවන්ට කවදාවත් නුහුරු තැන
    ඒ විතරක්ද නුහුරු උපා පෙරට ගෙන
    සටනෙක සිරිලකේ හෙට හිමි තරුණ දන!

    ReplyDelete
  3. හරිම වටිනා කතාවක්. අදයි දැක්කෙ රුචිර විජේසේන ග්වතමලාවේ සාමකාමී සමාජ අරගලයක් ගැන කියල තිබුණු යූ ටියුබ් වීඩියෝවක් දැක්කා. මම හැමදාම කියනවා වගේ ඔබේ කථාවලින් අදහස් ගන්නවා නම් තාමත් ලංකාවට මේ ගැටළු යම්තාක් දුරකට විසදා ගන්න පුළුවන්.

    ReplyDelete