Wednesday 5 May 2021

අපොස උපෙ රටට සාපයක් නොවීමට



අපොස උසස් පෙළ තරඟ විභාගයක්ද? මේ පැනයට ලංකාවේදී බොහෝ විට ලැබෙන්නේ "ඔව්" යන පිළිතුරයි. මම රටවල් ගණනාවක අධ්‍යාපනය හා සම්බන්ධ වී ඇත්තෙමි. ඒ සෑම රටකම උසස් පෙළ හෝ ඊට සමාන කඩඉම් විභාගයක් ඇත. එහෙත් බොහෝ දියුණු රටවල මෙය තරඟ ඉසව්වක් සේ සැලකෙන්නේ නැත.

කඩඉම් විභාගයක් යනු දරුවෙකුට තමාගේ අනාගත වෘත්තීය තීරණය කල හැකි තවත් එක් අවස්ථාවකි. මෙවැනි විභාගයකින් බලාපොරොත්තු වන්නේ දරුවාට තමා යා යුතු දිශාව පිළිබඳව යම් මග පෙන්වීමක් ලබා දීමයි. නමුත් එයින් දරුවාගේ මග අහුරාලීම හෝ දරුවා යම්  මාවතකට බලහත්කාරයෙන් තල්ලු කිරීම සිදු නොවිය යුත්තකි. කෙනෙකුගේ හැකියාව සහ ප්‍රඥාව උද්දීපනය වීමට නිශ්චිත කාල වකවානුවක් නැත. එය ජිවිතයේ ඕනෑම අවස්ථාවක සිදුවිය හැක. දියුණු යයි සම්මත රටවල් දියුණු වීමට එක් මූලික හේතුවක් වන්නේ රටේ නීති සම්පාදකයන් මේ බව මීට දශක ගණනාවකට පෙර තේරුම් ගැනීමයි. 

ලංකාව වැනි ඌන සංවර්ධිත රටවල මේ කඩඉම් විභාගය තරඟ විභාගයක් වන්නේ උසස් අධ්‍යාපනයට රටේ ඇති ඉඩකඩ ඉතා සීමිත බැවිනි. මේ අනුව නොමිළේ අධ්‍යාපනය සඳහා  දරුවන් අතර ඉතා තියුණු අසහනකාරී තරඟයක් හටගනී. රටේ සියළුම දෙමව්පියෝ තමාට හැකි (හෝ නොහැකි වුවත් දහසක් ආර්ථික අතවරයන්ට මුහුණ දෙමින්) පමණින් දරුවාට අමතර අධ්‍යාපනය ලබා දෙමින් මේ තුරඟ තරංග පිටියේ ඔවුන්ව දුවවයි. මෙය මා දකින ආකාරයට නොමිළේ අධ්‍යාපනයේ එක් අඳුරු ප්‍රතිඵලයකි (මේ පිළිබඳව දීර්ඝ ලිපියක් මම වසර කිහිපයකට පෙර පළ කලෙමි). මේ පිළිබඳව පුළුල් අධ්‍යයනයක යෙදී විසඳුමක් ලබා දීමට අපි දැනටමත් දශක දෙක තුනක් පමාවී ඇත.

මේ වන විට ලෝකයේ ඕනෑම දියුණු රටක හෙදියකට ජිවිතයේ ඕනෑම අවස්ථාවක තම අත්දැකීම් සමග අදාළ පාඨමාලා හැදෑරීමෙන් වෛද්‍ය වෘත්තිකයකු විය හැක. නමුත් ලංකාවේ එසේ නොමැතිය. දැන් දේශීය අපොස උසස් පෙළ විභාගය නොකළ හෝ ඉන් යම් නිශ්චිත සාමාර්ථයක් නොලද කෙනෙකුට ලෝකයේ කුමන වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තත් ලංකාවේදී එම වෘත්තියේ යෙදිය නොහැකිය. එසේම විදේශික වෛද්‍යවරයෙක් නොබෙල් සම්මාන ලාභියෙක් වුවත් ඔහුට ලංකාවේ සේවය කල නොහැක. 

මෙහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සහ විදේශ ගතව වෛද්‍ය විද්‍යාව හදාරන බොහෝ දරුවන් රට හැර යාමයි. මේ බොහෝ දෙනෙක් යම් ප්‍රමාණයක වත්පොහොසත්කම් ඇති පිරිසකි. ඔවුන් රට හැර යාමේ පල විපාක ඉතා කටුක විය හැක. 

කන්දක් තරණය කිරීමට තිබිය යුත්තේ එකම මගක් පමණක් යයි සිතන, ඒ සඳහා නීති පනවන, ජන සමාජයකින් ඈත්වීම ඔබගේ ජයග්‍රහණයක් වනු ඇත.  





5 comments:

  1. ඔබ පිටරට සිටිද්දී අසල්වැසියන්ගේ තොරතුරු කොපමණ දැන සිටියාද?. ඔබ කොපමණ උගතෙකු, ධනවතෙකු වුවත් ඔබට ඔවුන් විශේෂ සැලකිල්ලක් දැක්වූවාද? ඔබට විපතක් බව දැනුන විට ඔවුන් හෝ ඔවුන්ට විපතක් බව දැනුන විට ඔබ කෙසේ කටයුතු කළාද?

    අපේ අසල්වැසියෝ පමණක් නොව අල්ලපු ගමේ අයගේ තොරතුරු අපි කොපමණ දන්නවාද? උගතුන්ට, ධනවතුන්ට කොපමණ විශේෂ සැලකිලි තිබේ හා ඔවුන් කොපමණ ඒවා බලාපොරොත්තු වේද?

    අපේ තිබෙන ඊර්ෂාවයි, කුහක කමයි අපේ DNA වලින් නැති වුන දවසට නම් අපට හොඳ කලක් යාවි.
    (DNA කියල කිව්වේ බොහොමයක් පිටරට ජිවත්වන අපේ අයගෙත් ඔය ගතිගුණ එලෙසම තිබෙන නිසාය)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි චන්දිම මහත්මා.
    ඔබගේ පරාර්ථකාමී සේවාව ලංකාවට ඉතාමත් ප්‍රයෝජනවත් කියල හිතනවා.
    සෑම දෙයක්ම සරලව ලස්සනට කියල දෙනවා වගේම රසවත්ව ලියනනිසා සෑම ලිපියක්ම ආසාවෙන් බලනවා, comment කරන්න තරම් දෙයක් නැතිඋනත්,මමවගේ අය දහසක් ඔබගේ ලිපි බලාපොරොත්තුවෙන් ඉන්නව කියා සිතන නිසා දිරිමත් වීමට comment කර. ඔබට ජය සතුට !
    ඔබගේ වයසේම ජපානයේ සේවා කරමි. AA

    ReplyDelete
  3. බොහොම ස්තුතියි චන්දිම මහත්මා.
    ඔබගේ පරාර්ථකාමී සේවාව ලංකාවට ඉතාමත් ප්‍රයෝජනවත් කියල හිතනවා.
    සෑම දෙයක්ම සරලව ලස්සනට කියල දෙනවා වගේම රසවත්ව ලියනනිසා සෑම ලිපියක්ම ආසාවෙන් බලනවා, comment කරන්න තරම් දෙයක් නැතිඋනත්,මමවගේ අය දහසක් ඔබගේ ලිපි බලාපොරොත්තුවෙන් ඉන්නව කියා සිතන නිසා දිරිමත් වීමට comment කර. ඔබට ජය සතුට !
    AA

    ReplyDelete
  4. ලන්කාවේ ගොඩක් අය අද්‍යාපනය සමාජ් මට්ටම ඉහල දාගන්න පාවිච්චි කරන එකත් ඔය තරග්ට හෙතුවක් මට පේන විදියට.

    ReplyDelete