Follow this Blog

Tuesday, 22 December 2015

Denying Education Rights of Others...!!!



නිදහස් අධ්‍යාපනයේ මළගම




මිනි පෙටියක් කර තියාගත් සරසවි සිසුන් හතරදෙනෙක් වෝඩ් පෙදෙසෙන් හැරී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට ඇදේ. ඒ පිටුපස ගිරිය පුප්පා කෑගසමින් යන පිරිස අතර මාද පෙරමුණේ සිටියේය. මේ ඇදෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගමයි. මිනීපෙට්ටිය නිදහස් අධ්‍යාපනය සංකේත වත් කරයි.

ඒ 87 වසරේ මුල් මාස කිහිපයයි. අපි සරසවියට ඇතුළු වී ඉතා ටික කලකි. පිටිපස්සෙන් දෙන උපදෙස් වලින් ඔබ්බට සිතන්න අපිට ශක්තියක් තිබුනේ නැත.  


වසර 27 කට පසු අදත් ඒ මළගම ඇදෙමින් පවතී. මා වියපත් වී ඇත. එහෙත් තාරුණ්‍ය තවමත් එතැනමය. ඒ සටන් පාඨ, මිනි පෙට්ටි, බැනර් සහ තාරුණ්‍යයේ සුමට නොවූ ජවය තවමත් එහෙමමය.  




"රටක ජීවත්වෙන සියලු දෙනාට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසීම නිදහස් අධ්‍යාපනයයි".  එක් එක් රට වල, එක් එක් යුගවල විවිධ සමාජ ස්ථරයන්ට අධ්‍යාපනය ලැබීමේ ඉඩකට සමාජීය, ආගමික හෝ දේශපාලන රාමු තුලින් අහුරා තිබුණි. 

සමහර ඉස්ලාමීය රටවල කාන්තාන්ගේ පාසල් අධ්‍යාපනයට තහංචි පනවා ඇත. මෙය තලේබාන් පාලන සමයේ ඇෆ්ගනිස්ථානය තුල තදින් පැවතුනි. 90 ට පෙර දකුණු අප්‍රිකාවේ කළු හම සහිත දරුවන් බොහොමයකට නීති මගින්ම අධ්‍යාපනය ලැබීමේ මං අහුරා තිබුණි. ඉන්දියාවේ කාලයක් කුලහීනයන්ට අධ්‍යාපනය ලැබීම සාමාජීය වශයෙන් තහනම් විය. මේ තත්වයට පිලියමක් ලෙස ඉන්දීය රජය කුලහීනයන්ට ලැබෙන විශ්ව විද්‍යාල කෝටාව විශාල වශයෙන් වැඩිකළේය. මෙහි ප්‍රතිපලයක් ලෙස කුලවතුන්ට ලැබෙන විශ්ව විද්‍යාල වරම් විශාල වශයෙන් කප්පාදු වූ අතර බිහාර් ආදී ප්‍රාන්ත වල මෙය විශාල සමාජ අර්බුදයක් කරා දිව ගියේය. එහෙත් 80-90 දශකවල ඉන්දියාවේ සීග්‍රයෙන් බිහිවූ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙම අසහනය සමනය කිරීමට සමත් විය. සමහර අප්‍රිකානු රටවල අදටත් මුදල් නොමැති දරුවන්ට ඉගෙනීමට ඉඩ ප්‍රස්ථාව නැත.  

මේ නිදහස් අධ්‍යාපනය දකින්න නොලැබෙන අවස්ථා කිහිපයකි.

ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තිබේද? 



නුතන අධ්‍යාපන සංකල්පයන් එළිදැක්වුණ 19 වන සියවසේ මුල් සමයේ අපේ රටේ පාසල් අධ්‍යාපනය හිමිවුයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සහ සුපිරි පැලැන්තියේ අතලොස්සක් දරුවන්ටය. මෙය ක්‍රම ක්‍රමයෙන් අනෙක් සමාජීය ස්ථර දක්වා විහිදුන අතර නොමිලේ අධ්‍යාපනය දෙන රජයේ සහ මිෂනාරි පාසල්ද මුදලක් අයකර අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ පාලනය යටතේ වූ පාසල්ද ක්‍රමයෙන් බිහිවිය. 50 දශකයේදී රජයේ පාසැල් බොහොමයක් නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ආයතන බවට පත්වුණි. ඒ සමගම අලුතින් පෞද්ගලික විද්‍යාල කිහිපයක්ද  ඇරඹුනේය. නොමිලේ අධ්‍යාපනය ලබා දෙන රාජකීය, ආනන්ද, නාලන්ද, විශාකා, දේවි බාලිකා වැනි පාසල් රාශියක් සුපිරි තලයට වර්ධනය වූ අතර සමහර පාසල් අසාර්ථක වී වැසී ගියේය. අදත් රජයේ සමහර පාසල් වැසෙමින් පවතී. ශාන්ත තෝමස්, ශාන්ත පීතර, ට්‍රිනිටි, ශාන්ත බ්‍රිජට්, මියුසියස් වැනි පෞද්ගලික අංශයේ මුදල් අයකරන පාසල්ද රටේ ඉතා ඉහල තලයකට නැගුනු අතර පෙම්බ්‍රොක් වැනි සමහර පාසල් අසාර්ථකවී වැසී ගියේය.

90 දශකයේදී හතුපිපෙන්නක් මෙන් රටේ ජාත්‍යන්තර පාසල් විවෘත වූ අතර ඉන් CIS, AIS වැනි පාසල් කිහිපයක් ජාත්‍යන්තරවද පිළිගැනීමකට ලක්විය. සමහර ඒවා අසාර්ථක වී වැසී ගියේය. අප රටේ නොයෙකුත් ආගමික පසුබිම් වලට අයත් පාසල්ද, බාධිත දරුන්වන් සඳහා පාසල්ද ඇත. මේ අනුව සමාජයේ ඕනෑම තරාතිරමක දරුවෙකුට තමන්ට හැකි අයුරින් අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්ථාව ඇත. මෙය සැබෑ "නිදහස් අධ්‍යාපනයයි".  නමුත් එය "නොමිලේ අධ්‍යාපනය පමණක්" නොවන බව අප කාටත් පහසුවෙන් වැටහේ. නොමිලේ අධ්‍යාපනය යනු නිදහස් අධ්‍යාපනයේ එක් වැදගත් අංගයක් පමණි. එම අංගය නොතිබුනානම් මුදල් ගෙවාගත නොහැකි සමාජ පන්තියට අධ්‍යාපනය  අහිමිවේ. එහෙත් "නොමිලේ  අධ්‍යාපනය පමණක්" නිසා මුදල් ගෙවාගත හැකි පන්තියට තමාට මුදල් ගෙවා ලබාගත හැකි  අධ්‍යාපන ඉඩ කඩ ඇහිරෙයි නම් එය නිදහස්  අධ්‍යාපනය නොවේ. 

ලංකාවේ නොමිලේ අධ්‍යාපනය  දෙන පාසල් ටික විතරක් තිබුනානම් අද ඇතිවන තත්වය කුමක්දැයි වටහා ගන්න. මුදල් ගෙවා අධ්‍යාපනය දෙන පාසල් වලින් බිහිවී රට කරවන තැනටම ගිය ඩී එස්, ඩඩ්ලි, එස්. ඩබ්. ආර්. ඩී, සිරිමාවෝ, චන්ද්‍රිකා ආදීන් ගැන සිතන්න.මෙම පාසල් වලින් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෝ, ව්‍යාපාරිකයෝ, කලාකරුවෝ සහ යුද්ධයේදී දිවිදුන් රණ විරුවෝද බොහෝමයකි. ඒ නිදහස් අධ්‍යාපනයේ ඵලයන්ය.

අවාසනාවකට අප රටේ තෘතික අධ්‍යාපනය මෙම "නිදහස් අධ්‍යාපන" සංකල්පයෙන් බැහැරවී "නොමිලේ අධ්‍යාපනය" නම් තැනට තල්ලු විය. මෙහි අහිතකර ප්‍රතිපල රාශියක් අද අපි විඳිමින් සිටිමු. 

මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ, තෘතික මට්ටමේදී නොමිලේ අධ්‍යාපනය පමණක් යන සංකල්පය අද කියුබාව හැර ලොව කිසිම රටක නොමැති බවයි (මා දන්නා තරමින්).  අවාසනාවකට ලංකාවේ එය ඇත්තේද නැත,  නැත්තේද නැත. මේ තත්වය තුල ජනතාව වඩා අසීරු තත්වයකට පත්ව ඇත. කියුබාවේ සරසවි අධ්‍යාපනය ලැබීමට සුදුසු අයුරින් ද්විතීක අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙකුටම එම අවස්ථාව හිමිවේ. එබැවින් පෞද්ගලික සරසවිවල අවශ්‍යතාවයක් නොදැනේ. එහෙත් ලංකාවේ සරසවියකට ඇතුල්වීමට හැකියාව ලැබෙන්නේ උසස් පෙළ විභාගය සමත්වන (එනම් සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන) සිසුන්ගෙන් 15%-20% අතර ප්‍රමාණයකටය. ඉතිරි 80%-85% ට නොමිලේ දෙන සරසවි අධ්‍යාපනයත් නැත. මුදල් ගෙවා සරසවි අධ්‍යාපනය ලබන්නට ඉඩකඩද නැත. මේ කිනම් "නිදහස් අධ්‍යාපනයක්" ද?

මෙහිදී මා භාවිතා කරන පෞද්ගලික සරසවි යන යෙදුම එතරම් සුදුසු නොවේ. මන්ද බොහෝ රටවල රජය මගින් පාලනය වන සරසවිවලද අධ්‍යාපනය සඳහා යම් මුදලක් අයකරන බැවිනි. එහෙත් ලංකාවේ මුදල් අයකරන සරසවි සඳහාම පෞද්ගලික සරසවි යන්න යෙදීම සුලබ බැවින් මමද එය භාවිතා කරමි. 

ලංකාවේ පෞද්ගලික සරසවි කළඑලියට ඒම වැළකීමෙන් මැද මධ්‍යම පන්තියෙන් බිහිවන්න සිටි වියතුන් බොහොමයක් ද්විතික අධ්‍යාපනයෙන් එහා යාමට නොහැකිව අතරමන් විය. ලංකාවේ පෞද්ගලික සරසවි තිබුනානම් මේ බොහෝ අයෙකුට උපාධිධාරීන් හෝ ආචාර්ය වරුන් වීමට තරම් මුදල් වැය කිරීමේ හැකියාවක් තිබුණි. එසේ වුයේ නම් ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහිවන්නට තිබුණි. 50,000 වන හොර දොස්තරලා වෙනුවට නියම දොස්තරලා රටේ සේවය කරන්නට තිබුණි. එහෙත් එය එසේ නොම විය. මන්ද තෘතික අධ්‍යාපනය තුල "නිදහස" නොතිබුන බැවිනි. 

අප රටේ සුපිරි ධනපති පන්තියට කවදාවත් ලංකාවේ විශ්වවිද්‍යාල වල අවශ්‍යතාවයක් නොවිය. ඔවුන්ගේ දරුවන් යුරෝපයේ (විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ) හෝ ඇමරිකාවේ සරසවි වල අධ්‍යාපනය හැදෑරිය. ඉහල මධ්‍යම පන්තිකයාද කෙසේ හෝ තම දරුවන් වෙන රටක උපාධියක් සඳහා පිටත් කර හැරියේය. මුලදී ඔවුන්ද යුරෝපීය සරසවි කෙරේ සිත යොමු කළ අතර පසුව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හරහා මැලේසියාව, තායිලන්තය  සිංගප්පුරුව වෙත ගමන් කළේය. 90 දශකයේදී ලැට්වියාව, ලිතුවේනියාව ආදී පරණ සෝවියට් දේශයෙන් කැඩී ගිය බෝල්කන් රටවල්වල සරසවි ඔවුන් අතර ප්‍රචලිත විය. ඉන්දියාව කවදත් තරමක් හැකියාව ඇති මැද මධ්‍යම පන්තියේ දරුවන්ට සරසවි  වරම් ලැබීමේ මාර්ගයක් විය. අද ඊටත් වඩා ජනප්‍රිය බංගලාදේශයේ සරසවිය. මේවන විට ලංකාවේ සිටින  ධනවත්  වෛද්‍යවරු සැහෙන දෙනෙකුගේ දරුවෝ බංගලාදේශයේ හා ලැට්වියාවේ සරසවි වල වෛද්‍ය විද්‍යාව හදාරති.  

ලංකාවෙන් මැලේසියාවේ සරසවි වලට පමණක් වසරකට සිසුන්ගෙන් ලැබෙන අදායම දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 කට අධිකය. මුළු ලෝකයේම සරසවි වල ඉගෙනුම හදාරන අපේ දරුවන් නිසා රටෙන් ඉවතට ඇදෙන මුදල ඔබට සිතා ගත හැක. මෙම ගණනය කිරීම් වලට විදේශගත වීම සඳහා සහ විදේශයක ජීවත්වීම සඳහා වැයවන මුදල එකතු කර නැති බව සලකන්න.   

2001-2003 වකවානුව තුල නව ප්‍රවණතාවයක් වුයේ විදේශ සරසවි වලට අනුයුක්ත ශාකා සරසවි ලංකාවේ පිහිටුවීමයි. මෙය මැද මධ්‍යම පන්තියට මහත් අස්වැසිල්ලක් විය. වසර 2 හෝ තුනක් ලංකාවේ ඉගෙනීම කර අවසාන වසර හෝ වසර කිහිපය සඳහා වෙන රටකට යාම මෙහිදී සිදුවිය. මුළු උපාධියම වෙන රටක කරනවාට වඩා මෙහිදී දැරිය යුතු වියදම සැහෙන්න අඩුය. කෙසේ නමුත් මෙම ක්‍රමයේදීද වැඩි මුදලක් අපේ රටෙන් ඉවතට ඇදෙයි. 

පෞද්ගලික සරසවි නොතිබුණා කියා අපේ රටේ නොමිලේ අධ්‍යාපනය දෙන සරසවි දියුණුවී තිබේද? 


ප්‍රථමික හා ද්විතීක අධ්‍යාපන ස්ථර වලදී අඩුපාඩුකම් මධ්‍යයේ වුවද අපේ පාසල් පද්ධතිය ලොව බොහෝ රටවල ඉහල ඇගයීමකට ලක්වේ. මෙය රජයේ මෙන්ම පෞද්ගලික පාසල්වලටද එකසේ පොදුය. මා කලින් සදහන් කල ආකාරයට වසර විස්සකට අඩු කාලයකදී බිහිවූ ජාත්‍යන්තර පාසල් කිහිපයක්ම බ්‍රිතාන්‍යයේ පවා හොඳ ඇගයීමකට ලක් වෙමින් පවතී. එහෙත් නොමිලේ අධ්‍යාපනය පමණක් වූ අපේ සරසවි බොහෝ ශ්‍රේණිගත කිරීම් වල ඉතා පහල මට්ටමක පවතී. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් කිහිපයක අපේ සරසවි 1700-2500 අතර අංකනයක් ලබා ගනී. ලොව ඉතා දිළිඳු රටවල් වන බංගලාදේශයේ හා සිම්බාබ්වේ හි සරසවි පවා අපට ඉදිරියෙන් සිටිතී. 

පර්යේෂකයන්ගේ වර්ගීකරණය (H-අංකනය) අනුව ගත්තත් අපේ ජේෂ්ඨ මහාචාර්යවරුන් පවා ඉතා පහල අංකනයක හෝ අංකනයක් නොමැති තත්වයකට පත්ව ඇත. මෙය අපේ රටෙන් බිහිවන විද්වතුන්ගේ හැකියාවේ අඩුවක් ලෙස මා නොදකින්නේ 90 මුල් හා මැද භාගයේ ප්‍රථම උපාධිය අපේ සරසවි වලින් ලබාගෙන ඇමරිකාවට ගිය සමහරුන් මේ වනවිට H-අංකනය 20 ද ඉක්මවා ඇති බැවිනි (මෙය ඉතා ඉහල අගයකි). මෙම තත්වය තේරුම් ගැනීමට මම පහත උදාහරණය ඉදිරිපත් කරමි.

දශක ගණනාවක සිට පැවත එන ලංකාවේ සරසවි වල ඉංජිනේරු පීඨ බොහෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට ඇතුලත්වන්නේද නැත (2000 න් හෝ 3000 න් පහල බැවින්). වසර 1997 දී ආරම්ඹ කළ මා සේවය කරන මැලේසියාවේ පුත්‍රා සරසවියේ ඉංජිනේරු පීඨය මේවනවිට ජාත්‍යන්තර ශේණිගත කිරීම් වල 235 ස්ථානයේ පසුවේ. මෙය රජයේ සරසවියකි. එහෙත් ඉගෙනීම සඳහා සිසුන් මුදල් ගෙවිය යුතුය. මෙහි පශ්චාත් උපාධි හදාරන 75% වැඩි පිරිසක් විදේශීය සිසු සිසුවියෝ වෙති.

මුදල් ගෙවා අධ්‍යාපනය ලබන සිසුවෝ හැමවිටම තමා ගෙවන මුදලට සරිලන තත්වයක තම සරසවිය තිබෙනවාදැයි සොයති. මෙහිදී සියලු සිසුන් සරසවියේ ශ්‍රේණිගත අංකනයත් පශ්චාත් උපාධි අපේක්ෂකයෙක් නම් සිය පර්යේෂණ මහාචාර්යවරයාගේ H-අංකනයත් සොයා බැලීමට උත්සුක වෙති. මේ නිසා හැකි ඉක්මනින් සිය අංකනයන් ඉහලට ගෙන ඒමට බලධාරීන්ද කථිකාචාර්ය වරුන්ද නිබඳ උත්සහ දරති.  අපේ සරසවි වලට මේ සඳහා අවශ්‍යතාවයක් නැත. මන්ද උසස්පෙළ සමත්ව සරසවි වරම් ලබන සිසුන්ට වෙන විකල්පයක් නොමැති බැවිනි. ඉතා කුඩා රටවල් වන සිංගප්පුරුවෙත්, හොංකොං හිත් විශ්වවිද්‍යාල අද ලෝකයේ ඉහලම තලයේ පසුවනු දකින විට දීර්ඝ කාලීන අධ්‍යාපන පද්ධතියක් ඇති ලංකාවේ සරසවි වල තත්වය ගැන ඇතිවන්නේ සංවේගයකි.  

තත්වය එසේ නම් පෞද්ගලික සරසවි විරෝධයේ හරය කුමක්ද? 


පෞද්ගලික සරසවි විවෘත කිරීමෙන් අපේ දැනට සරසවි වරම් ලබන සිසු ප්‍රමාණයේ වර්ධනයක් මිස අඩුවීමක් නොවේ. මෙය රටට යහපත් වාතාවරණයකි. 

පෞද්ගලික සරසවිවල ප්‍රමිතිය පාලනය කිරීම සඳහා රජය මැදිහත් විය යුතුය. කෙසේ වුවත් මෙම සරසවි වලට නිරතුරු තම ප්‍රමිතිය ඉහලට ගෙන ඒමට සිදුවේ. නොඑසේ නම් ටික කලකින් ඔවුන් ගේ පැවැත්ම නිම වනු ඇත. ඔවුන්ට සෑම විටම අනෙකුත් සරසවි සමග තරඟයක් දීමට සිදුවේ. මේ නිසා ඉහල H-අංකනයක් ඇති කථිකාචාර්ය වරුන් බදවා ගැනීමටත් සිටින අයගේ අංකනය වැඩි කරගන්නා ලෙස ඔවුන් ධෛර්යමත් කිරීමටත් (වැඩිවන අංකනය සඳහා ගෙවීමක් හෝ වර ප්‍රදානයක් කිරීමෙන්) මෙම සරසවි බලධාරීන්ට නිරතුරුව සිදුවේ. සරසවියේ ශ්‍රේණිගත වීම සඳහා වඩාත්ම බලපෑමක් සිදුවන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලය මගිනි. 

මේවන විට ඇමෙරිකාවේ හා කැනඩාවේ පදිංචිව සිටි ඉන්දියානුවන් විශාල  සංඛ්‍යාවක් දිනපතා සිය රටට එමින් පවතී. මෙය ඉන්දියාවේ ඇතිවී තිබෙන ආර්ථික ප්‍රබෝධයත් ඇමෙරිකාව ආදී රටවල ඇතිව තිබෙන ආර්ථික අර්බුදයත් නිසාවෙනි. අප මේ තත්වය දෙස සැලකිල්ලෙන් බැලිය යුතුය. රට තුල අධ්‍යාපන ප්‍රබෝධයක් ඇතිවේ නම් ඇමෙරිකාවේ සහ අනෙකුත් දියුණු රටවල සරසවි බබළවන අපේ වියතුන්ද මෙරටට නැවත ගෙන්වා ගැනීමට නොහැකි නොවනු ඇත.  

මා දකින ලෙස මෙහිදී සිදුවිය හැක්කේ පෞද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පහල මට්ටමක තිබීම නොව එය කෙටි කලකින්ම රජයේ සරසවි අභිබවා ඉහලට යාමයි. මෙය පැහැදිලි කිරීමට මම අද පවතින ද්විතික අධ්‍යාපනයෙන් උදාහරණයක් ගනිමි. 

සමීක්ෂණයක් කළහොත්, මේ වනවිට රාජකීය විදුහලෙන් අස්වී CIS සහ AIS ජාත්‍යන්තර පාසල් වලට පමණක් ඇතුළුවන සිසුන් ගණන සැහෙන්න ප්‍රමාණයක් බව පෙනෙනු ඇත. මේ තත්වයට හේතුව රාජකීය විදුහලේ අධ්‍යාපන තත්වය බාලවීම නොවේ. ඒම පාසලේ අධ්‍යාපන මට්ටම පෙර දිනටත් වඩා වැඩිවී ඇති බව මගේ හැඟීමයි. නමුත් සිදුවී ඇත්තේ මෙම ජාත්‍යන්තර පාසල් ඉතා ඉහල ප්‍රගතියක් සීග්‍රයෙන් අත්පත් කරගැනීමයි. මෙය මා දකින ආකාරයට අධ්‍යාපනයේ ඇතිවී තිබෙන හොඳ සෞඛ්‍ය සම්පන්න තත්වයකි. දැන් කලයුත්තේ රාජකීය විදුහලේ ප්‍රගතිය වැඩි දියුණු කිරීමද නැතිනම් ජාත්‍යන්තර පාසල් වසා දැමීමද යන්න ඔබ කල්පනා කර බලන්න.
  
ලෝක ශ්‍රේණිගත කිරීම්වල හෝ ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ඉහලම ඇති සරසවි 100 දෙස බලන්න. ඉන් එකක්වත් නොමිලේ අධ්‍යාපනය දෙන සරසවි නොවේ. දකුණු ආසියාවේ ශ්‍රේණිගත කිරීම් වල ඇති මුල් සරසවි 7 ම මුදල් අයකර අධ්‍යාපනය ලබාදෙන ඉන්දියාවේ සරසවිය. මුදල් අයකර අධ්‍යාපනය ලබාදෙන සරසවි වල ප්‍රමිතිය පාලනය කල නොහැකි නම් මේ තත්වය ඇතිවුයේ කෙසේදැයි කල්පනා කර බලන්න. 



රජයේ සරසවි වල සිටින සාර්ථක කථිකාචාර්යවරු එයින් ඉවත් වී මෙම පෞද්ගලික සරසවි වලට එක්වෙතැයි යන තර්කයද මා පිළිගන්නේ නැත. ඔවුන් එසේ එක්වෙයි නම් එසේ වන්නේ ඔවුන්ගේ සේවයට සරිලන වැටුපක් පෞද්ගලික සරසවි වලින් ගෙවන බැවිනි. මේ සඳහා පිළියම පෞද්ගලික සරසවි තහනම් කිරීමද? 

අපේ කලාපයේ ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය වැනි අනෙකුත් රටවල්වල නොමිලේ තෘතික අධ්‍යාපනය දෙන රජයේ සරසවිද, මුදලට අධ්‍යාපනය දෙන රජයේ මෙන්ම පෞද්ගලික සරසවිද ඇත. මේ රටවල සිදු නොවන දෙයක් ලංකාවේ පමණක් සිදුවිය හැකිද. 

අනෙක් අතට වෛද්‍ය වෘතිය සලකන්න. අද ඉතා ඉහල තත්වයේ පෞද්ගලික රෝහල් ගණනාවක් ලංකාවේ ඇත. මේ නිසා රජයේ රෝහල්වල සේවය කරන හොඳ වෛද්‍යවරු එයින් ඉවත් වී පෞද්ගලික රෝහල්වල සේවයට යන්නේ නැත. ඔවුන් බොහෝවිට රජයේ රෝහලේ මෙන්ම පෞද්ගලික රෝහලේද සේවය කරයි. සිදුවන්නේ වෛද්‍යවරයාගේ සේවය රජයේ රෝහලටත් පෞද්ගලික රෝහලටත් දෙකටම ලැබීමයි. අන්තිමට සිදුවී ඇත්තේ රටේ සිටින වෛද්‍ය වරයාගේ සේවය උපරිම අයුරින් රටට ලැබීමයි. සිදුවිය යුත්තේ මෙයද නැත්නම් සියලු පෞද්ගලික රෝහල් වසා දැමීමද?

පෞද්ගලික සරසවි විවෘත කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අදාළ පාර්ශව දැනුවත් විය යුතුය. ප්‍රයෝගික පුහුණුව සඳහා ශික්ෂණ රෝහලක් නොමැතිව අරඹන වෛද්‍ය විද්‍යාලයක් අසාර්ථක වන බව නොකිවමනාය. ලෝකයේ සාර්ථක වෛද්‍ය විද්‍යාල සියල්ලටම පහේ තමාගේම වූ ශික්ෂණ රෝහලක් ඇත. ඒම රෝහල් බොහෝ විට තත්වයෙන් උසස් බැවින් තමා සිසු අධ්‍යාපනයට උදව් විය යුතු බව දැන ගත්තත් බොහෝ රෝගීන් ඒම රෝහල් වෙත පැමිණේ. ඇමරිකාවේ බොහෝ වෛද්‍ය විද්‍යාල වල වැඩිම ආදායමක් ලැබෙන්නේ සිසුන්ගෙන් නොව ශික්ෂණ රෝහලෙනි. වෛද්‍ය විද්‍යාලය සමගම ශික්ෂණ රෝහලක් ඇති කිරීමෙන් සිසුන්ට මෙන්ම රටටද වන්නේ යහපතකි. 

ලංකාවේ නිදහස් අධ්‍යාපනය තෘතික මට්ටමේදී ස්ථාපිත කිරීමට නම් ගත යුතු ක්‍රියා මාර්ග දෙකකි. ඉන් පළමුවැන්න නම් සුදුසුකම් ලබන සියලුම සිසුනට නොමිලේ සරසවි අධ්‍යාපනය ලබා දීමයි. දෙවැන්න සරසවි වරම් නොලබන සිසුන්ගෙන් යම් කොටසකට හෝ උපාධියක්  ලැබීමට හැකිවන අයුරින් පෞද්ගලික සරසවි ඇති කිරීමයි. රජය හෝ වෙනයම් ආයතන වලින්  මෙම සරසවි සඳහා සිසුන්ට පුර්ණ සහ පාර්ශ්වික ශිෂ්‍යත්ව ලබා දීම මගින් සරසවි වරම් ලබන සිසුන් ගණන තව වැඩිකළ හැක.

මිලියන 11 ක් ජනගහනය සහිත කියුබාවේ සරසවි ධාරිතාව ලංකාවේ මෙන් 5 ගුණයකට ආසන්නය. එසේනම් මිලියන 23 ක ජනගහනයක් සිටින ලංකාවේ සරසවි සුදුසුකම් ලබන සිසුන් සියල්ලටම උපාධිය ලබාගැනීමේ අවස්ථාව නොමිලේ ලබාදීමට අපි තව කොපමණ දුර යා යුතුදැයි ඔබට සිතා ගත හැක. ප්‍රයෝගිකව මෙය කළ නොහැක්කකි. කළ හැකි නම් ඊට කලින් කලයුතු දේ තව බොහොම ඇත. සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබා එයට වරම් නොලැබෙන සිසුන්ගෙන් කොටසකට හෝ අවස්ථාවක් ලබා දීමට නම් පෞද්ගලික සරසවි හැරෙන්නට අපිට වෙන විසඳුමක් නැත.

"නිදහස් අධ්‍යාපනය රැකගනිව්" යන්න පසුගිය වසර තිහක පමණ කාලයක පටන් අද දක්වා හොඳ සටන් පාඨයකි. සටන් පාඨ වලින් රටක් දියුණු කළ හැකි නම් අද ලංකාව ලෝකයේ දියුණුම රටවලින් එකක් විය යුතුය.

මෙහිදී අප සැලකිය යුතු කරුණ නම් තෘතික මට්ටමේදී අපේ රටේ කිසි දිනක නිදහස් අධ්‍යාපනයක් නොතිබුණ බවයි. නැවතත් මා අවධාරණය කරන්නේ සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් 85% ට පමණ සරසවි යාමට නොහැකි නම් එහි නිදහස් අධ්‍යාපනයක් නොමැති බවයි. 

"නිදහස් අධ්‍යාපනය" ලෙස නම් කළ මිනි පෙට්ටිය ඔසවාගෙන යන දරුවන්ට මම මෙසේ කියමි. ඔබේ සටන "නොමිලේ අධ්‍යාපනය පමණක්" ලෙස වෙනස් කළහොත් ඔබට ඔබ යන ගමනට යම් හරයක් එකතු කළ හැක. එහෙත් ඉන් රටට ප්‍රයෝගික සුගතියක් වෙත් දැයි ඔබ කල්පනා කර බලන්න. 

නොඑසේ නම් ඔබ ඇත්තටම ඔසවාගෙන යන්නේ "නිදහස් අධ්‍යාපනයේ තිඹිරිගෙයිහිම මළගම" බව ඔබ තේරුම් ගන්න.

අවසාන වශයෙන් මම ඔබට යමක් පවසමි. ඔබට ඔබගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමට පැහැදිලි අයිතියක් ඇත. එහෙත් ඔබට අනෙකාගේ අධ්‍යාපනය නවතන්න යැයි ඉල්ලීමට කිසිඳු අයිතියක් නැත. එය මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන සාපරාධී ක්‍රියාවක් බව තේරුම් ගන්න. 

................................................................................................
Following is my reply to a comment made with a name 'Aka'. Please check in the "comments" section for his/her comment.

ඔබගේ අදහස් වලට බොහොම තුති. එය හොඳ සංවාදයකට ආරම්භයකි.

ප්‍රථමයෙන්ම කිව යුත්තේ ඔබ සඳහන් කරන බොහෝ (සෑම කීවත් නිවැරදිය) මහජන / ජාතික විශ්ව විද්‍යාලයක්ම සිසුන්ගෙන් මුදල් අය කරන බවයි. උදාහරණයකට ඔබ සඳහන් කරන University of California (Berkeley) හි ප්‍රථම උපාධිය සඳහා වන ගාස්තු චක්‍රය පහත දිගුවෙන් බලන්න.

http://admissions.berkeley.edu/costofattendance

මා රජයේ සහ පෞද්ගලික ලෙස විශ්වවිද්‍යාල වර්ග කිරීම කෙරෙහි දැඩි අකමැත්තක් දක්වන්නේද මේ නිසාය. එය බොහෝ දෙනා නොමග යවන සුළුය. රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය සන්තකය, රාජ්‍ය දායකත්වය, රාජ්‍ය මැදිහත්වීම සහ රාජ්‍ය අධීක්ෂණය යටතේ විශ්ව විද්‍යාල පාලනය වීම වඩාත් ඵලදායකය. පුර්ණ පෞද්ගලික අංශයේ සරසවි පවා UGC අධීක්ෂණය යටතේ පැවතිය යුතු බව මගේ වැටහීමයි. නමුත් මේ ආයතන වලින් සියලු දෙනාටම නොමිලේ අධ්‍යාපනය දිය යුතු යැයි මා පවසන්නේ නැත. ඇත්තටම සියළු සරසවි නොමිලේ අධ්‍යාපනය ලබාදීම යනු හුදෙක් රට අගාධයකට ඇද දමන සංඛල්පයකි. මා එරෙහි වන්නේ එයටයි. මෙතෙක් එවන් අධ්‍යාපනයක් ලබාදීමෙන් අප රටට අත්වූ සෙතක් ඇත්දැයි කල්පනා කර බැලීම වටියි.

මා මෙහිදී බලන්නේ මේ ප්‍රශ්ණයේ විසල් දර්ශණය (big picture) දෙසයි. SAITM, වැනි ආයතන අධ්‍යාපනයේ නිදහස (Freedom of Education) සමග ඇතිවන ප්‍රාථමික අවස්ථාවයි. මෙබඳු ආයතනවල බොහෝ අඩු පාඩුකම් ඇති අතර එම වැරදි නිවැරදි කරගැනීමට සටන් වැදීමේ කිසිඳු වරදක් නැත. ඔබ සඳහන් කරන මුදල් අයකරන ඉහල ප්‍රමිතියේ මහජන / ජාතික / පෞද්ගලික විශ්ව විද්‍යාල දක්වා ගමන් කිරීමට යම් කාලයක් ගතවේ. නමුත් එහි ප්‍රාථමික අවධිය අප පසුකල යුතුය. මෙම SAITM / SLIIT යුගය අප පසුකල යුතුව තිබුනේ 80 / 90 දශක වලයි. එසේ නම් මේ වන විට අප NUS, Monash යුගයක ඉන්නට තිබුණි. අවාසනාවට එසේ සිදු වුයේ නැත.

මා ඔබට සුළු උදාහරණයක් දෙන්නම්. 80 දශකයේදී දී බිහි වූ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැත්ත විරෝධයක් මතුවූ බැවින් එය රජයට පවරා ගෙන නොමිළේ අධ්‍යාපනය දීමේ තත්වයට පත් කළේය. එමගින් කී දහසකට නොමිළේ අධ්‍යාපනය ලැබුණා දැයි කියමින් සමහරුන් සතුටු වෙති. නමුත් මෙහිදී බොහෝ දෙනෙකුට අමතක වන්නේ එම නොමිළේ අධ්‍යාපනය වෙනුවෙන් රටේ දුප්පතුන් කී දෙනෙකු මත බර පැටවුනාද යන්නයි. 

නොමිළේ අධ්‍යාපනය ඉල්ලා කෑගසන අයම ඒ වෙනුවෙන් බඩු මිල වැඩිවන විට, මාසේ අන්තිමට ලැබෙන බිල් පත් දෙස බලන විට නැවතත් මරහඬ තලති. සියලු දෙනාටම නොමිළේ අධ්‍යාපනය දිය හැකි තරම් මුදල් ඇත්නම් කිසිම රජයක් එය නොකර සිටිනු ඇතැයි මම නොසිතමි. එහෙත් ලංකාව වැනි රටක් දිවිය යුත්තේ අතිශයින්ම ඇහිරුණු මුදල් පසුම්බියකිනි. ඔබගේ පියාට ලැබෙන මාසික පඩිය මෙන් දෙගුණයක් ඔබ වෙනුවෙන් වියදම් කරන්න කියා ඔබ මොන තරම් අඬා වැලපුනත් වැඩක් වේද?

හැමදේම නිකම් දීපියව් කියා හඬ තැලීම වියත් නොවූ සමාජයක අනාගත දේශපාලකයෙක් වීමට ඇති කෙටිම මගයි. පසු කලෙක මේ හඬ තලන්නෝ බොහෝ දෙනෙක් නතර වන්නේ ප්‍රති විරුද්ධ තලයකයි. එදා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට පෙරමුණේ සිටි ක්‍රියාකාරී නායකයා අද SAITM හි උප කුලපතිවරයාය.


ඔබ යතාර්ථයෙන් බැහැරව සිටින තාක් කල් ලංකාව පසු පසට ඇදී යාම වැළකිය නොහැක. 


29 comments:

  1. බොහොම තාර්කික එමෙන්ම පැහැදිලි සටහනක් චන්දිම. ඔබට දහස් වරක් ස්තූතියි!

    ReplyDelete
  2. බොහෝම අපූරු විග්‍රහයක් චන්දිම. නිදහස් සිතුවිලි බ්ලොග් එකේ රවී තමා පාර කියුවේ.

    ReplyDelete
  3. හොද පැහැදිලි කිරීමක්
    ස්තූතියි

    ReplyDelete
  4. ගොඩක් හොඳ ලිපියක්, පත්තරේක පල කරන්න තිබ්බ නම් වඩා වටිනවා...

    ReplyDelete
  5. අතිශය තර්කානුකූල අගනා ලිපියක්... මෙය ජනතාව අතරට යායුතුයි...

    ReplyDelete
  6. නිදහස් සිතුවිලි බ්ලොග හරහා පැමිණියෙමි.
    බොහොම ස්තූතියි ඔබට.
    ජයවේවා..!!

    ReplyDelete
  7. ඔබ සියලු දෙනාටම දැක වූ අදහස් වලට බොහෝ සෙයින් තුති පුදමි

    ReplyDelete
  8. ඔබතුමාගේ බ්ලොග් එක ඇස ගැටුනේ අද. මම ඔබතුමාව පුද්ගලිකව දන්නේ කොළඹ වි විද්‍යාලයේ භෞතිකවිද්‍යා අංශයේ හිටපු කාලයේ ඉඳන්. එවකට දැකපු ඔබතුමා සහ දැන් දකින ඔබතුමා අතර ලොකු වෙනසක් මම දකිනවා. එහෙම කියන්න හේතුව එවකට ඔබතුමා මෙහෙම හඬක් නොනගපු නිහඬ පිළිවෙතක් අනුගමනය කරපු පුද්ගලයෙක් නිසා. සැමටම හැකි අයුරින් අද්යාපන ලැබීමේ අයිතිය වෙනුවෙන් හඬක් නගන්න ඉදිරිඅත්වීම ගැන ඔබතුමාට හදවතින්ම ස්තුතියි. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඇතුලේ තියන සීතල යුද්දය සහ වැඩවසම් ක්‍රමය නිසා දක්ෂ ගුරුවරුන් අපේ විශ්වවිද්‍යාල දරුවන්ට අහිමිවීම ගැනත් හඬක් නැගිය යුතුයි කියල මම යෝජනා කරන්න කැමතියි ඔබතුමාට.

    මේ බ්ලොග් එකට blog follower එක එල්ලුවොත් ඔබතුමා ලියන හරවත් දේවල් මගහැරෙන්නේ නැතුව කියවන්න ලේසියි අපිට. මමත් කාලයක් ඔබතුමාගේ අධීක්ෂණය යටතේ රැකියාව කරපු කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට සහ blog follower ගැන කියා දුන්නාට ස්තූතියි. සමහර කාල වකවානු සහ පරිසර පද්ධති තුල නිහඬව සිටීම බොහෝ යහපත් ප්‍රතිඵල ගෙනදෙයි. ඔබ කියනා දෙය සත්‍යයක්. රට දියුණු කිරීමට අපගේ උගත් පරපුරෙහිද ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ.

      මා කෙටි උදාහරණයක් දෙන්නම්. මැලේසියාවේ මා සේවය කරන සරසවියේ සිටින ඉතා ඉහල තාක්‍ෂණ දැනුමක් ඇති තරුණ අනධ්‍යන සේවකයන් දෙදෙනෙක් මා මෙහි පැමිණ වසර හතරක් පමණ වන විට මගේ අවධානයට යොමුවිය. ඔවුන් දෙදෙනා සමග දීර්ඝ කාලයක් සාකච්චා කිරීමෙන් පසු කෙසේ හෝ ඔවුන් PhD උපාධියක් දක්වා ගෙන යාමට මම ඔවුන් පොළඹවා ගත්තෙමි. මෙය ඔවුන් සිහිනෙන් වත් බලාපොරොත්තු නොවූ දෙයකි. දැන් ඔවුන් විශ්ව විද්‍යාලයේද අනුග්‍රහය සහිතව තම ප්‍රථම උපාධියේ අවශ්‍යතා කිහිපයක් සපුරා ගනිමින් සිටිති. කෙදිනක හෝ මේ පර්යේණාගාර සහකරුවන් දෙදෙනා ආචාර්යවරුන් වනු ඇත. එවන විට මා කොහේ සිටිදැයි නොදනිමි. එහෙත් එහි යහ ප්‍රතිඵල මැලේසියාවට ලැබෙනු ඇත. මේ ක්‍රියාවලිය මා කොළඹ විශ්ව විද්‍යාලයේ සිදු කරන්න උත්සහ කළා නම් මගේ රැකියාවද අහිමි වීමට ඉඩ තිබුණි.

      Delete
    2. ස්තුතියි මා විසින් පලකල අදහසට පිළිතුරු සැපයීම සම්භන්ධව ..

      මා කොළඹ වි වි හි සේවය කල වකවානුවේ මා විසින් විනෝදය පිණිස නිර්මාණය කළා වූ භූමිතෙල් වලින් ධාවනය වන මොටර් රථයේ පැන නැගුනු දෝෂ කිහිපයක් නිරාකරණය කරගැනීමට ඔබතුමාගේ බුද්ධිමය දායකත්වය නොමසුරුව ලබාදීමට ඉදිරිපත්වූ ඔබතුමා අනෙකුත් ආචාර්යවරුන්ගෙන් වෙනස් ගනයේ පුද්ගලයෙක් වශයෙන් හඳුනාගතිමි.


      මමත් ඔබතුමාට උදාහරණයක් වශයෙන් යමක් කියන්න කැමතියි. මම භෞතික විද්‍යා අංශයේ සේවය කරපු කාලයේ එහි සිටි නරකම කාර්මික නිලධාරියා වුයේ මමයි. එහෙත් වසර පහක ඇමෙරිකා එක්සත් ජනපදයේ සේවා කාලය තුල මා සේවය කරන ආයතනයේ දක්ෂතම කාර්මිකයා සහ හොඳම සේවකයා වෙනුවෙන් සම්මානයකින් සහ මුදල් ත්‍යාගයකින් මා පිදුම් ලැබුවා පහුගිය වසර වෙනුවෙන්. මා ලංකාවේදී නරකම සේවකයා වීමටත් මෙහිදී හොඳම සේවකයා වීමටත් හේතුව සොයා බලා මිනිසුන්ගේ ගුණාත්මක භාවය සහ කාර්ක්ෂම භාවය වැඩිකරගනීමට බුද්ධිමත් පාලකයන් ලංකාවේ විරල වීම එයට හේතුව වශයෙන් මම දකිමි. එහිම තවත් පලයක් වශයෙන් ඔබතුමා වැනි උගත් බුද්ධිමත් පිරිසද ලංකාව හැරයාම අපගේ දරු පරපුරේ අවාසනාවයි. අධ්‍යාපනයට මෙන්ම රටටද සිදුවී ඇත්තේ උගත් බුද්ධිමත් නොවන පිරිසක් සියළුව ශේස්ත්‍රහි ලොකු පුටු වලට සහ පාලන තන්ත්‍රයට පත්වීම යයි මම දකිමි.

      උගත්කම පමණක් කරපින්නාගෙන මම හරි න්‍යායෙන් මෝඩකම විදහාපාන ශ්‍රීලාංකීය උගත් පරපුරේ උගත් සහ බුද්ධිමත් යන භාවයන් දෙකම එක් පුද්ගලයෙකුට පිහිටීම ඉතාමත් දුර්ලභ බැවින්, කලාතුරකින් දකින්නට ලැබෙන උගත් බුද්ධිමත් පුද්ගලයකු වශයෙන් ඔබතුමාට අපගේ දරු පරපුර වෙනුවෙන් තව තවත් හඬ නගන්නට ශක්තිය දහිර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

      Delete
  9. Free education vs freedom of education
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=43725

    ReplyDelete
  10. මං කැම්පස් ගිය එකෙක් නොවෙමි. එනමුත් මට පේන විදිහට මේ උද්ඝෝෂණ වලට හේතුව, උගතුන් වැඩිවීම හේතුවෙන් රැකියා වලට තරඟයක් ඇතිවේයැයි සිතෙන අනියත බියයි. ඒ වගේම පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිවීමත් සමග ඒවායේ අයිතිකාරයෝ සිය පාරිභෝගිකයන් වැඩිකර ගැනීමට රජයේ ලොක්කන්‍ට අල්ලස් දී රජයේ විශ්වවිද්‍යාල වසාදමවනු ඇතැයි සමාජගත බියයි.

    ReplyDelete
  11. අචාර්‍ය චන්දිම මහතානෙනි,
    ඉතාම කාලෝචිත හා රටට අවශ්‍ය කතිකාවතකි,
    මේ ලිපිය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය යුතු අතර, විශේශයෙන් අධ්‍යාපන ක්ශේත්‍රයෙ ප්‍රවීනයෙකු මෙවන් අදහසක් එඩිතරව දැක්වීම නිසා එය සැලකීමට බඳුන් වනු ඇත.
    ඔබතුමාගේ ව්‍යායාමයට ඉත සිතින් සුභ පතමි. මේ ලිපිය තවත් එක් අයෙකුගේ හෝ අවධානයට ලක් කිරීමට කල හැකි සියල්ල කරමි.

    ReplyDelete
  12. නිකන් දෙන විට කොයි දේත් අගයක් නැත. ගෙවලා ඉගන ගන්න වුනානම් මිනී පෙට්ටි ලොවෙත් නැත..ඒ දවස්වල උදුල්ලා යටිගිරියෙන් බෙරිහන් දෙන විට අපට හිතුනේ ඔවුන් ආණ්ඩුවටත් වඩා උඩින් ඉන්නවා කියාය..නිකන් ඉගන ගන්නා විවි සිසුන් එ් තරම් චන්ඩින්ය, කෙරුමන්ය. ඔවුන් ඉගන ගැනීම හැර හැම දෙයක්ම කරනනේදෝයි අපට සිතුනි. ඔවුන් නිසා අධ්‍යාපනය කඩාකප්පල් වූ හෝ අතර මගදී හැර ගිය කී දෙනෙක්දැයි හරියටම කිව නොහැකි නමුත් එහෙම පිරිසක් ඇති බවට සහතිකය..

    නිකන් දෙන අධ්‍යාපනයට විනය මාලාවක් සකසන ගමන්ම හැකියාව ඇත්තන්ට ගෙවා ලබා ගත හැකි අධ්‍යාපනයක් තිබිය යුතුමය. වෛද්‍යවරුන්, ඉන්ජිනේරුන්, ගුරුවරුන් පමනක් තනනු වෙනුවට ලෝකය සමඟ ඉදිරියට යා හැකි නවීන ලෝකයට අවැසි වෘතීකයන් තනන විවි පද්ධතියක් රටට අවැසිය...


    ReplyDelete
  13. ප්‍රධාන වශයෙන්ම උපාධි ලබාදෙන ආයතන වර්ග තුනක් ලෝකයේ ඇත.

    ඒවානම්,
    1. Public / Naional University හෙවත් මහජන / ජාතික විශ්ව විද්‍යාල
    මහජන වි.වි. යනු බොහෝ විට රජයේ (මහජන ) මුදල් මඟින් නඩත්තු කරනු ලබන අතර ජාතික වි.වි. යනු මහජන මුදලින් නඩත්තු කරන අතරම රජයේ සෑහෙන කොට මැදිහත්වීම් ඇති වි.වි. වේ. ලෝකයේ මේවාට උදාහරන ලෙස University of California (Berkeley), University of Illinois at Urbana–Champaign, National University of Singapore ආදිය හැඳින්විය හැක. ඉතා ඉහල අධ්‍යාපන ශේණි ගතකිරීම (accadamic ranking) වල ඇති මහජන / ජාතික විශ්ව විද්‍යාල විශ්ව විද්‍යාලතිබේ.

    2. Private University හෙවත් පුද්ගලික විශ්ව විද්‍යාල

    මේවා ලාභ නොලබන පුද්ගලික ආයතන වේ. ඒවාට අයිතිකාරයෙක් නැත. කොටස් හිමියන්ද නැත. ලබන ආදයම එම ආයතයේ ඉදිරියට මිස කිසිවෙකුටත් ආදයමක් නොවේ. ලෝකයේ මේවාට උදාහරන ලෙස MIT, Harvard, Stanford University ආදිය හැඳින්විය හැක. ඉතා ඉහල අධ්‍යාපන ශේණි ගතකිරීම (accadamic ranking) වල ඇති පුද්ගලික විශ්ව විද්‍යාල තිබේ.

    3. For-profit/proprietary university හෙවත් ලාභ ලබන විශ්ව විද්‍යාල

    මේවා ලාභ ලබන ව්‍යාපාරික ආයතන වේ. උදාහරනයක් ලෙස University of Phoenix ගත හැක මෙය සිසුන් 300, 000 පමන ඇති ආයතනයක් වන අතර එහි අයිතිය Apollo Group Inc. නැමැති පොදු සමාගමට (PLC) අයත් වේ .

    මේවායේ අධ්‍යාපන ශේණි ගතකිරීම (accadamic ranking) තිබේනම් ඒවා පහල මට්ටමක ඇත. උදාහරනයක් ලෙස University of Phoenix යන්න QS, ARWU, Times Higher Education World University Rankings යන අධ්‍යාපන ශේණි ගතකිරීමේ පද්ධති තුල විශ්ව විද්‍යාලයක් ලෙසවත් නොපෙන්වයි. මෙය සිසුන් 300, 000 පමන ඇති ආයතනයක් වන අතර එහි අයිතිය Apollo Group Inc. නැමැති පොදු සමාගමට (PLC) අයත් වේ .

    ReplyDelete
  14. ඇමරිකාවේ හෝ එක්සත් රාජධානියේ හෝ සාමාන්‍ය අර්ථයෙන් පුද්ගලික විශ්ව විද්‍යාලය (private university) ලෙස හැඳින්විය හැකි ආයතන මා දන්නා තරමට ලංකාවේ නැත. නමුත් ලංකාවේ පුද්ගලික අධ්‍යාපනය ආයතන වලින් ලබා දෙන උපාධි බොහෝ විට බටහිර රටක (එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හෝ ඔස්ට්‍රේලියාව වැනි) private or public වි.වි. මඟින් ලබාදෙන උපාධි නිසා ඒවායේ ප්‍රමිතිය සාමාන්‍යෙන් දැඩිව පරීක්ෂා කෙරේ.

    මා දන්නා තරමට බටහිර රටක ඇති for-profit වි.වි. උපාධි ලංකාවේ පුද්ගලික අධ්‍යාපන ආයතන මඟින් ලබා නොදේ. ප්‍රමිතිය නැති කල උපාධි ලබා දීමේ හැකියාව නැති කල අවස්ථා අසා ඇත.

    මා දන්නේ තරමින් මෙහි සඳහන් තුන්වන කාණ්ඩයේ ලාභ ලබන විශ්ව විද්‍යාල විශාල ප්‍රමානයක් තිබීම මඟින් දියුනු වූ රටක් නැත.

    ඉන්දියාව තුල ඒ තුන්වන වර්ගයේ වි.වි. (වෛද්‍ය විද්‍යාලද ඇතුලුව ) සෑහෙන තරමක් ඇති අතර ඒවායේ බරපතල ගනයේ ප්‍රමිති ගැටළු ඇත.

    SAITM කියනවානම් private university ලෙස හඳුන්වන්න පුලුවන් එකක් නෙමේ. එය වැටෙන්නේ for-profit university යටතට.

    for-profit university කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පවා එතරම් ජනප්‍රිය දෙයක් නෙමේ. එහිත් for-profit වෛද්‍ය විද්‍යාල තිබෙන්නේ එකක් පමනයි. ඒකත් ලඟදී පටන් ගත් දෙයක්.

    නමුත් for-profit වෛද්‍ය විද්‍යාල ඉන්දියාවේ නම් සෑහෙන තිබෙන බවයි කියවෙන්නේ. නමුත් ඉන්දියන් වෛද්‍ය විද්‍යාල කියන්නේ ප්‍රමිතිය පිලිබඳ බරපතල ගැටළු ඇති තැන්.

    ඒ වගේම for-profit වෛද්‍ය විද්‍යාල ලංකාවේ කරන්න පුලුවන්ද කියන ගැටළුව තිබෙනවා. වෛද්‍ය සභාවේ නිරීක්ෂන වලට අනුව SAITM වල සායනික පුහුනුව ඉතා දුර්වලයි. එහි රෝහලේ ඇදන් 800 තියනවා කියුවත් තිබෙන්නේ 200. එයට කොපමන රෝගීන් යනවාද කියන එකත් ගැටළුවක්. ඒ වගේම සාමාන්‍යෙන් පුද්ගලික රෝහල් වල රෝගීන් කැමති නැහැ වෛද්‍ය සිසුන්ගෙන් පරීක්ෂාවට ලක් වෙන්න.

    මෙය නිසි ප්‍රමිතියට කරන්න නම් රජයේ රෝහල යොදා ගන්නම වෙනවා. වෙනත් වචන වලින් කියනවානම් මෙය රජයේ රෝහල් නොමැතිව කල නොහැකියි. රජය මත මෙතරම් රඳා පවතින ව්‍යාපාරයක් එතරම් සාර්ථක නැති බව කියන්නේ ඕන.

    ඒ වගේම SAITM ආයතනය සම්බන්ද ඉතිහාසය ගත් විට මෙහි ප්‍රමිතිය කොතරම් දුරට බැලිය හැකිද යන ගැටළුව ඇති වෙනවා. මොකද මෙය පටන් ගත් කාලයේ මුලු සිට විවිද නීතිමය ගැටළු වලට මුහුන දුන්නා. උදාහරනයක් ලෙස කියනවානම් හි වෛද්‍ය පීඨයක් පටන් ගැනීම, රෝහල සඳහා අවසර ගැනීම, රෝහල ඉදිකිරීම යන සියල්ලම නිසි පිලිවෙලට නොකිරීම නිසා ගැටළු වලට මුහුන දුන්නා. වෛද්‍ය සභාවේ (SLMC) සභාපතිට ඉල්ලා අස් වෙන්නත් සිදු උනා.

    http://www.thesundayleader.lk/2012/01/08/the-fraud-perpetrated-by-saitm/

    http://www.thesundayleader.lk/2013/06/23/saitm-deceiving-students-misleading-courts/

    ලංකාවේ රජයේ වි.වි. ගතහොත් ඒවායේ මුදල් වෙන් කිරීම පිලිබඳ ගැටළු තිබෙනවා. රැකියා වෙළඳපොල ඉලක්ක නොකල පාඨමාලා නිසා විශාල මුදල් ප්‍රමානයක් අපතේ යනවා. ඒ වගේම විවිධ පීඨ හා උපාධි පාඨමාලා විශාල ලෙස පටන් ගැනුනත් ඒ සඳහා අචාර්ය වරු සොයා ගැණීමට ලොකු උනන්දුවක් නෑ.

    ඒ වගේම පර්යේෂණ සඳහා හොඳ උනන්දු කිරීමක් නැහැ (මේ ගැන් ඉතා දීර්ඝව ලිවිය හැකියි ). උදාහරනයක් ලෙස ඒ සඳහා මුදල් ලබා ගැනීම අසීරුයි. ලෙස හොඳ h-ඉන්ඩෙක්ස් එකක් ලබා ගැනීම සඳහා බොහෝ විට හොඳ පිලිගැනීමක් සහිත conference එකක හෝ journal එකක පත්‍රිකාව පලකල යුතුයි. නමුත් එවැන්නක් සඳහා වියදම් සොයා ගැනීම අසීරුයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් වලට බොහොම තුති. එය හොඳ සංවාදයකට ආරම්භයකි.

      ප්‍රථමයෙන්ම කිව යුත්තේ ඔබ සඳහන් කරන බොහෝ (සෑම කීවත් නිවැරදිය) මහජන / ජාතික විශ්ව විද්‍යාලයක්ම සිසුන්ගෙන් මුදල් අය කරන බවයි. උදාහරණයකට ඔබ සඳහන් කරන University of California (Berkeley) හි ප්‍රථම උපාධිය සඳහා වන ගාස්තු චක්‍රය පහත දිගුවෙන් බලන්න.

      http://admissions.berkeley.edu/costofattendance

      මා රජයේ සහ පෞද්ගලික ලෙස විශ්වවිද්‍යාල වර්ග කිරීම කෙරෙහි දැඩි අකමැත්තක් දක්වන්නේද මේ නිසාය. එය බොහෝ දෙනා නොමග යවන සුළුය. රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය සන්තකය, රාජ්‍ය දායකත්වය, රාජ්‍ය මැදිහත්වීම සහ රාජ්‍ය අධීක්ෂණය යටතේ විශ්ව විද්‍යාල පාලනය වීම වඩාත් ඵලදායකය. පුර්ණ පෞද්ගලික අංශයේ සරසවි පවා UGC අධීක්ෂණය යටතේ පැවතිය යුතු බව මගේ වැටහීමයි. නමුත් මේ ආයතන වලින් සියලු දෙනාටම නොමිලේ අධ්‍යාපනය දිය යුතු යැයි මා පවසන්නේ නැත. ඇත්තටම සියළු සරසවි නොමිලේ අධ්‍යාපනය ලබාදීම යනු හුදෙක් රට අගාධයකට ඇද දමන සංඛල්පයකි. මා එරෙහි වන්නේ එයටයි. මෙතෙක් එවන් අධ්‍යාපනයක් ලබාදීමෙන් අප රටට අත්වූ සෙතක් ඇත්දැයි කල්පනා කර බැලීම වටියි.

      මා මෙහිදී බලන්නේ මේ ප්‍රශ්ණයේ විසල් දර්ශණය (big picture) දෙසයි. SAITM, වැනි ආයතන අධ්‍යාපනයේ නිදහස ( ) සමග ඇතිවන ප්‍රාථමික අවස්ථාවයි. මෙබඳු ආයතනවල බොහෝ අඩු පාඩුකම් ඇති අතර එම වැරදි නිවැරදි කරගැනීමට සටන් වැදීමේ කිසිඳු වරදක් නැත. ඔබ සඳහන් කරන මුදල් අයකරන ඉහල ප්‍රමිතියේ මහජන / ජාතික / පෞද්ගලික විශ්ව විද්‍යාල දක්වා ගමන් කිරීමට යම් කාලයක් ගතවේ. නමුත් එහි ප්‍රාථමික අවධිය අප පසුකල යුතුය. මෙම SAITM / SLIIT යුගය අප පසුකල යුතුව තිබුනේ 80 / 90 දශක වලයි. එසේ නම් මේ වන විට අප NUS, Monash යුගයක ඉන්නට තිබුණි. අවාසනාවට එසේ සිදු වුයේ නැත.

      මා ඔබට සුළු උදාහරණයක් දෙන්නම්. 80 දශකයේදී දී බිහි වූ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැත්ත විරෝධයක් මතුවූ බැවින් එය රජයට පවරා ගෙන නොමිළේ අධ්‍යාපනය දීමේ තත්වයට පත් කළේය. එමගින් කී දහසකට නොමිළේ අධ්‍යාපනය ලැබුණා දැයි කියමින් සමහරුන් සතුටු වෙති. නමුත් මෙහිදී බොහෝ දෙනෙකුට අමතක වන්නේ එම නොමිළේ අධ්‍යාපනය වෙනුවෙන් රටේ දුප්පතුන් කී දෙනෙකු මත බර පැටවුනාද යන්නයි.

      නොමිළේ අධ්‍යාපනය ඉල්ලා කෑගසන අයම ඒ වෙනුවෙන් බඩු මිල වැඩිවන විට, මාසේ අන්තිමට ලැබෙන බිල් පත් දෙස බලන විට නැවතත් මරහඬ තලති. සියලු දෙනාටම නොමිළේ අධ්‍යාපනය දිය හැකි තරම් මුදල් ඇත්නම් කිසිම රජයක් එය නොකර සිටිනු ඇතැයි මම නොසිතමි. එහෙත් ලංකාව වැනි රටක් දිවිය යුත්තේ අතිශයින්ම ඇහිරුණු මුදල් පසුම්බියකිනි. ඔබගේ පියාට ලැබෙන මාසික පඩිය මෙන් දෙගුණයක් ඔබ වෙනුවෙන් වියදම් කරන්න කියා ඔබ මොන තරම් අඬා වැලපුනත් වැඩක් වේද?

      හැමදේම නිකම් දීපියව් කියා හඬ තැලීම වියත් නොවූ සමාජයක අනාගත දේශපාලකයෙක් වීමට ඇති කෙටිම මගයි. පසු කලෙක මේ හඬ තලන්නෝ බොහෝ දෙනෙක් නතර වන්නේ ප්‍රති විරුද්ධ තලයකයි. එදා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට පෙරමුණේ සිටි ක්‍රියාකාරී නායකයා අද SAITM හි උප කුලපතිවරයාය.

      ඔබ යතාර්ථයෙන් බැහැරව සිටින තාක් කල් ලංකාව පසු පසට ඇදී යාම වැළකිය නොහැක.

      Delete
  15. ගාස්තු අය කිරීම හෝ නොකිරීම මට එතරම් වැදගත් දෙයක් ලෙස පෙනෙන්නෙ නෑ. බොහෝ රටවල ජාතික හෝ මහජන (public/national) වි.වි. මුදල අය කරනවා. එසේ මුදල අය කරන වි.වි. වලත් අති දක්ෂයන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා. දැනට මට වි.වි. වල තිබෙන කෙටි අත්දැකීමෙන් පවා නිදහස් අධ්‍යාපනයේ සීමා හා දුර්වලතා දැක තිබෙනවා. එය නොමිලේ සියල්ලන්ටම පිදිය යුත්තක් නොවේ.

    UGC අධීක්ෂනය මම වැඩි පුර කියන්නේ නැහැ. නමුත් මගේ හැඟීම දැනට එය දුර්වල බව.

    උපාධි accredit කිරීම අනිවාර්‍යෙන්ම කල යුතු දෙයක්. එයට ජාතිකද, පුද්ගලිකද , ලාභ උදෙසා වන වි.වි. ක්ද කියන එක වැදගත් නෑ. අධීක්ෂනයෙන් තොරව උපාධි ලබා දෙන ආයතන diploma mill වෙනවා. නමුත් යම් ආයතනයක් පාලනය කිරීම හා මුදල දෙන ආයතනයම තත්ව පරීක්ෂා කිරීමත් කිරීම එතරම් සාර්ථක දෙයක් නොවේ. මේක මගේ අදහසක් නොවේ. සාමාන්‍යෙන් ලෝකෙ තිබෙන මතයක්.

    ඒ වගේම SAITM වැනි ආයතන SLIIT ආයතනයත් සමඟ එක මට්ටමට දැමීමට මටනම් හේතුවක් පෙනෙන්නේ නෑ. SLIIT ආයතනය මම දන්නා තරමට ලාභ නොලබන (not-for-profit) ආයතනයක් ලෙස පවතින එකක්. SAITM ආයතනය කියන්නේ මම දන්නා තරමට එහි අයිතිකරුට ලාභ උපයන ආයතනයක්.

    මම මුලින් කිව්වා සේ ලාභ උදෙසා වන වි.වි. (for-profit university) වලින් කිසිම එකක් කිසිම academic ranking system එකක හොඳ academic ranking එකක් නෑ. බොහෝ ඒවා rank වෙන්නේ පවා නෑ. එක්සත් ජනපදයේ පවා ලාභ උදෙසා වන වි.වි. සම්බන්ධයෙන් අති විශාල ගැටළු තිබෙන අතරම ඒ ගැටළු නිසාම ඒවා දැනට අඩු වෙමින් පවතින්නේ (in decline).

    එසේම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හෝ ඕස්ට්‍රේලියාව වැනි රටවල් දියුනු වි ඇත්තේ හොඳ පර්යේෂන හා ඒ හා බැඳුනු කර්මාන්ත නිසා කීවොත් මේ කිසිම රටක ඒ දියුනුවට for-profit වි.වි මහා පරිමානයෙන් බලපා නෑ. එසේම මේ රටවල තිබෙන for-profit වි.වි දැනට පවා කරන්නේ වෘත්තීය සුදුසුකම් සඳහා අවශ්‍ය වන උපාධි ලබා දීම මිස පර්යේෂන කිරීම නොවේ.

    ඔබතුමා මීට වෙනස් යතාර්ථයක් දන්නවා නම් එය උදාහරනත් සහිතවම සියලු දෙනාගේම දැන ගැනීම පිනිස ඉදිරිපත් කල හැකියි. ඒ කියන්නේ උදාහරන ලෙස ඉතා හොඳ academic ranking සහිත for-profit වි.වි. ගැන ලිපියක් වැනි දෙයක්. එවිට එය වි.වි. උදෙසාත් අනුබලයක් වේවි.

    එසේම බොහෝ රටවල අධ්‍යාපනය කියන්නේ සෑහෙන දුරට තමන්ගේ ආර්ථික තත්වය මත රඳා පවතින දෙයක් බවත් මා දන්නවා. දක්ෂතාව තිබුනත් මුදල් නොමැතිනම් ( මෙය එක එක්කෙනාට සාපේක්ෂයි. මම මේ කියන්නේ පාසැල් යන්නවත් මුදල් නොමැතිව අය ගැන ) ලංකාවේ පවා අධ්‍යාපනය අසීරුයි. එසේම දුප්පතුන් සඳහා කොතරම් තුබුනත් ඒ හිල් අස්සෙන් වැටෙන අය සිටින බව හා අනාගතයෙත් වැටෙන බව මා දන්නවා. එය වලක්වන්න බෑ. එය තමා යතාර්ථය.

    ලංකාවේ දැනට තිබෙන for-profit වි.වි. නිසා බොහෝ දෙනෙකුගේ ආර්ථික මට්ටම යහපත් වී තිබෙනවා. එයටත් විවාදයක් නෑ. නමුත් උසස් අධ්‍යාපනය පිලිබඳ කතාව අදාල විය යුත්තේ රටේ සංවර්ධනයට අදාලව.

    ReplyDelete
    Replies
    1. ලංකා රජයට විශ්වවිද්‍යාල දියුණු කිරීමට කිසිදු ඕන කමක් නැත.විශ්වවිද්‍යාල බලදරීන්ටත් උවමනා නැත.පාඨමාලා යාවත්කාලීන වීමක් නැත.

      Delete
  16. වෛද්‍ය විද්‍යාල ගැනනම් මට කියන්න තිබෙන්නේ උදාහරනයක් ලෙස ඉන්දියාව ගන්න කියා. එය හොඳ නරක අතින් ලංකාවට කිට්ටු තැනක්.

    කලකට පෙර ඉන්දියාවේත් වෛද්‍යවරුන් හිඟය නිසා ලොකු ගැටළු තිබුනා. ඒ නිසා රජය විසින් වෛද්‍ය විද්‍යාල වැඩි පුර ආරම්භ කරන්න ඉඩ දුන්නා. එයින් ප්‍රයෝජන ගත් ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් වෛද්‍ය විද්‍යාල හිතූමතේ පටන් ගත්තා. අද වන විට ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනය ඉතාම දූශිත එකක් වෙලා. වෛද්‍ය විද්‍යාල වලට පිලිගැනීම ලබා දීමට අල්ලස් ගත් නිසා ඉන්දියන් වෛද්‍ය සභාවේ සභාපතිවරයෙක් පවා අත් අඩංගුවට පවා ගත්තා. මේවා මම කියන කතා නොවේ. ඉන්දියන් මාධ්‍ය වල පවා පලවූ දේවල්.

    http://www.thehindu.com/news/national/article429819.ece

    http://www.reuters.com/investigates/special-report/india-medicine-education/


    ලංකාවේ for-profit වෛද්‍ය විද්‍යාල වලට මම විරුද්ද වෙන්නේ දැනට ඒවා රජයේ මැදිහත්වීම නොමැතිව කල නොහැකි නිසා. ඔබතුමා කියන උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ( රාගම වෛද්‍ය පීඨය ) පවා සායනික පුහුනුව සඳහා රජය මත තමා යැපුනේ. මෙය මා දන්නා තරමට for-profit වෛද්‍ය විද්‍යාලයක් නොවේ. වෛද්‍ය උපාධියක සායනික පුහුනුව කියන්නේ එහි වැදගත්ම කොටස.

    රජයේ රෝහල් ලබා දී මුදල් ගැනීම ගැන කියන්න තිබෙන්නේ නොකල යුතු දෙයක් ලෙස. එය හොඳනම් රජයට රෝහල් හා රෝගීන් clinical trial සඳහා ලබා දී මුදල් ගැනීමත් හොඳයි. මොකද clinical trial මඟින් නව බෙහෙත් වර්ග සොයා ගැනීමට හැකි නිසා රෝගීන්ට අවසානයේ සෙත සැලසෙන බවටත් තර්ක කල හැකි නිසා.

    ඒ වගේම SAITM ආයතනය සම්බන්ද ඉතිහාසය ගත් විට මෙහි ප්‍රමිතිය කොතරම් දුරට බැලිය හැකිද යන ගැටළුව ඇති වෙනවා. මොකද මෙය පටන් ගත් කාලයේ මුලු සිට විවිද නීතිමය ගැටළු වලට මුහුන දුන්නා. උදාහරනයක් ලෙස කියනවානම් හි වෛද්‍ය පීඨයක් පටන් ගැනීම, රෝහල සඳහා අවසර ගැනීම, රෝහල ඉදිකිරීම යන සියල්ලම නිසි පිලිවෙලට නොකිරීම නිසා ගැටළු වලට මුහුන දුන්නා. වෛද්‍ය සභාවේ (SLMC) සභාපතිට ඉල්ලා අස් වෙන්නත් සිදු උනා. ඒ වගේම එහි සමාජිකයෙක් ගුටිත් කෑවා.

    http://www.thesundayleader.lk/2012/01/08/the-fraud-perpetrated-by-saitm/

    http://www.thesundayleader.lk/2013/06/23/saitm-deceiving-students-misleading-courts/

    ReplyDelete
    Replies
    1. ඔබ ඉදිරිපත් කරන කරුණු වලට මම ගරු කරමි. ඒවා බොහොමයක් අතිශයින් තර්කානුකුලය. එහෙත් මා ඉහත ලිපියෙන් දෙන පණිවිඩය ඔබ කියනා කාරණා වලට වඩා තරමක් වෙනස්ය.

      මෙම ලිපියේ ප්‍රධාන අර්ථය වන්නේ මුදල් වැයකර ලබාගත හැකි තෘතික අධ්‍යාපන ආයතන රටක අධ්‍යාපන ව්‍යුහයේ තිබිය යුතු බවයි. එය පෞද්ගලිකද රජයේද යන කරුණ මට එතරම් වැදගත් නොවේ. එහෙත් ගාස්තු අයකිරීම හෝ නොකිරීම ඔබට වැදගත් නොවේ. අපගේ අදහස් වල ඇති පරස්පරය එතනයි.
      අප මූලිකවම මුදල් අය කර අධ්‍යාපනය ලබා දීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගත යුතුය. ඔබගේ තර්ක අදාළ වන්නේ එතැන් සිටයි.


      Delete
    2. මුලින්ම අප අවබෝධකරගත යුත්තේ මුදල් අය කර අධ්‍යාපනය ලබා දෙන ආයතන රටකට අවැසි මන්ද කියාය. ලංකාව වැනි රටක ආර්ථික තත්වය හමුවේ රජයේ වියදමින් සරසවි නඩත්තු කල හැක්කේ සීමිත ප්‍රමාණයක් බව ඕනෑම අයෙකුට වැටහෙන කරුණකි. එබැවින් රටේ ජනතාවගේ බුද්ධි මට්ටම ඉහලට ගෙනයාම සඳහා පෞද්ගලික අංශය හෝ රාජ්‍ය අංශය මුදල් අයකිරීමේ පදනමක් මත ඉදිරිපත් වන්නේ නම් එය රටට වන සුගතියකි. එහි යාන්ත්‍රණ වේදය ගැන අප කතා කලයුත්තේ එතැන් සිටයි.

      මා නැවතත් පවසන්නේ අද ලංකාවේ මුදල් අයකර තෘතිය අධ්‍යාපනය ලබා දීම සඳහා ආරම්බ කරන බොහෝ ආයතන වලට විරුද්ධව නැගීසිටීමක් සිදුවන්නේ ඒවා ඇරඹිය යුතුව තිබු කාලයේදී ආරම්ඹ නොවූ නිසාය. මීට දශක හත අටකට පෙර මෙම ආයතන බිහි වුනා නම් අද කවුරුවත් ඒ ගැන කථා කරන්නේ නැත. උදාහරණයක් ලෙස මුදල් ගෙවා ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපන ලබා දෙන පාසල් සහ මුදල් අය කර ආරෝග්‍ය ලබා දෙන රෝහල් මෙතෙක් කල් නොතිබී දැන් ආරම්බ කරන්න උත්සහා කළා යයි සිතන්න. එයට එරෙහිව මහා උද්ඝෝෂණ සහ මාරාන්තික උපවාස ඇති වනු ඇත. දැන් ඔබ මෙසේ සිතන්න. මෙම ආයතන දශක ගණනාවක් (සමහර සිය වසකටත් වැඩි කාලයක්) පුරා ලංකාවේ ලංකාවේ පැවතීමෙන් සිදුව ඇත්තේ නොහොඳක්ද? මෙම ආයතන වලින් අධ්‍යාපනය ලබා රටට ලෝකයට සේවය කළවුන් කොතරම්ද? එම රෝහල් වලින් රෝග සුවකරගත් ඇත්තන් කී ලක්ෂයක් ඇත්ද?

      මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත හැකි තෘතික අධ්‍යාපන ආයතන ලංකාවේ තිබුනා නම්?

      Delete
    3. දැනට ලංකාවේ පවතින මුදල් ගෙවා තෘතික අධ්‍යාපනය ලබා දෙන ආයතනවල අඩු පාඩු බොහෝ ඇත. ඒ ඒවා ඇරඹී ඇත්තේ මෑතක බැවිනි. ලෝකයේ දියුණු යයි සම්මත බොහෝ රටවල අධ්‍යාපන ඉතිහාසය හැදෑරුවොත් මෙවැනි ආයතන බිහි වූ කාලයේ ඒවායේ තිබු විශාල අඩු පාඩුකම් වලට එරෙහිව ජනතාව හඬ නැගු බවත් ඒවා නිවැරදි කරගනිමින් එම රජයන් සහ ආයතන පෙරට ආ බවත් ඔබට දැන ගත හැකිවනු ඇත (එංගලන්තයේ අධ්‍යාපන ඉතිහාසය පිළිබඳව වත් හදාරන්න). එවකට එම රටවල පැවති රජයයන් මෙම ආයතන වසා දැම්මා නම් අද වන විට අප ඉහලින් වර්ණනා කරන සරසවි බොහොමයක් නොපවතිනු ඇත. රටක් ලෙස අපද රජයද කල යුත්තේ අඩු පාඩුකම් පෙන්වා දෙමින් ඒවා නිවැරදි කරගැනීමට ඇත දීමය (දැඩි රීති යෙදුවාට කම් නැත)

      අනෙක් අතට ඉන්දියාවේ හතු පිපෙන්නාක් මෙන් බිහි වුන, මුදල් අය කර තෘතික අධ්‍යාපන ලබාදෙන ආයතන බොහොමයක් (වෛද්‍ය විද්‍යාලද ඇතුළුව) කිසිඳු තත්ව විග්‍රහයක් හෝ ඒ ඔස්සේ කල යුතු වෙනස්කම් හා වර්ධන සිදු නොකර එලෙසම ගලා ගෙන යයි. ඊට හේතුව මහජන විරෝධයක් එල්ල නොවීමත්, තත්වය කෙසේ වෙතත් එම ආයතන වලට සිසුන් ඇතුළු වීමත්ය.

      අපගේ තීරණය විය යුත්තේ අප ඉන්දියාව ගිය මග යනවාද නැත්නම් බ්‍රිතාන්‍ය ගිය මග යනවාද යන්නයි. ඒ දෙකටම නැති මගක් ගෙන ස්ථාපනය කල ආයතන වසා දැමීමෙන් රටට සුගතියක් වේද යන්නත් ලාංකික ඔබ තීරණය කල යුතුය.

      මෑතකදී ඇති කල මුදල් ගෙවා අධ්‍යාපනය ලබා දෙන ආයතනවලට ජාත්‍යන්තර අංකන කරා යා හැකිදැයි ප්‍රශ්ණ කිරීමට තවමත් ඉක්මන් වැඩිය. දශක ගණනාවක් පවත්වාගෙන යන ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබාදෙන සරසවිවල අංකනය කුමක්දැයි දන්නා අයෙකුට ලංකාවේ මෑතකදී ඇරඹු හෝ යථා කාලයේදී අරඹන සරසවියක අංකනය ගැන කථා කිරීම හාස්‍ය ජනක බව වැටහෙනු ඇත.

      මුදල් ගෙවා අධ්‍යාපනය ලබා දෙන වෛද්‍ය විද්‍යාලයක සිසුන්ට රජයේ රෝහල්වල සායන පුහුණුව ලබා නොදීම පිළිබඳව නම් මට ලාංකිකයන් ගැන ඇත්තේ සංවේගයකි. මුලින්ම කල්පනා කර බලන්න මෙම සායන පුහුණුව ලබා දෙන්නේ කුමකටද? වෛද්‍ය විද්‍යාව හදාරණ සිසු සිසුවියන් පිරිසකගේ දැනුම වැඩීමටය. ඒ සඳහා රජයට වැයවන්නේ කුමක්ද? වෛද්‍යවරයෙකුගේ කාලයෙන් සුළු වේලාවකි. එමගින් රටට ලැබෙන්නේ කුමක්ද? තවත් පුහුණුව ලත් වෛද්‍යවරු පිරිසකි. මේ සඳහා යම් ගාස්තුවක් අය කරන්නේ නම් එයද එම රෝහල් වැඩි දියුණු කිරීමට යෙදිය හැක.

      මේවන විට රජයේ විද්‍යාල බොහොමයක උපකරණ, පහසුකම් සහ සේවා මුදල් අය කර ජනතාවට පරිහරණය කිරීමට විවුර්ත කර ඇති බව ඔබ නොදන්නවා විය නොහැක. ලන්ඩන් AL ප්‍රයෝගික විභාග වල සිට පශ්චාත් උපාධි දක්වා මේ කටයුත්ත සිදු කෙරේ. මෙමගින් රටට අවැඩක් වේද? රටට හානියක් වන්නේ කෝටි ගණන් වැය කර ලබා ගත් භාණ්ඩ සහ පහසුකම් සඟවාගෙන සිටීමෙන් බව අවබෝධ කරගන්න.

      Delete
    4. ලංකාවේ වැඩි දෙනෙක් හොඳින් දන්නා එහෙත් ඇසීමට අකමැතිම තිත්ත ඇත්තක් දැන් මා ඔබට පවසන්නම්. මෙය කිසිඳු දේශපාලකයෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සිතන්නවත් බිය කරුණකි.

      ලංකාවේ දුප්පත් පන්තියට බොහෝ සහන ගෙන දෙන නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ වෛද්‍ය පහසුකම් වෙනුවෙන් වැඩියෙන්ම වැය කරන්නේ කවුද? ඒ පොහොසත් පන්තියයි. මේ නොමිලේ සේවා ලබා දෙන්නේ ඔවුන්ගෙන් අය කරන ආදායම් බදු මුදල් වලිනි. ඔබ මිළදී ගන්නා සෑම බඩුවකින්ම රජයට යම් බදු මුදලක් ඔබ ලබා දෙයි. මෙහිදීද වැඩියෙන් බදු ගෙවන්නේ වැඩියෙන් මුදල් වියදම් කරන ධනපති පන්තියයි. තිත්ත ඇත්ත මෙයයි. එබැවින් ලංකාවේ මුදල් ඇත්තෙකුට තම මුදල් යොදවා ලංකාවේම රෝහලකින් සායන පුහුණුව ලැබීමට නොහැකි කිරීමට ඔබට ඇති අයිතිය පිළිබඳව මදක් සිතන්න? බොහෝ විට වෛද්‍ය විද්‍යාල දියුණු වන විට ඔවුන් තමාගේම ශික්ෂණ රෝහලක් ගොඩ නගනු ඇත. නොඑසේ නම් රජය මගින් යම් කාල සීමාවක් ඒ සඳහා පැනවිය හැක. එමගින් රටට තවත් රෝහලකද හිමිවේ.

      අනෙක් අතට ලංකාවේ උපයන ධනය වෙන රටකට ලබා දී වෛද්‍ය උපාධි සහතිකයක් ගෙන පැමිණෙන අයෙකුගේ අධ්‍යාපන පසුබිම ගැන ලංකාවේ වෛද්‍ය කවුන්සිලය සොයන්න යන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ERPM (කලින් Act 16) විභාගය පැවැත්වීමයි. නමුත් අප රටේම ඇති වෛද්‍ය විද්‍යාලයක සිසුන් සඳහාද එම නිර්දේශයම කිරීමට මෙම වෛද්‍ය කවුන්සිලය ඉදිරිපත් වන්නේ නැත. ERPM විභාගය සඳහාද සෑම වසරකම අහඹු ලෙස තෝරාගත් මෙරට දැනට ස්ථාපිත රජයේ වෛද්‍ය විද්‍යාලව සිසුන් පිරිසක්ද ඉදිරිපත් කිරීමෙන් විභාගයේ තත්වය පිළබඳව ඇගයීමක් කල හැක.

      Delete
    5. SAITM අයගේ සුදුසුකම් පිළිබද ගැටළු ඇත.එය නිසයි බොහෝ විරූධතා එන්නේ.BTW private hospital anawashya testes(operations) ehema karanwa profit laba ganna.

      Delete