Monday 18 January 2021

වඳුරු වෙළෙන්දා හෙවත් කොටස් වෙළඳපොල

 


මේක බොහොම දෙනෙක් දන්නා කතාවක්. නොදන්නා අයට කියවන්නයි ලියන්නේ. 

දවසක් පීතර එනවා පිටිසර ගමකට එයාගේ සහයක ඇන්තනී එක්ක. පීතර ගමේ හැමෝටම කියනවා තමන් රුපියල් 500 ගණනේ වඳුරන් මිලදී ගන්නවා කියල. පහුවදා උදේ පාන්දර ඉඳන් ගම්මු පෝලිමට කැලේ හිටිය වඳුරෝ අල්ලාගෙන එනවා. පීතර ඒ හැමෝටම වඳුරෙකුට රුපියල් 500 ගණනේ ගෙවලා උන්ව විශාල කූඩුවකට දානවා. ටික දවසකින් කැලේ වඳුරෝ හොඳටම අඩු වුණා. 

පීතර කිව්වා දැන් අල්ලාගෙන එන හැම වඳුරෙක්ටම රුපියල් 2000 ගණනේ ගෙවනවා කියලා. මිනිස්සු කැලේ පීරලා වඳුරෝ කිහිප දෙනෙක් අල්ලාගෙන ආව. 

ඊළඟට පීතර කියනවා දැන් අල්ලාගෙන එන වඳුරෙක්ට රුපියල් 5000 ගණනේ ගෙවනවා කියලා. උත්සහවන්තයෝ කීප දෙනෙක් වනන්තරේ ඇතුලටම ගිහිල්ල බොහොම අමාරුවෙන් වඳුරෝ දෙන්නෙක් අල්ලාගෙන ආව.

පහුවදා පීතර කියනවා ගමේ හැමෝටම කතා කරලා, වඳුරෝ ටික නගරෙට ගෙනියන්න වාහන අරන් එන්න තමන් දින තුනකට නගරෙට යනවා. ඒ වෙනකොට තව වඳුරෝ අල්ලගෙන ඇවිත් හිටියොත් උන්ට රුපියල් 10,000 ගණනේ දෙනවා කියල. 

මේ වෙනකොට ගම්මුන්ට වඳුරු බිස්නස් එක හොඳටම රස වැටිලා. කවදාවත් නොහිතපු ඉල්ලමක්නේ කඩා වැටුනේ. හැබැයි දැන් වනන්තරේ පැත්ත පලාතක වඳුරෙක් බෙහෙතකට හොයාගන්න නැහැ. 

පීතර ගියාට පස්සේ ඇන්තනී ගම්මු කීප දෙනෙක්ට රහසින් කථා කරලා මෙහෙම කිව්වා. 

"මම තමුසෙලට කූඩුවේ ඉන්න වඳුරෝ කීප දෙනෙක් රුපියල් 7000 ගණනේ දෙන්නම්. තමුසෙලා පීතර මහත්තය ආපුවහම උන්ව රුපියල් 10,000 ගණනේ විකුණනවා" 

ගම්මු බැලුවා මේක නියම අදහසක්. නිකන් ඉඳල රුපියල් 3000 ගණනේ ලැබෙනවා. 

කතාව කටින් කට ගිහින් දැන් ගම්මු එකා දෙන්න හොරෙන් හොරෙන් ඇවිත් වදුරෝ පස් හය දෙනා අරන් යනවා. සමහරු තමන්ගේ ගෙවල් දොරවල් උගස් තියල වඳුරෝ ගන්න සල්ලි හොයා ගත්තේ. දවස් දෙකෙන් මුළු කූඩුවේම හිටපු වඳුරෝ ටික රුපියල් 7000 ගණනේ විකිණුනා. 

ඔන්න අද පීතර එන දවස. ගම්මු උදේ පාන්දරම වඳුරෝ ටිකත් අරගෙන පෝලිමේ යනවා පීතරගේ නවාතැන්පොළ පැත්තේ. අනේ ඒ යනකොට පීතර තියා ඇන්තනීවත් පෙනෙන අහලක නැහැ. එයාල ආයේ කවදාවත් ගම්මුන්ගේ ඇහැ ගැටුනෙත් නැහැ. 

-----------------

ආයෙමත් පීතරයි, ඇන්තනියි කොලොන්තොට පැත්තේ කරක් ගහනවා වගේ පෙනෙන නිසා ලියන්න හිතුණා. 




4 comments:

  1. https://lankacitizens.com/political/වඳුරු-වෙළෙන්දා-හා-කොළඹ-කො/

    ReplyDelete
  2. කොහොමත් ලංකාවේ මිනිස්සු නිකන් ඉදලා ලොකු වාසියක් ගන්න හරි කැමති. එත් මේ ඇම ගිලින්නේ නම් පොඩි මිනිස්සු. ලොකු හොරු ටික මේ ගේම් එක දන්නවා.

    ReplyDelete
  3. නිකමට කියවලා බලන්නකෝ කබරාල කොටස් වෙළෙඳපොළ ගැන ගහලා තියෙන පම්පෝරිය. වැඩක් නැ කොච්චර කිව්වත් ආයිමත් පම්ප් ඇන්ඩ් ඩම්ප් එකක් අත් ලඟ තියෙන බවක් නම් පේනවා. දුක සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි කොච්චර මේ ගමන පිල්ලි ගහයිද කියලා.

    ReplyDelete