Friday 18 September 2020

තේරුම්ගැනීමේ සිට අවබෝධයට



කෙනෙකු යමක් තේරුම් ගැනීම යනු කුමක්ද? 

මගේ අර්ථ දැක්වීමේ හැටියට නම් යමක යථා තත්වය පිළිබඳව තමන්ගේ රාමුව තුල වටහා ගැනීම තේරුම් ගැනීමයි.  අවබෝධ කරගැනීම යනු තමා තේරුම් ගත් දෙය තමන්ගේ මනස විසින් පිළිගැනීමයි. 

කෙනෙකු යමක් තේරුම් ගන්නේ එකිනෙකට පරායත්ත කාරණා දෙකක් මතය. එනම් තමන්ගේ දැනුම් සම්භාරය සහ විශ්ලේෂණ හැකියාවයි. මේ කාරණා දෙකම එකිනෙකට සම්බන්ධව කාලය අනුව වෙනස් වේ. එබැවින් කෙනෙකුගේ තේරුම් ගැනීමේ ස්වභාවය කාලානුරූපී වෙයි. 

ලෝකයේ එකම දැනුම් සම්භාරය සහ විශ්ලේෂණ හැකියාව ඇති දෙදෙනෙකු සෙවීම එකම ඇඟිලි සලකුණු සහිත දෙදෙනෙකු සෙවීම හා සමානය. එබැවින් ඔබ තේරුම් ගත් දේ තවත් කෙනෙකු එලෙසටම තේරුම් ගැනීම හෝ එහි විලෝමය බලාපොරොත්තු වීම හාස්‍ය ජනකය. 

තේරුම් ගැනීමේ සිට අවබෝධය කරා යාමට විශාල බාධකයක් පසුකල යුතුය. එය මානසික අවස්ථිතිය (mental inertia) නම්වේ. එනම් කෙනෙකු තමන් සිටින මානසික ස්ථාවරයෙන් වෙනස්වීමට දරණ අකමැත්තයි. භෞතික වස්තූන් සඳහා මෙම සංකල්පය යෙදෙන විට එය නිව්ටන්ගේ පළමු නියමය ලෙස හැඳින්වෙයි. මෙය විශ්වීය සංසිද්ධියකි. 

මානසික අවස්ථිතිය රටක සාමය සහ සහජීවනයට (ඊළඟට සංවර්ධනයට) ප්‍රතිලෝමව සමානුපාතික බව මනෝ විද්‍යාත්මක මතයයි. එනම් මානසික අවස්ථිතිය අධික ජන විඥානයක් පවතින රටවල ගැටුම් අධිකය. මේ නිසා සංවර්ධනය දැඩි පසුබෑමකට ලක්වෙයි. විශ්ලේෂණ ශක්තිය සහ මානසික අවස්ථිතිය අතරත් පැහැදිලි ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තිබෙන බව කිවහැකියි. එනම් විශ්ලේෂණ ශක්තිය අඩු අය අතර මානසික අවස්ථිතිය අධිකය.

අප උදෑසන ගන්නා ආහාරය සහ සහ එහි ප්‍රමාණය නිර්ණය කිරීම වැනි සරල තීරණයක සිට වෘතිය, දේශපාලන සහ ආගමික කාරණා ආදිය සම්බන්ධයෙන් තමා ගන්නා තීරණ දක්වා මේ දැනුම් සම්භාරය, විශ්ලේෂණ ශක්තිය සහ මානසික අවස්ථිතිය බලපායි. 

යමෙක් තමාගේ තීරණය ක්‍රියාවේ යොදවන්නේ තමන් යමක් තේරුම් ගන්න ආකාරය මත නොව තමන් එය අවබෝධ කරගන්නා ආකාරය මතය. මේ අනුව තමන්ගේ දැනුම් සම්භාරය සහ විශ්ලේෂණ හැකියාව නිශේධනය කිරීමේ බලතල මානසික අවස්ථිතියට ඇත. සමහරුන්ට ඔබ යමක් තේරුම් කරදීමට උත්සහ ගනිද්දී. "ඒක නම් ඇත්ත, ඒ උනාට ...." කියමින් ඔහු තමන්ගේ මතයේම පිහිටා සිටින්නේ මේ මානසික අවස්ථිතිය නිසාය.

අලෙවි ප්‍රවර්ධනය සහ දේශපාලනය යන කාරණා වලදී සාර්ථක වන්නේ මේ මිනිස් මානසික ස්වභාවය මැනවින් වටහාගන්නා පිරිසයි. සමස්තයක් ලෙස දැනුම් සම්භාරය සහ විශ්ලේෂණ ශක්තිය අඩු ජන කොට්ඨාශයක එම පරාමිති දෙක වැඩි දියුණු කිරීමට වඩා ඔවුන්ගේ මානසික අවස්ථිතිය හැසිරවීමෙන් දේශපාලකයාට සහ වෙළෙන්දාට වාසිදායක ප්‍රතිඵල අත්කරගත හැකිය. පුජ්‍ය පක්ෂයද මේ වාසිය අත්කරගන්නා තවත් පිරිසකි. 

අධික මානසික අවස්ථිතියක් ඇති පුද්ගලයෝ ඉතා විශ්වාසවන්ත අනුගාමිකයෝය (නොඑසේ නම් සේවකයෝය). ඔවුන් මොනතරම් අඩුපාඩු, ගැහැට, අකටයුතු තේරුම් ගත්තත්, තමා පක්ෂපාති වන පුද්ගලයා, නිෂ්පාදනය හෝ මතවාදය මතම එල්බ ගෙන සිටියි. මෙවැනි පුද්ගලයන් වෙනස් කිරීම ඉතා අපහසුසේම වරක් වෙනස් කල පසු නව මතයෙන් නැවත වෙනස් කිරීමද ඉතා අපහසුය. 

මානසික අවස්ථිතිය අධික පුද්ගලයන් වෙනස් කිරීම වෙනමම කලාවකි. මෙහිදී ආමන්ත්‍රණය කල යුත්තේ ඔවුන්ගේ බුද්ධියට නොව සංවේදීතාවයටයි. මේ කලාව ප්‍රගුණ කළ විරුද්ධ හෝ තරඟකාරී පාර්ශවයක් නොමැති කල, මේ ආකාරයේ තමාට පක්ෂපාති අධි-අවස්ථිතික පුද්ගලයන් වෙනුවෙන් යම් යහපතක් හෝ සේවයක් කිරීමට දේශපාලකයාට, වෙළෙන්දාට හෝ ස්වාමියාට අවශ්‍යවන්නේ නැත. මන්ද කුමන තත්වයක් යටතේ වුවත් ඔවුන්ගේ පක්ෂපාතිත්වය පවතින බැවිනි. 


       



No comments:

Post a Comment