Sunday, 13 September 2020

ජීවිතයට විරාමයක්



ආදී මානව සමූහයක් තුල ඉතා අර්ථවත් සහ සරල සහජීවනයක් තිබුණු බව මානව විද්‍යා මතයයි. සහජයෙන් ක්ෂමතාවය (power) අධික පුරුෂ පාර්ශවය දඩයමේ ගොස් ආහාර සොයාගෙන පැමිණෙයි. සතුන් පිටිපස හඹා යාම, ඔවුන් මෙල්ල කිරීම හෝ මරා දැමීම, විශාල බරක් ටික වේලාවකට එසවීම, දුෂ්කර ගිරිකදුරු තරණය, සතුරු මානවයන් සමග සටන් කිරීම ආදී කරුණු සඳහා අධික ක්ෂමතාවය අත්‍යවශ්‍ය වේ. අධික ශරීර කෂමතාවය යනු තමා සතුව පවතින ශක්තිය කෙටි කලකදී වැය කිරීමට ඇති හැකියාවයි. 

දැරීමේ ශක්තියෙන් (energy capacity) පුරුෂයාට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටි කාන්තාව ආහාර පිසීම, දරුවන් රැක බලා ගැනීම, වාසස්ථානය පවිත්‍රව තබා ගැනීම, පරිභෝජනයට අවශ්‍ය ජලය රැගෙන ඒම, දර එකතු කිරීම ආදී වැඩකටයුතු රාශියක් කරන ලදී. දැරීමේ ශක්තිය යනු මධ්‍යම ප්‍රමාණික ක්ෂමතාවයකින් දීර්ඝ කාලයක් හැල්මේ වැඩ කිරීමට ඇති හැකියාවයි. 

මේ අනුව ඉංග්‍රීසි බසින් පිරිමියා powerful සහ ගැහැණිය energetic වශයෙන් ගුණ අනුව බෙදිය හැක. සිංහලෙන් මෙම වදන් දෙකේ පරිවර්තනය වන "බලවත්" සහ "ශක්තිමත්" යන යෙදුම් මේ සඳහා මොන තරම් ගැලපේදැයි මට නොතේරේ.

ව්‍යතිරේක කිහිපයක් හැරුණු කොට මේ සරල බෙදීම වසර මිලියන දෙකක් පමණ තිස්සේ සුළු සුළු වෙනස්කම් සහිතව විකාශය විය. පිරිමියාගේ කාර්යභාරය සෑහෙන වෙනස්කම් වලට භාජනය වුවත් අධික ක්ෂමතාවයේ අවශ්‍යතාවය පහව නොගියේය. සමහර රැකියාවල් සම්බන්ධයෙන් ශාරීරික ක්ෂමතාවය, මානසික ක්ෂමතාවයෙන් ප්‍රතිස්ථාපනය විය. 

නමුත් 20 වන සියවසේ මැද භාගයේදී මේ වසර මිලියන දෙකක ජීවන රටාව වෙනස්විය. කාන්තාව නිවසේ ආර්ථිකයට දායකවන වාතාවරණයක් නිර්මාණය වන්න විය. මේ අනුව නොදැනුවත්වම කාන්තාව අධික-ක්ෂමතා කැටිගරියට වැටෙන්න විය. 

මේ තත්වය මුලින්ම ඇතිවූ යුරෝපය, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල ජන විඥානය මේ වන විට යතාර්ථය තේරුම් ගත හැකි තරම් උසස් මට්ටමක පැවතියේය. මෙයට දෙවන ලෝක යුද්ධයේදී ලද කටුක අත්දැකීම් බෙහෙවින් බලපාන්නට ඇතැයි මට සිතේ. ඔවුන් ක්‍රමයෙන් තම ජානගත මානසික ප්‍රතිරෝධතාවන්ගෙන් මිදෙමින් ගැහැණිය හා පිරිමියා අතර ක්ෂමතාවය සහ ශක්තිය බෙදා හදාගන්න විය. ගැහැණිය අධික ක්ෂමතාවයක් ඉල්ලන ආර්ථික බරෙන් කොටසකටත්, පිරිමියා අධික දැරීමේ ශක්තියක් ඉල්ලන ගෘහාශ්‍රිත කටයුතු වලටත් උරදෙන්න විය. 

මේ සුසංයෝගය නිවසේ සාමය, සතුට සහ ආර්ථික ප්‍රබෝධය යන තුනටම හේතු සාධක විය. මිනිසාට ගැහැණු පිරිමි බේදයකින් තොරව ජීවිතය සුන්දර විය. මට පෞද්ගලික අත්දැකීම් රාශියක් ඇති ස්කැන්ඩිනේවියානු රටවල තම රැකියාවේ සාර්ථකත්වය ගැනත් තම ඉවුම් පිහුම්, ගෘහ අලංකාරය පිලිබඳ ඇති නිපුණතා ගැනත් වහසිබස් දොඩවන ගැහැණු-පිරිමි දෙපාර්ශවයම  අනන්තවත් හමුවී ඇත. මෙම රටවලට ඉතා කෙටි කලෙකින් ඇලවුනු "සංවර්ධිත රටවල්" යන ලේබලය මුද්‍රණය වීමට මේ කාරණය විශාල සාධකයක් වන්න ඇතැයි මට සිතේ. 

මේ අතරම චීනය, රුසියාව, කියුබාව වැනි රටවල මේ සුසංයෝජනය දේශපාලනික ප්‍රතිපත්තියක් ලෙස නීති රාමුවකින් හඳුන්වා දෙනු ලැබීය. එහිද සෑහෙන සාර්ථකත්වයක් පැවතියේය.

නමුත් අවාසනාවකට ආසියාතිකරයේ, මැද පෙරදිග, ලතින් ඇමරිකාවේ, සහ අප්‍රිකාවේ බහුතරයක් රටවල තත්වය මීට ප්‍රතිවිරුද්ධ විය. ඔවුන්ගේ ආගමික සහ සාමාජීය මානසික අවස්ථිතිය නිසාදෝ ගැහැණිය ක්ෂමතාවයෙන් වැඩි බරකට කරගසද්දී ඇය කල දැරීමේ ශක්තිය අත්‍යවශ්‍ය වූ ගෘහ කටයුතු බෙදා ගැනීමට පිරිමියා අපොහසත්විය. මේ නිසා ගැහැණියට එකවර බලවත් සහ ශක්තිමත් යන කාරණා දෙකම දැරීමට සිදුවිය. නමුත් ගැහැනියගේ විශ්වීය නිර්මාණය එයට සුදුසු නොවීය. ප්‍රතිඵලය වුයේ ඇය දැරීමට නොහැකි තරම් බරකට උර දීම නිසා මානසිකව සහ ශාරීරිකව විඩාපත් වීම, අතෘප්තකර, අසහනකාරී ජිවිතයකට හුරුවීම, වයස 35 පමණ වන විට, කොඳු ඇට පෙළ සහ ස්නායු සම්බන්ධ ආබාධ වලට ගොදුරුවීම ආදී ඍණාත්මක කරුණු රාශියක් මතුවීමයි. 

විවාහක කාන්තාවන් ලිංගික සන්තර්පනයෙන් ඈත් වීමද මේ අධික වෙහෙසකර දිනචාරියාවේ ප්‍රතිඵලයකි. මෙය පුරුෂයාගේ මානසික සෞඛ්‍යයටද විශාල බලපෑමක් ඇතිකරයි. නමුත් අවාසනාවකට අප සමාජය මීට හේතුකාරක වන රෝග නිදානය සොයා පිළියම් යොදනවා වෙනුවට ගැහැණිය මතම වරද පටවයි. මෙය පවුල් ප්‍රශ්ණ රාශියකට මුල්වේ. 

ලංකාවේ බොහෝ රැකියා නියුක්ත කාන්තාවන්ගේ දිනචරියාව අඩු වැඩි වශයෙන් සමානය. උදෑසන හතරට පමණ අවදි වී උයා පිහා තමන්ටත්, ස්වාමියාටත් දරුවන්ටත් කෑම පැකට් පිළියෙළ කර, ගෙදර අස්පස් කොට, සාරියක් පටලවාගෙන බස් රියට හෝ දුම්රියට දුවයි. ඉන්පසු පැය අටක් පමණ ආතතිය, ආවේගය, අතෘප්තිය පිරුණු අධිවේගී කාර්යබාරයක් නිම කොට තදබදය ඉහවහා ගිය මගී ප්‍රවාහන සේවයක නිවසට පැමිණෙයි. ඉන්පසු කෝකී ව්‍යාපෘතියේ දෙවෙනි අදියර අරඹයි. මේ අතරම දරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලට උදව් කිරීමට සිදුවෙයි. මුළුතැන් ගෙය අස්පස් කර රෑ දොළහත් පසුවී නින්දට යන ඇය නැවතත් පසුවදා හිමිදිරි ජාමෙට අවදි විය යුතුය. 

මේ ශක්තිය හා ක්ෂමතාවය අතර දෝලනය වන දිනචරියාවේදී ඇයට සේවා තත්වයේ ආඩුපාඩු, දරුවන්ගේ අසමර්ථකම්, ගේදොර වැඩ අතපසුවීම් ආදී කරුණු රාශියකට තමා අවට සිටින සමාජයට උත්තර බැඳීමටත් සිදුවෙයි. මේ පීඩනය, ශක්තිය හා කෂමතාවයෙන්ද පරිබාහිරවූ භූතාර්ථයක් යයි මට සිතේ.

සමාජ ජාලා තුල පලවන, කාර්යාල වේලාවේදී නිදාසිටින හෝ සුළු සිද්ධීන් සම්බන්ධයෙන් කිපී බැන වදින සේවිකාවන් පිලිබඳ ජයාරූප හෝ වීඩියෝ දකින විට මට සිතට දැනෙන්නේ දැඩි වේදනාවකි. එම කාන්තාවන් හාස්‍යට ලක් කිරීම හෝ ඔවුන් පිළිබඳව කෝප ගැනීම වෙනුවට ඔවුන්ගේ පසුබිම සහ ඇතුලතාන්තය මම මනසින් දකිමි. සමාජය විසින් පිළියම් යෙදිය යුතු, සමාජය විසින්ම ඇතිකළ අවාසනාවන්ත ඉරණමකට සරදම් කිරීමට, ඒ සමාජයම යොමු වීම ඛේදජනකය.

මතක තබාගන්න නිරෝගී කාන්තාව යනු රටක සංවර්ධනයේ සහ සෞභාග්‍යයේ සලකුණයි. ලාංකිකයා අත්විඳින්නේ මෙහි විලෝමයයි. 

පිරිමියකු ලෙස ඔබත් හිතන්න. ගැහැණිය පුර්ණ වශයෙන් බලවත්වීම සහ ශක්තිමත්වීම යන දෙකම ඔබ අපේක්ෂා කරයි නම් ඔබගේ කාර්ය භාරය කුමක්ද?





4 comments:

  1. ඔක්කොටම හේතුව අපේ තියෙන attitudes තමයි. උදාහරණයක් විදියට ලංකාවේ බැඳපු එකෙක් ගෙදර උයනවා කියල අනිත් උන් ඉස්සරහ කිව්වොත් ඌව චාටර් කරලා පහලටම ඇදල දානවා. ඒක මානසිකව chain reaction එකක් වෙලා අන්තිමේ පවුල් ප්‍රශ්න වලින් නවතින්නේ.

    ReplyDelete
  2. සර් කියන්නේ සහතික ඇත්ත. මට මතකයි ඉස්සර ඉස්කොලේ උදේ 6 පන්ති දානවා. මම පානදුරේ ඉදන් කොළඹ ආන්න්දෙයට කෝච්චියේ ගියේ. උදේ 6 පන්තියට යන්න උදේ 5.30 කෝච්චි ය අල්ලන ඕන, එ නිසා ගෙදරින් යන්නේ උදේ 4.50. අම්මා උදේ උයන්න නැගිට්ටේ පාන්දර 3ට. රෑ 10ට තමා නිදා ගන්නේ සේරම වැඩත් ඉවර වෙලා. ඒත් සමහර උයන වේලාවට පොල් ටික මිරිකන්න බෑ අත් කැක්කුමයි කියල කියනවා, වාඩි වෙලා නැගිටින්කොට දනිස් කැක්කුමයි ලු. අපි ගෙදර ඉන්න වෙලාවට වෙලාසනින් පුලුවන් දෙවල් කරලා දෙනෝ. ඒත් ආතරයිටිස් වගේ එව්වා ලේසියෙන් හොද වෙන එව්වා නෙමේ, තාමත් කොච්චර බැරි ආමාරු තිබ්බත් මොනා මොනා හරී වැඩ කරනවා එක දිගටම. දැන් නම් මම ගෙදර ආවම අම්මට කියල තේ එක්ක් වත් හදා ගන්නෙ නෑ මමම හදා ගන්නවා මිසක්, ගෙදර ඉනවා නම් උයන්න ,වලන් ටික හෝදලත් දෙනෝ(වලන් හොදවා දකින අපේ පැත්තේ සමහර යලුවෝ කියන්නේ ඒවා ගැනූ වැඩ කියලා), ඒ අම්මාගේ අමාරුකම දන්න නිසා එන දුකටමයි. සර් කතාව අපේ ගෙදර ත්ත්වය එක්ක ගැලපුන නිසා අදහස්ක් විදියට කියන්න හිතුනේ.
    ස්තූති

    ReplyDelete