Tuesday 5 February 2019

සහජීවනය සහ යහජීවනය



ඒ ස්වීඩනයට වැඩියෙන්ම හිම වැටෙන ශීතල පෙබරවාරියේ මුල් සතියයි. හරියටම මීට දශක දෙකකට පෙර උප්සලා නගරයේ පිහිටි අප නිවසේ සිට මම ජනේලයෙන් පිටත බලාගෙන උනිමි. අඩි ගණනක් උසට හිම වැටුණු තණ පිට්ටනියේ ඉතා තද පාට ශීත ඇඳුම් පැළඳි දෙමව්පියෝ දරුවන් සමග සන්ධ්‍යාවේ ඇවිදින්න යති. ගිම්හානයේ පිට්ටනිය පුරා දුව පැන ඇවිදිමින් ගමන් කරන පොඩිත්තෝ අද කීකරු මුව පොව්වන් සේ දෙමව්පියන් පිටුපසින් සීරුවට ඇවිද යති. ටික වෙලාවක් බලා සිටින විට මෙම පොඩිත්තන්ගේ ගමන පිළිබඳව මට අවබෝධ කරගත හැකි විය. 

දෙමව්පියන් තම විශාල පාදවලින් ඉදිරියේ ඇති හිම පතනය තලාගෙන ගමන් කරයි. තමන්ගේ කුඩා කකුල් වලින් අඩියක් දෙකක් උස් වූ හිම තට්ටුව තලාගෙන යනවාට වඩා දෙමව්පියන්ගේ පා සටහන් මත ඇවිද යාම ඔවුනට ඉතා පහසුය. කිසිවිටෙකත් දෙමව්පියන් දරුවන් පිටුපසින් ගමන් නොකරයි. 

සංචාරක විද්‍යාඥයන් පිරිසක් ඉන්දුනීසියාවේදී කල නිරීක්ෂණයක් කලකට ඉහත මාධ්‍යයේ පලවිය. ඔවුහු පොකුණක් අසල දිය කෙලින වඳුරු රැලක් නිරීක්ෂණය කරමින් වුන්හ. එහි ඉතා කුඩා පැටවුන්ගේ සිට මහා වදුරන් දක්වා විශාල පිරිසක් සිටියෝය. හදිසියේම ඉතා ආසන්නයේ වෙඩි හඬක් ඇසුණු අතර තත්පර කිහිපයකදී වදුරෝ සියළුම පැටවුන් රැගෙන අසල තිබූ විශාල ගසකට ගොඩ වුහ. 

ඉන් පසු ගස නිරීක්ෂණය කරන විද්‍යඥයන් දුටුවේ අමන්දානන්දනීය දසුනකි. ගසට නැගගත් වදුරෝ එකිනෙකා අතර පැටවුන් හුවමාරු කරගනිමින් සිටියහ. අනතුරක සේයාවක් දුටු සැනින් ඔවුන් ලඟම සිටින පැටියා රැගෙන ආරක්‍ෂිත ස්ථානය කරා දිවගොස් ඇත. තමාගේ පැටියා සොයමින් සිටියා නම් වඳුරු රැලට පැයකටවත් මේ ගමන සිදු කල නොහැක. 

අධිවොල්ටියතා විද්‍යුත් විද්‍යාවේදී අපි නිතරම ප්‍රශස්තිකරණ තාක්ෂණය (optimization techniques) යොදාගනිමු. මෙහිදී Particle swarm optimization (PSO) අපි බොහෝ විට භාවිතයට ගැනෙන්න ක්‍රමවේදයකි. මෙය කුරුල්ලන්ගේ සමුහ පියෑම්බිම නිරීක්ෂණයෙන් ගොඩනගා ගත් සංකල්පයක් බව කියැවේ. මේ නිසා මම දිනක් මේ කුරුළු පියෑඹිම පිළිබඳව තතු කියවුයෙමි.

සමහර කාල වලදී අහසේ පියඹා යන සංක්‍රමණික කුරුල්ලන් සමුහ ඔබ දැක ඇතුවාට සැක නැත. ඔවුන් බොහෝ විට පියඹන්නේ V අකුරේ හැඩයටය. මීට හේතුව කුමක් විය හැකිද?

කුරුල්ලෙක් පියඹන්නට අත්තටු සලන විට හරියටම උගේ පිටුපසින් වා තලයක් පහලට තල්ලු වන අතර ගමන් මාර්ගයේ සිට අංශක 45ත් 60ත් අතර කෝණයක අඳින සරළ රේඛාවක් තුලින් වා කඳක් ඉහලට එසවෙයි. එබැවින් එම කුරුල්ලාට පිටුපසින් මෙම රේඛාව මත මදක් ඉහලින් පියාඹන තවත් කුරුල්ලෙකුට නිතැනින්ම ඉහලට එසවීමක් සිදුවෙයි. මේ නිසා එම දෙවෙනි කුරුල්ලා අත්තටු ගැසිය යුත්තේ අඩුවෙනි. මෙහිදී ඉදිරියෙන් යන කුරුල්ලාට අමතර පීඩනයක් (back pressure) නොදෙන පරිදි ඉහලට තෙරපුම උපරිම වන දුරක් ඇති අතර එය පිටුපස සිටින කුරුල්ලා සංවේදනය කරගනී. මීට අමතරව පිටුපස සිටින කුරුල්ලන්ට රෑන යන දිශාව සහ රෑනේ සාමුහිකත්වය රැකගැනීමටද මෙම පිහිටුම උපකාරී වෙයි. 

මෙබඳු කුරුළු රෑනක නායකයෙකු නැති අතර ඉදිරියෙන් යන කුරුල්ලා වෙහෙසට පත්වන විට ඔහු පසුපසට යන අතර තවත් වැඩිහිටි කුරුල්ලෙක් ස්වේච්චාවෙන් ඉදිරිය ගනී. කුඩා සහ දුර්වල කුරුල්ලන් හැමවිටම පිහිටීමේ පසු පසින් පියාඹයි.  

මේ කතා තුනම මට ලියන්න සිත් වුනේ ලාංකිකයා පටලවා ගත් තවත් තැනක් පිළිබඳව නිතර දකින හෙයිනි. 

ලංකාවට අද අත්ව ඇති ඉරණමට ප්‍රධාන හේතුවක් වන්නේ ලාංකිකයා බොහෝ දේ ස්ව-කැමැත්තෙන්ම ව්‍යාකූල කරගැනීමයි. මේ සඳහා දේශපාලකයගේද නොමද සහය ලැබේ. 

බොහෝ ලාංකිකයන්ට ආගම ධර්මය අවශ්‍ය වන්නේ එය පිළිපැදීමට නොව ඒ හා බැඳුනු අනන්‍යතාවය රැකගැනීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් රට ඛේදවාචකයක් කරා ඇදගෙන යයි. 

ලංකාව ස්වභාවික සෞන්දර්ය අතින් බොහෝ රටවලට නොදෙවෙනිය. එහෙත් අප කරන්නේ එය ලෝකෙන් ලස්සනම, හොඳම, උතුම්ම රට යයි විශේෂණ පද යොදමින් උඩඟු වී සිටීම පමණකි. ඩුබායි දේශයේ වැලි කාන්තර නැරඹීමට අද දහස් ගණනින් ධනවතුන් ඇදෙද්දී අපේ රටේ සංචාරක ව්‍යාපාරය පණ අදී. 

සහජීවනයද ඒ හා සමානවම පොට පටලවා ගත් තවත් සංඛල්පයකි. සත්ව ලෝකය මෙන්ම කුඩා දරුවාද ස්වභාවයෙන්ම අවබෝධ කරගන්නා මේ යහ-සංකල්පය ලාංකිකයාට අපභ්‍රංශයක් වී ඇත. 



සහජීවනය යනු විවිධ හැඩතල සහිත පුද්ගලයන්ගෙන් සැදුම් ලත් සමාජ කුලකයක් එකිනෙකාගේ හැකියාවන් තම තමන්ගේ උන්නතිය උදෙසා සමුහයක් වශයෙන් ක්‍රමවත්ව සහ උපක්‍රමිකව යොදා ගැනීමයි. 

මෙය රටක මුළු මහත් ජනතාවම ඉහලට එසවෙන ක්‍රමවේදයකි. 

යථාර්තය ලාංකිකයා අප්‍රිය කරයි. ඒ වෙනුවට ඔවුන් කැමති පුහු ආටෝප වලින් අලංකාර කල මුරුංගා අතුවලටය. ඒ නිසා මේ කියන්න යන්නේ බොහෝ දෙනෙකුට පත්‍ය නොවන කතාවකි.

මම ලංකාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ වැඩමුළු කිහිපයක් පැවැත්වීමට උර දී ඇත්තෙමු. මේ හැම අවස්ථාවකම පාහේ අපි විදේශීය අමුත්තන්ට රාත්‍රී සාදයක් පවත්වමු. මෙහි ප්‍රධාන තැනක් ගන්නේ එහිදී පැවැත්වෙන සංස්කෘතික අංගයයි. මේ සඳහා අපි ත්‍රිවිධ හමුදාවල, පොලිසියේ හෝ වෙනත් නැටුම් ආයතනයක කණ්ඩායමක් ගෙන්වමු. 

විදේශීකයන් උදෙසා පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයක් යැයි කියූ පමණින් ඔවුන් කරන්නේ එකම කාර්යයකි. එනම් බෙරගැසිම සහ පිරිමි නැට්ටුවන් පිරිසක් උඩ පනිමින් නැටීමයි. බොහෝ දෙනෙකු ඉතා උනන්දුවෙන් මෙම අංග නැරඹීම ඇරඹුවත් ටික වෙලාවකින් එකිනෙකා සමග පිළිසඳරේ යෙදීමට හෝ ජංගම දුරකතනයේ  මුණ හොවා ගැනීමට පටන් ගනී. එම රංගනයන් මනරම්ය, එහෙත් ඒකාකාරිය. 

විදේශීය අමුත්තන් බොහෝ දෙනෙකුගෙන් එම රංගනයන් පිළිබඳව ඇසු විට ඔවුන් බොහොම හොඳයි කියා පවසයි. එහෙත් ඔවුන්ගේ හැසිරීම් රටාව මෙන්ම ශරීර භාෂාවද (body language) කියන්නේ එය මහා කන්දොස්කිරියාවක් බවයි. 

වරක් ඇමරිකන් ජාතික විද්‍යාඥයෙක් මගෙන් කෙලින්ම ඇසුවේ "බෙරගනවා, උඩ පනිනවා සහ හිනා නොයන විහිළු වැනි යමක් කරනවා ඇරෙන්න ඔබලාට වෙන සංස්කෘතික අංග නැද්ද" කියාය. ඔහු හිනා නොයන විහිළුවක් ලෙස හැඳින්වුයේ සළුපාලියයි.

ඇත්තෙන්ම අපි ලංකාවට පැමිණෙන අයට සංස්කෘතික සංදර්ශණයක් යනුවෙන් පෙන්වන්න හදන්නේ ලංකාවේ එක්තරා කාලයක තිබූ සිංහල රාමුවට කොටුවූ අංග කිහිපයකි. මෙහි ඇත්තේ බෙර වාදන පමණි. මෙම සංස්කෘතියේ තත් භාණ්ඩ (string instruments), වා භාණ්ඩ (wind instruments), කාන්තා ගයනා සහ රංගන නැත. 

මීට දශක තුන හතරකට පෙර කවුරුත් බලන්න පුන පුනා සිටි උඩරට නැට්ටුවාගේ පිනුම් සෙට් එක අද පේමන්ට් එකට පැමිණ ඇත. ඇමරිකාවේ පදික වේදිකා රඟන්නන් මීට වඩා ඉතා ඉහල පෙලේ කරණම් ගසයි. එහෙත් උඩරට නැට්ටුවා තවමත් එතැනමය.

අපි හැමවිටම සිතන්නේ අපේ දේ ඉතා ඉහල බවත් සියළු විදේශිකයන් එය අනිවාර්යයෙන්ම රස විඳිය යුතු බවත්ය. එහෙත් යතාර්ථය මින් බොහෝ ඈතය. අවශ්‍යවන්නේ සංස්කෘතික අංග නාමයෙන් අපේ ඒවා කියා අපම ලේබල් ගසා ගත් ඒවා බලෙන්ම පෙන්වීම නොවේ. ඒ වෙනුවට, ලංකාවේ නොයෙකුත් උප-සංස්කෘතියන්ගෙන් උකහා ගත් විවිධාංග ඇතුළත් නරඹන්නා පිනවිය හැකි දර්ශනයක් ඉදිරිපත් කිරීමයි.  

ඔබ මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර ඇති සලෝමා බිස්ට්‍රෝ (දැන් වාව් කේඑල් ) භෝජනාගාරයට රාත්‍රී ආහාරය සඳහා ගොඩ වදින්න, එහි සැමදා රාත්‍රී 8 සිට 10 තෙක් සංස්කෘතික සංදර්ශණයක් පැවැත්වේ. මෙහිදී ඔවුන් තම සංස්කෘතික අංග ලෙස මැලේ නැටුම්, චීන නැටුම්, ඉන්දියානු නැටුම්, අරාබි නැටුම්, බෝර්නියෝ නැටුම්, පෘතුගීසි නැටුම් ආදී තම රටට යන්තම් හෝ ගෑවී ගිය සියළුම ජන කොටස් වලට අදාළ අංග ඉදිරිපත් කරයි. බොහෝ දිනවල රුපියල් 4500 ට ආසන්න මුදලක් ගෙවා රාත්‍රී ආහාරය සඳහා සියගණනින් මෙම අවන්හලට රොක්වේ. මේ අතර විදේශිකයන් පමණක් නොව මැලේ  ජාතිකයන් පවා විශාල වශයෙන් සිටියි. 

හඳුනාගන්න මෙයයි සහජීවනය තුලින් යහජීවනයට යන පාර.


ලාංකික දෙමළ පිරිස් විශාල වශයෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ ව්‍යාපාර පවත්වාගෙන යයි. මේ අතර තොරතුරු තාක්‍ෂණය (IT) පැත්තෙන් මහා පරිමාන ව්‍යාපාර අධිරාජ්‍යයන් හිමි පුද්ගලයන් ඇත. ලංකාවේ සියළු ජාතිකයන් අතර තොරතුරු තාක්‍ෂණය පරතෙරට හැදෑරුවන් ඇත. මේ දෙපිරිස අතර පාලමක් තැනිය හැකි නම් එයයි සහජීවනය.

මේ වන විට ලංකාවේ ඇඳුම් පැළඳුම් වෙළඳාම් අංශයෙන් මුස්ලිම් ජාතිකයන් ඉදිරියෙන් සිටියි. ඔවුන්ගේ ව්‍යාපාර කඩාකප්පල් කිරීම සඳහා නොයෙකුත් විකට ස්වරූපී මුසාවාද ප්‍රචාරය කිරීම නවතා එම ව්‍යාපාර වලට ඔබටත් දායක විය හැකි තැන් සොයන්න. රටක කුමන ජාතියක්, ආගමක්, සමාජ මට්ටමක් හරහා හෝ ව්‍යාපාරයක් බිහිවේ නම් එය රටට ආශිර්වාදයකි. එය කඩා බිඳ දැමීමට නොසිතා එයින් තමන්ටත් යමක් ලබා ගත හැකි ආකාරයක් ගැන හිතන්න. 

උතුරේ නිෂ්පාදන පමණක් නොව මත්ස්‍ය අස්වැන්නද දකුණේ වෙළඳපොළට එන්නේ මද වශයෙනි. මෙයින් උතුරේ දෙමළා මෙන්ම දකුණේ සිංහලයා මරක්කලයාද යහපතක් අත් කරගන්නේ නැත. මේ පරතරය නැති කල හැකි නම් එයයි සහජීවනය.

සිංගප්පුරුවේ හෝ මැලේසියාවේ කෙනෙකු සමග ඔබ කුමක් කතා කරන්න ගියත් ඔබට නිතරම ඇසෙන්නේ win-win situation යන්නයි. එය සිංහලට පෙරලද්දී මම ජය-ජය මග ලෙස සඳහන් කරමි. යමක් කිරීමේදී අදාළ පාර්ශව දෙකටම ජය ලැබෙනසේ (වාසි සැලසෙන සේ) යමක් කිරීම ජය-ජය මගයි. ඔබ යෝජනා කරන්නේ ජය-ජය මගක යාමට නම් කිසිවෙකු ඔබ හා යාමට පැකිළෙන්නේ නැත. එවිට ජාති, කුලමල, ආගම්, කරලියට පැමිණෙන්නේ නැත. 

දැනටත් ඉතා හොඳ සහ ජීවනයකින් ජය-ජය මගේ ජයටම යන පිරිසක් ලංකාවේ සිටියි. ඒ දේශපාලකයන් සහ ජාවාරම් කරුවන්ය. ලංකාවේ අද සිටින බොහෝ දේශපාලකයන් ආගම ජාතිය කුලය වැනි බොහෝ බෙදුම් සාධක වලින් ස්වායත්තව නෑදෑ කම් වලින් බැඳී ඇත. 

මේ මහා සිංහලයාගේ නංගි අර හැඩි දෙමළා සමග විවාහවී ඇත. අර දෙමලාගේ දූවරු මේ සිංහල බෞද්ධ දේශපාලන රත්නයන්ගේ පුතුන් හා විවාහවී ඇත. අරයාගේ බිරිඳ කතෝලික, මෙයාගේ මල්ලි බැඳලා ඉන්නේ අර මුස්ලිම් ඇමතිතුමාගේ දුවව. එතැන ඇත්තේ අපූරු සහජිවනයකි. ඒ සහජීවනය තුලින් ඔවුන් යහජීවනය උදා කරගෙන ඇත. නමුත්  අවාසනාවට ඒ යහජීවනය සාමාන්‍ය ජනතාවට ලැබෙනවාට එරෙහිව වැට කොටු පවුරු බඳින්නේද මේ දේශපාලුවාමය.

කුඩු මුදලාලිලා, මිනිස් ජාවාරම් කරුවන්, පාතාලයන් අතරද මෙම සහජීවනය උපරිමයෙන් ඇත. නමුත් එයින් ජනතාවට ලැබෙන්නේ අයහපත පමණි. 

ලංකාවේ මේ සහජීවනය වෙනුවෙන්ම නඩත්තු කෙරුණ ඇමතිවරයෙකු තම ධුර කාලයටම කලේ විවිධ ජාතීන්ට අයත් කොල්ලෝ කුරුට්ටන් පිරිසක් සමග ගෝල්ෆේස් පිටියේ සරුංගල් ඇරිමයි. එය ඔහුගේ සහජීවනය අර්ථ දැක්වීමයි. සමහරුන්ට අනුව අන්‍යාගමිකයන් බෞද්ධ පිළිම කැඩීම හෝ සිංහලයන් අන්‍යාගමිකයන්ගේ ගෙවල් ගිනිතැබීම වැනි කාරණා පිළිබඳව මුවින් නොබැන ඉවසා වදාරා සිටීම සහජීවනයයි. මෙය නීතිය හා සහජීවනය සම්පුර්ණයෙන්ම පටලවා ගැනීමකි. නීතිය, නීතිය ලෙස ක්‍රියාකරවීමට දේශපාලකයා මැලිවීම සහජීවනයට ඇති විශාලම බාධාවයි. 

සහජීවනය වෙනුවෙන් මුලින්ම කල හැකි සරලම ක්‍රියාව නම් කිසිම ආකාරයකින් (කතාවෙන්, ලිවීමෙන්, ඇඳීමෙන්, ඉදිරිපත් කිරීමෙන්) අනෙකෙකුගේ ජාතිය, ආගම හෝ කුලය මත පදනම් වූ අනන්‍යතාවයට රිදවීම නැවැත්වීමයි. බදුරුදීන් කරන වන විනාශයට එරෙහිවිය යුත්තේ එය කරන්නේ බදුරුදීන් නිසා නොව වන විනාශය ඛේදවාචයක් වන බැවිනි. බදුරුදීන් ගේ විල්පත්තු වන විනාශය දකින බොහෝ දෙනෙක් සිංහරාජයට, යාලට, රූමස්සලට, මුතුරාජ වෙලට සිංහල දේශපාලකයන් කර ඇති විනාශය නොදකී. මෙයත් මහා ඛේදවාචකයකි.



                           








                                             


6 comments:

  1. කවදත් වගේ නියම සටහනක් . ලංකාවේ අපි බොහෝ දේ කියතත් එය කතාවට විතරයි . ප්‍රායෝගිකව හිතත්දී බොහොමයක් දෙනා ආත්මාර්තකාමී පෞද්ගලික න්‍යාය පත්‍ර කරනවා විනා ජාතික යමක් කරන්නේ නැහැ . ඔබ කියූ කැනඩා කතාව වගේම ගොඩක් දේ තියෙනවා . මට පෞද්ගලිකව රාජකාරී කටයුතු වලදී ලාංකික ද්‍රවිඩ සේවකයින් එක්ක වැඩ කරන්න වෙනවා . ඒත් සිංහල බොහෝ දෙනා ඔවුන් ගැන කතා කරන්නේ පහත් විදිහට . ඔවුන්ගේ කඩවලට ගිහින් බඩු ගන්නත් ලාබෙට සල්ලි යවන්නත් හොදයි . තවත් එකක් තමයි අප අතර එකමුතුකමක් නැති එක . අළුත් රටකට ගිහින් ජීවිතය ජයගන්න තියෙන සටන ලේසි නැහැ . ඒත් අපේම අය ගොඩ දෙනෙක් අපේ අයට උදව් කරන්නේ නැහැ .

    ReplyDelete
  2. කියන්න ඇත්තේ එක් දෙයක් පමණි.ඔබ තනිව කරන මේ පැහැදිලි කිරීම නිසා අඩුම තරමින් කීප දෙනෙක් වත් ඇත්ත අවබෝධ කරගනු ඇතැයි සිතීමට.සැපපහසු දිවියක් ගත කිරීමට ඔබට අවකාශ ඇතත් සමාජයට අවබෝධ කරදීමට ගන්නා උත්සාහය අගය කරමි.

    ReplyDelete
  3. ශ්‍රී ලාංකික ජන මනස පුබදුවාලීමට දරණ උත්සාහය අගයමි.

    ReplyDelete
  4. Prithi Vidanagamachchi20 December 2023 at 19:40

    ශ්‍රී ලාංකික ජන මනස පුබදුවාලීමට දරණ උත්සාහය අගයමි.

    ReplyDelete