Follow this Blog

Wednesday, 25 July 2018

SL Politics: How I Feel (ලංකාවේ දේශපාලනය: මට දැනෙන හැටි)




"ලංකාවේ දේශපාලනය අන්තිම පහත් තැනකට වැටිලා. ඔබ වැනි .............. පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම ඉදිරියට පැමිණිය යුතු කාලයයි මේ".  

පසුගිය මාස කිහිපය තුල කිහිප දෙනෙක් මට නිතරම එව් පණිවිඩ වල සාරාංශයයි මේ. තිත් පේලිය සඳහා නොයෙකුත් විශේෂණ පද යෙදුනු අතර වෘතියවේදී (professional) යන පදය බහුලව භාවිතවිය. ක්‍රියාකාරී දේශපාලනය මගෙන් බොහෝ ඈත්  වූ මෙන්ම මට පත්‍ය නොවූ විෂයක් බැවින් මම ඔවුන්ගේ ආරාධනා නැවත නැවතත් කාරුණිකව ප්‍රතික්ෂේප කලෙමි. 

පසුගිය සති කිහිපයේදී චරිත දෙකක් මේ  සඳහා දේශපාලන කරලියේ ඉස්මතු විය. එනම් රොහාන් පල්ලෙවත්ත සහ නගානන්ද කොඩිතුවක්කු යන මහත්වරුන්ය. මෙයින් පළමු චරිතය මේ වන විට සමාජ ජාලා මාධ්‍ය තුල වඩාත් ඉදිරියට ගොස් ඇති බව පෙනෙයි. කියවීමට ලැබුන තොරතුරු අනුව ඔහු ඉංජිනේරු වෘතිකයෙක් මෙන්ම සාර්ථක ව්‍යාපාරිකයෙකි. 

මා මවිතයට පත් කරමින් මට දේශපාලන පොර පිටියට ආරාධනා කල එක් පුද්ගලයෙක් රොහාන් පල්ලෙවත්ත මහතාගේ පෝස්ටුවකට බලාපොරොත්තු නොවූ කොමෙන්ටුවක් යොදා තිබුණි. 

"එයාර් බෑග් සෙන්සර් හදන එකෙක් හිතනවා ඌට රටක් පාලනය කරන්න පුළුවන් කියල".  

සමාජ වෙබ් අඩවි වල පලවන පුවත් මගින් දැනගත් කරුණු හැරෙන්නට රොහාන් පල්ලෙවත්ත මහතා පිළිබඳව මම කිසිවක් නොදනිමි. නාගනන්ද කොඩිතුවක්කු මහතා පිළිබඳවද එලෙසමය. එබැවින් ඔවුන්ගේ ඉදිරි මග පිළිබඳව දැන්මම මත හෝ අනාවැකි පල කිරීම උගහටය. එහෙත් ඉහත සඳහන් කොමෙන්ටුවෙන් පිළිබිඹු වන්නේ තවමත් උගත් යයි සම්මත බොහෝ දෙනා පවා රාජ්‍ය පාලනය සඳහා සාම්ප්‍රදායික දේසපාලුවගෙන් එපිට විකල්පයක් පිළිබඳව දක්වන ආකල්පයයි. 

ගෙවීගිය වසර පුරාම අපි පවතින දේශපාලන ක්‍රමවේදය මෙන්ම සමාජ පද්ධතියද වෙනස් කිරීම පිළිබඳව කතිකාවතක් දුටුවෙමු.  සමාජ ජාලා මාධ්‍යවල මෙන්ම මුද්‍රිත / විද්‍යුත් මාධ්‍යවලද මේ සමාජ පෙරලිය පිළිබඳව අදහස් පෙරදැරි කරගත් චරිත මතුවිය. එහෙත් මේ බොහෝ දෙනාට අවශ්‍යව ඇත්තේ සමාජ පද්ධතියේ පුළුල් පරිවර්තනයක් නොව තමා ඔසවා තැබීමට උත්සහ කරන දෙවන පෙළ හෝ තුන්වන පෙළ දේශපාලකයෙක් ඉදිරියට ගෙන ඒම බව දැන් මට සිතෙයි. රොහාන් පල්ලෙවත්ත මහතා මෙන්ම නීතිවේදියෙකු වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා පිළිබඳවද පල කරන අදහස් වලින් මේ බව තහවුරු වෙයි.

2020 වන විට කිසිම ප්‍රධාන අපේක්ෂකයෙක් දේශපාලන කරලියේ නොසිටීමේ සම්භාවිතාවක් ඇති බව මෑතකදී වික්ටර් අයිවන් මහතා පවසා තිබුණි. මට මේ කියමන යම් තාක් දුරකට සත්‍ය බව වැටහෙයි. 


ඝන කැලෑවක අතරමං වී සිටින මිනිසෙකුට බොහෝ විට පෙනෙන්නේ ඉතා කෙටි දුරකි. ඒ දුර ඇතුලත ඇති දේ ඔහුට ඉතා මැනවින් පෙනෙයි. පිපාසයට දිය දෝතක් ඔහු සොයයි. අවට වන සතුන්ගෙන් හානියක් වේදැයි ඔහු කල්පනා කරයි. මිනිස් අඩි පාරක්වත් දකින්න ඔහු ප්‍රර්ථනා කරයි. 

උස් ගසකට හෝ කඳු ගැටයකට නැගුන හොත් ඔහුට අවට පරිසරය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙයි. එය අඩි කිහිපයක දුර ඇති දෙයක් දකින්නාක් මෙන් ඉතා සුපැහැදිලි දර්ශනයක් නොවේ. එහෙත් පවතින වාතාවරණයට පිළිසරණක් ඔහුගේ දර්ශන පරාසයේ පවතී.  තමා ආ මගට ටික දුරක් ඈතින් දිය පොකුණක් තිබූ බවත්, තව යාර සියයක් පමණ ආ මගම ගියා නම් තමන් කොටියෙකුගේ ගොදුරක් වන බවත්,  නැගෙනහිර දෙසට ගිය විට තව යොදුනකින් පමණ කුඩා මාර්ගයක් හමුවන බවත් ඔහු පසක් කරගනියි. 


පවතින දේශපාලන වාතාවරණයේ ගිලී සිටින අයෙකු වනයේ ගමන් කරන මිනිසා වැනිය. ඔහුට තමා අවට කෙටි දුරක් තුල තොරතුරු පැහැදිලිව පෙනෙයි. ඒ තොරතුරු ගෙන එන්නේ සැකය මුසු බියකරු හැඟීමකි. ඔහුට සිදුවිය හැකි සෑම දෙයක්ම උපකල්පනය කිරීමට සිදුවෙයි. ඒ උපකල්පනයන් බොහෝ විට අසුබවාදී විය හැක. මන්ද ඝන වනාන්තරක් තුලදී හැමවිටම ඇත්තේ අවිනිශ්චිත බවක් නිසාය. 

කඳු ගැටය මත සිටින මිනිසා මේ දේශපාලන ගොහොරුවේ බලපෑමෙන් මිදී ඒ දෙස බලන අයෙකු වැනිය. අවට ඇති තත්වය පිළිබඳව ඔහුට යම් නිවැරදි තක්සේරුවක් කල හැක.

මට සිතෙනා ආකාරයට මම කදු ගැටයක් මත හිඳිමි. 




අසංවර්ධිත බොහෝ රටවල සිදුවන්නාක් මෙන් ලාංකීය දේශපාලනයද විෂම චක්‍රයකට (vicious cycle) ඇතුළු වී පවතී. මෙය කවදා කෙලෙසක ඇරඹුණි දැයි ස්ථිරව පැවසිය නොහැක. බොහෝ විට 77 මැතිවරණයෙන් පසු පාලන සමයේ එය සිදු වුනා විය හැක. 

ජාත්‍යන්තරයෙන් උදාහරණ කිහිපයක් ගතහොත්;  ලී ක්වාන් යූ මහතා මුල සිටම දැඩි අණ පනත් යටතේ සිංගප්පුරුව මෙම චක්‍රයට ඇතුළුවීමට ඉඩ නොදී තබාගත්තේය. ඉතා මෑතකදී සිදු වූ දේශපාලන පෙරළියෙන් පසු මහතීර් මොහමඩ් මහතා මේ විෂම චක්‍රයෙන් මැලේසියාව ගලවා ගැනීමට දැඩි උත්සහයක් දරයි. ඇත්තෙන්ම මැලේසියාව මේ චක්‍රයට ඇතුල් වීම උදෙසා පසුබිම සැකසුවේද මහතීර් මහතා විසින්ම බව (ඔහුගේ මුල් පාලන සමයේදී) බොහෝ දෙනෙකුගේ මතයයි. ඉන්දියාවේ අගමැතිවරයා රට විෂම චක්‍රයෙන් මුදා ගැනීමට ප්‍රබල සටනක් දී එයින් පැරදී දැන් ඔහුත් ඊට අනුගත වී ඇති සේයකි.

ලංකාව වැටී ඇති තැනින් ගොඩ ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ විෂම චක්‍රයෙන් පිටතට ගත යුතුය. ඒ සඳහා චක්‍රය කොතනකින් හෝ කැඩිය යුතුය. ලාංකීය සමාජ පද්ධතියෙන් බැහැරට විත් බලන විට මට පෙනෙන චිත්‍රය එයයි. 

විෂම චක්‍රයක මුල, මැද, අග ලෙසින් අර්ථ දැක්විය හැකි කොටස් නැත.  එහි ප්‍රධාන මංසන්ධි හතරක් ඇත. ඒවා යාකරන මාර්ගද හතරක් ඇත. මේ ස්ථාන අටෙන් දුර්වලම කොටස හඳුනාගෙන එය විසන්ධි කෙරීම යහපත් කල්පනා ශක්තියක් ඇති සියළු දෙනාගේම වගකීමයි.

බොහෝ දෙනා තම අවධානය යොමු කරන්නේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමට බව පෙනෙයි. ඊට හේතුව මෙම මංසන්ධි හතරෙන් අඩුම පිරිසක් වෙනස් කිරීමෙන් චක්‍රයෙන් මිදීමේ හැකියාව ඇති ස්ථානය එය වීමයි. මීට අමතරව ආවර්ථිතව මේ වෙනස කිරීමට නිශ්චිත හැකියාවක් ඇත්තේද (මැතිවරණ මගින්) මේ මංසන්ධියේ වීමයි. අවාසනාවකට මෙන් මෙතෙක් අප කර ඇත්තේ සමාන ඇතුලතක් ඇති ඔළුගෙඩි ආවර්ථිතව මාරු කිරීම මිස ඔළුගෙඩි ඇතුලත ඇති දේ වෙනස් කිරීම හෝ වෙනස් ඇතුලතක් ඇති ඔළුගෙඩි පත් කරගැනීම නොවේ. මෙයින් පැහැදිලි වන්නේ විෂම චක්‍රය කැඩීමට සුදුසුම තැන දේශපාලන අධිකාරිය නැමැති මංසන්ධිය නොවිය හැකි බවයි.    

මට හිතෙන ආකාරයට අප කැඩිය යුත්තේ මංසන්ධියක් නොව මංසන්ධි යා කරන මාර්ගයකි. ඒ සඳහා සුදුසුම ක්‍රමය දුෂණයෙන් වාසි ලබන සුළුතරය ජනතාව නොමග යැවීම වැලක්වීමයි. 

ඔබ නොයෙකුත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් යම් දේශපාලකයෙක් ඔසවා තබයි නම් ඔබ අයිති වන්නේ අර සුළුතරය ඇතුලත් මංසන්ධියටය. ඔබට මෙම විෂම චක්‍රය කැඩීම වෙනුවෙන් කාර්යභාරයක් නැත. මන්ද ඔබට ඔබ යන ගමන පිළිබඳව පැහැදිලි අරමුණක් තිබෙන බැවිනි.

ඔබ යම් දේශපාලකයෙකු හෝ දේශපාලන පක්‍ෂයක් වෙනුවෙන් සහයෝගය දෙයි නම් හෝ කැමැත්තක් ඇත්නම්, එමෙන්ම ඒ සහයෝගය හෝ කැමැත්ත ඇත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව නම් ඔබට රට වෙනුවෙන් කල යුතු විශාල කාර්යභාරයක් ඇත. 

මදක් මානසිකව ගිමන් හැර සිතන්න. 

ඔබගේ මනාපය ඇති දේශපාලන ප්‍රපංචය මගින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඒ වෙනුවෙන් ඔහු කර ඇති කාර්ය භාරය කුමක්ද? ඔහු නොකළ කාර්ය භාරය කුමක්ද? ඔහු රට කල විනාශකාරී ක්‍රියා මොනවාද? ඒ තුලින් සිදුවී ඇති අයහපත පිළිබඳව තක්සේරුව කුමක්ද? ඔහු තමා අතින් සිදු වූ අයහපත සහ තම අතින් සිදු නොවූ යහපත පිළිබඳව අවංක ස්වයං විවේචනයක් කරනවද? නොඑසේ නම් ඔබට ඔහුගෙන් අනාගතයේදී යහපතක් බලාපොරොත්තු විය හැකිද? 

මේ ආදී කරුණු පිළිබඳව විවෘත මනසින් හිතන්න. අවට සමාජය දෙස බලන්න. සෑම දෙනෙක් සමගම හැකි පමණ විවෘත මනසින් සාකච්චා කරන්න?

හැමවිටම පහත පැනය ඔබගෙන්ම අසන්න. 

"මේ දේශපාලන ප්‍රපංචයට අනුග්‍රහය දැක්වීමෙන් මම රටට හෝ මට කරගන්නා සුගතිය කුමක්ද?"

ඉතා සරලව පවසනවා නම් "මේ යකාට හෝ මේ කෙහෙල්මලට සපෝට් එක දුන්න කියල මටවත් රටටවත් ඇති වැඩේ කුමක්ද?" යයි ඔබගෙන්ම අසන්න. 

දැන් ඔබ ව්‍යාකුල වනු ඇත. ලංකාව වැනි නොදියුණු රටවල දේශපාලනය යනු පාරම්පරිකව පැමිණ ඔබට උපතේදීම උරුම වන කරුමයකි. එය සමහර විට ආගමටත් වඩා ඔබගේ ජාන තුලට ඇතුළු වී තිබෙන්නට පුළුවන. මෙය ඉතා අසහනකාරී මෙන්ම අමිහිරි තත්වයකි. ඔබ යම් දේශපාලන ප්‍රපංචයක මානසික වහලෙකු වී සිටින තාක් කල් ඔබ ගෙවන්නේ දුක්ඛිත ජීවිතයකි. තම දේශපාලන ප්‍රපංචය විවේචනය වන විට ඔබ කෝපයට පත්වෙයි. ඒ දේශපාලන ප්‍රපංචය වැටෙන විට ඔබට විරුද්ධවාදීන්  සමග වෛරයක් ඇතිවෙයි. විරුද්ධවාදීන් වැටෙන විට ඔබට ක්‍රෝධය මුසුවූ සතුටක් ඇතිවෙයි. මේ සියළුම සිතුවිලි සමුදායන් ඔබව මානසිකව අස්ථාවර කරයි.

යථාර්තය ක්‍රමයෙන් තේරුම් ගනිද්දී ඔබ මානසිකව ස්ථාවර වෙයි. ඔබට ඉතා සැහැල්ලු නිදහස් චින්තනයක් පහලවෙයි. සමහර විට ඔබ කරගසාගෙන පැමිණි දේශපාලන ප්‍රපංචය නිවැරදි විය හැක. බොහෝ විට එය වැරදි විය හැක. දැන් ඔබට මේ ගැන කරුණු සහිත දැනීමක් (factual intelligence) ඇත. මේ නිසා ඔබට හොඳ නරක පැහැදිලිව අවබෝධ කරගැනීමටත්, ඒ පිළිබඳව සසල නොවී උපේක්ෂා සහගතව සිතීමටත් හැකියාව ලැබී තිබෙනු ඇත.

දැන් ඔබ නැවතත් සමාජය සමග අදහස් හුවමාරු කරගන්න. ඔබට දැන් හමුවන්නේ ඔබගේ මානසික ජයග්‍රහණයට පෙර සිටි ඔබවමය. ඔබ නිදහස් වී ඇත. එහෙත් සමාජයේ බොහෝ දෙනා තවමත් වහල් බැම්මෙන් බැඳී ඇත. ඔවුන්ට තම බැමි වලින් මිදීමට ධෛර්ය දෙන්න. ඔවුන් සමග වාදයට නොයන්න. උපක්‍රමශීලිව සංවාදයක් අරඹන්න. ඔබ කරන්නේ සටනක් නොවේ. එබැවින් ඔබට ආයුධ අවශ්‍ය නැත. සමාජයට සිතන්න හුරු කරන්න. ඔබේ සඟයා මානසික බැමි වලින් නිදහස් වූ පසු ඔබ සිතන ආකාරයටම ඔහුත් සිතිය යුතුය යන අමනෝඥ හැඟීමෙන් මිදෙන්න. සිදුවිය යුත්තේ ඔහු නිදහසේ විවෘත මනසකින් යුතුව සිතීමයි. සමහර විට ඔබට වඩා වැඩි පරාසයක දැක්මක් ඔහුට හිමි වනු ඇත. ඒ පිළිබඳව සතුටු වෙන්න.

රටට අවශ්‍ය රොහාන් පල්ලෙවත්තද, නාගානන්ද කොඩිතුවක්කුද එසේ නොමැති නම් දැනටත් සිටින දේශපාලකයෙකුද යන්න ඔබ තීරණය කල යුත්තේ මේ බැමි ලිහා ගත පසුවයි. එය සමාජය පුරා විසිරී යද්දී සුදුසු ඔළුගෙඩි සුදුසු තැන වලට පත්වනු ඇත. නැතහොත් පවතින ඔළුගෙඩි සුද්ද වනු ඇත. 

2020 වන විට ඔබට කරගහගෙන යාමට දේශපාලන ප්‍රපංචයක් නැතිවීමටත් පුළුවන. 




   



8 comments:

  1. උගත් + බුද්ධිමත් + මුදලට නොවිකිනෙන පිරිස් තම තමුන්ට හැකි පමණින් මේ ජරාජීරණ ක්‍රමය වෙනස් කරන්න යම් පියවරක් ගන්නවානම් ඒකරටේ වාසනාව වෙයි. ඒත් පවතින ක්‍රමය බිඳගෙන ඇතුලට යන්න අවස්තාවක් ලබාගැනීම කණකැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක් චන්දිම මහත්මයා.. දුෂිතයින් බලය අත්පත්කරගෙන අහවර නිසා එයාල අතරට ගිහින් එයාලගේ ක්‍රමය බිඳ වැට්ටවීම යුද්දයක් දිනනවාට වඩා එහා ගිය කර්තව්‍යක්.

    එකම විකල්පය අනාගත පරපුරට තර්කානුකුලව හිතන්න පුරුදු කෙරෙන අධ්‍යාපනය ක්‍රමයක් සකස්කිරීමට වෙරදැරීම කියලයි මගේ පුද්ගලික අදහස. හිත ඇතුලේ තර්කයක් ගොඩනගන්න පුළුවන් මට්ටමේ දියුණු මනසක් තියෙන චන්දදායකයින් බිහිවෙන අද්යාපන ක්‍රමයක් බිහිකරොත් අනාගත පරපුර මේ ජරාජීරණ ක්‍රමය ප්‍රතික්ෂේප කරන්න දෙපාරක් හිතන එකක් නෑ. සෘජුවම අධ්‍යාපන ක්ෂේස්තරයට සම්භන්ධ ඔබතුමාලා ඒ ගැන ඔබලාට කළහැකි දෙයක් කරනවානම් ඒක රටේ මුළුමහත් අනාගත පරපුරටම කරන සේවයක්. සරලවම කියනවනම්, වැඩිහිටියෝ විදිහට විශ්වවිද්‍යාලයට එන ශිෂ්‍ය ප්‍රජාවත් එයාලට සීනියර් බැච් එකෙන් රැග් වෙද්දී ඊට විරුද්දව වචනයක් කතා කරන්න භයයි. ඒ වගේ අධ්‍යාපනයෙන් ඉහලටම යන උදවියත් අසාධාරණය ඉදිරියේ නිවට නියාලු වෙනවානම් ඔවුන් ලැබූ අද්‍යාපනය ගැන නැවත විමසා බැලිය යුතුයි කියලයි මගේ අදහස. සමාජ දැනීමක් නැති , ආත්මාභිමානයක් ගොඩනැගෙන්නේ නැති , හරි වැරැද්ද තෝරාගන්න බැරි, අසාධාරණයට එරෙහිවෙන්න බැරි, ආත්මාර්ථකාමී මිනිස් ප්‍රජාවක් බිහිවෙනකම් මේ ක්‍රමය වෙනස් කරන්න බැරිවෙයි. එකම විකල්පය අනාගත පරපුරට හරි වැරැද්ද තෝරාගන්න පුළුවන් වෙන විදිහේ දැක්මක් ගොඩනැගෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම නොවේද ?

    ReplyDelete
    Replies
    1. ඔබ දකින්න සේම ප්‍රධාන වශයෙන්ම අප කල යුත්තේ සමාජයට සිතන්න පුහුණු කිරීමයි. මෙහිදී වැදගත්ම කාරණය; සිතන්න පුරුදු කරනවා යනු වැරැද්ද නිවැරැද්ද හිතට එකඟව අවබෝධ කරගැනීමට සමාජය හුරු කිරීම මිස තමන් හිතන විදියට සමාජයත් හිතන්න හුරු කිරීම නොවේ.

      Delete
  2. well said... need to change the bad attitudes of people....

    ReplyDelete
  3. චන්දිම මහත්මයා ස්තුතියි ඔබට. පුනරුදයෙ අපි ඉන්නෙත් මෙි ස්ථාවරයෙම තමා. අදවන විට මෙි මතය ජනතාව අතරට ගෙනයමින් සිටිනව.ජනතාව දැනුමෙන් (දේශපාලන ) සන්නද්ධ කිරීමෙන් පමනි ශ්‍රී ලංකාව අද පවතින අවාසනාවන්ත තත්වයෙන් ගොඩගත හැක්කේ.

    ReplyDelete
    Replies
    1. අපි උපරිමයෙන් උත්සහ කරමු, තනි තනියෙන් මෙන්ම සාමුහිකවද.

      Delete
  4. ඉහත සඳහන් ආකාරයේ ධනාත්මක දේශපාලන නැඹුරුවක් මෑත කාලයේ යන්තම් හෝ දිස් වුයේ 2015 ජනාධිපතිවරණ සමයේදීය. එහෙත් අවාසනාවට, එමගින් බලයට පැමිණි මෛත්‍රිපාල ජනාධිපතිවරයා ලංකාවට කල ලොකුම හානිය නම්, වැඩක් කළහැකි සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැක්මක් (සහ හැකියාවක්) ඇති, එහෙත් දැනට පවතින දූෂිත දේශපාලන යාන්ත්‍රණයට පිටින් සිටින කෙනෙකුට ලංකාවේ පාලන තන්ත්‍රයට පිවිසීමට ඇති හැකියාව අහුරා දැමීමයි.

    මෛතිපාල සාම්ප්‍රධායික දේශපාලකයෙකු වුවද ජනාධිපතිවරණයේදී ඔහුගේ ජයග්‍රහණයේ තීරණාත්මක මනාප ලැබුනේ සාම්ප්‍රධායික පක්ෂ දේශපාලනයට පිටින් වෙනසක් කළහැකියයි බලාපොරොත්තු වූ පිරිසකගෙනි. එහෙත් මේ වනවිට එයට දායක වූ බොහෝ දෙනෙකුට කලින් තිබු විශ්වාශය නැතිව ගොස් ඇති අතර, බහුතර ජනතාවද යලිත් වරක් ලෙහෙසියෙන් එවැනි වෙනසකට සහය දෙන්නේ නැත.

    අවසානයේදී සිදුවන්නේ, වඩා ප්‍රායෝගික දේශපාලන දැනුමක් සහ ආකල්ප ඇති සමාජයක් බිහිවීමේත් ජනතාව පාලකයින්ට වහල් නොවී දේශපාලකයින් සමාජයට වගවියුතු පරිසරයක් නිර්මාණය වීමේත් හැකියාව වසර ගණනකින් ආපස්සට යාමයි.

    ReplyDelete