Saturday 21 January 2017

ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව




අසූව දශකයේ පැවති ජනපතිවරණ වේදිකාවේ ජනාධිපති අපේක්‍ෂක රණසිංහ ප්‍රේමදාස මහතා ඉතා ආකර්ෂණීය ලෙස දේශපාලන පොරොන්දුවක් ඉදිරිපත් කළේය.

"මේ රටේ හාමතේ ඉන්න උදවියට මම පාන් කන්න දෙනවා 
පාන් කන අයට බත් පිගානක් දෙනවා 
බත් කන අයට බුරියානි එකක් දෙනවා 
බුරියානි කන අයට අතුරුපසට කෙසෙල් ගෙඩියක් දෙනවා ....."

රටේ සෑම ස්ථරයකම ආර්ථික තත්වය නගා සිටුවන බව එදා ප්‍රේමදාස මහතා පැවසුවේ එලෙසයි...

තවත් තැනකදී ප්‍රේමදාස මහතා මෙසේ කිවේය.

"කකුල පිච්චි පිච්චි ඇවිදින අප්පුහාමිලට මම සෙරෙප්පු දෙනවා 
සෙරෙප්පු දාපු සිරිපාලට සපත්තු දෙනවා"

ප්‍රේමදාස මහතා කකුලේ ඇඟිලි තුඩු වලින් ඉස්සෙමින් තම රළු, ග්‍රාම්‍ය කටහඬින් මේ කරුණු ඉදිරිපත් කරන විට මහජනතාව ඔල්වරසන් හඬ දෙමින් ඔහුට චන්දය ප්‍රකාශ කිරීමට පෝලිම් ගැසුනේය. ඔහු තම පොරොන්දු ඉටු කලාද නැද්ද යන්න මම විග්‍රහ කිරීමට උත්සහ නොකරමි.

ඊට දශක දෙකකට පසු එම පක්ෂයේම ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මහතා මේ කාරණය කිව්වේ මෙලෙසයි. 

"අපි මේ රටේ නංගිලාට මල්ලිලාට රත්තරං බ්‍රේස්ලට් දෙනවා 
බුලත් විට කන මාමලාට චුවින්ගම් හපන්න දෙනවා 
අමුඩේ ගහගෙන මඩේ බහින ගොවි රාළලාට ඩෙනිම් කලිසම් අන්දනවා"

මෘදු කටහඬින්, ඕලාරික ස්වභාවයෙන් මේ කතාව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ අනාගත්තා පමණක් නොව ජනතාව ඉදිරියේ පෞරුෂයෙන් තොර කවටයෙකු බවට පත් විය.

මේ සිද්ධිය මට මතකයට නංවන්නේ මෑතකදී ඇතිවූ ආදේශක ආහාර පිළිබඳ කථිකාවතයි.

මා කිහිප විටක් පවසා ඇති ආකාරයට ලංකාවේ මිනිසුන් මූලික අවශ්‍යතා සපුරා ගැනීමේදී කරන වැරදි කිහිපයක් මුළු රටේම ආර්ථිකය බිඳ දැමීමට හේතුවෙයි. කාන්තාවගේ ප්‍රධාන ඇඳුම (රජයේ සේවය සඳහා නිල ඇඳුම) වන සාරිය 100% ක් ආනයනය කරයි. රටේ සම-ප්‍රධාන ආහාරය වන පාන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් කෑම වර්ග සාදන තිරිඟු පිටි 100% ක් ආනයනය කරයි. ලැයිස්තුව බොහෝ දිගය. මේ ආකාරයට රටකට ඉදිරියට යා නොහැක. එක්කෝ අප මෙම පුරුදු වෙනස් කරගත යුතුය නො එසේ නම් පුරුද්ද පවත්වාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය /නිමි ද්‍රව්‍ය මෙරටේ නිෂ්පාදනය කරගත යුතුය.

මේ අනුව නියඟයක් ඇතිවුනා හෝ නැතිවා හෝ අප දේශීයව ලබාගත හැකි ආදේශක ආහාර වලට සංක්‍රමණය වීම ජාතික අවශ්‍යතාවයකි. මෙහිදී කොස් පොළොස්, දෙල්, බතල, මයියොක්කා, ගහල, කොමඩු වර්ග ආදී මෙම කාර්ය සඳහා යොදාගත හැකි ආහාර භෝග වර්ග රාශියක් ලංකාවේ ඇත. මේවායින් සමහර භෝග සඳහා ජලය අවශ්‍ය වන්නේ ඉතා ස්වල්ප වශයෙනි. 

කෘෂි ඉංජිනේරු පර්යේෂණ අංශයේ යුතුකම වන්නේ මෙම ආහාර භෝග ඕනෑම තත්වයක් යටතේ වගා කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කිරිමත් ජනතාවට පහසුවෙන් ආහාර සකස් කරගත හැකි ආකාරයෙන් මූලික ඵලදාවට අගය එකතු කිරීමත්ය. උදාහරණයක් ලෙස; බතල පිටි වලින් පාන් සහ වෙනත් බේකරි නිෂ්පාදන සෑදිය හැකි පරිදි වැඩි දියුණු කිරීමට මීට වසර 25ට පමණ පෙර ලංකාවේ තාක්‍ෂණවේදීන් සමත් විය. එහෙත් තිරිඟු පිටි ආනයන මාෆියාව විසින් මෙම සොයා ගැනීම යටපත් කරන ලදී. මෙක්සිකෝවේ සහ කොලොම්බියාවේ මයියොක්කා පිටි වලින් පාන් පමණක් නොව පිට්සාද සාදනු මම දැක ඇත්තෙමි. එම ආහාර තිරිඟු පිටි නිෂ්පාදන වලට වඩා බොහෝ සෙයින් රසවත්ය. 

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ මේ පිළිබඳව ඉතා සුභදායි දේශපාලන දැක්මක් තිබුණේය. එහෙත් එම රජයේ සමහර අදුරදර්ශී ප්‍රතිපත්ති නිසා මෙයින් නිසි ඵල නෙලා ගැනීමට නොහැකි වූ බව මගේ හැඟීමයි. 

පසුගියදා මෙම රජයේ අමාත්‍යංශ නිලධාරීහු තම අගමැතිවරයා අනුගමනය කරමින් මෙම මහඟු කර්තව්‍ය පුර්ණ විකටාංගයක් බවට පත් කලෝය. 

නියගයට මුහුණ දීමට නම් ක්‍රෝටන් කොළ, කොස් කොළ, තේ දළු ආහාරයට ගැනීමට ජනතාව හුරු කරවිය යුතු බව ඔවුන් පවසයි. මෙය මහා විකාර සහ හාස්‍යජනක ප්‍රකාශයකි. නියගයකට ඔරොත්තු දෙන ක්‍රෝටන්, කොස්, තේ වර්ග සොයා ගැනීම ලෙහෙසි නැත. අනෙක් අතට තේ දළු කෑමට වඩා කාර්ගිල්ස් එකකින් බාස්මතී සහල් මිලදී ගැනීම ලාබ දායක වනු ඇත. ක්‍රෝටන් කොළ, කොස් කොළ කෑමට පෙර මේ රටේ වැඩි දියුණු කර භාවිතය ප්‍රචලිත කල යුතු ආහාර වර්ග බොහෝ ඇත. 

සමස්ථයක් වශයෙන් මා දකින්නේ මේ රටේ දේශපාලන දර්ශණය පූර්ණ ප්‍රතිශෝධනයකට ලක් කිරීමට කාලය එළඹ ඇති බවයි. දේශපාලකයාට රුපියල් මිලියන සිය ගණනක් වටිනා වාහන ආනයනය කරමින්, එය සාධාරණීකරණය කරමින් සිටිනා කාලයක මහජනතාවට කොස් කොළ කෑමට සුදානම් වන්න යැයි පැවසීම සමාජය තුලින් පාලකයා කෙරෙහි දරුණු වෛරයක් ඇති කිරීමට හේතු වන බව සියල්ලෝම සිහි තබා ගැනීම යෙහෙකිය. 



8 comments:

  1. අවසාන ඡේදය සියල්ල පහදා දෙයි.

    ReplyDelete
  2. ලංකාවේ පරියේෂණ කරන ආයතන සහ නිලධාරීන් ඒ පරියේෂණ කරන්නේ තමුන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන්ම පමණක් බව සාමාන්‍ය ජනතාව නොදන්නා තිත්ත ඇත්තක්. මුහුදු මට්ටම ඉහල යාම නිසා පුරන් වෙච්ච අක්කර දහස් ගණනක කුඹුරු අද වෙද්දී වගාවකට ගන්නම බැරි තරම්. අවුරුදු ගණනාවක් පරියේෂණ කරන කෘෂි අධිකාරියන් වලටත්, විශ්වවිද්‍යාල වලටත් මේ වෙනකම් බැරිවුනා මුහුදු ජලයෙන් පුරන්වුනු තෙත්බිම්වල වගා කරන්න පුළුවන් වී ඇටයක් නිර්මාණය කරන්න. ඒ තෙත්බිම්වල කුරුඳු වගා කරන ක්‍රමවේදය ගමේ ගොඩේ ජනතාව දන්නවා වුනත් රජයෙන් ඒ ඉඩම්වල කුරුඳු වවන්න අවසර දෙන්නේ නැහැ. ඒත් දේශපාලන හිතවත්කම් තියන උදවියට ගොඩකරලා ගෙවල් හදාගන්න තහනමක් නෑ.. මේක පුදුම රටක්.. දෙසපාලුවා කියන සතාගේ හැසිරීම කුමනාකාරයෙන් නිරීක්ෂණය කලත් හරිම පුදුමසහගතයි.. අරක්කු කාලට, සිමෙන්ති කොට්ටෙට, ටකරන් තහඩුවට කතිරේ ගහන ජනතාවක් ඉන්න රටක මේ දේවල් වෙනස් කරන්න කවදාවත් බැරිවෙයි. බුද්ධිය නැති බහුතරයක් වෙසෙන රටක පාලකයා තීරණය කරන්නේ ඒ බුද්ධිමත් නවන කොට්ඨාශය නිසා ඉදිරිය මීට වඩා සෝචනීය වෙයි..

    ReplyDelete
    Replies
    1. විශාන්, ඔබ කියනා සියලු දෙයට මා 100% ක් එකඟයි.

      නමුත් සියළු කළු වලාවන් අතර මම යම් රිදී ඉරි කිහිපයක්ද දකිමි. සමාජ ජාලා ආශ්‍රිතව මෙන්ම දුරස්ථ කතා බහේ දීද මට පෙනී යන්නේ ලංකාවේ ජනතාව යම් විශාල චින්තන පරිවර්තනයකට සුදානම් වන බවයි. මෙය වර්තමානයේ අති සුළුතරයක් වුවත් එය වේගයෙන් වර්ධනය වීමට ඉඩකඩ ඇත. ඉඩ කඩ වෙලා ඇති හැම විටම ඔබත්, මේ අදහසෙහි සිටින සියළු දෙනාමත් ලියන්න. සමාජය තුල අර්ථවත් යමක් කතා කරන්න. එය ඕනෑම භාෂා විලාශයකින් එලි දැක්විය හැක.

      Delete
    2. /නමුත් සියළු කළු වලාවන් අතර මම යම් රිදී ඉරි කිහිපයක්ද දකිමි. සමාජ ජාලා ආශ්‍රිතව මෙන්ම දුරස්ථ කතා බහේ දීද මට පෙනී යන්නේ ලංකාවේ ජනතාව යම් විශාල චින්තන පරිවර්තනයකට සුදානම් වන බවයි./

      ස්තූතියි චන්දිම, යමක් කටට ආ පලියටම ප්‍රකාශ නොකරන ඔබ වැන්නකුගෙන් එවන් අදහසක් ප්‍රකාශ වීමත් සතුටට කරුණක්

      Delete
  3. //දේශපාලකයාට රුපියල් මිලියන සිය ගණනක් වටිනා වාහන ආනයනය කරමින්, එය සාධාරණීකරණය කරමින් සිටිනා කාලයක මහජනතාවට කොස් කොළ කෑමට සුදානම් වන්න යැයි පැවසීම සමාජය තුලින් පාලකයා කෙරෙහි දරුණු වෛරයක් ඇති කිරීමට හේතු වන බව සියල්ලෝම සිහි තබා ගැනීම යෙහෙකිය.// සිරාවටම. කකුලුවා හැලිය නටන කම් නටනවා වගේ තව ටික කාලයක් නටයි

    ReplyDelete
  4. උන් කති බොති ආතල් ගනිති.....
    අපිට යන එනමන් නැතිවෙති....

    ReplyDelete
  5. ඔබ හරි. ඔය කොස් කොළ ක්රෝටන් කොළ කටහ්ව නම් මහා විකාර එකක් වගේ මට හිතෙන්නේ. ලංකාවේ එහෙම සාගතයක් එන්න විදිහක් නැහැ. මගේ අම්මා නමසිය හැත්තෑ ගණන් වල කොස් ඇට වලින් පිටි හැදුව. ඉන් ඉඳි අප්ප හා රොටි පවා හැදුව. මට මතක විධිහට තරුණි පත්තරේ ගියා ඒක. ලංකාවේ කොපමණ කෑම වර්ග තියෙන රටක්ද?

    ReplyDelete
    Replies
    1. 100%. අවශ්‍යතාවය ඇත්නම් කොස් ගෙඩියෙන් පමණක් ලෝකයේම සාගතය නිවිය හැක. අඩු ගන්නේ ලංකාවේ වත් .......

      Delete