Friday 19 February 2016

මට පෙනෙන හැටි-කෙටියෙන්


ඉන්දියාව මට නුහුරු තැනක් නොවේ. 2004-2008 කාලය තුල USAID ආයතනයේ ආධාර යටතේ මම දකුණු ආසියාවේ සෑම රටකම පාහේ අකුණු ආරක්‍ෂණය පිළිබඳව පුහුණු වැඩමුළු පැවැත් වුයෙමි. මෙහිදී ඉන්දියාවේ පමණක් නගර 25කට වඩා ආවරණය කලෙමි. එබැවින් මට ඉන්දියාවෙන් අපි ගත යුතු දේ මෙන්ම නොගත යුතු දේ පිළිබඳවද පැහැදිලි අවබෝධයක් ඇත. මෙහිදී මම එක් සංසිද්ධියක් පමණක් ඔබ සමග බෙදා ගන්නම්.

2007 දී බැංගලෝරයේදී වැඩමුළුවක් පවත්වන අතර මට IISC හි සේවය කරන මහාචාර්යවරයෙක් හමුවිය. ඔහුගේ බිරිඳද මහාචාර්යවරියකි. ඔවුන් දෙදෙනාට වයස 17 සහ 15 වන දියණියක සහ පුතෙකු සිටිති. මේ දෙදෙනා තම දරුවන් ගැන කතා කලේ යම් සංවේගයකිනි.

ඇමරිකාවේ අද තොරතුරු තාක්ෂණය ග්‍රහණය කරගෙන ඇත්තේ ඉන්දියානුවන් බව කවුරුත් දන්නා කරුණකි. ඊට මුලික හේතුව වන්නේ ඔවුනට ඉතා තරගකාරී මිළකට තම සේවා සහ නිෂ්පාදන ඇමරිකානු වෙළදපොලට ලබා දිය හැකි වීමයි.

ඔවුන්ට එසේ කිරීමට හැකියාව ලැබුනේ කෙසේද?

ඇමරිකාවේ සිටියත් ඔවුන්ගේ ශ්‍රමික භූමිය ඉන්දියාවයි. තොරතුරු තාක්ෂණයට ශ්‍රමිකයාගේ භෞතික පදිංචිය අදාළ නොවේ. ඇමරිකාවේදී ඔවුන් ලබාගන්න සියලුම කාර්ය පැවරුම් (work assignments) ඔවුන් ඉන්දියාවේ ඇති ආයතනවලට ලබා දෙයි (out-sourcing). නගර මට්ටමින් ඇති මෙම ආයතන, ලැබෙන කාර්ය පැවරුම් කොටස් කර ප්‍රාදේශීය මට්ටමෙන් ඇති කුඩා ආයතනවලට ලබා දෙයි. මෙම ආයතන සමහර විට මේසයක්, පුටුවක් සහ පරිගණකයක් පමණක් ඇති කුඩා කාමර කෑල්ලකි. එම ප්‍රදේශයේ සිටින තරුණ තරුණියන් (වයස 12-13 දරුවන් පවා) කණ්ඩායම් සාදා ගෙන මෙම ආයතනවල ලියා පදිංචි වී ඇත (මෙම කණ්ඩායම් වල නම් කිහිපයක් මගේ මිතුරා පැවසු විට මගේ මතකයට ආවේ ලංකාවේ ඇති එල්ලේ කණ්ඩායම්ය).

මෙම කුඩා ආයතනයකට කාර්ය පැවරුමක් ලැබුණු විට ඔවුන් මෙම කණ්ඩායම්වලට එය දැනුම් දෙයි. එවිට ඉක්මන්වන කණ්ඩායම එම කාර්ය ලබාගෙන කාගේ හෝ නිවසක දිවා රාත්‍රී නොබලා වැඩකරමින් කෙටි කාලයකදී පැවරුම නිම කරයි. 

මේ සඳහා ඔවුන් ලබන ගෙවීම ඉතා සිත්කළුය. සාමාජීය ගැටලුව ඇතිවන්නේ මෙතනදීය. මගේ මිතුරා පවසන ආකාරයට ඔහු සහ බිරිඳ මහාචාර්යවරුන් ලෙස ලබන වැටුප මෙන් දෙගුණයක් පමණ ඔවුන්ගේ දරුවන් හම්බ කරයි. එබැවින්, මෙම තවමත් තාරුණ්‍යට පවා හරි හැටි පිය නගා නොමැති දරුවන් දෙමාපිය අණසකින් සම්පුර්ණයෙන්ම මිදී ඇත. දෙමව්පියන් ඔවුන් අකමැති වචනයක් හෝ පැවසුවහොත් තමාගේ කියා නිවසක් කුලියට ගෙන යාමට පවා ඔවුන්ට හැකියාව ඇත. 

මෙම සාමාජිය ගැටලුව පසෙකින් තබා බැලුව හොත්, ඔබට ඉන්දියාවේ තොරතුරු තාක්ෂණය ව්‍යාපාරික ආකෘතියක් (business model) ලෙස කොපමණ ශක්තිමත් පදනමක ඇත්දැයි වැටහෙනු ඇත. අපට මෙබඳු ව්‍යුහයක් පිළිබඳව නුදුරු අනාගතයේදී සිතා ගැනීමටවත් නොහැකිය. අපට සංවර්ධිත රටවල සිට මෙලෙස බාහිර සේවා ලබාදීමට හැකි ලාංකික ව්‍යාපාරික පදනමක් නැත. අපට බොහෝ විට බාහිර සේවා ලැබෙන්නේ ඇමරිකානු හෝ යුරෝපා සමාගම් වලිනි.

ඉන්දියානු වෘත්තිකයන් ලංකාවට ගෙන ඒමේදී  අප සැලකිය යුතු වැදගත් කරුණක් ඇත්තේ මෙතැනයි. මෙම වෘත්තිකයන් බොහෝ දෙනෙකුට ඉන්දියාවේ මේ පවතින සේවා යාන්ත්‍රණය හා කිට්ටු සබැඳියාවක් ඇත. එබැවින් ලංකාවට බාහිර සේවා ලබාදෙන ආයතන පිළිබඳව දැනගත් පසු ඔවුන්ට පහසුවෙන්ම මෙම ආයතන වල පැවරුම් කෙලින්ම ලබාගෙන ඉන්දියාවට නැවත බාහිර සේවා සඳහා යොමුකළ හැක. දැනටත් ස්ථාපිත වී ඇති තොරතුරු තාක්ෂණ සේවා සැපයීමේ යාන්ත්‍රණය නිසා ඉන්දියාවට මෙම කාර්යයන් අඩු මුදලකට සැපයීමට හැකිවනු ඇත. මෙය ඇමරිකාවේ හෝ යුරෝපයේ වෙසෙන සේවා ලාභියාට වාසිදායක බැවින් අපට ලැබෙමින් පවතින සේවා ද නැතිව යා හැක.   








2 comments:

  1. Chandima, At least now you know why most of the major software sucks...

    what I have realized was most of architecture work in SW companies was not done by Indians but Romanians.

    ReplyDelete