Follow this Blog

Monday, 15 February 2016

ඉන්දු භීතිකාවෙන් ඔබ්බට





නැවතත් රාවණා සුළගක් රට හරහා හමමින් පවතී. මගේ ජිවිත කාලයේදී මේ රාවණාගේ පුනරාගමනය මම කිහිප විටක් දැක ඇත්තෙමි.

80 දශකයේ මුල් සමය ප්‍රභල ඉන්දීය විරෝධී හඩක් නැගුන අවධියකි. ලාංකික ජන විඥානයේ කොටි ත්‍රස්තවාදියා සහ ඉන්දියාව ඒකාබද්ධ කරගෙන තිබුණේ මුල් කාලයේ සිටමය. 83 වර්ෂයේ කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ භට පිරිසක් ඝාතනය කරමින් ත්‍රස්තවාදය එළිපිට කරලියට ගෙන ඒමට වසර දෙක තුනකට පෙර සිටම ඉන්දියාව දෙසින් යම් යම් අරියාදු ඇතිවන්න විය. ඒ සමගම රාවණ රජු පිළිබඳව ගුවන් විදුලි කතන්දර, පුවත්පත් ලිපි, චිත්‍රකතා වැලක් පැමිණියේය.

අසුව දශකයේ අග භාගයේ ඉන්දියාවෙන් පරිප්පු දැමීමත්, ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමත් සමග නැවතත් රාවණා මතුවිය. එම ගිවිසුම ලංකාව මත ඉන්දියාව විසින් බලහත්කාරයෙන් පැටවූ ලියවිල්ලක් බව ඒ කාලයේ බොහෝ ලාංකිකයන්ගේ අදහස විය.එහි ප්‍රතිඵලය වුයේ දැඩි ඉන්දීය විරෝධයක් ජනතාව අතරින් මතුවීමයි. 

මෑතකදී ඉන්දියාව විසින් ජාත්‍යන්තරයේදී ලංකාවට එරෙහිව හඬ නැගීමත් සමගම නැවතත් රාවණා අවදිවිය. මෙවර ඉන්දීය බලපෑම වඩාත් තීව්‍ර වූ අතර ඊට අනුලෝමව රාවණා පිලිබඳ ජන විඥානික වපසරියද විශාල වන්න විය. පසුගිය වසර කිහිපයේදී ඉන්දියාවෙන් දිගින් දිගටම සිදු වූ අයහපත් බලපෑම් හමුවේ රාවණාටද  වැඩි වැඩියෙන් ජීවය ලැබෙන්න විය.

සුද්දාගෙන් මදී නොකියන්න බැටකමින් සිටි විසිවන සියවසේ මුල් භාගයේ ලාංකිකයා 'දියසේන' නමින් කුමාරයෙක් බිහිව තමා බේරාගන්න තෙක් බලා සිටියේද මේ ආකාරයෙන්මය. 

මා මේ සංසිද්ධිය දෙස බලන්නේ හිතට නැගෙන තදබල ආත්ම අනුකම්පාවකිනි. ලෝක ඉතිහාසය පුරාම අසල ඇති ප්‍රභල රාජ්‍යයන්ගේ අරියාදු වලට දුර්වල අසල්වාසීන් ලක් විය. මෙහිදී රටේ විශාලත්වයට වඩා බලපෑවේ ප්‍රභල රාජ්‍යයේ සමුර්ධිමත් භාවයයි. උදාහරණයක් ලෙස භූමියෙන් ඉතා විශාල චීනය දීර්ඝ කාලයක් ප්‍රමාණයෙන් කුඩා ජපානයෙන් බැට කෑවේය.


ජාතියක් ලෙස සිංහල බෞද්ධයා අද ඉතා ව්‍යාකුල තත්වයකට පත්ව සිටියි.

ඉන්දියානු ආක්‍රමණිකයෙක් ලෙස මහාවංශය  හඳුන්වා දෙන එළාර රජු පැරදවූ දුටුගැමුණු රජු පිළිබඳව මහාවංශය කරන වර්ණනාව සිංහල බෞද්ධයාට ඉතා ඉහළ චිත්ත සංතෘප්තියක් ගෙනදෙයි. එහෙත් එම ග්‍රන්තයම සියවස් කිහිපයකට පෙර ඉන්දියාවෙන් පැමිණි සහාසික කුමාරයෙකුගෙන් සිංහල ජාතිය පැවත එන බව පවසයි. ඊට ටික කාලෙකට පසු ඉන්දියාවේ රජෙකු ලංකාවට බුදු දහම අපනයනය කල බව මහාවංශය නැවතත් සඳහන් කරයි. තව කලකින්, බෞද්ධයාගේ මහානර්ඝ පුජනීය වස්තුන් වන ශ්‍රී  මහා බෝධියද දන්ත ධාතුවද ඉන්දීය කුමර කුමරියන් විසින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ බව මහාවංශය කියයි. දුටුගැමුණු, වලගම්බා වැනි ඉන්දීය ආක්‍රමණිකයන්ට එරෙහිවූ රජුන් පිළිබඳව මහත්සේ වනන මහාවංශයම මේ ඉන්දියානු පරිත්‍යාග ගැනද සඳහන් කිරීම සියලු දේ ව්‍යාකූල කරයි.

විශේෂයෙන්ම ඉන්දියාවෙන් කෙනෙහිලිකම් කෙරෙන විට මේ ඉන්දියන් සම්බන්ධතා අපට මහත් චිත්ත පිඩාවක් ගෙනදෙයි. අප රාමායණය හරහා හඳුනාගත් රාවණා සොයා යන්නේ එවිටයි. අපට බෞද්ධකමද හැරදැමිය නොහැක. එබැවින් පන්සලේ පුදන්නට මල් කඩාගෙන ඒම සඳහා කොහේදී හෝ හමුවන හුණුගල් උමගක් දිගේ රාවණාව පිටත් කර යවයි. දැන් නැවතත් අවුල් සහගත තත්වයකි. සාහිත්‍ය මුලාශ්‍ර සත්‍යයි පිළිගතහොත් රාවණා රජුගේ කාලය අද පටන් වසර හය හත් දහසක් පිටුපසට යයි. එහෙත් බුදුන් වැඩ සිටියේ මෙයට වසර දෙදහස් පන්සියකට පෙරය. මේ අවුලෙන් මිදීම සඳහා රාවණාට බණ කිව්වේ කාශ්‍යප බුදුන් යැයි තවත් මතයක් ගොඩ නගයි. එහෙත් බුදු දහමට අනුව බුදුවරුන් දෙදෙනෙකු අතර කාල පරතරය ඉතා විශාලය. එය අඩුම වශයෙන් වසර ලක්ෂ ගණනක් බව 'කල්ප' සංඛල්පය තුලින් හෙළිවේ. මේ අනුව දැන් අපි  ගණිත ගැටලුවකටද මුහුණ පා සිටිමු.

මේ වන විට ලංකාවේ බොහෝ මාධ්‍යවලට ඊටම ආවේනික වූ රාවණා පිලිබඳ මග පෙන්නන්නෙකු හෝ කිහිප දෙනෙකු සිටිති. මෙය ලොව කොතැනත් මාධ්‍යයේ ස්වභාවයයි. ඔවුන් ජනතාවට ලබා දෙන්නේ ජනතාව ඉල්ලන දෙයයි. මීට වසර පනහකට පමණ පෙර, මළගිය ආත්මයක් වැහුණු පුද්ගලයෙකු හා ඇතිවූ කතා බහක් ආශ්‍රයෙන් මාර්කස් ප්‍රනාන්දු නම් මහතෙක් කොග්ගල නිලමේ නමින් ග්‍රන්ථයක් ප්‍රකාශනයට පත් කර තිබුණි. මෙහි සඳහන් වුයේ රාවණා රජු දවස සිට භූත ආත්ම බවට පත්වූ කිහිප දෙනෙකු භුතාවේශ වූ පුද්ගලයා හරහා එම යුගය පිළිබඳව පවසන කාරණාය. මීට වසර දෙකකට පමණ පෙර මේ පොතේ මෘදු කොපියක් අන්තර්ජාලයේ සංසරණය වන්න විය. අද මාධ්‍ය හරහා නොයෙකුත් බලවේගයන්ගෙන් දැනගත්තා කියමින් රාවණා රජුගේ දේවල් පිළිබඳව කරන විස්තර හැම එකක්ම පාහේ මේ කොග්ගල නිලමේ ග්‍රන්ථයෙන් උපුටාගෙන අතින් කෑලි එකතු කළ කතාන්දරය.



මෙහිදී මා දකින සංවේගාත්මක කාරණයක් නම් මා ඉතා අගයකරන පුරා විද්‍යාඥයෙකු වන මහාචාර්ය රාජ් සෝමදේව මහතා මුහුණ දී ඇති තත්වයයි. වසර ගණනාවක් වෙහෙසී පරීක්ෂණ සිදු කර එතුමා යම් පුර්ව ඓතිහාසික සාධක සොයාගත් විට, එතුමාටත් පෙර රුපවාහිණි තිරය ඉදිරියට පනින සමහර පණ්ඩිතයෝ ඒ හැම දෙයක්ම රාවණාකරණය කරති. ස්වභාවික උමං තුලින් ගමන් කල විට හමුවන විශාල ගල් ගුහා සහ ඒවා තුළ පවතින ගංගා, පොකුණු, දියඇලි ලෝකයේ බොහෝ රටවල සමුවී ඇත.  එහෙත් ලංකාවේ උමගක් තුල ඇති දිය කඩිත්තක් හමු වූ විට, එය සීතාට ස්නානය කිරීමට රාවණා තැනූ ජල තටාකයකි. පෞරාණික වැසිකිලියක් හමුවුනොත් එය රාවණා හෝ ඔහුගේ බිසවුන් පාවිච්චිකළ ස්ථානයකි.

අපට බුදු දහම අවැසිය එහෙත් බුදුරදුන් ඉන්දියානුවෙකු වීම ඉවසිය නොහැකිය. බුදුරජාණන් වහන්සේගේ උප්පැන්න සහතිකය වෙනස් කිරීමට උත්සාහය පැමිණෙන්නේ මෙතනදීය. 

බුදුරදුන් ඉපදුන ස්ථානය පිළිබඳව නිරීක්ෂණ, ගවේෂණ, පර්යේෂණ ආදිය කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. එහෙත් එබඳු කර්තව්‍යයක් කිරීමේ පිළිගත් ක්‍රමවේදයක් ඇත. ඉන්පසු එහි නිගමන ප්‍රකාශ කිරිමේදීද අධ්‍යාත්මික සංයමයක් මෙන්ම තමාගේ නිගමන පිළිබඳව මතුවන අභියෝගවලට සතුටින් සහ සාර්ථකව මුහුණ දීමට හැකියාවක් ද තිබිය යුතුය. එහෙත් මේ කාරණය සම්බන්ධයෙන් මෑතක සිට පළවන බොහෝ ලිපි ලේඛන මෙන්ම වාචික ඉදිරිපත් කිරීම් වලද මේ බොහෝ අංග නොමැතිය. ඒ වෙනුවට ඇත්තේ ක්‍රෝධයක සේයා සටහන් වන ප්‍රලාප දෙඩීමකි.

බුදු දහම පැතිරුණ ප්‍රදේශ (දැනට පවතින සහ වියැකී ගිය) දෙස බලන විට එම දහමෙහි උපත උතුරු හෝ ගිනිකොනදිග ඉන්දියාවේ කේන්ද්‍ර ගතවී ඇති බව පහසුවෙන් වටහා ගත හැක. එමෙන්ම බුදු දහම එම ප්‍රදේශයේ සිට පැමිණි බව සහශ්‍ර දෙකකට ආසන්න කාලයක සිට (හෝ ඉන් මෙපිට) ලෝකයේ බොහෝ රටවල විශ්වාසය වී ඇත. ඒ පිළිබඳව ලිඛිත සහ භෞතික සාක්ෂි මෙන්ම ජනකතාද පවතී. ටිබ්බතය, භූතානය, මොන්ගෝලියාව වැනි මෙම විශ්වාසය තිබෙන සමහර රටවල් ඉතා මෑතක් වනතුරු බටහිරයන්ගේ පාදස්පර්ශය හෝ ලබා නොතිබුණි. මේ අනුව සුද්දෙකු ලිවූ ලේඛනයක ලංකාවට දඹදිව කියා සඳහන් කර තිබීම වැනි කරුණකින් හෝ වෙනත් ඉතා දුර්වල තර්ක මගින් සියවසක පමණ කාලයකදී සුද්දන්
විසින්ම බුදුරදුන්ගේ ජන්ම ස්ථානය වෙනස් කළා යැයි පැවසීම පිළිබඳව අප තව වතාවක් කල්පනා කල යුතුය.

මා දන්නා ආකාරයට නම්, බුදු දහම යනු විශ්වයේ පැවැත්ම සහ ගලා යාම (මෙම වදන් පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරන්න) පිලිබඳ න්‍යායන් විස්තර කෙරෙන දැනුම් සම්භාරයකි. ගුරුත්වය, ඒ පිළිබඳව අදහස් මුලින්ම ඉදිරිපත් කල අයිසැක් නිව්ටන් ගෙන් ස්වායත්ත වේ. නිව්ටන් කුමන රටක ඉපදුනත්, කිසිදාක නොඉපදුනත්, ගුරුත්වය ක්‍රියා කරන න්‍යායයන් වෙනස් නොවේ. මා බුදු දහම දකින්නේද මේ ආකාරයටයි. බුදු රදුන්ගේ ජිවිත රටාවෙන් අපට ගත හැකි අනෙක ආදර්ශයන් හැරුණු කොට, ධර්ම කාරණා වල සංයුතියට එතුමාගේ පැවැත්ම කිසිසේත් අදාළ නොවේ. මේ අනුව බුදු රදුන් ඉපදුනේ කුමන රටේද යන්නවත්, එවැනි භෞතිකමය පුද්ගලභාවයක් කිසිදා නොතිබුනාද යන්නවත් ධර්මතාවයන්ගේ පැවැත්මට අදාළ නොවේ.  


තම රට දැඩි පීඩනයකට පත් කල ජපානය සහ බ්‍රිතාන්‍යය පිළිබඳව චීනාටත්, මැලේසියාව පිළිබඳව සිංගප්පුරු ජාතිකයාටත්, ඇමරිකාව පිළිබඳව කියුබානුවාටත්, එංගලන්තය  පිළිබඳව අමරිකානුවාටත් ඇත්තේ තදබල විරෝධයකි. සමහර අකටයුතු සිදුවී සියවස් කිහිපයක් ගතවී ඇතත් මේ ජාතිකයන් තුල ශේෂවී ඇති විරෝධයේ මාත්‍රා මම අදද ඔවුන් කෙරෙන් දකිමි. එම රටවල නායකයෝ මෙම ජන හදවත් කළඹන විරෝධී ආකල්ප ධනාත්මක ලෙස රටේ සංවර්ධනයට යොදාගත්හ. ඔවුන් තුල  පීඩකයා අභිබවා යාමේ යම් චේතනාවන් තිබුණු අතර එය සිදු වුයේ වඩාත් සෞභාග්‍යමත් ජාතියක් ගොඩනැගීම ඉලක්ක කරගෙනය. එහි ප්‍රතිඵල අද ඔබට එම රටවල් දෙස බලන විට පෙනෙනවා ඇත.

එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාව, පකිස්ථානය, නේපාලය, සිම්බාබ්වේ ආදී රාජ්‍යයන් තුල මෙම අසල්වැසියාට එරෙහි විරෝධය යොදා ගැනුනේ දේශපාලකයාගේ පැවැත්ම උදෙසාය. මෙහි විපාකද ඔබ අදටත් අත්දකිමින් සිටියි.  අපගේ ඉන්දියන් විරෝධය ඇත්තේ බෝඩ් කෑලි සහ බැනර්, උද්ඝෝෂණ, දේශපාලන වාද විවාද, පොල් ගැසීම්, මල්වඩම් තැබීම් සහ මෑත කාලයේදී වතපොතේ පලකරන පින්තුර සහ කොමෙන්ටු මෙන්ම වාහන ස්ටිකර් වැනි දේ තුලය.




මේ සියළු විප්‍රකාර කිරීමෙන් අනතුරුව නිවස බලා යන ලාංකිකයා රුපවාහිනි තිරය ඉදිරිපසට වී සියලු ඉන්දියන් විරෝධී කටයුතු පසෙක තබා ඉන්දියන් නළු නිළියන්ගේ දුක්ඛ දෝමනස්ස කරදර කම්කටොලු තමාගේ කර ගනී. ටෙලි නාටක වලින් පසුවද නින්දට යනතෙක් ඔවුන් කතා කරන්නේ ඉන්දියන් නළු නිළි චරිත වලට හෙට දිනයේ කුමක් සිදු වේද කියාය. පසුදා අවදිවන ඔවුන් නැවතත් වතපොතේ පාර දිගේ තම ඉන්දීය විරෝධය පුම්බාලයි. නමුත් ඒ සියල්ල කරන්නේ ඉන්දියන් වෙළඳ ජාලයේම කිමිදිගෙනය.

උදෑසන අවදි වූ අවස්ථාවේ සිට අප වැඩිපුරම භාවිතා කරන්නේ ඉන්දියන් නිෂ්පාදනය. දත් බුරුසුවේ සිට, අඳින සාරිය, ගමන් කරන ලංගම බස් රථය, පාරේදී හමුවන බොහෝ වාහන, කෑම බිම වර්ග, බෙහෙත් වර්ග ආදී මෙකි නොකී බොහෝ දෙය පැමිණෙන්නේ ඉන්දියාවෙනි. 


මෙයින් ඉතාම අවාසනාවන්ත සංසිද්ධිය සාරියයි. ලාංකික කාන්තාවගේ අනන්‍යතාවය බඳු මේ වත පළඳනාව දැන් දශක ගණනාවක සිට රජයේ මෙන්ම සමහර පෞද්ගලික ආයතනවලද  අනිවාර්ය කාන්තා ඇඳුම බවට පත්ව තිබේ. මගුලට, මරණයට, පිරිත් පිංකමට මෙන්ම පාසලට දරුවා රලිමටද දැන් බොහෝ තැන්වල කාන්තාව සාරිය ඇඳීම අනිවාර්ය වී ඇත.  නමුත් අපි එකද සාරියක්වත් මෙරට නිෂ්පාදනය කරනවාද? බංග්ලාදේශයෙන් සහ වෙනත් රටවල් කිහිපයකින් ගෙන්වන ඉතා සුළු ප්‍රමාණයක් හැර ලංකාවට ගෙන්වන සියළුම සාරි පැමිණෙන්නේ ඉන්දියාවෙනි. මට මතක ඇති කාලයක, ලංකාවේ සාරියක් නිපදවුනා නම් ඒ 70-77 සමයේ දීය. ඒවායින්ද බොහොමයක් එවකට 'භූමිතෙල් ප්‍රින්ට්" යැයි අපේ කාන්තාවන් පැවසු ඉතා බාල වර්ගයේ සාරි පමණි. අපි මෙවන් රටක ජීවත්වෙමින් ඉන්දීය විරෝධී වීම හාස්‍යට කරුණක් නොවේද?



ඉන්දියාවෙන් ගෙන්වන බජාජ් රථයේ පිටුපස සිංහ ලේ කියා ගසාගෙන ගියාට රටක් දියුණුවන්නේ වත් ඉන්දියාවට දැනෙන්නේවත් නැත.

අපට ඉන්දියාව පමණක් නොව ලෝකයම ඉදිරියේ අභිමානයෙන් නැගී සිටීමට නම් අපගේ ඉන්දියන් හෝ අධිරාජ්‍ය විරෝධී හැගීම් නාභිගත කල යුත්තේ රටේ සෞභාග්‍ය උදෙසාය. දේශපාලුවගේ උවමනා එපාකම් වෙනුවෙන් කෑගසමින් ඔබ කා දමන කාලයත්, ශක්තියත්, ආත්ම විශ්වාසයත්, චෛතසික සංයමයත් ඉතිරි කරගෙන එය තමාගේ ජිවන අභිවෘද්ධියට යොදා ගන්නේ නම් රටක් ලෙස අප සියලු දෙනාටම අභිමානයෙන් නැගී සිටිය හැක. ජාතියක් ලෙස නැගී සිටීම අප ඇරඹිය යුත්තේ ස්ව-අභිවෘද්ධිය තුලිනි. එය කවුරුන් හෝ ලබා දෙනකම් බලා සිටිය යුත්තක් නොවේ. 


තව බොහෝ දේ ලියන්න සිතුනත් කාල වෙලාව ඊට එරෙහිවේ. එබැවින් බුදුන්ගේ ශ්‍රී ලංකා උත්පත්තිය පිලිබඳ තරයේ අදහන මගේ කිට්ටු මිතුරෙකුගේ අදහසකට මා පලකල මතය ඉදිරිපත් කරමින් නවතිමි.

ඔහු පැවසුවේ බුදුන්ගේ උපන් දේශය ලංකාව යයි සනාථ කරගත හොත් විශාල සංචාරකයන් පිරිසක් ලංකාවට ගෙන්වා ගත හැකි බවයි. නමුත් මා දකින්නේ මේ සඳහා ඉතා දීර්ඝ කාලයක් පර්යේෂණ කලයුතු බවයි. ඉන් පසු මෙය සත්‍ය යයි ඔප්පු කලත් එය වෙනත් රටවල සිටින බෞද්ධ බැතිමතුන්ට කා වැද්දීමට තවත් ශතක කිහිපයක් ගතවිය හැක. 


අනෙක් අතට ඔබ පොඩ්ඩක් හිතන්න. මීට වඩා බොහෝ පහසුවෙන් මේ වන විට රටේ සෑදී ඇති රාවණා උමතුවෙන් අපිට විදේශ විනිමය ඇදිය හැක. ලොව පුරා කෝටි ගණනක් හින්දු බැතිමතුන් සිටිති. ඔවුන්ට නැරඹීමට රාමා මෙරටට පැමිණ නොයෙකුත් දේවල් කල ස්ථාන, සීතා නිදාගත් තැන, ස්නානය කල පොකුණ, ඇයට හනුමන්තා හමුවූ තැන, රාම කුමරු හමු වූ තැන, හනුමන්තා ගිනි තැබූ ස්ථාන ආදී මෙකි නොකී තැන් සිය ගණනක් අපට ලංකාව තුල අර්ථ දැක්විය හැක.  ඔබට කල යුතුව ඇත්තේ අදාළ ස්ථානවල කෝවිල් සාදා ඒ තුල පිළිම කිහිපයක් තැබීම පමණි. ඉන්දියානුවෝ ඒවා රනින් පුරවනු ඇත. 





 

6 comments:

  1. චන්දිම
    අර කෝවිල් හදන අදහසට පේටන්ට් එකක් අරන් තියාගන්න.මොකද රට කපටියෙකුට ගොඩ යන්න හොඳම පොයින්ට් එකක් දීල තියෙන්නෙ.

    ReplyDelete
  2. පට්ට පෝස්ටුවක්...
    අර රාවණා මාකට් කරලා ඉන්දියන් සල්ලි අද්දවන එක කරන්න පුළුවන්නම් හොඳ සල්ලි උල්පතක්...
    නමුත් හනුමන් අදහන ඉන්දියන් මිනිස්සුන්ගෙන් ගොඩ දෙනෙක් දුප්පත්...

    ReplyDelete
  3. මම සාමාන්‍යයෙන් බ්ලොග් කියෙව්වට ‍කමෙන්ට් කරන්නෙ නෑ.ඒත් මේක කියෙව්වම කමෙන්ට් එකක් දාන්න හිතුනා. ඇත්තටම මේකෙ තියනවා අපිට අලුතෙන් හිතන්න දෙයක්. මේ විදිහට ලංකාවෙ මිනිස්සු හිතන්න ගත්තොත් ලංකාවට ටිකක් හරි ගොඩ යන්න පුළුවන් වෙයි.නෙත්තම් මේ රට තවත් අගාධෙට යන එක නතර කරන්න බැහැ. පුළුවන් නම් මේ වගේ අලුත් අදහස් තව පෝස්ට් කරන්න මිනිස්සුන්ට හිතන්න.

    ReplyDelete
  4. බොහොම අපූරු කාලීන ලිපියක්. ඔබ පැහැදිලි කරන කරුණු වලට වාදයකින් තොරව එකඟයි. වඩාත්ම හිත ගියේ අවසන් චේදයට. //ඔබට කල යුතුව ඇත්තේ අදාළ ස්ථානවල කෝවිල් සාදා ඒ තුල පිළිම කිහිපයක් තැබීම පමණි. ඉන්දියානුවෝ ඒවා රනින් පුරවනු ඇත.// What a nice business idea :)

    ReplyDelete
  5. අපිට ඉතිහාසය ලියාදුන් මහානාම හාමුදුරුවො ඉන්දියානු
    නිවන් මග වසා විශුද් ධි මග ලියාදුන් බුද්ධගෝෂ හාමුදුරුවො ඉන්දියානු
    විභිශණ මතුකොට විශ්ණුට කවි ලියු සිරි රහල් හාමුදුරුවො ඉන්දියානු
    ජාතික අණුරාගය මතුකොට කවි ලියු මහින් ද හාමුදුරුවො ටිබෙට්
    අවුරුදු 2500 බුදු දහම රැකගත් හෙල අරිය ශාවකයන් ගෙ නම් කො
    සුද්දාගෙ ඉස්කොලේ තරම ..........

    ReplyDelete
  6. රසවත් ලිපියක්...අළුත් අදහස් , දැනුම, කුතුහලය වගේම හාත්ස්‍ය කැටිවු ලියියක්

    ReplyDelete