Follow this Blog

Saturday, 14 July 2012

Indian Allergy



ඉන්දීය ගැති ඉන්දීය විරෝධය 




තමිල්නාඩුවේ දේශපාලන හැසිරීම් රටාව පාලනය කරන ප්‍රධාන පරාමිතියක් බවට "ලංකාව" පත්වන්නේ අනාදිමත් කාලයක සිටයි. මෑත ඉතිහාසයේ මේ තත්වය අන් කවරදාටත් වඩා තීව්‍ර වී ඇත.

ලංකාවට ඉන්දියාව කරන අරියාදු මත ලාංකිකයා තුල ඉන්දියාව කෙරේ අප්‍රසාදයක් සහ විරෝධයක් ඇතිවීම සාධාරණය. ජාත්‍යන්තර වැඩසටහනක කලාපීය නියමුවා ලෙස, 1999 සිට 2009 දක්වා දස වසර තුල මා දකුණු ආසියාවේ සෑම රටකටම නිතර සංචාරය කලෙමි. මෙහිදී මා අත්දුටුවේ මේ ඉන්දීය විරෝධය කලාපය තුල (ඉන්දියාව හැරුණු කොට)  සැමට එකසේ පොදු හැගීමක් බවයි. 


පාකිස්තානුවෝ ප්‍රමුඛව නේපාලියෝ, භූටානියෝ, බංගලා දේශිකයෝ මෙන්ම තරමක් ඈතින් හුදෙකලාව සිටින මාල දිවයින් ජාතිකයෝ පවා ඉන්දියානුවන් කෙරේ දක්වන්නේ නොසතුටකි, පිළිකුල් සහගත හැඟීමකි.

ඉහත ඉන්දීය විරෝධය ඇතිවීමට හේතුව ඉන්දීය රජයේ විදේශ ප්‍රතිපත්ති පමණක් නොවේ.ඉන්දීය ජාතිකයාද මීට දායක වේ. මට ඉතා සහෝදරත්වයෙන් සමීප වූ සුවිශේෂී මිතුරන් අතලොස්සක් හැර, මා ඇසුරු කල හා කතා බහ කල දහසකට වැඩි සියලු ඉන්දියානුවන්ට පොදු වූ එක කරුණකි. එනම් පාණ්ඩිත්‍ය ප්‍රදර්ශනය කිරීමට ඇති බලවත් කැමැත්ත හා උද්දච්චකමයි. ඉන්දියානුවා හැම විටම සිතන්නේ අසල්වැසි රටවල සිටින සියලු දෙනාට වඩා තමන් දන්නා බවයි. 

අහංකාර වීම මෝඩ ගතියකි.එහෙත් මේ ගැන තව යමක්ද පැවසිය යුතුය. අහංකාර වන්නේ නම් ඊට අවශ්‍ය සාධක ඉන්දියානුවාට එමට ඇත. ඔවුන් උදේ නැගිටපු වෙලාවේ සිට රෑ නින්දට යනතුරු භාවිතා කරන වැඩිමනක් දේ ඉන්දීය නිෂ්පාදිතයන්ය. ලොව කුමන අස්සකට මුල්ලකට ගියත් එහි ඉහලම සමාජ ස්ථරයේ සිට පහලම තැන දක්වා එක ඉන්දියානුවෙකු හෝ සිටියි. ඒ හැම ඉන්දියනුවාම, පරම්පරා දෙක තුනකට පසුත් ඉන්දියානු ගති අත් හැර නැත.  

අවාසනාවකට මෙන් මෙම ඉන්දීය විරෝධය ධනාත්මක දෘෂ්ටියක් කරා ගෙනයාමට යන්තමින් හෝ හැකිව ඇත්තේ පකිස්ථානුවාට පමණි. මෙය ඉන්දියාවේ වාසනාවකි. අනෙකුත් රටවල් පසෙක තබා අප ලංකාව දෙසට හැරෙමු. 

අශෝක් ලේලන්ඩ් හෝ ටාටා බසයක නැගී ලිප්ටන් වටරවුමට පැමිණ යටිගිරියෙන් කෑගසමින් ඉන්දීය වීරෝධී උද්ඝෝෂණයට සහභාගී වන ගුණපාල හවස ගමට බසයෙන් ගොස් ඇඟපත විඩාව නිසා හන්දියේ සිට බජාජ් රථයක නැගී ගෙදර යයි. ලීලාවතී ඉන්දියන් විරෝධී උද්ගොෂණයට සහභාගී වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත සාරිය ඇඳගෙනය. කෑගහන යකඩ කටත් ඉන්දියාවෙනි. කෑගසා ඉවරවී ගෙදර ගොස්  නරඹන රන් දෙපැයත් ඉන්දියාවෙනි. දහවල් මන්මොහාන්  සිං ගේ පතුරු යැවූ ලීලාවතී රෑට බලන චිත්‍රපටියේ ශාරුක් ඛාන්ට වෙඩි වැදුනහම හඬා වැළපෙයි. යථාර්තය මෙයයි.


ලංකාවේ මේ වනවිට මිලයන භාගයකට වඩා ත්‍රි-රෝද රථ තිබේ. මේවායින් 99% එන්නේ ඉන්දියාවෙනි. ලංකාවේ සාදන රථ එකක්වත් නැත. රථ මිලියන් භාගයෙන් 400,000 ලංකාවේ සැදුවේ නම්, එකකින් රුපියල් 25000 ලාභයක් තැබුවත් මුළු ලාභය බිලියන 10කි. එපමණක්ද නොව ලංකාවට මොන තරම් මුදලක් ඉතිරිවන්න තිබුනේද? ඇතිවන ඍජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව?

ලංකා අශෝක් ලේලන්ඩ් නමින් අප තවමත් කරන්නේ ගෙන්වන බස් වලට ඇලුමිනියම් බොඩිය ගැසීමයි. ඇලුමිනියම් තහඩුව එන්නෙත් ඉන්දියාවෙනි. බස් පැත්තකින් තබමු, ලංකාවේ පදින බයිසිකල් වලින් ලක්ෂ කියක් ඉන්දියාවෙන් ගෙන්වනවා ඇත්ද?

අපේ රටේ බවලත් උදවිය සාරි මිලියන කියක් මිලදීගෙන ඇත්ද? අද වෙනකොට ලංකාවේ එකම සාරියක්වත් නිෂ්පාදනය කරනවාද? එන තරමක් එන්නේ ඉන්දියාවෙනි.


සිනමා කර්මාන්තය ගැන සිතන්න. කඩවුණු පොරොන්දුවේ සිට අද දක්වා අතලොස්සක් හැර හැම චිත්‍රපටයක්ම උතුරු හෝ දකුණු ඉන්දියානු කාබන් කොපිය.  විකට නිර්මාණ ගත්තත්  වෙනසක් නැත. බන්දු සමරසින්හලා, ටෙනිසන් කුරේලා හති දමාගෙන දඟලන්නේ දකුණු ඉන්දියානු විකටයන් කරනදේ එසේම කිරීමටය. ටෙලි සිනමාවේද වෙනසක් නැත. ඉන්දියාවෙන් එන වැල් කතන්දර නවත්වන්න නීති ගෙන ආ විට, එම කතන්දරයම ලංකාවේ නළු නිලියන් යොදාගනිමින් නම පමණක් වෙනස් කර ඉදිරියට ගෙනයයි. 

දෙන්න තව උදාහරණ බොහෝ ඇතත් ලියන්න කාලය මදිය. ඔබ උදැසන අවදි වූ තැන සිට රෑ නින්දට යන තෙක් ඉන්දීය නිෂ්පාදන කීයක් ඇස ගැටෙනවා දැයි ගණන්කර බලන්න.  අන්තිමට පොල් ගෙඩියත් ඉන්දියාවෙන් ගෙන්නුවා නේද? 

නිෂ්පාදන පැත්තකින් තියන්න. අපේ දේශපාලකයෝ චන්දය දිනන්න යන්නෙත් ඉන්දියන් දෙවිවරුන්ගෙන් උදව් සොයාගෙන නේද? අපිට අරිට්ටකි වෙන්ඩු ලා සිටියේ  රජකාලේ පමණක් නොවේ. මෑත ඉතිහාසයේ මෙන්ම අද දවසේද රට කරන ඉහලම තැන් වලට අපල දුරුකරගන්න, සතුරන් ජයගන්න උපදෙස් දෙන්නේ ඉන්දියානු කේවට්ටයන් බව දන්නෝ දනිති. හාස්‍යතම කරුණ නම් ගියවර ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අපේ ඉහල උදවිය ඉන්දීය දෙවිවරුන්ගේ සරණ පතා දකුණු ඉන්දියාවේ කෝවිල් ගානේ යාමයි. 


ඉතිහාසය පුරාවට අප කරගත යුතුව තිබුනේ ඉන්දීය විරෝධී හැඟීම දෙපයින් සිටගැනීමේ වාරුව කරගැනීමයි. එසේ වූවා නම් අහංකාර වීම කෙසේවෙතත් අපට අප දෙස බලා සතුටු වීමට ඉඩ තිබුණි. අවාසනාවට  මෑත  ඉතිහාසයේ මෙන්ම අදද සිදු වන්නේද එය නොවේ.

එක පැත්තකින් ඉන්දීය විරෝධී ජනතා හැඟීම දේශපාලකයෝ තම විලිවසා ගැනීමට භාවිතා කරති. අනෙක් පැත්තෙන් මුග්ධ අමනයෝ බුදු රදුන්ට ලංකාවේ උප්පැන්න සහතික දීමටත්, සිංහල ජාතියේ
නිර්මාතෘත්වය විජයගෙන් රාවණට ට්‍රාන්සර් කිරීමටත් වලිකති. 

මේ එකකින්වත් අද අප මේ වැටි ඇති විපතින් අපව ගොඩගත නොහැකිවනු ඇත.  



1 comment: