Saturday 17 September 2022

රනිල්-රාජපක්ෂ ජුන්ටාව සහ අනාගත අරගලය

අරගලය බොහෝ වෙනස්කම් කර ඇත. ඒවා අදෘශ්‍යමානයේ සිට ක්‍රමයෙන් දෘශ්‍යමානයට පිවිසෙමින් පවතී. අරගලයට භෞතිකව මෙන්ම සංකල්පීයවද සහභාගී වූ අති බහුතරයකට වුයේ එක් ආන්තික අරමුණකි. එනම් සමාජ-සාධාරණත්වයක් සහිත සමාජ-දේශපාලන ව්‍යුහයක් ගොඩනැගීමයි. ඒ සඳහා යා යුතු මග, ගත යුතු ක්‍රියා මාර්ග සහ එම ක්‍රියාමාර්ග ගත යුතු කාලය සහ තීව්‍රතාවය පිළිබඳව බොහෝ වෙනස් අදහස් සහ මතවාද විය. එහෙත් ආන්තික අරමුණ සමාන වීම තුල ලැබූ යහ ඵල බොහෝමයකි. මේ ලිපිය ඒ පිළිබඳව නොවේ.

රාජපක්ෂ රෙජීමයට එරෙහි අරගලයට වඩා රනිල්-රාජපක්ෂ ජුන්ටාවට එරෙහි අරගලයේ ක්‍රියාන්විතය විශාල වශයෙන් වෙනස් කල යුතුය. රාජපක්ෂ රෙජීමය යනු සොරකම, මංකොල්ලය සහ තක්කඩිකම සංකලනය වූ පාලන තන්ත්‍රයකි. එහි භිෂණය තිබුණ අතර එය වසා ගැනීමට දේශපාලකයා දැඩි උත්සහයක් ගත්තේය. දැන් පවතින "ආණ්ඩුව" ඒ සමුහයමය. මේ නිසා ඉහත නුහුගුණ මේ ආණ්ඩුව තුලද එලෙසම පවතී. රනිල් සහ එජාප දාමරිකයන් හරහා එයට ඉතා භයංකාර අංග ලක්‍ෂණ දෙකක් එකතු විය. එනම් කපටි-කෛරාටික දේශපාලන බුද්ධිය සහ දයා විරහිත සහ අසංවේදී ඝාතන මානසිකත්වය යන කරුණු දෙකයි. ඒ අනුව රනිල්-රාජපක්ෂ ජුන්ටාවට මුහුණ දීම එතරම් පහසු නැත. ඒ සඳහා ඔබ ස්මාර්ට් අරගලයකට පිවිසිය යුතුය. ස්මාර්ට් අරගලයක ලක්ෂණ පිළිබඳව අපි ඊළඟ ලිපියෙන් සාකච්චා කරමු.

අරගලයක සාර්ථකත්වය රඳා පවතින්නේ අරගලකරුවාට කෙතරම් ගැඹුරකට යතාර්ථය තේරුම් ගැනීමට හැකියාව ඇතිද යන කරුණ මතයි. ලංකාවේ වර්තමානය කලාපීය සහ ගෝලීය භූ දේශපාලනයෙන් ස්වායත්ත කොට සමාජ-ආර්ථික විසඳුම් ඉදිරිපත්කිරීම විහිළු සහගතය. මේ නිසා අපි යථාර්තය තේරුම් ගනිමු. ලංකාවට මේ වන විට ඇති ණය බරත්, විදේශ ආධාර සහ තව දුරටත් ගතයුතු ණය මත යැපීමත්, අපනයන සහ සංචාරක ව්‍යාපාරය මත පදනම්වූ ආර්ථිකයත් නිසා අපට අනිවාර්යයෙන්ම ඉන්දු-ඇමරිකාවාදී හෝ චීන-රුසියාවාදී නැඹුරුවකට යා යුතුවම ඇත. මට පෙනෙන්නේ මේ වන විට අපට පළමු කණ්ඩායම තෝරා ගැනීම අනිවාර්ය වී ඇති බවයි. ජනතාව ඉල්ලන නායකත්වය ඉන්දු-ඇමරිකා එකඟත්වයෙන් ලබා ගත යුතුව ඇත. 

----------------------------------------

මහජන මතයට එරෙහිව තමාට නතුවන රූකඩ පාලකයෙක් අනෙක් රටවල පැල කිරීමට යාමේ අමිහිරි අත්දැකීම් ඇමරිකාව ලැබුවේ මීට වසර 50ට පමණ පෙර වියට්නාමයේදීය. මේ නිසා පසු කාලයක ඔවුන් හැම විටම උත්සහ කලේ මහජනතාවගේ කැමැත්ත සහිත තමාට අවශ්‍යදේ කරගත හැකි නායකයන් අවශ්‍ය රටවල බිහි කිරීමයි. අනූව දශකයෙන් පසු ජනතාවගේ හිත දිනා ගන්නා අතරම තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර දිය හැකි බුද්ධිමත් පාලකයන් කෙරේ ඇමරිකාව වඩ වඩාත් නැඹුරු වන්නට විය. මේ අතරින් පාලකයා වුමනාවට වඩා ස්මාර්ට් වන්නට ගියහොත් හෝ ඇමරිකාවට කිසිඳු වැඩක් නැති ගොබ්බයෙකු වුවහොත් මහජන විරෝධයෙන්ම ඔවුන් ඉවත් කිරීමටද ඇමරිකාව වගබලා ගනී. පර්වේෂ් මුෂරෙෆ්, ඉම්රාන් ඛාන්, හොස්නි මුබාරක් too smart වීම නිසා ඇමරිකාවේ ගිලටීනයට අසු වූ පාලකයන්ය. දෙවෙනි කාණ්ඩයට හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂයි. ඇමරිකානු පුරවසියෙකුද වන ඔහු ජනධිපතිවරණයට ඉදිරිපත් වූ විට ඊට බාධාවක් වූ එම ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන්ද ඔහුව ගලවා ගැනීමට ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපත් විය. ඔවුන් ප්‍රකාශ කලේ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ඇති බවයි. නමුත් පසු කලෙක හෙළිවූයේ මේ ඉවත්කිරීම බලාත්මක වී ඇත්තේ ඊට මාස ගණනාවකට පසු බවයි. 

ඇමරිකාවෙන් දෙනු ලැබූ උපදෙස් සහ අනෙකුත් රාජපක්ෂ සහෝදරයන්ගේ චීන ගැති බව අතර ගෝඨාභය අසරණ වූ බව මගේ හැඟීමයි. ඔහුගේ උපන්ගෙයි උද්දච්චකම සහ දේශපාලන නූගත්භාවය අතරද ඔහු සිරවිය. ඉන් මිදීමට ඔහු ගත් සියළු පියවර අතිශයින්ම ගොබ්බ සහ අමන තීරණ විය. එහි ප්‍රතිඵලය දැන් ඉතිහාසයට එකතු වී හමාරය. 

----------------------------------------

චීනය තමන්ට අවශ්‍ය රූකඩ පත්කරගන්නේ ඇමරිකාවට වඩා වෙනස්ම ආකාරයකටයි. ඒ රටේ සියළු දේශපාලකයන්, දුෂකයන් සහ වංචනිකයන් බවට පත්කිරිමෙනි. මේ තත්වය අනුව පක්ෂ පාට බේදයකින් තොරව දේශපාලකයන්ට එකිනෙකා මත පරායත්ත වීමට සිදුවේ. අද අප අත්දකින්නේ මේ අවාසනාවන්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයයි. ගෝඨාභයට මේ බව අවබෝධ කර ගැනීමටවත් බුද්ධියක් තිබුණේ නැත. අවසානයේදී ඔහු තනිවිය.

ඇමරිකානු තානාපතිනිය දැන් ලංකාවේ සියළුම කටයුතුවලට අත පොවයි. මැති ඇමතිවරුන් දැන් සමාජයට දැඩි බියක් දක්වයි. ඔවුන් යාමට සිතන්නේ වත් නැති ගොවි සමිති රැස්වීම් වලට පවා ජූලි චැන්ග් පිය නගයි. මෙය වියට්නාම් ක්‍රමවේදය බව මගේ වැටහීමයි. එනම් රටේ ජනතාව සංස්කෘතිකව සහ ආකල්පීයව ඇමරිකානු පක්ෂපාතී (US loyal) මානසිකත්වයකට රැගෙන ඒමයි. ඉදිරියේදී ඇමරිකානු තානාපති කාර්යාලය, ඊට අදාළ ආයතන, හෝ පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් සංස්කෘතික ප්‍රසංග, ක්‍රීඩා තරඟාවලි, යොවුන් කඳවුර, අධ්‍යාපනික සහ කාර්මික පුහුණු වැඩසටහන් ආදිය රට පුරා දියත්වනු ඇති බව මගේ හැඟීමයි.

මට පෙනෙන්නේ ඉදිරි වසර තුල චීනය ලංකාවෙන් ඈත් වනු ඇති බවයි. යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ ඔවුන් ලංකාවෙන් මස් රාත්තලම ඉල්ලනු ඇත. මෙහිදී අප වඩ වඩාත් ඉන්දු-ඇමරිකා ගැතිභාවයකට පත්වනු ඇත. මැලේසියාවේ මොහොමඩ් නජීබ් පාලනයෙන් පසු චීන ණය දාමයෙන් ඉවත්වීමට දරනු ලැබූ උත්සහයේදීද මෙවැනිම තත්වයක් ඇතිවිය. එහෙත් මැලේසියාව ලෝකයේ ඉහල පෙලේ පෙට්‍රෝලියම් නිෂ්පාදකයෙකු වූ බැවින් ඔවුන්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයේ සහය ඇතිව ඉතා සුක්ෂමව මෙම කාර්ය සිදුකල හැකි විය (ඇත්තෙන්ම එය තවමත් සිදුවෙමින් පවතී). නමුත් ලංකාව වැනි බංකොලොත් රාජ්‍යයක් කුමන තත්වයකට වැටේදැයි මට වැටහීමක් නැත. මීට අමතරව මැලේසියාවට වඩා ලංකාවේ භූ පිහිටීම මත ඇතිවන කලාපිය දේශපාලන සංකීර්ණතාවය බරපතලය. 

----------------------------------------

අප කැමති වුවත් නැතත් ඉන්දු-ඇමරිකා අවශ්‍යතා සපුරාලමින් අපට ඔවුන් පෙන්වන මග යායුතුව ඇති බව මගේ වැටහීමයි. මෙහිදී ඉන්දියාවේ කාර්යභාරය පිළිබඳව මනා තක්සේරුවක් නිරන්තරයෙන් කල යුතුව ඇත. එය පිහි දාරයක ඇවිදිනවා වැනි අවදානම් ගමනකි.

ඒ ගමන යාමට සිටිය යුතු නායකයා රනිල් නොවන්නේ ඇයි?

රනිල් වික්‍රමසිංහ යනු අසාර්ථක බව එක්වරක් දෙවරක් නොව හයවරක්ම පෙන්වූ නායකයෙකි. ලංකාවේ අගමැතිවරයා ලෙස ඔහු කරන්න ගොස් එවකට සිටි ජනාධිපතිවරයාගේ විරුද්ධවීම මත ඔහුට කරගත නොහැකි වූ එක යහපත් කාර්යයක් කිසිවෙකුටත් පෙන්විය හැකිද? 

මා දකින ආකාරයට රනිල්ගේ එකම අභිප්‍රාය ජනාධිපති පුටුවේ හැකි තරම් කාලයක් වැජඹීමයි. ඔහුට නැවතත් චන්දයක් දිනා නගර සභාවකටවත් තේරී පත්වීමට නොහැකි බව ඔහු දනී. එසේම පක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සිටින අති බහුතරයක් මන්ත්‍රීවරුන්ට නැවතත් චන්දයකින් දිනිය නොහැකි බව ඔවුන් දන්නා බවද රනිල් දනී. එසේම යම් පමණකට හෝ සාධාරණ වූ රජයක් යටතේ මොවුන් බොහෝ දෙනෙකුගේ අනාගතය සිපිරිගෙය බව ඔවුන් දන්නා බවද රනිල් දනී. ඔහු කරන්නේ මේ පාර්ලිමේන්තුවේ පවතින වියවුල් මානසිකත්වය කළමනාකරණය කිරීමයි. 

චොකා මල්ලිලාගෙන්, සනත් නිශාන්තලාගෙන්, ප්‍රසන්න රණතුංගලාගෙන් සැදුම් ලත් මෙගා ඇමති මණ්ඩලයකින් රටක් සංවර්ධනය කරනවා තියා එය පවත්වාගෙන යාමද විශාල අභියෝගයකි. ඔවුන් දන්නේ සොරකම පමණි. රනිල්ද මේ බව දනී. නමුත් දේශපාලන අනාගතයක් නැති ඔහුට එහි වගක් නැත. 

රාජපක්ෂලාට නොතිබුණු කපටි-කෛරාටික දේශපාලන බුද්ධිය තමා සතු බව රනිල් පැමිණි විගසින් පෙන්නුම් කළේය. එතෙක් රටේ තිබුණු ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය බොහෝ ද්‍රව්‍යවල මිල ඔහු ඉතා විශාල ප්‍රමාණයකින් වැඩි කළේය. මේ අනුව පහල මධ්‍යම පන්තිය සහ ඉන් පහල සියළුම ජන ස්ථරවල ක්‍රය ශක්තිය විශාල වශයෙන් අඩුවිය. අද ඇත්තේද එදා රටේ තිබුණු ද්‍රව්‍ය සංචිත ප්‍රමාණයම හෝ ඊට අඩු ප්‍රමාණයකි. එහෙත් අද පෝලිම් නැත. බඩු නැතැයි කියා කාටවත් පැමිණිලි කල නොහැක. එහෙත් තිබෙනා ද්‍රව්‍ය මිළදී ගැනීමට මුදල් නැත. සාමාන්‍යයෙන් ලාංකික ජනතාව කරන්නේ යමක් ඉතා සුළු ප්‍රමාණයෙන් හෝ ලබා ගත හැකි වේ නම් ඉන් සෑහීමකට පත්වීමයි. මේ නිසා පහල මධ්‍යම පන්තිය සහ ඉන් පහල පන්තිවල අරගලය දියවී ගොස් ඇත. 

ඉහල මධ්‍යම පන්තිය සහ ඉන් ඉහල පන්ති "අපිට නම් ඉතින් කොහොම හරි කරගන්න පුළුවන්. අරයල පව් නේ" මානසිකත්වයෙන් පසුවෙයි. ඔවුන් බොහෝ දෙනෙක් පවතිනා තත්වය පිළිබඳව ඇත්තෙන්ම සතුටු වෙති. "දැන් පෝලිම් නැහැ, තර්ඩ් ක්ලාස් මිනිස්සු සුපර් මාර්කට් වලට එන්නේ නැහැ. පාරේ වාහන අඩු නිසා කූල් එකේ වැඩට යන්න පුළුවන්" මේ ඔවුන්ගේ සමාජයේ කතිකාවතයි. එසේම ඔවුන් පවුල් පිටින් එතෙර පදිංචියට යයි. නැත්නම් තම තරුණ දූ පුතුන් රට පටවයි. "They have no future here අනේ" මේ ඔවුන් නිතර පවසන වදන් පෙළකි.

----------------------------------------

මෙවැනි දුෂිත දේශපාලකයන් ආණ්ඩු කරන රටක් ඉතා වේගයෙන් අස්ථායි වන බව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍ය දනී. එය ඔවුන්ගේ බල ව්‍යපෘති ක්‍රියාවේ යෙදවීම සඳහා විශාල බාධාවකි. මේ නිසා ඔවුන් කරන්නේ තම අවශ්‍යතාවයන් ඉක්මනින් ඉටු කර දිය හැකි රටට කිසිඳු වැදගම්මක් නැති පුද්ගලයන් කෙටි කාලීනව පත්කරගැනිමයි. මෙය මීට දශක දෙකක තුනකට පෙර ලතින් ඇමරිකානු රටවලද (banana republics ලෙස හඳුන්වන රටවල්), මේ දක්වා බොහෝ මැදපෙරදිග රටවලද ක්‍රියාත්මක කරයි. 

රනිල්-රාජපක්ෂ ජුන්ටාව දිගටම සිටීමේ බරපතල අනතුර මෙයයි. 

මා දකින ආකාරයට අප හැකි විගසින් නව නායකත්වයක් සහ දැක්මක් බිහි කරගත යුතුය. අප කෙතරම් අකමැති වුවත් මෙම නායකත්වයට ඇමරිකාවට අවශ්‍ය දේ කිරීමට සිදුවනු ඇත. ඒ පිළිබඳව ජනතාව දැනුවත්වීම වැදගත්ය. මෙතෙක් කිසිඳු පලක් නොවූ දෙලොවටම වැඩ නැති පුහු දේශාභිමානී විලපයන්ට දැන්වත් අප තිත තැබිය යුතුය. "පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මගේ රට" කියමින් පපුවට ගසා ගෙන මුළු රටම මංකොල්ල කා, කාබාසිනියා කල දේශපාලනයෙන් දැන්වත් ඈත්වී ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුය. දුෂණයෙන් භීෂණයෙන් තොර වූ ලී ක්වාන් යූ පන්නයේ හෝ අඩුම ගණනේ දැලි පිහියෙන් කිරි කෑමට හැකි පර්වේෂ් මුෂාරෆ් පන්නයේ නායකත්වයක් බිහි කරගත යුතුය. අනෙක් අතට මුෂාරෙෆ්ට අත්වූ ඉරණම එම නායකයාට නොලැබෙන ආකාරයට වෙනස් කල ජන මනසක් බිහි කල යුතුය. 

මේ නායකත්වය බිහිවන්නේ කොතනින්ද යන්න අප සියළු දෙනාම තමන් සිටිනා පෙට්ටිවලින් එලියට විත් සාකච්චා කල යුතුය. 






 

5 comments:

  1. ඉන්දියාවට බටහිරට හෝ චීනයට යට නොවී ඔවුන් අමනාප කරනොගෙන අනාගත යට උපක්‍රමශීලී ලෙස පිවිසීමට අපේ තරුණ දේශපාලනව්‍යාපාරයන්ට හැකියාවක් නැතැයි මුළුමනින්ම බැහැර කලයුතු නැත. ඇත්තෙන්ම සිදුවියයුතු ප්‍රවිෂ්ටය එයයි. ගතවෙමින් පවතින පැයේදී අප ඉදිරියේ නිරාවරණය වෙමින් ඇත්තේද එවන් සුබාරංචියක පෙරනිමිති බවපෙනේ. අතීතය පිළිබද අපේ විනිශ්චය න් මත පිහිටා මග පෙන්වීමට ඉක්මන් නොවී විමසිල්ලෙන් බලාසිටීම අපතේ නොයනු ඇත. මේ කාරණාවේදී අවශ්‍ය ඉවසීමත් අන්‍යොන්‍ය අවබෝධයත් ඉදිරිපෙළ සංවිධාන අතර පෙනෙන්නට තිබේ.

    ReplyDelete
  2. හේ ජිනීවා අපි දැන් මරන්නේ නෑ

    ReplyDelete
  3. රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!

    “අන්න රජතුමා හෙළුවෙන්!” කියලා පොඩිඑකෙක් කියපු කතාව හැමෝම දන්නවානෙ. මේ එකේ ඉතිරිය.

    “හෙළුවෙන්” කිව්ව එකා නිසා රජ්ජුරුවන්ට වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. ඇමති තනතුරු වෙනස් කළා. භාණ්ඩාගාර ඇමති අශ්ව ඉස්තාල භාර ඇමති කළා. විදේශ ඇමති සංදේශ ඇමති කළා.
    හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් පත් කළා. කුමරයාට වයස අවුරුදු තුනයි! කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මූත්‍රා කළා.
    මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව’ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයා ගෙන ගියා.
    “මං හෙළුව පෙන්නාදීපු නිසා ‍හැමෝම අමාරුවෙ වැටුණා නේද?” පොඩ්ඩා ඇහුවා.
    තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි.
    කොහොමද එක පාරටම දැන ගත්තේ මහ රජතුමා හෙළුවෙන් කියලා?
    “අයියෝ ඒක සුළු දෙයක් නෙ. ඇඳුමෙන් වැහිලා තියෙන්න ඕනෙ අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ තැනැත්තා හෙළුවෙන් කියලා තමා. මට කරද්දී ගුරුතුමා ඕක කියලා දුන්නේ.

    ඇමති මණ්ඩලේ තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේට ම මුල ගුරුතුමන්ලා බව සියල්ලන්ම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමට තමන්ගේ රාජකාරි අමාරුවෙන බව ඒ හැමෝටම පෙනී ගියා. හැමෝ ම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාටයි. ඒ හිටපු ඇමති කෙනා වෙනුවට රජතුමා කෝපවෙලා ඒ තනතුරට දාලා තිබුණේ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.

    “ඒ සිද්ධිය වෙන කොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් බාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරි වැදගත්!” බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.
    “අපේ ගව පට්ටිවල මස් අඩු වෙන කොට අලුතෙන් තණකොළ, පුනක්කු දෙනවා. ඒ වගේමයි, උන් වැඩිලා තෙල් පිරිලා මස්වල ගුණය පහළ යද්දී අපි හරකුන්ගෙ කෑම පාලනය කරනවා. ඒ වගේ ම ගැළපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දි කරන්න ඕනෑ ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕනෑ.”

    පාඨශාලා ඇමති සිය තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින් ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුනගේ දීමනා අඩු කළා. ඔවුන් එහාට මෙහාට මාරු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්වන්න යැව්වා. වෙණ වයන අය කෘෂිකර්මය උගන්වන්න යැවුවා. ඒත් එක්කම පාඨමාලාවල ‘හෙළුව’ පිළිබඳ ලියැවුණු පොතපත ඉවත් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැන ගන්න නිසා ඉතිහාසය උගන්වන එකත් නතර කරලා දැම්මා.
    අඩු දීමනා නිසා ගුරුවරු පාඨමාලා හැර දමා ගිහින් කසිප්පු පෙරීම වගේ ජීවන මාර්ග තෝරා ගත්තා. තවත් අය රට ගියා. ඒත් එක දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.

    “උඹලාගේ දරුවන්ට හොඳ ඥානයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්වන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා.” ඔවුන් ගම්බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියන් කලබල වුණා. ඒත් ඒක තේරුම් ‍නොගත් අනුවණ පිරිස් ඒ ගුරුවරුන්ට උසුළු විසුළු කළා.
    කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා. “කුමක් ද මේ සිදු වන්නේ? වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!” රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.
    තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බැව් ඇමති මණ්ඩලය වටහා ගත්තා. පසුදා උදේ ඔවුන් සියලු දෙනාම සීතාම්බර පට සළුවලින් සැරසිලා රාජ සභාවට ගියා.
    “රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව ඉදිරියට යද්දී එක් මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියනුත් ඒ කොලුවාගේ බහ පිළිගෙන ඔබතුමාට සිනාසුණා. එහෙත් වරද අපි වැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!”

    මෝඩයාට නොපෙනෙන ඒ සළුව හැඳ ගත් රජතුමා ද ඇමති මණ්ඩලයත් සමඟ මහත් ආඩම්බරයෙන් වීදි සංචාරයේ යෙදුණා.

    ‘හෙළුව’ යන වදන නොදන්න අලුත් දරුවන් ඒ පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව කියන්න හැදුවත් මෝඩ මිනිස්සු එ්ක වැළැක්වූවා. “හෙළුව? ඒ මොකක්ද?” රජතුමා හෙළුවෙන් බව පෙන්වන්න හදපු ගුරුතුමන්ලාගෙන් ඒ පිරිස් ප්‍රශ්න කළා. ඉතිහාසය නූගන්වන නිසා රටවැසියන්ටත් ඒ වචනය අමතකව ගොස් තිබුණා.
    කවුරුත් කිසිත් නොකීම ගැන රජතුමා සතුටු වුණා. “ප්‍රීතියි! ප්‍රීතියි! ඇමතිවරුනි, ප්‍රීතියි!” රජතුමා උද්දාමය පළ කළා.
    ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට සළු ඇඳ ගෙන යන්න පටන් ගත්තා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ඇඟලා ගෙන ඉන්නවා. ගවපට්ටිකරුවන් සුසුම් හෙළනවා.

    -රසික සූරියආරච්චි‍-

    ReplyDelete
  4. රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්.

    රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ කතන්දර දේශපාලන ගැඹුරක් තියෙන ඕන කෙනෙකුට ජෝක්. මොකද දේශපාලනයේදි කිසි කෙනෙක් තව කෙනෙක් රකින්නෙ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා මිස. ඒක තමයි ඒ විෂයේ හැටි. ජවිපෙ වගේ පක්ෂ විසින් විශ්වාස කරන හොඳ මිනිස්සු කියන කතාව දේශපාලන විෂයට අදාල කතාවක් නොවෙන්නෙ ඒ හින්ද. ඒවා නිකං ආර්ට් වැඩවලට හොඳ කතන්දර. දේශපාලනය කියන්නෙම මිනිස්සුන්ගෙ නරක පැත්තත් එක්ක ගනුදෙනු කිරීමට.

    රනිල් දේශපාලනයේ අන්ත පරාජයකට ලක්වෙලා හිටියෙ. මං වුනත් රනිල් දිහා බලමින් කුරිරු සතුටක් ලැබුවා. ඔය කියන තරම් ස්මාර්ට් මිනිහා අන්තිමට මොනවද කරගත්තෙ කියල උසුළුවිසුළු කළා. රනිල්ගෙ වැදගත්ම දේ තමයි ඉවසීම. බලන් ඉන්න පුළුවන්කම. ජනතා දේශපාලනයේදී තමන් දක්ෂ නැති බව හොඳින්ම පසක් කරගෙන පිට්ටනිය තමන්ට ගැලපෙන මොහ‍ොත දක්වා එනකල් රනිල් නෙට්ෆ්ලික්ස් බැලුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්වල ක්‍රවුන් සීරීස් එක‍ දේශපාලන විෂයට කැමති කෙනෙක් බලන්නම ඕන. ඒකෙ චර්චිල් කරන දේශපාලනය මට හරිම ආකර්ශනීය එකක්. කොටින්ම තමන්ගෙම කැබිනට් එක පවා තමන්ව එලියට දාන්න බලන් ඉඳිද්දි කලිසමේ chu යන නාකි චර්චිල් ගේම් එක ගහනවා. ඒක මාර ඉන්ස්පයරින් කැරැක්ටර් එකක්.

    රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ තමන්ගෙ ප්‍රබලතම ප්‍රතිවාදී පක්ෂෙ සහායෙන්. එතනදි පොහොට්ටුවට රනිල්ව ඕන වෙන්නෙ තමන්ගේ ආරක්ෂාව පිණිස. නැවත තමන් ගොඩනැගෙන තෙක් පක්ෂයක් බලයක් අහිමි දුර්වලයෙක් පාවිච්චි කිරීම කියන තැනින්. රනිල්ට සිද්ද වෙනවා ඒ අවසරෙන් තමන්ට අහිමි සියල්ල යළි දිනාගන්න. ඇත්තටම ගත්තොත් විපක්ෂයත් රනිල්ට විරුද්දයි, පොහොට්ටුවත් විරුද්දයි. ඒ හින්දම රනිල්ට සටන්පාඨ දේශපාලනය කරන්න පුළුවන්කමක් නෑ. හරිම අවදානම් පාරක, ලොකු වීර වික්‍රම නැතුව ඉතා සියුම් දේශපාලන ගේම් එකක් එයාට සෙල්ලම් කරන්න වෙනවා. වැල් පාලමේ උදාහරණය මෙතනදි හරියටම ගැලපෙනවා.

    රනිල්ට දේශපාලනය කරන්න වෙලා තියෙන්නෙ ජවිපෙ කියන විදිහෙ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි. හොර ආණ්ඩු පක්ෂයක් සහ moda විපක්ෂයක් එක්ක. අනිත් පැත්තෙන් රටේ දැවැන්තම අර්බුදයත් එක්ක. ඒ නිසා සංදර්ශන පවත්වන්න අවසරයක් නෑ. විසිල් ගහන වීරයා වෙන්න බෑ. ලංකාවෙ ජනාධිපති කෙනෙක් මුහුණ දෙන අතිශය තීරණාත්මක, අභියෝගාත්මක මොහොතකට රනිල් මුහුණ දෙනවා. ඒක බලන් ඉන්න හරිම ඉන්ටරෙස්ටින්ග්. තියුණු බුද්ධියකින්, ඉවසීමකින් කරන චෙස් ක්‍රීඩාවක් තරම්ම ආකර්ශනීයයි.

    සියල්ලන් ප්‍රතිවාදීන් වූ දේශපාලනයක තනි මිනිහෙක් කරගෙන යන මේ සටන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් වෙනවා. රනිල් දිහා මං බලාපොරොත්තු සහගතව බලන් ඉන්නෙ ඒ හින්ද.

    ReplyDelete
  5. @ ඇනෝ 6.23

    හහ් හහ් හා රනිල් ගැන තවත් බයිලාවක්, ඒ පාර අලුත් එකක් බයිල නැව් ගණන්, හැබැයි දැන් නාකි මයින කියන මහින්ද ජරාපස්සගෙන් ඇහැව්වත් රනිල් තමයි යුද්ධය අවසන් කලේ ගෝටාබය පස්සට ඇද්ද කියන්නත් බැරි නැහැ ඒ ජාතියේ බඩුනේ

    ඔය වගේ රනිල්ගේ පච බලකාය 2014/15 ගහපු තව බයිලාවක් තමයි කරුණා කඩල එල් ටී ටී එක දෙකඩ කළේ රනිල් කියන බයිලාව, ඒත් සෝ කෝල්ඩ් එල් ටී ටී එක සූක්ෂමව කඩා වෙන්කරපු රනිල්ට තමන් නායකයා වුන පක්ශය කඩා වෙන්වෙලා මිනිහා විතරක් ඉතුරු වීම නවත්වා ගන්න බැරි වුනානේ 😂

    ඒ කියන්නේ , ඒ කාලේ තව දුරටත් රටේ නායකයා ලෙස හිටියා නම්. රට කඩා වෙන්වීමත් නවත්වා ගන්න බැරිවෙනවා.

    රනිල්ගේ මීඩියා චරිත මඩවලට බැහැලා මූන් ලන්කාවෙ මිනිස්සු එදත් රැවැට්ටුවා අදත් රවට්ටනවා මූ දන්නවා මී හරක් ගව සම්පතට හොද වෙලකට බස්සලා ගත්තම ඕන තරම් උම්බෑ කියාගෙන උන්ගෙ පස්සෙ එනව කියල..ඒ තරම් බහුතරයක් ඉන්නෙ කියලා මූ අත්දැකීමෙන් දන්නව ඇති .. හැබැයි ඉතින් රනිල්ගේ ඡන්ද පදනම දැන් අත්පත් කරගෙන ඉන්න සජිත් ප්‍රේමදාස හර්ෂ ද සිල්වා වගේ මෙලෝ හසරක් නොතේරෙන කිසිම විදියක ප්‍රතිපත්තියක් නැති හැකියාවක් නැති හිතෙන හිතෙන විදිහට වාචාල කතා දෙබිඩි කතා දොඩවන ලාමක චරිත වලට සහ කවදාවත් රටේ පාලන බලය අත්පත් කරගෙන වැඩක් කරන්න හැකියාවක් නැති බව පැහැදිලිව පේන හොරු අල්ලන්න කියලා ෆයිල් පෙන්වා ආඳන් මෙන් ලිස්සා යාමට පමණක් දක්ෂ අනුරලා වගේ ජවිපෙ කට්ටිය එක්ක බලද්දි සහ දූෂිත ගෝත්‍රික නාමල් කෝලම ඇතුළු යල්පැනගිය පොහොට්ටු මෝඩරැල එක්ක බලද්දි සාපේක්ෂව නම් රනිල් වික්‍රමසිංහ හොඳයි කියලා මට හිතෙනවා ඒ නිසා කතාව ඇත්ත නොවුණත් රනිල් සාපේක්ෂව වඩාත් සුදුසු නායකයෙක් කියලා කියන්න පුළුවන් වෙලාවේ හැටියට ලංකාවේ මේ වනවිට

    ReplyDelete