Saturday 6 August 2022

ලංකාවට what happened? එදා අද සහ හෙට පලිඟු බෝලයෙන්


කුඩුකාරයාට මොනවා කලත් කුඩු නැතිව බැරිය. ලංකාව ගැන උණ තියෙන එකාටද එසේමය. කෙතරම් නවත්වන්න සිතුවත් ඇසිල්ලක් ලද සැනෙන් ලියන්නම සිතේ.

මේ ලියන්නේ මගේ දැනුම් සම්භාරයේත්, විශ්ලේෂණ හැකියාවේත් උපරිමය තුල හැකි අවමයට මානසික අවස්ථිතිය අඩු කරගෙනය.

-------------------------------------

මට ලාංකිකයා පිළිබඳව ඇත්තේ විමතියකි. මගේ මූලික විෂය පථය සමාජ මනෝ විද්‍යාව වුවා නම් මම අඩුම ගණනේ ලාංකික ජන විඥානය පිළිබඳව high impact papers තුනක්වත් පළ කරමි. 

අරගලය පැමිණිය යුතුවම තිබුණි. ඒ තරමට ලාංකික දේශපාලනය පිරිහීමකට ලක්ව ඇත. රට වේගයෙන් බංකොලොත්භාවයට පත්වන බව දුර තියාම කිව්වේ මා පමණක් නොවේ. දේශපාළුවා ඒ තරමට ඇස් පනාපිටම සොරකමෙහි යෙදුනේය. මංකොල්ලය කෙතරම් ම්ලේච්ඡ තත්වයකට වැටුනේද යත් කොවිඩ් රෝගයෙන් දැඩි ලෙස පෙලෙන සමාජයෙන් පවා ඔවුහු කඩා වඩා ගත්තෝය. මේ කාලකන්ණි තත්වය මා කිසිඳු දුෂිත අප්‍රිකානු රටක පවා දුටුවේ නැත.  

මෙතරම් දරුණු මංකොල්ලයක් ඇස් ඉදිරියේ දකිත්දිත් බහුතරයක් තම ප්‍රියතම දේශපාලුවා රැකගැනීමට නොයෙක විද අමන කතා දෙඩීය. ඉන්දියාවේ හා බංගලාදේශයේ මා මේ මානසික දුර්වලතාවය දුටුවේ නූගත් ගැමි පරිසරයන් තුලයි. එහෙත් ලංකාවේ මෙලෙස කතා පැවසුවො සමාජයේ උගතුන් යයි පෙනී සිටින්නන් වුහ. රට වැටෙන්නේ කොවිඩ් නිසා යයි ඔවුන් පවසද්දී ලෝකයම එයට ගොදුරු වූ බව මෙනෙහි කරගන්න තරම් ඔවුන්ට හැකියාවක් නොවීය. තවත් සමහරු කොවිඩ් නිසා සංචාරක ව්‍යාපාරය වැටුණු බැවින් ලංකාව බංකොලොත් වූ බව කීය. ලංකාවට වඩා ඉතා අධික ලෙස සංචාරක ව්‍යාපාරය මත තම ආර්ථිකය පවතින මාල දිවයින, තායිලන්තය වැනි රටවල් අපුරුවට මේ තත්වයෙන් ගොඩ ආ බව වටහා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොවීය. 

-------------------------------------

අරගලය ඇරඹෙන්නේ මහජන විරෝධය තුලිනි. එය කෙනෙකුට අවබෝධ නොවන්නේ නම් එය ඔහුගේ දුර්වලකමකි. අරගලයට මිනිසුන් සුදානම් වන විට සජබය මෙන්ම ජවිපෙද තමන් ඊට සම්බන්ධ නැති බවත් එයට සම්බන්ධ වන අය පිළිබඳව තමන්ගේ වගකීමක් නැති බවත් කීය. පැහැදිලිවම මෙය විකල්ප බලවේගයක් නැගී සිටීම පිළිබඳව ඔවුන් තුල ඇති භීතිය ප්‍රදර්ශණය කිරීමක් ලෙස මම දකිමි. අරගලය තීව්‍ර වෙමින් ජයග්‍රහණ අත්පත් කරගන්නා විට ජවිපෙ නායකයන් කියා සිටියේ තමන්ගේ තරුණ පෙළ අරගලයේ සක්‍රියව සිටින බවයි. එහි පහල කේඩරයද සමාජ මාධ්‍ය තුල අරගලය වෙනුවෙන් නිවේදන නිකුත් කරමින් ඉදිරියෙන්ම පෙනී සිටියේය. 

අරගලය බිඳ වැටෙමින්, දියාරු වෙමින්, වියැකී යන විට ජවිපෙ ඉහල පෙලෙන් සද්දයක් නැත. පහල කේඩරයද හිමින් සීරුවේ මාරු වී ඇත. ජවිපෙ කිසිවෙක්, මා දන්නා තරමින් පොලිස් අත්අඩංගුවේ නැත. ඔවුන්ගේ මේ "දිනුවොත් අපේ - පැරදුනොත් තොපේ" සංකල්පය මේ වන විට ඔවුන්ට පාරාවළල්ලක් වී ඇති සෙයකි. ජවිපෙට යම් ප්‍රසාදයක් පළකරමින් සිටි, ඊට පෙර කවදාවත් ජවිපෙ ගැන පැහැදීමකින් නොසිටි පිරිස නැවතත් ඔවුන්ට අහිමි වෙමින් පවතී. මිනිසුන් ජවිපෙ වෙතට තල්ලු වුණේ ඔවුන් පිළිබඳව ඇතිවූ පැහැදීමකින් නොව අනෙක් දේශපාලුවන්ගේ තිබු අන්ත දුෂිත ස්වභාවය නිසා බව ඔවුන්ට නොතේරී ඇති සේයකි. තම නායකයන්ගේ  තීරණවල ඇති ගැටළු පෙන්වා දෙන විට පණිවිඩකරුට වෙඩි තැබීමේ ස්වභාවය ඔවුන්ට අත් හැරගැනීමට නොහැකි වී ඇත. 

-------------------------------------

මැලේසියාවේ, බංගලාදේශයේ, පකිස්ථානයේ, නේපාලයේ, කොලොම්බියාවේ, සැම්බියාවේ, උගන්ඩාවේ සහ තවත් අප්‍රිකානු රටවල් කිහිපයකම රාජ්‍ය පාලනයට බලවත් රටවල් අතදාන ආකාරය මම first hand අත්දැකීම් තුලින් වටහාගෙන ඇත්තෙමි. මේ නිසා මට ලංකාවේ සිදුවන බොහෝ දේ ඉවකිරීමේ හැකියාව ඇත. ලංකාව වැනි අන්ත දුෂිත මෙන්ම අමන මානසිකත්වයක් ඇති දේශපාලකයන් සිටින රටවලට මැදිහත්වීමට බලවත් රටවල් අතර ඇත්තේ පොරයකි. ලංකාව තුල 2010 වසරේ පමණ සිට පැහැදිලිවම කඳවුරු දෙකක් පොරකමින් සිටියෝය. ඒ චීනය-පකිස්ථානය සහ ඇමරිකාව-ඉන්දියාව යන යුගල දෙකයි. මෙයින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම හොරකමට වඩා පහසු pro-Chinese පිළට හේත්තු විය. 

චීනය ණය දෙන ආකාරය සහ එය කළමනාකරණය කරන ආකාරය පිළිබඳව මම මුලින්ම ලියන්නේ මගේ දෙවැනි උගන්ඩා ගමන අතරතුරය. ඒ 2013 වසරේදීය. ඔවුන් ඉතා සාර්ථක මාර්ග සිතියමක යමින් ලංකාව සිය අණසකට නතු කරගත්තේය. අද IMF එකට සහ ඇමරිකාවටත් කියන්න සිදුවී ඇත්තේ මුලින් චීනය සමග ඇති පටලැවිල්ල ලිහාගෙන ඊට පස්සේ අපෙන් උදව් ඉල්ලන්න එන්න කියාය. 

ඇමරිකාව ගෝඨාභයව ගෙන එන්නේ මේ චීන ආධිපත්‍ය වෙනස් කිරීමටයැයි මට සිතේ. එහෙත් ඔහු කිසිම වැදගැම්මකට නැති පතෝලයෙක් බව තේරුම් ගන්නට ඔවුන්ට වැඩි කල් ගියේ නැත. ගෝඨාට මහින්දලාව ඉන්නා තැනින් අඩියක් වත් පිටුපසට ගැනීමට නොහැකි විය. රාජපක්ෂලාගේ ගොන්කම නිසා අරගලය ඇති වන්නේ මේ අවස්ථාවේය. අරගලය නොව රට තුල කුමන වෙනසක් වීමට මුල පිරුවත් බලවතුන් එයට අත දැමීම ලංකාව වැනි හිඟන රටකට වැළක්විය නොහැක. 

ඇතිවෙමින්  තිබූ රැල්ල සමග කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ලංකාවේ ඊළඟ නායකයා ලෙස අනුර කුමාර දිසානායක හඳුනාගත් අවස්ථාවක්ද විය. නමුත් එය ලත් තැනම ලොප් වුණේ ජවිපෙ අනුගමනය කල පතෝල න්‍යාය හේතුවෙනි. ආසයි-බයයි සෙල්ලමට බලවතුන් කැමති නැත. සජිත්ට අත් වුනේද ඒ ඉරණමයි. තව ටික කාලෙකින් සජිත් ප්‍රේමදාස යන නම ලාංකීය දේශපාලනයෙන් මැකී අමතකවී යාමට නියමිතය. 

-------------------------------------

මීට ටික කලකට පෙර ලංකාවේ සිටි දේශපාලකයෙක් නොවන ඉහලම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මා සමග කුළුපඟ කතාබහක යෙදෙන විටක ඔහු රනිල්ව හැඳින්වුයේ baby-faced serial killer යනුවෙනි. අපි දෙදෙනා මෙහි සිංහල පරිවර්තනය සොයන්න ගොස් නැවතුණේ "බබා-මුහුණු වැල් ඝාතකයා" යන වැකියෙනි. අපි එදා මහා හඬින් සිනා සෙද්දී කෙදිනක හෝ රනිල් ලංකාවේ ජනාධිපති වේ යයි අංශු මාත්‍රයකවත් හැඟීමක් නොවීය. 

රනිල් පිළිබඳව අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නැත. ඔහු ගැන නොදන්නා 90 දශකයෙන් පසු උපන් ළපටියන්ද මේ සති කිහිපයට ඔහු පිළිබඳව යම් වැටහීමක් ලබා ගෙන ඇති සිතමි. රනිල් යනු program කරන ලද රෝබෝවකි. ඔහු රාජපක්ෂලාව bail out කරයිද නැත්නම් සිපිරිගෙට හෝ එල්ලුම් ගසට යවයිද කියා ඔහුවත් දන්නේ නැති බව මම සිතමි. එය තීරණය කරන්නේ programer විය හැක. රාජපක්ෂලාට රනිල් සමග හැරෙන්නවත් නොහැකිය. ඒ රනිල්ගේ හැකියාව නොව programer ගේ කෙරුවාවයි. අද රනිල්ගේ ගුණ වයන රාජපක්ෂ ගැත්තන් තව මාස කිහිපයකින් කුමක් කියයිදැයි මම උපේක්ෂාවෙන් බලාගෙන සිටිමි. 

රනිල් ජනපති වන්න සති කිහිපයකට පමණ පෙර ඔහු එම තනතුරට පත්වන බව කොළඹ ඉහල diplomatic circle එක දැන සිටි බව මගේ හැඟීමයි. සාමාන්‍යයෙන් මෙවැනි අවශ්‍යතාවයක් ඇති විට තානාපති කාර්යාලය කරන්නේ අදාළ සියලුම පාර්ශවවලට තම අවශ්‍යතාවය දැනුම් දීමයි. ඉන්පසු ඔවුන් යම් විගඩමක් ජනතා තිරය මත පෙලගස්වයි. එය එසේම සිදුවිය.  

දැන් මම නැවතත් ලාංකික ජනතාව ගැන මතක් කරමි. පට්ට හොරුන් සෙට් එකක් පත්කරගෙන, ඔවුන්ව නඩත්තු කරමින්, තවමත් ඔවුන්ගේ ගුණ ගායන කරමින් සිටින සමහර පිරිස් ලංකාව අද පත්වී ඇති අසරණ හිඟන තත්වය පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලයට පලු පැලෙන්න බැනීම හාස්‍යජනක නොවේද?

මෙතැන් සිට කොයිබටද?

-------------------------------------

මහජන අරගල ඇතිවන්නේ සංවිධානාත්මක මග පෙන්වීමකින් නොවේ. ලංකාවේද එය ඇතිවන්නේ එලෙසමය. එහෙත් ඇතිවන ජන රැල්ලට නායකත්වයක්, මාර්ග සිතියමක්, අරමුණක්, ඉලක්කයක් ඇතිවිය යුතුය. ලංකාවේ පැවතුන තත්වය අනුව එවැනි බාරකාරත්වයක් ලබාගත යුතුව තිබුණේ ජවිපෙයි. රට පුරා වූ දැවැත්ත සංවිධාන ජාලයක් තිබුණේ ඔවුන්ට පමණකි.  නමුත් ඔවුන් ඒ කාර්ය භාරයෙන් කර ඇරියේය. ඒ සඳහා ඔවුන්ට දහසකුත් එකක් හේතු කියන්නට ඇත. 

දැන් රටේ ජනතාවට අරගලය පිළිබඳවද ඇත්තේ අවිනිශ්චිත හැඟීමකි. රනිල් එළවීම පිළිබඳව අරගලයේ ඉදිරියෙන් සිටින තරුණ පිරිස් පලකරන අදහස් ඉතා බොළඳය. ඔවුන්ට තමන් හැප්පෙන්නේ කා සමගද කියාවත් අවබෝධයක් නැත. සරත් ෆොන්සේකා කිරීමට අර අඳින්නේ  මේ නොමේරු තරුණ ජවය තුලින් තම ජනපති සිහිනයට ලඟා වන්නය. එය කරන්නේද ජවිපෙ මෙන්ම "හරි ගියොත් මගේ - වැරදුනොත් තොපේ" style එකටමය. මෙය ඔහු පසුපස යන තාරුණ්‍යයට අතිශයින් භයානක අත්දැකීම් ඇති කර දෙනු ඇත. රනිල් වික්‍රමසිංහ යනු හැඟීම් දැනීම් විරහිත පුද්ගලයෙකි. කෙටියෙන්ම කිවහොත් දේශපාලන රෝබෝවකි. කොළඹ වටලා හෝ වහසි බස් දොඩා හෝ, අපහාස උපහාස කර හෝ, ඔහුට දන්වන්න නොහැකිය. තරුණ පිරිස පමණක් නොව සරත් ෆොන්සේකාද ඔහු ඉදිරියේ අත දරුවන්ය.

මේ අවස්ථාවේ මහා මැතිවරණයක් පැවැත්වුවත් ඉන් කිසිඳු වෙනසක් වනු ඇතැයි මම නොසිතමි. මිනිසුන්ගේ ආවේගය දැන් හීන වෙමින් පවතී. එබැවින් ආවේග චන්ද ලබා ගැනීමටද දැන් ජවිපෙට හෝ විකල්ප කණ්ඩායමකට නොහැකිය. ප්‍රතිඵලය පරණ හොරුන්ම නව මුහුණුවරකින් පත්වීමයි. 

එසේ නම් කල යුත්තේ කුමක්ද?

-------------------------------------

මේ මට සිතෙන ආකාරයයි. කුමන පක්ෂයක් හෝ කණ්ඩායමක් බලයට ආවත් ඊළඟ වසර දෙකහමාර යා යුත්තේ "එදා වෙලා ටුවර්ස්" mode එකෙනි. සිඟමන් හැරෙන්න අපට කිසිවක් නොලැබෙනු ඇත. ඒ සිඟමන් වලින්ද පාර්ලිමේන්තුවේ සිටින යාචකයන් තමන්ට විශාල පංගුවක් බෙදා ගනු ඇත. ඔවුන් ඒ තරමටම කාලකන්ණි අපතයන් පිරිසකි. මෙය වැළක්විය නොහැක. ඒ අතරම ඔවුන් එකිනෙකා මරා ගනු ඇත. ඊළඟ මාස කිහිපයේදී "වෙන්න ජනාධිපතිලා" ගණනාවක් පාර්ලිමේන්තුව තුල බිහිවනු ඇත. රාජපක්ෂලා රනිල් එළවීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දරනු ඇත. රනිල් ඔහුට සුපුරුදු විශේෂඥතාවය උපයෝගී කරගෙන පොහොට්ටු කඳවුර මෙන්ම සජබ කඳවුරද බේද බින්න කරනු ඇත. මේ විප්‍රකාර මධ්‍යයේ කිසිවෙකුටත් රට නැගීමට වෙලාවක් නොතිබෙනු ඇත. 

බුද්ධියක් ඇති සියළු දෙනාගේම වගකීම විය යුත්තේ ඊළඟ වසර දෙක හමාර තුල පවතින ක්‍රමයට එරෙහිව ප්‍රබල හා තීව්‍ර ජන මතයක් ගොඩ නැගීමයි. දැන් බලාපොරොත්තුවේ පහන් සිළුවක් හෝ දල්වා ගැනීමට ඇති එකම මාර්ගය එයයි. මේ මාර්ග සිතියම තුල ජවිපෙ සිටීම අතිශයින් වැදගත්ය. නමුත් ඔවුන් ජනතාවගේ එකම ගැලවුම්කරුවාගේ චරිතය රඟ දැක්වීමට යාම ඔවුන්ට මෙන්ම රටටද ඉතා අහිතකර ප්‍රතිඵල ගෙන දෙනු ඇත. 

කිසිම දේශපාලකයෙකුව කිසිම මහජන උත්සවයකට වැද්ද නොගැනීම, ඔවුන් බලහත්කාරයෙන් පැමිණෙන උත්සව වර්ජනය කිරීම, ඔවුන් මහජනයා  ගැවසෙන ස්ථානවලට (සුපර් මාර්කට්, හෝටල්, ආපනශාලා, පංසල්, පල්ලි, කෝවිල් ආදිය) පැමිණෙන විට ශාරීරික පීඩා නොකර වචනයෙන් සහ අභිනයෙන් විරෝධය පෑම, දේශපාලකයන්ට ආරාධනා කරන නෑ හිත මිතුරන්ගේ උත්සව වලට නොපැමිණෙන බව සියළු දෙනාටම දැන්වීම. එසේ දන්වා සිටියදී දේශපාලකයෙක් පැමිණියහොත් ඊට විරෝධය පා උත්සව ශාලාවෙන් පිටවී යාම, ගම් මට්ටමින් (කඩපිලේදී, පොලේදී, පන්සලේ පල්ලියේදී, වගා බිමේදී) මහජනතාව මේ පිළිබඳව දැනුවත් කරවීම, රජයේ අකටයුතු පිළිබඳව හැකිතාක් ජාත්‍යන්තරය දැනුවත් කිරීම, දුෂණ, භීෂණ, වංචා විරෝධය ඇතිවිය යුත්තේ තමා තුලින්ම බව ජනතාවට ඒත්තු ගැන්වීම, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සමාජ මාධ්‍ය උපරිමයෙන් යොදා ගැනීම, නගර මට්ටමින් සම්මන්ත්‍රණ පැවැත්වීම, පොලිසිය සහ හමුදාව සමග සුහදව කටයුතු කිරීම (ඔවුන් කිහිප දෙනෙකුගේ වැරදි මත පදනම්ව සමස්ථ ගොනුවටම එරෙහි නොවන්න) ඔබට ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයකි.

-------------------------------------

කුමක් කලත් නීතියේ රාමුවෙන් පිටතට පය නොතබන්න. පාලකයා බලා සිටින්නේ ඔබ ඒ වරද කරන තුරුය. ජාත්‍යන්තරය ඔබ සමග සිටින්නේ ඔබ අනීතික නොවන තාක්ය. නිතීඥ සංගම්, වෛද්‍ය  සංගම් ආදී වූ වෘත්තීය ව්‍යාපාර පිළිබඳව විශ්වාසය නොතබන්න. ඔවුන් බොහෝ විට පවතින දේශපාලන මඩ ගොහොරුවේම අනු-ඛණ්ඩයන්ය.  

ඉදිරිය දුෂ්කරය. නමුත් කෙසේ හෝ ජිවත්වන්න. යුද්ධය පැමිණෙන විට ඔබ ජීවත්වීම රටට ඉතා වැදගත්ය. බබා-මුහුණු වැල් ඝාතකයෙකුට ඔබගේ ජීවිතය උදුරා ගැනීමට ඉඩ නොතබන්න. 










17 comments:

  1. baby-faced serial killer එකට මම නං දෙන්නෙ 'බබා හුකුං මාරයා' වචනය්!

    ReplyDelete
  2. ලිපියේ බොහෝ දේ ඇත්ත, නමුත් දේශපාලුවන් වර්ජනය කිරීමෙන් පසු කරන්නේ කුමක්ද?

    ප්‍රජතන්ත්‍රයට විකල්ප නැ නේද ?

    නින්ද අපහාස ලැබීමෙන් පසු චන්දයට අලුතෙන් උගත් බුද්දීමත් අය එයිද?

    ඉන්න හොද අයත් හැලි, චන්දයට හාල්පරුවෝ පමනක් ඉතිරි වෙයිද? (එහෙම තමා වෙන්නෙ)

    එහෙම උනොත් මහජනතාව මොනවා කරන්නද?

    චන්දිම උත්තර ලියන්නේ නැ නේද?

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. බොහෝ විට උත්තර ලියන්න අතපසු වෙන්නේ වැඩ අධික නිසයි. ඇත්තෙන්ම ඔබ බොහෝ දෙනෙකුගේ අදහස් ඉතාමත් කාලෝචිතයි.

      මෙහිදී මා යෝජනා කරන්නේ දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීම කියන "පටු ස්ථානයේ" ඉඳගෙන නොවෙයි. එය ජන විඥානය වෙනස් කිරීමක්. සමාජ මනෝ විද්‍යාත්මක ගවේෂණයකදී ඔබට පැහැදිලිවම දකින්න හැකි සංකල්පයක් තමයි ක්‍රියාන්විත තුලින් මනෝභාවය වෙනස් කිරීම යන්න (psychic change through operation). විශාල ජන සමුහයකට යමක් කියාදී අවබෝධයක් ඇති කිරීම අපහසුයි. මේ සඳහා ක්‍රියාන්විතයක් ඇති කල යුතුයි. උදාහරණයක් ලෙස රාජපක්ෂලා සහ ඔහුගේ හෙන්චන් කරන වංචා අපරාධ පිළිබඳව කෙතරම් ජනතාවට කියා දුන්නත් ඔවුන්ට ගණනක්වත් තිබුණේ නැහැ. නමුත් හිරුණිකා ගේ සද්ද දැමීම, අනුරපුරයේදී මහින්දට හූ තැබීම, තවත් දේශපාලකයන් කිහිප දෙනෙකුට විරෝධය පෑම හමුවේ ජන මනස අවදි වුණා. මෙය මනෝ විද්‍යාත්මක උපක්‍රමයක්.

      නමුත් මේ සමගම (ඊට සමාන්තර ගතව) අප ඇරඹිය යුතු වැදගත්ම කාර්ය පවතිනවා. ඒ තමයි සාධාරණ, සමානාත්ම, මනුෂ්‍යත්වයට ඔබින සංකල්පයක් සංවිධානාත්මකව ජනගත කිරීම. එයට රටේ සිටින සියලුම ප්‍රගතිගාමී පිරිස් එකතුවිය යුතුයි. මේ ගැන ලියූ කොටස මම තව ටික දිනකින් වෙනමම පළ කරන්නම්. නැත්නම් මේ ලිපිය දිග වැඩි වෙනවා. ඊළඟ ලිපියයි ඇත්තටම වැදගත් වන්නේ.

      Delete
    2. @ විජේබාහු

      ලංකාවේ 2022 නිරායුධ අරගලයක් පැවති නමුත්, එය සාමකාමී අරගලයකැයි නම් කිරීම ඇතැම් ජාත්‍යන්තර විද්වතුන් විසින් පවා සිදුකරන ලද වරදකි. මට කවදාවත් රාජපක්ෂලා හෝ පොහොට්ටුව ගැන කැමැත්තක් තිබුණෙ නැහැ. හැබැයි, මැයි 9 කරපු අසික්කිත ගිනිතැබීම්/ දේපළ විනාශ කිරීම් හා අමරකීර්ති අතුකෝරළත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් පොලුගසා මරාදැමීමෙන් පසු පළමු වතාවට මම ඔවුන් වින්දිතයන් පිරිසක් ලෙස සලකා අනුකම්පා කරනවා. ඒ ත්‍රස්තවාදය නැවත සිදුවීම වැළැක්විය යුතුයි.

      මෙය තවදුරටත් විකාශය කරන්නේ නම්, මා කිසිදිනෙක පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මව් පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවා කැමැත්තක් දැක්වූයේ නැත. දැනටත් මා තුළ තිබෙන්නේ ත්‍රස්තවාදයේ වින්දිත පිරිසක් සමග සහකම්පනයකි. මා දැන් සිතන්නේ මැයි 9 යළි මතුවූ සහ දිගින් දිගටම හොල්මන් කරමින් තිබෙන ත්‍රස්තවාදයේ තර්ජනය මැඩලීමේ හා රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදයේ පාපයෙන් තම බලවේගය මුදාගැනීම සඳහා පොදුජන පෙරමුණ යළි අවදි වී දේශපාලනය කළ යුතු බවයි.මැයි 9 සිදුවීම් ආරම්භ වූයේ අගමැති තනතුරෙන් නික්ම යාමට නියමිතව සිටි මහින්ද රාජපක්ෂ විසින් අරලියගහ මන්දිරයට කැඳවන ලද ඔහුගේ අනුගාමිකයන් රාජ්‍ය අනුග්‍රහය ලබමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගෝල්ෆේස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටි නිරායුධ විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ලකිරීමෙනි.

      සමාජ පොදු මතය විසින් එම ක්‍රියාව හෙළාදකින බව දක්නට ලැබිණි. ඒ වන විට පොහොර ඉල්ලා ගොවීන් විසින් කරන ලද අරගලය හා ගුරු අරගලය විසින් සමාජය උණුසුම් කර තිබිණි. තෙල්, ගෑස්, කිරිපිටි ආදිය හිඟවීමත් සමග මධ්‍යම පන්තික කොටස් වෙතින් පැනනැගුණු දීප ව්‍යාප්ත අරගල සහ ඒවාට ලැබුණු ප්‍රතිචාර මිරිහානේ ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස අසල හා රඹුක්කනදී සිදුවූ සිදුවීම් හේතුවෙන් සීමාව ඉක්මවා ගොස් තිබිණි.

      මැයි 9 දින ඇතිවූ පළිගැනීමේ ප්‍රචණ්ඩත්වය විසින් නිර්මාණය කරන ලද බිහිසුණුම සිදුවීම වන්නේ නිට්ටඹුවේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීවරයා පහරදී මරාදැමීමයි. සිදුවූ වාහන විනාශ කිරීම්, ගෙවල් ගිනිතැබීම් හා කඩා බිඳදැමීම් සහ කාන්තා හිංසන ඇතුළු පුද්ගල ත්‍රස්තවාදී ක්‍රියා සංඛ්‍යාව හා එහි පරිමාණය සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් තවමත් කර නැත.

      ‘අරගලය’ ලෙස නම් කරනු ලබන ක්‍රියාවලිය තුළ මැයි 9 සිට දිගටම පැවතියේ පළිගැනීමේ ප්‍රචණ්ඩත්වය විසින් නිර්මාණය කරන ලද ප්‍රචණ්ඩ ජීවයයි. එතැන් සිට පාලක පොදුජන පෙරමුණ දැඩි පසුබෑමකටත්, එහි පාක්ෂිකයන් භීෂණයකටත් ලක්වූහ.

      සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩ බලවේගයක් වූ ඔවුන් පසුබැස යාමෙන් පසු හිස්වුණ අවකාශය ආක්‍රමණය කළේ වඩා ප්‍රචණ්ඩ නිර්ප්‍රභූ බලවේගයකි. පොලිසියට හා හමුදාවට වාචික තර්ජන කරන, එතැනින් නොනැවතී බැරියර් කඩාගෙන ඉදිරියට පවා යන මෙම බලවේගයේ ශක්තිය මෙතෙක් උපරිමයෙන් ප්‍රදර්ශනය කරනු ලැබුවේ ජුලි 9දාය. අතිවිශාල ජනකායන් අගනුවරට කැඳවන ලද එදින ඔවුහු ජනාධිපති නිල නිවස හා කාර්යාලයත්, අගමැති නිල නිවස හා කාර්යාලයත් ආක්‍රමණය කළ අතර අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ගිනිතැබූහ. පාර්ලිමේන්තුවට පහරදීමට දරන ලද උත්සාහය රජය විසින් පසුබස්වන ලදී. ඉන් පසු, ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ අතර අගමැතිවරයා වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේය.

      අප මැදිහත්ව මේ සිදුවීම් දෙස බැලූවිට 2018 පෙබරවාරි 20 පළාත් පාලන මැතිවරණය ජයගැනීමෙන් පසු හා විශේෂයෙන්ම දින 52 කුමන්ත්‍රණ සමයේ හෝ පාස්කු ප්‍රහාරයෙන් පසු පොහොට්ටුවට අවශ්‍ය ඕනෑ තරම් ජනයා ඒකරාශී කර පිරිස් බලය යොදවා ආරක්ෂක හමුදා හා පොලිසිය පසුබස්වා රාජ්‍ය ආයතන ආක්‍රමණය කර බලය පැහැරගැනීමේ හැකියාව ඕනෑතරම් තිබිණි. එයට ආරක්ෂක හමුදාවල සහාය ලබාගැනීමේ හැකියාව පවා තිබිණි.

      එහෙත්, ඒ වන විට පැවති තත්වය තුළ එය ආණ්ඩු වෙනස්කිරීමේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් ලෙස පිළිගැනුණේ නැත. ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ගරුකර කටයුතු කිරීමට ආණ්ඩු විරෝධීන් කටයුතු කළහ. පසුගිය ජුලි 9 දින මෙය තීරණාත්මකව වෙනස් කරන ලද අතර, නිරායුධ එහෙත් ආවේගශීලී හා ප්‍රචණ්ඩ ජනරාශි යොදවා රාජ්‍යය ආක්‍රමණය කර පාලනයන් තමන්ගේ ජනරාශිවල අභිමතය පරිදි වෙනස් කිරීම නිවැරදිය යන වැරදි පූර්වාදර්ශය ඊනියා අරගලකරුවන් විසින් ලංකාවේ ස්ථාපිත කර තිබේ.

      Delete
    3. ලංකාවේ අරගලකරුවන්ගේ වහසිබස්වල තවමත් ගැබ්ව තිබෙන්නේ ඍජු ජනරාශි යොමුකර ස්ථාන ආක්‍රමණය කිරීමෙන්, දේපළ විනාශ කිරීමෙන් හා අවශ්‍ය නම් එම බලය යොදවා අමානුශික ලෙස මිනී මරමින් ගෙවල් ගිනිතියමින් අමන ලෙස මැර බලයෙන් පුද්ගල ත්‍රස්තවාදය හරහා ආණ්ඩු වෙනස්කිරීමට තමන්ට ශක්තිය ඇති බවයි. එහෙත්, මේ වන විට, රටේ අතිවිශාල බලවේගයක් ‘ඉනෆ් ඉස් ඉනෆ්’ හෙවත් දැන් ඉතින් මෙය ඇතිය යන ස්ථාවරයට පැමිණ සිටින බව ඔවුන් නොසලකා හරිමින් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ භූමිකාවෙන් ප්‍රකාශ වන්නේ දැන් ඉතින් මෙය ඇතිය යන ප්‍රකාශනයයි.

      රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම කිසි සේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වන්නේ නැත. එහෙත්, ආණ්ඩු විරෝධීන් එම පත්වීමේ සදාචාරය ප්‍රශ්න කරති. 2015දී මාතර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජය වූ සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ ජාතික ලැයිස්තුවෙනි. ඉන්පසු ඔහු කෝප් කමිටුවේ සභාපති ධුරයට ද පත්වූයේය. 2015 මහ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කර ඡන්ද ස්වල්පයක් පමණක් ලබාගත් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ රනිල් වික්‍රමසිංහ ඔහුට ඇමති තනතුරක් ද ප්‍රදානය කළේය. අද මේ දෙදෙනා ද රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවට පත්වීමේ සදාචාරය ප්‍රශ්න කරන පිරිස අතර ඉදිරියෙන් සිටිති.

      කෙසේ වෙතත්, මා රනිල් වික්‍රමසිංහ භූමිකාව විග්‍රහ කරනුයේ ඉහත දක්වන ලද ‘දැන් ඉතින් මේ ඇති’ යන සරල හේතුව මත යුක්තියුක්ත වන පත්වීමක් ලෙසයි. ඔහුට නිශ්චිත වගකීම් කීපයක් පැවරී තිබේ. ඒවා මොනවාද?

      01.) 2015දී දකුණේ ජනප්‍රිය රාජපක්ෂ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සුළු ජාතික ඡන්දවලින් පසුබස්වා යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, ක්‍රමානුකූලව රට තුළ නිර්මාණය වූ හා 2019දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පූර්ණත්වයට පත්වූ අරාජිකත්වය අවසන් කිරීම. (මෙම අරාජිකත්වය නිර්මාණය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඇතිවූ ගැටුම ද හේතු විය.)

      02.) ලංකාවේ රජයේ අධික ණය බර හේතුවෙන් විදේශ ණය ගෙවාගත නොහැකිව බංකොළොත් වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම. (ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මුළු අවුරුදු 10 ක කාලය තුළ ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය 2007 සිට 2014 දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක්ය වෙද්දී 2015-19 යහපාලන රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 13ක් ණය ගත් බවට චෝදනා රනිල් වික්‍රමසිංහට එල්ලවේ. එහි පසුබිම වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි.)

      03.) ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ වැරදි ප්‍රතිපත්ති නිවැරදි කර ආර්ථිකය තිරසර සංවර්ධන මාර්ගය වෙත ඇතුළත් කිරීම

      04.) දේශපාලන අර්බුදයට හේතුවී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැටලු විසඳීම

      05.) ලංකාවේ මහජන නියෝජනය වඩා ප්‍රජාතාන්ත්‍රික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
      මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවබෝධයක් ඇති බව ඔහු විසින් පසුගිය මාසයකට අඩු කාලය තුළ ඔහු විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග සහ කරන ලද ප්‍රකාශවලින් පෙනේ.

      Delete
    4. ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility) ඉල්ලා තිබේ. විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් මධ්‍යකාලීන ගෙවුම් ශේෂ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ. එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයනු ලබන දිගුකාලීන ණයකි. මේ වන විට එය සලකාබැලීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ දස දින චාරිකාවක් පසුගිය ජූනි 30දා අවසන් කළහ. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා සාකච්ඡා අන්තර්ජාලය ඔස්සේ දිගටම පවත්වන බව ඔවුහු කීහ. රටේ අස්ථාවරත්වය නිසා ඇණහිට තිබුණු ජාත්‍යන්තර මූල්‍ය සමග සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ යළි ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරභාවය පිළිබඳ වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරි මට්ටමේ එකඟතාව ප්‍රමාද වූ මුත්, එය අගෝස්තු මාසයේදී ඇතිකරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවරදී පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය සැප්තැම්බර් මාසයේදී ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. ඉතාම ප්‍රශස්ත තත්වයන් යටතේ පවා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට ඇතුළත්ව අරමුදල් ලබාගත හැකිවනු ඇත්තේ වසර අවසානයේදීය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය කෙරෙහි බර තබන බව පසුගිය අගෝස්තු 5දි ඇඩ්වොකාටා ආයතනය විසින් සංවිධානය කරන ලද “LET’S RESET SRI LANKA” සමුළුව අමතමින් ඔහු විසින් පවත්වන ලද කතාවෙන් ඇඟවිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට විරුද්ධ අය විකල්ප ඉදිරිපත් කළ යුතු බව ද ඔහු කීවේය.

      ජනාධිපති රනිල් අගෝස්තු 05දා ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් සමග ද සාකච්ඡා ආරම්භ කර තිබේ. සියලු අරගලකරුවන් නියෝජනය කරමින් යම් ප්‍රධාන කණ්ඩායමක් සකසා ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා එම කණ්ඩායමට සියලු ආගම් නියෝජනය සහ කාන්තා නියෝජනය ද අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.

      තමන් විසින් තරුණයින්ගේ අවශ්‍යතා රාජ්‍යයේ ද අනුග්‍රහය සහිතව පවත්වාගෙන යාම සඳහා කොළඹ කොටුව පාවෙන වෙළෙඳ සැළ සහ තවත් ස්ථාන කිහිපයක් යෝජනා කිරීමට කැමති බවත්, ඒ වෙනුවෙන් වන විධිමත් යෝජනාවලියක් බහුතර අරගලකරුවන්ගේ මැදිහත්වීමෙන් සකස් කර ඉදිරිපත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය. එම ක්‍රියාවලිය තුළ අධ්‍යාපනය සඳහා වූ පුස්තකාල, දේශපාලන අධ්‍යයනය සඳහා වන පහසුකම්, සංගීතය, චිත්‍ර කලාව, වේදිකා නාට්‍ය හා අනෙකුත් තරුණ කුසලතා සහ අවශ්‍යතා ඉටුකරගත හැකි එක් මධ්‍යස්ථානයක් බවට එය පත්කර ගතයුතු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

      එදිනම ඔහු සර්වපාක්ෂික රජයක් සඳහා වන තම සාකච්ඡා මාලාවේ තීරණාත්මක සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සමග ද පැවැත්වීය. එහිදී ඔහු මෙසේ පැවසීය:

      “1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්තා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළා. එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. 1977 ආණ්ඩු පෙරළියේ දී හයෙන් පහේ බලයක් අරගෙන ආණ්ඩුවක් හදලා රට ගොඩනැගුවා. හැබැයි දැන් හයෙන් පහක බලයකින්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිව රට ගොඩනගන්න බැහැ. එකම විකල්පය සර්ව පාක්ෂික පාලනයක් පමණයි."

      Delete
  3. miollon of so called educated people left country for a better future now show crocodile tears on our motherland.giving their perception about sri lanka,provoke community.If they so good they should stay home and should have fight again corruption polititians and also corrupted civil service community.not having such a courage to do something good for our country now try to give us intruction.sorry to say that chandima you are such person can not tell anything about our country and please keep you mouth shut up we are the people here to face any challenge we take care of ourself.so called fucking patriotism..

    ReplyDelete
  4. හැමදාම වගේ ඔබතුමා කියන හැමදේම ඉතා පැහැදිලි සහ නිවැරදියි. නමුත් ලිපියේ අන්තර්ගතයත් ඔබ විජේබාහුට දී ඇති පිළිතුරත් විශ්ලේෂණය කරහම හිතෙනවා ඔබතුමාගේ මාර්ග සිතියම ප්‍රයෝගික නැහැ කියල. අපිට අමතක කරන්න බැහැ මේ පවතින සිස්ටම් එකට විරුද්ධව අපි පෙළගස්වන්න හදන්නේ ලියන දේ හරියට කියවගන්න බැරි, කියන දේ හරියට තේරුම් ගන්න බැරි ගොබ්බසේනල සෙට් එකක් කියන එක. මතක් කරගන්න ඔබතුමාගේ FB එකේ ඉන්න පියල්ල වගේ මැන්ටල් තමයි ඉගෙනගත්ත එවුන් කියල වැඩිපුරම ඉන්නෙත්.

    ඊළඟ කාරණේ තමයි ලංකාවේ පහළ මධ්‍යම පන්තියේ තියෙන ඉරිසියාව. උදාහරණයක් විදියට ඔබතුමා එක්ක ඉස්කෝලේ එකට හිටිය වැඩි දෙනෙක් අද ඔබතුමා ඉන්න තැන ගැන ඉරිසියාවෙන් පැලෙනවා ඇති. මේක තමයි යථාර්තය. මෙහෙම මිනිස්සු කොටසක් කැමති වෙන්නේ නැහැ තමන්ගේම එකෙක් තමන්ට නායකත්වය දෙනවට. අපිට මේ සන්දර්භයෙන් අයින් වෙලා මේ ගැටළුව විසඳන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. David - ලංකාවේ පහල මධ්‍යම පන්තිය කියන්නේ මුළුමනින්ම ඛේදවාචකයක්. ඒ ගැන මම මීට කලිනුත් ලිපියක් ලිව්වා. ආයෙත් කතා කරන්න කාලේ හරි වගේ. ලංකාව අද පත්වී ඇති ඉරණම සහ පහල මධ්‍යම පන්තිය කියන්නේ ඉඳිකට්ටට නූල වගේ.

      Delete
  5. @ David R Silva,

    ලංකාවේ ආර්ථික අර්බුදය නිසා ඇති වූ ජනතා පීඩනයේ අනියම් දරුවා වන අරගලය රාජ්‍ය දුර්වල කරන අරාජිකත්වය මිස අනෙකක් නොවන අපි මුල සිටම කීවෙමු. ආර්ථික පීඩනය දඩමීමා කරගෙන ජනතාව නීතියට අතට ගන්නා තැනට යොමු කළ දේශපාලන පක්ෂ, නීතීඥ සංගම්, තානාපති කාර්යාල සහ ආගමික පූජකයින් බහුතරයකගේ අරමුණ වූයේ ද ආණ්ඩුව දුර්වල කර එමගින් රාජ්‍ය දුර්වල කිරීමය.

    ලංකාවේ හිටපු දුබලතම ජනපති ලෙස සැලකිය හැකි හත් වෙනි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව රඹුක්කන තෙල් බවුසර සිද්ධියේ සිට ජාතික ආරක්ෂාව සහ නීතිය සාමය තහවුරු කිරීමට ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය ශක්තිය නොදීමත් නීතීඥ සංගම් විසින් අවනීතියට එරෙහිව බලය පාවිච්චි කළ ආරක්ෂක අංශ දඩයමට පෙරමුණ ගැනීමත් අරාජිකත්වයට පාවඩ එළුවේය.

    සැබවින් ම සජිත් අනුර සුමන්දිරන් කුමාර් ආදීන්ට මෙන් ම විමල්ලාට ද උවමනා වූයේ ආර්ථික පීඩනයෙන් බිහිකරගත් අරගලය නැමති බළලා ලවා කොස් ඇට බාවා ගැනීමටය. සිය පටු අරමුණු සඵල කර ගැනීමය. සරත් ෆොන්සේකා තවමත් උත්සාහ කරන්නේ ඒ සඳහා ය.

    පසුගිය අනුප්‍රාප්තික ජනාධිපති තරඟයේ දී අරාජිකත්ව කඳවුරේ ඍජු අපේක්ෂකයා වූ ඩලස්ට, හකීම් බදියුදීන් සුමන්දිරන් රාජිත මනෝ ආදීන් සමග කිසිදු හිරිකිතයක් නැතිව විමල් සහයෝගය දෙන්නේ ද අරාජිකත්ව අරමුණ ඒ මොහොතේ පවා ඔහුට වඩා වැදගත් වු හෙයිනි. නො එසේ නම් විමල් යනු ඩලස් වැනි රූකඩයක් ජනාධිපති කර මේ රට අරාජිකත්වයෙන් ගොඩගත නොහැකි බව අවබෝධ කරගන්නට නොහැකි තොත්ත බබෙකු බව අප පිළිගත යුතුය.

    නැත්නම් අප කෙතරම් අකමැති පුද්ගලයෙකු වුව ද වැඩ බලන ජනාධිපති ලෙස රනිල් ඒ වන විටත් මේ රටේ අරාජිකත්වය පාලනය කරන්නට නීතිය නැවත ස්ථාපිත කරන්නට ගෙන තිබූ සාධනීය පියවර නොතකා ඩලස් නම් අරාජිකත්වයේ රූකඩ අපේක්ෂයා කර තබා ගෙන එන්නට කිසිදු සාධාරණ හේතුවක් නැත. එදා ඩලස්ට ඡන්දය දී කැලණි වැන්දා සේ සියලු පව් කමා කරගන්නා ලෙස ඉල්ලමින් විමල් ගෙන ගිය ප්‍රචාරණ රැල්ලට පොහොට්ටුවේ බහුතරය රැවටිනි නම් ඊළඟ පැයේ සිට රටේ රජයන අරාජිකත්වයට විමල්ලා ද ගොදුරු වන්නට ඉඩ තිබිණි.

    ReplyDelete
    Replies
    1. පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් විමල් වීරවංශ අනාවරණය කළේ, අරගලය හමුවේ ඉල්ලා අස්වීමට සූදානම් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එවක අගමැති රනිල් වික්‍රමසිංහ ද ඉවත් කර ඉල්ලා අස්වන ලෙස ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් බල කළ බවය.

      විමල් ඊට පෙර ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය අවු. 05ක ධූර කාලය නිමාකර සිය දරු මුනුබුරන් සමග ජීවත් වන්නට ඇමරිකාව බලා යාමේ අපේක්ෂාවෙන් ඇමරිකාව අසතුටු නොවන ආකාරයට කටයුතු කළ බවයි. එහෙත් ජනාධිපති ධූරය පමණක් නොව සිය ජීවිතය ද බරපතළ අවධානමක පවතින අවස්ථාවක ඇමරිකාවේ නැතහොත් ජූලි චන්ග්ගේ උවමනාව අනුව කටයුතු කර ඇමරිකාව අසතුටු නොකර ඉන්නට ගෝඨාභය කටයුතු කර නැති බව විමල්ගේ ඉහත ප්‍රකාශයෙන් සනාථ වෙයි. එපමණක් නොව විමල් එක ම වැඩසටහනේ කරන ප්‍රකාශයක් ඔහු විසින් ම අනතුරුව නිෂේධනය කරයි.

      අනෙක් අතට විමල් ප්‍රකාශ කරන ආකාරයේ දෙයක් සිදුවී නම් තමන්ට ඇමරිකානු සරණාගතභාවය ලබා දෙන්නේ නම් රනිල් ඉවත් කරන බවට කොන්දේසියක් දමා ගෝඨාභයට ඇමරිකාවට යාමට අවස්ථාවක් ලබා ගැනීමට ද එහි අවස්ථාවක් තිබිණි. එහෙත් තමා යාමට අපේක්ෂා කළ සියලු ම රටවල් තමා ප්‍රතික්ෂේප කරන පසුබිමක පවා ගෝඨාභය ජූලි චන්ග්ගේ ඉල්ලීමට පිටුපා ඇත.ගෝඨාභය අවසාන මොහොතේ පවා ඇමරිකානු අපේක්ෂාව අනුව රනිල් ඉවත් කිරීමට කටයුතු කර නැත.

      අනෙක් අතට විමල් අනාවරණය කළ මෙම කරුණ මගින් හෙළි වන වඩාත් වැදගත් කාරණය ඇමරිකාව හෝ බටහිර රනිල් තව දුරටත් සිය නියෝජිතයා ලෙස නොසලකන බවය. නොඑසේ නම් රනිල් ඉවත් කර ඉල්ලා අස්වන්නැයි ඇමරිකාව ගෝඨාභයගෙන් ඉල්ලන්නේ නැත. ගෝඨා ඉවත් වූ වහා ජනාධිපති වන්නේ රනිල් බව ඔවුන් නොදැන සිටියා නොවේ.

      ඇමරිකානු ඉල්ලීම අනුව රනිල් ඉවත් කළේ නම් එකල අරාජිකව පැවැති රට නැවත යථා තත්ත්වය⁣ට ගෙන ඒම සිහිනයක් වනු ඇත. කතානායක මහින්ද යාපා ජනාධිපති ධූරයට පත්ව පිස්සු කෙළින අතර රට තුළ සිවිල් යුධ තත්ත්වයක් නිර්මාණය කිරීම ඇමරිකාවේ ඊළඟ සැලසුම වන්නට ඇත. ඔවුන්ගේ අරමුණ එමගින් අපේ රට අස්ථාවර කිරීම පමණක් නොව එම අර්බුදයට හේතුව චීන ආයෝජන බවට ප්‍රවාදයක් ගොඩනඟමින් චීනයට පහර දීම ද බව අප අමතක කළ යුතු නැත. එහෙත් ගෝඨාභය නිසා එය වැළකිනි. ඊට හිමි ගෞරවය ඔහුට ලබා දීමට අප කෘතඥ විය යුතුය.

      අනතුරුව පැවැති අනුප්‍රාප්තික ජනාධිපතිවරණය සඳහා ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වූ අතර සුමන්දිරන්, සම්බන්ධන්, මනෝ ගනේෂන්, රවූෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, තානාපති කාර්යාල, පෙරටුගාමී ඇතුළු අරගල නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන, සජබ ආදී සියලු පාර්ශ්ව ඩලස් දිනවීමට පෙරමුණ ගත්තේය.

      ජවිපෙ 2015 මහින්දට දෙන්න එපා කියමින් මෛත්‍රීට කැම්පේන් කළ විදිහට ම මෙදා රනිල්ට දෙන්න එපා කියමින් අපට දෙන්න කියමින් තම්න්ගේ තුන විතරක් තියාගෙන ඩලස්ට කැම්පේන් කළේය. රනිල්⁣ට ඡන්දය දී ගමට එන්න එපා යැයි ජවිපෙ/ පෙරටුගාමී මැරයින් වෙනම බියගැන්වීමේ මානසික මෙහෙයුමක් දියත් කළේය.

      රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට මෙලෙස බටහිර සිය උපරිම බලය යොදන බව දැන දැන ම විමල් වීරංශ ද ඩලස් ජනාධිපති කරලීමට දරදිය ඇද්දේය.

      ඒ අනුව බලන විට විමල් උත්සාහ කර ඇත්තේ ද රනිල් පන්නා ඩලස් නම් රූකඩය ජනපති කොට, ජූලි චන්ග්ල සිදුකළ ⁣රෙජිම් චේන්ග් එක පරිසමාප්ත කරලීමටය. එහි අවසාන කොටස තරණය කිරීමට මුක්කු ගැසීමටය. එය මට නම් සුළුපටු වරදක් නොවේ. පාස්කු ප්‍රහාරය එල්ල වන බව දැන දැන ම එය වළක්වා ගැනීමට කටයුතු නොකළ අපරාධය වැන්නකි.

      අපේ දේශපාලනය විය යුත්තේ සමාජය ඉවකර එහි මතු වන ඕනෑ ම රැල්ලක් මත නැග වීරයින් වීම නොව කෙතරම් දුෂ්කර වුව ද රටට අහිතකර රැල්ලට එරෙහිව උඩුගං බලා පිහිනමින් රට පැත්තේ සිට ගැනීමය.

      Delete
    2. ඔබ හිතාමතා හෝ නොදැන කාරණා කිහිපයක් අමතක කරනවා.

      රනිල් යනු නැවත නැවතත් අසාර්ථක වූ පුද්ගලයෙක්. රටක් තියා අඩුම ගන්නේ ලොව පුරාම සංවිධාන ජාලයක් තිබෙන රුපියල් බිලියන ගණනක වත්කම් තිබෙන එජාපය රැකගනිමටවත් ඔහුට නොහැකි වුණා (මම කියන්නේ චන්ද පැරදීමම නෙවෙයි. ඔහුට පක්ෂය රැක ගන්න නොහැකි වුණා).

      රනිල්ට සුපුරුදු මර්දනය ඔහු පක්ෂය ඇතුලෙත් ඉන් පිටතත් හැමදාම යොදාගත්තා. අද කියලත් වෙනසක් නැහැ. ඔහු අරගල කරුවන් ඉතා විහිළු කාරණා වලට අත්අඩංගුවට ගන්නවා. නමුත් රටේ තත්වයට් ඍජුවම සම්බන්ධ දේශපාලකයන් නිදැල්ලේ. ඔහු තරුණයන්ට නොකියා කියනවා සන්නද්ධ අරගලයක් හැර උඹලාට වෙන විකල්පයක් නැති බව.

      රනිල්ට විදේශ සම්බන්ධතා තිබෙනවා යන්න තවත් විහිළුවක්. මේ වෙනකොට කිසිම රටක් හෝ ණය දෙන ආයතනයක් ඔහුට ආධාර ලබාදෙන්න සුදානම් නැහැ. ඊයේ UNHR statement එක කියවන්න. අපි වගේ බත්පතේ ඉඳන් වැසිකිළි භාජනේට යනකල් හැමදෙයක්ම පිටරටින් හිගාකන රටකට අනෙක් රටවල් කියන දේ නොකර ඉන්න බැහැ. විදේශ ආධාර කෙසේ වෙතත් GSP+ එකත් නැතිකරගන්න වගෙයි.

      රනිල් ඉන්ධන සහ ගෑස් මිල සොච්චමකින් අඩුකර ජලය විදුලිය 75% න වැඩි කරනවා. ඔහු දැන් ලබා දෙන්නේ ඔහු එන්න පෙර භාණ්ඩාගාරයේ තිබූ අන්තිම සතයත් හූරා ගෙවපු තෙල් නව තුනේ ඉන්ධන සහ ගෑස් නැව් දෙකේ ගෑස්. ඕක තව සතියකින් දෙකකින් ඉවර වුන ගමන් මොකද කරන්නේ කියල අපි බලමු.

      රනිල් කරන්නේ රට අරාජිකත්වයෙන් බේරගන්න එක නෙවෙයි. රාජපක්ෂලා ඇතුළු උන්ගේ ගොබ්බ සෙට් එක මහජන උදහසින් බේරගන්න එකයි. ඒ වෙනුවෙන් මිනිහට ලැබුණු ගාස්තුව තමයි ඔය පිං ජනාධිපති කම. ඕක නොතේරෙනවා නම් ඒක මොළේ ආබාධයක්. ඔය ජනාධිපතිකම පුස්සක්. මිනිහ පොහොට්ටුවේ උන් කියන දේ නොකළ ගමන් ජනධිපති වැය ශීර්ෂය කපල දානවා. ආයෙත් දෝෂාභියෝග ගෙන්න ඕනේ නැහැ.

      මට හිතෙන විදියට රනිල් ඉතාම දරුණු ඛේදවාචකයකට මුහුණ දීල මේ ලෝකෙන් සමු ගනියි. ඒක එක අතකට හරිම අවාසනාවන්ත තත්වයක්.

      Delete
    3. @ Ano 3.13 & Mr De Silva

      ඔබලා මෙතන වාද විවාද කරන්න අවශ්‍ය නෑනේ දෙන්නම රනිල් වික්‍රමසිංහට කැමති නෑ නේද? එහෙම නම් මෙන්න සුභාරංචියක්...

      මේ වන විටත් ජාතික ජන බලවේගයට හිතවත් සමාජ මාධ්‍ය හරහා පෙන්වා දී ඇති පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නිවරදි උපන් වෙලාවට අනුවට ජෝතිෂ්‍ය විද්‍යාත්මකව බලන කළ මීළඟ රටේ නායකයා ලෙස ඔහු නියත වශයෙන්ම 2022 නොවැම්බර් මාසයේන් පසුව පත්වනු ඇති බව ලංකාවේ පිළිගත් ජ්‍යේෂ්ඨ ජ්‍යොතිෂවේදී කසරචේ ඒ යූ සරත්චන්ද්‍ර මහතා මේ පහත දැක්වෙන වීඩියෝ එකේ ඉතාම පැහැදිලිවවිස්තර කරනවා.

      https://youtu.be/Wkb0_wRtg5g

      ඉන්පසුව අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් ජයග්‍රහණ රැසක් රටට ලබාදෙනු ඇති බව ද ඔහු දැඩි විස්වාසයක් සහිතව ප්‍රකාශ කරන නිසා මම හිතන්නේ මේක ඇත්ත වෙන්න පුළුවන් බොහෝ දුරට අනිවාර්යයෙන්ම මේක වෙනවා කියලා පේනවා නේද?

      Delete
  6. චන්දිම,

    ඔබ කියන පරිදි ලංකාවේ ජන මනස අවදි වුණේ හිරුණිකා ගේ සද්දයක් නිසා කියලා

    ඔබ අදහස් කළේ තිදරු මාතාවක් වන ගෞරවනීය හිරුණිකා මැතිනිය මිරිහානේදී කළ අරගලය ගැන විය යුතු යි නමුත් ඊට පෙරත් ඇය ඉතාමත් විශිෂ්ඨ අන්දමින් ලංකාවේ දේශපාලනයගැන ඓතිහාසික ප්‍රකාශයක් නිකුත් කළා මේකේ ඒ ගැන ඉතාමත් කෙටියෙන් වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා


    https://www.facebook.com/632203695/posts/10162096073813696/?app=fbl

    🤔

    මෙය අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක් ලංකාවේ දේශපාලනය මොනතරම් නම් අවස්ථා වාදී කපටි ස්වභාවයක් ගන්නා බව ඉතාමත් පැහැදිලියි ඒ නිසා එතුමියගේ මේ අති විශිෂ්ට අනාවරණය අනුව...

    ReplyDelete
    Replies
    1. හිරුනිකාගේ සමස්ථ දේශපාලන ක්‍රියාවලිය හෝ හිරුනිකා නම් චරිතය මෙතැනට අදාළ නැහැ. මා අදහස් කලේ ඇය සහභාගී වුන එක් සංසිද්ධියක් ගැන විතරයි. එයත් ඇය කුමන චේතනාවකින් කළාදැයි මම දන්නේ නැහැ, නමුත් එය මා සඳහන් කල පසු-ක්‍රියාවලියට විශාල වශයෙන් පාදක වුණා. ඉංග්‍රීසි යෙදුමක් තිබෙනවා "Analyze the action not the people" කියලා. මේක අපිට ඉදිරියට යන්න ගොඩක් වැදගත් වෙනවා.

      Delete
  7. @ Chandima Gomes

    ඔබ ජීව විද්‍යාව හදාරා තියෙනවා නම් දන්නවා ඇති මිනිස් මොළයේ ඉස්සරහින් තියෙන කොටස (Prefrontal Cortex) පූර්ණ වශයෙන් වර්ධනය වෙන්නේ වයස අවුරුදු 25 ක් වත් වෙනකොටයි. ඒ කොටස තමයි අපට “ඥානය” දෙන්නේ. ඒ කියන්නේ කිසියම් අර්බුදයකදී කලබල වෙලා හැඟීම්බර වෙලා මෝඩයෙක් වගේ හත් පොලේ ගාගන්නේ නැතිව තත්ත්වය හොඳට ඇනලයිස් කරලා අත්දැකීම්වල මතක සමග ගලපා තීරණ අරගෙන කටයුතු කරන්න හැකියාව දෙන්නේ මොළයේ ඒ ඉදිරි කොටසෙන්. බුද්ධිමත්ව වැඩ කරනවා කියන්නේ ඒකෙන්. මම මේ කියන්නේ ඉතාම සරලව. සාමාන්‍යයෙන් ටීන් වයසේ ඉඳලා අවුරුදු විසිපහ අතර කාලය තුළ තරුණ තරුණියන් මෝඩ අවදානම් සහගත සහ ජෝක් වැඩ කරන්නේ ඒ ඉදිරිපස කොටස තවම හරියට වර්ධනය වෙලා නැති නිසයි. ලංකාවේ ඔය රැඩිකල් කියලා වචනයක් දාගෙන චාටර් වෙන වැඩ කරන්නේ ඒකයි.

    සාමාන්‍යයෙන් අවුරුදු 30 පැනලා වයස යනකොට මොළයේ මේ ඉදිරිපස කොටස සහ අනෙකුත් කොටස් සමග හැදෙන ස්නායු සම්බන්ධතා තහවුරු වෙන්න පටන් ගන්නවා. මයලින්වලින් ඒ ස්නායු සෛල වටවෙලා විද්‍යුත් රසායනික සම්බන්ධතා තීව්‍ර වෙනවා. එතකොට ඕනෑම දෙයක් ගැන තීරණ ගන්නකොට මොළයේ විවිධ කොටස් අතර සම්බන්ධයෙන් සමබරව හිතනවා. අවදානම් සළකා බලනවා. තාවකාලික කික් එකක් එන මෝඩ වැඩ කරන්න ඉස්සෙල්ලා හොඳට හිතනවා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් ආයතනයක වුණත් තීන්දු තීරණ ගැනීමට අවුරුදු 35 ටවත් වැඩි වයස්වල අය යොදාගන්නේ.

    අපි දැක්කා ලංකාවේ රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබා දිමට ක්‍රියාත්මක වූ ලංකාවේ මේ අරගලය තුළ මේ හැසිරීම්. මොළයේ ඉදිරි කොටස හරියට වර්ධනය නොවුණු තරුණ තරුණියන් තමයි එහි වැඩිපුරම හිටියේ. කෝච්චිවලින් වැඩිපුරම කොළඹ ආවේ ඔවුන්. අවාසනාවකට දැන් ඒ සමහරු හිරේ. ඔවුන් හැසිරුණේ උන්මාදයකින් වගේ. මේකත් ඒ වයසේ ලක්ෂණයක්. එනම් තමන්ගේ සමවයසේ අය ගොඩක් ඉන්නකොට විවිධ ආකාරයේ හැකියාවන් ශිල්ප, ජෝක් කරලා කට්ටිය පුදුම කරවන නැත්නම් හිනස්සන ගතිය එම වයස් වල සාමාන්‍ය පුරුද්දක්. කොළු ගැටව් ඔය විකාර වැඩ එහෙම කරනවා ගැටිස්සියන්ට පේන්න. ටික්ටොක් යූටියුබ් ෆේස්බුක් ලයිව් ඇවිල්ලා තමන්ගේ විවිධ ආකාරයේ හැකියාවන් පෙන්වන්නේ ඒකයි. ඒක මානව හැසිරීම් රටාවේ ප්‍රාථමික මේටින්ග් චර්යාවක්.

    සාමාන්‍යයෙන් වාමාංශික මතධාරීන් ලෝකයේ කොහෙත් විප්ලවවලදී යොදාගැනෙන්නේ මෙන්න මේ වයසේ සෙට් එක. ජේවීපී පෙරටුගාමී පක්ෂ විසින් අපේ මවු රට ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැමදාම කඳුළු ගෑස් ජල ප්‍රහාර කන්න දක්කන්නේ මෙන්න මේ ජීවවිද්‍යාත්මක කාරණය අවභාවිතා කරලා. මොකද ඔවුන්ගේ මොළය තවම පූර්ණ වශයෙන් වර්ධනය වී නැති නිසා ඒ තමන්ට කරන අපයෝජනය තේරුම් ගන්න ඔවුන්ට බැහැ. ඔවුන් හිතන්නේ ඔවුන් කරන්නේ වීරකමක් කියලයි. ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නාලිකා ටාගට් කරන්නේ ඔය සෙට් එක. මොළේ පූර්ණ වශයෙන් වර්ධනය අවසාන වෙලා නැති නිසා ඔවුන්ව ඒ වයසේදී අන්දන්න ලේසියි.

    මම දකින විදිහට ආචාර්ය නිර්මාල් දේවසිරි වැනි ඇකඩෙමික් වැඩිහිටියන් හරිනම් මේ විද්‍යාත්මක සමාජ චර්යා පිලිබඳ යථාර්ථයන් දැන සිටිය යුතුයි. නමුත් ලංකාවේ වැඩිහිටි සිවිල් ක්‍රියාකාරිකයන් බොහෝ විට ස්වභාවික විද්‍යා අංශවල අය නොවෙයි. ඔය කලා අංශයේ නළු නිළියන් වගේ අය ජීව විද්‍යාත්මක හැදෑරීමක් කරපු අය නොවෙයි. මට දැන් වයස අවුරුදු 39 ක්. මගේ පළමු උපාධිය ජාන විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ජීව රසායන විද්‍යාව. ශාස්ත්‍රපති උපාධිය කළමනාකරණ විද්‍යාව. ජීවිතයේ බොහෝ අත්දැකීම් ලබලා රට රටවල ඉගෙනගෙන පොඩිම තැනින් පටන් අරගෙන වෘත්තියේ ඉහළටම ගිහිල්ලා විවිධාකාරයේ මිනිස්සු සමග ගැටිලා වැටිලා නැගිටලා ගෙවල් හදලා පවුල් හදලා ලෝකය ගැන යම් තරමකින් හෝ අවබෝධ කරගෙන ඇති මගේ අත්දැකීම් අනුව ජීවිත කාලයම එකම ක්ෂේත්‍රයක එකම රැකියාවක් කරපු කෙනෙකුගේ මොළයේ ස්නායු සම්බන්ධතා සහ විවිධ දැනුම් සහ එකිනෙකට වෙනස් ලෝක අත්දැකීම් ලබපු කෙනෙකුගේ ස්නායු සම්බන්ධතා තහවුරු වෙන්නේ වෙනස් ආකාරයට. මම දකින විදිහට කොග්නිටිව් ෆැකල්ටි හරියට වර්ධනය වෙච්ච මිනිහෙක් කවදාවත් “ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න” කියලා කියන්නේ නැහැ.

    ඒ නිසා විය යුතුයි ගෝඨාභය රාජපක්ෂ කියන වයස්ගත අත්දැකීම් බහුල පුද්ගලයා ඔය නොමේරු තරුණ තරුණියන්ගේ බොළඳ හැසිරීමට අනුකම්පා කරන්න ඇත්තේ. අරගලය පාලනය කළ යුත්තේ සහ නොකළ යුත්තේ කෙසේද කියා වැඩිහිටියෙක් හැටියට ඔහුට අවබෝධයක් තිබුණාද දන්නේ නැහැ. ඒත් විය හැකියාවන් ගැන අප කාටත් වඩා අදහසක් තිබෙන්නට ඇති. ඒ නිසා වෙන්න ඇති ඔය අරගලය මහා ලේ වැගිරීමක් නොවී අවසාන වන්නේ.

    මම හිතන්නේ හමුදා නිලධාරීන් යොදාගෙන ගෝඨාභයට රනිල් වික්‍රමසිංහ වගේ මර්දකයෙක් වෙන්න බැරි වුණේ ඇයි කියලා අහන්නේ බොළඳ මිනිස්සු. ගෝඨාභය මුහුණ දුන් අරගලය සහ රනිල් මුහුණ දුන් අරගලය ඉඳුරා වෙනස්. රනිල්ට අමුතුවෙන් පාලනය කරන්න දෙයක් ඇත්තටම තිබුණේ නැහැ. මම හිතන්නේ ඉවසිලිවන්තව ගෝඨාභය ගත් තීරණ විසින් අරගලය කොහොමත් පරාජය කරලයි තිබුණේ. ඒ ගැන වෙනම ලිවිය යුතුයි.

    ReplyDelete