Sunday 20 March 2022

කිකිළිද බිත්තරේද?


සමාජ වියසනයක් යනු ශිෂ්ඨාචාරය බිඳ වැටීමයි. මානව සමූහයක් එක්ව ජීවත්වීමේදී එම පද්ධතිය ස්ථාවරව පවත්වාගැනීම සඳහා ඔවුන් යම් රීති රාමුවක් සාදාගනී. එම රාමුව සදාචාරය ලෙස ඔබට හැඳින්විය හැක. ශිෂ්ඨාචාරයක් ගොඩනැගෙන්නේ මෙම සදාචාරයට අනුකූලවය. 

සදාචාරය ස්ථාපිත කිරීම සඳහා මානවයා නොයෙකුත් ක්‍රමවේද අනුගමනය කරයි. නායකයෙකුගේ අණ පිළිපැදීම සහ එම අණ වඩාත් බලවත් කිරීම සඳහා නොපෙනෙන සුපිරි බලවේගයක පිහිට පැතීම මුල් අවධියේම ඇතිවී අද දක්වා පැවතීගෙන එයි. මෙම සුපිරි බලය පසුකාලීනව ආගම් බවට පත්වී ආගම කෙමෙන් සියළු දෙනාටම පොදු එකඟතාවයකින් පිළිගත හැකි අණ පනත් එනම් නීතිය බවට පත්විය. එහෙත් තවමත් නීතිය ආගමෙන් පුර්ණ ස්වායත්ත වීමක් බොහෝ සමාජ පද්ධති තුල සිදුවී නැත. රටවල් ගණනාවකම අදටත් පුද්ගලයෙක් උසාවියේ සාක්ෂි දීමට පෙර තමා අදහන ආගමකට අදාළ පොතක අත ගසා දිව්රුම් දීම සිදුවෙයි. ආගමෙන් සම්පුර්ණයෙන්ම ස්වායත්තව තැනූ  "සමාජවාදය" වැනි රීති පද්ධති පවත්වා ගැනීම අපහසු බව මෑත ඉතිහාසය පෙන්වා දෙයි.

සමාජ  වියසනයකදී සිදුවන්නේ ඉතා කෙටි කලකදී මෙම රාමුව බිඳ වැටීමයි. එවිට ආගම සහ නීතිය විසින් බැඳ දමා තිබූ හිංසනය, අන් සතු දේ පැහැරගැනීම, ලිංගික අපචාර ආදී, ඕනෑම සදාචාරාත්මක රාමුවක් විසින් විලංගු දමන මානව හැසිරීම් තවදුරටත් මෙල්ල කිරීමට උපාය මාර්ග නොපවතී. සෑම පුද්ගලයෙක්ම හෝ පවුලක්ම තනි ඒකකයක් බවට පත්වී ස්ව-පැවැත්ම සඳහා කටයුතු කරන තත්වයකට පත්වේ. එවිට ශිෂ්ඨාචාරය බිඳ වැටේ. ලාංකික සාහිත්‍යයෙහි හමුවන "මුරුගසන් වර්ෂාවට තෙමීම" යන සංකල්පය මෙම ශිෂ්ඨාචාරයේ බිඳ වැටීම අර්ථ දක්වයි. 

සමාජ වියසනයකට හේතු පාදක වන කාරණා කිහිපයකි. සමස්ථ සමාජ පද්ධතියටම බලපාන ඉතා දරුණු ස්වභාවික හෝ මිනිසා විසින් නිර්මාණය කල විපතක් ඇතිවීම ඉන් මූලික කාරණයකි. උදාහරණයක් ලෙස මුළු රටටම බලපාන පරමාණු බෝම්බ පිපිරීමකින් පසු හෝ ඉබෝලා වැනි දරුණු වසංගතයක් තුලින් සමාජ වියසනයක් ඇතිවිය හැක. දෙවන කාරණය මෑත අතීතයේදී ලයිබීරියාවේ සමහර පැතිවල විද්‍යමාන විය. 

කිසිඳු පාර්ශවයක් පැහැදිලි ජයග්‍රහණයක් නොලබන යුධමය හෝ දේශපාලන තත්වයකදී සමාජ වියසනයක් ඇතිවිය හැක. රුවන්ඩාව, සෝමාලියාව, බොස්නියාව ආදී රටවල යම් කාල සීමාවකදී අපි මේ තත්වය දැක ඇත්තෙමු. 

ඊළඟ කාරණය ආර්ථික බිඳ වැටීමකි. රටක ආර්ථිකයක් බිඳ වැටීමට මූලික වන කාරණා කිහිපයකි. ස්වභාවික විපත්, පාලකයාගේ අනුවණ තීරණ, සමාජ පද්ධතිය තුල සිදුවන දීර්ඝකාලින දුෂණය, භිෂණය, වංචාව, ජාතිවාදය, කුලවාදය, ආගම්වාදය ආදී කරුණු මීට ඇතුලත්වේ. 

සමාජ පද්ධතියේ දීර්ඝකාලීනව සිදුවන අවැඩ සමාජ වියසනයක් ලෙස හැඳින්විය නොහැක. මන්ද එය සිදුවන්නේ ශිෂ්ඨාචාරයේ රාමුව පවතිද්දීය. එබැවින් රටක ජනතාවට සහ සමාජ නායකත්වයට අවශ්‍යතාවය සහ හැකියාව ඇත්නම් මේ තත්වය පාලනය කර ඉන්පසු වෙනස් කල හැකිය. නමුත් සමාජ වියසනයකට පද්ධතිය අවතීර්ණ වූ විට එය ප්‍රතිවර්තනය කල නොහැක. මුළු සමාජ පද්ධතියම ආගධයේ පතුලේ වැදී සුනුවිසුණු වන තෙක් ක්‍රියාවලිය අවසන් නොවේ. 

අද ලංකාවේ තැන තැන ඇතිවන සුළු සුළු මානව ගැටුම් සමාජ වියසනයක මූලික අවස්ථාවේ ගති ලක්‍ෂණ පෙන්වයි. ආණ්ඩුව විසින් විශාල වශයෙන් තව තවත් ණය ගනිමින් (දැන් වෙන කල හැක්කේ කුමක්දැයි මට නොතේරේ) යන ගමනේ ස්වරුපය අනුව ලාංකිකයා දිනෙන් දිනම වැඩිවන සමාජ වියසනයක් කරා ඇදෙන බව පෙනේ. මේ තත්වයට රට අනුගත වන බව මම පැවසුවේ මීට වසරක කිහිපයකට පෙරය. දැන් කුමක් කල යුතුදැයි තනි ඔළුවකින් තීරණ ගැනීම භයානකය. ආණ්ඩුව විසින් ඇතිවන තත්වය තේරුම් ගන්නේ ඉතා දිගු පමාවකින් පසු බව පෙනෙන්නට ඇත. ඔවුන් තුල තවමත් ඇත්තේ බලයේ රැඳී සිටීමේ අභිප්‍රාය පමණක් බව පෙනෙයි. මට වැටහෙන ආකාරයට නම් විපක්ෂයද පවතින තත්වයේ බරපතල කම වටහාගෙන නොමැත. 



6 comments:

  1. A merger of NPP and PCR's 43rd brigade would be the best at this point, but seems it's highly unlikely.
    BTW, අර කලින් පෝස්ට් වලට 'කෝ, වැටෙනව කිව්වට වැටුනද?' කිය කිය අහල කමෙන්ට් කරපු කට්ටිය අතුරුදහන් වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. 100% agreed. I think both parties are relatively uncorrupt and highly capable. They have a difference in their economy roadmap which could be ironed out through dialogue.

      Delete
    2. සෝභිතලා, මංගලලා යන්න ගොහිං,මහින්දලා, මෛත්‍රීලා, සජිත්ලා ඉතුරු වෙලා ඉදිරිය
      බොහොම අඳුරුයි. ව්‍යාකූලයි.

      Delete
    3. ඇත්තටම චන්දිම මහතා ලංකාව ගැන එක එක කට්ටිය දැන් දශක ගානක් ඉදන් කියවන්නේ රටේ ආර්ථිය වැටෙනවා කියන බයිලාවමනේ? අපි පුංචි කාලේ ඉඳන් මට මතක හැටියට

      "බුදු අම්මෝ, ලයිට් කපනවා බඩු මිළ අම්බානක් වැඩියි (2000/01), ආර්ථිකය සෘණ වෙලා සම්පූර්ණයෙන්ම විනාශයි (2001), රට සම්පූර්ණයෙන්ම විකුණලා උතුර කොටියට පාවාදීලා (2003/04), මේ යුද්ධය පර්දිනවා රටම ඉවරයි (2006/08), රටම ධනය හොරාකාලා තව අවුරුදු දෙකකින් රටම ඉවරයි, (2013/14 කාලේ), කොටි නැගිටලා ආයේත් රටම විනාශයි (2015/16) / දැන් සැපද රට සම්පූර්නයෙන්ම බංකොළොත් (2018), බුදු අම්මෝඅ රටට ලෙළවිලා ආයේත් යුද්ධයක් ඇවිත් රටින් ඉක්මනටම තොලොන්චි වෙලා යන්න ඕනා (2019 අප්‍රේල් මැයී, කොවිඩ් නිසා රට වහලා ලබන අවුරුද්දේ ආර්ථිකය කඩන් වැටෙනවා (2020), ලබන මාසේ වැටෙනවා, හෙට වැටෙනවා, අද හවස නම් අනිවාර්යයෙන්ම වැටෙනවා, තව ටිකකින් වැටෙයි, තව විනාඩි පහයි දැන් වැටෙයි, (2021 සිට මේ දක්වා)) කියලානේ. දැන් මේ දවස්වල තියෙන ටෙම්පරරි ඩොලර් හිඟය නිසා විදුලිය කැපීම, තෙල් ගෑස් හිඟය වගේ දේවල් බඩු මිල ඉහළ යාම් සහ තාවකාලික ආර්ථික පසුබෑම තව සති කීපයකින් හරි යන බවක් පේන නිසා ඇත්තටම ලංකාවේ ආර්ථිකය ඇත්තටම වැටෙන්නේ කවදා විතරද? ලබන ජූලි මාසයේ වත්ද? තව දෙයක් ඔය ආර්ථිකය වැටෙන වෙලාවට තුවාල නොවී රිදෙන්නේ නැතිවෙන්න වට්ටගන්න බැරිද?

      Delete
    4. to Anonymous:මට මේ පිළිතුර ලියන්න අවස්ථාව ලබා දීම ගැන ඔබට ස්තුතියි. නමුත් බොහෝ විට මේ පිළිතුර ඔබට වැටහෙන එකක් නැහැ. එම නිසාම එය ඔබට වැඩදායි වන එකක් නැහැ. මම මෙය ලියන්නේ කියවන තවත් බොහෝ දෙනෙකු වෙනුවෙන්.

      ආර්ථිකය වැටෙනවා යයි ග්‍රාම්‍ය ව්‍යවහාරයේ පවතින අදහස සහ ආර්ථික විද්‍යාව හදාරන්නන්ගේ අර්ථ දැක්වීම වෙනස්ය. දිගක් පළලක් ගැඹුරක් නොදත්තෝ Fitch, Moody's rating වල default status යනකල් බලාගෙන සිටිති. ඊටත් පහල මුග්ධයෝ ආර්ථිකය වැටීම ගොම්බෙට්ටක් බිම පතිත වෙන්නාක් මෙන් සිදුවෙතැයි අදහස් කරගෙන සිටිති.

      සමාජ ව්‍යසනයක් කරා යන ආර්ථික බිඳ වැටීමක් ඇතිවෙන මූළික පසුබිමක් පවතී. එනම් "රටක් මූලික අභ්‍යන්තර අවශ්‍යතා සපුරා ගැනීම සම්පුර්ණයෙන්ම මුදල් අච්චු ගැසීම මත සහ මූලික ආනයන සම්පුර්ණයෙන්ම විදේශ ණය මත යැපෙයිද එම රට ආර්ථික අවපාතයට ලක්ව ඇත" යන්නයි. ලංකාව මීට පෙර අනන්තවත් මුදල් අච්චු ගසා ඇත. විදේශ ණයද ලබාගෙන ඇත. එහෙත් ඉහත සංකීර්ණ තත්වයට රට පත්වන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය. ලංකාව ආර්ථික වශයෙන් වැටෙන්නේ එදාය. මේ නිසා ලංකාව වැටෙන්නේ ඊළඟ ජූලියේද, අගෝස්තුවේද ආදී වශයෙන් ඇසීම කෙතරම් අමනෝඥ දැයි යම් පමණක හෝ බුද්ධියක් ඇති අයට වැටහිය යුතුය.

      ඉහත අර්ථ දැක්වීමෙහි වූ කඩ ඉම පසුකල විට සිදුවන්නේ රටට විදේශ අරමුදල් උපයාගැනෙන මාර්ග බිඳ වැටීමයි. වර්තමානයේ ලංකාවේ 100% දේශීය අමුද්‍රව්‍ය සහ සේවා මත යැපෙන නිෂ්පාදන ඇත්නම් ඒ 0.1%වඩා අඩු ප්‍රමාණයකි. වගා ආර්ථිකය පවා සෑහෙන දුරකට ආනයන මත රඳා පවතී. මේ වන විට වී, තේ,කුරුඳු, ගම්මිරිස් ආදී ආර්ථික භෝග වෙළඳපල කඩා වැටෙමින් පවතින්නේ ඒ නිසාය. සැපයුම් අඩාල වන විට විදේශිකයන් පැමිණීම අඩුවෙයි. මේ වන විටත් රටවල් ගණනාවක් ලංකාවට තම වැසියන් යාම වැලක්වීමට travel advisory notes නිකුත් කර ඇත. රටට ඩොලර් ඒමට තිබූ එකම මාර්ගය වූ විදේශ රටවල්වල සේවය කරන ලාංකිකයන්ගේ සම්ප්‍රේෂණද රජයේ අමන තීරණ හමුවේ වියලී ගියේය. දැන් ඩොලරය පා කලත් ලැබෙන ආදායමේ සැලකිය යුතු වෙනසක් නැත. මිනිසුන් යම් පහසු මාර්ගයකට හුරු වූ පසු ඉන් ගලවා ගැනීම පහසු නැත.

      ඉහත තත්වය ආර්ථිකය බිඳ වැටුණු රටක අරුමයක් නොවේ. එය මා සිම්බාබ්වේ, වැනිසියුලාව, ග්‍රීසිය, අර්ජෙන්ටිනාව ආදී රටවල ප්‍රයෝගිකවම දැක ඇත. පකිස්ථානය එතැනට වැටීමට ඔන්න මෙන්න කියා තිබියදී ඉම්රාන් විසින් යම් දුරකට ගොඩ ගන්නා ලදී.

      විවෘත මනසින් දෑස් හැර බලන්නේ නම් ඔබට පෙනේවි මේ වන විට රජයට හැකිවී ඇත්තේ තම උපරිම ශක්තිය යොදා යන්තම් credit line එකක් ලබා ගැනීමට බව. ලංකාවට දැන් කිසිවෙක් ණය දෙන්නේ නැත. ණය ලැබේ නම් එය යම් පමණකට හෝ නිෂ්පාදනය වැඩි කිරීමේ ක්‍රියාවලියකට යෙදිය හැක. ලංකාවට අවසානයට ලැබුණු අවස්ථා දෙකම (බංගලාදේශයෙන් සහ ඉන්දියාවෙන්) credit lines ය. එනම් කෙටි කාලින සහනයක් ලෙස අදාළ රටෙහි භාණ්ඩ මෙරටට ගෙන්වා ගැනීමට ඉඩ දීමයි. එය credit card එකකින් බදු ගැනීමක් හා සමානය. මෙහිදී ලබා දෙන භාණ්ඩ තීරණය කරන්නේද credit line එක දෙන රටයි. ඔවුන් කිසිවිටෙකත් ලංකාවේ නිෂ්පාදන දියුණු කෙරෙන අමුද්‍රව්‍ය ලබා දෙන්නේ නැත. ඒ වෙනුවට ලැබෙන්නේ පාරිභෝගික ද්‍රව්‍යයි.

      තව සතියකින් පමණ ඔබට ඉන්දීය ණයවරපතින් සහනයක් ලැබෙනු ඇත. එය කොපමණ කාලයකටදැයි ඔබම සිතන්න.

      "අර්බුදය දිගුකාලිනය, සහනය කෙටි කාලීනය" මෙය නොතේරෙන තාක් කල් ඔබ සිහින ලෝකයේ සුවයෙන් පසුවනු ඇත.


      Delete
  2. කොහොම වුණත් මේ දවස් වල තියෙන සෝ කෝල්ඩ් ආර්ථික අර්බුදය ඇත්ත එකක් වුණත් එය උවමනාවට වඩා ගොඩාක් භයානක විදියට මවල පෙන්වල තියෙන්නෙ රාජපක්ෂ කල්ලියේ කට්ටිය තමයි. ඕක යට තියෙන ගේම් එක තව ටික දවසකින් බලන්න ඕන තවම හරියටම තේරුම් ගන්න අමාරුයි. අර ගෙවපු අයි එස් බී හරහා ඩොලර් සෑහෙන ගානක් ගල් කර ගතා, දැනට පවතින සෝ කෝල්ඩ් ආර්ථික අර්බුදය දඩමීමා කරගේන රුපියල ෆ්ලෝට් කිරීම කිරීම හා ඉන්ධන ආනයන මිලට විකිණීම, ශ්‍රීලන්කන්, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, ජල සම්පාදනය, ලංගම, දුම්රිය වැනි ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම නමින් එම ගණුදෙණු හරහා විශාල ලෙස මුදල් සොයා ගැනීම, පොහොර සහනාධාරය අහෝසි කිරීමෙන් රජයේ පාලනය අත්හැර දමමින් කෘෂිකර්මාන්තය වෙළඳපොළකරණය (සෝ කෝල්ඩ් බොරු ආහාර අර්බුදය තවම ඇති වූයේ නැහෑ), මේ හරහා ජන මනස හැඩහස්වන කපටි ආණ්ඩුව ණය "ප්‍රතිව්‍යූහගත කරගැනීම" නමින් බොරු බයිලාවක් ගසමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ඒ හරහා එක පැත්තකින් ආණ්ඩුව ගෙන ඒමට මුල් වූ ධම්මිකලා, නන්දනලා, දිලිත්ලා රේනෝලා ශේප් එකේ තියාගෙන උන් කරන බිස්නස් වලට රජයේ සහය නොඩීමට එය හේතුවක් කරගැනීම (දැනුත් දෙරන හිරු ආදීන්ට මේක තේරිලා තමයි ආණ්ඩුවට පලු යන්න බනිමින් සජිත්ගේ පැත්තට හේත්තු වෙලා තියෙන්නේ )
    ආර්ථිකයේ රාජ්‍ය මැදිහත්වීම හැකිතරම් දුරට නියාමනයට සීමා කරමින් ව්‍යවසායකත්වය හා නිදහස් වෙළඳපොළ බලවත් කිරීම, රාජ්‍ය හෙවත් මහජන දේපලක් විකුණාගැනීම (රටේ ඉඩම්වලින් 80%කට වඩා තවමත් අයිති රජයට),පෞද්ගලික හවුල්කාරීත්වයන් හා ඍජු විදේශ ආයෝජන වෙනුවෙන් උපරිම ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කිරීම, රාජ්‍ය සේවා වැටුප් පූර්ණ සංශෝධනයකට ලක්කිරීම, රාජ්‍ය සේවයේ සියලු අලුත් පත්කිරීම්, උසස්වීම්, වැටුප් වැඩි කිරීම් හා වර්ජන අයිතිය අත්හිටුවා සියලු රාජ්‍ය සේවකයන්ගේ අනියම් නිවාඩු 50%කින් අඩු කර වෛද්‍ය නිවාඩු සඳහා රජයේ රෝහලක වෛද්‍ය නිර්දේශයක් අනිවාර්ය කරමින් තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නමින් සහනාධාර කප්පාදුව වගේ දේවල් ගොඩක් කරාවි.

    විදේශ රටවලට හා සමාගම්වලට විකුණා තිබෙන දේපළ යළි පවරාගැනීමක් කිසිසේත්ම සිදුනොකරන බවට පූර්ණ සහතිකයක් ලබාදිමින්, කලාපීය බල තුලනය තුළ විශේෂයෙන් ඉන්දියාව සමග සබඳතා දැඩිව ශක්තිමත් කරන්නට වේවි.

    ලංකාවේ ආර්ථිකයට ආනයන කිරීමට තරම් විදේශ විනිමය ආදායමක් අපනයන, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ හා සංචාරක ව්‍යාපාරය ආදිය මගින් නොලැබීමත් රාජ්‍ය ආදායම් හා වියදම් අතර මූල්‍ය පරතරය පියවාගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් ණය ගෙවාගැනීමට නොහැකි වීමත් නිසා කවුරු හෝ විශ්වකර්මයකු විසින් මේ අර්බුදයෙන් රට ගොඩදමා දෙන බවට ලංකාවේ මිනිස්සු දශක ගනනක් බලා සිටිති, එම විශ්වකර්මයා එම එක එක පුද්ගලයා කැමති දේශපාලකයකු වෙනවා නම් ඊටත් වඩා කැමතියි.

    තව දෙයක් රාජපක්ෂ පවුල හා එහි ගජමිතුරු කම්බා හොරුන් පසුගිය කාලයේ ලංකාවෙන් පිටතට ගෙනගොස් සැඟවූ මුදලක් තිබේ නම්, එය ආපසු ගෙනැවිත්, ඊටත් වඩා ලාභදායී ආයෝජනවල යොදවා හෝ මේ ආර්ථික අර්බුදය පියමං කරගැනීමට ලැබේ නම් මම නම් ආත්මාර්ථකාමී ලෙස කැමතියි, නමුත් මේ බයිලාව ගහන ජවිපෙ උත්සාහ කරන්නේ සිය ආසන සංඛ්‍යාව වැඩිකරගෙන ශක්තිමත් විපක්ෂයක් හදාගේන් පක්ෂයේ ආදායම් වැඩිකරගෙන නායකයන්ගේ සුඛ විහරණය නාමල් යෝශිත ගෝඨා බැසිල් මරා මට්ටමට ඉහල නැංවීම මිස ආණ්ඩු බලය ගන්නට නොවේ, අනිත් එක අද වෙන කොට රටේ අර්බුදය නිර්මාණය කිරීමට පුරෝගාමි වු හා ඊට අත්උදව් දිපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සෙට් එකම තමයි විසඳුම සඳහාත් වාඩි වෙන්නේ. එතකොට ගන්න තීන්දු තිරණ සියල්ලම යලිත් අල්ලස හා දුෂණය සඳහා සිදුරු තියලා තමයි සම්මත කරන්නේ. පසුගිය කාලයේ සම්මත කළ අණපණත් දෙස බැලුවාම මේක පැහැදිලියි. මේකට ඔබේ විසඳුමක් ලෙස පෙනෙන යෝජනාව මොකක්ද?

    ReplyDelete