Monday 31 January 2022

දියුණු රටක් ලැබීමට තරම් ලාංකික ජනමනස දියුණුද?


ස්වීඩන් ගිය පසු මුල් මාස කිහිපයේ අප එහිදී දුටු සමහර දේවල් තරමක් නුහුරු විය. දිනක් උදෑසන මා බයිසිකලය පැදගෙන උප්සලා සරසවියට යන අතර තරමක් ඈතින් බයිසිකලයේ ගිය තරුණියක් ඇදගෙන වැටුණි. මා ඒ අසලට යන විටත් කිහිප දෙනෙක් ඇයව පසෙක පිහිටි බංකුවක් මත හිඳවා තිබුණි. ඇයගේ එක අතක වැලමිටට පහතික් සීරුම් තුවාලයක් විය. විනාඩියක් යන්න මත්තෙන් සයිරනය නාද කරමින් එතැනට ගිලන් රථයක් පැමිණ ඇයව රැගෙන ගියේය. ඔවුන් විසින්ම ඇයගේ සයිකලය අසල පිහිටි කනුවකට යදම් මගින් බැඳ අගුල් දැමීය. 

සරසවියට ගිය මම එහි සිටි මගේ අනෙක් ලාංකික සඟයා සමග කියා සිටියේ "අපෝ මේ මිනිස්සු අධෝ වාතයක් ගියත් ඇම්බියුලන්ස් ගෙන්න ගන්නවා" කියාය. ඒ ලංකාවේ පාර අයිනේ තොග පිටින් මල සිරුරු දැවෙනවා දැක සත් වසරකට වඩා ගත නොවූ සමයකි. එබැවින් මේ ස්වීඩන් ජාතිකයන්ගේ ගති පැවතුම්වල අප දුටුවේ යම් බොළඳ ස්වභාවයකි. සිවිල් සමාජය පරිපුර්ණ වෙමින් ජන විඥානය ඉහල තලයකට දියුණු වන විට මිනිසා විසින් පරිසරය කෙරේ පවතින සංවේදීතාවයද ඊට සමානුපාතිකව වැඩිවන බව තේරුම් ගැනීමට මට තවත් ටික කලක් ගතවිය.  

මෝනා සලින් (Mona Sahlin) සිද්ධිය ස්වීඩනය තුල කරලියට එන්නේද මේ කාලයේය. එවකට උප අගමැති ධුරය දැරූ මෝනා එවකට ස්වීඩනයේ සිටි ජනප්‍රියම දේශපාලකයා යයි කීවොත් නිවැරදිය. ඇය ඊළඟ අගමැති බව බොහෝ දෙනාගේ පිළිගැනීම විය. නමුත් එකවරම ඇයට එරෙහිව දුෂණ චෝදනාවක් මතුවිය. එනම් ඇය රාජකාරි වියදම් සඳහා ඇයට ලබා දී තිබු ණයවර කාඩ් පතෙන් විටින් විට ඇයගේ පෞද්ගලික භාවිතය සඳහා (grocery expences) ක්‍රෝනර් 50,000 පමණ මුදලක් (USD 5000 පමණ) භාවිතා කර ඇති බවයි. පුවත්පත් සාකච්චාවකට පැමිණි ඇය කියා සිටියේ තමාට පෞද්ගලික කාඩ්පත ගෙන ඒමට අමතක වූ කිහිප වතාවක ඇය රාජකාරි කාඩ්පත භාවිතා කර එය නියමිත දිනට ගෙවා දැමු බවයි. ඒ සමගම ඇයට එරෙහිව තවත් චෝදනාවක් එල්ල විය. එනම් ඇයගේ සිඟිති දියණියගේ පෙරපාසල අසල වාහන නැවත්වීම සඳහා නියමිත මුදල් (parking ticket fee) ඇය නියමිත දිනට පෙර ගෙවා නැති බවයි. 

ස්වීඩන් ජනතාව වෙතින් ඇයට එරෙහිව ඉතා දැඩි විරෝධයක් එල්ල විය. උප අගමැතිකමින් ඉල්ලා අස්වූ මෝනා සලින් කුඩා මාධ්‍ය ආයතනයක් ඇරඹුවාය. එතැන් පටන් ඇයට වඩා බොහෝ පහලින් සිටි දේශපාලකයන් පිටුපස මයික් එකක් හෝ කැමරාවක් ඔසවාගෙන දිව යන මෝනා ස්වීඩන රුපවාහිනි වැඩසටහන් වල නිතර දකින්න හැකි විය.

දියුණු රටවල් සියල්ලේම පාහේ මා දකින පොදු ලක්ෂණයක් නම් සමාජ විරෝධී කටයුත්තු පිළිබඳව සමාජයේ ඇති ඉතා දෘඩ මිනුම් ලක්ෂයයි (bench marking). ඔවුන් දුෂණය, භිෂණය, වංචාව පිළිබඳව ගොඩනගා ගත් සංකල්ප තුල කිසිඳු සෙලවීමකට ඉඩ දෙන්නේ නැත. 

එතැන් සිට ලංකාව වැනි නොදියුණු සමාජ සංස්ථාවකට පැමිණෙන කල අපට දකින්නට ලැබෙන්නේ මෙහි සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ සලකුණුය. රටේ ජනගහනයෙන් 95% ම දේශපාලකයාගේ වංචාව සලකුණු කරන්නේ තමන් සහයෝගය දක්වන පක්ෂය මතය. දේශපාලකයා "අපේ කෙනා"  කරගෙන ඇත්නම් ඔහු රුපියල් ට්‍රිලියන ගණනක් මහජන මුදල් කොල්ල කෑවත් අවුලක් නැත. කිසිම තේරුමක් නැතුව දේශපාලකයෙක් හෝ පක්ෂයක් තමාගේ කරගෙන ඇත්තේ ඇයිද කියාවත් තේරුම් ගැනීමට බහුතරයකට බුද්ධියක් නැත. ලංකාවෙන් දියුණු රටවලට විගමනය වී ඇති බහුතරයක් ලාංකිකයන් තුලද දශක කිහිපයක් ගත වුවත් මේ ලාංකික බෙන්ච් මාර්ක් එක වෙනස් නොවීම සුලබ සංසිද්ධියකි. ලංකාව පමණක් නොව සුඩානය, නයිජීරියාව, සෝමාලියාව වැනි වෙනත් නොදියුණු රටවලින් පැමිණෙන ජනතාව තුලද මේ තත්වය පවතී. සමහර විට ඔවුන්ගේ තෙවන පරම්පාරව මේ ශෝකාන්තයෙන් අත්මිදෙනු ඇත. 

සන්ධ්‍ය එක්නැලිගොඩ මහත්මියට අපහාස කරමින් පලකරන පෝස්ට් දකින මට සිතෙන්නේ ලංකාව දියුණු රටක් වනවා තබා ලාංකිකයා තුල ඒ දෙසට යාම ඇරඹීමට සුදුසු ජනමනසක් බිහි වීමටද තව සියවසක් ගතවිය හැකි බවයි. ඔවුන්ට දියුණු රටක වාසය කිරීමට තරම් සංවේදී සහ මානව දයාවෙන් පිරිපුන් වූ මනසක් නැත. තම දේශපාලුවා කල දහසකුත් නොපනත්කම් ඇස් පනාපිට පෙනියදී ඒ සඳහා සාක්කි ඉල්ලන මිනිසුන් එක්නැළිගොඩ මහතා කොටි සංවිධානයට ඔත්තු සැපයුවා කියා පොස්ට් දමන්නේ බුද්ධි අංශ ඔස්තාර්ලා මෙනි. මෙවන් ලාමක අඳබාලයන් සමග යා හැකි ගමනක් නොමැති බව ප්‍රගතිශීලි බලමුළු පවා අවබෝධකරගන්නා දිනය වැඩි ඈතක නැත.  

4 comments:

  1. I think the importance here is socially-developed countries, not just financially-developed. I live in USA, and here just like in SL people only view corruption based on their political affiliation.

    That's the clear distinction I see between US and the Nordic, Scandinavian countries.

    ReplyDelete
    Replies
    1. @ Anonymous1 February 2022 at 09:57

      ඔබේ අදහස් සමග එකඟයි, නමුත් ලෝකයේ විවිධ රටවල ඒවාට අනන්‍ය වූ ප්‍රශ්න සහ ඒවා පවතින සන්දර්භය තුළ සුදුසුම විසඳුම් සොය ගැනීම කළ යුතුයි, වෙන රටක් දිහා බලාගෙන අපේ රටත් එහෙම කරන්න පුළුවන් කියලා හිතන එක සාර්ථක නෑ, එයින් යම් ආදර්ශයක් ගත හැකි වුණත් ලංකාවට වඩාත් සුදුසු විසඳුම් අප විසින් හොයා ගත යුතුයි.

      මගේ අදහස අනුව ලංකාවේ කරුණු කාරණා වැටහෙන දැන උගත් බුද්ධිමත් ජනතාව අතර පුලුල් සංවාදයක් ගොඩ නැගිය යුතුයි, ඒ අවම වශයෙන් රටක් පාලනය කළ යුතු ආකාරය, ජනරජයක් (Republic) ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරණ ගත යුතු ආකාරය, ලංකාවේ කේන්ද්‍රීය ප්‍රධානතම අර්බුද, එනම් විශාල අකාර්යක්ෂමතාවය රජයන රජයක් නඩත්තු කිරීම, එම රජයේ ආදායම් වියදම් අතර උග්‍ර හිඟය, විදේශ විනිමය අර්බුදය හා ගෙවුම් ශේෂ හිඟය, දැඩි ලෙස ආත්මාර්ථකාමී වෘත්තීය සමිති හා වෙළඳ ප්‍රජාව කළමනාකරණය පිළිබද මූලික අවබෝධයක් ලැබෙන පරිදි ලංකාවේ සැබෑ අර්බුදය ප්‍රධාන ධාරාවේ පොදු ජනයා අතර ඉතා ගැඹුරු සාකච්ඡාවක් දක්වා විහිදිය යුතු වන්නේ, සාමාන්‍ය ජනයාට සරලව තේරෙන බසින් සහ වඩාත් දැන උගත් අයට වඩා ගැඹුරු ලෙසින් ගෝලීය සමාජ ආර්ථික ප්‍රවණතා අනුව ලංකාවේ රෝග නිධානය තේරුම් ගෙන එයට සාමූහිකව බහුතර මහජන සහාය ඇතිව විසඳුම් සොයා ගත යුතුයි.

      හිසරදයට කොට්ට මාරු කරන විසඳුම් වලින් වෙන්නේ රෝගය උත්සන්න වී ලෙඩා මියයාම පමණයි. ලංකාවේත් දැනට සිටින රාජපස්ස ආණ්ඩුව දිගටම ආණ්ඩු කළත්, ආණ්ඩුව මාරු වුනත්, මුහුණ දෙන්න වන ලංකාවේ ආර්ථිකය පිළිබඳ දරුණු ආකෘතිමය ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රශ්න නොවිසඳා දිගුකාලීනව ලංකාවට කෙසේවත් ගොඩ යා නොහැකියි. මේ ප්‍රශ්න ඔලු ගෙඩි මාරු කරලා හෝ නාස්තිය දූෂණය අඩු කරලා විසඳිය හැකි සරල ප්‍රශ්න නෙමෙයි. (වෙනත් විදිහකින් කිවුවොත් නාස්තිය දූෂණය අඩු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වුවත් කිසිසේත්ම ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි) එදා වේල විසඳුම් වලින් මේ මොහොතේ ප්‍රශ්නය ගොඩ දා ගන්නවා කියන්නේ වසර කිහිපයකට පසුව වඩා දරුණු කඩා වැටීමක අභියෝගයට මුහුණ දෙන්න වෙනවා කියන එකයි. මේ ප්‍රශ්න වලට කෙටිකාලීන විසඳුම් නැහැ. එහෙත් හරි මාර්ගයේ ගියොත් වසර 20ක පමණ කාලයකින් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. එම කාලය අතරතුර බහුතරයට පිළිගත හැකි ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලක් වෙනස් නොකර එක දිගට ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා. දේශපාලන ස්ථාවරත්වය යන්නෙන් අදහස් කළේ ආණ්ඩු මාරු නොවී, එකම පක්ෂයක් බලයේ සිටිය යුතු බව නෙමෙයි. ආණ්ඩු වෙනස් වෙද්දී වෙනස් නොවන ස්ථිර වැඩ පිලිවෙලක් අවශ්‍ය බවයි. ආණ්ඩු වෙනස් කිරීමේ නිර්ණායකය විය යුත්තේ අදාළ වැඩ පිළිවෙළ හරියට ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එකයි. විපක්ෂය විසින් පවතින කවර හෝ ආණ්ඩුව විවේචනය කළ යුත්තේත් එම පදනමේ සිටයි.

      Delete
    2. මෙවැන්නක් සිදු විය හැකි එකම ක්‍රමය එවැනි පොදු වැඩ පිලිවෙලක් සම්බන්ධව රටේ බහුතර ජනතාවට බලාපොරොත්තුවක්, විශ්වාසයක් හා අවබෝධයක් ඇති වීමයි. මේ කාරණය ඉටු කර ගැනීම සඳහා එවැනි වැඩ පිළිවෙලක් සම්බන්ධව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හා යම් ජන පදනමක් ඇති තෙවන පක්ෂ අතර පුළුල් එකඟතාවක් ඇති විය යුතුයි. රටට ලොකු මිලක් ගෙවන්න වන තුරු මෙවැනි එකඟතාවක් ඇති වෙයිද කියන එක සැක සහිතයි. වැඩේ පටන් ගන්න කවුරු හෝ කණ්ඩායමක් මුල් වී එවැනි පුළුල් වැඩ පිළිවෙලක් හදා එය සංවාදයට බඳුන් කළ යුතුයි.

      අවශ්‍ය වන්නේ තාවකාලික ස්ථාවරත්වය ඉක්මවා යන දිගුකාලීන ජාතික උපාය මාර්ගයක්. ලංකාවේ සන්දර්භයේ නීතියෙන් බලාත්මක කිරීම කියන එක විහිළුවක්. ආණ්ඩුව මාරු වූ ගමන් නීති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතා කෙටි කලකින් සංශෝධනය විය හැකියි. ඒ නිසා, බහුතර ජනතාව තුළ පහසුවෙන් කඩා නොවැටෙන බලාපොරොත්තුවක් හා අචල විශ්වාසයක් ඇති නොවන තාක් දිගුකාලීන ජාතික වැඩ පිළිවෙලක් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වන්නේ නැහැ. එවැන්නක් ඇති කළ හැක්කේ කරුණු හා සාක්ෂි මත පදනම් වූ, ඕනෑම විවේචනයකට පිළිතුරු තිබෙන වැඩ පිළිවෙලකට පමණයි. එවැනි වැඩ පිළිවෙළක් හදා ගැනීමේ ප්‍රවේශය විය යුත්තේම හැකි තාක් විවේචන වලට විවෘත වීමෙන් හා විවේචන නිවැරදි බව පෙනෙන තැන් වලදී වැඩ පිළිවෙළ සංශෝධනය කර ගැනීමට අවංක වීමෙන්. මුලදීම ඔය වැඩේ නොකළොත් කල් පසුවී වැඩ පිළිවෙළේ අඩුපාඩු පේන්න පටන් ගැනීම හා ඒ හේතුවෙන් ඒ පිළිබඳ විශ්වාසය පළුදු වීම නොවැලැක්විය හැකියි.

      මෑතකදී 43 සේනාංකය රටට ඉදිරිපත් කළ "ගොඩ එමු ගොඩ ගනිමු" ප්‍රකාශනය, මීට වසර දෙකකට පමණ කලින් වියත්මග විසින් එළි දක්වා ඇති අතරින් "පිරිපුන් දේශයක් වෙනුවෙන්" හා "සෝදාපාළුව" සේ නම් කර තිබෙන ලියැවිලි දෙකත් 2021 ඔක්තෝබර් වල මහ බැංකුවේ සයමාසික වැඩ පිළිවෙලත් මීට පදනම් සේ ගත හැකියි, ජවිපෙ (අලුත් නම ජා.ජ.බ.) "අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්" නම් වූ ලියැවිල්ල ගැඹුරු හැදෑරීමක් නැතිව හුදෙක් වැඩි ආර්ථික දැනුමක් නොමැති පොදු ජනතාව අරබයා සකස් කළ සරල ලියැවිල්ලක්, ඒ නිසා ජවිපෙ (ජා.ජ.බ.) කණ්ඩායමටත් මීට වඩා හොන්දින් හැදෑරීම් කර වඩා හරවත් පදනමක් සහිත ලියැවිල්ලක් ඉදිරිපත් කිරීමට යෝජන කල යුතුයි. මීට අමතරව නාගානන්ද වැනි අය නෛතිකවාදය (එනම් සරලව කිව්වොත් හැම ප්‍රශ්නයක්ම නීතියෙන් පමණක් විසඳිය හැකි බවට ඇති යම් පටු මතය) ඉවත දමා පුළුල් සමාජ/ ආර්ථික/ දේශපාලනික, තාක්ෂණික, සමාජ විද්‍යාත්මක, සෞඛ්‍ය විද්‍යාත්මක, පාරිසරික ආදී සියළු අංශ වලින් ගැඹුරු හැදෑරීමක් සහිත පුද්ගල කණ්ඩායමක් සමග එක්වීමට හැකි නම් එබඳු අයත් මීට සහභාගී කර ගත හැකි නමුත් හොඳ කණ්ඩායම් ක්‍රියාකාරීන් මීට අවශ්‍යයි, නිතර අවුල් හදාගන බෙදී වෙන්වී යන පුද්ගලයන් වෙනුවට සාමූහිකව පොදු වැඩ පිලිවෙලක් සකස් කළ යුතුයි, පුද්ගලික මඩ ප්‍රහාර වෙනුවට අදහස් විවේචනය සහ ප්‍රති-සංස්කරණය කිරීම අවශ්‍යයි.

      References;

      https://43-brigade-all-three-languages-pdf-books.vercel.app/?fbclid=IwAR1V0I5HpEtXVlkDg-aA5LT-Wv48AHWMwGXN9frhz77VISEHQEL_7fCP2nA

      http://www.viyathmaga.org/media-center/v-publications/

      https://www.cbsl.gov.lk/en/node/11155

      දැනට මම සිතන විසඳුම වන්නේ පවතින රජය පියවරක් පසුපසට ගෙන විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ, හර්ශ ද සිල්වා, චම්පික වැනි දැක්මක් ඇති යමක් කමක් තේරෙන අයගේද සහය ඇතුව වෙනත් තෙවන බලවේගවලද සහාය හැකි තරමින් ලබාගෙන සාමූහිකව විසි වසරක දිගු කාලීන සැලැස්මක් (අවම 15 වසරක් වත්) සහිතව වෙනස් නොවන ස්ථිරසාර සැලසුමක් ක්‍රියාත්මක කිරීමයි. නමුත් ලංකාවේ වත්මන් ආණ්ඩුව ඊට සූදානම් නැති නිසා දැඩි මහජන බලකිරීමක් කළ යුතුයි සියළුම පක්ෂ වලට සාමූහික විසඳුමක් කරා එළඹෙන ලෙස, එක එක දේශාපලන පක්ෂ වලට වරින් වර සහාය දැක්වීමෙන් එකෙක් අසාර්ථක වෙනකොට තව මොකෙක් හරි ගෝතයෙක් ගෙනැවිත් කරන ඔලු මාරු විගඩම් වලින් මීට කිසිසේත්ම පිළිතුරු ලබා ගත නොහැකියි. ඒක 2019/22 කාලයේ නන්දසේන මොනවට පැහැදිළි කළ බව ලංකාවේ බහුතර නිහඬ පාවෙන ඡන්ද දායකයන් තේරුම් අරන් ඉන්න බවත් ඉතාම පැහැදිලියි. නමුත් නැවත වරක් රාජපස්සලාම තෝරා ගැනීම වෙනුවට පක්ෂ භේදයෙන් තොර පොදු සැලසුමක් හඳුන්වාදීම කෙරෙහි සියල්ලන්ටම බලපෑම් කිරීම තවම වුණේ නැහැ, එය තාමත් දැඩි ලෙස අවශ්‍යයි.

      Delete
  2. Yes, I agree. One good example is India. Their politics is a mess, but still they have a clear policy on national security, foreign relations and economic development.

    India is not an ideal utopia. They have corruption, poverty, and other social issues. But even with them they were able to progress the country.

    ReplyDelete