Saturday 25 January 2020

වෙනසක් නොවූ වෙනස - The change that didn't change


ලංකාවේ ගත කල පසුගිය දෙසතිය තුල මම බොහෝ දෙනෙකු සමග ලංකාවේ වෙනස ගැන සුහදව කතා කලෙමි. අප බොහෝ දෙනෙකු වෙනසක් පතා තිබුණි. වෙනස සිදු කරතැයි සිතූ පුද්ගලයාගේ මිස අප පැතූ වෙනසෙහි වැඩි වෙනසක් තිබී නැත. දෙමසක් තුල බොහෝ දෙනෙක් වෙනස් වී ඇත. වෙනස සිදු විය යුත්තේ එක් පුද්ගලයෙකුගේ නොව අප සියළු දෙනා තුලම බව සියළු දෙනාටම පාහේ අවබෝධ වී ඇත. එහෙත් "අප සියළු දෙනා" අතිශයින් සුළුතරයක් වන ශ්‍රී ලංකාවේ, අප පතන වෙනස සිහිනයක් පමණක්ම බවද අප බොහෝ දෙනෙක් වටහාගෙන තිබේ.


---------------------------------------


"සමාජ අසාධාරණය උතුරා යන සමාජයක අවි දරාගත් අරගලයකට තරුණ පෙළ තල්ලුවීම වළකාලන එකම සාධකය දේශපාලන අපේක්ෂාවයි".


ලෝක ඉතිහාසයේ යම් යම් කාල වකවානු තුල නෙල්සන් මැන්ඩෙලා, අවුන් සාන් සුකී, ෂික් හසිනා-කලීඩා ෂියා, සහ මෑතකදී ඉම්රාන් ඛාන් වැනි අය මේ සාධකය බවට පත් වුහ. ලංකාවේ මේ කර්තව්‍යයෙහි ලා දැවැත්ත සේවයක් කල සෞම්‍ය මුර්ති තොණ්ඩමාන්, සහ අශ්රොෆ් වැනි දේශපාලකයන් කිසිදාක මේ සඳහා ඇගයීමට ලක් වුනේ නැත. ලංකාවේ කඳුකරයේ සහ නැගෙනහිර ලේ විලවල් බිහිවීම ඔවුන් වෙතින් අවහිර විය. ඒ ගැන කිහිප දෙනෙකු ලියු ලිපි අතලොස්සක් අපට පසුගිය දශක කිහිපය තුල දැක ගත හැකි විය. නමුත් ඒවා සමාජ අවධානයට යොමු වුයේ නැත. 


ජාත්‍යන්තරය තුල මෙන්ම ලංකාවේද මේ බොහෝ දෙනෙක් කටයුතු කලේ තමන්ගේ වාසිය උදෙසා මිස අඩුම ගණනේ තමන්ගේ ජනතාව ගැනවත් සිතා නොවන බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. එහෙත් ඔවුන්ගෙන් සිදු වූ සේවය ඔවුන්ගේ අරමුණුවලට ලඝු කල යුතු නැත.


රටක තරුණ පෙළ ප්‍රමුඛ කරගත් රැඩිකල් ජනතාව අවි අතට ගැනීම වලකා ගැනීමෙහි ලා පවතින රජය මෙන්ම විපක්ෂයද එක හා සමාන වගකීමක් උසුලයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක සමාජ අසාධාරණය තුනී වන විට මේ සාධකය උදෙසා විපක්ෂයේ කාර්යභාරය තුනී වෙයි. එය ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරන විට ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාවය දැඩිව දැනීමට පටන් ගනී. ලංකාවේ පසුගිය දශක පහ තුල ඉතිහාසය හදාරණ අයෙකුට මේ බව මනාව පැහැදිලි වෙයි.

පසුගිය දශකයක පමණ කාලය තුල ලංකාවේ දේශපාලනය කුණු වී ඕජස් ගලන තුවාලයක් වූ බව දේශපාලන අභ්‍යන්තරය පිළිබඳව හොඳින් දන්නා අතලොස්සට රහසක් නොවීය. මේ තුවාලය, තම බඩ වියත රැකගන්නා එකම මාර්ගය කරගත් හිඟන්නන් පිරිසක් විසින්, එය ඖෂධ නොගල්වා මැනවින් වසා තැබීමට උත්සුක වුහ. දේශපාලන පක්ෂ පාට වලින් තොරව, ජනමාධ්‍ය, පුජ්‍ය පක්‍ෂය, කූඨ ව්‍යාපාරිකයන් සහ පවතිනා කුමන රජයකින් වුවද වංචා සහගත ලාබයන් ලැබූ පිරිසක් මේ හිඟන්නාගේ චරිතයට පණ පොවන ලදී. 


සමාජයේ ඉහල ඇවරියේ ප්‍රියසාදවලදී, සුපිරි පාසැල් "බිග් මැච්වල" VIP ටෙන්ට් එකේදී, ගොල්ෆ් පිටියේ අවන්හලේදී මේ තුවාලයේ වෙළුම් පටි තාවකාලිකව ඇරෙන නමුත් ඒ දසුන් බහුතර ජනතාව අතරට නොයාමට අදාළ සියල්ලෝම වග බලා ගත්හ. 


රංජන් රාමනායකගේ හඬ පටි වලින් ජනගත වන්නේ මෙතෙක් සුදු පිරුවට වලින් වසා ගෙන සිටි මේ තුවාලයේ සැබෑ ස්වරූපයයි. තවමත් බහුතරයකගේ අවධානය යොමු වී ඇත්තේ මේ ඔඩු දුවා ඇති තුවාලයේ දරුණු තත්වය පිළිබඳව නොව පෞද්ගලික ජීවිත හා බැඳුනු අවශේෂ කුණු රසයටයි. එහෙත් වියත් තාරුණ්‍ය ඉතා ඉක්මණින් යථාර්තය තේරුම් ගනු ඇත. බැඳුම්කර පිලිබඳ වෝහාරික ගිණුම් වාර්තාව මේ යථාර්තාවබෝධය අධි ත්වරණයකට ලක් කර ඇතැයි මට සිතේ. 


ඒ අනුව මේ එළඹෙන්නේ ඉතිහාසයේ අති භයංකාර හෝරාවකි. තාරුණ්‍ය ඉච්ඡ බංගත්වයට පත්වීම රටක පුර්ණ විනාශයක මූලාරම්භයයි.  තාප්පාලංකාරයට මෙන්ම පුරන් කුඹුරු වැපිරිමටද යෙදුනු අත් තුවක්කුව දෙසට යොමු නොවීමට වග බලා ගැනීම ප්‍රමුඛතම සමාජ කාර්යභාරයක් වී ඇති බව මගේ හැඟීමයි.  


මට අවබෝධ වන පරිදි ලංකාවේ මේ වන විට අවි රැගත් අරගලයකට තාරුණ්‍ය තල්ලු වීමට ඇති එකම බාධාව ගෝඨාභය රාජපක්ෂ නැමැති පවුර පමණකි. පසුගිය දෙමස තුල ඇතිවූ තාරුණ්‍යයේ ධනාත්මක රැලි ගෝඨාභය නැමැති සාධකය කරන කොට ගෙන බිහිවිය. එහෙත් ඔහු වටා සිටින බහුතරයක් වියත්-නොවියත් සිව් රඟ සේනා මේ ඕජස් ගලන තුවාලයේම සැරිසරන ඉහඳ පණුවන් බව මේ වනවිට පිළිගත් දැනුමක් ලෙස සමාජ ගතවෙමින් පවතින බව දැකිය හැක.

විපක්ෂය නමින් ලංකාවේ පවතින කොමඩියේ රඟන්නේද නොයෙකුත් පැහැයෙන් තාවකාලික වර්ණ ගැන්වූ ඉහඳ පණුවන්ම බව කිසිවෙකුටත් රහසක් නොවේ. 


අපි අතලොස්සක් මේ එළඹෙන මාරක තත්වය දුර තියා දුටුවෙමු. ඒ වැලැක්වීමට අපට හැකි අයුරින් මෙන්ම අපට නිවැරදි යැයි හැඟුණු අයුරින්ද පියවර ගැනීමට අපි උත්සුක වූයෙමු. එය අසාර්ථක විය. එහෙත් ඒ ගත් පියවර පිලිබඳව අදටත් මම ඉත සිතින් සතුටු වෙමි. 


මෙතැන් සිට කල යුත්තේ කුමක්දැයි කියා තීරණය කිරීම හෝ විය යුත්තක් වෙද්දෙන් කියා බලා සිටීම ලාංකික ඔබට බාරය. 

----------------
 

4 comments:

  1. //ලංකාවේ කඳුකරයේ සහ නැගෙනහිර ලේ විලවල් බිහිවීම ඔවුන් වෙතින් අවහිර විය. ඒ ගැන කිහිප දෙනෙකු ලියු ලිපි අතලොස්සක් අපට පසුගිය දශක කිහිපය තුල දැක ගත හැකි විය. නමුත් ඒවා සමාජ අවධානයට යොමු වුයේ නැත.

    ඝෝ්ඨාභය යුද්දේ නොකලා නම් තවත් කළු ජූලිය වගේ එකක් වෙන්න තිබුනා.

    ReplyDelete
  2. යම් මිනිස් කන්ඩායමකට අසාධාරණයක් වූ පමණින්ම කැරලි ගහන්නේ නෑ.
    කැරලි ගහස්නේ කැරැල්ලෙන් ජයගත හැකියැයි විශ්වාසයක් ඇතිවුනොත් විතරයි.
    එසේම කැරලි කරුවන්ට කැරැල්ලෙන් පැරදුනත් කරදරයක් නැතිව සිටිය හැකිනම් ඔවුන් කැරලි ගහන්න පෙළඹෙනවා.

    උදාහරණයක් හැටියට ගත්තොත් මැලේසියාවේ දෙමළා මැලේ සංස්කෘතිය සහ දෙමළ සංස්කෘතියට සම තැනත් ඉල්ලන්නේ නෑ. මන්ද ඔවුන් මැලේ මුස්ලිම් සංස්කෘතිය පරාජය කල නොහැකි තරම් බලවත් එකක් සේ දැකීමයි. එමනිසා දෙමළු එය සමඟ සාමයෙන් ඉන්න තීරනය කර තියෙනවා.

    නමුත් ලංකාවේ දෙමලා සිතනවා සිංහල බෞද්ධ සංස්කෘතිය පරාජය කල හැකි එකක් කියලා ලංකාවේ දෙමළ ප්‍රශ්නවලට මුල ඒකයි.

    ReplyDelete
  3. වර්තමානය පිළිබඳව කදිම කියවීමක්. මුළු රටම පණුවෝ ගහපු තුවාලයක් බව 100% පැහැදිලියි. ඒත් කරුමයකට වගේ රටේ ඔක්කොම එකතුවෙලා දෙපැත්තේම හොරාකාපු එවුන් අල්ලන්න බල කරනවා වෙනුවට කලින් මහබැංකු හොරකම අල්ලපියෝ කියා කියා බෙරිහන් දුන්න සෙට් එකත් පිට්ටු ගිල්ල වගේ නිශ්ශබ්දයි. රන්ජට උඩ පැන පැන ගහපු සෙට් එකත් උස්සල පොලවේ ගැහුවා වගේ. මේක නෙවෙයි වෙන්න තිබුනේ.

    ReplyDelete
  4. ගතවෙන වර්තමානය සහ මේ පවතින වර්තමානය තුලින් ගොඩ නැගෙන අනාගතය මේ ප්‍රශ්නවලට විසඳුම් ගෙනෙන්නෙ නෑ චන්දිම සර්.. එකම විසඳුම අද උපදින දරුවාට අනාගතයේ ලැබීමට නියමිත අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම පමණයි. ඉහලටම උගත් කියාගන්නා ඉහල තලයේ රැකියාවල නියුතු බහුතරයක් උදවියගේ දේශපාලන අන්දභාවය අපිට පෙන්වා සිටිනවා ඔවුන් ලැබූ අධ්‍යාපනය තුලින් ඔවුන්ගේ තර්කානුකූල බුද්ධිය දියුනු කරලා නැහැ කියන එක.. ඔබ වැනි ඉහල තලයේ බුද්ධිමත් උගතුන්ට යම් හැකියාවක් පවතිනවා මේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට යම් බලපෑමක් කිරීමට. නාකි වෙච්ච ඔලු ඇතුලේ තියෙන කුනු වෙච්ව මොලගෙඩි වෙනස් කරන්න බෑ කියන එක 2015 පස්සෙ ගතවෙච්ච කාලය රටටම ඔප්පු කරලා හමාරයි. අද උපදින දරුවන්ට තර්කානුකූලව හිතන්න පුලුවන්වෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරොත් ඔවුන් කවදාහරි මේ මජර සිස්ටම් එකට පයින් ගහවි.

    ReplyDelete