Sunday, 25 August 2019

අපි යමක් පිළිබඳව සිතා බලා තීරණ ගන්නේ කෙසේද?


අපි ජිවිත කාලයේදී නිරන්තරයෙන්ම තීරණ ගන්නවා. මේවා බොහෝ විට යම් කාරණාවක් පිළිබඳව තම තම නැණ පමණින් සිතා බලා ගන්නා තීරණ. එහෙම තීරණයක් ගන්න බලපාන සාධක මොනවාද

අපි අද කතා කරන්නේ ඒ ගැන.

මම ජපන් උපමා කතාවකින් මේ මාතෘකාවට අවතීර්ණ වෙන්නම්.

එක්තරා දිනයක, ජපානයේ ඇති විශාල විලක ඉවුරේදී ඊට පෙර කිසිදා මුණගැසී නැති පුද්ගලයන් තිදෙනෙක් හමුවුනා. මේ එක් කෙනෙක් සෑහෙන ඈතක ඉඳන් ගමනක් යාමට පැමිණි නූගත් දර කපන්නෙක්. අනෙකා නගර අතර සංචාරය කරමින් වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයෙක්. ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙක්. තුන්වැන්නා ඒ විල අසල තියෙන විශාල ගල් පර්වතයක් උඩ වාසය කරන පූජකයෙක්. අපි ඔහුට බමුණෙක් කියල කියමු. මේ බමුණා පරිසරය පිළිබඳව එහෙම බොහෝ දේ දැන හඳුනන නැණවත් පුද්ගලයෙක්. හැබැයි මේ බමුණා ඉතා තදින් විශ්වාස කරනවා ඔහු වාසය කරන ගල්තලාවට අධිපති දෙවිකෙනෙක් සිටින බව. ඔහු මෙම දෙවියන් වෙනුවෙන් ගල් පර්වතය උඩ දෙවොලක් තනා නිතිපතා යාඥා කරනවා. 

මේ තුන්දෙනාට අවශ්‍ය වෙලා තිබෙනවා මේ පරක් තෙරක් නොපෙනෙන විශාල විලෙන් එගොඩට යන්න. මේ විල්තෙරේ තියෙන තොටුපලක පහුරු කුලියට දෙන පුද්ගලයෙක් ඉන්නවා. ඔබ දන්නවා පහුරක් කියන්නේ විශාල ලී කොටන් ප්‍රමාණයක් එකට බැඳ සාදාගන්නා යාත්‍රාවකට. ඔබට පුළුවන් මුදලක් ගෙවා මෙම පහුරක් කුලියට ගන්න. ඔබ විලෙන් එගොඩ වූ පසු එම එගොඩ තොටුපළේ සිටින අයෙකුට මෙම පහුර බාර දුන්නම ඔබට අර ගෙවූ මුදලින් කොටසක් ලැබෙනවා. අද විදියට කියනවනම් මේක ඩිපොසිට් එකක් තියා ගන්නවා වගේ වැඩක්. ඉතින් මේ තුන්දෙනා කතාවෙනව අපි එක එක්කෙනා පහුර බැගින් කුලියට ගන්නවාට වඩා ලාබයි නේද, තුන්දෙනාම මුදල් යොදා එක පහුරක් ගන්න එක කියල. 

මේ විදියට මොවුන් පහුරක් අරගෙන දැන් එය පැදගෙන යනවා. මොවුන් විලේ මැද්දට ආසන්න වෙන කොට ඔවුන්ට පෙනෙනවා ඉදිරියෙන් විශාල දිය සුළියක් ඇතිවෙනවා. මෙය ඉතා බියකරු දර්ශණයක්. 

මෙය දකින දර කපන්නා ඉතාමත්ම බියට පත්වෙනවා. මොකද ඔහු මෙවැනි සංසිද්ධියක් ගැන මීට කලින් අසා තිබුනේ නැහැ. ඔහු හිතනවා කරන්න තියෙන හොඳම දේ දියට පැන නැවතත් මෙගොඩට පිහිනා යෑම කියල. මෙහෙම හිතල මිනිහ ගඟට පනිනවා. ටික දුරක් පීනන කොට තමයි මිනිහට තේරෙන්නේ ඒ වෙනකොට ඔවුන් ගොඩබිමින් බොහෝ ඈතට ඇවිත් තියෙන බව. ඒ වගේම ඔහු හොඳ පිහිනුම් කාරයෙකුත් නෙවෙයි. ඒ මදිවට දර කපන්නා සන්තකව තියෙන ලොකුම වස්තුව වෙන යකඩ පොරෝවත් මිනිහ ඉනේ ගහගෙන. මේ නිසා වැඩි වෙලාවක් යන්න කලින් පිහිනගන්න බැරිව දර කපන්නා දියේ ගිලිලා මැරෙනවා. 

අර වෙළෙන්දා මේ දිය සුළි ගැන අසා තිබෙනවා.  ඔහු මෙහෙම හිතනවා. 

"
මේ සුළියට පහුර අසු උනහම මට අල්ලා ගන්නවත් හරියට තැනක් නැහැ. පහුර පෙරළුනොත් මම අනිවාර්යයෙන්ම මිය යනවා. මේ නිසා කල යුතු හොඳම දේ තමයි පහුරෙන් ලී කොටයක් වෙන් කරගෙන එය බදාගෙන පිහිනීම. දියසුළිය පහව ගියාට පස්සේ මට ලී කොටය සමගම ගොඩ බිමට පාවී යන්න පුළුවන්". 

මෙහෙම හිතන වෙළෙන්දා තමන්ගේ ඉනේ තිබුන පිහිය අරන් ලී කොටයක් පහුරෙන් කපා වෙන්කරගන්නවා. ඊට පස්සේ මෙයම නුඹත් කරපන් කියල පිහිය බමුණා දෙසට විසිකර ඔහු ලී කොටය බදාගෙන පහුරෙන් ඉවත් වෙනවා. 

නමුත් වෙළෙන්දාට යම් දෙයක් වරදිනවා. මේ වෙන විටත් පහුර දිය සුලියට හසුවී තිබුණා. මෙම දියසුළි වල ස්වභාවය තමයි එහි පිටතට ආසන්නයේ ජලය කැරකෙන වේගය ඉතා අධික වීම. පහුරේ ඇති බර නිසා එය කැරකෙන වේගය යම් තරමකට සීමා වී තිබුනත්, වෙළෙන්දා කොටයත් එක්ක ඉවත් වෙනවත් එක්කම ඔහු කැරකෙන වේගය ඉතාමත්ම වැඩි වුනා. අන්තිමේදී වේගය වැඩිකම නිසාම වෙළෙන්දා අතින් කොටය ගිලිහී යනවා. ප්‍රතිඵලය වුනේ ඔහුත් දියේ ගිලී මිය යාමයි. 

අර බමුණා මේ දිය සුළිය හැසිරෙන විදිය ගැන හොඳට දන්නවා. මොකද ඔහු මේ ප්‍රදේශයේම කෙනෙක්. ඔහුට තේරුම් යනවා මේ වගේ අවස්ථාවක කරන්න ඕනේ හොඳම දේ තමයි පහුරේ දිගාවෙලා ඒක හොඳින් බදාගන්න එක කියල. එහෙම ඉන්න ගමන් පහුරෙන් එක ලී කොටයක් කපා වෙන් වෙන නොවෙන ප්‍රමාණයට තබා ගන්නවා. පහුර දිය සුළියේ මැද්දට, ඒ කියන්නේ සුළියේ ඇස කිට්ටුවට එන කොට ලී කොටයත් එක්ක පහුරෙන් වෙන් වෙනවා. එතකොට ඔහුව ලී කොටයත් එක්කම සුළියේ ඇස තුලට ඇදගෙන දිය යටින් ඈතට රැගෙන යනවා. ඔහු ලී කොටය බදාගෙන ඉන්න නිසා සුළියට එපිටින් නැවතත් ඔහුව ජලයෙන් උඩට තල්ලු වෙනවා. කලයුත්තේ විනාඩියක් පමණ තදින් හුස්මයක් අල්ලා ගෙන ඉඳීමයි. 

දැන් මේ විදියට, කරන්න ඕනේ දේ තේරුම් ගත්තට, බමුණා ඊට පස්සේ මෙහෙම හිතනවා. 

"
මම දැන් අවුරුදු 40 ක් විතර මෙම ගල් කුලට අධිපති දෙවියන්ට පුද පූජා, යාඥා කරනවා. ඒ ගැන ඔහු ඇත්තේ ඉතා සතුටෙන්. මේ නිසා ඔහු අද මේ විපතට පත්ව ඇති මාව අනිවාර්යයෙන්ම ඔහු බේරාගනු ඇත". 

මෙහෙම හිතන බමුණා පහුර මැද ඉඳගෙන මහා හඬින් ගල් දෙවියන්ට යාඥා කරන්න පටන් ගන්නවා. දැන් පහුර ක්‍රමයෙන් සුළියේ ඇස දිහාවට ඇදිල ගිහින් එකවරම පහුරත් සමගම බමුණාව දිය තුලට ඇදගන්නවා. ඔහු කිසිඳු සූදානමකින් නොසිටිය නිසා ක්‍ෂණයකින් දියේ ගිලී මිය යනවා. 

මේ කතාව අහගෙන ඉන්න ඔබට වැටහෙනවද කෙනෙක්ට යම් කාරණයක් පිළිබඳව තීරණයක් ගන්න කාරණා තුනක් බලපාන බව. ඒකෙන් දෙකක් බලපානවා අපි යමක් තේරුම් ගන්නේ කොහොමද කියන එකට. තුන්වෙනි කාරණය බලපානවා අපි යමක් අවබෝධ කරගන්නේ කොහොමද කියන එකට. 

දැන් ඔබට පැනයක් මතුවෙනවා තේරුම්ගැනීමයි අවබෝධ කරගැනීමයි කියන්නේ දෙකක්ද කියල. ඔව් ඒ දෙකක්. යමක් තේරුම් ගන්නවා කියන්නේ ඒ කාරණයෙහි ඇති සැටිය අපේ ඥාන පරාසයන් තුල අපි වටහා ගන්නා ආකාරයයි. අවබෝධ කරගන්නවා කියන්නේ ඒ තේරුම් ගත්ත දේ අපේ මනස විසින් පිළිගන්නා ආකාරයයි. ඉංගිරිසියෙන් අපි understanding සහ realizing යනුවෙන් මේ වචන දෙක වෙන්ව හඳුනාගන්නවා.

යමක් තේරුම් ගැනීමට බලපාන පළවෙනි කාරණය තමයි අපේ තොරතුරු සහ දැනුම් සම්භාරය. ඉංග්‍රීසියෙන් කියනවා නම් information and knowledge base. අපි ඉපදුනු දා ඉඳන් මේ මොහොත වෙනකල් තොරතුරු සහ දැනුම එක් රැස් කරනවා. යමෙක්ට තමන්ගේ විශ්වාසය මත කියන්න පුළුවන් මේ දැනුම පෙර ආත්ම වල සිට පැමිණෙනවා හෝ දෙවියන් විසින් ලබාදෙනවා කියාත්. එය තම තමන්ගේ විශ්වාසයයි. නමුත් අපිට හරියටම සාක්ෂාත් වෙන දේ තමයි උපන්දා ඉඳන් අපි තොරතුරු සහ දැනුම එක්රැස් කරන බව. 

දෙවෙනි කරණය තමයි අපිට ඇති විශ්ලේෂණය කිරීමේ හැකියාව. ඒ කියන්නේ අප තුල රැස්කරගෙන ඇති තොරතුරු සහ දැනුම ආශ්‍රයෙන් අපි ලබන නව අත්දැකීමක් පැහැදිලි කරගැනීමට උත්සහ කිරීම. මේ විශ්ලේෂණ හැකියාවත් යම් ප්‍රමාණයකට දැනුම සමග බැඳිලා තියෙනවා. මේ දෙක මත තමයි අපි යමක් තේරුම්ගන්නේ. ඔබ දැන් අර ජපන් උපමා කතාවේ චරිත එක්ක මේ කාරණා සසඳන්න. 

ඒ අතරේ මම අපි අතරෙන්ම තවත් උදාහරණයක් ගන්නම්.

හිතන්න ප්‍රාදේශීය දේශපාලකයෙක් ඉන්නවා කියල. අපි එයාට සිරිල් කියමු. දැන් සිරිල්ල කලබල වෙන්න එපා. 

යම් චන්ද දායකයෙක් දන්නවා, ඔහුගේ දැනුම අනුව, මේ සිරිල් පසුගිය කාලේ පළාතේ හොර මත්පැන් පෙරන අය එක්ක ඩීල් දාගෙන හිටියා, පාරක් පාලමක් ඉඳල හිටලා හරි හැදුවොත් එකෙන් බර ගානක් කොමිස් ගැහුවා, චන්ඩි කීප දෙනෙක් තියාගෙන ගමේ මිනිස්සුන්ට නිතර අරියාදු කළා. මේ නිසා මේ චන්ද දායකය හිතනවා සිරිල් නැවතත් ප්‍රාදේශීය සභාවට පත් වුනොත් තත්වේ තවත් නරක අතට හැරෙන්න පුළුවන් කියල.

තවත් චන්ද දායකයෙක් හිතනවා සිරිල්ගේ මේ අකටයුතුකම් ඔක්කොම තියෙන බව ඇත්ත. ඒත් සිරිල් පන්සලේ ප්‍රධාන දායකය. මිනිහ පන්සලේ ධර්ම ශාලාව හදන්නත් සැහෙන සල්ලි දුන්න. හැම පෝයටම කිරි කොකා වගේ ඇඳගෙන මල් වට්ටියකුත් අරන් පවුලම පන්සල් යනවා. මිනිහගේ මේ හොඳ නරක දෙකම සලකල චන්දෙ දෙන්න ඕනේ කියල.

තවත් කෙනෙක් හිතනවා "සිරිල්ගේ නරක ගැන කියන ඔක්කොම කතා ඇත්ත. ඒත් ඉතින් වෙන කවුරු ආවත් ඔච්චර තමයි. සිරිල්ට නොදී වෙන කෙනෙකුට දුන්න කියලත් වෙනසක් නැහැනේ" කියල. 

තවත් චන්ද දායකයෙක් ඉන්නවා, මිනිහ දන්නේ සිරිල්ගේ පන්සල් කටයුතු ගැන විතරමයි. මේ නිසා මිනිහට තේරෙන්නේ සිරිල් බොහොම ගුණ යහපත් කෙනෙක් කියල. 

මෙතැනදී ඔබට තේරෙනවද එකම කාරණයක් ගැන විවිධ පුද්ගලයෝ තේරුම් ගන්නේ විවිධ විදියට. ඒක තීරණය වෙන්නේ තමන්ගේ දැනුම් සම්භාරය වගේම විශ්ලේෂණ ශක්තිය අනුව.


ඊළඟට තියෙන්නේ තේරුම්ගැනීමේ සිට අවබෝධය කරා යන පාලම. අපි ඒක හඳුන්වනවා මානසික අවස්ථිතිය කියල. ටිකක් බර වචනයක්. අපි මේකට ඉංග්‍රීසියෙන් mental inertia කියල කියනවා. වෙන විදියකින් විස්තර කරනවා නම් අපි යම් මතයකින් බැහැර වීමට හෝ අලුත් මතයක් පිළිගැනීමට ඇති අකමැත්ත තමයි මානසික අවස්ථිතිය කියන්නේ. 

හිතන්න ඔබ ඉදිරියේ තිබෙන මේසය ගැන. බොහෝ දෙනෙකුට එය පහසුවෙන් තල්ලු කල හැකියි. ඒවගේම පොලවේ පොඩි ආනතියක් තිබිල ඒක තල්ලු වෙලා ආවොත් ඔබට එය පහසුවෙන් නවතා ගත හැකියි. හිතන්න දැන් ඔබ මේ මේසය මත බර පටවනවා කියල. එන්න එන්නම ඔබට මේසය තල්ලු කිරීම අපහසු වෙනවා. ඒ වගේම තමයි එහෙම බර පටවපු මේසයක් ඔබ දෙසට ලිස්සා ආවොත් එය නවත්වා ගැනීමත් පහසු නැහැ. දැන් හිතන්න ඔබට ගල් රෝලක් තල්ලු කරන්න කිව්වා කියා. එසේ නැත්නම් පල්ලමක බ්රේක් නැතිව පහලට පැමිණෙන ගල් රෝලක් අතින් අල්ලා නවතා ගන්න කියනවා කියා. ඔබට කොපමණ හොඳින් වැටහුනත් මේ ගල්රෝල ගෙවල් දොරවල් වාහන මිනිසුන් යටකරගෙන ගිහින් මහා විනාශයක් වෙනවා කියල, ඔබට එය නවතන්නට බැහැ.

මෙන්න මේ වගේ තමයි මිනිස් මනසත්. අපි එයට බර පටවන්න පටවන්න ඒකෙ අවස්ථිතිය වැඩි වෙනවා. එතකොට මොන දේ තේරුම් ගත්තත් එය මැනවින් අවබෝධ කරගන්නට ඔබට අපහසු වෙනවා. දැන් හිතන්න අර සිරිල්ගේ අඩු පාඩු ගැන තේරුම් ගත්ත කෙනා පරම්පරාවෙන්ම සිරිල්ගේ පක්ෂයට චන්දය දෙන අයෙක් කියල. දැන් ඔහු මොන තරම් සිරිල්ගේ නුගුණ දැනගත්තත් ඔහු චන්දය දෙන්නේ සිරිල්ට. මොකද ඔහු තේරුම් ගත් දේ අවබෝධ කරගැනීමට ඔහුගේ මානසික අවස්ථිතිය ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙහිදී අපි කතාකළ අන් චරිත පිළිබඳව තත්වයත්. 

දැන් අපි නැවතත් අර ජපන් උපමා කතාව දෙසට හැරෙමු. දර කපන්නාගේ තිබු තොරතුරු දැනීමේ මද කමත්, වෙළෙන්දාගේ තිබූ විශ්ලේෂණය කිරීමේ  අඩු පාඩුවත්, මේ කාරණා දෙකම යහපත් මට්ටමකින් තිබූ බමුණා තම මානසික අවස්ථිතිය අධිකවීමත් නිසා තුන්දෙනාම ජිවිත නැති කරගත්තා.

මෙතැනදී ඔබ අවබෝධ කරගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. යම් අයකුගේ මානසික අවස්ථිතිය අධික නම් ඔහු පශ්චාත් උපාධිධාරයෙක්ද, නැත්නම් උපන්ගෙයි අඳබාලයෙක්ද කියන දෙකේ වෙනසක් නැහැ, අවසාන ප්‍රතිඵලයට. මෙන්න මේ නිසයි සමාජයේ සිටින ඉතා උගත් යැයි සම්මත මිනිසුන් සමහර විට ඔබට සිතාගන්නවත් නොහැකි ක්‍රියාවන්වල යෙදෙන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව MSc එකක් තියෙන ඇත්තෙක් අළුතෙන් වාහනයක් ගත්තම දුර කතර ගෙවා ගෙන දේවාලයකට ගිහින් වාහනේට බාරයක් වෙන්නේ ඇයි කියල. ඒ වගේම  සරසවියේදී තමන්ගේ ගෝලයන්ට පරිනාමවාදය පිළිබඳව දේශන පවත්වන මහාචාර්යවරු ඉරුදින දේවමෙහෙයේදී, දෙවියන්වහන්සේ විසින් ලෝකය මැවීම පිළබඳව කරන දේශනාව හිස් මුදුනින් පිළිගන්නේ ඇයි කියල. 

ඉහත මම උත්සහ කරන්නේ කුමක් හරිද කුමක් වැරදිද යන්න උලුප්පා දැක්වීමට නෙවෙයි. කෙනෙකුගේ තේරුම්ගැනීම ඔහුගේ අවබෝධයෙන් දුරස්වන අයුරු පෙන්වීමටයි. 

මෙතැනදී තවත් වැදගත් කාරණාවක් තියෙනවා. කෙනෙකුගේ තොරතුරු සහ දැනුම් සම්භාරය, විශ්ලේෂණ හැකියාව සහ මානසික අවස්ථිතිය ඔහුගේ ඇගිලි සලකුණු හා සමානයි. ඒ කියන්නේ දෙදෙනෙකුගේ මෙම කාරණා ත්‍රිත්වය එකම වීමට ඇති ඉඩකඩ ඉතාමත්ම විරලයි. ඒ නිසා ඔබ හිතනවා නම් ඔබ සිතන විදියටම අනෙකාද සිතිය යුතුයි කියල ඒක විශාල මෝඩකමක්. ලෝකයේ ප්‍රශ්න වැඩිපුරම ඇතිවෙන්නේ මිනිසුන්ගේ මේ නොදැනුවත් කම නිසයි. 

ඔබට කල හැක්කේ කෙනෙකුගේ තොරතුරු සහ දැනුම් සම්භාරය පුළුල් කිරීම හෝ ඔහුගේ විශ්ලේෂණ හැකියාව දියුණු කරගැනීමට සහය වීමයි. එයත් කල හැක්කේ අනෙකාගේ මානසික අවස්ථිතිය මේ කාරණා සඳහා ඔබට කොතරම් දුරට ඉඩ දේ දැයි යන්න මතයි. 

තොරතුරු, දැනුම, විශ්ලේෂණ හැකියාව ඔබට එක රැයකින් ලබා ගන්න බැහැ. ඒ සඳහා කාලයක් ගතවේවි. ඒත් තමන්ගේ මානසික අවස්ථිතිය නැති කරගන්න ඔබට ඊට වඩා අඩු කාලයකදී පුළුවන්. 

පලවෙනි දේ තමයි තමන්ගේ මානසික අවස්ථිතිය තේරුම් ගැනීම. 

ඔබට යම් අවස්ථාවක හිතෙනවා නම් "ඒ කොහොම වුනත් මම කරන්න ඕනේ අරක" කියල, එතැනදී පොඩ්ඩක් හිතල බලන්න. 

"ඒ කොහොම වුනත්" කියද්දී ඔබ යමක් තේරුම් අරන් තියෙන බව වටහා ගන්න. 

"ඒ වුනත් මම කරන්න ඕනේ අරක" කියා කියද්දී ඔබ තේරුම් ගත් දේට පටහැනිව යනවා නේද කියල  කල්පනා කරන්න. 

"ඒක එහෙම නම් ඇයි මම මෙහෙම කරන්නේ" කියල දැන් හිතන්න. 

එතකොට ඔබට අවබෝධ වේවි තේරුම්ගැනීමේ සිට අවබෝධකරගැනීම දක්වා යන ගමනට විශාල බාධකයක් ඔබ විසින්ම ඉදිකරගෙන තිබෙන බව. ඒ  බාධකය ටික ටික හෝ අඩු කරගන්න උත්සහ කරන්න. එය සමහර විට ඔබට ඔබගේ ජීවිතය රැකගැනීමට පවා ඉවහල් වෙන්න පුළුවන්. 




4 comments:

  1. "යම් අයකුගේ මානසික අවස්ථිතිය අධික නම් ඔහු පශ්චාත් උපාධිධාරයෙක්ද, නැත්නම් උපන්ගෙයි අඳබාලයෙක්ද කියන දෙකේ වෙනසක් නැහැ, අවසාන ප්‍රතිඵලයට. මෙන්න මේ නිසයි සමාජයේ සිටින ඉතා උගත් යැයි සම්මත මිනිසුන් සමහර විට ඔබට සිතාගන්නවත් නොහැකි ක්‍රියාවන්වල යෙදෙන්නේ."

    සහතික ඇත්ත

    ReplyDelete
  2. “What you see and what you hear depends a great deal on where you are standing. It also depends on what sort of person you are.”
    ― C.S. Lewis

    ReplyDelete
  3. Thanks for your sharing, it helps me a lot and I think I'll watch your post more.
    …………………….
    slotxo
    สล็อตออนไลน์
    ทางเข้า slotxo

    ReplyDelete
  4. Thanks for your sharing, it helps me a lot and I think I'll watch your post more.
    ………………………...

    โกลเด้นสล็อต
    ทางเข้า goldenslot

    ReplyDelete