Follow this Blog

Saturday, 6 October 2018

රටින් එන පැණිබීම නොබී ඉන්න හැකි නම්



ඒ වෙනස අදම .....

රට වෙනුවෙන් වෙනසක් විය යුතු බව අද බොහෝ දෙනෙකුගේ අදහසයි. ඒ වෙනස ඇත්තේ අප අතේ මිස දේශපලුවාගේ අතේ නොවන බව සිතට ගන්න. අප වෙනස් වන විට දේශපලුවාද ඉබේටම වෙනස් වෙයි. ඒ ඔහුද අපම නිසාය. 


අංක - 2: රටින් එන බීම නොබී ඉන්න හැකි නම්


ඒ 70 දශකයේ මැද භාගය යයි සිතමි. කුඩා කොලු ගැටයකු වූ මම දෙමව්පියන් සමග ළඟ ඥාතියෙකුගේ මල ගෙදරකට පැමිණ සිටියෙමි. නිවසට යාබදව අටවා තිබු කුඩාරමක් සෙවනේ සිටින අපට නෑදෑ වන මාමා කෙනෙකුගේ ගෝරනාඩුවක් ඇසුනි. 

"කව්ද මිනිහෝ කිව්වේ මේ කොත්තමල්ලි බීම උස්සන් එන්න කියල. ඒ මදිවට කේස් දෙකක් ගෙනල්ලා".

"අලියා බීම තිබුනේ නැහැ අංකල්. අපි ඒජන්ට් ලගටත් ගියා. ඔක්කොම තැන්වල එක බෝතලයක්වත් නැහැ" තරුණයන් දෙදෙනෙක් බයාදු ගතියෙන් තෙපලයි.

"එහෙම කියල කොහොමද බං මේ දහ ජරාව මිනිස්සුන්ට අල්ලන්නේ" මාමා බිඳුණු හඬින් කීය. 

මීට වසර 40ට පෙර ඒ ගෝරනාඩුව දැමූ මාමා නව සහශ්‍රයට පිය නොනගාම අප අතරින් වෙන්විය. එහෙත් එදා ඔහු අමුත්තන්ට සංග්‍රහ කිරීමට අතිශයින් පැකිළුණු කොත්තමල්ලි බීම අද මුළු මහත් ලංකාවම නොපැකිල කටේ හලා ගනී. ඒ කොකා කෝලාය. 

එදා බහුතරයක් ජනතාව අප්‍රිය කල මේ විදේශීය පානය මෙතරම් මහජනතාව අතර ප්‍රචලිත වුයේ කෙසේද? මේ සඳහා ව්‍යාපාරික විශ්ලේෂණයක් කල යුතුය. එහෙත් වැදගත් වන්නේ මේ විදේශීය පානයන්ගෙන් රටට සිදු වූ අහිතකර බලපෑම් පිලිබඳව සලකා බැලීමයි.

විදේශයන්ගෙන් ගෙන්වා මෙරටට හුරු කල පැණිබීම වර්ග ලංකාවට විදේශ විනිමය බිලියන ගණනින් අහිමි කළා පමණක් නොවේ. පැවති හා අළුතින් බිහිවීමට තිබූ දේශීය නිෂ්පාදන ගණනාවකට මග අහුරාලීය. ලාංකිකයා තුල තිබූ අභිමානය බිඳ පරදෙස් ගැති චින්තනයක් බිහි කිරීමෙහි ලා විශාල කාර්යභාරයක් ඉටුකළේය. තවමත් නිසි ලෙස අධ්‍යනය වී නොමැති දරුණු පරිසර හානියක් අදාළ ව්‍යාපාර පාදක කරගෙන සිදුවන බවටද වාර්තාවේ. එමතුද නොව, ලොව පුරා පළවූ නොයෙකුත් පත්‍රිකා සහ වෛද්‍ය වාර්තා අනුව මෙම බීම වර්ග මගින් සිරුරට කෙරෙනා අහිතකර බලපෑම් පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ. මෙම පානයන් නිෂ්පාදනය කරන රටවල පවා ඒවා පරිභෝජනය පිළිබඳව ජනතාව තුලින්ම ප්‍රබල විරෝධයක් මතුවෙද්දී, අප වැනි නොදියුණු රටවල මෙම පානයන් සරුවට විකිනෙයි.

කොත්තමල්ලි ඩ්‍රින්ක් එකේ සිට lifestyle එකක් දක්වා පැමිණීමට මෙම විදේශීය පානයන්ට ගතවුයේ ඉතා සුළු කාලයකි. එසේ නම් අභිමානවත් ජාතියක් ලෙස එය ප්‍රතිවර්තනය කිරීමටද කෙටි කාලයක් තුලදී අපට හැකි විය යුතුය. 

අද සිට ඔබට හැකි නම් මෙම විදේශීය පැණිබීම පානය සම්පුර්ණයෙන්ම නතර කිරීමට එයම රට ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇත. මේ සඳහා දැනට ඇති විකල්පය තැඹිලි සහ කුරුම්බාය. කුරුම්බා වතුර පැකට් හෝ බෝතල් කර විකිණීම මැලේසියාව, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, පිලිපීනය ආදී රටවල සරුවට කෙරෙයි. එහෙත් තැඹිලි එසේ ලබාගත හැකි අවස්ථා ඉතා විරලය. මන්ද තැඹිලි පිළිබඳව බොහෝ රටවල් දන්නේ වත් නැති නිසාය. එසේ නම් මේ අංශයෙන් අපිට ඉහලට ඒමට නොහැකිද? ඕනෑම රටක නිෂ්පාදනයක් බිහිවීම සඳහා දේශීය වෙළඳ පොළක් තිබිය යුතුය. එය සකසා දීම ඔබේ යුතුකම නොවේද? මේ වන විට ලංකාවේද තැඹිලි සහ කුරුම්බා බෝතල් කිරීමේ ව්‍යාපාරයක් තිබුනත්, විදේශීය පැණිබීම අලෙවිය හා සසඳන විට එය ඉතා කුඩා ව්‍යාපාරයකි. 

මීට අමතරව කහට වැඩි තේ වීදුරු භාගයකට දෙහි ස්වල්පයක්, සීනි හෝ මීපැණි කලවම් කර එය අයිස් වලින් පුරවා සාදන දෙහි-අයිස් තේ පානය ඉතා සුමිහිරිය. එය මැලේසියාවේ ප්‍රධාන පානයකි. දෙහි වෙනුවට ලංකාවේද ඉතා සරුවට වැවෙන පොකුරු නාරං ගෙඩියක් මිරිකා ගෙඩිය පිටින්ම දැමීම මැලේසියාවේ සිරිතයි. එය ලාංකිකයාට හුරු කිරීම අපහසු කටයුත්තක් යැයි ඔබ සිතනවාද?

කොකා කෝලා වෙනුවට සැබෑ කොත්තමල්ලි පානයක්, බෙලිමල් වතුර, රණවරා, ඉරමුසු මෙන්ම දෙහි-අයිස් තේ ආදී පැකට්/බෝතල් කල හැකි බීම වර්ග ගණනාවක් මගේ මතකයට පැමිණෙයි. මෙම ව්‍යාපාරය ලෝකයේ බොහෝ රටවල ඉතා ප්‍රචලිතය. 

මේ යෝජනාව තුලින්, ලංකාවේ මෙම විදෙස් බීම අසුරාලන ව්‍යාපාරය කඩා වැටෙනු ඇත. රැකියා ගණනාවක් තාවකාලිකව නැතිවනු ඇත. එහෙත් ඒ සමගම ගොඩනැගෙන දේශීය ව්‍යාපාර එම අඩුව සපුරා තවත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි කරනු ඇත. රටට විදේශ විනිමය ඉපැයෙන අතරම මෙතෙක් අප රටින් එතෙරට ඇදී ගිය විදේශ විනිමය විශාල ප්‍රමානයක් රට තුල සුරැකෙනු ඇත.

මේ ඔබට රටේ දියුණුව සඳහා මෙන්ම ඔබේ යහපත් සෞඛ්‍යය සඳහාද පහසුවෙන්ම දායක විය හැකි අනගි අවස්ථාවකි. 









3 comments:

  1. තැඹිළි නං ලංකාවේ ඉතා දුලබයි දැන්. පොල් සහ කුරුම්ඹාත් ඒ වගේම තමයි. හේතුව වැඩිවෙන ජනගහණයේ නිවාස අවශ්‍යතාව සඳහා සාරවත් පොල් වතු කුඩා කට්ටි කර විකිණීම!

    ReplyDelete
    Replies
    1. සාකච්චාවට හොඳ point එකක්.

      පොල් වතු කට්ටි කර නිවාස සෑදීම සඳහා විකිනීමට ප්‍රධාන හේතුව වුනේ පොල් ගසක් පැල කර එයින් ඵලදාව ලබාගෙන ලාබ ලැබීමට ගතවන කාලයි. මේ අනුව ව්‍යාපාරික පොල් වගාවේ ROI එක වසර 10-15 අතර වුනා. නමුත් මැලේසියාව තායිලන්තය වැනි රටවල පසුගිය දශකයේ කල පර්යේෂණ වලින් ඔවුන් ඉතා අඩු කලකදී විශාල අස්වැන්නක් ලබාගත හැකි පොල් වර්ග සොයාගත්තා. එලෙසම බොහෝ වගාවන්ට නුසුදුසු මුඩු බිම් වල වැවෙන පොල් වර්ග ඔවුන් බිහි කළා.

      දැන් ඉතින් මේ රටවලින් සල්ලි දීල වත් අලුත් තාක්ෂණය ගමු නේද? අපේ පොල් පර්යේෂණ ආයතනය පසුගිය දශක ගණනාවකටම ...... මම මෙතනින් නවතින්නම්

      Delete
  2. ලංකාවේ තේ ෆැක්ටරි වලින් ඉවත් කරන තේ රොඩු (කසල තේ) වලින් හදන සාන්ද්‍ර නිස්සාරණ වල එකම ගැනුම් කරුවන් වන්නේ ඔය කොත්තමල්ලි බිම හදන ජාත්‍යන්තර කොම්පැනි දෙකයි, අපි බොන තේ කෝප්පයක තියෙන තේ නිස්සරණ ප්‍රමාණයට වඩා තේ ඔය කොම්පැනි වලින් හදන කොත්තමල්ලි බිම වල තියෙනවා වෙන්නත් පුළුවනි.

    ReplyDelete