Follow this Blog

Thursday, 5 April 2018

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න (The War of Imaginations)


"සුරංගනාවිය මාත් එක්ක අපේ ගෙදර වහල උඩට නැග්ගා. එයාට ලොකු පියාපත් දෙකක් තියෙනවා. එයා ඊට පස්සේ මාව තුරුල් කරගෙන පියාඹන්න පටන්ගත්තා. අපි පාරාදීසයට ගියා. එහෙදි එයා මට පෝනි කෙනෙක් දුන්නා" කුඩා අයේෂා තමා දුටු සිහිනය සුරතල් හඬින් විස්තර කරයි. වෙනත් මැලේසියානු දරුවෙකුට වඩා ඇයගේ ඉංග්‍රීසි බස හැසිරවීම ඉතා විශිෂ්ඨය.

"බොරු කියන්න එපා අයේෂා", ඇයගේ මව ලැජ්ජාවෙන් මෙන් කීවාය. තම දියණිය බොරු වැලක් කියතියි ඇය සිතන බව ඇයගේ ඉරියව් වලින් පිළිබිඹු වෙයි. 

"කොහොමද ඔයා දන්නේ අයේෂා බොරු කියනවා කියලා" මම නොරිස්සුමෙන් මෙන් ඇයගෙන් ඇසුවෙමි.

"එයා හැමදාම උදේට ඔය වගේ හීන ගැන ගොතල කියනවා".

"එය අයේෂාගේ සිහිනයයි. සිහිනයක අයිතිය ඇත්තේ සිහිනය දකින්නාටයි. එය පිළිගනිම හෝ නොපිළිගැනීම අනෙක් අයගේ අයිතියක්. ඒත් කෙනෙකුගේ සිහිනය ඇත්තද, බොරුද කියා තර්ක කිරීමට කිසිවෙකුටත් නොහැක." මම අයේෂාගේ මවට  විස්තර කලෙමි.

අයේෂා මගේ ප්‍රකාශය ගැන බොහෝ සේ සතුටට පත් වූ අයුරු පෙනෙන්නට තිබුණි. මා ඇගේ මවට කියූ දේ ඇයට තේරුණාදැයි මම නොදනිමි. එහෙත් බොහෝ කලකින් ඇයට තමාගේ සිහින පිළිබඳව විශ්වාසය පළ කරන කෙනෙක් හමු වී ඇත.


*******************************************


"ඔබ දෙවියන්වහන්සේ සිටින බව පිළිගන්නවද?" දේව වාදී ආගම් අදහන බොහෝ දෙනෙක් මගෙන් මේ ප්‍රශනය අසයි. මම 'ඔව්' යන පිළිතුර දුන හොත් ඔවුන් බොහෝ සේ සතුටු වෙයි. පිළිතුර 'නැත' යන්න නම් ඔවුන් එතැන් සිට තව ප්‍රශ්න වැලක් අසයි.

බෞද්ධයන්ද, මෑතක සිට නිරගමිකයන් ලෙස හඳුන්වාගන්නා පිරිසද මේ පැනය කිහිප විටක් මගෙන් අසා ඇත. මෙහිදී ඉහත සඳහන් පිළිතුරු දෙකට ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයන්ය.

මාගේ පිළිතුර වන්නේ මේ දෙකම නොව "මම නොදනිමි" යන්නයි. එය අමරාවික්ෂේප වාදයකට වඩා සත්‍යය ඒ ලෙසටම පවසිමකි. මට දෙවියන් වහන්සේ සිටිනවා යයි හෝ එබඳු ප්‍රපංචයක් නැත යයි පරිකල්පනය කල හැක. ඉන් ඔබ්බට ඒ පිළිබඳව කිසිවක්  මා දන්නේ නැත. නොදන්නා නිසා දෙවියන්වහන්සේ ඇතැයි පිළිගැනීමට හෝ නැතැයි ප්‍රතික්ෂේප කිරීමට මා සුදානම් නැත. දෙවියන් ඇතත් නැතත් මට ඒ ගැන විශේෂ හැඟීමක්ද නැත.

"දෙවියන්වහන්සේ නැතිනම් ඔබ සාමයෙන් සිටින්න. ඇති නම් ඇයට සාමයෙන් සිටීමට ඉඩහරින්න" මම බොහෝ විට සිනහ මුසු මුහුණෙන් ඔවුන්ට පවසමි.

දැන් ඔවුන් අතර ඉමහත් ව්‍යාකූලත්වයකි. දෙවියන්වහන්සේ ගැහැනියෙක්ද, පිරිමියෙක්ද? හෙතෙම සුදුද කළුද? රැවුල ඇත්ද නැත්ද? එම ප්‍රපංචයට අප යාඥා කල යුතුද නැද්ද? ඒ වෙනුවෙන් අප සේවය කල යුතුද නැත්ද?....... එය එකම අවුල් ජාලයකි.

තමා නමැති ප්‍රපංචයට පරිබාහිරව ඇති සියළු දේ පාලනය කරන සුපිරි බලවේගයක් ඇති බව සියළුම ආගමිකයෝ සලකති.  ඒබ්‍රහමීය ආගම් මෙය දෙවියන් වහන්සේ ලෙසද, බෞද්ධයෝ සහ ජෛනයෝ මෙය කර්මය ලෙසද, හින්දු බැතිමතුන් මෙය දෙවියන්ගේ සහ කර්මයේ සංකලනයක් ලෙසද හඳුන්වති. එම සුපිරි බලවේගයට (දෙවියන් වහන්සේට) යාඥා කිරීමෙන් සහ තම ආගමට අදාළ "යහපත් දේ" කිරීමෙන් එහි ඵල විපාක යම්තාක් වෙනස් කර ගත හැකි බව දේවවාදියෝ සිතන අතර තම ආගමට අදාළ "යහපත් දේ" කිරීමෙන් පමණක් කර්මයෙහි ඵල විපාක යම්තාක් දුරකට වෙනස් කර ගත හැකිබව කර්මවාදියෝ සිතති. මේ දෙකොටසෙහිම ඇත්තේ තමන්ට නොතේරෙන බාහිර බලවේගයක් පිළිබඳව ඇති පරිකල්පනයකි (imagination).

ඔවුහු තම පරිකල්පනයන් වෙනුවෙන් යුධ වදිති. තමාගේ පරිකල්පනය තමාගේ අයිතියක් බව ඔවුන්ට නොතේරෙයි. දෙවියන් වහන්සේ හෝ කර්මය ඇතැයි හෝ නැතැයි යන්නද ඇත්නම් ඒ ප්‍රපංචයේ ස්වභාවය පිළිබඳවද තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථ දක්වා ගත හැකි බව ඔවුහු නොසිතති. මේ වෙනුවට ඔවුහු අනුන්ගේ පරිකල්පන පිළිබඳව වද වෙති. තමාගේ පරිකල්පනය අනෙකාගේ පරිකල්පනය සමග සසදන්න උත්සහ කරති. එයින් නොනැවතී තම පරිකල්පනය අනුන්ගේ මනසට ඇතුළු කරන්නට වෙහෙසෙති.

ආගමක හරය පිළිබඳව තර්ක කිරීම හොඳම සිහිනය තෝරනවා වැනි අමනෝඥ ක්‍රියාවකි. අපට තර්ක කල හැක්කේ ආගමේ නාමයෙන් පුද්ගලයන් සිදු කරන ක්‍රියාවන් ගැන පමණි.

ආගම් පමණක් නොව නුතන බටහිර විද්‍යාවද පදනම් වන්නේ පරිකල්පනයන් මතය. එහෙත් සියළු ආගම් (බුද්ධාගමද ඇතුළුව) බටහිර විද්‍යාවෙන් වෙනස් වන එක් ප්‍රධාන සාධකයක් ඇත. එනම් ඕනෑම විද්‍යාත්මක කරුණක් වැරදීමේ සම්භාවිතාවයක් ඇති බව විද්‍යාඥයා පිළිගැනීමයි. මේ නිසා විද්‍යාව ප්‍රශ්න කල හැක. විද්‍යාවට අභියෝග කල හැක. එහෙත් ආගමක ඇතුළත් කරුණු වැරදීමට ඇති සම්භාවිතාව බින්දුවක් ලෙස ආගම් භක්තිකයා දැඩි ලෙස පිළිගනී.  මේ නිසා ආගම ප්‍රශ්න කල නොහැක. ආගමට අභියෝග කල නොහැක.

විද්‍යාව වෙනස්වෙමින් ඉදිරියට ඇදෙද්දී සියලු ආගම් වසර දහසකත් වඩා අතීතයේ කාල අවකාශය තුල නතර වී ඇත්තේ මේ නිසාය.


**********************************************




මිනිසෙකුගේ ශරීරය තුල ඔහුගේ දෙමව්පියන්, ගති ලක්ෂණ, ස්ත්‍රී පුරුෂ භාවය සහ රූප ස්වභාවය පිළිබඳව දත්ත අඩංගු වෙයි.  තමන්ගේ ජාතිය (මානව වර්ගය) පිළිබඳවද යම් ප්‍රමාණයකට තොරතුරු මෙම ගබඩාවේ ඇත. විශේෂයෙන්ම කෙනෙකුගේ රූප ස්වභාවය මීට අදාලව පිටතින් පෙනෙන ලක්ෂණයකි. මීට අමතරව ඉපදුන රටද භෞතික දත්තයකි. 

එහෙත් කෙනෙකුගේ ආගම යනු 100% ම පරිකල්පනයකි. මව විසින් රෝහලේ දමා යන දරුවෙකු පිළිබඳව සලකන්න. මෙම දරුවා රැක බලා ගැනීමට මව්පියන් වශයෙන් දෙපලක් ඉදිරිපත් වෙයි. කෙදිනක හෝ මෙම දරුවාගේ ආගම තීරණය වන්නේ එම හදාගන්නා දෙමව්පියන්ගේ ආගමික අභිමතයන්ට අනුකූලවය. දරුවාගේ සැබෑ මාපියන්ගේ කුමන ගති ලක්ෂණ ඔහුගේ ජාන වල තිබුනත් ඔවුන්ගේ ආගමෙහි අංශු මාත්‍රයක්වත් දරුවා කෙරේ නොපිහිටයි. මේ සත්‍ය තේරුම් ගැනීමට බොහෝ දෙනා අකමැතිය. මන්ද ආගම මිනිසා එතරම්ම තදින් මනසේ කොටා ගෙන ඇති බැවිනි.

නූතන මානවයා බිහිවී වසර 200,000 පමණ ගතවී ඇති බව දැනට අනුමාන කෙරේ. මානව ශිෂ්ඨාචාරය (මෙම වදන මතබේදාත්මකය) ඇතිවී අඩුම තරමින් වසර 20,000 ක් ගතවී ඇත. වර්තමානයේ අප අතර පවතින ආගම් පිළිබඳව කිසිඳු දැනීමක් නොමැතිව වසර දහස් ගණනක් බිලියන සංඛ්‍යාත මිනිස් සමුහයක් ඉපද මිය ගියහ. අද දක්වාම ලෝකයේ බිලියන ගණනක් ජනතාව ඒබ්‍රහමීය ආගම් ගැන නොදනී. බිලියන ගණනක් ජනතාව හින්දු දර්ශනය පිළිබඳව නොදනී, ඊටත් වැඩි ප්‍රමාණයක් බෞද්ධ දර්ශනය ගැන නොදනී. මීට අමතරව වෙනත් ආගම් අදහන්නන්ද, නිරාගමිකයන් බොහෝ පිරිසක්ද වෙසෙති. මේ හැම දෙනාම සතුටින්, දුකෙන් හෝ ඒ දෙකේ මිශ්‍රණයකින් යුතුව ජීවත්වී මියයති. අදහන ආගමෙන් 100% ස්වායත්තව ඔවුන් ස්වභාවික ආපදා, දුර්භීක්‍ෂ සහ යුද්ධ වලට මුහුණ දෙති.  

එහෙත් ආගම් අදහන සියලු දෙනාද නිරාගමික සියලු දෙනාද සිතන්නේ තමා අයත් වන උප කුලකය පමණක් තම ආගම හෝ ආගමකට අයත් නොවීම නිසා සතුටින් සිටින බවයි. මෙය එකවර සිදුවිය නොහැක්කක් බව ඉතා සරල දැනුමකි. 

මේ අනුව ආගම් ඇදහීම, නොඇදහිම හෝ අදහන ආගම මත භාග්‍යවන්ත හෝ අභාග්‍යවන්ත මිනිසෙකු බිහි නොවන බව පැහැදිලිය. 

මා ඉස්ලාම් භක්තිකයකුගෙන් වරක් මෙලෙස ඇසුවෙමි. 

"ස්වීඩනයේ ජනතාවගෙන් අති බහුතරයක් ක්‍රිස්තියානිවරුන්ය. එහෙත් ඔවුන් ඉතා හොඳ ජීවන තත්වයක් සහිතව සතුටින් ජීවත්වී මියයති. පකිස්තානු ජාතිකයන්ගෙන් අති බහුතරයක් ඉස්ලාම් භක්තිකයන්ය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙක් ඉතා කටුක ජිවිත ගතකරති. අසතුටින් ජිවත්වන ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අවස්ථාවක් ලද විගස වෙනත් දියුණු රටකට පැනගැනීමට මාන බලමින් සිටිති. එසේ නම් ඉස්ලාම් ආගම ඇදහීමෙන් ඔවුන්ට කිසිඳු සුගතියක් වී ඇත්ද?".

ඔහු ක්ෂණිකයෙන් පිළිතුරු දුන්නේය.

"ඔවුන්ගේ (ස්වීඩන් ජාතිකයන්ගේ) සතුට රැඳී ඇත්තේ මෙලොව ජිවත්වන තෙක් පමණයි. මරණින් පසු මුස්ලිම් භක්තිකයන් දිව්‍යලෝකයේ ඉතා සැපෙන් සිටිනු ඇත. එහෙත් ක්‍රිස්තියානි භක්තිකයන්  අපායේ ගිනිදැල් මත සදා දුක් විඳිනු ඇත".

දැන් මුස්ලිම් නොවන ඔබ මෙම පිළිතුර හාස්‍යයට ලක් කරනු ඇත. එහෙත් ඔබ සියලුම දෙනා සිතන්නේ මෙලෙස නොවේද? ඉතා සැපවත් ජිවිතයක් ගතකරන මස් කඩ මුදලාලි මරණින් මතු අවීචි මහා නරකාදියට වැටෙතැයි සිතා බෞද්ධ ඔබ සිත සනසා ගනියි. දෙවියන්වහන්සේට කිසි දිනෙක යාඥා නොකළ බෞද්ධ ධනවතා මරණින් මතු අපා ගතවෙතැයි සිතා ක්‍රිස්තියානි ඔබ සිත නිවා ගනී. නොපවතින, මරණින් මතු පැවැත්මක් වෙනුවෙන් මේ ජිවිතයේ බොහෝ දේ කැපකරමින් ආගමිකයන් දුක් විඳින බව නිරාගමිකයන් පවසනු මා අසා ඇත. එහෙත් ඔවුන් කිසිවෙකුටත් මරණින් මතු පැවැත්මක් නොමැති බව ප්‍රත්‍යක්‍ෂත්  නැත. 

ඉහත කරුණු අනුව තම ආගම සුපිරි ලෙස සැලකීමට සෑම ආගමිකයකුටම ඇත්තේ එකම එක කරුණකි. එනම් මරණයෙන් මතු පැවැත්මයි. සෑම ආගමකම පවසන්නේ තම ආගම අනුව කටයුතු කිරීම මගින් මරණින් මතු පැවැත්ම සඳහා සුගතියක් සැලසෙන බවයි. සියලු ඒක-දේව ආගම්වල මරණින් මතු පැවැත්ම දිව්‍ය ලෝකය / අපාය ලෙසද බෞද්ධ සහ හින්දු වැනි ආගම්වල පුනරුත්පත්තිය/පුනර්භවය ආදී සංකල්ප ලෙසද හැඳින්වේ. 

මේ මරණින් මතු පැවැත්ම හැම දෙනෙකුටම පාහේ පරිකල්පනයක් (imagination) නොවන්නේද?  දැනට පවතින භෞතික දැනුම් සම්භාරය තුල මෙම කරුණ සාක්ෂාත් කරගත හැක්කේ මරණින් මතු පමණි. එතෙක් එය පරිකල්පනයකි. සමහර විට කෙනෙකුට යම් යම් ක්‍රමවේදයන් තුලින් මෙම කරුණ මෙම ජීවිතය තුලදීම ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිවන්නට ඉඩකඩ තිබේ. එහෙත් එය එම පුද්ගලයාට පමණක් ග්‍රහණය වන ප්‍රත්‍යක්‍ෂයකි. එනම් වෙනෙකෙකුට ප්‍රත්‍යක්‍ෂ කල නොහැකි තමාට පමණක් විඳිය හැකි බුද්ධිමය දේපලකි.

තමා භාවනාවෙන් මනස වැඩි දියුණු කරගෙන සිය පෙර ආත්මය සහ ඊළඟ ආත්මය දුටු බව කිහිප දෙනෙක් මා සමග පවසා ඇත. එසේම දෙවියන් වහන්සේට යාඥා කරමින් සිටින විට තමා ඉදිරියේ දේව දූතයන් හෝ ජේසුස් වහන්සේ දර්ශනය වී මරණින් මතු තමා ස්වර්ග රාජ්‍යයට පිවිසෙන බව කීවේ යැයි මා සමග කිහිප දෙනෙක් පවසා ඇත. ඔවුන් එක් කෙනෙක්වත් පවසන දෙය අසත්‍ය යයි මට කිව නොහැක. එසේම සත්‍ය යයි කීමටද නොහැක. එය පිළිගනිම හෝ නොගැනීම 100% ම මගේ අයිතියකි. එය පිළිගනිම හෝ නොපිළිගැනීම පිළිබඳව කිසිවෙකුටත් කරුණු පැහැදිලි කිරිමටද මම බැඳී නොසිටිමි. 

මරණින් මතු පැවැත්ම තීරණය කරන්නේ දෙවියන් වහන්සේ විසින් බව ඒබ්‍රහමීය ආගම් අදහන්නෝ පරිකල්පනය කරති. එය කර්මය පෙරටු කරගත් ධර්මතාවයක් විසින් සිදු කරන බව බෞද්ධ සහ ජෛන ආගමිකයෝ පරිකල්පනය කරති. බොහෝ හින්දුවරු මේ සඳහා කර්මයේ මෙන්ම දෙවිවරුන්ගේද අදාළත්වයක් ඇති බව පරිකල්පනය කරති. ඒ අනුව "මම" යන භූතාර්තයට පරිබාහිරව ඇති යමක් මෙම මරණින් මතු පැවැත්ම තීරණය කරන බව බොහෝ දෙනාගේ අදහසයි.

මා සිතනා ආකාරයට මෙම "මරණින් මතු පැවැත්ම" නමැති පරිකල්පිත සංකල්පය මිනිස් ශිෂ්ඨාචාරයේ අතිශයින් වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.

මිනිසා තනි තනිව හෝ කුඩා පවුල් ඒකකයක් ලෙස ජිවත් වන තාක් කල් මරණින් මතු පැවැත්මක් නැතැයි යන සංකල්පය දැරීමේ විශාල ගැටළුවක් මතු වන්නට නැත. එහෙත් ඔහු සමුහයක් වශයෙන් ජිවත් වීම ඇරඹු දා සිට මිනිස් මනස පාලනය කිරීමට මෙම සංකල්පය බොහෝ සෙයින් වැදගත් වන්නට ඇත. නොඑසේ නම් පුද්ගලයෙකුට ඕනෑම අවැඩ ක්‍රියාවක් සිදු කිරීමේ නිදහස ලබෙනුයේය. 

මරණින් මතු පැවැත්ම පිලිබඳ සංකල්පය පුද්ගල මනස වගකීමේ ක්‍රියාවලියකට ඇතුළු කරයි. එසේ නොවන්නට ලෝකය මීට වඩා ඉතා භයානක කටුක පරිසරයක් වන්නට තිබුණි. ස්වභාව ධර්මයේ ආන්තික සිදුවීම් වලට ඇති බිය පදනම් කරගෙන බිහි වූ ආගම් මරණින් මතු පැවැත්ම දක්වා වර්ධනය වන්නේ සමාජයේ යහ පැවැත්ම සඳහා වන්නට ඇත. නීතිය ලෙසින් සංකල්පයක් බිහිවන්නේ මෙහි ඊළඟ පියවර ලෙසයි.


******************************************




අයේෂාගේ සිහිනය භුක්ති විඳීමට අයේෂාට ඇති අයිතිය සේම, තම ආගමෙහි පවසන දේ භුක්ති විඳීමට තමාට අයිතියක් ඇත. එහෙත් ශිෂ්ඨ සමාජයක වැදගත්ම කරුණ නම් මේ පරිකල්පනය භුක්ති විඳීමට ඔබට අයිතිය ඇත්තේ වෙනත් අයෙකුට හිංසාවක් වධයක් නොවන සීමාව තුල පමණක් වීමයි.  

යම් ආගමක ඇති පරිකල්පිත සංකල්ප තවෙකෙකු මත බලහත්කාරයෙන් පැටවීමට කිසිවෙකුටත් අයිතියක් නැත. එලෙසම තම ආගම වෙනුවෙන් වෙනත් කිසිම අයෙකුගේ පරිකල්පනයට හෝ යහපැවැත්මට බාධා කිරීමටද කිසිවකුට අයිතියක් නැත. ආගම හා බැඳි සමාජ සංස්කෘතිය මේ අයිතියක් නැති බව පිළිගන්නා තෙක් එම සමාජය ශිෂ්ඨ වන්නේද නැත. රැකිය යුත්තේ ආගම නමැති පරිකල්පනය නොව මෙම "අනෙකාගේ පරිකල්පනයට බාධා කිරීමට අයිතියක් නැත" යන සංකල්පයයි. 

අපි විසි එක් වෙනි සියවසේද තුන්වෙනි දශකය වෙත තව වසර දෙකකින් පියනගන්න බලාගෙන සිටිමු. එවන් ලෝකයක තමන්ගේ පරිකල්පනය වෙනුවෙන් යුද්ධ කිරීමට සැදී පැහැදී සිටින සමාජයක් ඇත්නම් එය ගෙන ගොස් තැබිය යුත්තේ සහශ්‍රයකටත් එපිට කාල-අවකාශ ලක්ෂයකය. විද්‍යාව දියුණු කල යුත්තේ මේ කාල යාත්‍රාව සැබෑවක් කරගැනීම සඳහාය. 

*******************************************

පුනරුප්පත්තිය පිළිබඳව නොයෙකුත් පර්යේෂණ සිදු කර ඇත. එලෙසම දෙවියන් දැකීම, තාවකාලික මරණයකදී දිව්‍යලෝකයට හෝ අපායට පිවිස නැවත පැමිණි පුද්ගලයන් ගැන, කිහිප දෙනෙකුට එකවර දේව දර්ශනයක් සිදුවීම ගැන සඳහන්වන පර්යේෂණ රාශියක් පිළිබඳවද විද්‍යා සාහිත්‍යයේ සඳහන් වේ. එහෙත් මේ සෑම පර්යේෂණයකම තවමත් ගැටළු රාශියක් පවතී. ඒවා ප්‍රතිනිරුපණය (replicate) කල නොහැකි වීම මෙහි ඇති ප්‍රධාන දුර්වලතාවයකි. කෙසේ වුවත් ඕනෑම අයෙකුට මේවා පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ අයිතියක් ඇත.
























6 comments:

  1. මටත් වෙලා තියෙන්නේ නොදන්නාකමය.
    ඇදහීමට විශ්වාසය අවශ්‍යය.
    විශ්වාසයට සත්‍ය යයි දැන ගැනීම අවශ්‍යය.

    ආගම් ඇත්තද නැත්තද, කොයිතරම් ඇත්තද, කොයිතරම් නැත්තද මං නොදන්නා නිසා ඒවා ඇත්තයයි විශ්වාස කර ආගමිකයෙක් හෝ නැත්තයයි අවිශ්වාස කර නිරාගමිකයෙක් වීමට නොහැකි නිසා නිකම්ම නොදන්නාගමිකයෙක් වෙමි.

    ඔය මොනවත් නැතුව නිකම්ම විස්වාස කර අදහන්නන් මොන දේ වුනත්, කොයිතරම් තම විස්වාසය සැක කිරීමට කරුණු තිබුනත් ඒවා කොහොමහරි තම ඇදහිල්ලට ගැලපෙන්න හරවාගෙන දිගටම අදහනවාත් එයින් මානසික සුවයක් හා ශක්තියක් ලබනවාත් මා දැක ඇත.
    මටත් එහෙම පුලුවන්නම් හොඳයි කියල හිතිලාද ඇත. ඒත් බෑ නෙ.

    ReplyDelete
  2. I agree with you.
    Religions, life before birth, life after birth, god, heaven, hell and even nirvana all these are creations of human mind.
    Do monkeys have a religion (religions)?

    ReplyDelete
  3. අමරාවික්ෂේප වාදයකට - මේ මොකක්ද - agnostic කියන එකද

    ReplyDelete
    Replies
    1. Some sort of Agnosticism. It is the theory of Sañjaya Belaṭṭhiputta, one of the teachers that Siddhartha Gautama sought after the knowledge. "I don't think so. I don't think in that way or otherwise. I don't think not or not not. - Suspension of judgement". The closest Sinhala translation of අමරාවික්ෂේප වාදය is ආඳා වගේ ලිස්සල යෑම.

      Delete
  4. මම ඉඳහිට පන්සල් යනවා. ඒ අර පුරුද්දට සහ හාමුදුරුවෝ එක්ක හිතවත් නිසා. භාවනා හුරු කරන පන්සල්කටත් යනවා. ඒක ලොකු ඉඩක තියෙන නිස්කලංක තැනක් නිසා. ඒ ඇරෙන්න පල්ලි යනවා ක්‍රිස්මස් දවසට බිරිඳ වෙනුවෙන්. දෙවියන්, පුනරුත්පත්තිය සහ කර්මය පිලිබඳ විශ්වාසයක් නැහැ.එනිසා ඔබ ලියල තියෙන කාරනා ගැන එකඟ වෙන්න පුළුවන් මටත්.

    ReplyDelete
  5. මැරුණට පස්සේ පණිවිඩයක් එවන්න ක්‍රමයක් හොයා ගත්ත නම් මේ ප්‍රශ්න විසදෙනවා.. හෙහ් හෙහ්.. මෝස් කෝඩ් වගේ සිස්ටම් එකක් වත් හදා ගන්න බැරි වෙයි ද දන්නේ නෑ..

    ReplyDelete