Follow this Blog

Sunday, 11 February 2018

මහ පොළවේ යථාර්තය


මීට වසර දෙකකට පෙර මා මැලේසියාවේ ජොහොර් බාරු නගරයේ සංචාරයක නිරත වන අතර සිංගප්පුරු ජාතික ලී චෙන් මහතා අහම්බෙන් හමු විය. ගොඩනැගිළි ඉංජිනේරුවකු වූ ලී වයස අවුරුදු 70 පමණ වන වයෝවෘධ වෘත්තිකයෙකි. මා අකුණු ආරක්ෂණ තාක්ෂණයෙහි යෙදී සිටින්නකු බැවින් අප අතර ව්‍යාපාරික හවුල්කාරිත්වයක් ගොඩ නගා ගත හැකි බව හැඟී ගියෙන්, අපි හරිත තේ ජෝග්ගුවක් සමග පිළිසඳරට වන්නෙමු. බොහෝ මාතෘකා පසුකොට අපි දෙරටේ සාමාජීය කරුණු පිළිබඳව සාකච්චාවකට අවතීර්ණ වූයෙමු.

"ඔබට බිය නැද්ද මැලේසියාව කවර අවස්ථාවක හෝ සිංගප්පුරුව ගිල ගනී කියා" මම සිනා මුසු ස්වරයෙන් ඔහුගෙන් ඇසුවෙමි.

"අපි හැමෝම අතරේ එහෙම බරපතල බියක් තිබුණා මීට අවුරුදු 40ට විතර කලින්" ලී පැවසුවේ තරමක බැරෑරුම් ස්වරයකිනි.

"දැන් නම් මැලේසියාව බය ඇති අපි ඒගොල්ලන්ව ගිල ගනී කියලා" ලී එක වරම මහා හඬින් සිනාසෙමින් පැවසුවේ අසළ සිටි කිහිප දෙනෙකුගේද අවධානය අත් කරගනිමිනි.

එතනින් නිමවූ අපේ කතාව නැවතත් මගේ මතකයට නැගෙන්නේ අද පිටවන පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලත් සමගමය.


භූමියෙහි ජිවත්වන බොහෝ සත්වයන්ට පොදු වූ එක් ධර්මතාවයකි. එනම් තමා ජිවත්වන බිම් කඩෙහි අයිතිය පිළිබඳව ඇති විමසිලිමත් භාවයයි. සත්වයෝ තම බිමෙහි සිමා නිර්ණය සඳහා නොයෙකුත් ක්‍රම භාවිතා කරති. මුත්‍රා කිරීම, වසුරු සහ ඛේටය දැමීම, ගස් වැල් වල අං ඇතිල්ලීම හෝ උලා කෑම මගින් සලකුණු යෙදීම මේ මායිම් සනිටුහන් කිරීමේ ක්‍රමවේද කිහිපයකි. පක්ෂීන් සහ මත්ස්‍යයන් පවා තම සිමා මායිම් කියා පෑමට නොයෙකුත් ක්‍රම භාවිතා කරන බව සොයාගෙන ඇත. 

මෙසේ තමාගේ භූමි අයිතිය, තමා අයත්වන සත්ව කොට්ඨාශයේ අන් සතුනට පෙන්වීම සහ ඒ අයිතිය වෙනුවෙන් සටන් කිරීම බොහෝ සතුන් විසින් මූලික කාරණාවක් මත සිදුකරයි. එනම් තම ආහාර සහ ලිංගික අවශ්‍යතා සඳහා ඇතිවන තරඟය අවම කරගැනීමයි.  

තවත් එක් සත්ව විශේෂයක් වන මිනිසාටද මෙය පොදු වූ කරුණකි. එහෙත් මිනිසාගේ අවශ්‍යතා ආහාර සහ ලිංගික ඕනෑකම් වලින් බොහෝ ඔබ්බට දිවෙයි. භෞතික අවශ්‍යතාවලට අමතරව ඔවුන් නාමිකව අර්ථ දක්වා ගත් ජාතිය, ආගම, කුලය, සමාජ තලය වැනි වෙනත් භූතාර්ථ රැකගැනීම වෙනුවෙන්ද භූමියෙහි අයිතිය පවත්වා ගැනීමට යත්ත දරයි. 

මා දකින ආකාරයට අනෙක් සත්වයාට අදාළ නොවූ මේ භෞතික නොවන භූතාර්ථ, භූමියෙහි අයිතිය සමග අනුයුක්ත කරන්න ඇත්තේ නායකත්වයේ පැවැත්ම උදෙසාය. මේ මගින් නායකයා වෙනුවෙන් සටන් කිරීමට පොදු මිනිසාව පොළඹවා ගැනීම පහසු වන්න ඇත.


ලෝකයේ රටවල් රාශියක ජනතාවගේ මෙම භූමියෙහි අයිතිය පිළිබඳව ඇති ආකල්ප විශ්ලේෂණය කරන අයෙකුට විශේෂ කාරණාවක් නිරීක්ෂණය කල හැක. එනම් භූමිය අහිමි වෙතැයි ජනතාව අතර ඇති බිය දරිද්‍රතාවයට අනුලෝමව සමානුපාත වන බවයි. ඇමරිකාවේ සහ දකුණුදිග යුරෝපයේ සමහර රටවල පසුගිය වසර කිහිපය තුල වැඩි දියුණු වෙමින් පවතින විරැකියාව සහ දුප්පත්කම (සංවර්ධිත රාජ්‍යයක අංකනයන්ට සාපේක්ෂව) එම ප්‍රදේශවල ජනතාවගේ භූමි අයිතිය පිළිබඳව ඇති බිය තීව්‍ර කර ඇති බව පෙනේ. 

සිංගප්පුරුව පිළිබඳව ලී මහතාගේ විවරණය ඉහත නිගමනය සනාථ කරයි. සිංගප්පුරු ජාතිකයා දරිද්‍රතාවයෙන් මිදෙන විට තමා කෙතරම් කුඩා වුවද අසල්වැසි මැලේසියානු යෝධයාගෙන් ඇතිවිය හැකියැයි සිතෙන නොයෙකුත් ආකාරයේ ආක්‍රමණිකත්වයකට ඇති බිය පහව ගොස් ඇත. ලී කිවා සේම අද මැලේසියාව බියවී ඇත. සිංගප්පුරු ජාතිකයන්ට මැලේසියාවේ ඉඩම් මිළදී ගැනීම අපහසු කරවනු වස් (විශේෂයෙන්ම සිංගප්පුරුවට යාබද වූ ජෝහොර් ප්‍රාන්තයෙහි), ඔවුන් නොයෙකුත් අණ පනත් පනවයි. 

දුපත්වල හෝ කුඩා රාජ්‍යයන්හි සිටින මිනිසුන් තුල භූමියෙහි අයිතියට ඇති බිය "කොදෙව් මානසිකත්වය" නමින් හැඳින්වෙයි. මම මේ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරමු. ඉතා ඉහළ ජාතික ඒක පුද්ගල අදායමක් ඇති සිංගප්පුරුව, බෘනෙයි, තායිවාන් වැනි කුඩා රාජ්‍යවල වැසියන් සමග ඔබ අදහස් හුවමාරු කරගෙන ඇත්නම් ඔබ මගේ මතය පිළිගනු ඇත. හයිටි වැනි කුඩා දුපතක් වුවද ඉන්දියාව වැනි විශාල රාජ්‍යයක් වුවද රටේ දරිද්‍රතාවය ඉහල නම් ජනතාව තුල භූමිය නැතිවේ යැයි පවතින බිය ඉහල තලයක පවතී. 

"භූමියේ අයිතිය නැතිවේ යැයි ඇති බිය (land insecurity)" සහ "දේශප්‍රේමය (patriotism)" යනු ඉතා දුරස්වූ කරුණු දෙකකි. ජපානයේ, දකුණු කොරියාවේ මෙන්ම යුරෝපයේ බොහෝ රටවල වැසියන්ද ඉහළ දේශප්‍රේමයක් ඇති පුද්ගලයන් බව මම අත්දැකීමෙන් දන්නෙමි. එහෙත් ඔවුන් තුල භූමියේ අයිතිය නැතිවේ යැයි බියක් නොපවතී.  

සැබෑ දේශප්‍රේමය ඇති ජනතාවගේ පොදු ලක්ෂණ මෙසේය. ඔවුන් තම රට වෙනුවෙන් කාර්යක්ෂමව සහ යුහුසුළුව වැඩ කරයි. අන්‍යයන් කෙරේ ගෞරවාන්විත වෙයි. පුද්ගල මෙන්ම සාමුහික මට්ටම් වලදීද දුෂණය සහ වංචාව අවම මට්ටමක පවත්වා ගනියි. මේ සියල්ල සාරාංශ කල විට කිව හැක්කේ දේශප්‍රේමය යනු රටක ජනතාව එම රටෙහි උන්නතිය වෙනුවෙන් පුද්ගල මට්ටමේ සිටම උපරිමයෙන් දායක වීමයි. 


භූමියේ අයිතිය නැතිවේ යැයි බිය ඇති සමාජයක හැසිරීම මීට වඩා වෙනස්ය. ඔවුන් ජාති, ආගම්, සමාජ පංති ලෙසින් බෙදී නිතර එකිනෙකාට චෝදනා කරගනියි. මීට හේතුව තමාගේ අසල්වාසියා ද්‍රෝහී වනු ඇතැයි පවතින සැකයයි. තමාගේ පන්තියේ සිටි අයෙක් ඉන් මිදී ඉහල පන්තියකට යාම බොහෝ විට ජාති ද්‍රෝහිබව ලෙස අර්ථ දැක්වෙයි. ඔවුන් අතර අසමගිකම් බේද බින්න ඇති කිරීම පහසුය. නිතරම සටනට හිත යොමු කෙරෙනවා මිස මෙබඳු සමාජයක ඵලදායි කර්තව්‍යයක් කෙරෙන්නේ නැත. අවස්ථාවාදීන්ට මෙබඳු සමාජයක් පහසුවෙන් තම ග්‍රහණයට ගත හැක. 

දරිද්‍රතාවයෙන් පෙලෙන රටක ජනතාව භූමිය නැතිවේ යැයි ඇතිකරගන්නා බිය මුසු හැඟීම එම ජනතාවගේ වරදක් නොවේ. එය සියලු සත්වයාගේ ස්වභාවයයි. නැණවත් දේශපාලකයා මෙන්ම කපටි දේශපාලකයාද මේ බව මැනවින් වටහා ගැනීමෙන් එම සමාජයේ පාලන බලය අත්පත් කරගනියි. 

නැණවත් දැහැමි පාලකයා මෙසේ උපක්‍රමිකව ලබාගත් බලය යොදවන්නේ රටේ දරිද්‍රතාවය සිඳුවා, භූමිය නැතිවේ යැයි බියෙන් වෙසෙන ජනතාව සදාකාලික දේශප්‍රේමින් කිරීමටය. එසේ පාලන බලය ලබා ගන්නා කපටි කෛරාටිකයා තමා දේශප්‍රේමියෙකු යයි හඳුන්වා ගනිමින් ජනතාව තුල ඇති භූමිය අහිමිවීමේ බිය තව තවත් වර්ධනය කරයි. එමගින් ඔහු තමන්ගේ සහ සහචරයන්ගේ මඩිය තර කරගනී.

ලංකාවේ මට මතක ඇති කාලයක වැඩිම FB පෝස්ට් සහ කොමෙන්ට් ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුල පළවුයේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගේ අභිනය පිළිබඳවයි. මිතොටමුල්ල කුණු කන්ද නාය ගිය විට හෝ මහා බැංකු වංචාව සම්බන්ධයෙන්වත් එතරම් තීව්‍ර උද්‍යෝගයක් ජනතාව තුල තිබුණේ නැත. ලාංකික සමාජයේ ඇති භූමිය අහිමිවෙතැයි තිබෙන බිය පිළිබඳව මෙය පැහැදිලි උදාහරණයකි. 

ලංකාවේ පාලන බලය ලබාගැනීම හෝ පවත්වා ගැනීම පිළිබඳව බලාපොරොත්තු ඇති ඕනෑම දේශපාලන පක්ෂයක් මෙම මහපොළවේ යතාර්ථය තේරුම් ගත යුතුය. මෙය තේරුම් ගත නොහැකි පක්ෂය හෝ පුද්ගලයා අන්ත මෝඩයෙකි. ඔහුට ලංකාව වැනි රටක දේශපාලන පැවැත්මක් නැත. 

මුලින්ම කල යුත්තේ ජනතාවගේ ඇති බිය යටපත් කර ඔවුන්ගේ චිත්ත ධෛර්යට ප්‍රාණ වායුව ලබා දීමයි. මේ සඳහා දේශපාලකයා බොහෝ සෙයින් උපායශීලි සහ උපක්‍රමශීලි විය යුතුය.

උදාහරණයක් ලෙස බ්‍රිගේඩියර්වරයාගේ අභිනය සලකමු. එය නොවිය යුත්තකි. මන්ද එයින් ජාත්‍යන්තරව ලංකාව අපහසුතාවයට පත් කිරීම සඳහා සතුරාට ආයුධයක් ලැබීමයි. එහෙත් මෙහිදී ලාංකාවේ පාලකයා උපක්‍රමශිලී වුවා නම් ජාත්‍යන්තරය තුල රටේ ජාමද බේරාගෙන, බ්‍රිගේඩියර්වද ගලවාගෙන, ලාංකික ජනතාවගේ සිත්සතන් තුල අභිමානයද වඩවා, තමන්ගේ දේශපාලන ප්‍රතිරුපයද ගොඩනගා ගත හැකිව තිබුණි.  



මේ සඳහා දියත් කළ යුතුව තිබුනේ සරල උපක්‍රමයකි. "රජයක් ලෙස අප මෙම අභිනය කිසිසේත් අනුමත නොකරන නමුත් තම රට ජාතියට නින්දිත ලෙස අපහාස කරන පිරිසක් හමුවේ මෙබඳු පියවරක් ගැනීමට අපගේ නියෝජිතයාට අකමැත්තෙන් වුවත් සිදුවූ බව කාරුණිකව තේරුම් ගන්නා ලෙස ජාත්‍යන්තරයට ඉල්ලීමක් කරන බව" නිවේදනය කළා නම් තත්වය බොහෝ සෙයින් වෙනස් වන්නට තිබුණි. 

මෙහිදී බ්‍රිගේඩියර්වරයාගේ ක්‍රියාව හෙලා නොදකින අතරම එය උත්කර්ෂයට නංවන්නේද නොමැතිව වචන හැසිරවීමට පාලකයා දක්ෂ විය යුතුය.  

ලෝකයේ පිළිගත් රාජ්‍යයක තම රටේ ඇති තානාපති කාර්යාලය ඉදිරියේ, තම රට තුල තහනම් කල සංවිධානයක පිරිසක් ඉතා අශ්ශීල ලෙස හැසිරීම නොදුටුවාසේ සිටි බ්‍රිතාන්‍ය රජයටද මෙහිදී නිහඬ වීමට සිදුවනු ඇත. අමාත්‍ය රුවන් විජේවර්ධනගේ ප්‍රකශය මීට දිනකට පසු රටේ ජනතාව ඉදිරියේ කල යුතුව තිබුණි. එසේ නම් එය ජනතාවගේ ධෛර්ය වර්ධනයට හේතුවන්නට තිබුණි. ජාත්‍යන්තර අර්බුද කළමනාකරණය (international crisis management) යනු මෙයයි. මේ සඳහා අප ඇමරිකාවෙන් උගත යුතු පාඩම් බොහෝය. 

එහෙත් ශ්‍රී ලංකා රජය මෙම සිද්ධිය එහෙම පිටින්ම අනාගත්තේය. සිදු වූ දෙය මා ලිවිය යුතු නැත. ඔවුන් ජාත්‍යන්තරයේ මෙන්ම රට තුලද පිළිකුලටත්, හාස්‍යටත්, ව්‍යසනයකටත් ලක්විය. 

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට මේ මහපොළවේ සත්‍ය කවදාවත් තේරුම් ගැනීමට හැකිවේ යැයි මම නොසිතමි. මන්ද ඔවුන්ට ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා ලැබුන බැවිනි.  
.
.
.
.
.

සත්‍ය තේරුම් ගත්තෝ දැහැමි වේවායි පතමි.   




   





11 comments:

  1. මා මේ කරුණ සම්බන්ධව මෙතෙක් දුටු ඉතාම මධ්‍යස්ථ හා අගනාම මතය මා දැක්කේ මේ බ්ලොග් පෝස්ට් එක තුළයි - අවාසනාවකට මෙන් ඔබ අවසන් ඡේදවල සඳහන් කරන පාර්ශ්වය (දේශපාලන) එසේ හැසිරීමට හේතුව මහ පොළොවේ සත්‍ය නොදැනීමම නොවේ - මැතිවරණ දේශපාලනයේදී ඒ ලන්ඩන්වල කැගැසු පිරිසගේ ගමන් සගයන්ගේ ඡන්ද තම දේශපාලන ගමන සඳහා යම් මෙහෙවරක් කිරීමද එ් සඳහා බලපානු ඇත.

    ReplyDelete
  2. අන්න ඒක තමා දැකපු හොදම අදහස.

    ReplyDelete
  3. //සැබෑ දේශප්‍රේමය ඇති ජනතාවගේ පොදු ලක්ෂණ මෙසේය. ඔවුන් තම රට වෙනුවෙන් කාර්යක්ෂමව සහ යුහුසුළුව වැඩ කරයි. අන්‍යයන් කෙරේ ගෞරවාන්විත වෙයි. පුද්ගල මෙන්ම සාමුහික මට්ටම් වලදීද දුෂණය සහ වංචාව අවම මට්ටමක පවත්වා ගනියි. මේ සියල්ල සාරාංශ කල විට කිව හැක්කේ දේශප්‍රේමය යනු රටක ජනතාව එම රටෙහි උන්නතිය වෙනුවෙන් පුද්ගල මට්ටමේ සිටම උපරිමයෙන් දායක වීමයි.// ඔබ සමග එකඟයි .එසේම බ්‍රිගේඩියර් රංගනය ගැන මා ලියු බ්ලොග් පොස්ටුවේ ලියුවෙත් අනවශ්‍ය ආකාරයට ඔහු ප්‍රශ්නයක් ඇති කර ගත් බවයි. එහෙත් බොහොමයක් සිංහලයන් එය වටහා ගත්තේ වෙනත් අයුරකින්.

    ReplyDelete
    Replies
    1. This is quite a common feature of SL public. Once they wear glasses of certain colour, they see everything in that colour, so that they analyse all what others say in that frame of reference.

      Delete
  4. //සැබෑ දේශප්‍රේමය ඇති ජනතාවගේ පොදු ලක්ෂණ මෙසේය. ඔවුන් තම රට වෙනුවෙන් කාර්යක්ෂමව සහ යුහුසුළුව වැඩ කරයි. අන්‍යයන් කෙරේ ගෞරවාන්විත වෙයි. පුද්ගල මෙන්ම සාමුහික මට්ටම් වලදීද දුෂණය සහ වංචාව අවම මට්ටමක පවත්වා ගනියි. මේ සියල්ල සාරාංශ කල විට කිව හැක්කේ දේශප්‍රේමය යනු රටක ජනතාව එම රටෙහි උන්නතිය වෙනුවෙන් පුද්ගල මට්ටමේ සිටම උපරිමයෙන් දායක වීමයි.//

    In Sri Lanka, these factors are mutually exclusive :)

    ReplyDelete
    Replies
    1. Correct Observation. This is a challenge to be overcome.

      Delete