Follow this Blog

Monday, 18 January 2016

ලෝකෙන් උතුම් රට ඉතියෝපියාවයි



මට එඩ්වර්ඩ් හමුවුනේ වසර 2013 දී බෙයිජිං නුවර පැවති දේශගුණ විපර්‍යාස සම්බන්ධ වැඩමුළුවකදීය. අඩි හයක් පමණ උස පුළුල් උරහිස් සහිත එඩ්වර්ඩ් ඉතියෝපියානු ජාතිකයෙකි. කෝපි කෝප්පයක් තොලගාමින් අපි දෙදෙනා ඉතියෝපියාව ගැන කතාකරන්න වන්නෙමු.

"ඔබ එතරම් සුන්දර රටක් දැක ඇතැයි මා සිතන්නේ නැහැ.  ඇඩිස් අබාබා නගරය පැරිස් නුවර වාගෙයි. රටේ මොන පැත්තට ගියත් ඔබට ලෝකයේ වෙන කොහෙවත් දකින්න නොලැබෙන ස්වභාවික සෞන්දර්යයන් දකින්න පුළුවන්. ඇත්තටම එය ලෝකයේ ඇති අති පුජනිය වූ දේශයයි" එඩ්වර්ඩ් කියාගෙන යයි. ඉන් නොනැවතී, තම පරිගණකයේ ගූගල් සෙවුම ඔස්සේ ඔහු තම රටේ ඇති සුන්දරත්වය මා ඉදිරියේ දැක්විය.




ඇත්තෙම්ම එය සුන්දර දේශයකි. සුවිසල් ගොඩනැගිලි වලින් හෙබි ප්‍රධාන නගර, ප්‍රෞඩ ඉතිහාසයක නටබුන්, චමත්කාර වර්ණ සංකලනයකින් යුත් දනකිල් ප්‍රදේශය, නිල් නයිල් නදිය අවට සාරවත් ප්‍රදේශ, සිනහමුසු මුහුණින් සිටින පෘෂ්ටිමත් පිරිමින් සහ ඉතා රූමත් කාන්තාවන්.

මට මගේ කුඩා කල මතක් වේ. සිසිර නම ඇති ගැටවරයන් දෙදෙනෙක් අපේ නිවසට යාබදව වාසය කලෝය. ඔවුන්ගෙන් ඉතා කෙසඟ සිරුරකින් හෙබි එක් අයෙකුව අනෙක් යහළුවන් හැඳින්වුයේ 'ඉතියෝපියා සිසිර' නමිනි. සැකිල්ල පෑදුන හරකෙකු දුටුවත් "මූ ආවේ ඉතියෝපියවෙන්ද" කියා අසන පුරුද්දක් එවකට තිබුණි.

මා ලංකාවේ මිනිසුන් තුල පවතින මේ අදහස ගැන එඩ්වර්ඩ්ට පැවසූ විට ඔහු කියා සිටියේ 80 දශකයේ ඉතියෝපියාවේ එක් ප්‍රදේශයකට බල පෑ දීර්ඝ කාලීන ඉඩෝරය නිසා ඇතිවූ තත්වයක් බටහිර මාධ්‍ය මගින් අතිශයෝක්තියෙන් හුවා දැක්වීම මෙම සංකල්පයට හේතු වූ බවයි.  පසුව මා කල හැදෑරීම්වලින්ද පැහැදිලිවුයේ මුල සිටම බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිවූ ඉතිහාසයක් ඇති ඉතියෝපියාව මාධ්‍ය මාෆියාවේ දරුණු පහර දීම්වලට දිගටම මුහුණදී ඇති බවයි.




ජිවිත කාලය තුල මට මුණ ගැසුණු සිය ගණනක් විදේශිකයන් තම රටවල් පිළිබඳව දැක්වුයේ එකම අදහසකි. ඒ තම රට ලෝකයේ ඇති උතුම්ම දේශය බවයි. මෙය ශ්‍රී ලංකාවටද පොදුය. අපේ පාසල් වලද දරුවන්ට කුඩා කාලයේ සිටම දේශාභිමානය වර්ධනය වන ආකාරයෙන්, ඉතිහාස කථා, ආදර්ශ පාඨ, ඔවදන් ඉගැන්වීම පුරුද්දක් ලෙස කෙරෙයි. මෙය ඉතා හොඳ ක්‍රියාවකි. එමගින් දරුවා තුල තම රට පිළිබඳව ආදරයක් සහ ගෞරවයක් මෙන්ම තමා තුලද ආත්ම ශක්තියක් ඇති කරවයි. එහෙත් අවාසනාවට අප රටේ සිදුවන්නේ ඉන් පියවර ගණනාවක් ඔබ්බට ජනතාව ගෙන ගොස් ඔවුන්ව 'ජාති ආල' ෆැන්ටසියක අතරමන් කර දැමීමයි.

බොහෝ විට අප විසින්ම අපගේ ජනතාව හුරු කරවා ඇත්තේ මිම්මක් නොමැති සිහින සංකල්ප තුල සිරවී සිටින අතර, එම සිහින විනාශ කිරීමට ලෝකයේ සිටින අනෙකුත් සියලු දෙනාම උත්සහ දරණ බව සිතමින් වෛරයෙන් ජිවත් වීමටයි.

පසුගිය වසරේ ලංකාවට පැමිණි අතරවාරයේ මා හට හිතවතෙකුගේ දහසය හැවිරිදි පුතෙකුගේ අදහස් වලට කන්දීමේ අවස්ථාව උදාවිය. ලංකාව පිළිබඳව වැඩිහිටි කිහිප දෙනෙකු අතර ඇතිවූ කථා බහකට බලහත්කාරයෙන් මෙන් ඇතුළු වූ ඔහු කියාගෙන ගියේ, අපි තමයි ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම ජාතිය, අපේ තමයි ලෝකෙන්ම හොඳම භාෂාව, උතුම්ම ආගම, ප්‍රෞඩතම ඉතිහාසය ආදී වදන් වැලකි. මේ සියල්ලම අසා සිටි මා ඔහුගෙන් ඇසුවේ ඔය කියන ශ්‍රේෂ්ඨත්වය, හොඳකම, උතුම් බව ආදිය මැන්නේ කුමන මිනුම් දඬු වලින්ද කියාය. මේ අනපේක්ෂිත පැණයෙන් කලබල වූ ඔහු "ඕවා එන් ජී ඕ කාක්කන්ගේ ප්‍රශ්න" කියමින් මට දොස් පවරන්න වූ අතර මගේ මිතුරා බැණ වැදී ඔහුව එතනින් එළවා දැමිය.

මගේ මිතුරාගේ පුතා නියෝජනය කරන්නේ අද රටේ තරුණ මෙන්ම වැඩිහිටි සමාජයේද පොදු ආකල්පයයි. වතපොත පුරා පැතිර යන්නේද මේ අදහසයි. අපට ලෝකයේ ඇති දිගම ගංගාව, උසම ගොඩනැගිල්ල, ඉහලම ඒක පුද්ගල ආදායම, වැඩිම ආදායමක් ලබන ගුවන්තොටුපොළ, විශාලම බහාලුම් පර්යන්තය සහිත වරාය නැත. ඒ වෙනුවට, ශ්‍රේෂ්ඨම, උතුම්ම, හොඳම, ලස්සනම, මනරම්ම, ප්‍රෞඩතම ඒවා එමට ඇත. ඊළඟට ඒවා විනාශ කිරීමට හැමවිටම අවි මානාගෙන ඉන්නා සතුරන්ද කෙළවරක් නැත.

ලෝකයේ ඇති හොඳම ඒවා අපිට ඇත්නම් අපේ දේශපාලකයන්ට කරන්න ඇත්තේ ඒවා සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම පමණි. අප රටේ සිටි හා සිටින  බොහෝ නායකයෝ මේ මනඃකල්පිත සතුරා දිගින් දිගටම හැඩ වැඩ දමමින් පවත්වාගෙන යන්නේ රට පාලනය කිරීමේ හෝ බලයට පැමිණීමේ පහසුම ක්‍රමය එය බැවිනි. එහෙත් අවාසනාවට ඇත්ත තත්වය එය නොවේ. නේපාලය කවදාවත් එවරස්ට් කඳු මුදුන අලෙවි කලේ නැත. එහෙත් එවරස්ට් නැගීමට වසරකට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව පාලනය කිරීමට නේපාල රජයට සීමා පැනවීමට සිදුව ඇත. ඒ එය ලොව උසම කඳු මුදුන නිසාවෙනි. සිංගප්පුරුව ඉතා කුඩා රාජ්‍යයක් වුවත් ලෝකයේ ඇති විශාලම වරාය සහ ගුවන්තොටුපල ඔවුන්ට ඇත. එබැවින් රටේ ආර්ථිකය පිළිබඳව ඔවුනට වැඩි බියක් නැත. මැලේසියාවට සහ ඩුබායි දේශයට වැඩිම ජනතාවක් ඇදෙන්නේද ලෝකයේ ඇති උසම ද්විත්ව කුළුණු ගොඩනැගිල්ල සහ උසම ගොඩනැගිල්ල නැරඹීමටය. අපිට මේ ආදී වූ කිසිවක් නැත. ඇත්තේ අප විසින්ම අර්ථ දක්වාගන්නා වචන කිහිපයකි. නමුත් ලෝකයාට ඒ ගැන වගක් නැත. සියවසකට පෙර සුද්දෙක් ලංකාව ගැන කී හොඳක් ඇත්නම් අපි එය හතර වටේට කරකවමින් තවමත් කරගහගෙන යන්නෙමු.




ලංකාවේ කඳුකරය සුන්දරය. එහෙත් එය ලෝකයේ සුන්දරම කඳුකරය යැයි කීමට පෙර ඔස්ට්‍රියාවේ සහ පකිස්ථානයේ කඳුකරයවත් යූ ටියුබ් ඔස්සේ නරඹන්න.  අප රටේ ඇති ඓතිහාසික නටඹුන් පිළිබඳව සතුටු වන්න. එහෙත් ඒවාට අලංකාර පද යෙදීමට පෙර ලෝකයේ වෙනත් බොහෝ රටවල ඇති පෞරාණික ස්ථාන පිළිබඳව සොයා බලන්න. ඉරානයට, ඉන්දියාවට, චීනයට පිය නගන්න.




අපි ලෝකයේ සුන්දරතම මුහුදු වෙරළවල් අපට ඇතැයි උදම් අනමු. එහෙත් බේකරියෙන් පාන් භාගයක් සහ පෙට්ටි කඩෙන් පරිප්පු පීරිසියක් මිළදී ගෙන, බෝක්කුව උඩ ඉඳගෙන දවාලට කන හම්පඩ සුද්දන් කිහිප දෙනෙක් මෙරට මුහුදු තිරයේ සුව විඳීමට පැමිණෙද්දී දහස් ගණන් කෝටිපතියන් ඉන්දුනීසියාවේ බාලි දුපතට, තායිලන්තයේ ෆුකට් සහ පතායා ප්‍රදේශවලට, හවායි දුපත් වලට ඇදෙන්නේ ඇයිදැයි අප සිතන්නේ නැත.   

වසරකට ලංකාවට පැමිණෙන ධනවත් විදේශිකයන් ගණන මෙන් දෙගුණයක් කොළඹ ගුවන් තොටුපල හරහාම ඉතා කුඩා මාල දිවයිනට ගමන් කරන බව කනගාටුවට කරුණක් නොවේද? 2013 වසරේ වැඩිම විදේශිකයන් පිරිසක් පැමිණි රටවල් දහයෙන් ඉන්දියාව ඉවත් කල විට, ලංකාවට ආසන්න වශයෙන් 550,000 ක් පැමිණෙද්දී මාල දිවයිනට 1,100,000 පැමිණ ඇත. අපිට කොහේදී හෝ වැරදී ඇත. 

සිහින ලෝකයෙන් නික්මී පියවි ලෝකයට පිය නැගීමට දැන් කාලය එළඹ ඇත. 

සංචාරක කර්මාන්තයෙන් රටක් ඉහලට ගැනීමට ලෝකයේ ලොකුම, උසම, හොඳම ඒවා අවශ්‍ය නොවන බව මගේ අත්දැකීමයි. මා පිය නගා ඇති ලෝකයේ බොහෝ සංචාරක ස්ථාන විදේශිකයන්ට ආකර්ෂණීය වී ඇත්තේ එහි ඇති නැරඹීමට හෝ රසවිඳීමට හැකි දෙයට වඩා සංචාරක සහ අලෙවි කලමනාකරණය නිසාය. 

උදාහරණයක් ලෙස මම මැලේසියාවේ ඇති ධන උල්පතක් වන 'ගෙන්ටින් හයිලන්ඩ්' විනෝද උද්‍යානය (amusement park) ගන්නම්. කුඩා කඳු ගැටයක් සහ අසලින් ගලා යන දිය පහරක් ආශ්‍රිතව ගොඩ නගා ඇති මෙම උද්‍යානය කිසිඳු, පාරිසරික, ඓතිහාසික හෝ ජෛව විද්‍යාත්මක වැදගත්කමක් නොමැති ස්ථානයකි. එහෙත් එය මැලේසියාවට මිලියන ගණනින් සෙනග අද්දවයි. ලංකාවේ මෙබඳු ස්ථාන දහසකට වඩා ඇති බව මගේ හැඟීමයි. එහෙත් ඒවා ධන උල්පත් කිරීමට හැකි බව අප සිහිනෙන්වත් සිතා නැත. මා මගේ ලාංකික මිතුරන්ට නිතර කියන දෙයක් නම් 'කිතුල්ගල' මැලේසියාවේ හෝ චීනයේ තිබුනා නම් අද එය ඩොලර් කන්දක් බවට පත්වී තිබෙනු ඇති බවයි. 



විශාල අමතර වියදමක් නොමැතිව වුවත් අපට අලෙවි කල හැකි  සීගිරිය, දළදා මැදුර, රජරට නටඹුන් ආදී ස්ථානද අප මනාසේ කළමනාකරණය කිරීමට නොදන්නා සේයකි. මෙම ස්ථානවලට ඇතුළු වීමට ඩොලර් 20-25 වැනි මිලකට විදේශිකයෙක් ටිකට් පත් මිලදී ගත යුතුය. දේශීය සංචාරකයෙකුට මේ සඳහා ගෙවීමට සිදුවන්නේ ඩොලර් එකකටත් අඩු මුදලකි. මෙමගින් අප සංචාරකයා මුලින්ම සිත් වේදනාවට පත් කරයි. රටක් ලෙස අප මුදල් සෙවිය යුත්තේ මෙලෙස ඇතුල්වීමේ ටිකට් පත්වලින් නොවන බව අපේ පාලකයන්ට නොතේරීම අපේ අවාසනාවයි. මෙලෙස අධික මුදලකට ඇතුල්වීමේ ටිකට් පත් විකුණා අප සොයන මුදල සොච්චමකි. එහෙත් එමගින් අප ලෝකයට දෙන පණිවිඩය මෙරට ලැබීමට තිබෙන ඩොලර් කෝටි ගණනක් නවතාලයි. 

එලෙස අධික මිලකට ටිකට් පතක් ගෙන ඇතුළුවන විදේශිකයෙකුට, භාවිතා කිරීමට සුදුසු වැසිකිලියක් නැත, අවශ්‍ය ආකාරයට කෑමක් බීමක් මිලදී ගැනීමට ආපනශාලාවක් නැත. මහන්සි වූ විට රැඳී සිටීමට විවේකාගාරයක් නැත, ඇතුලත සංචාරයට විදුලියෙන් දුවන මෝටර් රථ නොමැත. සමහර ස්ථානවල අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීමට ආවරණයක් හෝ නොමැත. අප ඉන්දියාවේ සිට ඇමරිකාව දක්වා සියලුම රටවලින් පැමිණෙන විදේශිකයන්ගෙන් අය කරන්නේ ස්විට්සර්ලන්තයේ සංචාරක ස්ථානයකට ඇතුළු වීමේදී අය කරන මිලයි.  එහෙත් ඔවුන්ට ලබා දෙන්නේ ඉන්දියානුවෙකුට ඉන්දියාවේදී ඩොලර් භාගයක ටිකට් පතක් ගත් විට ලැබෙන සැලකිල්ලයි. මේ ආකාරයට රටක සංචාරක ව්‍යාපාරය දියුණු කල නොහැක.




ප්‍රථමයෙන් කල යුත්තේ තෝරා ගත් සුදුසුකම් සහිත පිරිසක් ලෝකයේ ඇති ප්‍රකට සංචාරක ස්ථාන වලට යවා ඔවුන්ගෙන් ක්‍රමවත් ලෙස සකස් කල වාර්තාවක් ලබා ගැනීමයි. ඉන් පසු ඒ අනුව අපගේ අඩු පාඩු නිවැරදි කරගැනීමයි. අවාසනාවකට මෙවැනි සංචාරයක් ගැන සඳහන් කල පමණින් ඉඳිරියට පැමිණෙන්නේ දේශපාලන හිතවත්කම් සහ ආයතන ප්‍රධානීන්ට සම්බන්ධතා ඇති පුස්සන් පිරිසකි. සාප්පු සහ විනෝද සවාරියක් යෑම හැරුණු කොට ඔවුන්ගෙන් ගත යුත්තක් නැති වනු ඇත. මේ බව දැනගෙන මේ කටයුත්ත ක්‍රියාත්මක කල යුතුය.




මීට වසර කිහිපයකට පෙර Lonely Planet ආයතනය මගින් නම් කල ලොව ඉහළම සංචාරක අගයක් ඇති මුහුදු වෙරළ ලෙස උණවටුන වෙරළ දෙවරක් තේරිණි. අප මේ අවස්ථාවලින් ප්‍රයෝජන ගෙන ඇත්ද? බොහෝ රටවල් මෙබඳු තේරීමක් වෙනුවෙන් විශාල මුදල් සම්භාරයක් වැය කරද්දී අපට එය නිකම්ම ලැබුනේය. නිකම්ම ලැබුණු දෙය අපි නිකම්ම පා කර හැරියෙමු. 

නැවත වරක් වසර 2016 දී සංචාරකයන් යා යුතුම රටක් ලෙස ජාත්‍යන්තරය විසින් ලංකාව තෝරාගෙන ඇත. මෙවරත් අපි එය නිකම්ම පා කර යවමුද? 




9 comments:

  1. ඉතා වටිනා ලිපියක් චන්දිම. සංචාරක කර්මාන්තය පමණක් නොවේ ලංකාවේ සෑම අංශයකම විශාල ආකල්පමය වෙනසක් අවශ්‍යයි. ඒ සඳහා ආත්මාර්ථකාමී නොවන නිවැරදි මග පෙන්වීමක් මේ රටට තවමත් නෑ. නුදුරු අනාගතේ ලැබෙයිද කියලත් සැකයි.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි උදය. අපි ධනාත්මක සිතුවිල්ලක රැඳී සිටිමු.

      Delete
  2. ලංකාවේ සංචාරය කල විදේශිකයන් කිහිපදෙනෙක් සමග කතා කරන්න අවස්ථාව ලැබිලා තියනවා. ඔවුන් මා සමග කිව්වේ සංචාරකයන්ට නැරඹිය හැකි ස්ථාන, ගමනාගමනය, පහසුකම් ආදිය පිළිබඳ විශ්වාසනීය තොරතුරු දැනගැනීමට ඇති ඉඩකඩ ලංකාවේ ඉතාමත් අඩු බවයි. හෝටලයේ කාගෙන් හෝ අසාගත් දෙයක් හෝ ගයිඩ් කෙනෙක් කියන දෙයක් මත හැමදේම කිරීමට සිදුවූ බව කිව්වා.

    සංචාරක කර්මාන්තයට තැනක් දෙන රටවල ඉතා හොඳ තොරතුරු ජාලයක් තියනවා. සිතියම්, ඒ ඒ ප්‍රදේශ වල ඇති ආකර්ෂණීය ස්ථාන, පහසුකම් සියලුදේ අඩංගු පත්‍රිකා ලබා දෙන ස්ථාන තියනවා. බොහෝ තැන් වල මෙම සේවාවන් කෙරෙන්නේ නොමිලේ.

    ReplyDelete
    Replies
    1. ඔබ ඉතාමත් නිවැරදියි. අපිට තොරතුරු තාක්ෂණයේ විශිෂ්ඨ නිපුණයන් සිටියත් ඔවුන්ගෙන් රටක් ලෙස ප්‍රයෝජන ලබා ගන්නේ නැහැ. ලංකාවේ ඇති සියලුම සංචාරක ස්ථාන පිළිබඳව පුර්ණ තොරතුරු වගුවක් ඉතා ලෙහෙසියෙන් අන්තර්ජාලයේ ස්ථාපිත කල හැකියි. මෙයට ත්‍රිමාණ ප්‍රක්ෂේපණ සහ ගුවන් දර්ශන ඇතුලත් කිරීමෙන් ඉහල වටිනාකමක් එක් කල හැකි වෙනවා.

      Delete
    2. lets do it ourselves voluntarily

      මෙන්න තැන: https://www.google.com/local/guides/

      Delete
    3. @ Nut Man. Thanks a lot for the info. Already posted in my FB. Will do my part as well. Let's start it..... Have a nice day

      Delete
  3. ලිඳේ හිටිය ගෙම්බෝ වගේ ලංකාව ඇතුලෙම හිටිය අපිටත් කාලයක් හිතුනා ලෝකෙන්ම අපිටම විශේෂ බාසාවක් කතා කරමින්, බුදුදහම ඉහලින්ම අදහමින් , එකී මෙකි නොකී සත් ක්‍රියාවල යෙදෙමින් ඉන්න අපි තමයි ලෝකේ උතුම්ම ජාතිය කියලා .... නමුත් රටෙන් එලියට ඇවිත් ලෝකේ පුරා අවිද්දට පස්සේ දැන් තේරෙනවා අපි කොච්චර පහලද ඉන්නේ කියලා

    ReplyDelete
  4. හොඳ සහ කාලින ලිපියක්...

    ReplyDelete
  5. Sir, I've been fortunate in listening to your lectures in Statistical Physics over a decade ago. However the articles in this blog are more insightful and eye-opening, so thank you!
    As for the tourist industry, in the least these historical sites do not even have any information boards. Tourists (and even locals) go back home without a clue about the significance of what they witnessed. Often times I've found myself debating with my fellow trippers about some fact or the other and conclude that we need to 'look that up' when we get home. But when you get home there are thousand other things to attend to so you forget about what you were discussing in the first place.
    On the other hand in Australia (where I spent a few years) where the 'white settlers' history is very short, they display all sorts of insignificant bits of information about the place and then they make you walk through a souvenir shop and cafe, tempting you to buy something. Surely, these SL authorities have been to other countries so why don't they implement? bureaucracy perhaps?

    ReplyDelete