Follow this Blog

Monday, 15 June 2015

That Sinhalaya.... ජාතිවාදය සහ ජාති ආලය



 සිංහලයා 

පසුගිය දිනෙක මා වතපොතේ සැරිසරණ අතර මගේ පැරණි සිසුවෙක් (දැන් ආචාර්‍ය උපාධිධාරියෙක්) මට පණිවිඩයක් එවීය.

"සිංහලයෙක් වශයෙන් අද රටේ වෙන දේවල් ගැන සර්ට හිතෙන්නේ මොනවද?"

ඊට පිළිතුරක් දෙනවා වෙනුවට මම ඔහුට ප්‍රති පැනයක් කෙටුවෙමි.

"ඔයා සිංහලයා අර්ථ දක්වන්නේ කොහොමද?"

දීර්ඝ නිහැඬියාවකි. ඊළඟට මතුවුයේ පහත පණිවිඩයයි

"අනේ මන්දා..! "

මම දැන් ඒ පැනය ඔබට යොමු කරමි.

ලංකාවේ පුරවැසියකු, ලාංකිකයෙකු ලෙසත්, බුදුන් දෙසු දහමෙහි හැසිරෙන්නා බෞද්ධයෙකු ලෙසත් අර්ථ දැක්විය හැක. මේ ලෙසින් ඔබට සිංහලයෙක් යනු කවුරුදැයි අර්ථ දැක්විය හැකිද..?




එයාලා එහෙදි දකින දේ 

විශ්වයේ ඇති සියලුම භූතාර්ථ අප දන්නා භාෂාවන්ගෙන් අර්ථ දැක්විය නොහැක. එසේ වූ පමණින් යම් දෙයක පැවැත්මක් නැතැයි අපට නිගමනය කල නොහැක.

සිංහලයෙකු සතු සුවිශේෂත්වය දකින්නේ සිංහලයාට වඩා පිටරැටියාය. මට හමුවූ බොහෝ පිට රැටියන් තමාට හමුවී ඇති ලාංකිකයන් පිළිබඳව දැක්වූ අදහස් කිහිපයක් මම පහත දක්වමි.

"නිතර සිනාසෙමින් සිටින ජාතියක්"


"ත්‍යාගශිලිත්වය අතින් ඉදිරියෙන්ම ඉන්න පිරිසක්"

"විශ්ලේෂණය කිරීමේ සහ කල්පනා කිරීමේ ශක්තිය අතින් ලෝකේ ඉදිරියෙන්ම ඉන්න ජාතියක්"


"හුගක් නිහතමානියි. ඔළුව උදුම්මවාගෙන නැහැ. මේ අතින් කළාපයේ අනිත් රටවල අයට වඩා හුගක් ඉදිරියෙන්"


"බොහොම නම්‍යශිලියි. හරිම පහසුවෙන් පවතින ඕනෑම පරිසරයකට අනුවර්තනය වෙන්න දන්නවා"


"බොහොම සංවේදීයි. නොදන්න කෙනෙකුට කරදරයක් වුනත් ඇස් දෙකේ කඳුළු පුරවා ගන්නවා"


"සැහෙන්න ලැජ්ජාශිලියි. සින්දුවක් කියන්න හෝ නැටුමකට ඇරයුම් කළොත් පුටුව බදා ගෙන ඇඹරෙනවා. ඒ අතින් කලාපේ අනිත් රටවල අයට වඩා සෑහෙන පසුගාමියි"


"කාලයට නම් ගරු කිරීමක් නැහැ. හවස 7 ට එනවා කිව්වොත් එන්නේ 8.30 ත් පහුවෙලා"


"කළාපයේ අනිත් රටවල් වල අයට වඩා නම් පිරිසුදුකම තියෙනවා. ඒත් තව හුගක් දියුණු වෙන්න ඕනේ"

මේ අය විස්තර කලේ තමා පෙර ඇසුරු කල ලාංකිකයන් ගැනය. එහෙත් ඔවුන්ගේ නම් වලින් ඒ සියලු දෙනා පාහේ සිංහලයන් බව මට වැටහුණි. ඒ නිසා මේ විස්තරය සිංහලයන්ට අදාළ වේ යැයි මම නිගමණය කරමි.


ඔබ සිංහලයෙක් නම් මේ කාරණා ටික විමසා බලන්න. ඔබගේ සිංහල අනන්‍යතාවය පිටස්තරයා දකින්නේ මේ ලෙසය. නමුත් අමතක නොකරන්න මේ රූප රාමුව ඔබට ලැබෙන්නේ ලංකාවෙන් පිටත විදේශිකයන්ට හමුවී ඇති ශ්‍රමිකයන් සහ වෘත්තිකයන්ගේ හැසිරීම් රටාව මතය.

එහෙත් ශ්‍රී ලංකාව තුලදී ඔබගේ සිංහල ප්‍රතිරූපය විදේශිකයා දකින්නේ කෙසේද? මම ඔබට අවස්ථා දෙකක් පිළිබඳව පවසන්නම්.


 



එයාලා මෙහෙදි දකින දේ 

පසුගිය වසරේ මා දකුණු අප්‍රිකාවේ පැවැත් වූ වැඩමුළුවකින් පසු මැලේසියාවට පැමිණෙන අතර ජොහැන්නස්බර්ග් ගුවන් තොටුපොලේදී ජර්මානු යුවලක් හමු විය. මේ යුවලම නිවර්තන කලාපීය නාය යාම් පිළිබඳව විශාරදයන් වූ බැවින් අපි ඉතා කෙටි වෙලාවකින් සුහඳ කතා බහකට පිලිපන්නෙමු. මා වැඩමුළුවකින් පසුව මැලේසියාව බලා යන බව කී බැවින් ඔවුන් මා මැලෙසියානුවෙකු යැයි සිතන්නට ඇත.

ටික වෙලාවකින් අපගේ සල්ලාපය දකුණු ආසියාවට පැමිණි අතර ඊට මසකට පෙර ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පැවසුවේය. මා නොවැදගත් කාරණයක් අසන ආකාරයෙන් (casually) ලංකාව පිළිබඳව ඔවුන්ගේ අදහස් විමසුවෙමි. 

ජර්මානු විද්‍යාඥයා පලකළ අදහස් මට මතක ඇති ආකාරයෙන් එලෙසින්ම දක්වමි.


"ohh, it's a beautiful country with stupid rascals. We met two guides at one of the beaches, who offered the service at a low cost. The two rogues, robbed our money and disappeared on the second day. One guy even tried to advance towards Anna at some stage. Their police behaves dumbfounded when we tried to complain. The tuk-tuk drivers also try to legally rob us. They charge 2 dollars from locals and 20 dollars from us. Wherever we go they legally or illegally try to outsmart us".

ඔහු කතාව නිම කලේ ලංකාවට යනවා නම් දන්නා හඳුනන කෙනෙක් කැටුව යන ලෙස මට අවවාද කරමිනි. 

මීට සති තුනකට පෙර මම උපදේශක කටයුත්තක් සඳහා ඉන්දුනීසියාවට ගිය අතර එහිදී ඛණිජ තෙල් පිරිපහදු ආයතනයක ප්‍රධානියකු සමග කෙටි පිළිසඳරක යෙදුනෙමි. ඔහු මා ලාංකිකයෙකු බව දැනගත් පසු මගෙන් මුළින්ම සමාව අයද, ඉන් පසු ඔබට කීමට අමිහිරි යමක් ඇතැයි පැවසීය. ඔහු පැවසු කතාවේ සිංහල සාරාංශයක් පහත දැක්වේ.

"මම කිහිප වතාවක් ලංකාවට ගිහින් තියෙනවා. ඒ හැම විටකම මම දැක්කා ඔවුන් තුල ඉස්ලාම් භක්තිකයන් පිළිබඳව යම් වෛරී හැගීමක් උත්සන්න වෙමින් පවතිනවා. අවසන් වතාවේ (2014 නොවැම්බර් මාසයේ) මම එහි ගිය විට ටුක්-ටුක් රියදුරෙක් මා සමග පැවසුවා (ටුක්-ටුක් නාමය ජාත්‍යන්තරකරණය වී ඇති සේයකි)  මියන්මාරයේ විරතු හාමුදුරුවන් කරන සේම ලංකාවෙත් මුස්ලිමුන්ට විරුද්ධව යුද්ධයක් දියත් කල යුතුයි කියල. මා ඔවුන්ගේ ජාත්‍යන්තර දැනුම පිළිබඳව සතුටට පත්වෙනවා එහෙත් මේ වෛරී හැගීම් රටාව පිළිබඳව නම් බොහෝ දුක් වෙනවා". 


"එහිදී තවත් අයෙකු මා සමග පැවසුවා, සෞදි අරාබියේදී ලාංකිකයෙක් ෂරියා නීතිය අනුව මරා දැමු බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම්වරුන්ද පන්නා දැමිය යුතු බවත්. සෞදියේ තියෙන්නේ ඔවුන් විසින්ම නිපදවා ගත් අමානුෂික නීතියක්. ඒක නිසා ලංකාවේ සිටින සහෝදර මුස්ලිම්වරුන්ට හිරිහැර කිරීම ඔබගේ සමාජයට කැළලක් නොවේද?" ඔහු කියා ගෙන ගියේය.

සෞදි අරාබිය කෙරේ බොහෝ මුස්ලිම් වරුන්ගේද ඇත්තේ දැඩි අප්‍රසාදයක් බව මම අත්දැකීමෙන්ම දනිමි. ඔවුන් කරන්නේ ආගමෙහි නාමයෙන් දුප්පත් රටවලින් එන ශ්‍රමිකයන් හිංසාවට සහ මරණයට පත් කිරීමත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය ඉදිරියේ වැඳ වැටීමත්ය. සෞදියේදී වැඩිපුරම කඩු පහරට සහ කස පහරට ලක්ව ඇත්තේ ඉන්දුනීසියානු මුස්ලිම්වරුන්ය.

තම ඥාතියෙක්ව බල්ලකු සපා කෑ පමණින් තම නිවසට පැමිණි තවත් බලු හිමියෙක්ව සපාකෑම කෙතරම් ශිලාචාරද......................?


දැන් ඔබ සිතන්න, සිංහල ජාතියේ උන්නතිය වෙනුවෙන් ඔබ කල යුත්තේ කුමක්ද කියා? අර්ථ දැක්විය නොහැකි සිංහලත්වය වෙනුවෙන් සිව් දෙසට බුරා පැනීමද? සිංහල හෝ ලාංකික යනුවෙන් ඔබට ඇලවී ඇති ලේබලයේ හොඳ දේ ඔප් නංවමින් නරක දේ පහ කරමින් එහි අලංකාරය තව තවත් වැඩි කිරීමද?


දේශපාලුවාගේ මස් කට්ට

දේශපාලකයෝ තම පැවැත්ම උදෙසා සිංහල ජාතිය මෙතරම් අවභාවිතා කරනු මා කිසි දිනෙක දැක නැත. සමහරුන් මහා ජාතියේ චන්ද උදෙසා සිංහල ජාතියේ අසහාය ගැලවුම් කරුවන් වී ඇති අතර සමහරු සුළු ජාතික චන්ද උදෙසා සිංහල ජාතිය හාස්‍යට ලක් කර ඇත. සමහරෙක් හුදු ජනප්‍රියත්වය උදෙසා සිංහල ජාතිය අධම ලෙස පහත් කරමින් හෝ අභව්‍ය විකටරූපී ස්ථානයකට ඔසවා තබමින් නාටක රඟ දක්වති . මේ කිසිවකින් රටක් ජාතියක් ලෙස අපට ඉදිරියට පැමිණිය නොහැක. 

මා ටික කලකට පෙර ලිව් ලී-ක්වාන්-යූ පිලිබඳ ලිපිය හැකිනම් කියවන්න. එහිදී මා පැවසුවේ සිංගප්පුරුව දියුණු වීමට ප්‍රධානම කරුණ වුයේ එහි ජාතිවාදය අතුගා දැමීම බවයි. නමුත් එහි ජාතිමාමකත්වයට  කිසිඳු බාධාවක් නැත. චීනා චීනාගේ දේ ගැන ඉහලින් කතා කරයි. ඒවා පුරුදු පුහුණු කරයි, දෙමළා දෙමලාගේ දෙයත්, මැලේ ජාතිකයා ඔහුගේ දේ ගැනත් මෙලෙසම කතා කරයි. පුරුදු පුහුණු කරයි. සියලු දෙනාම එකතුවී සිංගප්පුරුව ඔසවා තබයි.

තම වර්ගයාගේ අනන්‍යතාවය,  ඉතිහාසය, ප්‍රෞඩත්වය පිළිබඳව සොයා බැලීම යහපත් කාර්යයකි. මේ තුලින් එම වර්ගයා තුල ආත්ම අභිමානයත් එමගින් ආත්ම විශ්වාසයත් ගොඩනැගෙයි. රටක සෑම ජාතියක්ම මෙලෙස තම අභිමානය වර්ධනය කරගනිත්දී මුළු රටම සංවර්ධනය වීම ස්වභාවිකය. 


සිංහලයා සිංහලයාගේ දෙය හෝ දෙමළා දෙමලාගේ දෙය පිළිබඳව කතා කිරීම හෝ පුරුදු පුහුණු කිරීම ජාතිවාදය නොවේ. ජාතිවාදය ඇතිවන්නේ එකෙක් තමාගේ දෙය ගැන ආඩම්බර වන විට අනෙකාට රිදී කෑ මොර දෙන්න වූ විටයි. එවිට අදාළ හැම පාර්ශවයකම ලේ කෝප වේ. ඉන්පසු සිදුවන්නේ අවැඩක්මය. 

සිංහලයාගේ දෙය සිංහලයෙක්ම හෑල්ලුවට ලක් කලත් සිදුවන්නේ බොහෝ දෙනාගේ ලේ කෝප වීමයි. මෙය මා දකින්නේ ජාතිවාදයේම එක් දරුණු පැති කඩක් ලෙසටයි.

තම වර්ගයාගේ දුර්වලකම් පිළිබඳව ස්වයං විවේචනයක යෙදීම යහපත් කරුණකි. නමුත් එය කළයුත්තේ ඉතා සංයමයකින් යුතුවයි.

ඔබට හැකිනම් විදේශිකයා තුල අප දෙස ඇති "වෙලාවට වැඩ නොකරන ජාතියක්" යන ආකල්පය පසු හැරවීමට උත්සහ ගන්න...........




ජාතියේ විලාපය

අද සිංහලයා තුල වර්ධනය වන ආකල්ප ඉතා කණගාටුදායකය. වතපොත පුරාම මා අද දකින්නේ සිංහලයාගේ දොම්නස් බර මර ලතෝනියයි.

සිංහරාජය විනාශ වෙද්දී ඔවුන් දකින්නේ සිදුවන විනාශය නොව සිදු කරන දේශපාලුවාවයි. නගන ලතෝනියේ ස්වභාවය දේශපාලුවාගේ පක්ෂය, ඔහු පක්ෂපාති නායකයා මත වෙනස් වෙයි.

විල්පත්තු වනය වැනසෙද්දී ඔවුන් දකින්නේ අදාළ පාර්ශවයේ ජාතිය හා ආගමයි. එහිදීද විලාපයේ හඬ තීරණය වන්නේ අදාළ මන්ත්‍රීවරයාගේ පක්ෂපාතිත්වය අනුවයි.

ඉන්දියාවෙන් ලැබුණු පහණේ කුකුළා වෙනුවට හඳ තරු ආදේශ වෙද්දී නැගෙන්නේද මහා විලාපයකි. පල්ලියේ දොරකඩ සඳකඩ පහනකින් හැඩවන විට තවත් අදෝනාවකි.

සුද්දා ලෝකයම තමාගේ  ආධිපත්‍යයට නතු කර ගත්තේ, තමාගේ කලිසම් කෝට් ස්වදේශිකයාට ඇන්දවීමෙනි. තමාගේ සිරිත් විරිත්, ගෘහ නිර්මාණ ශිල්පය, සිතුම් පැතුම් රටාව අන්‍යන් මත බලහත්කාරයෙන් පැටවීමෙනි. ඒ සියල්ල ආදරයෙන් බදාගෙන ඇඟේ හලාගත් සිංහලයා, ඉස්ලාම් භක්තිකයා, කතෝලිකයා සිංහලකරණය වනවිට පොළවේ හැපෙමින් විලාප දෙයි.

මමය, මාගේය කියමින් සියලු දේ බදාගෙන අනේ අපේ අරක මේක හොරකම් කළා කියමින් හඬා වැළපෙන ජාතියක් වර්තමානයේ තවත් ඇත්දැයි මම  නොදනිමි.

වෙනදා අප නොදුටු  මේ තත්වය දේශපාලුවාගේ බලපෑම මත ඇති වුනාද, නැතිනම් මේ වාතාවරණය දේශපාලුවා තම ප්‍රයෝජනයට ගත්තා දැයි මට නොවැටහේ. එහෙත් තත්වය නම් ඛේදජනකය.






ඔබ පහත දැක්වෙන වෙබ් පිටුව අධ්‍යයනය කළහොත් තේරේවි අප ඉන්නේ ආසියාවේත් බොහෝ පිටුපසින් බව. හැකි නම් අධිෂ්ඨාන කරගනිමු ඉදිරි වසර පහේදී ආසියාවේ මුල් රටවල් 20 අතරටවත් එන්න. 

මේ සඳහා ඔබට කල හැකි දේ බොහෝය.

1. කුමන පක්ෂයට චන්දය දුන්නත් ජාතිවාදය අවුස්සන අපේක්ෂකයන් තෝරා නොගන්න
 

2. කට කතාවලින් නොව ඔබගේ නුවණට වැටහෙන අයුරින් යහපත් අපේක්ෂකයන් තෝරා ගන්න
 

3. කුමන පක්ෂය බලයට පැමිණියත් තමාගේ වැඩ කොටස හරියාකාරයෙන් ඉටු කරන්න
 

4. දූෂණය, භිෂණය, වංචාව, නාස්තිය පිළිබඳව ආගම, ජාතිය, පක්ෂය නමැති රාමු වලින් පිටතට විත් බලන්න
 

5. හොඳ දේ හොඳ ලෙසත් නරක දේ නරක ලෙසත් වටහාගන්න පුරුදු වන්න
 

6. රටක හැම ජාතියක්ම තම වර්ගයා පිළිබඳව සතුටු වනවිට රටම දියුණුවන බව සිතන්න
 

7. ලෝකය කළු සහ සුදු මිස කළු හෝ සුදු නොවන බව වටහා ගන්න   


  http://listabuzz.com/asian-kings-20-richest-countries-in-asia-2015/


6 comments:

  1. සිංහලයා කියන එකට ඔබට මට එකපාර අර්ථ දැක්වීමක් දෙන්න අමාරු වුනාට ඔය ජාතිමාමකයින් ගෙන් ඇහැව්වොත් නම් උත්තරයක් දෙයි කොහොම හරි කල්පනා කරල. මම නම් මගේ අනන්‍යතාවයේ කොටසක් විදිහට ජාතිය කියන එක හඳුන්වා දෙන්න කැමති නැහැ පුද්ගලිකව. ඒක පුද්ගලික මතයක් විතරයි. නම සහ ශ්‍රීලාංකික කිව්ව නම් ඇති.

    මට හමුවෙලා තියෙන විදේශිකයින් මාත් එක්ක කියල තියෙන දේ තමා ලංකාවේ මිනිස්සු සිනහමුසු මුහුණු වලින් පිරුණ සුහදශීලී මිනිස්සු කොටසක් බව. ඒවගේම මිනිස්සුන්ගේ අවංකබව ගැන අත්දැකීම් විස්තර කරල ඒවා ගැන ප්‍රශංසා කරනවත් අහල තියෙනව. කොහොමත් එක එක්කෙනාගේ අත්දැකීම් මතනෙ ඕවා පදනම් වෙන්නෙ.

    කොහොමත් මුළු ලෝකයම (විශේෂයෙන් බටහිර) ලංකාවේ අවුරුදු 2500ක් පරණ සංස්කෘතියයි සභ්‍යත්වයයි විනාශ කරන්න කුමන්ත්‍රණය කරන්න බලන් ඉන්නවා කියලනේ අපේ ඈයො හිතාන ඉන්නෙ. ඒ මදිවට 'ලෝකේ උතුම්ම' රටේ කයිවාරුව. ඕනම රටක දේශාභිමානය වැඩි වෙන්න ඔය වගේ ආකල්ප තියෙන එකේ වරදක් නැහැ. නමුත් රටක් වශයෙන් තමන් ඉන්න තැන ගැන පොඩි ස්වයං ඇගයීමක් තියාගන්න තරම්වත් ජනතාවක් බුද්ධිමත් වෙන්න ඕන. මොකද දැනටම 'ලෝකයේ උතුම්ම ඔක්කෝම ටික' තියෙන්නෙ මෙහෙ නම් මොකටද තව දියුණුවක්? වැරදි හදාගන්න නම් මුලින්ම වැරදි තියෙන බව තේරුම් ගන්න ඕන. තේරුම් අරන් ඒවා මොනවද කියලා අවබෝධ කරගන්න ඕන. ඊට පස්සේ ඒවාට විසඳුම් හොයන්න ඕන. විසඳුම් අත් හදා බලමින් රටක් වශයෙන්, ජනතාවක් වශයෙන් ඒවා ක්‍රියාත්මක කරන්න ඕන. ඒත් ඉතින් දැනටම අපි හැම ඉතින්ම උතුම් නම්, අපි මාර පට්ට නම්, මහා වීරයෝ නම්, මහා වැඩක්රුවෝ නම් දියුණුවක් ඕනෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. කයිවාරුව වැඩියි තමා ,ස්වයං විවේචනයත් අවශ්‍යයි. ඒත් දැන් ඒක අංශක 180 කින් කනපිට ගහන එකත් වැරදියි.

      Delete
  2. ඔබතුමාගේ ලිපිය ගැන ඉතාම සතුටුයි. මම සියළු කරුණුවලට එකඟයි.පසුගිය රජෙයේ ජාතිවාදී ප්‍රචාර නිසා මම සිටියේ ලැජ්ජාවෙන්. ඒ මන්ද මට බොහෝ දෙමළ මුස්ලිම් මිතුරන් සිටින නිසා. මට බොරුවට අගවන්නත් සිදුවුනා මම ආන්ඩු විරෝධියෙක් කියා.
    දැන් රණබිම මැරුනේ සිංහලයෙකුනම් ගීතයේ සිංහල යෙක් කියන වචනයටත් විරෝධය එල්ල වෙලා. සිංහල කියන වචනෙ ඇහෙනකොටත් කුලප්පුවෙන අය නිසාත් වෙන්නෙ අගතියක් නේද
    ජාතික කොඩිය වෙනස් කරන්නත් අදහස් යෝජනා වෙලා.
    ඔබ කී ලෙසම සිංගප්පූරුවේ දෙමළ , චීන , මැලේ වරුන් තම ජාතිකත්වයන් ගැන ආඩම්බර වෙනවා. ජාතිකත්වය කියා දෙයක් නැතිනම් හොදයි. ඒත් ඒක මේ ලෝකෙ තියන දෙයක්නෙ.එක් ජාතියක් පමණක් හීනමානයෙන් සිට අනෙක් ජාතිකයන් තම ජාතිකත්වයන් ගැන ආඩම්බර වෙනවානම් ඒක හරි නෑ. සිංහලයන් ඉන්නෙ ලංකාවෙ විතරයි. ඒ කරුණත් සළකා බැලිය යුතුයි.

    දැණ් යහපාලනය යටතෙ කරළියට ආ නරුම අසවාභාවික මිනිසුන් හදන්නෙ සිංහලයා තුල හීනමානයක් ඇතිකරන්න. ඔවුන් සිංහල කියන සියළු දෙයට වෛරකරනවා.
    අප මේ අන්ත දෙකම බැහැර කළයුතුයි නේද
    පසුගිය රජයේ ජාතිවාදය සේම මේ රජයේ සිංහල විරෝධයත් බැහැර කර මැද මාවතකට එමු නේද

    ReplyDelete
  3. ඉතාම හොද ලිපියක් - ඔබගේ බ්ලොග් අඩවියට අදයි ‍ගොඩ වැදුනේ -

    ReplyDelete
  4. වැදගත් ලිපියක්. අද තමයි මේ බ්ලොගයට ආවේ මං හිතන්නේ!
    ජයවේවා!

    ReplyDelete
  5. අදය් ඔබතුමාගේ ලිපියක් ප්‍ප්‍රථම වතාවට කියෙව්වේ. ඉතා අර්ථවත් ලිපියක්. ඔබතුමාගේ සියලුම අදහස්වලට මම එකගය්. ඔබතුමාට හුගක් පින්.

    ReplyDelete