Follow this Blog

Wednesday, 11 March 2015

The Rights of a Queen (රැජිනකගේ අයිතිය)

  
       "ධනවතෙකු වීමේ මග" - 10  පරිච්ඡේදය     
  

     රැජිනකගේ අයිතිය

මට මතක ඇති විදියට ඒ 1997 වසරයි. අප ස්වීඩනයේ සිට කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණියේ නිලන්තිට අපගේ දෙවන දරුවා ලැබීමට ආසන්නව පැවතී කාලයේය. එවන විටත් අපගේ නිවස සාදමින් පැවතුන බැවින් අපි නිලන්තිගේ දෙමව්පියන්ගේ දෙහිවල පිහිටි නිවසේ නතර වී සිටියෙමු.

දිනක් සවස් වරුවේ මම අපගේ පළමු පුත් අශේන් නහවමින් සිටියෙමි. එවකට වසර දෙකක් පමණ වයසැති අශේන් සෝදා පිරිසිඳු කිරීම ඉස්සෙකු නහවනවාට වඩා අපහසු කාර්යයක් විය.

ඇඟේ සබන් තවරාගෙන නාන කාමරය පුරා දුවන මේ සිඟිත්තා විටෙක මගේ ඇඟට පැන මගේ ඇඳුම් තෙත් කර දමයි. මා කෑගසමින් පාරක් ගසන්න හදන විට ඔහු ආඳෙකු මෙන් ලිස්සා දුවයි. ඊළඟ මොහොතේ අපි දෙදෙනාම එකට බදාගෙන මහා හඬින් සිනාසෙන්නෙමු. එකම කාල ගෝට්ටියක් වන ඒ සුන්දර පැය භාගය මට සදා හද රැදී මතකයකි.

එකවරම නිලන්තිගේ නැගණිය, සජීවනී, නාන කාමරයේ දොර ලඟට පැමිණියාය.

"අයියේ, ශාන්ත අයියා ෆෝන් එකේ, ඔයාව අහනවා, මම මොකද කියන්නේ?" ශාන්ත යනු එවකට සිටි මගේ ලඟම මිතුරාය.

"කියන්න මම පුතා නාවනවා කියල"

"එහෙම කිව්වට කමක් නැද්ද? මම ඔයා ගෙදර නැහැ කියන්නද?" සජීවනී කටහඬ බාල කරමින් අසයි.

එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වූ ඇය අද පිළිකා රෝගය පිළිබඳව විශේෂඥවරියකි. මේ දෙබසින් ඔබට පැහැදිළිව පෙනී යනු ඇත්තේ උගත්-නුගත්, නගරබද-ගම්බද කියා වෙනසක් නොමැතිව අප සමාජයේ පවතින යථාර්ථයකි.

දරුවන් ඇති දැඩි කිරීම, කෑම පිසීම, රෙදි සේදීම, ගේ දොර නිසි පිළිවෙලට තබා ගැනීම, නිවසට අවශ්‍ය කළමනා රැගෙන ඒම ආදී දහසකුත් දෑ ගැහැණියට පමණක් අයිති කාර්‍යය වේ. ඒවා පිරිමියකු බැරි වෙලාවත් කළහොත්, සමාජයෙන් එය සැඟවිය යුතුය. මේ ලාංකීය මානසිකත්වයයි. ලාංකීය පමණක් නොව කළාපීය මානසිකත්වය යැයි කීවද වරදක් නැත.   

දකුණු ආසියාතික කළාපය ආර්ථික හා සාමාජීය වශයෙන් පිටු පසට ඇද දැමීමට අතිශයෙන් ඉවහල් වන සංකල්පයක් ලෙස මම මේ "කාන්තාවන්ට පමණයි" ලෙස වැඩපල ලේබල් ගැසීම දකිමි.

දරුවෙකු සෝදා පවිත්‍ර කිරීම, රාත්‍රිය පුරා නිදි වර්ජිතව කුඩා දරුවකු රැක බලා ගැනීම, දවසේ වැඩි කාලයක් ආහාර පිසීමට වැය කිරීම, ගේ දොර සුද්ද පවිත්‍ර කිරීම ආදී ක්‍රියාවන් ඇත්තෙම්ම ඉතා වෙහෙසකරය. බොහෝ පිරිමින්ට මේ පිළිබඳව හැඟීමක් නැත්තේ ඔවුන් කෙදිනකවත් මෙම කාර්යයන් සිදු නොකරන බැවිනි.

මේ කාන්තාවන් පමනක් කලයුතු යැයි සම්මත කරගත් කාර්ය භාරයන් මා බොහෝ විට දකින්නේ අඩු-දියුණු රටවල විශේෂත්වයක් ලෙසටයි (මේ රටවලට දියුණු වෙමින් පවතින රටවල් යයි කියන්නේ හිත සනසන්නය).

මෙහි ප්‍රතිඵලය වන්නේ මානසිකව පිරිහුන, ශාරීරිකව වැහැරුණ, රෝගී කාන්තාවක් ජාතියට දායාද වීමයි. මෙහි ඊළඟ ප්‍රතිඵලය නිරෝගී නොවන දරු පරපුරක් බිහිවීමයි. මේ නිසා රට දිගටම "අඩු-දියුණු හෝ දියුණු වෙමින් පවතින රටක්" ලෙස ලේබල් වේ. මෙය අකාරුණික චක්‍රයක කැරකෙමින් අපේ රටවල් නොදියුණු තත්වයකම තබයි. මේ ගැන අන්‍යන්ට දොස් කීමෙන් ඵලක් නැත. 

අද අප සමාජයේ කාන්තාවන් කීදෙනෙක් වයස 35 පසු කරන විට කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග වලින් පෙලෙනවාද, කී දෙනෙකුට දණහිස සහ අස්ථි වල ආබාධ පවතිනවාද. කී දෙනෙක් නිරන්තර හිසරදයෙන් දුක් විඳිනවාද?

මා දකින ආකාරයට මේ සියල්ලටම හේතු පාදක වන්නේ ආසියාතික ගැහැණියට අත්වන දැරිය නොහැකි භෞතික කාර්ය භාරයයි.

"ගැහැණිය නිවසේ රැජිණයි" යනුවෙන් බොරුවට පත්තර පිටු ගණන් ලියා වැඩක් නැත. රැජිනකට, රැජිනකට අයත් සෑම දෙයක්ම ලබා දෙන්න. පිරිමියකුගේ ප්‍රෞඩත්වය විය යුත්තේ එයයි. 





5 comments:

  1. Very true aiya... Proud for been a father like you have described in the article.

    ReplyDelete
    Replies
    1. Proud to have a brother like you....

      Delete
  2. මමත් මෙවැනි දේ සමඟ නිරන්තරව ගැටෙමි. http://jeffesdi.blogspot.no/2015/02/blog-post_80.html

    ReplyDelete
  3. ඔබගේ ලිපියේ ගැටළුවක් තිබෙනවා. සැමියා හා බිරිද අතර සම්බන්ධය ස්වාමි දුව (රැජින ) හා වහලා අතර සම්බන්ධය නොවිය යුතුයි.
    පුරුෂාධිපත්‍යයට අපි පැහැදිලිවම විරුද්ධයි. එහි අනෙක් පැත්තද නොවිය යුතුයි.
    හැබැයි ස්වාමි දුව වහලා සම්බන්ධය පොදු පවුල් ආදර්ශයක් ලෙස අප අනුමත නොකළත් එවැනි පවුල් ඉතා ශක්තිමත්. පරපීඩක ( ස්ත්‍රී ) හා ස්වපීඩක (පුරුෂ ) ගැලපීම නිසා.
    ලිපිය හොඳයි. ඔබේ සියළුම ලිපි ආසාවෙන් කියවනවා .

    ReplyDelete