Saturday 19 July 2014

තුන දැම්මොත් මක් වෙයිද..?







පවතින හැඩය

මේ මා කතා කරන්නේ මට හිතෙන දේය. ඇත්තෙන්ම එය මට විෂය නොවූ විෂයයකි. 

මේක බොහොම සරළ දැක්මක්. ඔබ බලාපොරොත්තු වන්නේ ඉතා ගැඹුරු දේශපාලන විග්‍රහයක් නම් මෙතැනින්ම කියවීම නවත්වා ඔබේ කාලයත් හිතේ සතුටත් සාක්කුවේ රඳවා ගන්න. 

ජනාධිපතිවරණයක් පෙනෙන නොපෙනෙන මානයේය. මහාචාර්ය නලින් ද සිල්වාගේ වචනයෙන් කියනවා නම් චතුස්කෝටික තත්වයකි. 

මට සිතෙන විදියට ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රථම වරට උභතෝකෝටිකයක පැටලී ඇත. 

මා සමග කතා බස් කරන බොහෝ දෙනා මේ වන විට පවතින රජය ගැන දැඩි කලකිරීමෙන් සිටිති. ඔවුන්ගෙන් බහුතරයක් 2009 වනවිට ඍජුව හෝ වක්‍රව, යුධ ජයග්‍රහණය සඳහා සක්‍රිය අයුරින් දායක වුවෝය. රජයට සහය පළකරමින් මගේ ලිපිවලට කොමෙන්ටු දමන සමහර රාජපාක්ෂිකයන්, රජය විවේචනය කරමින් මේවන විට කොමෙන්ටු පල කරන සමහර මිතුරන් යුධ සමයේ කල කැප කිරීම් පිළිබඳව අංශු මාත්‍රයක්  හෝ නොදන්නා බව මට වැටහේ. 

මේවන විට රජයේ පිළිවෙත් පිළිබඳව දැඩි ලෙස විවේචනය කරන සමහර අය යුධයේ අන්තිම අවධියේ තමා මෙන්ම තම පවුල්වලද අවධානම නොතකා, තම සාක්කුවෙන් වියදම් කරගෙන, කිසිඳු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොතකා ක්‍රියා කළෝ වෙති. ඔවුන් මෙසේ සක්‍රියව වෙහෙසෙන අතර අද රජය වෙනුවෙන් කෑගසන අය යුධය වෙනුවෙන්ද  එදා කටින් දායක වන්න ඇත.

තමාට අවාසි සහගත වන මෙම තත්වය ජනාධිපතිවරයාද අවබෝධ කරගෙන ඇති සේයකි. ගෙවෙන හැම දවසක්ම ඔහුගෙන් චන්ද කිහිපයක් හළා දමයි. ප්‍රශ්ණය වන්නේ මෙම හැලෙන චන්ද වලට වෙන්නේ කුමක්ද යන්නය. 

උභතෝකෝටිකය




පවතින තත්වය අනුව ඉක්මනින් චන්දයකට යාම මහින්ද රාජපක්ෂ මහතාට (මරා යයි පහසුවට කියමු) වාසි දායකය. එහෙත් ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර දෙදරීම් නොඅඩු සමයක ජනාධිපතිවරණයක් පැවැත්වීමද ප්‍රශ්නයකි. මේ අතර විපක්ෂය තුල සම්ප්‍රදායික දේශසීමා නැවත ඇඳෙමින් පවතී. එනම් එජාපය, ජවිපෙ සහ අලුතින් සැදුම් ලත් ෆොන්සේකාගේ පක්ෂයයි (ප්‍රප යයි කියමු). මෙලෙස විපක්ෂය තුල සාම්ප්‍රදායික අර්ථ දැක්වීම් ඉස්මතුවීමද මරා ට අවාසිදායකය. 

මේ අතර පොදු අපේක්ෂක රෝගයක් ඇතිවී නැතිවී ගියේය. එබැවින් මම ඒ ගැන වැඩි දුර කතා නොකරමි. 

මේ වන විට පවතින තත්වය නම් ආණ්ඩුව පැත්තෙන් මරා ද එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහතාද (පහසුවට රවි යයි කියමු) තරඟ වැදීමට වැඩි ඉඩකඩක් ඇති බවයි. 

එජාපයේ පතුල  




මේ වන විට එජාපයෙන් හැලෙන චන්ද හැලී හමාරය. පවතින්නේ කැපුවත් කොළ චන්ද ටිකය. මේවා එජාපයේ නායකත්ව වෙනසකින් හෝ තව මැතිවරණ 10 ක් එක දිගට පරාජය වීමෙන් හෝ වෙනස්වන්නේ නැත. වෙන විදියකට කිවහොත්, ඒවා අඳබාල චන්ද වේ. 

මුස්ලිම් චන්ද පැහැදිලිවම එජාපය සමගය. මේවන විට රජයේ ඉතා ජනප්‍රිය මුස්ලිම් මන්ත්‍රී වරයකු වන ෆවුසි මහතාටද සිය මුස්ලිම් ආධාරකරුවන් හමුවට යා නොහැකි තත්වයක් පැනනැගී ඇති බව ඔහුගේ ඉතා කිට්ටුවන්තයන් ප්‍රකාශ කරයි. මේ අනුව හකීම් මහතාට ජනපතිවරණයකදී එජාපයට හේත්තු වනවා ඇරෙන්න වෙනත් විකල්පයක් ඇත්තෙම නැති බව පැහැදිලිය. 

දෙමල චන්ද කවදත් පැවතියේ දෙමල පක්ෂයක් ඉදිරිපත් නොවන අවස්ථාවක නම් එජාපය සමගය. අද එය තව තවත් ඉස්මතුවී ඇති සේයකි.

එවන් තත්වයක් යටතේ මීළඟ ජනාධිපතිවරයා තීරණය කෙරෙන ප්‍රභලම සාධකය නම් තුන්වෙනි අපේක්‍ෂකයාය. 

තුන්වන ප්‍රභල අපේක්ෂකයෙකු නොමැති අවස්ථාවක වාසිය ඇත්තේ මා සිතන අයුරින් මරාටය.  කොපමණ ආර්ථික අවපාතයන්, පුවත්වලින් නිතර දකින දුෂණ, වංචා, අපරාධ, රාජ්‍ය මර්ධනය ආදී අඩුපාඩුකම් තිබුනත් බොහෝ සිංහල බෞද්ධ ජනතාව තුල විපක්ෂනායක රවි කෙරේ ඇත්තේ සැකයකි. එනම් ඔහු දිනු සටන පසු පසට අදීද යන්නයි. 

විධායක තොප්පිය




යම් පාවෙන චන්දයක් රවිට ලැබේ නම් ලැබෙන්නේ ඔහුගේ "විධායක ජනාධිපති ධුරය අහෝසිකරනවා" යන ප්‍රකාශයටයි. මේවනවිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යැයි පවසමින් බලයට පැමිණි පක්ෂයක මුක්කුවක් නොවුයේ එජාපය පමණකි. මෙය ඔවුන්ට ඇති ප්‍රභලම ශක්තියකි. කොපමණ අඩු පාඩුකම් තිබුනත් රවි යනු කියන දේ කරන මිනිසෙක් යැයි ඔහුට විරුද්ධ මහජනයා අතරද පවතින මතයකි. 

මරා ට දාගත හැකි ලොකුම තොප්පිය නම් මේ අවස්ථාවේදී තමා නැවත ජනාධිපති වුවහොත් ජනාධිපති ධුරය අහෝසි කරනවායැයි ප්‍රකාශ කිරීමය. මෙය සියවසේ ලොකුම විහිලුව මෙන්ම මරා ගැන පවතින සියලුම ගෞරවය නැති වන කරුණක්ද විය හැක. ජනපති ධුරය අහෝසි කරනවායැයි පොරොන්දු දෙමින් දෙවරක් බලයට පැමිණි අයෙක් එය ඕනෑම වාර ගණනක් සඳහා දික් කරගෙන, නැවතත් බලයට පැමිණිය හොත් එය අහෝසි කරනවා යයි කීම පිළිගන්නේ නම්, ශ්‍රී ලාංකික චන්ද දායකයා මුග්ධ බවේ කෙළවරම සිටින අමනයෙකු විය යුතුය. 

අනෙක් අතට මරා වටා සිටින බොහෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සහ සුළු වාමාංශික පක්ෂ සහායකයන්ට විධායක ජනපති ධුරය අහෝසි කරනවා යැයි කියන අපේක්ෂකයෙකු ඉදිරියේ එසේ නොකරනවා යයි කියන තම අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටීම උභතෝකෝටිකයක් වනු නොඅනුමානය. මෙය මරාටද උභතෝකෝටිකයක් වනු ඇත.


සංකීර්ණ තුන




අපි නැවතත් තුන් වෙනි අපේක්ෂකයා වෙත පැමිණෙමු. 

මෙහිදී අපට දක්නට ඇත්තේ සැලකිය යුතු චරිත දෙකක් පමණි. එනම් අනුර දිසානායක මහතා (පහසුවට අදි යැයි කියමු) සහ සරත් ෆොන්සේකා මහතාය (පහසුවට සෆො යැයි කියමු).

අදි යනු ජවිපෙ අපේක්‍ෂකයාය. ඉතිහාසය තුල එජා පාක්ෂිකයාගේ හැසිරීම හොඳින් අධ්‍යනය කල  ඕනෑම අයෙක් එකඟ වන කරුණ නම් එජාපයේ පාවෙන චන්දයක්වත් ජවිපෙට නොදෙන බවයි. ජවිපෙට චන්දය දීම එජා පාක්ෂිකයාට නුහුරුය. ඔවුන්ගේ වදනින්ම කියනවා නම් එය පාප කර්මයකි. එසේම රවි ට නොදී අදි ට චන්දය දෙන්න තරම් ප්‍රභල සිංහල බෞද්ධ පෞරුෂයේ තීන්ත ආලේපයක් ජවිපෙ ට නැත. 

එහෙත් සන්ධාන ආධාරකරුට ජවිපෙ නුහුරු නැත. ඔවුන් කිහිප වරක්ම ජවිපෙ අපේක්ෂකයන්ට කතිරය ගසා ඇත. ජවිපෙ සහ ඔවුන්ගේ රජය එකමුතුව වැඩ කර ඇත. මා සමග අදහස් හුවමාරු කරගත් බොහෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් (විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ) තුල තිබෙන්නේ ජවිපෙ යනු චන්ද්‍රිකාගේ කට්ටිය යැයි හැඟීමකි. 

අනෙක් අතට සන්ධාන පාක්ෂිකයා තුල තම අපේක්ෂකයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ඇතැයි කිසිම බලා පොරොත්තුවක් නැත. ඔහුගේ ක්‍රියා කලාපය සහ රටේ පවතින වාතාවරණය සන්ධාන පාක්ෂිකයන්ට කලකිරීම දනවන සුළුය. සිංහල බෞද්ධයාට වන කෙනෙහිලි කම්ද නිමක් නැත...... 

අදි යනු දක්ෂ කථිකයෙකි, ඔහු සිටියේ යුධ ජයග්‍රහණය සමගය, ඔහු වමට බරය (හෝ වමේමය), ඔහුගේ පෞරුෂය මරා සමග කරට කරය, ඔහු සාමානය තැනක මනුෂ්‍යයෙකි. එමෙන්ම ජවිපෙ යනු සිංහල බෞද්ධ විරෝධී ලේබලයක් මෙන්ම මුස්ලිම් දෙමල විරෝධී ලේබලයන්ද අලවා නොගත් පක්ෂයකි, .... මේ සියල්ල තුලින් ජනිතවන්නේ සන්ධාන පාක්ෂිකයාගේ අත අදි වෙතට ඇදෙන බවය. මේ පසුබිම තුල මා දකින්නේ ඉතා ඉහල පාවෙන සන්ධාන රැල්ලක් අදි වෙනුවෙන් චන්දය දෙන බවය. නොදෙන්නේ කැපුවත් නිල් බලකායය. 


මේ තත්වයේ වැඩි වාසි ඇත්තේ රවි ටය. කැපුවත් කොළ, පාවෙන එජාප චන්ද, මුස්ලිම් සහ දෙමළ චන්ද එකතුව මරා සහ අදි අතර බෙදෙන චන්ද වලට වඩා ගව්වක් ඉදිරියෙන් සිටිනු ඇත. මේ තත්වය මත 50: 30: 20 වැනි චන්ද අනුපාතයක් රවි: මරා: අදි අතර ඇතිවිය හැක. එජාපයේ උත්සාහය මත මෙය තවත් එජාපයට හිතවාදී ප්‍රතිශතයක් දක්වා ගෙන යා හැකි වනු ඇත.

එහෙත් සෆෝ ගේ සම්ප්‍රප්තියක් සිදු වුවහොත් මෙහි විරුද්ධ ප්‍රථිපලය ලැබෙනු ඇත.

සන්ධාන පාක්ෂිකයාට මරාට නොදී සෆොට චන්දය දීමට කිසිඳු හේතුවක් නැත. දේශපාලන පෞරුෂය අතින් මරා ඉන්නේ සෆොට ඉදිරියෙනි. යුධ ජයග්‍රහණයේදී මරා සහ සෆෝ සම අයිති කරුවෝය. එහෙත් පශ්චාත් යුධ සමයේදී සිදුවූ පෙරලි සහ ආණ්ඩුවේ මාධ්‍ය යාන්ත්‍රණය තුලින් මරා සෆොට වඩා ගව්වක් දුරට යුධ අයිතිය හිමි කරගෙන ඇත. මරා යනු සෆොට වඩා දක්ෂ හොඳ තිරිංග පද්ධතියක් සහිත කථිකයෙකි. සිංහල බෞද්ධ ජනතාවට මරාට නොදී සෆොට චන්දය දෙන්න තරම් ඔහු කෙරේ සිංහල බෞද්ධ ආකර්ශනයක්ද නැත. ඔහු රජයේ දුෂණ භීෂණ ගැන කියෙව්වත් "මෙයාගේ කෙරුවාව කොහොම වේවිද දන්නේ නැහැ" කියන තැනට පාවෙන සන්ධාන චන්ද තල්ලු කිරීමට සෆොගේම කට වැඩ කටයුතු කර ඇත. 

අනෙක් අතට එජා පාක්ෂිකයාට සෆෝ හුරු පුරුදුය. ඔවුන් වරක් ඔහුට චන්දය දී ඇත. සමාජීය පෞරුෂය අතින් සෆෝ යනු රවිට වඩා බොහෝ ඉදිරියෙන් සිටින චරිතයකි. ඔහුගේ දේශපාලන කතා විලාශය තව ස්වල්පයක් සංවර කර ගත හොත්, ඔහු රවිට වඩා  ආකර්ශනීය කථිකයෙකු ලෙස ඉදිරියට එනු ඇත. සෆෝ යනු යුධයේ සම වීරයෙකි. ආණ්ඩුව විසින් ඔහුගේ වීරත්වය උදුරාගෙන ඇති බව එජාපය විසින්ම පාක්ෂිකයාගේ සිතට කා වද්දා ඇත. මේ අනුව යුද්ධය ආපස්සට ඇදීමක් ගැන බියක් සෆෝ කෙරේ එජා පාක්ෂිකයාට නැත. සෆෝ යනු දකුණේ සිංහල බෞද්ධ වීරයෙකි. බොහෝ ගම්බද තරුණ පිරිස්වලට රවි තම නායකයා යැයි පැවසීම තරමක් ලැජ්ජාව දනවන සුළු වුවත් සෆෝ වැනි යුධ වීරයෙක් නායකයා යයි පැවසීම අභිමානයකි. 



මේ අනුව සෆෝ ගේ ආගමනයක් සමග බොහෝ පාවෙන චන්ද එජාපයෙන් හැලීම නොවැලක්විය හැක. 

මෙහි ප්‍රතිඵලය බොහෝ විට මරා; රවි: සෆෝ අතර 50: 30: 20 ලෙස චන්ද බෙදීයාමක් සනිටුහන් කරනු ඇත.

මා මේ විග්‍රහය ලිවීමේදී, ජනාධිපතිවරණ චන්දයකදී රජය විසින් යෙදවිය හැකි උපරිම බලයද සලකා ඇත. 








3 comments:

  1. රත්වනතුරු දිය සැලියේ
    කක්කුට්ටෝ පෙම් කෙලියේ

    ReplyDelete
  2. ඕකුන් හැමෝම එකයි.

    ReplyDelete
  3. අද සියල්ලම කනපිට හැරී ඇත.. දැන්නම් උ.බු.ජ ට රැවිලත් නැත.. කැඳත් නැත...ඒත් කමක් නෑ.. මරා ගෙදරනෙ...

    ReplyDelete