Follow this Blog

Monday, 16 December 2013

Wasantha's Father


වසන්තගේ තාත්තා


වසන්ත, මම තුන් වන ශ්‍රේණියේ ඉගන ගනිද්දී පන්තියේ සිටි තවත් සිසුවෙකි. වසන්තගේ තාත්තා වැඩ කලේ ආමි එකේය. මේ නිසා වසන්ත පන්තියේ හැමෝටම චන්ඩියා විය. ඔහුගේ වැඩිම තාඩන පීඩන වලට ලක් වුනේ පන්තියේ සිටි අන්තිම අහිංසකයා වූ උදිතයි.

කෙසඟ සිරුරකින් යුත් අවශ්‍යම දෙයට විතරක් කතා කල උදිත කොපමණ පැත්තකට වී සිටියත් වසන්තගේ ග්‍රහණයට නිරන්තරයෙන් අසුවිය. ශාරීරික වදයක් නොදුන්නත් වසන්තගේ භය කිරීම් උදිතට මහා කරදරයක් වූ බව මට එදත් වැටහුණි. උදිතට නොයෙකුත් වැඩ කරන්න කියා වසන්ත නියම කළේය. කොළ ඇහිඳීම, තමාගේ පොත් මල්ල ගෙන යාම, අනෙක් ළමයින්ට ටොකු ඇනීම ඔහුගේ අණ දීම් අතර විය. මේවා නොකරන්නේ නම්, තමාගේ පියාට කියා උදිතව බාල්කයේ එල්ලා පහර දෙන බවද. උදිතගේ පියා එයට මැදිහත් වුවහොත් ඔහුට තම පියා වෙඩි තියන බවද වසන්ත නිතරම කිවේය. මේ නිසා  උදිත නිතරම සිටියේ බියෙනි. සමහර විටක ඔහුගේ ඇස්වල කඳුළු පිරී තිබෙනු මට මතකය.

වාර අවසානයේදී පන්තියේ සියලුම ළමයින් තම දෙමාපියන් (එක්කෙනෙකු හෝ) සමග පැමිණිය යුතුය. මුල් වාර දෙකේම උදිතගේ අම්මා පැමිණි අතර වසන්තගේ දෙමාපියන් කිසිවෙක් ආවේ නැත. මේ ගැන පන්ති භාර ගුරුතුමිය ඔහුට තදින් අවවාද කලත් ඔහු කියා සිටියේ දෙමාපියන්ට එන්න වෙලාවක් නැති බවයි. ළමයින්ට ඔහු කිවේ තම පියා පැමිණියහොත් ළමයින් මෙන්ම ගුරුතුමියද භය වන බැවින් ඔහු නොපැමිණෙන බවයි.

වසර අවසානයේදී පියා හෝ මව නොපැමිණිය හොත් තමාව ඊළඟ ශ්‍රේණියට සමත් නොකරන බව ගුරුතුමිය වසන්තට දැඩි ස්වරයෙන් දැනුම් දුන්නේය. මෙවර තම පියා පැමිණෙන බවද, එදින බොහෝ විට ඔහු උදිතව අල්ලාගෙන යනු ඇති බවද, එසේ ගෙනියන ළමයින්ට තම පියා බිම වැටෙන තුරු පහර දෙන බවද වසන්ත නිතරම උදිතට කිවේය. උදිත මේ නිසා බොහෝ සෙයින් බිය වී සිටියේය.

දිනය උදාවිය. වසන්තගේ පමණක් නොව උදිතගේ පියාද එදා පැමිණියේය.

දෙදෙනාම ආවේ එක වාහනයේය. එය යුධ හමුදාවට ඒ කාලයේ තිබු හොඳම ජීප් රථයකි. මුලින්ම බැස්සේ වසන්තගේ පියාය. ඒ රියදුරු අසුනේ සිටයි. වාහනය  වටා අනෙක් පසට ගිය ඔහු දොර හැර සීරුවෙන් සිටගෙන සැලියුට් එකක් ගැසුවේය. වාහනයෙන් බැස්සේ උදිතගේ පියාය. ඔහු පිටුපසින් වසන්තගේ පියා දෙකට තුනට නැවී නැවී උදිතගේ පියා අසන දෙයට උත්තර දෙමින් පන්තිය දෙසට පැමිණියේය.

පසුව අපට පන්තියේ ගුරුතුමිය පැවසු පරිදි උදිතගේ පියා කර්නල් වරයෙකි. වසන්තගේ පියා ඔහුගේ රියදුරුය.

...................................................


මට මේ කතාව මතක් වුනේ, ලංකාවේ දේශපාලකයන් ජාත්‍යන්තර ප්‍රජාවට ගුටි බැට දෙන හැටි ගැන රාජ පාක්ෂික ජනතාව කඩ මන්ඩියේ, දුම්රියේ, බස් රියේ, මුහුණු පොතේ, ආණ්ඩුවේ පත්තර, වෙබ් පිටුවල කොමෙන්ටු තීරුවේ ලියන කියන දේවල ඇසූ දුටු විටය.


3 comments:

  1. මොනවා කරන්නද.අපේ රටේ මිනිස්සු හිතන්නෙත් ,හිතන්න පුරුදු කරල තියෙන්නෙත්.ලංකාව තමයි ලෝකය කියලනෙ. ලෝකෙන් උතුම් රටට වඩා අනෙක් රටවල් පහලයිනෙ තත්වයෙන්.

    ReplyDelete
  2. ලෝකයම පතුරු ගහනවා. අපේ ස්ථානය වටහා ගන්න තිබුනා මැන්ඩෙලාගේ ෆියුනරල් එක බැලුවානම්.

    ReplyDelete