Wednesday 20 June 2012

ඔරායන් ගේ බඳපටිය සහ රාවණා


ඔරායන් ගේ බඳපටිය සහ රාවණා




පසුගිය මාස කිහිපයේ FB පුරාවට ඇදෙන 
රාවණ පිලිබඳ කතා පෙළ බලන විට මෙය ලිවීමට සිත්විය.

ඊජිප්තු පිරමීඩ, ඔරායන් බඳපටියේ තාරකා සහ සොලමන් රජුගේ අධිරාජ්‍ය  පිළිබඳව  ජනකතා, කටකතා මෙන්ම ශාස්ත්‍රීය සහ විද්‍යාත්මක ගවේෂණ ගැන ජනතා උනන්දුව ලොවපුර ඇතිවුනේ 60 දශකය තරම් ඈතකදීය. 80-90 දශකවල නිපදවූ පිටසක්වල ගැන කියවෙන බොහෝ චිත්‍රපටි වලටද පාදක වුයේ මෙම සංකල්පයන්ය. රාවණ රජු පිළිබඳවද 70-80 දශක වලදී නොයෙකුත් සාකච්චා ඇතිවිය. රාවණා රාජ්‍ය පිළිබඳව ප්‍රසිද්ධ ගුවන් විදුලි නාට්‍ය මාලවකුත් ඒ දිනවල ප්‍රචාරය විය. 





2009 ත්‍රස්තවාදය තුරන් කල යුද්ධයෙන් පසුව රටේ දේශප්‍රේමී සංකල්ප වල සීග්‍ර වර්ධනයක් ඇතිවිය. 30 වසරක යුධයකින් බැටකා, මානසිකව ඇදවැටී සිටි ජාතියක, යුධ ජයග්‍රහණයකින් පසු  මෙවන් පිබිදීමක් ඇතිවීම ඉතා ස්වභාවිකය. අවාසනාවකට මෙම දේශප්‍රේමී සිතිවිලි සමුදායට නියම නායකත්වයක් ලබා දී රටේ අභිවුර්දිය කරා යොමු කිරීමක් මා දුටුවේ නැත. ඒ වෙනුවට සිදුවුයේ ව්‍යාජ දේශප්‍රේමයක් කුළුගන්වා තමන්ගේ වැරදි වසාගන්නත්, එමගින් තම සතුරාට පහරදෙන්නත් යොමුවුණ දේශපාලන නායකත්වයකි. මෙය පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සිදුවිය.

රාවණ යුගය ගැන කතාන්දරය එන්නේ මේ පසුබිම තුලය. මෙම ලිපිපෙළ කියවීමට ඉතා පියකරුය. එහෙත් සාහිත්‍ය රසයට අමතරව එහි අන්තර්ගතය සහමුලින්ම හිස්ය. කිසිඳු ඓතිහාසික පදනමක් හෝ පිළිගත හැකි සාක්ෂිවලින් තොරව 60-70 දශකයන්හි ලියවුනු පිරමිඩ, ඔරායන් බඳපටිය, සොලමන් රජු පිලිබඳ කතන්දර දාගැබ, ඔරායන් බඳපටිය හා රාවණ රජු ට ආදේශ කර ලියවුනු ප්‍රබන්ධයක් මිස එහි කිසිඳු ගතයුතු හරයක් නැත.

බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදුන කතාවේ සිට සිරිවර්ධන බුදුවීම දක්වා පැමිණෙන්නේ මෙම ව්‍යාජ දේශප්‍රේමයේ ප්‍රතිපලය. මේවා ඇතිවී නැතිවී යන්න ඉඩ දෙනු විනා ඒ පසුපස යාම රටට අනවශ්‍ය ව්‍යසනයන් සඳහා කරන ආරාධනාවන් විය හැක.

ලෝකයේ බොහෝ රටවල අදටත් දැකිය හැකි ප්‍රබල සාක්ෂි මත ලෝකයේ දියුණු විද්‍යාවක් පෙර පැවතුන බව මම පෞද්ගලිකව විශ්වාස කරමි.

එම විද්‍යාව පිටත ග්‍රහලෝවකින් ලැබුනේද යන්න නොපිලිගනීමට තරම් සාක්ෂි නැති බවද මම පිලිගනිමි.




අද මහාවංශය ලියන්න රජය පත්කරන්නේ කුමන ආකාරයේ කෙනෙක්දැයි නොකිවමනාය.

කුමන රජයක් පැවතුනත්, කාලය කුමක් වුවත් මෙම වගකීම භාරදෙන්නේ පවතින රජයට ආවඩන අයෙකුටය.

එබැවින් ලංකාවේ ඉතිහාසය මහාවංශය මගින් සැබෑවටම නිරුපනය නොවන බවද සැබැවි.

මෙම ව්‍යාකුල කාරණා වලට පිළිතුර ප්‍රබන්ධයක් මගින් ලබාදිය නොහැකි බවද අප තේරුම් ගත යුතුය..



No comments:

Post a Comment