Saturday, 16 August 2025

ජවිපෙ 3% සහ විපක්‍ෂයේ චමත්කාරය

මා දන්නා කලෙක සිට ජවිපෙ චන්ද පදනම 2%-3% අතර විය. අදටත් එය එසේම බව මගේ හැඟීමයි. හෙට චන්දයක් පැවතුණොත් එය වෙනස් වෙතැයි අපට සිතිය නොහැක. මැතිවරණ කිහිපයකදීම ප්‍රධාන ප්‍රවාහයේ පක්ෂ සමග එකතු වී ජවිපෙ තම චන්ද ප්‍රතිශතය දෙතුන් ගුණයකින් වැඩි කරගත්තේය. ඒ ජවිපෙ චන්ද වැඩිවීමක් නිසා නොව ජවිපෙ චන්ද අපේක්ෂකයන්ගේ ජනප්‍රියතාවය නිසා අනෙකුත් පක්ෂවල අයගෙන් ලැබුණු මනාප නිසාය.  

---------------------------

"එයාල ඔක්කොම යාළුවො මල්ලී". රංජන්ගේ මේ viral වූ ප්‍රකාශයට වසර දහයකට දොළහකට පෙර මම මෙහි සංදර්භය මුලින්ම දැනගත්තේ තරු පහේ හෝටලයක barman කෙනෙකුගෙනි. එතෙක් මෙතෙක් මා barman කෙනෙකු සමග කුළුපඟ සංවාදයක යෙදුනු එකම අවස්ථාව එයයි. දිනකට සිය ගණනකට ප්‍රණීත මදුවිත තනා දෙන ඔහු අමද්‍යපය. ඔහු කතා කලේ කිසිඳු උද්‍යෝගයකින් තොරව, මේ කාරණා ගැන අප ඇසූ නිසාය. එවකට ජනප්‍රිය වූ ජනහඬ වේදිකාවේ එකිනෙකා බලු කපුටන් මෙන් මරා ගන්නා දේශපාලකයන් ගණනාවකගේ නම් ඔහු පැවසීය. එකට මදුවිත තොලගා කරට අතදාගෙන ඔවුන් තමන් වෙනුවෙන් කඩේ යන එකිනෙකා මරා ගන්නා තම පාක්ෂිකයන්ට කොක් හඬලා සිනාසෙන අයුරු ඔහු විස්තර කළේය. එකිනෙකාගේ පව් ෂේප් කරගන්නා ආකාරය පිළිබඳව ඔවුන් බැරෑරුම් ලෙස සාකච්චා කරන අයුරු ඔහු අපට කියා දුන්නේය.

බ්ලොග් ලිවීමට පටන් ගත් මුල් කාලයේ මම මේ පිළිබඳව පෝස්ට් කිහිපයක් පළ කලෙමි. නමුත් එවකට එම කරුණු "සජිත් ප්‍රේමදාස පොහොට්ටුවෙන් ප්‍රාදේශීය සභාවකට චන්දෙ ඉල්ලනවා" කියනවා වැනි අභව්‍ය කතා විය.

---------------------------

වසර 2023 අග භාගය වන විට මේ කරුණු අදාළ පාර්ශව විසින්ම මැනවින් ඔප්පු කර reconfirm කර තිබුණි. පෙර ජවිපෙට කිසිඳු සම්බන්ධයක් නොවූ මෙන්ම ජවිපෙ මතවාදයනට කලක් නිර්දය ලෙස පහර දුන් විශාල පිරිසක් ජවිපෙ මැදි කරගෙන ගොඩනැගුණු ජාතික ජන බලවේගය සමග එකතුවී තිබුණි. ඔවුන් කිසිවෙක් තුල ජවිපෙ දාර්ශනික මතවාදයන්ට අල්ප හෝ කැමැත්තක් තිබුණා කියා මම නොසිතමි. එහෙත් ජවිපෙ තුල තිබූ බොහෝ ධනාත්මක කරුණු ඔවුන්ට ජවිපෙ සමග එකතුවීමට පාදක වී තිබුණි. ඉතිරිය දැන් ඉතිහාසයට එක්වී හමාරය.

---------------------------

මේ ආණ්ඩුව පත්වන විට එයට මාස 6කට වඩා ආයුෂ නැති බව බොහෝ විපාක්ෂිකයන්ගේ අදහස විය. එසේ සිතීමේ යම් සාධාරණත්වයක් තිබුණි. පාර්ලිමේන්තුවට 2/3 බලයක් සහිතව පත්වූ මන්ත්‍රී වරුන්ගෙන් 2/3ම ජාතික දේශපාලනික අත්දැකීම් තිබූ අය නොවීය. එසේම ඉතා සූක්ෂම ලෙස අංචි ඇදීමට නම් දරා සිටින විපක්ෂයක් හමුවේ මෙම නවක ආණ්ඩුව  වැඩිදුර කරගෙන යා නොහැකි බව බොහෝ දෙනෙකුගේ මතය විය. දැන් වසරකට ආසන්න කාලයක් ගතවී ඇත. ආණ්ඩුව ඉතා ශක්තිමත්ය. එලෙසම දැන් සිටින්නේ වසරක පමණ අත්දැකීම් සහිත ආණ්ඩු පක්ෂයකි. අත්දැකීම් ගතිකය. එය accumilate වන භූතාර්තයකි. ඉඳහිට ඇදන් නාන ආණ්ඩු පක්ෂයේම කිහිප දෙනෙකුගේ විප්‍රකාර හැරෙන්න විපක්ෂයට කළහැකි බක්කක් නැති බව විපක්ෂය විසින්ම ඔප්පුකර ඇත. 

---------------------------

විපක්ෂයට තවමත් තේරුම් ගැනීමට නොහැකි වූ අතිශයින්ම වැදගත් චමත්කාරය මේ ආණ්ඩුවට අති බහුතරයක් චන්දය දුන්නේ ඇයිද යන්න අවබෝධ කරගත නොහැකිවීමයි. මා කලින් කී ලෙසම මෙම රජයට සහයෝගය දුන් 95% පමණ (සමස්ත චන්දදායකයන්ගෙන් නම් 3% හැර) බලාපොරොත්තු වුයේ කලින් රජයන්ගේ තිබූ වංචා, දුෂණ, භීෂණ, හොර මැරකම්, පොලිසිය සහ බල කේන්ද්‍රය බලය අයුතු ලෙස යොදාගැනීම්, දේශපාලකයා සහ ඔහුගේ හිතවතුන් භුක්ති විඳි අයථා යස ඉසුරු, රජයට හිතවත් "චන්ඩි" දනන්ගෙන් ජනතාවට එල්ලවූ තාඩන පීඩන ආදී විෂමාචාර ශුන්‍ය හෝ අවම කිරීමයි. මේ තුලින් නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සිදුවන බව යම් තරමක බුද්ධියක් ඇති සියල්ලෝම වටහාගෙන ඇත. මීට අමතරව සාමාන්‍ය ජන ජීවිතය වඩා පහසුදායක කිරීම සහ මෙතෙක් දේශපාලකයා සහ සහචරයා කල වරදට දඬුවම් පැමිණීම ද්විතීක අවශ්‍යතා විය. 

අතීතයේදී මෙන්ම මැතිවරණ වේදිකාවේ ජවිපෙට බර ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් මොනවා කිව්වත් එම පක්ෂයට චන්දය දුන් අති බහුතරයක් ලංකාව සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී මොඩලයකට යනවාට හෝ එවන් පාලන තන්ත්‍රයක අංගෝපාංග adopt කරනවාට කිසිඳු කැමැත්තක් ඇතැයි මම නොසිතමි.

අද විපක්ෂය කෑගසන්නේ මේ ජවිපෙ මතවාදයන්ට අනුකූල වූ මගක රජය යන්නේ නැත කියාය (රජයේ උදවිය පෙර යොදාගත් සටන් පාඨ උපුටා දක්වමිනි). "අරක අරහෙම කිව්වට දැන් කරන්නේ මෙහෙමයි" යන්න විපක්ෂයේ සටන් පාඨයයි. නමුත් විපක්ෂයට නොතේරෙන්නේ ඔවුන් නොදැනුවත්වම කරන්නේ මේ රජය පත්කළ 95% පමණ පිරිසක් කුල්මත් කිරීම බවයි. මේ 95% ට අවශ්‍යද මෙයමය. මෙහිදී ආණ්ඩුවෙන් හැලෙනවා නම් හැලෙන්නේ 3% වන ජවිපෙ core එකයි. අද පෙරටුගාමින් වලිකන්නේ මේ 3% තමා වෙත නතු කරගැනීමටයි.

---------------------------

ආණ්ඩු පක්ෂයට අත්දැකීම් නැතැයි කිව්වාට සැබෑවටම සිදුවී ඇත්තේ දේශපාලනික වශයෙන් කිසිසේත් පරිණත නොවූ පුද්ගලයන් දෙදෙනෙකු අතට විපක්ෂය පත්වීමයි. රනිල් වික්‍රමසිංහගෙන් උපදෙස් ගන්න තරම් සජිත් නිහතමානී පුද්ගලයෙක් යැයි මම කිසිසේත් නොසිතමි. මහින්ද රාජපක්ෂට උපදෙස් දීමට තරම් හොඳ මානසික සෞඛ්‍යයක් තිබේ යයි සිතීම අසීරුය. මෙයින් රජය උපරිම ප්‍රයෝජන ගන්නා බව පෙනෙයි. ඔවුන් ඉතා සුක්‍ෂමව තම 2/3 බලය භාවිතා කරමින් පාර්ලිමේන්තුව තුල අණපනත් වෙනස් කරගනිමින් සිටියි. විපක්ෂය මෙහිදී අසරණ වී ඇත. බැලූ බැල්මට ඉතා යහපත් යයි සිතෙන බොහෝ අණපනත්වලට විරුද්ධ වුවහොත් තමා ජනතාව අතර අප්‍රසාදයට පාත්‍ර වන බව ඔවුන්ට පෙනෙයි. එසේම එම පනත්වල ඇති සැඟවුණු උගුල් ගැඹුරින් අධ්‍යනය කර මහජන වේදිකාවේ විග්‍රහ කිරීමට සමත් බුද්ධියක් විපක්ෂය සතුව නැත. දේශපාලනික බුද්ධියෙන් පරිණත රනිල් සහ චන්ද්‍රිකා ජනාධිපති වරප්‍රසාද කප්පාදුවට එරෙහිව නිහඬවීමට තීරණය කරද්දී බුද්ධියෙන් අපරිණත සිරිසේන සහ බුද්ධිය මෙහෙයවීමට නොහැකි වයසක පසුවෙන මහින්ද තවමත් එහි ගැලී සිටින්නේ මේ නිසාය. 

-------------------------------
එදා රාජපක්ෂ හෙංචයියන් උසාවි කැඳවූ විට ඔවුන් ආවේ ඇම්බියුලන්ස්වලය. උසාවිය වටකර මහා සෙනගක් කෑකෝ ගසමින් සිටියේය. ලෙඩා දෑත් ඔසවා පැමිණ සිටි පිරිසට ආචාර කරමින් සිංහයන් සේ උසාවියට ගොස් එලෙසම ඉන් නික්ම ගියේය.  වසර කිහිපයකට පසු ඒ හෙංචයියන්ගෙන්ම ප්‍රභාලයන් දෙදෙනෙක් දශක දෙකක් සිපිරිගෙට නියමවී දෑතේ මාංචු දරාගෙන පාරදිගේ ඇවිද ගොස් බන්ධනාගාර රියට නගින විට පාර අයිනේ සිටි කිසිවෙක් හැරී බැලුවේ වත් නැත.  

දැන හෝ නොදැන මේ රජය ගමන් කරන්නේ LKY-66 මාවතේය. පාර්ලිමේන්තුව තුලින් අණ පනත් වෙනස් කරගැනීම, දඬුවම් දීමේදී සුළු තැන්වලින් පටන්ගෙන ක්‍රමයෙන් ඉහල අතු වලට යාම, නීතිය මගින් භාෂණයේ හා අදහස් පළකිරීමේ සීමාවන් ඇඟට පතට නොදැනීම පටු කිරීම මේ රජයේ දැනට පෙනෙන LKY-66 ලක්ෂණ වේ. මේවා හොඳද නරකද යන්න අනාගතය තීරණය කරනු ඇත.

අවසානයේ, පලිඟු බෝලයෙන් පෙනෙන එක් අනාවැකියක් කියා මම නවතිමි. 2029 නියත ජනාධිපති තව වසරක් ඇතුලත මහා උළු ගෙදරට පියමනිනු ඇත. 

Wednesday, 13 August 2025

මිත්‍යා විශ්වාසයක් යනු කුමක්ද?

 


"තමාගේ විශ්වාසයට පරිබාහිර වූ අනෙක් සියළුම විශ්වාස"

Tuesday, 12 August 2025

පනස් ගණන් වල සිංහල ඩයිනමික්ස්


ඈත පිටිසර ගමක කුඩා පාසලක ගුරුවරයෙකුගේ අප්‍රතිහත ධෛර්යය නිසා එම පාසලේ සියළුම ළමුන් ඉංග්‍රීසියෙන් කතා කිරීම ගැන ප්‍රවෘතියක් ප්‍රධාන ජන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවලද මීට ටික කලකට පෙර වයිරල් විය.

-----------------------------

නිදහස් ලංකාවේ සිටි මුල් දේශපාලකයන් අති බහුතරයක් පක්ෂ පාට බේදයකින් තොරව එක් සමාජ පන්තියකට අයත් විය. එකල ලිබරල් වාදයේ සිට කොමියුනිස්ට් වාදය දක්වා පැතිර ගිය දේශපාලනික මතවාද සියල්ලම ආනයනය වුයේ එංගලන්තයෙනි. ඉංග්‍රීසිය පුළුල් සන්නිවේදන මාධ්‍යයකට වඩා සමාජ මට්ටම කිරා බැලීමේ මිනුම් දණ්ඩක් විය.

තම සමාජයේ අනන්‍යතාවය පෙන්වීමේ ප්‍රධාන උපාංගය වූ ඉංග්‍රීසි බස බහුතරයක් වූ සාමාන්‍යය ජනතාව නතු කරගන්නවාට මේ ඉහල පන්තිය කැමති වුයේ නැත. මේ නිසා ඔවුන් ඉංග්‍රීසිය සාමාන්‍ය ජනතාවට ප්‍රේෂණය වන පාළම කඩා දැමීමට යුහුසුළු විය. මේ සඳහා ඔවුන් ශ්‍රම බලකාය ලෙස යොදාගත්තේද සාමාන්‍යය ජනතාවයි.  ඔවුන් ඇමට යොදාගත්තේ සිංහල භාෂාව රජ බස කිරීමයි. ඇත්තෙන්ම මේ ප්‍රභූ පැලැන්තියේ අරමුණ වුයේ සිංහල බස ගොඩනැගීමද නැත්නම් "ගහක කොස් ගෙඩියක් කඩා ගන්න එකෙක් නැතිවෙන එක" නවතා ගැනීමදැයි ඔබ ඔබගෙන්ම අසන්න.

ඔවුහු එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක්ම දඩයම් කරගත්හ. 

එකල සිංහලය රජ බස කිරීමට මුල්වූ දේශපාලකයන් එකින් එක ගෙන ඔවුන්ගේ දරු මුණුපුරන් ඉගෙන ගත් පාසල්/රටවල් ගැන අධ්‍යනය කරන්න. එවිට ඔබට තේරෙයි ඔවුන්ගේ පැහැදිලි ඉලක්කය. 

ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව කිරීමෙන් ගැටළු කිහිපයක් මතුවන්නට තිබුණි. නමුත් ඒවා එකක්වත් ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව කිරීමෙන් ඇතිවන්න තිබූ වාසි වලට කිට්ටු කිරීමටවත් නොහැකිය. වසර 75කට පසු අදත් ලංකාවේ සැලකිය යුතු රැකියාවක් ලබා ගැනීමට නම් ඉංග්‍රීසිය ප්‍රධාන සාධකයක් වී ඇත. ඉංග්‍රීසිය ව්‍යක්ත නොවුවන් කුමන අධ්‍යාපන/ධන සම්පත්වලට හිමිකම් කීවත් ඔවුන් අයත් වන්නේ සමාජයේ පහළ පන්තියකටය. ඉහල මට්ටමේ විදේශ රැකියාවල් ලබා ගැනීමේදී ඉංග්‍රීසිය සැලකිය යුතු බාධකයක් වී ඇත. රටේ බහුතරයක් හොඳින් ඉංග්‍රීසි බස හසුරවයි නම් සංචාරක ව්‍යාපාරය මීට වඩා බෙහෙවින් ඉහල තලයකට එසවීමට තිබුණි. එකම රටේ විවිධ ජාතීන් අතර දුරස්ථ බව සම්පුර්ණයෙන්ම පාහේ මැකී යන්නට තිබුණි. 

-----------------------------

එදා ප්‍රභූන්ගේ ඒ පටු අරමුණු අදටත් උත්කර්ෂයට නංවන සමහර අසරණයන්, තමන්ට නොහැකි ඉංග්‍රීසියෙන්, කුඩා පාසැලක දරුවන් ව්‍යක්තව කතාකිරීම ගැන උදම් ඇනීම චමත්කාර ජනකය. 



 



Saturday, 26 July 2025

ඉංග්‍රීසි කන්නද?


මීට දශක දෙකකට පමණ පෙර ඉතාලියේ අබ්දුස් සලාම් මධ්‍යස්ථානයේ පැවති න්‍යෂ්ඨික බලශක්ති පිළිබඳව වැඩමුළුවකට සහභාගී වූ අප කිහිප දෙනෙක් ලද විරාමයකදී කතා බහට සෙට් වුනෙමු. අපගේ මාතෘකාව සාහිත්‍ය රස විදීම දක්වා ඇදී ගොස් තිබුණි.

"ඔබට යම් සාහිත්‍යක සැබෑ රසය විඳීමට නම් එම භාෂාවේ කිමිදිය යුතුය" මෙසේ පැවසුවේ ඉරාන ජාතික විද්‍යාඥයෙකි. ඔහු අදහස් කලේ යම් භාෂාවක නිපුණත්වයට නොපැමිණ අදාළ සමාජයේ සාහිත්‍ය රස විදිය නොහැකි බවයි.

එතැන සිටි මව් බස ගුජරාටි වන විද්‍යාඥවරියක් එයට තරමක් විරුද්ධ අදහසක් ඉදිරිපත් කළේය. "ඔබ ගුජරාටයට හෝ පන්ජාබයට පැමිණිය හොත් ඇස් දෙකෙන් කවි කියන කාන්තාවන් හමුවිය හැක. එම සාහිත්‍ය තේරුම් ගැනීමට ඔබට සෞම්‍ය හදවතක් මිස කිසිම භාෂාවක් අවශ්‍ය නැත". 

කතාවට එක්වූ අන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණි තෙළිගු මව් බස වූ අනෙක් ඉන්දියානු කාන්තාව එය අනුමත කරමින් පැවසුවේ ඉන්දියාවේදී මුහුණේ ඉරියව් වලින් බොහෝ සංනිවේදන කරන සාහිත්‍යයක් දැක බලාගත හැකි බවයි. 

මිලානෝ සිට පැමිණ සිටි ඇල්ප්‍රදෝ (මට මතක ඔහුගේ නම පමණකි) "ඉතාලියේ නම් අතේ මැද ඇඟිල්ලෙන් කතා කරන සාහිත්‍යකුත් තියෙනවා" යයි කිව්වේ අප සියල්ලම සිනහ සයුරේ ගිල්වමිනි.

මෙතෙක් වෙලා නිහඩව සිටි ආරෝහ පරිනාහ දේහධාරී එරිත්‍රියානුවා කටහඬ අවදි කරමින් "ඒ කියන්නේ ඉතාලිය ඇමරිකාවට පීසා දීල ඇමරිකාවෙන් මැදැගිල්ලේ භාෂාව අරන් වගේ" කිව්වේ ඇමරිකානුවන් මේ කටයුත්තට සුප්‍රසිද්ධ බැවිනි.

අපගේ සිනා සාගරය අවසන් කරමින් සංවිධායකයෙක් පැමිණ ඊළඟ session එක පටන් ගන්නා බැවින් ශාලාව ඇතුළට යන ලෙස ඉල්ලා සිටියේය.

එකිනෙකට වෙනස් මව් භාෂා සතු හතර පස් දෙනෙක් ඉතා ළබැඳියාවෙන් එකිනෙකාගේ හදවත්වලට දැනෙන සේ කෙරුණු මේ කතා බහට එකම හේතුව වුයේ ඉංග්‍රීසි බසයි. අප කිසිවෙක් ඉංග්‍රීසියේ චැම්පියන්ලා නොවන බව එදා කෙරුණු කතා බහේදී පැහැදිලිව පෙනුණු කරුණකි. එහෙත් අපි අදහස්වල නොමඳ රසය වින්දෙමු. 

සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 60-70 දශකවල තම නිර්මාණ බිහිකළ සෑම දෙනාම පහේ පාසල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාගෙන තිබුණි. ඔවුන් සිංහල භාෂාව සහ සිංහල සාහිත්‍ය ප්‍රමුඛ විෂයයන් ලෙස හදාරා තිබූ පිරිසකි. ස්වභාෂා කිහිපයකින්ම ලෝක පූජිත නිර්මාණ බිහි කල රවීන්ද්‍රනාත් තාගෝර් පවා තම අධ්‍යාපනය (ඔහු බොහෝ කලක් ගෘහස්ත අධ්‍යාපනය ලැබීය) මූලික වශයෙන් ලබා තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි.

ලොව විශාල පිරිසක් භාවිතාකරන භාෂාවක් තමා අධ්‍යාපනය ලබන මාධ්‍ය ලෙස භාවිතාකිරීමේ වාසි ගණනාවක් ඇත. එයින් වඩාත්ම වැදගත්වන්නේ ලෝකයේ වැඩි දෙනෙක්ගේ සිතුම් පැතුම් පිළිබඳව තමාගේ මනස නිරාවරණය වීමයි. මෙහිදීද "නිරාවරණය" යන වදනින් ඉංග්‍රිසියේදී යොදන "expose" වදනේ අරුත හරියටම ලැබෙන්නේ නැත.

60-70 දශකවල බිහිවූ සිංහල ගත් කතුවරුන්ගේ නිර්මාණ තුල ගෝලීය සාහිත්‍යයෙන් ලැබුණු පෝෂණයේ ඵල එමට දක්නට ලැබේ. මේ අන්තර් ජාලය හෝ සමාජ මාධ්‍ය තුලින් ලෝකය දැකීම පිළිබඳව අංශු මාත්‍රයක හෝ හැඟීමක් නොතිබුණු යුගයකය. එහෙත් අද මුළු ලෝකයම අපේ ඇඟිලි තුඩු අද්දර තිබෙන සමයක ලංකාවේ සිටින බහුතරයක් දෙනාට මේ  පුළුල් දැක්ම හෝ කෞශල්‍යය නැත. ඒ තබා ලංකාවේ මූලික අධ්‍යාපනය ලබා ආචාර්ය උපාධි සඳහා විදේශ ගතවී එහිම පදිංචි වූ බොහෝ දෙනෙකුටත් ඇත්තේ ළිං ගෙඹි මානසිකත්වයකි. දරුවකුගේ ප්‍රථම වසර 15දී ඔහු හෝ ඇය ලබන බුද්ධි පෝෂණය එම පුද්ගලයාගේ මුළු ජිවිතයටම බලපාන බවට වූ  මනෝවිද්‍යාත්මක සිද්ධාන්තය මේ තුලින් තවදුරටත් තහවුරු වෙයි. 

යම් කාල-අවකාශ රාමුවකදී අසල්වැසි හෝ ආක්‍රමණික ශක්තිමත් ජනවර්ගයක භාෂාව භාවිතාකිරීම තුලින් ඉහල සමාජ තත්වයක් ලබාගැනීමට උත්සහ කිරීම ලෝක ඉතිහාසය පුරාම යටහත් ජනවර්ගයන් තුල දක්නට ලැබුණි. කලෙක රුසියන් භාෂාවද, වරෙක ප්‍රංශ භාෂාවද, වරෙක ලතින් භාෂාවද මේ අයුරින් උත්කර්ෂයට ලක්විය. 

ලංකාවේ මේ තත්වය ඉතා ඛේදජනක ගැඹුරකට සමාජය තුල කිඳා බැස ඇත. ජාත්‍යන්තර භාෂාවෙහි නිපුණත්වයට පත්වීමෙන් ලැබෙන වාසි සහ එසේ නොලැබීමෙන් ලැබෙන අවාසි පසෙක තබා ලාංකීය සමාජය භාෂාව නොදැනීම නිසා සමාජයේ අවඥාවට ලක්වීම සහ භාෂාව දැනීමෙන් ඇතිවන ඉහල සමාජ මට්ටම පිළිබඳව පුර්ණ අවධානය යොමු කර ඇත.

මෙහි ආසන්නතම සිදුවීම රජයේ ඇමතිවරයෙක් ජාත්‍යන්තර මාධ්‍ය සාකච්චාවකදී ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් යම් දුර්වලතාවයක් ප්‍රදර්ශණය කිරීමයි. මෙහිදී මා දකින්නේ භාෂා නිපුණත්වය නොමැතිවීමෙන් ඇමතිවරයාට විශාල අවාසියක් සිදු වූ බවයි. විචක්ෂණ ඥානයක් සහ පරිණත භාෂා දැනුමක් සහිත දේශපාලකයන් මෙබඳු සාකච්චාවලදී තමාට මෙන්ම රටටත් විශාල වාසි අත්පත් කරගනියි.

නමුත් මේ සංසිද්ධිය ආණ්ඩු විරෝධීන් අල්ලා ගත්තේ සම්පුර්ණයෙන්ම වැරදි කොනකිනි. එසේම ආණ්ඩු පක්ෂය මේ සිද්ධියේ බරපතකම තේරුම් ගෙන ඈත-මෑත අනාගතය තුල ඊළඟ පරපුරට මේ තත්වය උදානොවෙන්න ගතයුතු පියවර පිළිබඳව තීරණය කළාදැයි මම නොදනිමි.

ලංකාවේ සිටින (ක්‍රමයෙන් සුළුතරයක් වෙමින් පවතින) පසුගාමී නිවට සමාජය මෙන් ජාත්‍යන්තරය ඉංග්‍රීසි දැනුම මද වුවා කියා යමෙක් අවඥාවට ලක්කිරීමට හෝ ඉංග්‍රීසි භාෂාවේ නිපුනයෙකු වුවා කියා උසස් ලෙස සැලකීමට යොමුවන්නේ නැත. නමුත් එහි ඇති වාසි-අවාසි පිළිබඳව දැනුවත්වීම අදාළ පුද්ගලයා සතුය. 

මෙහිදී ඉතාම හාස්‍යජනක කාරණය නම් මෙතෙක් කල් සිංහල භාෂාව, ජාතික චින්තනය, හෙළ උරුමය වෙනුවෙන් මරාගෙන මැරෙන්න කතා කල දේශප්‍රේමීන් තම ප්‍රතිවාදියෙකුට ඉංග්‍රීසි භාෂාව පැටලීම නිසා "හූ" කීමට පටන් ගැනීමයි. සමහර දේශප්‍රේමීන් විකටරූපී කැඩිච්ච ඉංග්‍රීසියෙන් අමාත්‍යවරයාට පරිභව කර තිබුණි. මේ සියළු දෙනා තුලින්ම මා දුටුවේ "මම මෙච්චර පොෂ් වෙලත්, සිංහල භාෂාව වෙනුවෙන් පෙනී සිටිනවා" වැනි ස්වරයකි. ඉංග්‍රීසි භාෂාවේ නිපුනයෙකු නොවීම අවාසියක් මිස අවඥාවක් නොවන බව ඔවුන් කිසිවෙකුටත් නොතේරෙන බව නම් මට සහතිකය. 





 

Thursday, 24 July 2025

අයියෝ ! මෙයාට ඉංග්‍රීසි බැහැ



ජේකොබ් සූමා (දකුණු අප්‍රිකාව), රොබට් මුගාබේ (සිම්බාබ්වේ), යෝවේරි මුසවේනි (උගන්ඩාව), උහුරු කෙන්යාට (කෙන්යාව).

මේ ලිස්ට් එක දන්නවාද? අප්‍රිකානු රටවල් පාලනය කල හෝ කරන ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කල හැකි පාලකයන් කිහිප දෙනෙකි. ජාත්‍යන්තරයේදී මොවුන්ට ඇත්තේ ඉතාම පහල පන්තියේ පිළිගැනීමකි. ඔවුන් තමා පාලනය කරන රටවලට ගෙන එන්නේ ලැජ්ජා සහගත අපකීර්තියකි.

ඒ ඇයි?

ඔවුන් පට්ට හොරුන් බවට ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම නිසයි. ඔවුන් තමා පාලනය කරන රටවලට ගෙන එන්නේ ලැජ්ජා සහගත අපකීර්තියකි. ඔවුන්ගේ පාලන සමයන් දූෂණයෙන්, භීෂණයෙන්, වංචාවෙන් අනූන විය. ඔවුන් තම රටවල් බංකොලොත්බාවයට හෝ එහි එළිපත්තටම ගෙන ගියේය. 

ජපානය, දකුණු කොරියාව, චීනය, රුසියාව, ප්‍රංශය, ඉතාලිය ආදී රටවල නායකයන් ඉංග්‍රීසි කතා කරන ස්වභාවය ඔබ දැක ඇත්ද?

චාල්ස් ඩිගෝල් පවා ඉංග්‍රීසි කතා කලේ යාන්තම් අකුරු අමුණා ගනිමිනි.

බුද්ධිය ඇත්තන්ට සිතන්න යමක්. 



            


Tuesday, 22 July 2025

යහපත් පුරවැසියා

අධ්‍යාපනය තුලින් සිදුවිය යුත්තේ යහපත් පුරවැසියෙකු බිහිකිරීමයි යන්න බොහෝ රටවල පිළිගත් සම්මතයයි. නමුත් ලංකාවේ සමහර දෙනෙකුට මේ සංකල්පය " මළවිකාරයක්" ස්වරුපයෙන් පෙනෙන බව පසුගිය දිනවල ඔවුන් ප්‍රකශ කල අදහස්වලින් ගම්‍ය විය. මේ නිසා මම රටවල් කිහිපයක පවතින "යහපත් පුරවැසියා"ගේ අර්ථදැක්වීම අධ්‍යනය කලෙමි. ලංකාවේ සමහර පිරිස් අධ්‍යාපනය තුලින් යහපත් පුරවැසියෙකු බිහිවීම මළවිකාරයක් ලෙස දකින්නේ ඇයිදැයි ඔබට පහත අර්ථදැක්වීම කියවන විට අවබෝධ වනු ඇත. 

"යහපත් පුරවැසියෙකු යනු තම ප්‍රජාවේ යහපැවැත්ම සඳහා ක්‍රියාකාරීව දායක වන සහ ගෞරවය, වගකීම සහ සහභාගීත්වයේ වටිනාකම් ආරක්ෂා කරන අයෙකි. ඔවුන් නීතිය අනුගමනය කරයි, සිවිල් ජීවිතයට සහභාගී වේ. අන් අයට කරුණාවෙන් හා අවබෝධයෙන් සලකයි. යහපත් පුරවැසියෙකු අන්‍යයන්ට වෙනස් මත දැරීමේ අයිතිය පිළිගන්නා අතර තමා අකමැතිවන මතවාදයන්ට ශිෂ්ඨ සම්පන්න ලෙස විරෝධය පායි. ඒ තුලින් සමාජයට ධනාත්මක දායකත්වයක් ලබා දීමට උත්සාහ කරයි".

Saturday, 19 July 2025

ජපානයෙන් ඉතිහාසය

"අපි ඉතිහාසය ඉගෙනගමු" ලිපිය පිළිබඳව කිහිප දෙනෙකු inbox කර තිබූ අදහස් කිය වූ විට මට සිත් වුයේ එම ලිපියෙන් මා ඉදිරිපත්කල කරුණ අමුවෙන්ම පැවසිය යුතු බවයි. බොහෝ දෙනෙකු එය කියවා ඇත්තේ පූර්ව-නිගමනයකින් පසුවයි.

මා මෙහිදී කිසිම තැනක ඉතිහාසය දරුවෙකුට උගැන්විය යුතු නැතැයි කියා නැත. ඒ වෙනුවට කියන්නේ දරුවාට ඉතිහාසය ඉගැන්වීම යහපත් පුරවැසියෙකු බිහිකිරීමේ ලා ඉවහල්වන පරිදි අර්ථාන්විතව සහ සහේතුකව කල යුතු බවයි. මේ අදහස් වර්තමානයේ ඉතිහාස විෂය පිළිබඳව ඇතිවී ඇති කතිකාවතෙන් එපිටට විහිදුනු පුළුල් වපසරියක ග්‍රහණය කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. 

මේ ලිපිය ලියන්නට පෙර මම ස්වීඩනයේ, ජපානයේ, සහ බ්‍රිතාන්‍යයේ පාසල්වල ඉතිහාසය උගන්වන අයුරු පිළිබඳව ඒ ඒ රටවල මා හඳුනන පාසල් ගුරුවරුන් ගෙන් අසා අධ්‍යනය කලෙමි. මේ රටවල් තුනේ ඓතිහාසික කාල රාමු එකිනෙකට වෙනස්ය.

මේ ජපන් ගුරුවරයා ඉදිරිපත් කල අදහසේ ආසන්න පරිවර්තනයයි. අනෙක් රටවල් දෙකෙන් ලැබුණු ප්‍රතිචාරද මීට බොහෝ සෙයින් සමාන බැවින් ඒවා ඉදිරිපත් නොකරමි. 

"Middle school education  අවසන් වන විට, ජපන් සිසුන්ට තම ජාතියේ පැවැත්ම සහ විකාශය පිළිබඳව තාර්කික සහ අර්ථාන්විත අවබෝධයක් ඇතිවෙයි. මෙහිදී මූලික කරුණු පුරාවිද්‍යාත්මක පසුබිමක ඉදිරිපත් කෙරෙන අතර ජන සාහිත්‍යයෙන් පැමිණෙන පුරාවෘත පිළිබඳව වෙනමම කියා දෙනු ලැබේ. දරුවා මේ දෙක අතර ඇති වෙනස හඳුනාගෙන විද්‍යාත්මක කරුණු ඒවායේ අවිනිශ්චිත පරාස (uncertainity margins) තුල ධාරණය කරගන්නා අතර පුරාවෘතවල ඇති සෞදර්යත්මක අගයයන්ද මැනවින් වින්දනය කරයි". 

"ජපානයේ අනන්‍ය සංස්කෘතික උරුමයන් පිළිබඳව ඉගෙනීම, වැදගත් ඓතිහාසික චරිත අගය කිරීම සහ තුන්වන පාර්ශව මානසිකත්වයකින් එම චරිත විග්‍රහ කිරීමට දරුවා හුරුකිරීම අපේ අධ්‍යාපන ක්‍රමයේ තවත් මූලික සංකල්පයකි. වර්තමාන ජන සමාජයට මේ ආශ්‍රයෙන් ගත හැකි යහපත් ඵල නෙලාගැනීම මෙන්ම අයහපත් ඵල ප්‍රතික්ෂේප කිරීමද මෙහි අරමුණයි". 

"අතීතයේ සිටම ඇතිවූ කලාපීය සහ ගෝලීය අන්තර්ක්‍රියා සහ සාමයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම පිළිබඳ දරුවාට  මූලික අවබෝධයක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මේ සඳහා විෂය මාලාව ජාතික අනන්‍යතාවය, කලාපීය/ගෝලීය සහයෝගිතාව සහ පුළුල් ඓතිහාසික දැනුවත්භාවය සමඟ සමතුලිත කරයි. ජාතියක් ලෙස අප ගත් තීරණවල හොඳ-නරක පිළිබඳව පන්තියේදී සිසුන් අතර විවෘත සංවාද-විසංවාද ඇතිකිරීම සඳහා අපගේ ගුරුවරුන්ව උනන්දු කරනු ලැබේ. මෙහිදී දරුවන් ජාතියේ නායකත්වය ගත් සමහර තීරණ වෙනස් වුවා නම් රට යාමට තිබුණු අත පිළිබඳවද විනෝදාත්මක අයුරින් විග්‍රහ කිරීමට පෙළඹෙයි". 

"මෙම අධ්‍යාපනයේ වැදගත්ම අපේක්ෂාව නම් ඉතිහාසය තුලින් අපට ලැබෙන පණිවිඩ තාර්කිකව ග්‍රහණය කරගෙන එතුලින් වර්තමානය සරු කරගැනීමත් අනාගතයේ සිදුවිය හැකි වැරදි අවම කරගනිමත්ය. ඒ තුලින් අපි අභ්‍යන්තර-කලාපීය-ගෝලීය තලයන්හිදී අන්‍යන්ට ගරුකරන, අන් මත ඉවසන, මානසිකව පිරිපුන් පුරවැසියෙකු තැනීමට උත්සුක වෙමු. කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ භූමිකාව වැනි ඇතැම් සංවේදී මාතෘකා උගන්වන ආකාරය පිළිබඳ විවාද දිගටම පවතී".

දැන් ඔබ නැවතත් මේ ගැන හිතන්න.