Saturday 1 August 2020

මැතිවරණය ගැන වදනක්



පුර්ව මැතිවරණ සමය යනු සාමාන්‍යයෙන් දේශපාලකයා සිල් ගන්නා පුණ්‍ය කාලයයි. උපන්ගෙයි මෝඩ අමනයන් මහා ප්‍රාඥයන් සේ පඬි බස් දොඩන,  අමු බේබද්දන් අමද්‍යප සංගම් සභාපතිවරුන් සේ හැසිරෙන, මිනීමරු අපරාධකාරයන් පන්සල්වල ඇබිත්තයන් වන, හොර තක්කඩි වංචාකාරයන් මහා දානපතියන් වන මේ වකවානුව එකම නාඩගම් මඩුවකි.

එහෙත් මෙවර තත්වය ඊට වඩා සෑහෙන වෙනස්ය. බොහෝ දේශපාලුවන් පසුගිය සති කිහිපයක සිට හැසිරෙන්නේ පූර්ව මැතිවරණ සමයකට වඩා ජයග්‍රාහී පශ්චාත් මැතිවරණ මානසිකත්වයකිනි. ඔවුන් මැතිවරණ නීති රීති තියා රටේ සිවිල් හා අපරාධ නීති පිළිබඳව පවා තුට්ටුවකට මායිම් නොකරන සේයකි. මහජන මුදල්, රටේ උරුමයන් සහ පරිසරය මහජනතාව ඉදිරිපිටම විනාශ කර දමමින් මේ දේශපාළුවෝ ඒ පිළිබඳව නොයෙකුත් අමන වදන් පවසති. විරුද්ධ පාක්‍ෂිකයන්ට මඩ ගැසීමේදී ඔවුන් වැටිය හැකි පහත්ම තත්වයට වැටී ඇත. වේදිකාවේ පෙනෙන්නේ රටේ පාලනය සඳහා නියෝජිතයන් තේරීමේ ක්‍රමවේදයකට වඩා රටේ ලොකුම හොරා සහ ලොකුම බොරුකාරයා තේරීමේ තරඟයක් පැවැත්වෙන ආකාරයකි. වෙනස් නොවී ඇති එකම දර්ශනය නම් මල්වට්ටි බෞද්ධයාගේ සිට කුරුස කතෝලිකයා දක්වා සියළුම දේශපාලුවන්ගේ අත බැඳී කඹ වැනි පිරිත් නූල් ගොන්නයි. 

බොහෝ දෙනෙකුට නොපෙනෙන කටුක යතාර්ථය නම් ශ්‍රී ලංකාව මේ වන විට ඇත්තේ ආර්ථික සහ සාමාජීය ගිනි කන්දක් උඩ බවයි. මතුපිටින් පෙනෙන දුම් රොටුවලට පහලින් ලෝදිය විලක් කැකෑරෙමින් පවතී. කවුරුන් බලයට පැමිණියත් කෙටි කලකින් එය පුපුරා යාමට නියමිතය. දීර්ඝ කාලයක් තුල රට පාලනය කල සියළුම ලාංකික දේශපාලකයන්ගේ අමනකම් හේතුවෙන් මේ වන විට රටේ නය බර නාසයෙන් ඉහලට පැමිණි ජලකඳක් බවට පත්වී ඇත. ලංකාව ගෙවිය යුතු නය සහ පොලී වාරිකය සලකා බලන විට රටේ ආදායම යනු විහිළුවකි.  හෙට දින සිට රටේ ආර්ථික දුෂණය සහ නාස්තිය 100% ක් නවතා දැමුවත් රටවැසියා ඉතා දුෂ්කර දශකයක් තරණය නොකර ලංකාව ගොඩ නැගීම සිහිනයක් බව ආර්ථිකය හා ගණිතය පිළිබඳව සරල දැනුමක් ඇති අයෙකුට පහසුවෙන් ගණනය කර පෙන්විය හැක. නමුත් බොහෝ දේශපාළුවන් මේ යතාර්ථය යන්තමින් හෝ අනාවරණය කරන ආකාරයක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ආණ්ඩු පක්ෂය සුරංගනා ලෝක මවන අතර විපක්ෂයේ සමහර දේශපාලුවෝ ඇලඩින්ගේ පුදුම පහනේ භූතයාට කවට ඇඳුම් අන්දවමින් සිටිති. 

ලංකාවේ මෑත කාලයේදී සිදුවූ විශාලම විපත්තිය නම් දේශපාලුවා තම නොහැකියාවේ විලි වසා ගැනීමට ජාතිවාදී කඩතුරාව ඉවක් බවක් නැතිව භාවිතා කෙරිමයි. එහි ප්‍රතිඵල වී ඇත්තේ ජාති-ආගම් බේදයකින් තොරව මෙම වෛරී විඥානය ජනතාව තුල ජාන ගතවීමයි. තමන්ගේ නොහැකියාවට හේතුව අනෙකා බවට ස්වයං-රාමුවක් සකසා ගැනීම අනාදිමත් කාලයක සිට පවතින මිනිස් ගුණයකි. මේ මනෝ විද්‍යාව තේරුම් ගත් පාලකයන් සහ පූජකයන් එකිනෙකා අත්වැල් පටලවාගෙන ජනතාව තම අශ්වයන්, බූරුවන් හෝ කොටළුවන් කරගැනීමට ඇත්තේ දීර්ඝ අතීතයකි. ලොව පුරා ඇතිවූ යුද්ධ සහ ආක්‍රමණ සහ ඉන් මියගිය මිලියන හෝ බිලියන ගණනක් සාමාන්‍ය වැසියන් මෙම ව්‍යායාමයේ ප්‍රතිඵලයන්ය. 

යම් යම් කාල වකවානු වලදී මෙම ජාතිවාදී ජන විඥානයේ විනාශකාරී ස්වභාවය තේරුම් ගත් සමහර රටවල පාලක ප්‍රජාව අඩුම තරමේ තම පාලන ප්‍රදේශය තුල සිටින ජන සමුහ අතරවත් මෙම මනෝභාවය සමනය කිරීමට උත්සුක විය. එවිට එම රටවල් කෙටි කලකදී දියුණුවට පත්විය. පසුගිය සියවස තුල යුරෝපය සහ පසුගිය අඩ සියවස තුල සිංගප්පුරුව මීට උදාහරණ දෙකකි.  

මේ වන විට මා දකින පරිදි රටේ ඇති දුක්ඛිතම ව්‍යසනයක් නම් සමාජයේ යම් තරමක හෝ උගතුන් ලෙස නාමකරණයට ලක්වූ විශාල පිරිසක් දේශපාලුවා වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල පලකරන අදහස්ය. ප්‍රතිවාදී පිල් වලට ඉතා පහත් ලෙස මඩගැසීම සහ තම පිලේ කටයුතු මන්දබුද්ධික ආකාරයෙන් සාධාරණීකරණය කිරීම තුලින් ඔවුන් තමන්ගේ ප්‍රතිරුපයත් රටේ අනාගතයත් යන දෙකම විනාශ කර දමයි. පුර්ව-ඩිජිටල් යුගයේ සරසවි දේශපාලනය තුල කැන්ටිමේ මේසයක් මතට නැග සිදුකල වාදයකදී තරම්වත් ප්‍රතිපත්තිමය අරඟලයක් දැන් සමාජ මාධ්‍යයක දකින්නට නැත. සමාජ මාධ්‍ය පරිශීලනය කරන බහුතරයක් නොමේරු අවියත් පුද්ගලයන්, වර්තමාන ග්‍රාමය භාෂාවෙන් පවසතොත්, කඩේ යාම, කිලිටි රෙදි සේදීම, අතින් කා හරක් බැලීම හෝ ඇඟේ හලා ගැනීම මම ප්‍රශ්න නොකරමි. එය පුර්ව-ඩිජිටල් යුගයේද එකලට අදාළ සංනිවේදන මාධ්‍ය ඔස්සේ සිදුවිය. එහෙත් ඉහත සියළුම බාල වර්ගයේ ක්‍රියාවන් වියත් යයි සම්මත පිරිස අතින්ද සිදුවීම අතිශයින් ඛේදජනකය.  

ලංකාවේ යම් අවංක බුද්ධිමත් දේශපාලකයෙක් මෙම මැතිවරණය සඳහා තරඟ වැදී සිටියි නම්, ඔහුට හෝ ඇයට මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව පැවතිය හැකි එකම සංකල්පය එය ජනතාව වෙනුවෙන් තමා විසින් පැළඳිය යුතු වේදනාකාරී කටු ඔටුන්නක් බවයි. එසේ සිතන බවට තම කතාවෙන්, අභිනයෙන් සහ ක්‍රියාවෙන් හඟවන අපේක්ෂකයෙකුට ඔබේ චන්දය ලබා දීම මේ අවස්ථාවේදී ඔබට කළ හැකි එකම සත් ක්‍රියාවයි. 



6 comments:

  1. //ලංකාවේ මෑත කාලයේදී සිදුවූ විශාලම විපත්තිය නම් දේශපාලුවා තම නොහැකියාවේ විලි වසා ගැනීමට ජාතිවාදී කඩතුරාව ඉවක් බවක් නැතිව භාවිතා කෙරිමයි//

    මේ කතාව වැරදිය මෙරට දේශපාලනය තු හැමදාමත් සිංහල නොවන වර්ගවාදයක් තිබුනි.
    මෑතක පටන් සිදුව ඇති එකම වෙනස සිංහලයන්ද වර්ගවාදී දේශපාලනයකට යොමුවීමයි.
    වර්ගවාදී දේශපාලනය ප්‍රතික්ෂේපකිරීමෙන් සිංහලයාට වන විශේෂ වාසියක් නැති තත්වයක් තුල. සිංහලයා වර්ගවාදී දේශපාලනයට යොමුවීම තර්කාණුකූලය.

    සිංගප්පූරුව ගැන මතයටද එකඟවිය නොහැක. සිංගප්පූරුවේදී සිදුවී ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ තලිබාන් ස්වරූපය ක්‍රියාත්මක කිරීමයි.
    සිංගප්පූරුවේ වසන ප්‍රධාන ජනවර්ග 3ටම සිංගප්පූරුවෙන් පිටත පැවැත්මක් තිබේ. එමනිසා සිංගප්පූරුව ඇංග්ලිකන්වීම ඔවුන්ට ගැටළුවක් නොවේ. නමුත් ලංකාවේ සිංහලයන්ට ලංකාවෙන් පිටත පරම්පරා 2-3කට වඩා සිංහලකම රඳවාගත නොහැක. එමනිසා ලංකාව සිංගප්පූරුවක් නොවිය යුතුය. නමුත් සිංගප්පූරුවෙන් ගතහැකි එක ආදර්ශයක් තිබේ එනම්. එරට බහු පුරවැසිකම ක්‍රියාත්මක නොකිරීමයි. ලංකාවත් ද්විත්ව පුරවැසිකම වහාම නතරකල යුතුය.

    ReplyDelete
    Replies
    1. මා සාකච්චා කරන්නේ සිංහලයා, මරක්කලයා හෝ දෙමළා ජාතිවාදී වීම නොව දේශපාලුවා විසින් ඔවුන් තුලට ජාතිවාදය බලහත්කාරයෙන් කා වැද්දීම ගැනයි. ඕනෑම ජන සමුහයක් තුල තම අනන්‍යතාවය පිළිබඳව හැඟීමක් ඇත. එය මනුෂ්‍ය ස්වභාවයයි. එහෙත් මෑත ඉතිහාසය තුල සිදුවුයේ එම ස්වභාවික සංසිද්ධිය දරුණු ලෙස ඉක්මවා යාමයි.

      සිංගප්පුරුව පිළිබඳව ඔබේ අදහස ඔබගේ දැනුම් පද්ධතිය හා තර්කන ශක්තියටත් මගේ අදහස මගේ දැනුම් පද්ධතිය හා තර්කන ශක්තියටත් අනුකූලය. මේ නිසා දීර්ඝ අදහස් හුවමාරුවකින් තොරව ඒ පිළිබඳව මට අදහස් පලකල නොහැක.

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි

      Delete
    2. @anthoniyo bahijata
      //මේ කතාව වැරදිය මෙරට දේශපාලනය තු හැමදාමත් සිංහල නොවන වර්ගවාදයක් තිබුනි.//
      සිංහල නොවන වර්ගවදයකට තනිව පැවැත්මක් නොමැත.එක් වර්ගවාදයක් හැමවිටම අනෙක් වර්ගවාදය පෝෂණය කරයි.


      ඒ කොහොම උනත්, මගේ මූලික ගැටළුව ලංකාව මේ වැටි සිටින තත්වයෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක.

      //එසේ සිතන බවට තම කතාවෙන්, අභිනයෙන් සහ ක්‍රියාවෙන් හඟවන අපේක්ෂකයෙකුට ඔබේ චන්දය ලබා දීම මේ අවස්ථාවේදී ඔබට කළ හැකි එකම සත් ක්‍රියාවයි//
      මම හිතන්නේ අති බහුතරයක් අපේක්ෂකයින් පළමුව පාර්ලිමේන්තුවට යන්නේ අවංකවම රට හදනවා, රටට යමක් කරනවා කියන අවංක බලාපොරොත්තුවත් එක්කයි.
      (සමහරවිට නඩු, චෝදනා වලින් බේරෙන එක, සමාජ තත්වයක් හද ගන්න එක, contract/බාර් ලයිසන් එකක් ගන්න වගේ දේවලුත් ඒ බලාපොරොත්තු ගොඩේම ඇති)

      ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම එන අයට ඒක කරගන්න බැරි ඇයි?
      මට හිතෙන්නේ ප්‍රධානම හේතුවක් තමා ඇති විශාල රාජ්‍ය යාන්ත්‍රණයක්, සමාජවාදයෙන් උකහා ගත් මධ්‍යගත පාලන ක්‍රමයක් තිබීම. යහපත් චේතනාවෙන් එන අයත් අන්ත අකාර්යක්ෂම, දුෂිත ක්‍රමයේ ගොදුරක් වෙලා පස්සේ කාලෙක සුපුරුදු දේසපාලුවන්ගේ ගොඩට වැටෙන එක නොවැලක්විය හැකි දෙයක්.
      එත් අවාසනාව තමා ජනතාව ඉල්ලනෙත් බලගතු මධ්‍යම රාජ්‍ය පාලන ක්‍රමයක්මයි.
      ඒ ඩිමාන්ඩ් එකට ගැලපෙන්න තමා නියෝජිතයෝ එන්නේ. හරියට නිකන් නෙගටිව් ෆීඩ් බැක් ලූප් එකක් වගේ.

      Delete
  2. 1815දී සිංහල දේශය බිරිතානින්ට යටත්වීමෙන්පසු සිංහලයාට සිදුවූයේ මහා විපතකි.
    අප ශ්‍රේෂ්ඨ සිංහල ජාතිය. ජනවර්ගයක් (රේස්) තත්වයට පහත හෙලන ලදී.
    ඒ වෙනුවට ශ්‍රීලාංකික යැයි කියන අවජාතික ජාතියක් අටවන ලදී.

    (ශ්‍රී ලාංකිකයා යනු ආතර් සී ක්ලාක්ගේ කතාවල ඉන්නා ඉංග්‍රීසි කතාකරන දෙමලාය.)

    මගේ චන්දය සිංහලජාතියට අහිමිවූ ජාතිය නැවත ගොඩනැගීමට ආධාරයක්ම වෙත්වා.

    මෙවන් විපතක් සිදුව තිබියදී. චන්දය දීමේදී ආර්ථික දියුනුව වැනි අරුමෝසම් කාරනා ගැන වදවෙන සිංහලයා මහා මෝඩයෙකි.

    ReplyDelete
  3. ඡන්දය දීම පිළිබඳව මගේ අදහස් මෙසේය

    1. අපව නිවැරදිව ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කළ හැක්කේ අප හා සමාන අයට ය. එනිසා නමින් ඇමතිය හැකි, එසේ නොමැති නම් සහෝදරයා සහෝදරිය කියා ඇමතිය හැකි අයකුට පමණක් ඡන්දය/මනාපය දෙන්න. ඔබෙන් ඡන්දය ඉල්ලන පුද්ගලයාට ඡන්දයට පෙර සහ නැතිනම් පසුව ඔබ ඇමතිය යුත්තේ මහත්තයා නෝනා හෝ මැතිතුමා තුමිය කියානම් ඔවුන්ට ඔබව නියෝජනය කළ නොහැක. ඔවුන් පාර්ලිමේන්තුවේ දී නියෝජනය කරනු ඇත්තේ ඔවුන් හා සමාන පිරිසකි. එනිසා එවැන්නන්ට ඔබේ ඡන්දය/මනාපය දෙන්න එපා.

    2. යම්කිසි ඡන්ද අපේක්ෂකයෙකු රට, ජාතිය, ආගම, මව්බිම, දේශප්‍රේමය, මාතෘ භූමිය, අම්මගෙ රෙද්ද වැනි වචන භාවිතා කරයි නම් එවන්නන්ට ඔබේ ඡන්දය මනාපය/දෙන්න එපා. ඉතිහාසය පුරාම අපේ අත්දැකීම නම් එවැනි පුද්ගලයින් අතිශය ජාතිවාදී අවස්ථාවාදීන් බවයි.

    3. අපේක්ෂක ලැයිස්තුවල සිටින කාන්තාවකට ඔබ ඡන්දය මනාපය දීමට බලාපොරොත්තු වන්නේ නම්, කාන්තා අයිතිවාසිකම් ගැන හඬ නගන අයකුට පමණක් ඡන්දය දෙන්න. එසේ නොමැතිව, "අනේ අපි කාන්තාවන් ලෙස අපිට හිමි තැන දන්නවා, අපිට උඩ මළුවට, පත්තිරිප්පුවට යන්න ඕනෑ නැහැ" වැනි පසුගාමී ප්‍රකාශ කර ඇති අයට ඔබේ මනාපය ඡන්දය දෙන්න එපා.

    4. සමාජයේ කොටසක් වන සම-රිසි ලිංගිකත්වයක් ඇති (සමලිංගික/හෝමෝසෙක්ෂුවල්) පිරිසට අපහාස කරන හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළි නොගන්නා හෝ කිසිදු අපේක්ෂකයෙකුට ඔබේ ඡන්දය මනාපය දෙන්න එපා.

    ReplyDelete