Monday 21 May 2018

ඇසෙන තෙක් කෑගසමි


"වැස්ස වැඩිවෙන කොට අපි තියෙන සබ්බ සකලමනාවම උස්සගෙන පාලම උඩට එනවා. වතුර බහිනකොට අපි අයෙත් ගෙවල් වලට යනවා. වැහිදාට ඉතින් අපි කොයි කාරිය කරන්නෙත් හිටගෙන"

කැළණි පාලම වේදිකා නළුවෙ ඇසෙන මේ ප්‍රසිද්ධ කියමන  මම නිතර මගේ ලිපිවල ඇතුලත් කරමි. ජාත්‍යන්තර සමුළු කිහිපයකදීම මම ප්‍රධාන දේශනය ඇරඹුයේ මේ බස් ඛණ්ඩයේ ඉංග්‍රීසි පරිවර්තනයකිනි. 

කොපමණ කිව්වත්, කොපමණ ලිව්වත් අප ජාතියක් ලෙස කටයුතු කරන්නේ මේ ආකාරයටමය. අතීතයේ වසර 20 කට වරක් අප අත්දුටු ගංවතුර හා නායයාම් පසුගිය දශකයක පමණ සිට වසරකට දෙවරක් දක්වා වර්ධනය වී ඇත. අලාභය ගණනය කල නොහැකි මානුෂීය ව්‍යසනයට අමතරව රටට දැරිය නොහැකි ආර්ථික හානියක්ද නිරන්තරයෙන් සිදුවෙමින් පවතී. 

මැයි-ජුනි සහ දෙසැම්බර්-ජනවාරි මාසවල අපි මේ ගැන බොහෝ දේ කතාකරමු. ඉන්පසු අපි සුපුරුදු පරිදි දේශපාලන, ආගමික, සංස්කෘතික සහ ජාතික මතවාද පිළිබඳව අතොරක් නැතිව විවාද කරමින් කල් ගත කරමු. මේ ආකාරයට තව වැඩි කලක් අපට යා නොහැක.

පසුගිය වසර දෙක තුනේදී මාගේ ප්‍රධාන විෂය පථය පසෙකලා ලංකාවේ අනවරතයෙන් සිදුවන ස්වභාවික ආන්තික සිද්ධීන් සහ ඒවායේ ව්‍යසනකාරී ප්‍රතිඵල පිළිබඳව බොහෝ වියතුන් සමග මම සාකච්චා කලෙමි. ලංකාවේ ජාත්‍යන්තර සමුළු තුනක් පැවැත්වීමට උර දුන්නෙමි. එහෙත් ඒ කිසිවක් පලදායී නොවූ බව මම අවංකවම පිලිගනිමි.

කැළණි පාලමෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් අපට අවශ්‍යව ඇත. නාගරික ගංවතුර මැඩලීමට ස්මාර්ට් උමං පද්ධතියක්  (such as the smart tunnel in Kuala Lumpur) හෝ කෘත්‍රිම ජල අවශෝෂක ප්‍රදේශ, ගංවතුර තලයන්හි වෙසෙන ජනතාව සඳහා උභයචාරි (amphibious) නිවාස, නාය යෑම ඉඩකඩ වැඩි බැවුම් සඳහා විශේෂිත වූ නිවාස සංඛල්ප මින් කිහිපයකි. එමෙන්ම ලංකාවේ තෝරාගත් ගංවතුර ගොදුරු ප්‍රදේශ සඳහා ඉදිරි වසර 10-20 වැනි කාලය තුල ජල මට්ටම ඉහල යාමේ ප්‍රවනතාවය පිළිබඳව අනාවැකි පල කිරීම (නවීනතම ක්‍රමවේද යොදාගෙන) ඉක්මනින් කළ යුතුව ඇත.

ලංකාවට ස්වභාවික ආන්තික සිදුවීම් සහ අදාළ විපත් පිළිබඳව කටයුතු කල හැකි විශේෂඥයන්ගේ අඩුවක් නොමැත. නමුත් ඔවුහු බොහෝ දෙනෙක් තම පහසුතා කළාපයෙන් (comfort zone) ඉවතට විත් රටට ඉතා ඉක්මනින් අවශ්‍ය දෙය කිරීමට මැලි වෙති. මෙයට සාධාරණ හේතු සාධක තිබිය හැක.

මේ අවස්ථාවෙහි රටට අවශ්‍යයෙන්ම තිබිය යුතු දේශපාලන නායකත්වය නොමැති වීම රටේ අවාසනාවකි. යුද්ධය මෙන්ම ස්වභාවික ආන්තික සිදුවීම් නිසා ඇතිවන මානුෂීය ව්‍යසනයන්ද ව්‍යාපාරයක් බවට පත්වෙමින් පවතින බව මගේ හැඟීමයි. යමක් නිතර නිතර සිදුවන විට හෝ නිරන්තරයෙන් සිදුවන විට ඒ හා සම්බන්ධව දේශපාලනය සංගත වූ දුෂණ මාලාවක් ඇතිවීම බොහෝ දුප්පත් රටවල විශේෂත්වයකි. ව්‍යසනය හා සම්බන්ධ ආපදා සහන සේවාවන් යනු දේශපාලකයන්ට,  රජයේ නිලධාරීන්ට, ඔවුන්ගේ සහචරයන්ට මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වලටද හොඳ ඉල්ලමකි.

මා දකින ආකාරයට සිදුවිය යුත්තේ විපත් වලක්වා ගැනීම ව්‍යාපාරයක් වීමයි. ආන්තික සිදුවීම් වලට ඔරොත්තු දෙන ගොඩනැගිලි, නගර සංවර්ධන ආකෘති, GIS සහ LIDAR තාක්‍ෂණය (මෙන්ම වෙනත් ක්‍රමවේදයන්ද) මත පදනම් වූ කලාප සිතියම් ගත කිරීම සහ අනාවැකි ආකෘති (prediction models) ගොඩනැගීම, වෙනත් නවතම ක්‍රමවේද සහ විසඳුම් (out-of-the-box solutions) මෙවැනි ව්‍යාපාර අවස්ථා කිහිපයකි.

ස්වභාවික ආන්තික සිදුවීම් වලින් ඇතිවන මානුෂීය විපත් අවම කරගැනීම සඳහා සියළු කටයුතු වලට පෙර ප්‍රමුඛතාවය දී කාර්ය සාධන බලකායක් (task force) ගොඩනැගිය යුතුව ඇත. එය රජයේ පරම යුතුකමයි. 

ලංකාවේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී මාවෙත පැමිණි අමුත්තෙක් (ඔහු විද්‍යාඥයෙක් යැයි සිතමි)  මට  පැවසුවේ "ඔබ මැලේසියාවට වෙලා ඔබේ අධි වෝල්ටීයතා මහාචාර්යකම කරගෙන යන්න, ලංකාවේ ස්වභාවික විපත් ගැන අපි බලාගන්නම් කියාය". මම ඔහුට සිනහවකින් සංග්‍රහ කලෙමි. තවත් වරක් මගේ බ්ලොග් සටහනක් සම්බන්ධයෙන් ලංකාවේ උගත් මහත්මයෙක් කියා තිබුනේ "ඇමරිකාවටත් මේවා වලක්වන්න බැරි නම් අපිට මේවා කරන්න බැරි බව ඔබට වැටහෙන්නේ නැද්ද?" කියාය. එය ඇමරිකාව හරහා ඉතා දරුණු හරිකේන කිහිපයක් එකක් පසු එකක් හමා ගිය සමයයි. මම ඔහුට ඉතා යටහත්ව මෙලෙස ලිව්වෙමි. 

"එම හරිකේන කිහිපය ලංකාව හරහා හැමුවා නම් බොහෝ විට මේ පණිවිඩය එවීමට ඔබට සිදු වන්නේ දිව්‍ය ලෝකයේ සිට නොවේද?"