Saturday 28 January 2023

දුෂණය ජාලගත වූ විට



මැලේසියාවේ දස වසරක් ගෙවූ සුව පහසු සුන්දර දිවි පෙවෙත අතහැර අප ජොහැන්නස්බර්ග් නුවරට පැමිණියේ දකුණු අප්‍රිකානු රජයෙන් ලැබුණු ආරාධනයක් මතය. ඔවුන් මට ධූර ත්‍රිත්වයක් බාර දුන්හ. ඉන් ප්‍රධානතම කාර්යභාරය වුයේ EPPEI-HAVC නැමැති ESKOM කොම්පැනිය මගින් Wits සරසවියේ පවත්වාගෙන යනු ලබන පර්යේෂණ ආයතනයේ ප්‍රධාන මහාචාර්යවරයා (chair professor) ලෙස කටයුතු කිරීමයි. 

ESKOM යනු දකුණු අප්‍රිකාවේ විදුලිබලය නිපදවීම සහ බෙදා හැරීමට ඒකාධිකාරය පවතින රජයේ ආයතනයයි (ලංකාවේ CEB එක වැනි). වසර 2005 පමණ වන විට ලෝකයේ ඇති 5 වෙනි ධනවත්ම විදුලිබල ආයතනය වුයේ ESKOM එකයි. ඉන් පසු ඇති වූ අධි-දුෂිත පාලනයත් සමගම එය වසර කිහිපයකදී බරපතල ලෙස කඩා වැටුනේය. ලෝකයේ විශාලතම ගල් අඟුරු නිධි ඇති රටක, පරමාණුක බලශක්තිය පවා ජනිත කරන ESKOM ආයතනයට තමන්ගේ ඇති නාමික විද්‍යුත් ජනන හැකියාව මත සැබවින්ම මුළු දක්ෂිණ අප්‍රිකාවටම බලශක්තිය ලබා දිය හැක. එහෙත් අද වන විට එයට තම රටේ විදුලි බල අවශ්‍යතාවය පැය 24 පුරා ලබා දීමටද නොහැකි වී ඇත. මේ ගැන වෙනමම ලිපියකින් කතා කල යුතුය.

------------------------------

දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව අනුව බලශක්ති ක්‍ෂේත්‍රයේ යම් ධූරයකට විදේශිකයෙකු පත් කිරීමට නම් ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත යුතුය. මේ සදහා සේවයට බඳවා ගන්නා තැනැත්තා සමග සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. මේ පෙර-කොවිඩ් සමයයි. Online platform පිළිබඳව ලෝකයේ එතරම් විශ්වාසයක් තිබුණේ නැත. මේ නිසා ඔවුන් දින තුනකට මා මැලේසියාවේ සිට දකුණු අප්‍රිකාවට කැඳවිය. 

සම්මුඛ පරීක්ෂණය ඉතා සුහදව පැවතුනි. මට විනාඩි 20ක presentation එකක් කල යුතු විය. ඉන් පසු ප්‍රශ්න ඇසීම ඇරඹුණු අතර මුලින්ම කතා කලේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් සහභාගී වූ එහි අතිරේක ලේකම්වරයාය. 

"ඔබ මේ වන විටත් දන්නවා ඇති ESKOM යනු ඉතාමත්ම දුෂිත නිලධාරීන් සිටින ආයතනයක් බව (එතන ESKOM නිලධාරින් 20 ක් පමණ සිටියෝය). Academic කෙනෙක් විදියට ඔබට මෙවැනි දුෂිත පරිසරයක වැඩ කල හැකිද?" 

මෙය මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පැනයකි. කුමක් කියන්නදැයි සිතාගත නොහැකිව මම තත්පර කිහිපයක් සිටියෙමි. එවිට කොහෙන් හෝ මට යම් කල්පනාවක් පහල විය. සිනහවක් මුවට නගා ගත් මම 

"ඔබ මේ වන විටත් දන්නවා ඇති මම උපතින් ලාංකිකයෙක් බව". ඔහුගේ පැනය ඇසූ රිද්මයටම මම පිළිතුරු දුනිමි. 

සියළු දෙනාම සිනාසුනු අතර "ඔබ මගේ පැනයට ඉතා පැහැදිලි පිළිතුරක් දුන්නා" යයි අතිරේක ලේකම්වරයා පැවසීය.

---------------------------------------

ඉහත අතීත කතාව මගේ මතකයට නැගුණේ මීට දින දෙකකට පෙර මා සහභාගී වූ සම්මන්ත්‍රණයකදී හමුවූ තැනැත්තෙකු නිසාය. අඩි හයක් පමණ උස සුවිසල් කාල වර්ණ දේහයකින් සහ දිලිසෙන තට්ට හිසකින් යුත් පුද්ගලයෙක් සිනහමුසු මුහුණින් මා කරා පැමිණ 

"සුබ උදෑසනක් මහාචාර්ය චන්දිම. ඔබට මාව මතකද?" යයි ඇසීය. 

දැක පුරුදු වුවත් මට ඔහු පිළිබඳව පැහැදිලි මතකයක් නොවීය. 

"මම ඔබව මුලින්ම interview කල panel එකට ආරක්ෂක අමාත්‍යංශය නියෝජනය කරමින් සහභාගී වූ කෙනා, ලෝරන්ස් .... (ඔහුගේ වාසගම නම් මට අල්ලගන්නම බැරිවිය). ඔබෙන් corruption ගැන ප්‍රශ්නයක් ඇසුවේ". මට එකවරම ඉහත කතාව මතකයට නැගුණි.

සම්මන්ත්‍රණයේ ඊළඟ සැසිය පසෙකින් තැබූ අප දෙදෙනා කෝපි කෝප්පයක්ද සමග අසල තිබු සෝපාවකට බර දෙමින් දීර්ඝ කතාබහකට වැටුනේය. මේ එහිදී කතා කල වැදගත්ම කරුණකි.

------------------------------

"ඔබ සිතනවාද සංවර්ධිත රටවල දුෂණය නැහැ කියා" මම ඔහුගෙන් ඇසුවේ ඔහු නොනවත්වාම කතා කල දකුණු අප්‍රිකාවේ දුෂිත වාතාවරණයට යම් සංසන්දනයක් ඉදිරිපත් කිරීමටයි.

"චන්දිම, දියුණු රටවල සහ නොදියුණු රටවල දුෂණය වෙනස්. ඒ රටවල පවතින්නේ හුදෙකලා දුෂණයක් (isolated corruption). බොහෝ විට දේශපාලකයෙක්, ව්‍යාපාරිකයෙක් හෝ සමහර විට කිහිප දෙනෙක් එකතු වී දුෂණ, වංචා, සොරකම් කරනවා. ඒවා සමහර විට විශාල සම්පත් ප්‍රමාණයක් විය හැකියි". 

ඔහු මට කලකට පෙර ස්වීඩනයේ දේශපාලකයෙකු අතින් සිදු වූ වැරද්දක් සහ ජර්මනියේ දේශපාලකයෙක් ව්‍යාපාරිකයෙක් සමග එකතුව කල වංචාවක් උදාහරණ ලෙස ඉදිරිපත් කළේය. .

"මේ හුදෙකලා දුෂණ සමහර විට හසුවන්නේ නැහැ. නමුත් හසුවූ විට එය පිළිබඳව පරීක්ෂණ පවත්වා වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට පැමිණවිය හැකියි. එය අනන්තවත් සිදුවී තිබෙනවා. දුෂණය හසු නොවූ විට එයින් සමාජයට විශාල පාඩුවක් විය හැකියි. එහෙත් එය chain reaction එකක් වෙමින් සමාජයේ ඔඩුදුවා යන්නේ නැහැ. හරියට හෘදයාබාදයක් හැදෙනවා වගෙයි". ලෝරන්ස් දිගටම කතා කරයි. 

"නමුත් අපේ රටවල ඇත්තේ ජාලගත දුෂණයක් (networked corruption). සමාජයේ සෑම ස්ථරයක්ම මේ දුෂණයට හවුල්. මම උදාහරණයක් කියන්නම්, අපේ බලශක්ති ආයතනය ගත්තොත් එකේ දුෂණය පටන් ගන්නේ ගේට්ටුවේ සිටින security guard ගෙන්. ඔහුට මුදලක් දුන්නොත් ඔබට ඕනෑම දෙයක් වාහනයේ දමා ගෙන ගේට්ටුවෙන් පිට කරන්න පුළුවන්. එතැන් සිට ඔතන CEO දක්වා සියලු දෙනාම දුෂණයේ යෙදෙනවා. තනතුර ඉහල යන විට දුෂණයේ පරිමාවත් වැඩි වෙනවා".

"මේ දුෂණය නිසාම මෙම ආයතනය සමග ගනුදෙනු කරන ව්‍යාපාරික ප්‍රජාවත් දුෂිත වෙනවා. උදාහරණයක් ලෙස ඉතා බාල වර්ගයේ ගල් අඟුරු ඔවුන් A ශ්‍රේණියේ ගල් අඟුරු ලෙස විකුනනවා. එයින් මෙම ව්‍යාපාරිකයාට ලැබෙන ලාබය වසරකට රෑන්ඩ් (දකුණු අප්‍රිකානු මුදල්: 1USD = 15R) බිලියන කිහිපයක් ඉක්මවනවා. මෙයින් සැහෙන ප්‍රමාණයක් CEO ගේ ඉඳල security gurdට යනකම් ලැබෙනවා".

"බාල ගල් අඟුරු නිසා විදුලි ජනන යන්ත්‍ර නිතරව කැඩෙනවා. එවිට ඒවා නිරීක්ෂණයට උපදේශක සේවාවන් ලබා ගන්නවා. මේ උපදේශකයන් සුවිශේෂිත දැනුමක් ඇති පුද්ගලයන් ලෙස වර්ගීකරණය කරන නිසා ටෙන්ඩර් කැඳවීමක් නැහැ. මේ නිසා ඔවුන්ට විශාල මුදලක් ගෙවනවා. එයින් සෑහෙන කොටසක් නැවතත් ආයතනයේ තීරණ ගන්නා ස්ථරයට ලැබෙනවා. උපදේශකයන් බාල ගල් අඟුරු ගැන සඳහන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් replace කල යුතු කොටස් සහ අංගවල ලිස්ට් එකක් දෙනවා. ඒවා සපයා ගත හැක්කේ ජනන යන්ත්‍ර මිලදී ගත් චීන සමාගම් වලින් විතරයි. මේ නිසා ඔවුන් ඒ සඳහා විශාල මුදලක් quote කරනවා. එයින් කොටසක් ආයතනයේ විධායකයන්ටත්, උපදේශකයන්ටත් ලැබෙනවා". 

"ඊළඟට පොලිසිය, රහස් පොලිසිය, අමාත්‍යංශය ආදී සියල්ලම මේ ජාලයට සම්බන්ධ වෙනවා. ඔවුන් සියලු දෙනාටම හොරකමෙන් යම් කොටසක් යනවා. ඔබ මේ දුෂණ පිළිබඳව පොලිසියට හෝ අමාත්‍යංශයට පැමිණිලි කල හොත් ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණ ආරම්බ කරනවා. ඒ පරීක්ෂණ අතරතුර බොහෝ විට ඔබ හදිසි අනතුරකින් හෝ වෛද්‍යවරයෙකුගේ බෙහෙත් වැරදීමෙන් මිය යනවා. පරීක්ෂණයට පැමිණෙන CID මහතුන් සහ auditවරුන් වැඩේට වසර කිහිපයක් ගන්නවා. ඔවුන් කිසිම වැදගත් දෙයක් සොයාගන්නේ නැහැ. කාලය අද්දමින් සිට ෆයිල් වසා දමනවා".

"මෙවැනි පරීක්ෂණයක් ඇරඹුන විට මාධ්‍ය ආයතන ඉතා උද්‍යෝගයෙන් මේ පිළිබඳව හාරා අවුස්සනවා. චූදිතයන්ගෙන් ඉතා දරුණු ලෙස ප්‍රශ්න කරනවා. ප්‍රවෘති සිරස්තල පළකරනවා. ටික කාලෙකින් ඔවුන් හීන් සීරුවේ හඬ අඩුකර එය නැති කර දමනවා. කලින් ප්‍රවෘතිය වෙනුවට වෙන එකක් උඩට ගේනවා. මේ මාධ්‍ය කරුවන් මෙන්ම ආයතන හිමියන්ද ඉතා ධනවත් පුද්ගලයන් බවට පත්වෙනවා". 

"නොදියුණු රටක දුෂණය කෝවිඩ් වගේ".

----------------------------------------------

දුෂණය ජාලගත වූ රටක් මොන ජගතා ආවත් ගොඩගත හැකි සුත්‍රයක් ඇත්දැයි මම තවම කල්පනා කරනවා. 



Friday 13 January 2023

බටොයියෝ සහ ටොබයියෝ

 


මැතිවරණයක් ආසන්න වත්ම රටක දේශපාලන උප සංස්කෘතිය තුල නොයෙකුත් උපමා, උපමේය, උපහාස, උපහාර ඇතිවීම ලෝකයේ කොතැනත් දක්නට ලැබේ. මෙය රටක භාවිතා කරන භාෂාවක ඇති විචිත්‍රත්වය පිළිබිඹු කරයි. මා දන්නා තරමින් සිංහල භාෂාව ලොව ඇති සංකීර්ණ මෙන්ම සම්පුර්ණ භාෂා කිහිපයෙන් එකකි. මේ නිසාම ලාංකීය දේශපාලන උප-සංස්කෘතිය අතිශයින්ම චමත්කාරජනකය. අවාසනාවට මෙම චමත්කාරය විඳ ගත හැක්කේ සිංහල භාෂාව තුල ජිවත්වන අයෙකුට පමණි. භාෂාව ඉගෙනගත් පමණින් මේ අත්දැකීම ලැබිය නොහැක.

ඉහත කරුණු මට සිහියට නැගුනේ පසුගිය දින කිහිපය තුල අසන්න දකින්න ලැබුණු කාරණා දෙකක් නිසාය. එකක් උපුල් ශාන්ත  සන්නස්ගල විසින් ලබ්බ පිළිබඳව ඉදිරිපත්කල වැඩසටහනයි. එය නැරඹු පසු මට වැටහුණේ සේපාල් අමරසිංහට දැන් අවශ්‍ය නීති විශාරදයෙකු නොව භාෂා විශාරදයෙකු බවයි. සේපාල්ගේ භාෂණයේ හරි-වැරදි කෙසේ වෙතත් ඔහුගේ නීතීඥයාට මනා භාෂා දැනුමක් ඇත්නම් ඔහුට නිදොස් කොට නිදහස්වීමට පමණක් නොව විශාල වන්දි මුදලක් අය ගැනීමටද හැකියාව ඇතැයි මට සිතෙයි. 

ඊළඟ කාරණය මෙතෙක් පොහොට්ටුවට සහ අලියාට වහල් මනසකින් කඩේ ගිය die-hard සපෝටර්ලාට පටබැඳි විනෝදාත්මක නම් කිහිපයක් අසන්නට ලැබීමයි. මෙයින් වඩාත්ම මගේ සිත් ගත්තේ මෙම මාතෘකාවට අදාළ වදන් දෙකයි. මම මුලින් සිතුවේ මේ නම් දෙකම එකම පිරිසකට කියන බවයි. නමුත් ඊයේ මා සමග යෙදුන පිළිසඳරකදී දුරු ඈත රටක සිටින  ලාංකිකයෙක් පැවසුවේ මෙම වදන් දෙක යෙදෙන්නේ දෙපිරිසකට බවයි. කලින් උග්‍ර රාජපක්ෂවාදින්ව සිට දැන් රනිලුත් හොඳයි කියන්නෝ ටොබයියෝය. කලින් උග්‍ර රනිල්වාදින්ව සිට දැන් රාජපක්ෂලා ගැන වචනයක්වත් කතා නොකරන පිරිස බටොයියෝය.

සිංහලයා භාෂාව හැසිරවීමේ විචිත්‍රත්වය පිළිබඳව තවත් සාක්ෂි කුමකටද? 


  

Monday 9 January 2023

සිංහල බෞද්ධයාට වෙච්ච දේ

එකමත් එක රටක, තරමක වත් පොහොසත් කමක් තිබුණු ගොවියෙක් හිටිය මණ්ඩුක කියල. මණ්ඩුකට හිතේ ලොකු බයක් තිබුන තමන්ගේ ගේ කොයි වෙලාවක හරි හොර හතුරෝ බිඳී කියල. 

මිනිහගේ වත්ත මායිමේ රූස්ස නුග ගහක් තිබුනා. මේකට අධිපති රුක් දෙවි කෙනෙක් ඇතියි කියල හිතුව මණ්ඩුක, හැමදාම උදේ හවස නුගේ ළඟ පහනක් තියල රුක් දෙවියන්ට පිං දීල ඉල්ලා හිටිය එයාව හොර හතුරන්ගෙන් ආරක්ෂා කරල දෙන්න කියලා. 

ඇත්තටම මේ නුගේට අධිපති රුක්ෂ දේවතාවෙක් හිටිය. මේ දෙයියා මණ්ඩුක ගැන බොහොම පැහැදිලා දවසක් මිනිහා ඉදිරියේ පෙනී හිටියා. බය බිරාන්ත වෙලා බලාගෙන ඉන්න මණ්ඩුකව අමතලා රුක් දෙවියෝ මෙහෙම කිව්වා.

"එම්බා නරය. මම තා පිළිබඳව බොහෝ සේ පැහැදී සිටිමි. සොර සතුරන්ගෙන් ආරක්ෂාවීම සඳහා මම නුඹට බලගතු රන් කඩුවක් දෙමි. සොර සතුරන් පැමිණියහොත් මෙයින් පහර දෙනු. එම කඩු පහරවල් වදින ඔවුන්ගේ හිස් සත් කඩකට පැලී යනු ඇත".

මෙහෙම කියල දෙවියෝ අපූරුවට දිලිසෙන රත්‍රන් කඩුවක් මණ්ඩුකට දීල නොපෙනී ගියා. 

එදා ඉඳන් මණ්ඩුකට තිබුන ලොකුම හිසරදය තමයි මේ රත්තරන් කඩුව පරිස්සං කරන එක. මිනිහා ඒක පෙට්ටගමේ යටම හංගලා, ඊට උඩින් වී දාල, ඊටත් උඩින් පරණ ලී කෑලි අතුරලා පෙට්ටගම වහල ලොකු ඉබ්බෙක් දැම්ම. ඊට පස්සේ පෙට්ටගම උඩ පැදුරක් එලාගෙන එකේ තමයි රෑට මිනිහා නිදා ගන්නේ. තමන්ගේ අඹු දරුවෝ ගැනවත් විස්වාසයක් නැති නිසා දවස තිස්සෙම පෙට්ටගම වටේට කැරකි කැරකි ඉන්නවා. 

දැන් රුක් දෙවියාට පහන් තියන්න යන්න වෙලාවකුත් නැහැ. වගා කටයුතු බලා කියාගන්න විදියකුත් නැහැ. ඉතින් ඔහොම අවුරුදු ගානක් ඉඳල රත්තරන් කඩුවක හිමිකාර දුප්පත් ගොවියෙක් විදියට මණ්ඩුක මිය පරලොව ගියා.



Saturday 7 January 2023

ඉදිරිය ගැන කල්පනාවෙන් යන්න


බලය අත්හැරීමටම සිදු වුවහොත් ඔවුන් ඊට පෙර කල හැකි සියළුම විනාශයන් සිදුකරනු ඇත.

-පොල් පෝට් රජයේ අවසාන සමය

-------------------------------
මීට මාස හයකට පෙර තිබූ පින්තූරය දැන් වේගයෙන් වෙනස් වෙමින් ඇත. ඉන්දු-ඇමරිකන් ඇසින් බලන විට ඔවුන් බලාපොරොත්තු තැබූ සියළුම චරිතාංග අසමත්වෙමින් පවතී.

මා දකින පරිදි ඉතා කෙටි කලකදී ලංකාවේ සිටින සියළුම දුෂිත දේශපාලකයන් එක් කඳවුරකට ගාල් වන අතර කල වැරදිවලට ජන සමාව ලැබිය හැකි මට්ටමේ බොහෝ දෙනා ඉන් ඉවතට පනිනු ඇත. බලයද සමග එකට ගාල් වන දුෂිතයන් සාමකාමීව බලය අතහැර නික්ම යතැයි ඔබට සිතෙයි නම් ඔබ ලෝක ඉතිහාසය කියවා නැත. මන්ද ඔවුන්ට නික්ම යන්නට සිදුවන්නේ තම නිවසට නොව සිපිරි ගෙට හෝ පෝරකයට වන බැවිනි. මේ නිසා ඔවුන් do or die සටනකට පිවිසෙනු ඇත. එය democratic limits වලින් ඉවතට යාමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

ලාංකිකයාට ඉදිරියේදී වෙන කවදාවත් නොතිබුණු තරම් බුද්ධියේ අවැසි බව දැනෙනු ඇත.

කිසි විටෙකත් පාලකයාට පෙර ජනතාව democratic limits ඉක්මවා නොයාමට වග බලාගත යුතුය. පාලකයාට අවැසි එම වරද ජනතාව අතින් සිදුවනවා දැකීමටය. ඔවුහු අඬන්න බලාගෙන සිටිති. ඔබගේ ඇඟිල්ල වනද්දී ඔබ ඉතා සැලකිලිමත් වන්න. 


Wednesday 4 January 2023

සේපාල් අමරසිංහට වැරදුන තැන


මෙය නුදුරු අනාගතයේ කියවීම උදෙසා ලියන ලදී. 

ඔහු විසින් පහර දෙන පැවිද්දන් සියල්ලම පාහේ රාජපක්ෂ දේශපාලනය මත පරායත්ත වූ විචල්‍යයන්ය. එම තක්කඩි දේශපාලනයේ අභාවයත් සමගම මේ පැවිද්දන්ගේ පැවැත්මද බිඳ වැටෙමින් පවතී. මේ නිසා ඇපල් විජේ, යුරියා සමන්ත, yellow pets ආදී යෙදුම් වලට එරෙහිව කිසිවෙක් නැගිටීවි යයි මම නොසිතමි. සමහරුන් මේ නාමකරණයන් සතුටින් බාරගෙන ව්‍යාප්ත කරමින් පවතී.

එහෙත් දළදා සංකල්පය (දළදාව යන භෞතික වස්තුව නොවේ) දේශපාලනයෙන් ස්වායත්ත වූ නියතයකි. අනෙක් අතට දේශපාලනය දළදා සංකල්පය මත පරායත්ත වූ විචල්‍යය සමුහයකි. අනුරලාට වාසුලාට පවා මල් වට්ටි උස්සගෙන දළදා මාලිගාවට ගාටන්න සිදුවන්නේ මේ නිසාය. 

සේපාල් අමරසිංහට මේ වෙනස අඳුනාගන්න නොහැකි වූ සැටියකි. සියවස් ගණනාවක් වර්ධනය වන සාමුහික ජන විඥානය (සේපාල්ගේ වදනින්ම නම් ජන අවිඥානය) කෙටි කලකින් වෙනස් කිරීම ඉතා අසීරුය. ඒ වෙනුවට කල යුතුව තිබුණේ එම ජන විඥානය අවභාවිතයේ යෙදවීම පමණක් අරමුණු කරගෙන පහර දීමයි. නමුත් සේපාල් මෙය ටපලවා ගත් සැටියකි. 

මෙම පටලවා ගැනීමෙන් පවතින රජය කෙසේ වෙතත් බලයේ සිටින රාජ්‍ය නායකයා උපරිම වාසියක් නෙලාගනු ඇත. ලාංකික ජනතාව තවමත් නින්ද්‍රාශීලිය. අරමුණු කෙසේ වෙතත් රට බංකොලොත් කිරීමට එරෙහිව පෙරට ආ වසන්ත මුදලිගේලා ඉතා අසාධාරණ ලෙස සිරගත කොට තැබීමට එදිරිවද ජනතාවගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නැත. එවන් පරිසරයක සේපාල් අමරසිංහ මාස ගණනාවක් සිර කොට තැබුවද ඔහුගේ Youtube නාලිකාවට ඉතා ඉහලින් comments දමන්නන් පවා පාරට බසී යයි සිතිය නොහැක. 

පහර දීමේ කලාව මැනවින් ප්‍රගුණ නොකොට අවි අයුධ ගෙන යුද පිටියට බැසීම ඉතා අනුවණ ක්‍රියාවකි.