Sunday 16 August 2020

මම


අවදියෙන් සිටින "මම". නිදා ගෙන සිහින දකින "මම". සිහින නොමැති තද නින්දේ වෙසෙන "මම". මේ මමම බව මට වැටහේ. එසේ නම් මේ "මම" කවුද? 

මිනිසා වසර දස දහස් ගණනක් තිස්සේ වද වූ එක් පැනයක් ඇත. එනම් තමා කවරෙකුගේ නිර්මාණයක්ද යන බවයි. මේ නිර්මාණකරු පිළිබඳව ඔවුන් ආකෘති විශාල ප්‍රමාණයක් නිර්මාණය කරගෙන ඇත. 

නිර්මාණකරු පිළිබඳව බොහෝ සෙයින් උනන්දු වන මිනිසා නිර්මාණය පිළිබඳව සිතන්නත් අකමැතිය. අඩුම ගණනේ -"මම" යයි මම අර්ථ දක්වාගන්නා "මම" කවුද?- යන්නට යම් තාර්කික පදනමක් මත ආකෘතියක් ගොඩනගා ගැනීමට පවා උත්සුක වී ඇත්තේ සාමාජීය සංකල්ප අතලොස්සක පමණි. 

පෞද්ගලිකව මගේ මතය නම් "මගේ නිර්මාණකරු" පිළිබඳව සෙවීමට ප්‍රථම "මම" පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම තුල අපට අත්වන යහඵල බොහෝ ඇති බවයි. එහෙත් මෙහිදීද අපට කල හැක්කේ නිර්මාණකරු පිළිබඳව මෙන්ම "මම" පිළිබඳවද ආකෘතියක් තනා ගැනීම පමණි. එහි හරි - වැරදි බව සාක්ෂාත් කරගත හැකි එකම ක්‍රමවේදය ස්වයං-අත්දැකීමයි. 

විද්‍යාව යනුවෙන් අප කරන්නනේ යම් සංකල්පයක් පිළිබඳව ආකෘති තැනීමයි. මේ පිළිබඳව මම මීට පෙර පල කල ලිපියකින් පැහැදිලි කලෙමි. ගොඩනගා ගත් ආකෘතිය ආශ්‍රයෙන් විශ්වීය සංකල්ප පැහැදිලි කරගැනීමත් ඒ තුලින් පැවැත්මට අවශ්‍ය මෙවලම් තනා ගැනීමත් (තාක්ෂණය) මිනිසා විද්‍යාවේ නාමයෙන් කරයි. යම් ආකෘතියක් මේ කාරණා දෙක සපුරාලීමට අසමත් වන විට මිනිසා තම ආකෘතිය අවශ්‍ය පරිදි වෙනස් කරගනී. ඉන් පසු නව ආකෘතිය ඔස්සේ කලින් ආකෘතිය අසමත් වූ කරුණු වලට පිළිතුරු දීමට උත්සහ කරයි. එය වසර මිලියන දෙකක පමණ සිට පවතින විද්‍යාවේ නිරන්තරයෙන් වෙනස්වන සුළු ස්වභාවයයි. එබැවින් විද්‍යාව "බොරුවක්", "පට්ටපල් බොරුවක්" ආදී වශයෙන් කරන ප්‍රකාශවල වැදගම්මක් හෝ තේරුමක් නැත.

මිනිසා තමාගේ යහපත තකා විද්‍යාව තනන ආකෘති නිරතුරුවම වෙනස් කරද්දී මිනිසා විසින්ම ආගම නමින් තනා ගත් ආකෘතිය වෙනුවෙන් තමන් වෙනස් වීමට උත්සහ දරයි. විද්‍යාවේ සහ ආගමේ ප්‍රධාන වෙනස මෙයයි. නමුත් ආගම නමින් පවතින ආකෘතියද කාලය සමග සෙමෙන් වෙනස් වේ. එය බොහෝ විට සිදුවන්නේ බහුජනයාගේ යහපත සඳහා නොව පාලකයන්ගේ හෝ පූජකයන්ගේ අවශ්‍යතාවය වෙනුවෙනි.

අපි දැන් නැවතත් "මම" වෙත පැමිණෙමු. 

අප අවදි ලෝකය, ස්වප්න ලෝකය සහ ගැඹුරු නින්ද යන අවස්ථා තුනෙන් අවදි අවස්තාව පමණක් සැබෑ ලෝකය හෙවත් යථා ලෝකය ලෙස හඳුන්වමු. නමුත් මෙම අර්ථ දැක්වීමේ අර්ථයක් ඇත්දැයි ගැඹුරට සිතා බැලිය යුතුය. 

අපි දැන් රත්‍රං කැටයක් ගැන සිතමු. එයින් ඔබට මාලයක් තැනිය හැක. මාලය උණුකර වළල්ලක් තැනිය හැක. වළල්ල උණු කර පා සළඹක් තැනිය හැක. මාලය, වළල්ල, සහ පා සළඹ යනු එකක් නොවේ. නමුත් එකක් නොවේද නොවේ. මන්ද ඒ තුනේම ඇත්තේ එකම රත්‍රං ටික බැවිනි. රත්‍රං යනු මාලය, වළල්ල හෝ පා සළඹ නොවේ. එහෙත් ඒවා නොවේද නොවේ. මන්ද හැඩ තුනකින් අපිට පෙනෙන්නේ එකම රත්‍රං ටික බැවිනි. 

දැන් මම ආකෘතියක් ගොඩ නගමි. "මම" නැමති භූතාර්ථය රත්‍රං ලෙසටත්, මාලය, වළල්ල, සහ පා සලඹ; අවදි, ස්වප්න සහ ගැඹුරු නින්ද යන අවස්ථා තුනටත් අපි උපමා කරමු.

"ඔබ මම යයි හඳුන්වා ගන්නා මම පෙන්වන්න" යයි මා ඔබට පැවසුවහොත් ඔබ බොහෝ දෙනෙක් නිසැකවම තම සිරුර දෙසට ඇඟිල්ල දිගු කරනු ඇත. එහෙත් ඔබ ඒ පෙන්වන්නේ පංචෙන්ද්‍රියට ගෝචරවන ආහාරමය කෝෂයයි. 

මෙහි සිමා මායිම් තම සිරුර ලෙස ඔබ සනිටුහන් කරගන්නේ ඔබගේ ඇසට සංවේදනය වන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඉතා කුඩා කොටස (දෘශ්‍ය පරාසය) අනුසාරයෙනි. යම් හෙයකින් ඔබට විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තව පුළුල් පරාසයක සංඛ්‍යාත සංවේදනය වේ නම් ඔබ "මම" යයි කියාගන්නා ප්‍රපංචයේ හැඩතල බොහෝ සෙයින් වෙනස් වනු ඇත. බොහෝ විට මෙහිදී ඔබට "මම" හා "මම නොවන" ලෙස ඔබ කරන විබේදනය අතිශයින් සංකීර්ණ ගැටළුවක් වනු ඇත.

ස්පර්ශ සංවේදනය සම්බන්ධයෙන් පවා අපට මේ ගැටළුවම ඇතිවේ. උදාහරණයක් ලෙස වාතය අපේ ස්පර්ශයට සංවේදනය වන්නේ නැත. ඊට හේතුව වාතය කියා යමක් නොමැතිවීම නොව වාත අංශු මගින් මොලයට සංවේදනය වන තරම් විශාල විද්‍යුත් සංඥාවක් ඇතිකිරීමට නොහැකි වීමයි. එහෙත් වායු අණු වේගයෙන් පැමිණ සමේ ගැටෙන විට අපට දැනේ. මෙය අපි සුළඟ නමින් අර්ථ දක්වමු.

මේ ආකාරයටම අපගේ සිරුර වටා සිරුරට අයත් යයි අපට අර්ථ දක්වා ගත හැකි අණු, පරමාණු, ඉලෙක්ට්‍රෝන රාශියක් පවතී. මේවා අපට සංවේදී වනවා නම් අපගේ සිරුර මීට වඩා පුළුල් වනු ඇත. මින් හැඟෙන්නේ ආහාරමය කෝෂය සම්පුර්ණයෙන්ම අපගේ සංවේදන පද්ධතියට සාපේක්ෂ අර්ථ දක්වා ගැනීමක් බව අපට තේරුම් යා යුතුය.

මේ අනුව ආහාරමය කෝෂය "මම" නොවන බව ඔබට අවබෝධ වනු ඇතැයි මම සිතමි.

එසේනම් "මම" යනු මනසද?

මනස සහ සිතුවිලි ක්‍රියාදාමය (thought process) යනු මොළය හා සම්බන්ධ සිද්ධාන්තයකි. මෙන්ම මනසද සෑම නිමේෂයකදිම අලුත්වෙයි. මම යයි මා හඳුන්වන ප්‍රපංචයේ කය සහ මනස මීට වසර 5 කට පෙර තිබූ කය සහ මනසට වඩා සම්පුර්ණයෙන්ම වෙනස්ය. මේ අනුව කය මෙන්ම මනසද "මම" විය නොහැක.

ඊළඟට "මම" හා සම්බන්ධ අනෙකුත් වැදගත්ම සංසිද්ධිය නම් මතකයයි.

මතකය මොලය හා පමණක් සම්බන්ධ සංසිද්ධියක් ලෙස සැලකීම සම්පුර්ණයෙන්ම වැරදිය. මතකය කොටස් දෙකකි. එනම් සිතිවිලි මතකය (thought memory) සහ ජානමය මතකයයි (genetic memory). මට මතක ඇති කුඩා කාලය, නෑදෑ හිතවතුන්, ආගිය තැන්, උගත් පාඩම් ආදිය සිතිවිලි මතකයි. එය මොලයේ කොටසක් හා සම්බන්ධය.

නමුත් මීට වඩා අතිශයින් විශාල මතකයක් අපගේ සිරුරේ සෑම සෛලයක් පාසාම ඇත. එය වසර මිලියන ගණනකට පෙර අපේ මානව/වානර මුතුන් මිත්තන් තුල තිබූ ගතිගුණ පිළිබඳව පවා දත්ත ගබඩා කරගෙන ඇත. ගස්ලබු කැබැල්ලක් ලේනෙකු අනුභව කල විට එය ලෙනෙකුගේ ශරීරයක් බවට පත්වේ. කාන්තාවක් අනුභව කල විට කාන්තා ශරීරයක් බවට පත්වේ. පුරුෂයකු අනුභව කල විට පුරුෂ ශරීරයක් බවට පත්වේ. මෙය මෙලෙස සිදුවන්නේ ජාන මතකය නිසාවෙනි. මේ මතකයන් දෙකම මරණයත් සමගම දිරාපත් වී මුලද්‍රව්‍ය බවට විභේදනය වෙයි. එසේනම් "මම" යනු කය හෝ මනස විය නොහැකි බව තවදුරටත් සනාථ වෙයි. 

මේ කය සහ මනසින් ස්වායත්ත "මම" නම් භූතාර්ථය  අපට විඥානය (consciousness) නමින් හැඳින්විය හැක. නමුත් විඥානය සඳහා විවිධ ආගම්වල විවිධ අර්ථදැක්වීම්  තිබෙන බැවින් මෙම වදන ව්‍යාකූල විය හැක. එබැවින් මම මෙම "මම" නැමැති භූතාර්ථය සඳහා පරිඥානය නමැති නව වදනක් භාවිතා කරමි. මෙම පරිඥානය කලින් උපමාවෙහි වූ රත්‍රං වලට ආදේශ කරන්න. නමුත් සැබවින්ම මෙම රත්‍රං උපමාව සහ පරිඥානය අතර විශාල වෙනසක් ඇති බව දැන් මම පවසමි. 

රත්‍රං යනු ගුණ සහිත පදාර්ථයකි. එය අපගේ දැනුම් සම්භාරය සහ විශ්ලේෂණ ශක්තිය තුල අර්ථ දැක්විය හැක. කය සහ මනසද එසේ ගුණ දැක්විය හැකි භූතාර්ථයන්ය. ගැහැණු-පිරිමි, උස-මිටි, සුදු-කළු, ආදී වශයෙන් කය අර්ථ දැක්විය හැක. සන්සුන් - චංචල, ද්වේශසහගත-ශාන්ත, උඩඟු-නිහතමානි ආදී වශයෙන් මනසද අපි ගුණ වශයෙන් වර්ග කරමු. 

එහෙත් "මම" හෙවත් පරිඥානය එසේ අපේ දැනුම් සම්භාරය තුල විස්තර කල නොහැකි නිර්ගුණ (property-less), නිර්-මාන (dimensionless), නිර්-අර්ථික (undefinable), වෙනත් වචන වලින් කිවහොත් මිනිසාගේ ප්‍රඥාවට ගොදුරු නොවන (beyond human wisdom) භූතාර්ථයක් ලෙස මම ආකෘතියක් ගොඩ නගමි. 

-----------------------------------

දිනක් පියෙක් තම පුතාද කැටුව සිනමා පටයක් නැරඹීමට ගියේය. ඒ යන අතරමගදී ජිවිතේ පළමු වරට සිනමා ශාලාවකට පියනගන පුතාට පියා විසින් සිනමා දර්ශනය පිළිබඳව විස්තරයක් කරන ලදී. මෙහිදී අප චිත්‍රපටය කියා නරඹන්නේ තිරයක් මත මැවෙන රූප බව ඔහු පුතාට පැවසීය. 

ඔවුන් ශාලාවට පියනගන විටත් සිනමා පටය ඇරඹී තිබුණි. අඳුරේම ගොස් ආසන දෙකක ඉඳගත් ඔවුන් සිනමාව නරඹන්න විය. 

"තාත්තේ තිරය තියෙන්නේ කොහෙද?" පුතා හෙමින් පියාගෙන් ඇසීය.
"ඔය රූප වලට පිටිපස්සේ පුතේ"
"ඒ කියන්නේ අස්සයෝ පිටේ ඉන්න මිනිස්සුන්ට වඩා ඈතින් පෙනෙන කඳු වැටියද? 
"නැහැ පුතේ ඒවටත් පිටිපස්සෙන්"
"කඳුවලට එහායින් තියෙන ඒවා අපිට පෙනෙන්නේ නැහැනේ. ඒ නිසා තිරය අපිට පෙනෙන්නේ නැතුව ඇති"
"නැහැ පුතේ. ඔය ඔක්කොම අපිට පෙනෙන්නේ තිරය මත තමයි"
"ඒ කියන්නේ මේ අස්සයෝ, මිනිස්සු, ගහ, කොළ ඔක්කොම තිරයද?" 

දරුවා තේරුම් ගැනීමට ඉතා අසීරු සංකල්පයක පැටලී ඇත. ඔහු තමා දන්නා සියළුම දැනුම සහ විශ්ලේෂණ හැකියාව යොදාගෙන තිරය සොයයි.

මේ අතර චිත්‍රපටයේ විරාමය ලැබුණි. රූප අතුරුදන්වී ආලෝකය දැල්වෙන්න විය. දැන් දරුවාට තිරය හොඳින් පෙනෙයි. ඔහු තිරය සහ චිත්‍රපටය හොඳින් අවබෝධ කරගත්තේය. 

විරාමයෙන් අනතුරුව සිනමා පටය නැවත පටන් ගැනුනි. දැන් ඔහුට තිරය පිළිබඳව කිසිඳු ගැටළුවක් නැත. 

-------------------------------------

- මෙහි ඇති ලියා ඇති කරුණු මීට වසර දහස් ගණනකට පෙර ගොඩනැගුනු සංකල්ප මිස මගේ අයිතියක් නොවන බව පවසමි.



No comments:

Post a Comment