Saturday 26 August 2023

සිංගප්පුරු වැසියෙකු සේ සිතමු

"ඔබට ලංකාව සිංගප්පුරුවේ මට්ටමට දියුණු කල යුතු නම් මුලින්ම සිංගප්පුරු වැසියකු සේ සිතන්න". මේ පෝස්ට් එකට ඉතාම වටිනා අදහස් (එහෙත් විවිධ කෝණ වලින්) පලවී තිබෙනවා. විය යුත්තේ මෙයයි.

විසිකළ යුතු අදහස කෙටි විය යුතු නිසා මම පලකලේ "thought provoker" එකක් විතරයි. නමුත් මෙය අප යම් ගැඹුරකට හැදෑරිය යුතු කාරණයක්.

සිංගප්පුරු වැසියන්ගේ චින්තනය තේරුම් ගැනීමට නම් අප සිංගප්පුරුවේ ඉතිහාසය ගැඹුරින් අධ්‍යනය කල යුතුයි. මම මේ ගැන කලකට පෙර ඉංග්‍රීසි බසින් ලිපියක් පලකලා. මම එහි සඳහන් කරුණු කෙටියෙන් ලියන්නම්.

මැලේසියානු ෆෙඩරේෂණයට අයත් වූ  චීන සම්භවය ඇති බහුතරයක් සිටි සිංගප්පුරු ප්‍රන්තයත් මුස්ලිම් බහුතරයක් ඇති අනෙකුත් ප්‍රාන්තත් අතර 1920 ගණන්වල සිට විශාල අර්බුද මතුවී තිබුණා. 1965 දී එක රැයකින් මැලේසියාව සිංගප්පූරුව තම ෆෙඩරේෂණයෙන් එලවා දැමුවා. බොන්න ජලය නැති, අන්නාසි හැර වෙන යමක් වගා කල නොහැකි, කිසිම ආර්ථික වටිනාකමක් ඇති වත්කමක් නොමැති බිම කඩක නූගත් මිලියන කිහිපයක බඩගිනි හමුදාවක් සමග ලී ක්වාන් යූ නැමැති නායකයා තනි වුනා. 

එවකට පලවූ පුවත්පත් වාර්තා අනුව LKY කාමරයකට වී දින ගණනාවක් ආහාර නොගෙන හැඬු කඳුලින් සිටි බව පැවසෙනවා. මේ අවස්ථාවේදී ඔහුගේ ඉතාම හිතවත් මිතුරෙකු වූ එවකට මැලේසියාවේ සිටි බ්‍රිතාන්‍යය තානාපති වරයා LKY හමුවී "ඔබ නැගිටින්න අපි ඔබට ආධාර කරන්නම්" යයි කී බව පැවසේ. එහිදී LKY කියා ඇත්තේ අපට අවශ්‍ය ඔබගේ ආධාර නොව ආයෝජන බවයි. ඒ වෙනුවෙන් තමන් ලෝකයට ආයෝජන සඳහා ඉතා සුදුසු වූ රටක් ලබා දෙන බවට සහතික වී ඇත. 

පසුදා ජාතිය ඇමතු LKY ජනතවට කියා ඇත්තේ ජනතාව කොන්දේසි දෙකකට කැමති නම් තමන් රටේ නායකත්වය දිගටම පවත්වාගෙන යාමට එකඟ වන බවයි. 

1. රටේ ආගම්-ජාති බේදය ශුන්‍ය විය යුතුය.

2. රටේ දුෂණය-වංචාව ශුන්‍ය විය යුතුය.

ජනතාව එයට එකඟවිය. සිංගප්පුරුවේ ගමන පටන් ගන්නේ එතැන් සිටය. මේ කරුණු දෙක වෙනුවෙන් LKY ඉතා දැඩි තීරණ ගත්තේය. ඔහුගේ සමීපතම සඟයන් පවා දඟ ගෙයි දැමිය. ආගම ඇදහීම නිවසට හෝ පන්සලට-පල්ලියට සීමා විය. සංස්කෘතිය රටටම පොදු වූ විනෝදාශ්වාදය  ගෙන එන කටයුත්තක් විය. රටේ නිල භාෂාව ඉංග්‍රීසි විය. කන්තෝරුවේ කොලයක් අයථා ලෙස පරිහරණය කල කාර්ය සහයකයටද සිපිරිගෙට යාමට සිදුවිය. රථවාහන වරදක් කළහොත් මුළු මාසික වේතනයම දඩ මුදල් ලෙස ගෙවීමට සිදුවිය. පාරේ කෙල ගැසීම පවා සිපිරිගෙට යාමට හැකි වරදක් විය. නූගත් අලස ජනතාවක් දශක දෙකකදී විනයානුකූල කඩිසර අවංක සමාජයක් බවට පත්විය. ඔබ අද සිංගප්පුරුවේ පොලිස් රාජ්‍යයක වැසියන් ලෙස දකින්නේ මෙලෙස ගොඩනැගුනු සමාජයයි. 

LKY යනු සුර දුතයෙක් නොවේ. සිංගප්පුරුව ලොව දියුණුතම රාජ්‍යයක් වන විට LKY ඇතුළු නෑදෑ පිරිවරද ලෝකයේ ධනවත්ම පවුලක් විය. එසේම ඒ පවුලේ සාමාජිකයන් ලෝකයේ ඉහලම සරසවි වලින් උපාධි ලද උගතුන් සහ වෘත්තිකයන් විය. කෙසේ නමුත් මේ ගැන අදටත් කිසිඳු සිංගප්පුරු වැසියෙකු ඔහුට දොස් කියන්නේ නැත.

අප මැලේසියාවේ සිටි සමයේදී සිංගප්පුරුවට යාමට තිබුණේ අපගේ නිවසේ සිට පැය 4 පමණ drive එකකි. මේ නිසා මැලේසියාවට පැමිණෙන නෑදෑ හිත මිතුරන් සමග කිහිප වරක් අපට එහි යාමට සිදුවිය. සිංගප්පුරුව මම යාමට අකමැතිම රටකි. හේතුව එහි මිනිසුන්ගේ රොබෝ-වැනි හැසිරීමයි. ඔවුන් ඉතා විනය ගරුකය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකු තුලින් මම මානුෂ්‍ය බැඳීමක් නොදකිමි. එය සමහර විට මගේ වරදක් විය හැක. 

අපට ගමනක් යනවා නම් 1965 සිංගප්පුරුවෙන් එය පටන් ගත යුතු නැත. ලාංකිකයා සාක්ෂරතාවයෙන්, දැනුමෙන්, මානසික මට්ටමින් එදා සිංගප්පුරු සමාජයට වඩා බොහෝ ඉදිරියෙන් ඇත. එහෙත් අවාසනාවකට ඉරිසියාව-කුහකකම-ලේබල්ගතවීම යන ඍණාත්මක කරුණු තුනෙන් ඔවුන් යා හැකි උපරිම දරුණු මට්ටමට ලඟා වී ඇත.

ලාංකිකයා හිතන්න පුරුදු වූ දිනෙක ඔවුන් තම මනසට තමන්ම දමා ගෙන ඇති විලංගු වලින් මිදෙනු ඇත. ඒ සඳහා LKY කෙනෙක් අවශ්‍යද? ඔබ ඒ තරමටම දුර්වලද? 


Friday 25 August 2023

බිඳුණු සිහින

ලංකාවේදී මා දුටු ඉතා ව්‍යාකූල සමාජ-ආර්ථික වාතාවරණය තේරුම් ගැනීමට මම කිහිප ආකාරයකින් උත්සහ ගතිමි. නමුත් එය නිෂ්ඵලය. පසුගිය වසර කිහිපය තුල ලංකාවේ නිෂ්පාදන හෝ ආදායම් මාර්ග කිසිවක වර්ධනයක් නැත. ඒ වෙනුවට ඇත්තේ අවගමනයකි. උද්ධමනය යම් පමණකට පාලනය කර ගෙන ඇත්තේ ආනයන සඳහා පනවා ඇති සම්බාධක මගින්ය. නමුත් ජනතාව අතරින් යම් කොටසක් අසීමිතව වියදම් කරති. මෙය සිදුවිය හැකි එකම ක්‍රමය ලෙස මා දකින්නේ අදිසි තුන්වන පාර්ශවයක් මගින් සිදුකරන කෘතීම කළමනාකරණයකි. ඒ ගැන මම තවම දැනුවත් නැත. නොදන්නා දේ කතා කල යුතුද නැත. 

මෑත ඉතිහාසයේදී ලාංකීය සමාජය බොහෝ සිහින ගොඩ නැගීය. 

අම්පිටියේ සුමන හිමි දේවගතිවරයෙකුගේ කනට ගසන විට, ඥානසාර හිමි, ඩෑන් ප්‍රියසාද් වැන්නවුන් චන්ඩින් සේ හැසිරෙන විට, වචනයක් අල්ලාගෙන නටාෂලා, සේපාල්ලාව දඟගෙයි දමන විට, තම දූ දරුවන් වෙනුවෙන් බුදු දහම රැකේවී යයි ඔබ සිහින දැකීය. 

පිටුපසින් සිටි දේශපලුවා රැකගැනීමට ආයුධ පෙන්වන නාඩගම පෙන්වා මාකඳුරේ මදුෂ්ලාව මරා දමන විට, සිපිරි ගෙයි කලබල ඇති කර සිරකරුවන් සමූහ වශයෙන් ඝාතනය කරන විට රටේ පාතාලය නැතිවේ යයි ඔබ සිහින දැකීය 

විමල් වීරවංශලා වැනි අවස්ථාවාදී මුග්ධයන් ඉදිරියේ පොලිසිය අසරණ වන විට, පොලිසියේ කෲර හස්තය අහිංසක ජනතාව තලා පෙලා දමන විට, හමුදාවේ මර්ධන හස්තය ඔබේ විරුද්ධවාදියා වෙත යොමුවන විට ඔබේ පස ජයපැන් වඩන අයුරු ඔබ සිහින දැකීය.

ඇවිදින මංතීරුවක ගල් ඇල්ලීමෙන් ඔබ්බට සංවර්ධන ව්‍යපෘති කිසිවක් හා සම්බන්ධ නොවූ, භූ - සමාජ දේශපාලනය ගැනද මෙලෝ හසරක් නොදන්නා මෝඩ පන්නයේ උද්දච්ච මිනිසෙක් රාජාසනයේ හිඳුවා, දියුණු රටක් පහල වෙතැයි ඔබ සිහින මැවීය. 

මේ කිසිවක් කිසිඳු පදනමක් ඇතිව ගොඩනග ගත් සිහින නොවේ. මේ නිසා ඒවා පැවතුනේ ඔබ නින්දෙන් ඇහැරෙන තුරු පමණි. සිහින යථාර්තයක් වනතුරු ඒ තුල ජීවත්වන මිනිසුන් මා අනන්තවත් දැක ඇත. එහෙත් ඔබ ගොඩනගා ගත්තේ යථාර්තයට ආලෝක වර්ෂ ගණනාවක් ඈත පිහිටි අභව්‍ය සිහිනය. ඒවා ඇහැරෙන විටම බිඳ වැටුනේ ඒ නිසාය. 

ලංකාවේදී මා දුටුවේ රටින් පිටවන සහ පිටවීමට පෙරුම් පුරන බහුතරයක් (සියල්ලන් නොවේ) කලකට පෙර මේ සිහින වෙනුවෙන් සිහිනවලට නතු නොවූවන් සමග සටන් කල උදවියයි. එදා යම් යම් දේශපාලකයන් වෙනුවෙන් "කන්න නැතත් ඉන්න රටක් තියෙනවා" යයි කියමින් කෑගැසූ මිනිසුන් මුලින්ම රට දමා දුවගොස් ඇත. මුදල් ගෙවා ලබන අධ්‍යාපනයට එදිරිව විලාප නැගූ අය තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටින් ඉවතට සංක්‍රමණය වෙමින් පවතී.  

රටවල් කිහිපයකම විවිධ සංවර්ධන ව්‍යපෘති වලට සහභාගී වී මා ලද අත්දැකීම් අනුව මට පහත නිගමනය කල හැක. 

බහුතරයක් මිනිසුන් සිය ආකල්ප වෙනස් කරගැනීමට සුදානම් නම් කවුරු රටින් පිට වුනත් කෙටි කලකදී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් කල හැක. 

ඒ සඳහා 

නීතියේ ආධිපත්‍යට හිස නමන්න

පාලකයන් පත්කරගැනීමේදී නිවැරදි තීරණ ගන්න 

දුෂණය-වංචාව පිටු දැකීමේ පළමු පියවර ඔබ වෙතින් පටන් ගන්න 

ඉරිසියාව සහ කුහකකම ඔබගෙන් ඈත් කරන්න 

තමා වෙත තමා විසින්ම ගසා ගෙන ඇති ලේබල් ගලවා දමන්න නොහැකි නම් අඩුම ගණනේ බොඳ කර දමන්න 

අපි ඉන් පසු ලංකාව ගොඩගන්න මාර්ග සිතියම සාදමු 



Saturday 19 August 2023

මා දුටු ලංකාව

 

ලංකාවේ ගත කල සති තුනක කාලය තුලදී මට නිරීක්ෂණ කිහිපයක් සිදුකල හැකි විය. ඒවා මම මෙසේ පෙලගස්වමි. මා කතා බස් කල සමාජ රාමු අතර තරමක් පිටිසර දුප්පත් ගැමි පරසරයක්, නගරයේ පහල ආර්ථික ස්ථර කිහිපයක්, ත්‍රිරෝද රථ සමාජය, මධ්‍යම පන්තියේ අප සාමාන්‍යයෙන් ඇසුරු කරන නෑ සිය මිතුරන්, holiday resort හතරකදී සහ තරු පහේ හෝටල් දෙකකදී මුණ ගැසුණු පිරිස් සහ රටේ ඉතාම ධනවත් කිහිප දෙනෙකුගේ නිවෙස් වලදී හඳුනා ගත් පිරිස් විය.

ලංකාවේ පවතින්නේ අතිශයින්ම කෘතීම වූ සමාජ-ආර්ථික ව්‍යුහයකි. 

රටේ භාණ්ඩ සහ සේවා මිළ නොසිතිය හැකි තරම් ඉහල අගයක ඇත. එළවලු මස් මාළු ඉතා මිල අධිකය. කුලී රථයක ගමනක් යාමට කිලෝ මීටරයකට රුපියල් 120-160ත් අතර මුදලක් අය කරයි. ත්‍රිරෝද රථයක නම් කිලෝමීටරයට රුපියල් 80-100ත් අතර මුදලකි.

එහෙත් ආර්ථික මධ්‍යස්ථාන සහ සුපිරි වෙළඳ සැල් වල බඩු භාණ්ඩ පිරී ඉතිරී ඇත. රෙදිපිළි විකුණන සාප්පු සංකීර්ණ වලද සෙනග අඩුවක් පෙනෙන්න නැත. Pick Me හෝ Uber රථයක් ගෙන්වා ගැනීමට සෑහෙන වෙලාවක් ගතවේ. ත්‍රිරෝද රථ බොහෝමයකද පාරිභෝගිකයෙකු නැති අවස්ථාවක් සොයා ගැනීම අසීරුය.

පන්ති බේදයකින් තොරව මා කතා බස් කල බොහෝ දෙනා රටේ ජීවත්වීමට ඇති අපහසු තත්වය පිළිබඳව දිගින් දිගටම කරුණු ඉදිරිපත්කරන්න විය. බොහෝ දෙනා තමන්ගේ ආදායම සහ වියදම පිළිබඳව ගණන් හිලව් පවා ඉදිරිපත් කරනු ලැබීය. ඇත්තෙන්ම ඔවුන්ට තම සමාජ පංති රාමුව තුල සැනසුම් සහගත ජිවිතයක් ගත කිරීමට නොහැකි බව ඉතාමත්ම පැහැදිලිය. පහල පන්තියේ සියළු දෙනාම කියා සිටියේ මීට වසර දෙකකට පෙර තමන් පරිභෝජනය කල දේ දැන් 50% ට වඩා අඩු කර ඇති බවයි.

අනෙක් අතට holiday resort සහ තරු පහේ හෝටල්වල අවන්හල් පිරී ඇති සේයකි. කොළඹින් බැහැර ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක කාමරයක් සති අන්තයේ book කරගැනීමත් පහසු නැත. බොහෝ මධ්‍යම පාන්තිකයන් රට පුරා විනෝද ගමන්වල යෙදෙති. 

වෘත්තිකයන් පවුල් පිටින් රට හැරයාම ඉතා දරුණුවට සිදුවෙමින් පවතී. අප සිටි සති තුන ඇතුලත පමණක් අප ඇසුරුකරන පවුල් 6 ක් ලංකාවෙන් නික්ම ගියහ. ඔවුන් අතර වෛද්‍ය, හෙද, සහ IT විශේෂඥයන් විය. මීට අමතරව තවත් අප හා කතා බස් කල විශාල පිරිසක් නුදුරු අනාගතයේදී රටින් නික්ම යාමට පිඹුරුපත් සකස් කර අවසානය. ඔවුන් සියළු දෙනාම පැවසුවේ රටේ ජීවත්වීමට නොහැකි තරම් ජිවන වියදම ඉහල ගොස් ඇති බවත් විශේෂයෙන්ම තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් එම තීරණය ගන්නා බවත්ය. සියලු දෙනාගේම ඇත්තේ එකම මැසිවිල්ලකි. ඔවුන් ඉදිරිපත් කරන කරුණු අතිශයින්ම සාධාරණය.

මේ පිටරට පදිංචියට සංක්‍රමණය වන බව කී වැඩි පිරිසක් මට හමු වුණේ තරුපහේ හෝටලයක හෝ නිවාඩු නිකේතනයක විවේක සුවය වෙනුවෙන් පැමිණ සිටින විටකදීය. 

මා මෙවර ලංකාවේදී  කල කිසිසේත් බලාපොරොත්තු නොවූ නිරීක්ෂණයක් ඇත. එනම් ජනතාව තුල දේශපාලනය කෙරේ ඇති ඉතා පහල උනන්දුවයි. වෙනදා අප හමු වූ විට කතාබස් කරන මුළු කාලයෙන් 80%ට වඩා දේශපාලන මාතෘකා සඳහා කැප කරන බොහෝ නෑදෑ - මිතුරු සමුහ මෙවර ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වුයේ නැත. මා දේශපාලනය පිළිබඳව මාතෘකාවක් බලෙන් ඇද ගත්තත් "ඕව කතා කරලා වැඩක් නැහැ චන්දිම, පුලුවන්නම් අපිට ජොබ් එකක් සෙට් කරලා දෙන්නකෝ ඔයා දන්න රටකින්" කියා කතාව නිම කරයි. සියළු දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් පිළිබඳව ඔවුන්ට ඇත්තේ ඉතා උදාසීන කලකිරීම් සහගත ආකල්පයකි.

ජවිපෙ පිළිබඳව ඇති සමාජ ආකල්ප පිළිබඳව මම වැඩි උනන්දුවකින් අධ්‍යනය කලෙමි. සමාජ මාධ්‍ය තුල ඔවුන්ට ඇති තැන රට තුල ඔවුන්ට නැති බව මගේ නිරීක්ෂණයයි. අමාරුවෙන් කතාවට අල්ලා ගත බොහෝ දෙනා කියා සිටියේ "රටට යමක් කරනවා නම් කල හැක්කේ ජවිපෙට පමණයි. නමුත් ඒ අයටත් දැන් ඇවිල්ලා කිසිදෙයක් කරන්න බැහැ" වැනි ප්‍රකාශයි. එසේම උසස් අධ්‍යාපනය වැනි මාතෘකා වලදී ජවිපෙ කිසිඳු ස්ථාවරයක නොමැති බවත් මේ නිසාම ඔවුන් බලයට පැමිණීම තුල යම් අන්තරායදායක තත්වයක් පවතින බවත් ප්‍රකාශ විය. 

මා දකින ආකාරයට ජවිපෙ තමන් මෙතෙක් කල ඓතිහාසික වරදක් repeat කරමින් සිටියි. එනම් ඔවුන් චන්දදායකයන් එකතුකරනවා වෙනුවට පාක්ෂිකයන් එකතුකිරීමට උත්සහ දරමින් සිටීමයි. 

මේ කෘතීම සමාජ-ආර්ථික රාමුව කාගේ නිර්මාණයක්ද? එහි අරමුණ සහ ගමනාන්තය කුමක්ද? ජනතාවට කල හැකි දෙයක් ඇත්ද? මා කල නිරීක්ෂණ තුලින් මා ගොඩනැගූ නිගමන නැවත කාලවේලාවක් ලැබුණු විට ඉදිරිපත් කරන්නම්.