Sunday, 17 September 2023

ඇත් මවට පිං අනුමෝදනා කරමු


අද අපට මොලමුරේලාගේ කාලේ මෙන් වන ඇතුන් කොටු කර මදු ගසා අල්ලා ගැනීමට නීතියෙන් ඉඩක් නැත. මා දන්නා තරමට ලංකාවේ හීලෑ ඇතුන් අභිජනනය කිරීමේ තාක්ෂණයක්ද නැත. එසේ නම් හීලෑ කරගැනීමට අලි ඇතුන් ලබා ගත යුත්තේ වනාන්තරයෙන් අලි පැටවුන් හොර රහසේ රැගෙන ඒමෙනි. 

තම පැටවා ස්ව කැමැත්තෙන් මිනිසුන්ට ලබා දීමට කිසිම ඇත් මවක් කැමති නොවන බව යම් හෝ බුද්ධියක් ඇති සැමටම වැටහෙනු ඇත. එසේ නම් අලි පැටවුන් ලබා ගත යුත්තේ කිරි එරෙන මව් ඇතින්න මරා දමාය.

කෙසේ හෝ ආගමික සංස්කෘතිය රැකගත යුතු බවට බහුතරයක් සිතනා රටක මව් ඇතින්න ඝාතනය කර ඇත් පැටවුන් පැහැරගැනීමේ වරදක් නැති විය හැක. ඒ නිසා මම එහි ගුණ දොස් විචාරීමට නොයමි.

ඊළඟ දවසේ පෙරහැරේ ඉතා ආඩම්බරයෙන් සහ ස්ව කැමැත්තෙන් කරඬුව රැගෙන වඩින පිංවත් ඇත් රජා දෙස බලාගෙන බුද්ධාලම්බන ප්‍රීතිය ලබන ඔබ තම ජීවිතය සහ දරුවා දන් දුන් මව් ඇතින්නටද පිං අනුමෝදනා කරන්න. 



Saturday, 9 September 2023

නැට්ටෙන් අල්ලා ගත් පෙරහරේ අලි


පෙරහැරේ අලි ඇතුන් ගෙන යාම පිළිබඳව මගේ අදහස කිහිප දෙනෙකුම මගෙන් අසා ඒවා තිබුණි. අලි ඇතුන් නිසා සමාජය ගිනියම් වන අගෝස්තුවේ ඒ ගැන කිසිවක් ලිවිය නොයුතු යැයි මම සිතුවෙමි. ලංකාවේ අනෙක් බොහෝ කාරණා මෙන්ම පෙරහැරේ අලි පිළිබඳවද පක්ෂ විපක්ෂ දෙපිරිසම නැට්ටෙන් අල්ලාගෙන ඇති බව මට හැඟුනි.

ලොව වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් සිටින අගනගරය බැංකොක් නුවරයි. ඒ සංචාරකයන් පිනවීම සඳහාය. වසර 2021 මේ අලි ඇතුන්ටත් ඇත් හිමියන්ටත් තදබල අපල කාලයක් විය. කෝවිඩ් සීමා හේතුවෙන් තායිලන්තයට සංචාරකයන් පැමිණීම ශුන්‍ය විය. මේ නිසා ජීවන වියදම අධික බැංකොක් නගරයේ තව දුරටත් තම අලි ඇතුන් නඩත්තු කිරීම බොහෝ ඇත් හිමියන්ට ඉතා අපහසු කාරණයක් විය. තම අලි ඇතුන්ද රැගෙන ඈත එපිට ගම්බද ප්‍රදේශ වලට යාමට බොහෝ දෙනා තීරණය කළහ. ඒ දිනවල අලි ඇතුන් සිය ගණනක් පාර දිගේ ගමේ යනු සුලබ දසුනක් විය. මේ අලි ඇතුන් බොහෝ දෙනෙකුට විලංගු දමා තිබුණේ නැත. ඇත් ගොව්වන් (ඔවුන් ඔහු හඳුන්වන්නේ ඇත් බාරකරු ලෙසයි) අත තියුණු උල් ආයුධ තිබුනේවත් ඇතුන්ට නොයෙකුත් ආකාරයෙන් තාඩන පීඩන කරනවාවත් කිසිවෙක් දුටුවේ නැත.

ලංකාවේ පෙරහැරේ යන අලියාට මෙන්ම පන්සලේ සිටින අලියාටද දෙපය ඈත් කල නොහැකි පරිදි යෝධ දම්වැල් දමා ඇත. බොහෝ අලි ඇතුන්ගේ දෙපාවල මෙන්ම සිරුරේ වෙනත් තැන්වලද දම්වැල් වලින් සහ හෙණ්ඩුවෙන් ඇනීමෙන් වූ තුවාල රාශියක් ඇත. ඇත්ගොව්වන් අලින්ට ඉතා කෲර ආකාරයෙන් සලකන වීඩියෝ පටි ගණනාවක් යූ ටියුබයේ සැරිසරයි. ඔවුන් බොහෝ විට සිටින්නේ අධික බීමතිනි.

වරද කොතනද?

ලංකාවේ ඇත් හිමියා සහ ඇත්ගොව්වා අතර ඇත්තේ ආර්ථික-සමාජීය වශයෙන් අහසට පොලව වැනි වෙනසකි. බොහෝ ඇත්ගොව්වන්ගේ ජීවන තත්වය ඉතා දුක්ඛිතය. ඔවුන් ඇත්ගොව්වන් වී ඇත්තේ එක්කෝ පරම්පරාවෙන් ලද රැකියාව නිසාය. නොඑසේ නම් වෙනත් රැකියාවක් නැති නිසාය. බොහෝ ඇත් හිමියන්ට ඇත්ගොව්වා ප්‍රවේණිගත දාසයකු පමණි. ඇත් ගොව්වාගේ ජීවන තත්වය ඉහල දැමීමට ඇත් හිමියන් කිසිවිටක උත්සහ නොගන්නේ මේ නිසාය. 

ගෘහස්ත කරගත් අලි ඇතුන් හෙණ්ඩුවෙන් ඇන, තලා පෙලා වැඩ කරගැනීම තායිලන්තය වැනි රටවල නවත්වා දැන් දශක ගණනාවකි. ඒ වෙනුවට අලි ඇතුන් හීලෑ කර පුහුණු කිරීමේ තාක්‍ෂණය ප්‍රගුණ කිරීම සඳහා පාසැල් සහ ආයතන ඇරඹිණි. සතුන්ට වද හිංසා නොකර ඔවුන් කීකරු කරගැනීමේ කලාව එහිදී ඔවුන් ඉහලටම ඉගෙන ගනියි. මෙම සමහර පාසල් විශ්ව විද්‍යාල තත්වයට උසස් කිරීමට දැන් තායි රජය කටයුතු කරයි. බොහෝ අවස්ථාවල ඇත් ගොව්වා සහ ඇත් හිමියා එක් පුද්ගලයෙකි. මේ නිසා ඔහු ඇතාව ආදරයෙන් රැක බලා ගනියි. දැන් මෙම පාසල් වලින් පුහුණුව ලැබු කාන්තා ඇත් ගොව්වන්ද ඔබට තායිලන්තයේදී දැකගත හැක. 

පෙරහැරේ අලි ඇතුන් ගෙනයාම තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවෙන් සමාජ මාධ්‍යවල මාරාන්තික සටන් කරන පිරිසටද ඊට එරෙහිව මහා දිග පදවැල් රචනා කරන පිරිසටද මම මෙසේ කියමි.

ඔබට හැකිද රජයට බලකරන්න ඇත්ගොව්වකු වීමට නම් ඒ සඳහා අනිවාර්ය පුහුණුවක් තිබිය යුතු බවට නීති ගෙන ඒමට 

ඔබට හැකිද ඇත් හිමියන්ට බලකර සිටින්න තම මුදලින් ඇත්ගොව්වන් තායිලන්තයට හෝ යවා පුහුණු කරවිය යුතු බවට 

ඔබට හැකිද ඇත්ගොව්වන්ගේ සේවය වෙනුවෙන් ඉහල වැටුපක් ගෙවා එය ගෞරවාන්විත රැකියාවක් කිරීමට බලකරන්න 

පෙරහැරේ ගියත්, පන්සලේ සිටියත්, සංචාරකයන් පිටේ තබාගෙන ගියත්, අලි ඇතුන් අවම සත්ව කරුණාවක් යටතේවත් ජීවත්වෙනවා දකින්න ඔබ කැමති නැද්ද?  එසේම ඇත්ගොව්වා ඔබත් මාත් මෙන්ම සමාජයේ පිළිගත් රැකියාවක් කරන යහපත් ජීවන තත්වයක් තිබෙන පුද්ගලයෙකු විය යුතු යැයි ඔබට සිතෙන්නේ නැද්ද?  

ඔබ සටන් කල යුත්තේ මේ සඳහා නොවේද?


Sunday, 3 September 2023

මහරගම පිළිකා රෝහලේ ඛේදවාචකය


මීට වසර 10ට පමණ පෙර මම ගිලන්ව සිටි මගේ සමීපතම ඥාතියකු බැලීම සඳහා මහරගම පිළිකා රෝහලට ගියෙමි. එවකට අප මැලේසියාවේ පදිංචි වී සිටි අතර රෝගියා වෙනුවෙන්ම අපි සති දෙකකට මැලේසියාවේ සිට ලංකාවට පැමිණියෙමු. ඥාතියා බැලීමෙන් පසු මගේ බිරිඳ නෑදෑ හිතමිතුරන් කිහිප දෙනෙක් සමග කතාබහට වැටුණු අතර මම හදිසි දුරකථන ඇමතුමක් දිය යුතුව තිබුණු බැවින් මෝටර් රථය වෙත පැමිණියෙමි.

රියඳුරු අසුනේ හිඳ දුරකථන ඇමතුමෙහි යෙදී සිටින විට මට අසල බිත්තියක වූ දසුනක් නෙත ගැටුණි. වහා වාහනයෙන් පිටතට පැමිණි මම එහි ඡායාරූපයක් ලබා ගතිමි. එහි වුයේ ගොඩනැගිල්ලේ අකුණු සන්නයකයේ සිට පැමිණෙන down conductor එක ආධාරකය ලෙස ගෙන සවි කර ඇති විදුලි රැහැනකි. බැලූ බැල්මට එම විදුලි රැහැන අළුතෙන් සවි කරන ලද්දකි. මෙය අකුණු ආරක්ෂණයේ මූලික සිද්ධාන්තයක් කඩ කරන ඇතුලේ ඇති උපකරණ වලට බලවත් හානි පැමිණිය හැකි ක්‍රියාවකි.

නිවසට පැමිණි විගස මම එවකට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කල මගේ බිරිඳගේ නැගණිය අමතා මේ බව පැවසුයෙමි. ඇය පවසා සිටියේ බාහිර පෙනුමෙන් බොහෝ විට මේ ගොඩනැගිල්ල ඊට ටික කාලයකට පෙර ඉතා අධික මිලක් ගෙවා මිලදී ගත් sychrotron යන්ත්‍රය සවිකළ ස්ථානය විය හැකි බවයි. ඉන් පසු මම සියලු වැඩ පසෙකලා ඇය ලබා දුන් ඊමේල් කිහිපයකට මේ සිද්ධිය සහ එහි බරපතල කම පිළිබඳව දන්වා යැව්වෙමි. ඒ එම ආයතනයේ ඉහලම නිලධාරින් කිහිප දෙනෙකුටය. ඒ කිසිවෙකුගෙන් මට පිළිතුරක් හෝ ලැබුණේ නැත.

අප මැලේසියාවට යාමට දිනකට පෙර පුවත්පත් සිරස්තලය වුයේ පෙරදින කොළඹ ප්‍රදේශයට බලපෑ ප්‍රබල අකුණු කුණාටුව නිසා මහරගම පිළිකා රෝහලේ ඉතා වටිනා උපකරණයකට රුපියල් කෝටි ගණනක හානි සිදුවී ඇති බවයි. මගේ නෙතට කඳුලක් මෙන්ම හිතට යම් වරදකාරී හැඟීමක්ද මතුවිය.

මේ අනතුර පිළිබඳව අදටත් මහරගම පිළිකා රෝහලේ නිලධාරීන්ට මතක ඇතැයි මම සිතමි. කිසිවෙකුට වරද පැටවිමටවත් කිසිවෙකු අපහසුවට පත් කිරීමටවත් මට අවශ්‍ය නැත. මේ පිළිබඳව මෙතෙක් ආරක්ෂණ පියවරක් ගෙන නැත්නම් ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි පමණක් මම ඉල්ලා සිටිමි. 

Saturday, 26 August 2023

සිංගප්පුරු වැසියෙකු සේ සිතමු

"ඔබට ලංකාව සිංගප්පුරුවේ මට්ටමට දියුණු කල යුතු නම් මුලින්ම සිංගප්පුරු වැසියකු සේ සිතන්න". මේ පෝස්ට් එකට ඉතාම වටිනා අදහස් (එහෙත් විවිධ කෝණ වලින්) පලවී තිබෙනවා. විය යුත්තේ මෙයයි.

විසිකළ යුතු අදහස කෙටි විය යුතු නිසා මම පලකලේ "thought provoker" එකක් විතරයි. නමුත් මෙය අප යම් ගැඹුරකට හැදෑරිය යුතු කාරණයක්.

සිංගප්පුරු වැසියන්ගේ චින්තනය තේරුම් ගැනීමට නම් අප සිංගප්පුරුවේ ඉතිහාසය ගැඹුරින් අධ්‍යනය කල යුතුයි. මම මේ ගැන කලකට පෙර ඉංග්‍රීසි බසින් ලිපියක් පලකලා. මම එහි සඳහන් කරුණු කෙටියෙන් ලියන්නම්.

මැලේසියානු ෆෙඩරේෂණයට අයත් වූ  චීන සම්භවය ඇති බහුතරයක් සිටි සිංගප්පුරු ප්‍රන්තයත් මුස්ලිම් බහුතරයක් ඇති අනෙකුත් ප්‍රාන්තත් අතර 1920 ගණන්වල සිට විශාල අර්බුද මතුවී තිබුණා. 1965 දී එක රැයකින් මැලේසියාව සිංගප්පූරුව තම ෆෙඩරේෂණයෙන් එලවා දැමුවා. බොන්න ජලය නැති, අන්නාසි හැර වෙන යමක් වගා කල නොහැකි, කිසිම ආර්ථික වටිනාකමක් ඇති වත්කමක් නොමැති බිම කඩක නූගත් මිලියන කිහිපයක බඩගිනි හමුදාවක් සමග ලී ක්වාන් යූ නැමැති නායකයා තනි වුනා. 

එවකට පලවූ පුවත්පත් වාර්තා අනුව LKY කාමරයකට වී දින ගණනාවක් ආහාර නොගෙන හැඬු කඳුලින් සිටි බව පැවසෙනවා. මේ අවස්ථාවේදී ඔහුගේ ඉතාම හිතවත් මිතුරෙකු වූ එවකට මැලේසියාවේ සිටි බ්‍රිතාන්‍යය තානාපති වරයා LKY හමුවී "ඔබ නැගිටින්න අපි ඔබට ආධාර කරන්නම්" යයි කී බව පැවසේ. එහිදී LKY කියා ඇත්තේ අපට අවශ්‍ය ඔබගේ ආධාර නොව ආයෝජන බවයි. ඒ වෙනුවෙන් තමන් ලෝකයට ආයෝජන සඳහා ඉතා සුදුසු වූ රටක් ලබා දෙන බවට සහතික වී ඇත. 

පසුදා ජාතිය ඇමතු LKY ජනතවට කියා ඇත්තේ ජනතාව කොන්දේසි දෙකකට කැමති නම් තමන් රටේ නායකත්වය දිගටම පවත්වාගෙන යාමට එකඟ වන බවයි. 

1. රටේ ආගම්-ජාති බේදය ශුන්‍ය විය යුතුය.

2. රටේ දුෂණය-වංචාව ශුන්‍ය විය යුතුය.

ජනතාව එයට එකඟවිය. සිංගප්පුරුවේ ගමන පටන් ගන්නේ එතැන් සිටය. මේ කරුණු දෙක වෙනුවෙන් LKY ඉතා දැඩි තීරණ ගත්තේය. ඔහුගේ සමීපතම සඟයන් පවා දඟ ගෙයි දැමිය. ආගම ඇදහීම නිවසට හෝ පන්සලට-පල්ලියට සීමා විය. සංස්කෘතිය රටටම පොදු වූ විනෝදාශ්වාදය  ගෙන එන කටයුත්තක් විය. රටේ නිල භාෂාව ඉංග්‍රීසි විය. කන්තෝරුවේ කොලයක් අයථා ලෙස පරිහරණය කල කාර්ය සහයකයටද සිපිරිගෙට යාමට සිදුවිය. රථවාහන වරදක් කළහොත් මුළු මාසික වේතනයම දඩ මුදල් ලෙස ගෙවීමට සිදුවිය. පාරේ කෙල ගැසීම පවා සිපිරිගෙට යාමට හැකි වරදක් විය. නූගත් අලස ජනතාවක් දශක දෙකකදී විනයානුකූල කඩිසර අවංක සමාජයක් බවට පත්විය. ඔබ අද සිංගප්පුරුවේ පොලිස් රාජ්‍යයක වැසියන් ලෙස දකින්නේ මෙලෙස ගොඩනැගුනු සමාජයයි. 

LKY යනු සුර දුතයෙක් නොවේ. සිංගප්පුරුව ලොව දියුණුතම රාජ්‍යයක් වන විට LKY ඇතුළු නෑදෑ පිරිවරද ලෝකයේ ධනවත්ම පවුලක් විය. එසේම ඒ පවුලේ සාමාජිකයන් ලෝකයේ ඉහලම සරසවි වලින් උපාධි ලද උගතුන් සහ වෘත්තිකයන් විය. කෙසේ නමුත් මේ ගැන අදටත් කිසිඳු සිංගප්පුරු වැසියෙකු ඔහුට දොස් කියන්නේ නැත.

අප මැලේසියාවේ සිටි සමයේදී සිංගප්පුරුවට යාමට තිබුණේ අපගේ නිවසේ සිට පැය 4 පමණ drive එකකි. මේ නිසා මැලේසියාවට පැමිණෙන නෑදෑ හිත මිතුරන් සමග කිහිප වරක් අපට එහි යාමට සිදුවිය. සිංගප්පුරුව මම යාමට අකමැතිම රටකි. හේතුව එහි මිනිසුන්ගේ රොබෝ-වැනි හැසිරීමයි. ඔවුන් ඉතා විනය ගරුකය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකු තුලින් මම මානුෂ්‍ය බැඳීමක් නොදකිමි. එය සමහර විට මගේ වරදක් විය හැක. 

අපට ගමනක් යනවා නම් 1965 සිංගප්පුරුවෙන් එය පටන් ගත යුතු නැත. ලාංකිකයා සාක්ෂරතාවයෙන්, දැනුමෙන්, මානසික මට්ටමින් එදා සිංගප්පුරු සමාජයට වඩා බොහෝ ඉදිරියෙන් ඇත. එහෙත් අවාසනාවකට ඉරිසියාව-කුහකකම-ලේබල්ගතවීම යන ඍණාත්මක කරුණු තුනෙන් ඔවුන් යා හැකි උපරිම දරුණු මට්ටමට ලඟා වී ඇත.

ලාංකිකයා හිතන්න පුරුදු වූ දිනෙක ඔවුන් තම මනසට තමන්ම දමා ගෙන ඇති විලංගු වලින් මිදෙනු ඇත. ඒ සඳහා LKY කෙනෙක් අවශ්‍යද? ඔබ ඒ තරමටම දුර්වලද? 


Friday, 25 August 2023

බිඳුණු සිහින

ලංකාවේදී මා දුටු ඉතා ව්‍යාකූල සමාජ-ආර්ථික වාතාවරණය තේරුම් ගැනීමට මම කිහිප ආකාරයකින් උත්සහ ගතිමි. නමුත් එය නිෂ්ඵලය. පසුගිය වසර කිහිපය තුල ලංකාවේ නිෂ්පාදන හෝ ආදායම් මාර්ග කිසිවක වර්ධනයක් නැත. ඒ වෙනුවට ඇත්තේ අවගමනයකි. උද්ධමනය යම් පමණකට පාලනය කර ගෙන ඇත්තේ ආනයන සඳහා පනවා ඇති සම්බාධක මගින්ය. නමුත් ජනතාව අතරින් යම් කොටසක් අසීමිතව වියදම් කරති. මෙය සිදුවිය හැකි එකම ක්‍රමය ලෙස මා දකින්නේ අදිසි තුන්වන පාර්ශවයක් මගින් සිදුකරන කෘතීම කළමනාකරණයකි. ඒ ගැන මම තවම දැනුවත් නැත. නොදන්නා දේ කතා කල යුතුද නැත. 

මෑත ඉතිහාසයේදී ලාංකීය සමාජය බොහෝ සිහින ගොඩ නැගීය. 

අම්පිටියේ සුමන හිමි දේවගතිවරයෙකුගේ කනට ගසන විට, ඥානසාර හිමි, ඩෑන් ප්‍රියසාද් වැන්නවුන් චන්ඩින් සේ හැසිරෙන විට, වචනයක් අල්ලාගෙන නටාෂලා, සේපාල්ලාව දඟගෙයි දමන විට, තම දූ දරුවන් වෙනුවෙන් බුදු දහම රැකේවී යයි ඔබ සිහින දැකීය. 

පිටුපසින් සිටි දේශපලුවා රැකගැනීමට ආයුධ පෙන්වන නාඩගම පෙන්වා මාකඳුරේ මදුෂ්ලාව මරා දමන විට, සිපිරි ගෙයි කලබල ඇති කර සිරකරුවන් සමූහ වශයෙන් ඝාතනය කරන විට රටේ පාතාලය නැතිවේ යයි ඔබ සිහින දැකීය 

විමල් වීරවංශලා වැනි අවස්ථාවාදී මුග්ධයන් ඉදිරියේ පොලිසිය අසරණ වන විට, පොලිසියේ කෲර හස්තය අහිංසක ජනතාව තලා පෙලා දමන විට, හමුදාවේ මර්ධන හස්තය ඔබේ විරුද්ධවාදියා වෙත යොමුවන විට ඔබේ පස ජයපැන් වඩන අයුරු ඔබ සිහින දැකීය.

ඇවිදින මංතීරුවක ගල් ඇල්ලීමෙන් ඔබ්බට සංවර්ධන ව්‍යපෘති කිසිවක් හා සම්බන්ධ නොවූ, භූ - සමාජ දේශපාලනය ගැනද මෙලෝ හසරක් නොදන්නා මෝඩ පන්නයේ උද්දච්ච මිනිසෙක් රාජාසනයේ හිඳුවා, දියුණු රටක් පහල වෙතැයි ඔබ සිහින මැවීය. 

මේ කිසිවක් කිසිඳු පදනමක් ඇතිව ගොඩනග ගත් සිහින නොවේ. මේ නිසා ඒවා පැවතුනේ ඔබ නින්දෙන් ඇහැරෙන තුරු පමණි. සිහින යථාර්තයක් වනතුරු ඒ තුල ජීවත්වන මිනිසුන් මා අනන්තවත් දැක ඇත. එහෙත් ඔබ ගොඩනගා ගත්තේ යථාර්තයට ආලෝක වර්ෂ ගණනාවක් ඈත පිහිටි අභව්‍ය සිහිනය. ඒවා ඇහැරෙන විටම බිඳ වැටුනේ ඒ නිසාය. 

ලංකාවේදී මා දුටුවේ රටින් පිටවන සහ පිටවීමට පෙරුම් පුරන බහුතරයක් (සියල්ලන් නොවේ) කලකට පෙර මේ සිහින වෙනුවෙන් සිහිනවලට නතු නොවූවන් සමග සටන් කල උදවියයි. එදා යම් යම් දේශපාලකයන් වෙනුවෙන් "කන්න නැතත් ඉන්න රටක් තියෙනවා" යයි කියමින් කෑගැසූ මිනිසුන් මුලින්ම රට දමා දුවගොස් ඇත. මුදල් ගෙවා ලබන අධ්‍යාපනයට එදිරිව විලාප නැගූ අය තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටින් ඉවතට සංක්‍රමණය වෙමින් පවතී.  

රටවල් කිහිපයකම විවිධ සංවර්ධන ව්‍යපෘති වලට සහභාගී වී මා ලද අත්දැකීම් අනුව මට පහත නිගමනය කල හැක. 

බහුතරයක් මිනිසුන් සිය ආකල්ප වෙනස් කරගැනීමට සුදානම් නම් කවුරු රටින් පිට වුනත් කෙටි කලකදී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් කල හැක. 

ඒ සඳහා 

නීතියේ ආධිපත්‍යට හිස නමන්න

පාලකයන් පත්කරගැනීමේදී නිවැරදි තීරණ ගන්න 

දුෂණය-වංචාව පිටු දැකීමේ පළමු පියවර ඔබ වෙතින් පටන් ගන්න 

ඉරිසියාව සහ කුහකකම ඔබගෙන් ඈත් කරන්න 

තමා වෙත තමා විසින්ම ගසා ගෙන ඇති ලේබල් ගලවා දමන්න නොහැකි නම් අඩුම ගණනේ බොඳ කර දමන්න 

අපි ඉන් පසු ලංකාව ගොඩගන්න මාර්ග සිතියම සාදමු 



Saturday, 19 August 2023

මා දුටු ලංකාව

 

ලංකාවේ ගත කල සති තුනක කාලය තුලදී මට නිරීක්ෂණ කිහිපයක් සිදුකල හැකි විය. ඒවා මම මෙසේ පෙලගස්වමි. මා කතා බස් කල සමාජ රාමු අතර තරමක් පිටිසර දුප්පත් ගැමි පරසරයක්, නගරයේ පහල ආර්ථික ස්ථර කිහිපයක්, ත්‍රිරෝද රථ සමාජය, මධ්‍යම පන්තියේ අප සාමාන්‍යයෙන් ඇසුරු කරන නෑ සිය මිතුරන්, holiday resort හතරකදී සහ තරු පහේ හෝටල් දෙකකදී මුණ ගැසුණු පිරිස් සහ රටේ ඉතාම ධනවත් කිහිප දෙනෙකුගේ නිවෙස් වලදී හඳුනා ගත් පිරිස් විය.

ලංකාවේ පවතින්නේ අතිශයින්ම කෘතීම වූ සමාජ-ආර්ථික ව්‍යුහයකි. 

රටේ භාණ්ඩ සහ සේවා මිළ නොසිතිය හැකි තරම් ඉහල අගයක ඇත. එළවලු මස් මාළු ඉතා මිල අධිකය. කුලී රථයක ගමනක් යාමට කිලෝ මීටරයකට රුපියල් 120-160ත් අතර මුදලක් අය කරයි. ත්‍රිරෝද රථයක නම් කිලෝමීටරයට රුපියල් 80-100ත් අතර මුදලකි.

එහෙත් ආර්ථික මධ්‍යස්ථාන සහ සුපිරි වෙළඳ සැල් වල බඩු භාණ්ඩ පිරී ඉතිරී ඇත. රෙදිපිළි විකුණන සාප්පු සංකීර්ණ වලද සෙනග අඩුවක් පෙනෙන්න නැත. Pick Me හෝ Uber රථයක් ගෙන්වා ගැනීමට සෑහෙන වෙලාවක් ගතවේ. ත්‍රිරෝද රථ බොහෝමයකද පාරිභෝගිකයෙකු නැති අවස්ථාවක් සොයා ගැනීම අසීරුය.

පන්ති බේදයකින් තොරව මා කතා බස් කල බොහෝ දෙනා රටේ ජීවත්වීමට ඇති අපහසු තත්වය පිළිබඳව දිගින් දිගටම කරුණු ඉදිරිපත්කරන්න විය. බොහෝ දෙනා තමන්ගේ ආදායම සහ වියදම පිළිබඳව ගණන් හිලව් පවා ඉදිරිපත් කරනු ලැබීය. ඇත්තෙන්ම ඔවුන්ට තම සමාජ පංති රාමුව තුල සැනසුම් සහගත ජිවිතයක් ගත කිරීමට නොහැකි බව ඉතාමත්ම පැහැදිලිය. පහල පන්තියේ සියළු දෙනාම කියා සිටියේ මීට වසර දෙකකට පෙර තමන් පරිභෝජනය කල දේ දැන් 50% ට වඩා අඩු කර ඇති බවයි.

අනෙක් අතට holiday resort සහ තරු පහේ හෝටල්වල අවන්හල් පිරී ඇති සේයකි. කොළඹින් බැහැර ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක කාමරයක් සති අන්තයේ book කරගැනීමත් පහසු නැත. බොහෝ මධ්‍යම පාන්තිකයන් රට පුරා විනෝද ගමන්වල යෙදෙති. 

වෘත්තිකයන් පවුල් පිටින් රට හැරයාම ඉතා දරුණුවට සිදුවෙමින් පවතී. අප සිටි සති තුන ඇතුලත පමණක් අප ඇසුරුකරන පවුල් 6 ක් ලංකාවෙන් නික්ම ගියහ. ඔවුන් අතර වෛද්‍ය, හෙද, සහ IT විශේෂඥයන් විය. මීට අමතරව තවත් අප හා කතා බස් කල විශාල පිරිසක් නුදුරු අනාගතයේදී රටින් නික්ම යාමට පිඹුරුපත් සකස් කර අවසානය. ඔවුන් සියළු දෙනාම පැවසුවේ රටේ ජීවත්වීමට නොහැකි තරම් ජිවන වියදම ඉහල ගොස් ඇති බවත් විශේෂයෙන්ම තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් එම තීරණය ගන්නා බවත්ය. සියලු දෙනාගේම ඇත්තේ එකම මැසිවිල්ලකි. ඔවුන් ඉදිරිපත් කරන කරුණු අතිශයින්ම සාධාරණය.

මේ පිටරට පදිංචියට සංක්‍රමණය වන බව කී වැඩි පිරිසක් මට හමු වුණේ තරුපහේ හෝටලයක හෝ නිවාඩු නිකේතනයක විවේක සුවය වෙනුවෙන් පැමිණ සිටින විටකදීය. 

මා මෙවර ලංකාවේදී  කල කිසිසේත් බලාපොරොත්තු නොවූ නිරීක්ෂණයක් ඇත. එනම් ජනතාව තුල දේශපාලනය කෙරේ ඇති ඉතා පහල උනන්දුවයි. වෙනදා අප හමු වූ විට කතාබස් කරන මුළු කාලයෙන් 80%ට වඩා දේශපාලන මාතෘකා සඳහා කැප කරන බොහෝ නෑදෑ - මිතුරු සමුහ මෙවර ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වුයේ නැත. මා දේශපාලනය පිළිබඳව මාතෘකාවක් බලෙන් ඇද ගත්තත් "ඕව කතා කරලා වැඩක් නැහැ චන්දිම, පුලුවන්නම් අපිට ජොබ් එකක් සෙට් කරලා දෙන්නකෝ ඔයා දන්න රටකින්" කියා කතාව නිම කරයි. සියළු දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් පිළිබඳව ඔවුන්ට ඇත්තේ ඉතා උදාසීන කලකිරීම් සහගත ආකල්පයකි.

ජවිපෙ පිළිබඳව ඇති සමාජ ආකල්ප පිළිබඳව මම වැඩි උනන්දුවකින් අධ්‍යනය කලෙමි. සමාජ මාධ්‍ය තුල ඔවුන්ට ඇති තැන රට තුල ඔවුන්ට නැති බව මගේ නිරීක්ෂණයයි. අමාරුවෙන් කතාවට අල්ලා ගත බොහෝ දෙනා කියා සිටියේ "රටට යමක් කරනවා නම් කල හැක්කේ ජවිපෙට පමණයි. නමුත් ඒ අයටත් දැන් ඇවිල්ලා කිසිදෙයක් කරන්න බැහැ" වැනි ප්‍රකාශයි. එසේම උසස් අධ්‍යාපනය වැනි මාතෘකා වලදී ජවිපෙ කිසිඳු ස්ථාවරයක නොමැති බවත් මේ නිසාම ඔවුන් බලයට පැමිණීම තුල යම් අන්තරායදායක තත්වයක් පවතින බවත් ප්‍රකාශ විය. 

මා දකින ආකාරයට ජවිපෙ තමන් මෙතෙක් කල ඓතිහාසික වරදක් repeat කරමින් සිටියි. එනම් ඔවුන් චන්දදායකයන් එකතුකරනවා වෙනුවට පාක්ෂිකයන් එකතුකිරීමට උත්සහ දරමින් සිටීමයි. 

මේ කෘතීම සමාජ-ආර්ථික රාමුව කාගේ නිර්මාණයක්ද? එහි අරමුණ සහ ගමනාන්තය කුමක්ද? ජනතාවට කල හැකි දෙයක් ඇත්ද? මා කල නිරීක්ෂණ තුලින් මා ගොඩනැගූ නිගමන නැවත කාලවේලාවක් ලැබුණු විට ඉදිරිපත් කරන්නම්. 


Wednesday, 19 July 2023

ගැටළුව කුමක්දැයි නොතේරීමේ ගැටළුව

වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව නොතේරෙන අයට එය තේරුම් කර දීම අපහසුය. මන්ද ඔවුන්ට අවශ්‍ය ගැටලුව තේරුම් ගැනීමට නොවන නිසාය. මේ ලියන්නේ යමක් සිතීමේ හැකියාව ඇති අය වෙනුවෙනි. 

බොහෝ අයට ඇති ලොකුම ගැටළුව වෘත්තිකයා define කර ගැනීමට නොහැකි වීමයි. වෘත්තිකයෙක් (professional) යනු යම් ක්ෂේත්‍රයක නිසි පුහුණුව, කුසලතා වර්ධනය, අත්දැකීම් සහ පළපුරුද්ද ලැබූ නිපුණයෙකි. මේ අනුව වෘත්තිකයෙක් බිහි වීමට සෑහෙන කාලයක් ගතවේ. එසේම ඒ සඳහා ජේෂ්ඨ වෘත්තිකයන් සිටීමද අවශ්‍යවේ. ඔවුන් අපි "trainers of trainers" යනුවෙන් හඳුන්වමු. වෘත්තිකයන් වෛද්‍ය හෝ ඉංජිනේරු වෘත්තියේ සිට පෙදරේරු හෝ මැටි කර්මාන්තය දක්වා විශාල පරාසයක විහිදී ඇත. 

සමහර ලාංකිකයන්ගේ ඊළඟ අවුල තවත් ලාංකිකයෙක් රටින් නික්ම ගොස් ඇත්නම් ඔහු හෝ ඇය ගියේ කුමක් නිසාද, යන්න පෙර සහ පසුව එම පුද්ගලයා රටට කල සේවය, දැනටත් කරන සේවය, විදේශ ගත අයෙකුට තමන්ගේ උපන් රට වෙනුවෙන් කල හැකි සහ නොහැකි දේ මොනවාද ආදී වූ කිසිම දෙයක් නොදැන කියවීමයි. එය සමහර විට සමහර ලාංකිකයන්ගේ පාරම්පරික ගතිය විය හැක. 

ඊළඟ කරුණ, මේ වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව පිළිබඳව  මා නැවත නැවත පවසන්නේ එසේ රට හැර යන වෘත්තිකයන්ට දෝෂාරෝපණය කිරීමට නොවේ. එම වෘත්තිකයන් රට හැර යන තත්වයට රට බංකොලොත් කල දේශපාලකයන්ට බැනිමටද නොවේ. ඒ තබා ඒ දේශපාලකයන් පත් කර ඔවුන් හොර මැර තක්කඩිකම් කරද්දී ඔල්වරසන් දෙමින් ප්‍රශස්ති ගී ගැයූ අබුද්ධික ජනතාවට දොස් පැවරීමටද නොවේ. සිදු වූ දේ සිදුවී හමාරය. ඒ ගැන තව දුරටත් අදෝනා නැගීමෙන් පලක් නැත. සිදුවෙමින් පවතින දේ වලකා ගත යුතුය. 

වෘත්තිකයෙකුගෙන් උපන් රටට සේවය ලබා ගැනීමට ඔහුගේ භෞතික පදිංචියේ බලපෑම විවිධාකාරය. සමහර වෘත්තිකයන්ගේ පදිංචි දේශය මීට කිසිසේත් අදාළ නොවේ. IT විශේෂඥයන්, සහ බොහෝ consultant ලා මේ ගණයට වැටේ. සමහර වෘත්තිකයන්ට ලෝකයේ කොහේ සිටියත් අවශ්‍ය නම් උපන් රටට සෑහෙන යමක් කල හැක. පර්යේෂකයන්, උසස් අධ්‍යයනිකයන්, බොහෝ ව්‍යවසායකයන් මීට අයිති වේ. සමහර වෘත්තිකයන්ට උපන් රටේ උන්නතිය වෙනුවෙන් යම් සීමිත දායකත්වයක් ලබා දිය හැක. විශේෂඥ වෛද්‍යවරුන්, ඉහලම පෙලේ නීතිඥයන්, ඉංජිනේරු විශේෂඥයන්, ඇතුළු අවශ්‍යතාවයකදී ලංකාවට කෙටි කාලීනව පැමිණ දායකත්වය ලබා දීමේ හැකියාව ඇති අය මීට ඇතුලත් වේ. නමුත් රටේ අති බහුතරයක් වෘත්තිකයන් ඉහත කිසිම කුලකයකට අයත් නොවේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, හෙදියන්, ගණකාධිකාරීවරුන්, පොත් තබන්නන්, නීතිඥයන්, විද්‍යුත්-මෝටර්-වඩු ඇතුළු සියළුම පුහුණු කාර්මිකයන්, පෙදරේරුවන්, බස් රථ රියදුරන් ආදී විශාල පරාසයක් මීට ඇතුලත් වෙයි. ඔවුන් රට හැර ගියොත් ඒ අඩුව පිරවීමට ඉතා අසීරුය. සමහර විට ඊට අඩ සියවසක් හෝ සියවසක් ගතවිය හැක. 

භාරතයේ බුද්ධිමය තෝතැන්න ලෙස හැඳින් වූ බෙංගාලයේ (පසුව නැගෙනහිර පකිස්ථානය හා බංගලාදේශය) 1970-71 සමයේදී සිදු වූ වෘත්තික සංහාරය සහ ඉන් අනතුරුව සිදු වූ වෘත්තිකයන් විශාල ගණනක් කෙටි කාලයකදී රට හැර යාම (exodus of professionals) පිළිබඳව හදාරා බලන්න. ඔබට වැටහේවි බංගලාදේශය අන්ත දුප්පත් රටක් වුයේ ඇයිද කියා. අදටත් ඔවුන් මේ තත්වයෙන් ගොඩ ඒමට දැඩි ලෙස උත්සහ දරයි. 

එදා බොහෝ වෘත්තිකයන් රටින් නික්ම ගියේ යම් මුදලක් උපයාගෙන නැවතත් ලංකාවට පැමිණ සුව පහසු ජීවිතයක් ගත කිරීමටයි. නමුත් අද කොරියාවට යන තරුණයාගේ සිහිනයත් වෙනත් රටකට කෙසේ හෝ පදිංචිය සඳහා පැනගනිමටයි. අනතුර ඇත්තේ මෙතැනයි. මෙය වෙනස් කරන්නේ කෙසේදැයි මම නොදනිමි. නමුත් අඩුම ගණනේ අපි ඒ ගැන සාකච්චා කල යුතු නොවේද?


              


Wednesday, 12 July 2023

මගේ ආගම


මීට සති දෙකකට පමණ පෙර අපේ සරසවියේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක්ගෙන් මට ඇමතුමක් ලැබුණි. සිය ආචාර්ය උපාධි අපේක්ෂක සිසුවියකට තම නිබන්ධනය සඳහා මහාචාර්ය වරුන් 50කගේ පමණ ආගමික මතවාදයන් පිළිබඳව අදහස් විමසිය යුතු බවත් ඒ සඳහා මගේ සහභාගිත්වය අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියේය. කාලය මට මිළ අධික වුවත් ඔහු හා පවතින මිත්‍රත්වය නිසා මම ඔහුගේ සිසුවියට අදාළ කාලය ලබා දුනිමි.

ඇය මා සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාව ඇයගේ පසින් සම්පුර්ණයෙන්ම අසාර්ථක බව මට අවබෝධ වෙයි. නමුත් එය ඔබට වැදගත් විය හැකි බැවින් මෙසේ ඉදිරිපත් කිරීමට මම තීරණය කලෙමි. 

--------------------------

ඇය: ඔබේ නම චන්දිම ගෝමස් මේ අනුව ඔබ පාරම්පාරික කතෝලිකයෙක් යයි මා සිතනවා. 

මම: නැහැ ඔබ වැරදියි. මගේ දෙමව්පියන් පාරම්පාරික බෞද්ධයන්. මා උපදින විටම මට බෞද්ධ කියා ලේබලයක් තිබුණා.

ඇය: සමාවෙන්න. ඒ කියන්නේ ඔබ බෞද්ධයෙක් 

මම: නැහැ ඔබ වැරදියි. මම මා වෙත එහෙම ලේබලයක් ගසාගෙන නැහැ.

ඇය: සමාවෙන්න. ඒ කියන්නේ ඔබ බෞද්ධයෙකු නොවේ. එසේ නම් දැන් ඔබ අදහන්නේ කුමන ආගමක්ද?

මම: මම එහෙම කිසිම ආගමක කියා ලේබලයක් ගසාගෙන නැහැ.

ඇය: ඒ කියන්නේ ඔබ දෙවියන් අදහන්නෙක් නොවෙයිද (are you an atheist?)

මම: නැහැ. ඔබේ ප්‍රශ්ණය ව්‍යාකුලයි. මම බෞද්ධයෙක් වුණා නම් ඒත් මම athesist කෙනෙක් වෙනවා. 

ඇය: ඒ කියන්නේ ඔබ නිරාගමිකයෙක් (are you a secularist)?

මම: නැහැ. මම විවිධ ආගමික කටයුතු වල නියැලෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 

ඇය: ඒ කියන්නේ ඔබ සර්ව ආගම්වාදියෙක් (then are you an omnist)?

මම: මම දන්නේ නැහැ. මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔබ මාව මේ ලෙස ලේබල්ගත කරන්න හදන්නේ කියා. 

ඇය: සමාවෙන්න. මට හිතෙන්නේ ඔබ නිදහස් චින්තකයෙක් කියා (I think you are a free thinker).  

මම: මට ඔබගේ ගැටළුව වැටහෙනවා. ඔබට මාව කුමන හෝ කැටගරියකට ලේබල් කරන්නේ නැතුව ඉදිරියට මේ සාකච්චාව කරන්න බැහැ. 

ඇය යම් ඉච්චා භංගත්වයට පැමිණුනු විලසකින් මා දෙස බලා සිටියාය. මම ඇයට මෙලෙස කිව්වෙමි.

මම: මා කියන දේ තේරුම් ගැනීමට මම ඔබට උදාහරණයක් දෙන්නම්".

මම: ඔබ දැන් සමාජ විද්‍යාව හැදෑරුවත් පාසලේ යම් මට්ටමකට සාමාන්‍ය විද්‍යාව හදාරන්නට ඇති. ඒ නිසා මේ කියන දේ ගැන ඔබ දන්නවා. හිතන්න, මට අවශ්‍ය වෙනවා කුඩා රොකට්ටුවක් හදන්න. මේ සඳහා මට අයිසැක් නිව්ටන් ඉදිරිපත්කල නියම යොදාගන්න සිදුවෙනවා. මේ නිසා මම "නියුටෝනියන්" කෙනෙක් වෙනවාද? මට යම් තාරකා විද්‍යා ගැටළුවක් විසඳීම සඳහා ඇල්බට් අයින්ස්ටයින්ගේ වාදයන් යොදා ගැනීමට සිදුවෙනවා. දැන් මම "අයින්ස්ටයිනියන්" කෙනෙක් වෙනවාද? මේ කිසිම විද්‍යාත්මක න්‍යායක් භාවිත කිරීමට අවශ්‍ය නොවන වෙලාවට මම "අවිද්‍යාත්මක පුද්ගලයෙක්" වෙනවාද?

ඇය විපිළිසර දෑසින් යුතුව මා දෙස බලා සිටියි. මේ ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයකි.

මම: මගේ ආගම භාවිතාකිරීමත් මේ ආකාරයටමයි. යම් අභියෝගයකට මුහුණ දීමට ඇතිවිට හෝ සිතේ තද කැළඹීමක් ඇති වූ විට මම පන්සලකට ගොස් නිසංසල තැනක ඉඳගෙන ඉන්නවා. එහි පුජනීය ස්ථානවලට වන්දනා මාන කරනවා. පන්සලක් අසලක නැත්නම් කෝවිලකට හෝ පල්ලියකට යනවා. දෙවියන් යදිනවා.  මට මරණින් මතු පැවැත්ම/හෝ නොපැවැත්ම වැනි ගැටළු පිළිබඳව ස්වයං-විශ්ලේෂණ කිරීමට සිතුන විට මම බෞද්ධ, අද්වෛත වේදාන්ත හෝ ජෛන දහමේ සංකල්ප යොදාගන්නවා. ඒ අවස්ථාවේදී මගේ දැනුම් සම්භාරයේ සහ තර්කන හැකියාවේ මට්ටමට අනුව සුදුසු මොඩලයක් තෝරා ගන්නවා. මම සහමුලින්ම මානසිකව වැටුණු විට මම දෙවියන්ගෙන් පිහිට ආශීර්වාදය පතනවා. මට සමාජ ඇසුර සහ බැඳීම් අවශ්‍ය වූ විට මම බෞද්ධ සමාජය හා එක්ව වත් පිළිවෙත් කරනවා. එබඳු සමාජයක් නැති අවස්ථාවල මම කතෝලික හෝ ඉස්ලාම් සමාජයට අනුගත වෙනවා. මම සතුටින්, සැහැල්ලුවෙන් සිටින බොහෝ අවස්ථාවල මට මේ කිසිවක් වුවමනා නැහැ".  

මා ඉදිරියේ සිටින සිසුවිය බලාපොරොත්තු කඩ වූ මුහුණින් මා දෙස බලා සිටින්නීය. ඇයට මා පවසන දේ නොතේරෙන බව නම් සහතිකය. ඇයගේ මුහුණේ ඇත්තේ "අපරාදේ මගේ කාලේ. මේ interview එකෙන් කිසිම වැඩක් නැහැ" යන හැඟීමයි. 

ඇය: සමාවෙන්න, මට ඊළඟට ඇති ප්‍රශ්ණ 20 ක් පමණ ඔබගෙන් අසා වැඩක් නැහැ"  

මගේ කුතුහලය උදෙසා ඒ එක ප්‍රශ්නයක් මට පැවසිය හැකිදැයි මම ඇසුවෙමි. 

"ඔබ කතෝලිකයෙකු ලෙස ඉස්ලාම් දහම දෙස බලන්නේ කෙලෙසද?" ඇය මා කතෝලිකයෙකු යයි මූලික උපකල්පනයක් කර තිබු බැවින් එහි බොහෝ ප්‍රශ්ණ මේ මත ගොඩනගාගෙන ඇති බව මම සිතමි.

ඇය: "අන්තිම ප්‍රශ්ණ දෙක මට ඔබගෙන් ඇසිය හැකියි".  

ඇය: "LGBTQIA+ පිළිබඳව සාමාන්‍ය සමාජය සහ රජය/නීතිය බැලිය යුතු ආකාරය පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?" 

මම: "කෙනෙකුගේ ලිංගික දිශානතිය එම තැනැත්තාගේ අයිතියක්. ඒ පිළිබඳව විනිශ්චය කිරීමට සමාජයට හෝ නීතියට නොහැකියි. මේ නිසා තමන්ගේ ලිංගික දිශානතිය සඟවා ගැනීමට බලකිරීමට හෝ පාර්ශව දෙකක් (හෝ වැඩි ගණනක්) සිය කැමත්තෙන් පෞද්ගලික ස්ථානයක ලිංගිකව හැසිරීම තහනම් කිරීමට නීති පැනවීම සමාජයක් විසින් සිදු නොකළ යුතුයි. අනෙක් අතට මෙතෙක් පැවති සියළු ජන සමුහ (හෝ ශිෂ්ඨාචාර) විරුද්ධ ලිංගික හැසිරීම සම්මතයක් ලෙස පිළිගත්තේ වර්ගයාගේ පැවැත්ම සඳහායි. අදටත් එය වලංගුයි. මේ නිසා LGBTQIA+ ප්‍රවර්ධනය කිරීම මම අනුමත කරන්නේ නැහැ. කලයුත්තේ සමාජය ඊට එරෙහිවීම වලක්වීමයි".

ඇය: "ඔබගේ ජිවිතයේ මූලික අරමුණ කුමක්ද? ඒ වෙනුවෙන් ඔබ කරන්නේ කුමක්ද?"

මම: "ජිවිතයට අරමුණු දමා ගැනීම භයානකයි. එය ඔබගේ සතුට විනාශ කරනවා. මම හැමවිටම උත්සහ ගන්නේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වන්න. ඒ සඳහා මම කරන්නේ මා වෙතට ලේබල් අලවා නොගැනීමයි. ඔබගේ සියළු දුක් දොම්නස් ඇතිවන්නේ තමාට ලේබල් ගසා ගැනීමෙන් හෝ තමා වෙත අනුන් ගසන ලේබල් බාර ගැනීමෙන්. එවිට ඔබ ලේබලය වෙනුවෙන් සටනට බසිනවා. එය දුකට මුලයි".

ඇයට මෙන්ම ඔබ බොහෝ දෙනෙකුටත් මා කියන දේ නොතේරෙනු ඇත. 






   




Sunday, 9 July 2023

අරගලය ගැන කෙටි සටහනක්


අරගලය මධ්‍යම පන්තියේ නිර්මාණයකි. එහි කිසිඳු වරදක් ඇතැයි මම නොසිතමි. එයට පිතෘත්වය දීමට ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නොහැකියැයි මම කියමි. ලංකාවේ ස්වයං ජන නැගිටීමක් සිදුවේ නම් (අනාගතයේ හෝ) එය සිදුවන්නේ මධ්‍යම පාන්තිකයා තුලින් පමණි. ධනපති පන්තියට නැගිටීමට අවශ්‍ය නැත. ඔවුන්ට සයනයේ සැතපීගෙන වුවත් බොහෝ වෙනස්කම් කල හැක. පීඩිත (පහලම තලයේ) පන්තියට ස්වයං නැගිටීමකට සරිලන සුහුරු බුද්ධියක්, දැක්මක් හෝ ජාලගතවිමක් (netwoorking) නැත. මේ නිසා ලෝකයේ කොතැනකවත් පීඩිත පන්තිය තුල ස්වයං නැගිටීමක් සිදුවී නැත. එම පන්තිය අරගලයකට අවතීර්ණ කිරීමට නම් විචාරශීලි සහ අවයාජ වූ ශක්තිමත් නායකත්වයක් අවශ්‍යය. 

ලංකාවේ පීඩිත පන්තිය ජන අරගලයකට කැඳවිය හැකි සන්ධිස්ථාන කිහිපයක්ම තිබු බව පෙනෙයි. නමුත් මෙම පන්තියට නායකත්වය දෙනවා යයි කියන කිසිම කණ්ඩායමක් මේ සඳහා එම පන්තියේ ජන සමුහය යොමු කලේ නැත. ඒ වෙනුවට ඔවුන් එක්කෝ දේශපාලන වාසි වෙනුවෙන් පාලක පන්තිය හා අත්වැල් බැඳගත්හ. නැත්නම් පාලක පන්තිය වෙතින් ඇතිවූ පෞද්ගලික අසාධාරණකම්වලට එරෙහිව අවි ගත්තෝය. මේ අවස්ථා දෙකේදීම ඔවුන් පීඩිත පන්තිය පොරොන්දු දේශයකට රැගෙන යනවා වෙනුවට  තව තවත් පීඩනයට පත් කලෝය.  

ලෝකයේ කොතැනක වුවත් ජන විපර්යාසයක් සිදුවන විට එයින් උපරිම ඵල නෙලාගැනීමට මාන බලන දේශීය දේශපාලන බල කේන්ද්‍රයන් මෙන්ම කලාපීය සහ ගෝලීය බලවතුන්ද ඇත. අරගලය ස්වයං-ජාතක වුවත් එහි පැවැත්ම සඳහා එක් අවස්ථාවක ශක්තිමත් නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක් සහ මාර්ග සිතියමක් අත්‍යවශ්‍ය විය. ඒ අවස්ථාවේ මම පුන පුනා මේ පිළිබඳව ලිව්වෙමි. නමුත් එය සිදු වුයේ නැත. දැන් සියල්ල ඉතිහාසයට එකතුවී ඇත.

නමුත් අද අරගලකරුවන්ටත් අමතක වූ දෙයක් ඇත. එනම් අරගලය ඇරඹු සටන් පාඨය එහි අරමුණ වී නම් මෙය ඉතා ජයග්‍රාහී ලෙස අවසන් වූ ලෝකයේ සාර්ථකම ස්වයං ජන නැගිටීමක් බවයි. 

ලංකාවේ බොහෝ දෙනෙකුට දැන් අරගලය ඇති වුණේ ඇයිදැයි මතක නැත. එය ලාංකිකයාගේ සාමාන්‍ය ස්වභාවයයි. අන්තිමට රට බංකොලොත් වුණේ අරගලය නිසා යයි කියන පඬි රුවන්ද නැත්තේම නැත. ගැටළුවක මූලය අමතක කර තමා ප්‍රිය කරන තක්කඩි දේශපාලුවන් රැකගැනීමට පමණක් විකාරරූපී හේතු ඉදිරිපත් කරමින් විලාප නගන ජන සමූහය බහුතරයක් වන තාක් කල් ලංකාව ඉදිරියට යතැයි සිතීම අසීරුය. 


Friday, 7 July 2023

මේරිගේ කොළුවා

අපහාසය, උපහාසය, උත්ප්‍රාසය, හාස්‍ය යන වදන් වල ඇති වෙනස තේරුම් ගැනීමට සමත් වියත් සමාජයක් ලංකාවේ විසීය. ඒ ලංකික සාහිත්‍ය උච්චතම අවස්ථාවට පත් වූ 60-70 යුගයේය. කෘත හස්ත ලේඛකයෙකුට භව තරණය වැනි පොතක් පලකරන්න එකල කිසිඳු අවුලක් නොවීය. එය කියවා රස විඳීමට පමණක් නොව නිර්දය ලෙස එය විවේචනය කිරීමටද හැකි ඉහල මට්ටමේ සෞන්දර්යාත්මක විචාර බුද්ධියක් සහිත ජන විඥානයක් එකල තිබුණි.

ජාතියක් ලෙස ලාංකිකයාගේ තර්ක ඥානයේ පසුබැස්ම ඇති වුනේ කුමන කාලයකදීද කියා මා දන්නේ නැත. නමුත් මේ අප ගත කරන්නේ එහි පතුලෙහි නොවන බව නම් මට විශ්වාශය. ඔබ තව ගැඹුරට වැටීමට ඉඩ ඇත.

"ඕක ඉස්ලාම් ආගම ගැන අරාබියේදී කිව්වා නම් මොකද වෙන්නේ" කියා අසන පිරිස්ද ඇත. මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ "අපි යා යුත්තේ ඒ පැත්තට" යන බවයි. යුරෝපයේ ජිවත්වන මෙන්ම යුරෝපයේ ජිවත් වීමට සිහින මවන බොහෝ ලාංකිකයන් මනසින් සිටින්නේ ඇෆ්ඝනිස්ථානයේ බව මා කලින් ප්‍රකාශ කලේ මේ නිසාය. 

ලොව ප්‍රකට standup commedianලා ආගම් පිළිබඳව කරන උපහාසාත්මක, උත්ප්‍රාසය දනවන මෙන්ම හාස්‍ය ජනක ඉදිරිපත්කිරීම් දහස් ගණනක් You Tube එකේ ඇති බව වත් මේ පිරිස දන්නේ නැත. නොඑසේ නම් ඔවුන්ට භාෂාව පිළිබඳව ගැටළුවක් තිබෙනවා විය හැක. 

පහත ඇත්තේ එක් උදාහරණයක් පමණි.

https://www.youtube.com/watch?v=LbP4KttZOcc


Thursday, 29 June 2023

නාඳුනන පිස්සා


කාලයක් තිස්සේ මෙම බ්ලොග් ලිපිවල කමෙන්ට් ලෙස මට දැඩි ලෙස අපහස කරමින් ලියූ පුද්ගලයා වෙනුවෙන් සටහනක් තැබීමට සිතුනි. ඒ ඔහු මේ බ්ලොග් අඩවිය වෙනුවෙන් කැප කල කාලය උදෙසා පල කරන ගෞරවයක් ලෙසය. මේ බ්ලොගය තුල දශකයකට වඩා කාලයක් අදහස් පලකල කිහිප දෙනෙක් මෙම පුද්ගලයා "පිස්සා" ලෙස බෞතිස්ම කලෝය. පිස්සාගේ අපහාසද පිස්සට එරෙහිව නැගෙන ප්‍රති අපහාසද එක්තරා අවස්ථාවක සීමාවන් ඉක්මවා යන්නට වූ බැවින් මට අකමැත්තෙන් වුවද මෙම බ්ලොගයේ යම් සීමා පනවන්න සිදුවිය. එහෙත් බ්ලොගය තවමත් පිස්සාට විවෘතය. පිස්සා කියනා දේ ගැන පිස්සාට ආත්ම විශ්වාසයක් සහ අභිමානයක් ඇත්නම් පිස්සාට පිස්සාගේ සැබෑ නමින් අදහස් පලකල හැක. ඒ සඳහා මගේ සියළු සමාජ මාධ්‍ය අඩවියන්ද පිස්සාට විවෘතය. 

පිස්සාට ඉක්මන් සුවය පතමි 

Wednesday, 28 June 2023

නෝනා සහ භූතයා


මේක පරණ කතාවක්. 

අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් ට්‍රිප් එක ගියාලු ලංකාවේ ටිකක් ඈත පළාතකට. දෙන්න දෙවෙනි දවසේ ටිකක් කම්මැලි හිතිලා ක්‍රිකට් පාරක් ගහන්න තීරණය කළා. හෝටලේට එහා පැත්තේ තියෙන ලඳු කැලෑවක් ළඟ පාලු බංගලාවක් තියෙනව. මේ දෙන්න එකේ වත්තට ගිහින් ක්‍රිකට් ගහන්න පටන් ගත්ත. මහත්තයා නළවල හෙමින් දාපු බෝලෙකට නෝනා වැර දාල ෂොට් එකක් ගැහුවල. බෝලේ උඩින් ගිහිල්ල පාළු බංගලාවේ උඩ තට්ටුවේ කාමරයක ජනෙල් වීදුරුවකුත් කඩා ගෙන ඇතුලට වැටුන.

දෙන්නත් එක්ක බෝලේ හොයන්න බයෙන් බයෙන් බංගලාවට ඇතුල් වෙලා සොල්දරේ උඩට නැග්ග. මෙන්න අර කාමරේ ඇතුලේ අඩ අඳුරේ පේනවලු බිම වැටිලා කුඩු වෙලා ගිය ලන්තෑරුමකුයි ඒ  ලඟම හිටගෙන ඉන්න සරම් කොටයක් විතරක් ඇඳගත්ත උස මහත යෝධයෙක් වගේ කළුම කළු මිනිහෙකුයි.

"ඔහෙලා දෙන්නද මේ බෝලේ එවල ලන්තෑරුම කුඩු කලේ" යෝධයා මහා හඬින් ගෝරනාඩු කලා.

"අනේ අපිට සමාවෙන්න. හිතල කලේ නැහැ. අපි අළුතෙන් ලන්තෑරුමක් අරන් දෙන්නම්" කියල මහත්තයා බැගෑපත් වුනා.

"ඒකට කාරි නැහැ. මම තමයි මේ ලන්තෑරුම ඇතුලේ හිරවෙලා අවුරුදු දහස් ගාණක් හිටපු භූතයා. මේක කඩල ඔහේලා මාව නිදහස් කළා"

"හම්මේ යාන්තන් ඇති" කියල දෙන්නම ලොකු හුස්මක් ගත්ත.

" මාව නිදහස් කලාට ඔහෙලට මම ඕනෑම වර තුනක් ඉල්ලන්න දෙනවා. හැබැයි එක කොන්දේසියක් පිට" භූතයා කිව්ව.

"මොකක්ද මොකක්ද කියන්න අපි කරන්නම්" කියල මහත්තයටත් ඉස්සර නෝනා කතා කලා.

"මම අවුරුදු දහහ්ස් ගණනකින් ගෑණු පුළුටක් එක්ක ඉඳල නැහැ. මේ නෝන එක්ක මට මට පැය තුනක් ඉන්න දෙනවා නම් වර තුනම දෙන්නම්" කිව්ව.

දැන් නෝනයි මහත්තයයි මූණට මූණ බලනවලු. කල්පනා කරනව. ඔය අතරේ මහත්තය කිව්ව "ඔන්න ඔහේ ඕකට කැමති වෙමු අනේ. මිනිහෙක්යෑ භූතයෙක්නේ" කියල.

"අනේ ඒ වුණාට මට මොකක්ද වගේ අනේ" කියල නෝනා ඇඹරෙන්න ගත්ත.

"පැය තුනයිනේ. ඔන්න ඔහේ ඉන්න අනේ. මම අපිට ජිවිත කාලෙටම ජොලියේ ඉන්න පුළුවන් වර තුනක් ඉල්ලන්නම්" මහත්තය කිව්වා.

නෝනත් ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා කැමති වුණා. 

මෙයාලගේ කැමැත්ත අහපු භූතයා මහත්තයට කිව්වා වර තුන ඉල්ලන්න කියල. 

"අපේ අතුරුගිරියේ තියෙන ගේ මාලිගාවක් වගේ විශාල වෙන්න ඕනේ"

භූතයා දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"ගෙයි කාමර තුනක් පිරෙන්න රත්තරන් පුරවන්න"

භූතයා ආයෙමත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"ගෙදර ඕනෑම වැඩක් ඕනෑම වෙලාවක කරලා දෙන සේවකයෙක් මවන්න"

භූතයා තුන්වෙනි පාරටත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"දැන් ඉතින් මහත්තයා හෝටලේට යන්න මම පැය තුනකින් නෝනව එවන්නම්" භූතයා කිව්වා 

හිතට ටිකක් මොකක්ද වගේ දැනුණත් මහත්තය හෝටලේට දිව්වේ හරිම සතුටින්.

ඔන්න ඉතින් භූතයයි නෝනායි අපූරුවට කාරිය කරගෙන ඇඳේ දෙපැත්තේ හාන්සි වෙලා ගිමන් අරිනවා. 

"නෝනා ඉහලට ඉගෙනගෙන එහෙම තියෙනවද?" භූතයා ඇහුවා.

"අපොයි ඔව්. එංගලන්තේ චාර්ටඩ් අකවුන්ටන්සි ඉහලින්ම පාස් වෙලා ජපුර කැම්පස් එකේ එම් බී ඒ එකකුත් කළා"

"එතකොට මහත්තයා?" 

"එයා කොළඹ කැම්පස් එකේ කෙමිස්ට්‍ට්‍රි ස්පෙෂල් එකක් කරලා, ඒකෙම මාස්ටර් එකත් කරලා දැන් පී එච් ඩී එකට රෙජිස්ටර් වෙලා ඉන්නේ"

භූතයා ලොකු සුසුමක් ඇරලා මෙහෙම කිව්වා 

"අනේ ඉතින් මේ නෝනලා මහත්තයලා මෙච්චර දුරට ඉගෙන ගෙනත් තවම මේ භූත කතා විශ්වාස කරනවනේ" 


Monday, 19 June 2023

අන්ඩ දමා පැච් ඇල්ලු සිහින


මෝසස්ගේ පොරොන්දු දේශයේ සිට සියළුම නායකයන් ජන සමුහයන්ගේ පැවැත්ම සහතික කලේ ජනතාව අතර සිහින ගොඩ නැගීමෙනි. ශිෂ්ඨාචාරයක ඉදිරි ගමන උදෙසා සිහින නැත්නම් බලොපොරොත්තු අත්‍යවශ්‍යය. සිහින බිඳ වැටුණු කල ජන සමුහ විසිරී යයි. ඔවුන් නව සිහින සොයා දේශාටනවල යෙදෙයි. ලංකාවේ දේශපාලකයන් ජනතාවගේ සිහින බොඳ කරන විට මිනිසුන් "දියසේන උප්පත්තිය", "රාවණා නැගිටීම" වැනි සංකල්ප ඔස්සේ හෝ සිහින තනන්නට උත්සහ ගත්හ. 

පසුගිය සමයේ රජය සුනු විසුණු කර දැමුවේ මේ ජනතා සිහිනයයි. ඔබ අද ගුවන් තොටුපලේ, පාස්පෝට් කාර්යාලයේ, තානාපති කාර්යාලවල දකින්නේ මේ සිහින නොමැති මිනිසුන් සිහින සොයා යාමයි. මේ එදා සිහින පොදි බැඳගෙන තාප්ප වල චිත්‍ර අඳින්න, පුරන් කුඹුරු අස්වද්දන්නට ඉදිරියට පැමිණි තරුණ පෙලමයි. 

රනිල් වික්‍රමසිංහගේ 2048 සංවර්ධනය මේ ජනතා සිහින රෙපයාර් කිරීමේ අවසාන උත්සාහය ලෙස මම දනිමි. 

නමුත් අද ලාංකිකයා රනිල්ගේ අන්ඩ දමා පැච් ඇල්ලු සිහින හාස්‍යයෙන් යුතුව බැහැර කරන බව පෙනෙයි. 



Sunday, 18 June 2023

මෙව්වා එකෙන් රට හදන අපි



"හැකියාවක් ඇති අන්තිම වෘතිකයාත් රටින් නික්ම ගිය දිනෙක ඉතිරිවන දේශමාමකත්වය දෝරේ ගලන ලාංකිකයන් ලංකාව මෙව්වා එකෙන් දියුණු කරනු ඇත".

ඉහත FB පොස්ට් එකට අදහස් පලකල සැමට තුති.

මෙම පෝස්ට් එක මම පළ කලේ ලංකාව මේ වන විට මුහුණ දී සිටින බරපතලම ගැටළුවක් ලාංකිකයා කෙතරම් දුරට ග්‍රහණය කරගෙන ඇත්දැයි යන්න පිළිබඳව යම් අදහසක් ගැනීමටයි. බලාපොරොත්තු වුවා සේම බොහෝ දෙනෙකුට ගැටළුව ග්‍රහණය කරගැනීමට තබා මා කියන කාරණය තේරුම් ගැනීමටවත් පුළුවන් වී නැත.

සමහරෙක් තමා ජිවත් වන යුරෝපීය රටවල්වල වෘතිකයන් (professionals) යන වදන අසාවත් නැත.

සමහරෙක්ට අනුව වෘතිකයන් කිසිම වැඩකට නැති පිරිසකි. ඔවුන්ගෙන් රටට කිසිඳු දියුණුවක් ලැබී නැත. මේ නිසා ඔවුන් රට හැර යාම හොඳය.

බොහෝ දෙනෙකුට ඇත්තේ වෘතිකයා පිළිබඳව තමා විසින්ම කරගන්නා ලද අර්ථ දැක්වීමකි. ඒ අනුව වෘතිකයන් යනු දොස්තරවරුන්, ඉංජිනේරුවන් වැනි විශේෂ කණ්ඩායමකි. ඉන්පසු ඔවුන් තමන්ගේම ස්වයං අර්ථ කථනයට තමන්ම බැන වදිති.

ගැටළුවක් නැට්ටෙන් අල්ලා ගැනීම ලෙස ජන ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ මෙයයි. අපි එය ඔලුවෙන් අල්ලා ගැනීමට උත්සහ දරමු.

වෘතිකයා යනු යම් ක්ෂේත්‍රයක් තුල නිපුණත්වයක් ලබාගෙන එය ජීවිකාව කරගත් අයෙකි. මේ අනුව වෘතිකයා දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරී, ගුරුවරු, පෙදරේරු, වාහන රෙපයාර් කරු, පේන්ට් බාස්, ක්‍රීඩකයන් ආදී විශාල පරාසයක පැතිරෙයි. වෘතිකයෙකු සහ ආධුනිකයෙකු අතර ඇති වෙනස් කම් කිහිපයකි. එනම් වෘතිකයෙකු වීමට අවශ්‍ය විධිමත් පුහුණුව, ක්ෂේත්‍රීය දැනුම සහ අත්දැකීමයි. මේ අවශ්‍යතා සපුරාලීමට කාලය ගතවෙයි. "හැකියාවක් ඇති වෘතිකයන් (capable professionals)" යනු තමන්ගේ නිපුණත්වය මනාව ක්‍රියාවේ යෙදවිය හැකි පිරිසයි. මෙවන් වෘතිකයන් රටකට අහිමිවීම තුල ජනතාවට බොහෝ දේ අහිමි වෙන්නේ මේ නිසාය.

රටක් දියුණු කිරීම වෘතිකයාගේ කාර්යභාරය නොවෙයි. වෘතිකයාගේ කාර්යභාරය රටක එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමයි. රටක් දියුණු කිරීම සැලසුම් සම්පාදන සහ තීරණ ගැනීමේ බලය හිමි පිරිස මත රඳා පවතී. ඒ සඳහා හොර තක්කඩි මැටි මෝලුන් පත් කරගෙන වෘතිකයා රට හදන කම් බලාගෙන සිටින නුවණක්කාරයන්ද ලංකාවේ ඇත.

අද වන විට මෙම වෘතිකයන් සිය දහස් ගණනින් රටින් පිටවෙයි. වෙනදා මෙන් නොව අද කොරියාවට යන තරුණයාගේ සිහිනයද එහිම පදිංචි වීමයි. නැත්නම් ළඟ පාත රටකට පැනගැනිමයි. අන්තිමේදී පුහුණුවකට යන ඉහළ පෙලේ පොලිස් නිලධාරින්ද ඒ රටවල ගල් වෙන තත්වයකට පත්ව ඇත.

තමන්ගේ දේශපාලන කන්නාඩිය මත බුද්ධිය සිර කර මේ ගැටලුව දෙස බැලීමෙන් වලකින්න. තමන්ට බෙහෙතක් ගන්න දොස්තර කෙනෙක් නැතිව UNO එකේ පිං සායනයට දුවන්න වූ විට, ගෙයකට ප්ලෑනක් ඇඳගන්න ගෘහ නිර්මාණ ශිල්පියෙක් නැති වූ විට, වහල හදා ගන්න වඩු බාස් කෙනෙක් නැති වූ විට, වාහන බාස්ලා නැතිව කැඩුණු කාර් එක ගෙදරට තල්ලු කරගෙන එන්න වූ දවසට, තම දරුවාට ඉංග්‍රීසි අකුරක් උගන්නන්න ගුරුවරයෙකු නැති වූ විට ඔබට තේරේවි මා මේ කියනා දෙය.

විසිවන සියවසේ මැද භාගයේ ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන විට එවකට සිටි එක් ප්‍රභල දේශපාලකයෙක් "ඕකෙන් වෙන්නේ අපිට ගහක ගෙඩියක් කඩා ගන්න එකෙක් නැති වෙන එකයි" කියා කියූ බව ප්‍රකටය. සමාජ අසාධාරණය කුමක් වුවත් මෙහිදී ඔහුගේ කතාවෙන් ගම්‍ය වන්නේ සැබෑ යථාර්තයකි. එනම් අනාගතයේ යම් ක්ෂේත්‍රයක ඇතිවන වෘතිකයන්ගේ හිගයක් පිළිබඳව හඳුනා ගැනීමයි. නමුත් එයට පිළියම නිදහස් අධ්‍යාපනය වැලැක්වීම නොව පොල් කඩන පුද්ගලයාටත් වෘතියමය ගෞරවයක් සමග හොඳ වේතනයක් ලබා දීම බව දේශපාලකයාට වැටහුණේ නැත. පසුගිය අඩසියවස තුල ගෙඩි කැඩීමට කෙනෙක් නොමැතිව ගෙවතු වල කපා දැමුණු පොල් ගස් කොස් ගස් ගණන නිමක් නැත.

Tuesday, 6 June 2023

ආගම දහම කා වෙනුවෙන්ද?


යම් ආගමක්, දහමක්, දර්ශනයක් ඔබ  ප්‍රයෝගිකව පරිහරණය කරනවාද? එයින් ඔබට සතුටක්, සැහැල්ලුවක්, තෘප්තියක්, ඇතිවුණා යයි සිතෙනවාද?

එසේ නම් එම දහම අන්‍යන්ට ඉදිරිපත් කරන්න හෝ මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන්න මැලි නොවන්න. ඒ සඳහා ඔබට අයිතියක් ඇත. 

මෙය කරන්නේ කෙසේද?

දහම හා ඒ ආශ්‍රිත කරුණු ග්‍රන්ථාරූඩ කරන්න. ඔබ දකින දහම් පණිවිඩය අනෙකාට ලබා දීමට ලිපි, කවි, ගී ලිවීම ඇතුළු සාහිත්‍ය කටයුතුවල යෙදෙන්න. දහම් සාකච්චා පවත්වන්න. අන්‍යයන්ට දහම හා සම්බන්ධවීමට පහසුකම් සලස්වන්න, ඒ හැම දේටම ඉහලින් ඔබ දහමෙහි හැසිරෙන්න. 

ඔබත් භාවිතා නොකර, පෙට්ටගමක තැම්පත් කර අගුළු දමා, ලෝකයටම බැන වදිමින්, ආඩපාලි කියමින්, කඩුවක් වනමින් පෙට්ටගම වටේ කැරකුනා කියා ආගමක් රැකගත හැකිදැයි ඔබම සිතා බලන්න. විශේෂයෙන්ම බුදු දහම එසේ රැකගත හැකිද? 

මදක් නැවතී සංසුන්ව සිහි බුද්ධිය අවදිකරගෙන සිතන්න. 

ඔබ ආගම දහම තුල එම ඉගැන්වීම් වලට අනුකූලව හැසිරෙනවාද?

ඔබට ආගම දහම තුලින් ලැබුණු යහපත් දේ මොනවාද?

ඔබට අවශ්‍ය ඒ යහපත් දේ ලොව ලබනවා දකින්නද?

ඔබ වෙහෙසෙන්නේ ඒ වෙනුවෙන්ද? 

එසේ නොමැති නම් ඔබට අවශ්‍ය ආගමික ලේබලයේ නාමයෙන් සමාජ රැකවරණයද?

ඒ රැකවරණය වෙනුවෙන් ඔබ ඔබගේ මනසේ ශාන්තිය, සතුට, සැනසුම, සැහැල්ලුව කැපකරන්න සුදානම්ද?

එලෙස කිරීමෙන් ඔබට හෝ ලෝකයට පලක් ඇත්ද?

ඔබවත් භාවිතා නොකරන ආගමක් දහමක් රැකගන්න හැදීමේ අර්ථය කුමක්ද? 

අවසානයේදී ඔබ ආගම රැකගන්න කියා කරන්නේ ඔබේ හිත ක්‍රෝධයෙන් වෛරයෙන් පුරවා ඔබව හිඟා නොකා හිඟා කන තත්වයට පත්කළ දේශපාලක තක්කඩියන් රොත්තක් වෙනුවෙන් ඔබේ සැපත නැවත නැවතත් දන් දීම නොවේද?

ඔබ ඔබගෙන්ම ප්‍රශ්න කරන්න.

Saturday, 3 June 2023

මට හමු වූ බෞද්ධයන්


චීනයේදී, මැලේසියාවේදී මම නිදහස් චින්තකයන් ලෙස තමන් හඳුන්වා ගන්නා බෞද්ධයන් හමු වීමි. ඔවුන් බුදුදහම දකින්නේ සියළු මානසික බැමිවලින් ඔවුන්ට නිදහස් විය හැකි මාර්ගය අවබෝධ කරදුන් දර්ශනය ලෙසයි.

නේපාලයේදී, භූතානයේදී සහ උතුරු ඉන්දියාවේදී මම බෝසත් ආත්මයක් පතන බෞද්ධයන් හමුවීමි. තමා යන මග සකස් කරගැනීමට ඔවුන් හැකිතාක් බෝසත් චරිත ගැන කියවෙන කතාවල ඇති බෝසත් ගුණ දම් අනුව දිවි පෙවෙත ගත කිරීමට උත්සහ කරති. එයින් සතුට සහ සැනසුම පතති. 

ජර්මනියේදී සහ ස්වීඩනයේදී මට බුදු දහමේ ගැඹුර සහ හරය පිළිබඳව ගවේෂණ කරන බෞද්ධයන් හමුවිය. ඔවුන්ට බුදුන් පිළිබඳව විශේෂ සැලකීමක් නැත. ඔවුන්ගේ එකම අරමුණ බුදු දහම යථාවබෝධ කරගෙන එමගින් ආත්ම තෘප්තියක් ලැබීමයි.

මට උගන්ඩාවේදී ලේබල් නැති බෞද්ධයන් හමුවිය. සියවස් ගණනාවක්  ගෝත්‍රිකව බෙදී එකිනෙක අතර ගැටුම් ඇති කරගනිමින් ජිවත් වූ ඔවුන් අද බුදු දහම තුලින් එකිනෙකා කෙරෙහි කරුණාව, මෛත්‍රීය, සෙනෙහස වැඩීම, අන් මත ඉවසීම, සරළ දිවි පෙවෙතක් ගතකිරීම ප්‍රගුණ කරති.

කුඩා කල සිටම මගේ ප්‍රියතම ගායිකාව වූ ටීනා ටනර් මට කිසිදාක හමු වී නැත. නමුත් ඇයගේ ජීවිත තොරතුරු පිළිබඳව කවදත් උනන්දු වූ මට ආගමක් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන සතුට වඩා ගන්නේ කෙසේදැයි ඇයගෙන් යම් මගපෙන්වීමක් ලැබුණි. ඇය විශාල වශයෙන් මුදල් ගෙවා ලබා ගන්නා මානසික චිකිත්සකයාගේ උපදේශන වලට වඩා නොමිළේ ලැබුණු බුදුදහමේ  මගපෙන්වීම් කෙරෙහි විශ්වාසය තැබුවාය. 

ලංකාවේදී මට බුද්ධාගම ඇඟ පුරාම හලාගත් බෞද්ධයන් හමුවිය. ඔවුන් බුදුන්ට අපහස කරන්නේ කවුද, බුදු දහම රැකගන්නේ කෙසේද, බුදුන්ගේ උප්පැන්න සහතිකය වෙනස් කල හැකිද, ආදී නොයෙකුත් කාරණා හිස මත දරාගෙන අසතුටින්, වෛරයෙන්, කෝපයෙන් පසුවෙති. ඔවුන් තම මනසට ආගමේ නාමයෙන් තමන්ම දමාගත් විලංගුවල යතුර පවා ඈත දියඹට විසිකර ඇත. 

මා කීවේ මා දුටු දේ මිස මේ කිසිම බෞද්ධයෙකුගේ හොඳ-නරක නොවේ. සතුටින් සිටීම හෝ අසතුටින් සිටීම ඕනෑම අයෙකු සතු අයිතියකි. සමහරුන් අසතුට තුලින් වින්දනයක් ලබති. මේ නිසා මම විනිශ්චයශීලී (judgemental) නොවෙමි. එසේ වීමට මට අයිතියක්ද නැත. 


                    

Wednesday, 17 May 2023

යුද ජය කුසලානය









යුද්ධයක ජය කුසලානය යුද්ධයේ නිමාවයි 

යුද්ධයේ නිමාව දැකීමට සමහරුන් ජීවත්වෙයි 

සමහරුන් යුද්ධය ඇරඹෙන විටම මියයයි  

සමහරුන් එහි මැද හෝ අවසාන භාගයේදී මියයයි 

ජිවත්වන්නන් අතර අන්ධයන්, අබ්බගාතයන් බොහෝය 

යුද්ධය කුරිරුය - එය වැන්දඹුවන්, අනාථ දරුවන්, 

දූ පුතුන් අහිමි වූ දෙමාපියන් තනන යන්ත්‍රයකි 

උතුරේද, දකුණේද කියා වෙනසක් නැත 

යුද්ධයේ නොමැකුණු සලකුණු හැම හදවතකම පවතී 


යුද්ධයෙන් හෙම්බත් වූ - තම සඟයන් අහිමි වූ 

තවමත් ජීවන බර කරමතට ගත් සෙබළුන් 

දශක කිහිපයක් පැරණි, විදේශයක තැනූ 

බර අවි කර තියාගෙන, යුද්ධයට මුල් වූ 

දේශපාලුවන්ට සැලියුට් ගැසීම, දැන්වත් නතර කරමු 

යුද්ධය සියවස් ගණනක් සුව නොවන තුවාල සාදයි 

ඒ තුවාලවලට මලකඩ කෑ බයිනේත්තු වලින් තව තවත් අනිමුද?

තුවාල පාරා ඔබ ලබන සතුට සැනසුම කුමක්ද?


හැකි නම් යන්න උතුරට කැවුම් කොකිස් කදමළු බැඳගෙන 

ආදරය සෙනෙහස හිසේ දරාගෙන 

දල්වන්න පහනක් උතුරේද දකුණේද සියළු මව්වරුන් වෙනුවෙන් 

තම දරුවන්ගේ මතකයන් අතර ඉකිගසන 

දෙන්න කෑම පිගානක් අසල්වැසි නාවික හමුදා භටයාගේ 

ගුවන් හමුදා, යුධ හමුදා සොල්දාදුවාගේ නිවසට 

බෙදාගන්න රසකැවිලි අසල්වැසි දෙමළා සමග 

එන අවුරුද්දේ රණවිරු දිනයට 

ගලනු ඇත ආදරය සෙනෙහස උතුරේ සිට දකුණට 

දොරේ ගලන ගංගාවක් මෙන් 

------------------------------------------------

මෙය කවියක්, ගීතයක් හෝ පබැඳුමක් නොවේ 

මෙහි තාලයක් හෝ මිහිරි බවක් නැත 

එසේ විය යුතුද නැත 

මෙය බුද්ධිය හා මානව දයාව තවමත් නොවියැකුනු 

මිනිසුන් වෙනුවෙනි 

Monday, 8 May 2023

ලෝකයේ විශාලතම restaurant ජාලයේ හිමිකරුවා වීමට


ඔබ ලෝකයේ විශාලතම restaurant ජාලයේ හිමිකරුවා වීමට කැමතිද?

කිසිඳු කෑමක් පිසින්නේ නැතිව ඔබට ලංකාවේ පමණක් නොව ලෝකයේ විශාලතම අවන්හල් ජාලයේ හිමිකරුවා විය හැක.

ඔබට දැකුම්කළු පරිසරයක ඇති ඉඩමක් ඇත්නම්, අවශ්‍යවන්නේ පුටු මේස ටිකක් සහ ඉටිපන්දම් පහන් කිහිපයක් පමණි.

ඔබගේ restaurant එකට ලස්සන නමක් දාගන්න. උදා. හරිත දෙව්විමන (Haritha Paradise). එයට ටෙලිෆෝන් app එකක් සාදාගන්න. ඕනෑම කෙනෙකුට App එක මගින් ඔබේ restaurant එකේ මේසයක් වෙන්කරගෙන අවශ්‍ය ඕනෑම හෝටලයකින් හෝ food supplier කෙනෙකුගෙන් අවශ්‍ය ඕනෑම ආහාර වේලක් ඇනවුම් කර (ආහාර ගමනාන්තය සඳහා Haritha Paradise ලබා දෙන්න) අවශ්‍ය වෙලාවට තමන්ගේ book කල මේසයට කැඳවිය හැක.

ඔබ ගැනුම්කරුවාට අවශ්‍ය family gettogether එකක්ද, candlelight dinner එකක්ද, romantic meal එකක්ද, business lunch එකක්ද ආදී අවශ්‍යතා මත මේසය සහ location එක පිළියෙළ කරන්න.

මගේ academic career එක නිසා මට මේ සඳහා යෙදවීමට කාලයක් නැත. එහෙත් ඔබගේ success එක මගේ සතුටයි. 


Saturday, 29 April 2023

කුණාටු මුහුදේ විලාපය

ඉතා කෙටි කාලයක් තුල බොහෝ දෙනෙකුට අරගලය ඇති වුණේ මක් නිසාද යන්න අමතක වී ඇත. සමහර අදහස් කියවන්නෙකුට ඇතිවන්නේ රට සුඛිත මුදිතව තිබූ අවදියක මිනිසුන් අරගල කර රට විනාශ කළා වැනි හැඟීමකි. 

කිහිප දෙනෙක් පවසා ඇති සේ පත් කරගත් පාලකයන් රට විනාශ කරනවා දැක දැක ඔවුන්ට ප්‍රශස්ති ගී ගායනා කල පිරිස මේ විනාශයට ඍජුවම වගකිව යුතුය. අරගලයට සහභාගී වූ බොහෝ දෙනෙක් තමන් යන්නේ කොහේදැයි දැන නොසිටිය බව මම සිතමි. නමුත් රටේ සිදුවන තක්කඩි අමන පාලනයට එරෙහිව තමන් යමක් කල යුතු බව ඔවුන්ට දැනෙන්නට ඇත. එසේම අරගලය අපට පෙන්නුවේ ලංකාවේ පාලකයා කුමක් කලත් එයට හිස නමාගෙන සිටින දීන නිවට බහුතරයට අමතරව තවමත් කශේරුකාව සවිමත් සුළුතරයක් හෝ රටේ සිටින බවයි. නමුත් එය එතැනින් ඉදිරියට ගෙන ගොස් ආර්ථික-සාමාජීය-දේශපාලනික නිවහල් නිදහස් ජාතියක් කරා ගෙනයාමට සමත් නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක් සහ මාර්ග සිතියමක් අපට තිබුණේ නැත. 

රටේ කුමන තත්වය ඇති වුනද එයින් වාසි ලබා ගන්නා පාර්ශව ගණනාවක් ඇත. ඔවුන්ට අරගලය තවත් කෙලි බිමක් විය. එය අරගලයේ වරදද නැත්නම් අරගලය ඇතිවීමට පාර කැපූ හොර තක්කඩියන්ගේ වරදද යන්න සිතාගැනීමට සමත් සුළුතරයක් තවමත් සිටින බව මම උපකල්පනය කරමි.

මා දකිනා ආකාරයට නම් ලාංකිකයා නැවතත් පරණ පුරුදු විෂම චක්‍රයටම වැටි ඇත. දීන වහල් බහුතරයක් ඇති රටක මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. ඔවුන් අද ණයට කමින් පාටි දමයි. පාලකයාගේ ලොකුම ජයග්‍රහණය අදට වඩා දෙගුණයක් විශාල ණයක් හෙට ලබා ගැනීමයි. තව වසර දෙකකින් අපට ඉතිරිවන සුවිසල් ණය කන්ද මුළු රටේම සම්පත් විකුණුවත් පියවා ගත නොහැක. එදාට ඉන්දු-ඇමරිකන් මුහුණ මීට වඩා බොහෝ සෙයින් වෙනස්වනු ඇත. 

ඊළඟ වර තෙල් ගෑස් හාල් පාන් පෝලිම් වලට එරෙහිව ජනතාව පාරට බහින්නේ නැත. මන්ද ඔවුන්ට ඒවා එක් වරක් දැන් හුරුවී ඇති බැවිනි. ඔවුන් මගට බසින්නේ තත්වය ඊට වඩා බෙහෙවින් නරක අතට හැරුණු විටය. සමහර විට එතනට යාමට පෙර ලාංකිකයා තමා සිටිය යුතු ආකාරය අවබෝධ කරගෙන නිවෙනු ඇත. 

බහුජාතික සමාගම් කිහිපයක් විසින් නිල වශයෙන් පාලනය නතුකරගන්නා ප්‍රථම රාජ්‍ය ලංකාව වෙනු ඇතැයි මට සිතෙයි. මම එහි හොඳ-නරක විග්‍රහ කිරීමට උත්සහ නොගනිමි. සමහර විට අවුරුදු 2500 ක මෙව්වා එක රෝල් කර ඉන්දියන් සාගරයට දැමීම ඔබට ඉමහත් සැහැල්ලුවක් වනු ඇත. නැත්නම් ඔය මෙව්වා එක ඔබට ණය කන්දටත් වඩා බර මහමෙරුවක් වනු ඇත. 

Monday, 10 April 2023

ආදරයට ඉබ්බො දාන මැලේසියානු business මොඩලය


මැලේසියාවේ ලංකාවී දුපතේ ඇති entertaintment park එකක මීටර් 100 ක් පමණ දුරකට වූ ඝණකම ඇති කම්බි පොටවල් කිහිපයක් වේ. ඒ අසල ඇති අලෙවි සැලක රෝස පාටින් (වෙනත් පාට කිහිපයක්ද ඇත) වූ ඉතා බාල වර්ගයේ ඉබ්බන් (padlocks) විකුණයි. මෙම ඉබ්බෙක් රිංගිට් 35ක් පමණ වේ (මා අවසන් වරට ගිය අවස්ථාවේ). එහි මුළු නිෂ්පාදන වියදම රිංගිට් 5 ක් වත් නොවනු ඇත. ඔබ එය මිලදී ගත් විට ඔවුන් ඉතා කෙටි කාලයකදී (විනාඩියකින් පමණ) එහි ඔබගේ සහ ඔබගේ පෙම්වතාගේ/පෙම්වතියගේ නම් මුද්‍රණය කර දෙයි. 

එහි දැන්වීම් පුවරුවක කියා ඇති ආකාරයට පෙම්වතුන් දේපල එකතුව ඉබ්බා කම්බියකට දමා අගුළු දැමීමෙන් ඔවුන්ගේ ආදරය ස්ථිර වෙයි. තමා කිසිදා වෙන් නොවන බව හැඟේ නම් ඉබ්බාගේ යතුර එම ස්ථානයට ඔබ්බෙන් ඇති ආගාධයට විසිකර දැමිය හැක. නැති නම් එය දෙදෙනාගෙන් කෙනෙකු ළඟ තබාගෙන පෙම් දම අවසන් වූ දින පැමිණ ඉබ්බා කම්බියෙන් ගලවා ඉවත්කළ හැක. මා දුටු ආකාරයට යතුර විසි නොකරන පෙම්වතුන් දේපලක් සොයාගත නොහැක. 

මා අවසන් වරට යන විට කම්බි පොටවල් දෙකක්ම පිරි ඉතිරෙන්න ඉබ්බන් සිටිනු දකිනු හැකි විය. ඔවුන් මේ නිසා තවත් කම්බි පොටවල් රාශියක් එවන විට සවි කරමින් පැවතුනි. 

මේ අති සාර්ථක business මොඩලය ලංකාවේ වෙනත් කිහිප ආකාරයකින්ම (මීට වඩා සාර්ථක ආකාරයෙන්) කල නොහැකිද? මා එය දැනටමත් රටවල් කිහිපයක සංචාරක ව්‍යපෘති තුලට ඇතුලත් කර ඇත්තෙමි. උනන්දුව මෙන්ම ව්‍යාපාරික/ආයෝජන හැකියාව ඇති අයෙක් සිටින්නේ නම් මම වෙනත් රටවල්වලට උපදේශකයෙකු ලෙස මුදල් අය කර ලබා දුන් සංකල්ප ලාංකිකයාට නොමිළේ දීමට නොපැකිළෙමි.



Friday, 7 April 2023

මැලේසියාව නුඹ

 


මැලේසියාව මම නුඹට ආදරය කරමි

කියා දුන් නිසා නුඹ
ඉහලට මෙන්ම පහලටද ගරු කරන අයුරු
දුර්වලයා අත් නොහැර සමුහය සමග ඇදගෙන යන අයුරු
සියල්ලන්ට සමව සලකන අයුරු
සහෘදයන්ගේ දුර්වලතාවයන් ඉවසන අයුරු
තමන්ගේ එකෙක් විපතට පත්වන විට පිහිට වන අයුරු
සැමගේ ශක්තිය මතින් සැම ඉහලට යන අයුරු
වෙනස් මිනිසකු විය ඔබ නිසා මම
සහෝදරත්වය අගයමි සැමට ඉහලින්
ඔබ නිසා මම
ආදරය කරමි ඔබට ජිවිතයේ යථාර්තය පහදා දුන් නිසා ඔබ
ආදරෙයි මැලේසියාව ඔබට සදා මම

Tuesday, 28 March 2023

ඔබ නොදන්නා බොහෝ දේ


ලංකාව පිළිබඳව සිතීමට ලිවීමට මිඩංගු කල කාලය තුල මට තවත් පර්යේෂණ පත්‍රිකා 50ක් වත් CV එකට එක් කරගන්න තිබුණි. නමුත් ඒ ගැන මම කම්පා නොවෙමි. එහෙත් තව දුරටත් එයම කළහොත් අනාගතයේදී කම්පා වීමට සිදුවන බව මට පෙනෙයි. 

මගේ සියළු දැනුම සහ බුද්ධි තොරතුරු එකතු කර බලන විට මට පෙනෙන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේදී සිදු වූ එකම spontaneous සංසිද්ධිය අරගලයේ ඇරඹුම බවයි.  එය එවකට පැවති පාලකයාගේ සහ සහචරයන්ගේ මුග්ධ ක්‍රියාන්විතය නිසාම ජනතාව පැවති රජයට එරෙහිව අවදිවූ විරෝධයකි. එය අවබෝධකරගෙන නායකත්වය සැපයීමට නොහැකිවීම ජවිපෙ ලද දරුණුම පරාජයකි. 

අරගලය ආරම්භ වූ පසු දේශපාලන බලවේග කිහිපයක් එහි ගාමක බලය අවබෝධ කරගෙන මුදල් පොම්ප කරන්න විය. ඉන් එක පුද්ගලයෙක් ඔබ කිසිවෙක් නොසිතන එවකට පාලන තන්ත්‍රයේ ප්‍රබල චරිතයක් විය. ඔහුගේ පළමු ඉලක්කය සාර්ථක වුවත් ඉන් පසු වුයේ ඔහු කිසිසේත් නොසිතූ ප්‍රතිදානයකි. අද ඔහු නන්නත්තාර වී ඇත. 

අරගලයේ මුල් සමයේදී එය හාස්‍යට ලක් කල ලෝක බලවතුන් එහි පළමු මස ගතවන විට ඒ කෙරේ විශාල අවධානයක් යොමු කරන්න විය. බොහෝ රටවල සමාජ විද්‍යා වියතුන් ලාංකික අරගලය පිළිබඳව තම අවධානය යොමු කරන්න විය. ඒ ඇසුරින් ආචාර්ය උපාධි පවා ඇරඹෙන්න විය. මේ සමගම ලෝක බලවතෙක් මේ ගැන සෙවීම පිළිබඳව කමිටුවක් පත්කළේය. 

අරගලයට නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක්, මාර්ග සිතියමක් අවශ්‍ය බව මම පුන පුනා කියන්න වුණේ මේ අවස්ථාවේදීය. නමුත් එය ඇසීමට සවන් නොතිබුණි. ඉන් දින කිහිපයකට පසු අරගලයේ ප්‍රතිඵලය තීරණය කිරීම අදිසි හස්තයක් වෙත පැවරුණි.

රනිල් ජනපතිවීම අහම්බයක් නොවේ. එය ආරගලයේ අවසාන කාර්තුවේදී කිසියම් තානාපති කාර්යාලයකදී තීරණය විය. මේ බව දැනගත් විට මම ලිපියක් ලියමින් ලංකාවේ අනාගත නායකයා තීරණය වී ඇති බව මුහුණු පොතේ සටහන් කලෙමි. මට බොහෝ දේ ලිවීමට නොහැකිය. මා කී දේ තේරුම්  ගත්  සමහරෙක් විය.

ලෝක බලවතුන් ගෝඨාභය කෙරේ සැහෙන විශ්වාසයක් තැබුවේ ඔහු ඇමරිකන් පුරවැසියෙකු නිසාය. නමුත් ඔහු මෝඩ ගොම තැම්බක් බව වසර දෙකකදී ඔවුන්ට අවබෝධ විය. රනිල් පිළිබඳවද ඔවුන්ට විශාල බලාපොරොත්තුවක් නොවීය. එහෙත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොතිබුණි. 

රනිල් යනු සමාර්ට් පුද්ගලයෙක් නොවේ. එහෙත් ඔහුගේ ස්වාමියා ස්මාර්ට්ය. ඔහු ලෝකයේ ඉහලම බුද්ධි ජාලය සහ දැනුම් සංකීර්ණය සතුය. ගෝඨාභයට මේ ස්මාර්ට් ස්වාමියා තේරුම් ගැනීමට තරම් මොළයක් නොතිබුණි. රනිල්ට ඊට වඩා බුද්ධියක් ඇත. මේ නිසා ලාංකිකයා ඉදිරියේ රනිල් සමාර්ට් පුද්ගලයෙකි. අන්ත මුග්ධ, ග්‍රාම්‍ය පොහොට්ටුවන් 134 ඉදිරියේ ඔහු අතිශය ස්මාර්ට් පුද්ගලයෙකි. දිවි හිමියෙන් එජාපයට කැපවුවන්ටද  ඔහු ස්මාර්ට්ය. මම එහි වරදක් නොදකිමි. එහෙත් රනිල් යනු ස්මාර්ට් ස්වාමියකුගේ අණසක අනුව වැඩ කරන රෝබෝවකි.

මා සිතන ආකාරයට දැන් ලංකාව යනු ලෝක බලවතුන්ගේ පර්යේෂණ සාම්පලයකි. රටක් අන්තර් ජාතික සමාගම් කිහිපයක පාලනයට නතු වූ විට එය ලෝක බලවතුන්ට බලපාන ආකාරය පිළිබඳව පර්යේෂණ නියැදියක් බවට ලංකාව පත්ව තිබේ. විද්‍යාඥයෙකු වශයෙන් මමද මේ පර්යේෂණයට ලොබ බඳිමි. නමුත් අවාසානාවට මමද මේ නියැදියේ අවශේෂ පර්යේෂණ සාම්පලයක් වෙමි. 

ලංකාව අද පත්ව ඇති තත්වයට සම්පුර්ණයෙන් වග කිවයුත්තේ රාජපක්ෂ පවුලයි. ඔවුන් ට්‍රිලියන ගණනින් රටේ සාරය ගසා කෑවේය. තවමත් බොහෝ මුග්ධයන්ට මෙය නොතේරෙයි. ගෝඨාභය ගසා කෑවාදැයි මම නොදනිමි. නමුත් තමන්ගේ අමන, අනුවණ, උද්දච්චකම නිසාම ඔහු ගත් උම්මත්තක තීරණ නිසා ලංකාව අද පවතින තත්වයට පත්විය. 

රනිල් හා අලඟු තැබීමටවත් රාජපක්ෂලා හෝ ඔහුගේ හෙංචයියන්ට නොහැක. ඒ රනිල් ස්මාර්ට් නිසා නොව රනිල්ගේ ස්වාමියාගේ ස්මාර්ට්කම නිසාය. 

එසේම රනිල් සමග හැප්පීමට සමත් විඥානයක් ඇති පිරිසක් ලංකාවේ නොමැති සේය. ඔබ ගන්නා සියලු පියවරයන්ගෙන් සිදුවන්නේ ජනතාව ඔබගෙන් ඈත් වීමයි. වැඩවර්ජන, අන්තරේ විරෝධතා පිළිබඳව දැන් ජනතාවගේ ප්‍රතික්‍රියා විමසා බලන්න. රනිල් පියවර ගන්නේ ඔහුට ස්වාමියාගෙන් ලැබෙන අණ සහ උපදෙස් අනුවයි. මේ උපදෙස් ලැබෙන්නේ රටවල් ගණනාවක කරන ලද පර්යේෂණ ප්‍රතිඵල අනුවයි. 

රටක ජනතාව සමස්තයක් වශයෙන් ගත් කල බුද්ධි හීන භූතාර්ථයකි. එය ඇමරිකාවටද අදාළය. සමාජ විද්‍යාඥයන් සියළු රටවල් සඳහා ජන විඥානය quantify කරයි. මෙහිදී ලංකාව ඉතා පහල අගයක් ගනියි. එහි තේරුම ලාංකික ජන විඥානය ඉතා පහසුවෙන් manipulate කළහැකි බවයි. 

මා වැනි ඉතා සුළු නොවැදගත් පුද්ගලයෙකුට කල හැකි දේ ඉතා අල්ප බව මම දැන් තේරුම් ගනිමි. ලාංකික ඔබට ඔබ අදහන ආගමක සරණයි. 



Monday, 27 March 2023

ලක අනාගත ඥාන හබක් කරමුද?


AI සරසවි විභාග වලට බලපාන ආකාරය පිළිබඳව ලියූ ලිපියට විවිධ සමාජ මාධ්‍ය තුල අදහස් දැක්වූ ඔබ සැමට තුති.

මට හිතෙන විදියට අපට වී ඇත්තේ දශක දෙක තුනක් අපි සිනමා තිරයේ දුටු ලෝකය එකවරම සැබෑ ලෝකය තුලට කඩා වැදීමයි. තවමත් මාද ඇතුළු බොහෝ දෙනෙක් වික්ෂිප්තය. 

මෙහිදී අදහස් කිහිපයක්ම පළවුණේ සිදුවන දේ හොඳද-නරකද යන්න පිළිබඳවයි. මා සිතන විදියට ඒ අවදිය පසුවී ඇත. අපි කැමති වුනත් අකමැති වුනත් AI සමාජය වෙලාගන්න බව නම් සහතිකයි. 

අපි මේ අවස්ථාවේදී කතා කල යුත්තේ නුදුරු අනාගතය උදෙසා අපගේ අධ්‍යාපන පද්ධතියම (සංකල්ප, ක්‍රමවේද ඇතුළු මුළු system එකම) වෙනස් කලයුතු ආකාරය පිළිබඳව බව මගේ හැඟීමයි.

ලාංකික අධ්‍යාපනයට 1960 සිට 2030ට එක්වරම පැනිය හැකිද? 

හැකිනම් ලක අනාගත ඥාන හබක් වනු ඇත (Sri Lanka will become a future knowledge hub)


Saturday, 25 March 2023

ඔබගේ අදහස් අවශ්‍යව ඇත



අපේ සරසවියේ විශාල සංවාදයක් ඇරඹී ඇත.

AI වේගයෙන් ජන ජීවිතය වෙලා ගනියි. දැන් අපට ඕනෑම ගැටළුවක් AI විසඳා දෙයි. මේ වන විට ගැටළුව ඇසූ විට හෝ කෙටූ විට පිළිතුර කොලයක ලියැවෙන පෑනක් නිර්මාණය වෙමින් පවතී. ලෝකයට ඉතා සුබදායි මේ පුවත සරසවි ඇඳුරන්ට හිසරදයකි. 

"කොහොමද අපි genuine exam එකක් තියාගන්නේ?" අංශාධිපතිලා, පීඨාධිපතිලා පමණක් නොව උපකුලපතිද රැස්වීම් පිට රැස්වීම් කැඳවති.

සැමදෙනාම මේ AI තාක්ෂණය අභිබවා විභාග පැවැත්වීම පිළිබඳව ඉතා විචක්ෂණ smart අදහස් ඉදිරිපත් කරති.

වසර ගණනාවක් රටින් පිට සිටියත් මගේ විඥානය තවමත් ලංකාවේය. එබැවින් මම ඉතා ප්‍රාථමික ලෙස සිතමි. ඒ මා හුරු වූ චින්තනයයි.

"අප විභාග පවත්වන්නේ කුමකටද?"

ලංකාවේ නම් වැඩි හරියක් සිසු සිසුවියන් fail කර සරසවියට බඳවා ගත හැකි ධාරිතාවයට ආසන්න පිරිසක් filter කර ගැනීමටය. 

"සරසවියේ විභාග පවත්වන්නේ කුමටද?" ලංකාවේ නම් විභාග පැවැත්විය යුතු නිසාය. 

ඉංජිනේරු පීඨයේ රැස්වීමේදී මම ඉහත පැනය ඇසුවෙමි.

"එක හරිම සරල පැනයක්නේ. අපි විභාග පවත්වන්නේ ළමයින්ගේ දැනුම මනින්න" පීඨාධිපතිතුමාටත් පෙර විශිෂ්ඨ මහාචාර්ය පදවිය හොබවන තැනැත්තෙක් පිළිතුරු දුන්නේය.

"ඇයි අපි ළමයින්ගේ දැනුම මනින්නේ?" මගේ ප්‍රාථමික මනෝභාවයට තවමත් එය ගැටලුවකි.

"ඔවුන්ට ඉහල දැනුමක් ඇත්නම් ඔවුන් සමාජයට යහපතක් කරාවි. සරසවි ඇඳුරන් ලෙස එයයි අපගේ අභිප්‍රාය විය යුත්තේ. හිතන්න පොඩ්ඩක්, අපේ උපාධිධාරියෙක්ට හැකිනම් තම දැනුමෙන් සම්පුර්ණයෙන්ම සුර්ය බලශක්තියෙන් ක්‍රියාත්මකවන වාහනයක් නිපදවන්න, එය දකුණු අප්‍රිකාවට විශාල මෙහෙයක් සහ ආඩම්බරයක් නොවේද?" විශිෂ්ඨ මහාචාර්යවරයා තරමක උපහාසාත්මක සිනහවකින් යුතුව අසයි.

"ඔය කියන වාහනය ඇයට තමන්ගේ දැනුමෙන් තොරව වෙනත් යමක  දැනුමෙන් (මා අදහස් කලේ AI දැනුමයි) පමණක් කල හැකි නම් එහි ගැටළුවක් ඇත්ද?" මම බොහෝ අවස්ථාවල වෙනත් පුද්ගලයන් "ඔහු" යන වදන යොදන තැන්වල "ඇය" යයි භාවිතා කරන්නේ මෙහිදී පුරුෂාර්ථය යොදන්නේ කුමන හේතුවක් නිසාදැයි මට නොතේරෙන බැවිනි. ලංකාවේ කෙසේ වෙතත් මා ජිවත් වූ බොහෝ රටවල මිනිස්සු මෙය ප්‍රශ්ණ කිරීමට පැකිලෙති. 

"ඒක හරි. ඒත් එහෙනම් අපිට AI පිළිබඳව සිසුන්ගේ දැනුම පරික්ෂා කල යුතු වෙනවා"  විශිෂ්ඨ මහාචාර්යතුමා තරමක් බිඳුණු ස්වරයෙන් ප්‍රකාශ කරයි.

"ඔව්, අපි AI ඉගෙනගන්න සිසුන්ගේ දැනුම පරික්ෂා කරමු. ඒ සඳහා ඔවුන්ට projects දෙමු. අනෙකුත් විෂය හදාරන සිසු සිසුවියන්ට AI භාවිතාකරන හැටි දන්නේ දැයි පරික්ෂා කිරීමට විභාග පවත්වමු". මම කීවෙමි.

"චන්දිම කියන විදයට කලොත් කැම්පස් වහන්න වෙයි"

ඔවුන්ට විභාග මානසිකත්වයෙන් මිදීමට නොහැක. මා වැනි මෝඩයෙක් ඔවුන්ට මහත් හිසරදයකි.