Sunday, 26 July 2020

ඉන්දියාවෙන් කෑ පරිප්පු


මෙතෙක් මා රටවල් හතරක දීර්ඝ කාලීනව ජිවත් වී ඇත. එනම් ලංකාව, ස්වීඩනය, මැලේසියාව හා දකුණු අප්‍රිකාවයි. ඊට අමතරව මා වැඩිම වාර ගණනක් සංචාරය කර ඇති තවත් රටවල් දෙකකි. ඒ ඉන්දියාව හා පකිස්ථානයයි. පකිස්ථානයට මා 18 වරක් ගොස් ඇත. ඉන්දියාවට ගොස් ඇත්තේ ඉන් හරි අඩක වාර ගණනකි. එහෙත් මා ලෝකයේ වෙනත් කිසිඳු රටකට වඩා (ලංකාවද ඇතුළුව) ඉන්දියාවේ ඈත මෑත සංචාරය කර ඇත්තෙමි. මා ඉන්දියාවේ ගොස් ඇති සමහර ප්‍රදේශ වලට මට හමු වූ බොහෝ ඉන්දියානුවන් පවා ගොස් තිබුණේ නැත.

මම මුලින්ම ඉන්දියාවට පා තබන්නේ වයස අවුරුදු 14 දී දෙමාපියන් සමග වන්දනා ගමනක් සඳහාය. එය මාස එකහමාරක් පුරා කල සංචාරයකි. ඉන්පසු නැවතත් එරටට පිය තබන්නේ වයස 34 දීය. එතැන් සිට අවසන් වරට එහි ගිය 2019 වසර තෙක් මගේ ඉන්දියානු ගමන් බොහෝ විට සතියක් හෝ වැඩි කාලයක් පුරා දිවයන ඉතා දීර්ඝ ගමන් වලින් යුත් සංචාර විය.

එදා මෙදා තුර ඉන්දියාව තරම් යහපත් වෙනසකට භාජනය වූ රටක් මා දැක නැති තරම්ය. ඒ ගැන නම් පොතක් ලිවිය යුතුය. කෙටියෙන් කියනවා නම් ඉන්දියාව යනු 21 වෙනි ශතවර්ෂය තුල මා දුටු ලෝකයේ වැඩිම වේගයකින් දියුණු වූ රටයි. ඉන්දියාවට පා තබා නැති සමහර ලාංකික පිරිස් එරට පිළිබඳව සමාජ මාධ්‍යවල පලකරන අදහස් දුටු විට මට එම ලාංකිකයන් පිළිබඳව ඇතිවන්නේ ශෝකයකි. 

ඉතා අධික ජනගහනයක් සිටින ඉන්දියාවේ ආර්ථික ස්ථර රාශියක් තිබීම ස්වභාවිකය. එය ඇමරිකාවට සහ චීනයටද පොදු කරුණකි. එහෙත් ඉන්දීය සමාජයේ පහලම ස්ථරයේ ජීවන තත්වය මුළු ඉන්දියාවටම සාමාන්‍යකරණයකරගෙන පහර ගැසීම හාස්‍යජනකය. මෙලෙස පහරදෙන බොහෝ ලාංකිකයන්ගේ ආදායම් තත්වය ඉන්දියාවේ සාමාන්‍ය වැසියෙකුට වඩා බොහෝ සෙයින් අඩු විය හැක. 

ඉන්දියානුවා තරම් තම රට පිළිබඳව සැබෑ හැඟීමකින් කටයුතු කරන (කතා කිරීම පමණක් නොවේ) වෙනත් ජාතිකයන් මා දැක නැති තරම්ය. එයට ඔහු හෝ ඇය සිටින්නේ ඉන්දියාවේද, එංගලන්තයේද ඇමරිකාවේද යන්න අදාළ නොවේ. එලෙසම එම තැනැත්තා විදේශ රටක ඉපදුන කීවෙනි පරම්පරාවද යන්නද ඉන්දියාවට ඇති බැඳීම තීරණය කිරීමට අදාළ නොවේ. ඔවුන් හැකි සෑම විටම ඉන්දියාව වෙනුවෙන් කල හැකි දෙයක් නොපමාව ඉටු කරයි. එසේම ඉන්දීය රජයද සෑම විටම විදේශයකින් උපකාර හෝ දැනුම ලබාගැනීමේදී එම රටවල සිටින ඉන්දීය ප්‍රභවයක් ඇති අයට ප්‍රමුඛත්වය දෙයි. 

මේ ලිපිය ලියන්න මා අදහස් කල මාතෘකාවෙන් දැන් සම්පුර්ණයෙන්ම පිට පැන ඇත. ඒ නිසා දැන් මම ඒ කාරණයට පැමිණෙන්නෙමි. මම දන්නා බොහෝ ඉන්දියානුවන් නිර්මාංශිකය. එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් ඉතා සෞඛ්‍ය සම්පන්න, ඉහල බුද්ධිමට්ටමක් සහිත පුද්ගලයන්ය. එසේම ඉන්දියාවේ බහුතරයක් දුප්පත් ජනතාව අතර මන්දපෝෂණ ස්වභාවයක් දැකිය නොහැකිය. මීට හේතුව මා වටහා ගත්තේ බොහෝ කලකට පෙරය. 

මා නිර්මාංශකයෙකු නොවුවත් ඉන්දියාවේ ගතකරන කාලය තුල මා හැකි සෑම විටම නිර්මාංශික ආහාර වේලක් ගැනීමට දැඩි සේ ප්‍රිය කරමි. ඊට හේතුව ඉන්දීය නිර්මාංශික ආහාර ඉතා රසවත්වීමයි. මේ රසය ලෝකයේ වෙනත් රටක එලෙසම විඳීමට නම් ඔබ අනිවාර්යයෙන්ම ඉන්දීය හින්දු භාක්තිකයෙකුගේ නිවසට යායුතුය. නැත්නම් මගේ නිවසට පැමිණිය යුතුය (මා ඉතා රසවත් ලෙස ඉන්දීය නිර්මාංශික ආහාර පිළියෙළ කිරීමේ දක්ෂයෙකු බව නිහතමානිව පවසමි). මේ කාරණය නිසා ඉන්දියානු නිර්මාංශිකයන් ඉතා සතුටින් තම ආහාර වෙලා භුක්ති විඳියි. ආහාරයක පෝෂණය සිරුරට සම්පුර්ණයෙන්ම ලබාගැනීම සඳහා එම ආහාරය සතුටින් භුක්ති විඳීම ඉතා වැදගත්ය. 

දෙවන කරුණ නම් ඉන්දීය ආහාර වේලට ඇතුලත්වන විශාල ප්‍රබේද ගණනාවකින් යුත් පරිප්පු සහ කඩල වර්ග ප්‍රමාණයයි. සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසුන් ව්‍යංජනයක් ලෙස සකසන්නේ මයිසූර් පරිප්පු (pink lentils) සහ මුං ඇට (mung daal or green gram) පමණකි. මීට අමතරව සුදු කඩල (chickpea) ව්‍යංජනයද ඉඳහිට සාදනු ලැබේ. 

එහෙත් ඉන්දියාවේදී පරිප්පු වර්ග 20ට වැඩිය මා රස විඳ ඇත. කඩල ඇතුළු ව්‍යංජන ලෙස පිළියෙළ කරන ධාන්‍ය වර්ගද ඒ හා සමානවම ඇත. මේ එක් එක් පරිප්පු සහ ධාන්‍ය වර්ගයක් සඳහා පිළියෙළ කරන ක්‍රමවේදය වෙනස්ය. එකම පරිප්පුව රාජස්ථානයේ එක විදියකටත්, බෙංගාලයේ තව විදියකටත්, කේරලයේ වෙනස්ම විදියකටත් සැකසේ. ඒ සියල්ලේම රසයේ අපුරු වූ විවිධත්වයක් ඇත. සමහර කෑම වට්ටෝරු වසර දහස් ගණනක් පැරණිය. අද මේ සියලුම ආහාර පිළියෙළ කිරීමේ ක්‍රමවේදයන් Youtube හරහා ලෝකයට විවෘතය. ඉතා අධික ප්‍රෝටීන වටිනාකමකින් යුත් එමෙන්ම මිලෙන් සෑහෙන අඩු මෙම පරිප්පු සහ ධාන්‍ය වර්ග ඉන්දීය ජනයාගේ පෝෂණය නගා සිටුවයි.

දැන් මම මේ ලිපියේ වැදගත්ම කොටසට පැමිණෙමි. ඉන්දියාවේ ගෙදරක කලාතුරකින් පිසින එහෙත් ලංකාවට නැතුවම බැරි මයිසූර් පරිප්පු සහ කඩල මා දන්නා තරමින් 100% ම ඉන්දියාවෙන් ආනයනය කරයි. මුං ඇට පවා සෑහෙන ප්‍රමාණයක් ආනයනිත ලැයිස්තුවට ඇතුළු වේ. මේ සඳහා වසරකට රටින් පිටවන විදේශ විනිමය ඩොලර් මිලියන ගණනාවකි. එහෙත් ඉන්දියාවේ වැවෙන සියළුම පරිප්පු වර්ග, කඩල වර්ග සහ ධාන්‍ය ලංකාවේ ඉතා පහසුවෙන් වගා කල හැක. ඒ සඳහා සුදුසු  පස, දේශගුණය සහ වෙනත් සාධක ලංකාවේ බොහෝ ප්‍රදේශ වල දැක ගත හැක. මෙම වගාවන්ගේ ඇති වැදගත්ම වාසිය නම් අස්වැන්න දීර්ඝ කාලයක් ගබඩාකර තබා ගත හැකි වීමයි. එළවලු වගාවෙන් මෙය වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන්ම මේ කාරණය නිසාය 

ලංකාවේ කෘෂි ක්‍ෂේත්‍රයේ නිපුණයෝ මෙන්ම රජයද තම දෑස යොමු කලයුත්තේ මෙයට නොවේද? එසේම ලාංකිකයා මෙම විවිධ වූ පරිප්පු සහ කඩල වර්ග වලට හුරු කරවීමද යමක් කළ හැකි අප සියළු දෙනා සතු වගකීමකි. 

එසේම අමතක නොකළ යුතු තවත් කාරණයක් නම් මෙලෙස ලංකාවේ මෙම ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය ඇරඹෙන විට වසර 100 ට වඩා පැරණි පිටකොටුව පසුබිම් කරගත් රුපියල් බිලියන ගණනක තොග ආනයන ව්‍යාපාරයක් කඩා වැටෙන බවයි. ඒ සමගම රැකියා දහස් ගණනක්ද අහිමිවේ. මෙවැනි කාරණා වලට පිළියම් සොයාගෙනම මෙම කර්තව්‍ය ආරම්භ නොකළහොත් එය තවත් සමාජ ප්‍රශ්නයකට මග පාදනු ඇත. 




17 comments:

  1. //ඔවුන් හැකි සෑම විටම ඉන්දියාව වෙනුවෙන් කල හැකි දෙයක් නොපමාව ඉටු කරයි. එසේම ඉන්දීය රජයද සෑම විටම විදේශයකින් උපකාර හෝ දැනුම ලබාගැනීමේදී එම රටවල සිටින ඉන්දීය ප්‍රභවයක් ඇති අයට ප්‍රමුඛත්වය දෙයි. //ලංකාවේ එවුන් කරන්නේ අපට බනින එක. ගියානම් හිටපන් එහෙ . මෙහෙ ලගින්න එන්නේ මොකටද? ඔන්න ඔය වගේ කතා . මට වාමාංශික මහත්මයෙකුත් කියල තියනවා ඕක ,

    ReplyDelete
  2. අවුරුදු කීපෙකට පෙර තරු පහේ හෝටලයක තිබුණ හින්දු මංගල උත්සවයකට සහභාගී වුණා. ඒ උත්සවයට සමහර විට ප්‍රා ජේත් ඉන්න ඇති. ඒකට ඉන්දියාවෙන් සූප වේදීන් ගෙන්නුවා කියලා කිවා මතකයි. එදා තිබ්බ කෑම සියල්ල නිර්මාංශිකයි. ඒතරම් කැමැත්තෙන් ගත් ආහාර වේලක් කවදාවත් කාලා නැහැ. මම නිර්මාංශික කෙනෙක් නොවේ. එහෙත් ඒ බුෆේ එකේ තිබ්බ කෑම වර්ග ප්‍රමාණය, රස ඉතාම ඉහලයි. එවන් ආහාර ඇති රෙස්ටොරන්ට් එකක්වත් මෙහෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. This is the beauty of Indian veg food. They have a millennia old veg food culture. In Sri Lanka, people just remove the non-veg part of a non-veg meal and call it veg food. Finally they eat a lot of rice to fill up the void. This is the main cause of diabetic among many vegs in the country.

      Delete
  3. චන්දිමගෙ හොඳම ඉන්දියන් රෙසපිය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. It should be decided by those who taste the food. For me

      Veg: Masala Aloo Palya from Karnataka & Panchratan dal curry from Rajasthan

      Non-veg: Mutton Chukka Varuval from Tamil Nadu & Dhaba Style Chicken from Punjab

      Pakistan Non-veg food is tastier than that in India

      Delete
  4. පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන් නම් විවිධ පරිප්පු වර්ග පිළිබඳව ඉතාම අගය කරනවා. ඔබ කියන දේ ,රට එපා වෙලා නේ ගියේ එහෙම එවුන් මොකටද ආයි අපිට උපදෙස් දෙන්න එන්නේ කියන ආකල්පය ලංකාවේ මිනිස්සු අතර පතුරුවා හරින්නේ දේසපාලුවන් කියලයි මම හිතන්නේ.මොකද ඵ් වගේ අයට ඇහුම් කන් දීලා ලංකාවේ අයගේ ආකල්පමය වෙනසක් සිදු වුනොත් ,දේසපාලුවන්ට මිනිස්සු රවට්ටන්න බැරි වෙනවා.

    ReplyDelete
    Replies
    1. These are few main types. There are many sub-varieties as well.

      https://food.ndtv.com/food-drinks/the-dal-glossary-8-types-of-lentils-and-their-benefits-1625287

      https://indiaphile.info/guide-indian-lentils/

      Delete
  5. Just some information
    Nowadays 90% of lentils imported from Canada, Australia and Turkey as in bulk with shell.Splitting is done locally. So it is very hard to find Indian 'Massor Dhall' now.
    Harsha

    ReplyDelete
  6. පරිප්පු වගේම රසවත් ලිපියක්!

    මගේ හිතාතෙක් ඉන්නවා ගෙදර මොන තරම් ව්‍යජන හදලා තිබුනත් පරිප්පුත් ඕනෑ කරන. උඋයලා නැතිනම් එයාම හරි පරිප්පු මිටක් උයාගෙනයි කන්න වාඩි වෙන්නේ!

    අවුරුදු දෙකකට උඩදී ලොකු උත්සව ශාලාවක පැවැත්වුණු මංගල්‍ය උත්සවයකට ගියා. එක කරියක් තිබුනා ඒකෙ කෑමත් එක්ක. නම 'ඩාල් මහාරාණි'. හැබැයි සාමාන්‍ය පරිප්පු ව්‍යංජනය මයි.

    (මාත් එක-එක සූපවේද අත්හදා බලන එක්කෙනෙක්. අජිත් ධර්මකීර්ති හිතවතාගේ බ්ලොගයෙදී දැකලයි මෙහාට ගොඩවුණේ.)

    ReplyDelete
  7. ඔබ කියන කතාව ඇත්ත. අපි අතීතයේ ඉන්දියාව සහ ඔවුන්ගේ පහළ ස්ථරය ගැන උපහාසයෙන් කථා කරනවා. ඉන්දියාවේ දුම්‍ රිය සේවය, නිෂ්පාදන ආර්ථිකය අහලටවත් අපිට යන්න බෑ. 2011 දී මමත් ගිය නිසා මේ දේවල් අත්වින්දා. ඔවුන් නොකරන දෙයක් තමයි ජනයා ආර්තික මට්ටම් වලින් වර්ග නොකිරීම. මම 2013 ඉඳන් නිර්මාංශිකයි. ආහාර වල රස, සුවඳ දැනෙන්නේ නිර්මාංශික වූ පසුව බව මගේ විශ්වාසයයි.

    ReplyDelete
  8. කදිම සටහනක්. ලංකාවේ අලුත් පාලකයින්ට ප්‍රතිපත්ති තීරණ ගන්නවානම් පරිප්පු, කිරි , සිනි , ටින්මාළු , කඩදාසි ආනයනය නොකරන තත්වයක් අවුරුදු 3-5 අතර කාලයකදී කරන්න පුළුවන්.

    ReplyDelete