Saturday, 22 August 2020

අපේ යුතුකම

වසර 2000 දී පමණ ඩුබායි ගුවන් තොටුපොලේදී ගුවන් යානා පමාවක් නිසා අහම්බෙන් මා සමග කතාබහේ යෙදුනු චීන ජාතිකයෙක් මට අපූරු කතාවක් කීය. එකල මගේ කථන පාලනයේ අඩුපාඩු කම් බොහෝ තිබුණි (අද නම් මම මුල් වරට හමු වූ අමුත්තකුගෙන් කෙසේවත් මෙසේ නොඅසමි).

"ඔබේ රටේ පාලකයන් හරිම අමානුශිකයි, ඔවුන් ඔබේ නිදහස අහුරලා, ඔබලා කතා කිරීමටත් බියයි. ඔබට හිතෙන්නේ නැද්ද කවදා හරි ඔබේ රට මහා විනාශයකට පත්වෙනවා කියා, සෝවියට් දේශයට උනා වගේ?"

මගේ චීන මිතුරා සිනාසුනි. 

"වෙන්න පුළුවන්" ඔහු කීය. චීන සමාගමක බ්‍රිතාන්‍ය ශාකාවේ නිලධාරියෙක්වන ඔහුගේ ඉංග්‍රීසි බස චතුර විය. 

"අපිට තියෙන වැඩත් එක්ක ආණ්ඩු කරන අය මොනවද කරන්නේ කියල හිත හිතා ඉන්න අපිට වෙලාවක් නැහැ. ඒ අයගේ වැඩ අපි කරන්න යනවා නම් ඒ අය මොකටද? පුරවැසියෙක් විදියට අපේ යුතුකම් අපි කරන්න ඕනේ කියන එක තමයි අපි බොහෝ දෙනෙක් හිතන්නේ. පාලකයෝ වරද්ද ගත්තොත් ඒක අපේ අවාසනාව. එහෙම කියල අපේ යුතුකම් අපි නොකර හිටියොත් කොහොමටත් අපි විනාශ වෙනවා". චීන යාළුවා ඔහුගේ සිනහව නිරතුරුවම මුවෙහි රඳවා ගනිමින්  කියාගෙන ගියේය.

අද වසර 20ට පසු චීනය එදාට වඩා බොහෝ සෙයින් ප්‍රභලය. එය සෝවියට් දේශය පසුපස යන පාටක් නැත. මා දැන් කියන්නේ එදා චීනා කී ජනතාවගේ යුතුකම්වලට මා වෙතින් අඩුවැඩිය පිරවුණු විස්තරයයි. තමා කාට චන්දය දුන්නත්, පත් වූ රජයට තමා කැමති වුනත් නැතත්, සියලු දෙනාගේ යහපත උදෙසා අප සියලු දෙනාටම කල හැකි දේවල් කිහිපයක් තිබේ. ඊළඟ වර රජය විවේචනය කිරීමට පෙර අපි මේ යුතුකම් ඉටු කරන්නේදැයි සිතා බලමු.

1. නිරෝගී ජිවිතයක් ගතකරන්න 

ලංකාවේ ජනතාව භාවිතාකරන බටහිර ඖෂධ හෝ ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් 99% ම පිටරටින් ගෙන්වයි (මා වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න). මේ අනුව ඔබ අසනීපයකට රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් ගන්නා සෑම බෙහෙත් වේලකටම විශාල විදේශ විනිමයක් පිටරටට ඇදී යයි. ඔබ ප්‍රතිකාර ගන්නේ රජයේ රෝහලකින් නම් ඔබට ලැබෙන බෙහෙත් සඳහා ලංකාවේ සෑම පුරවැසියකුම මුදල් ලබා දෙයි. 

මදක් කල්පනා කරන්න. ඔබ කවදාවත් සිතා ඇද්ද නිරෝගීව ජීවත්වීම රටට ඔබගෙන් ඉටුවිය යුතු යුතුකමක් බව? ඔබ ආහාර පාන ගැනීමේදී කෙතරම් සැලකිලිමත්ද? සුප් කැටයේ සිට ක්ෂණික නූඩල්ස් හරහා කෝලා සහ පැණි බීම වර්ග දක්වා ඔබ ආහාරයට ගන්නේ ශරීරයට දෙතිස් වද දෙන විෂ බව ඔබ සිතුවාද? මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නෙක් නම් එහි සිරුරට අහිතකර සීමා පිළිබඳව සිතනවාද? ව්‍යායාම කිරීමට ඔබ කෙතරම් දුරට යොමු වෙනවාද? ගෙදර කාන්තාවන්ගේ සෞඛ්‍යය පිළිබඳව ඔබ කෙතරම් සැලකිලිමත්ද? ලංකාවේ බහුතරයක් කාන්තාවන් වයස 35 ඉක්මවන විට කොන්දේ කැක්කුම්, ස්නායු ආබාධ සහ හිසරදයන්ට ලක් වන බව ඔබ දන්නවාද? ඊට හේතුව ඔවුන් සීමාව ඉක්මවා වෙහෙසකාරී ගෘහස්ත වැඩවල යෙදීම, අවශ්‍ය ව්‍යායාමවල නොයෙදීම (බොහෝ විට නිවසේ අනෙක් අයගෙන් ධෛර්ය ගැන්වීමක් හෝ උපදෙසක් නොලැබීම නිසා), සහ මානසික ආතතිය වැනි කාරණා බව වටහා ගෙනද?

2. දේශීය දේ භාවිතා කරන 

අද ලාංකිකයෙක් උදෑසන අවදිවී මුලින්ම අතට ගන්නේ වෙනත් රටකින් ආනයනය කල දත් බුරුසුවකි. එතැන් සිට රාත්‍රී නින්දට යන තුරු ලාංකිකයා පාරිභෝජනය කරන දෙයින් 80% ට වඩා පිටරටින් පැමිණෙයි. ඉන්දියානුවාගේ හෝ පකිස්ථානුවාගේ නොදකින පරදේශීය දෙයට දක්වන අධික කැමැත්තක් හෝ දේශීය දේ පිළිබඳව දක්වන නොසැලකිල්ලක් මම ලාංකිකයා තුල දකිමි. මේ දීන චින්තනයෙන් මිදෙන තෙක් අපට දියුණුවේ කඩඉම් පසුකිරීම අපහසුය.

ඔබට හැකි නම් අද දින සිට කෝලා බෝතලයකට දෙන මුදල තැඹිලි ගෙඩියකට දෙන්න, සබන් කෑල්ලක් ගනිද්දී එය ස්වදේශීය (ලංකාවේ අමුද්‍රව්‍ය යොදාගෙන සාදන) නිෂ්පාදනයක් දැයි විමසා බලන්න, කොස්සක්, ඉදලක් ගැනීමේදී දේශීය ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තැනූවක්දැයි සොයා බලන්න, ලංකාවේ සාදන පාවහන් යුගලක්, ඇඳුමක් ගන්න, ඔබ ජාතිය වෙනුවෙන් මහඟු සේවයක් කළා වනු ඇත. 

මෙහිදී ඔබගේ ප්‍රධානම කර්තව්‍යයක් විය යුත්තේ රූපවාහිනී දැන්වීම් වලට වහල් නොවීමයි. පර දේ ගෙන්වන බහුජාතික සමාගම්වලට මිලියන ගණනින් වියදම් කර දැන්වීම් දැමීමට හැකියාව ඇත. එය නැවතීමට ඔබට හෝ මට නොහැකිය. එහෙත් ඒවාට නොරැවටී, ගැති නොවී සිටීමට අපට සම්පුර්ණ නිදහස ඇත. අප විසින්ම අපගේ නිවහල් චින්තනය බහුජාතික සමාගම් වලට පවා නොදේ නම්, එය වෙනස් කිරීමට ඔවුනට හැකියාවක් නැත.

3. සුපිරි වෙළඳසැලෙන් ඉරිදා පොළට 

මීට දශක දෙකකට පමණ පෙර ලාංකික ජන ජිවිතයේ විශාල පෙරලියක් සිදුවිය. ඒ මධ්‍යම පන්තියේ තරමක් ඉහලින් සිටි බහුතරයක් හන්දියේ කඩෙන් සුපිරි වෙළඳසැලට මාරු වීමයි. මෙය ප්‍රවාහන පහසුව (බොහෝ දෙනෙකු වාහන හිමිකරුවන් වීම), කාලය ඉතුරු කරගැනීම මෙන්ම සමාජයේ කැපී පෙනීම අරඹයාද සිදුවිය. මේ පිරිසට පහල මධ්‍යම පන්තියේ පිරිසද කෙසේ හෝ එකතුවීමට උත්සහ කරන ලදී. මේ අනුව රටේ මුදල් වියදම් කිරීමේ හැකියාව ඇති විශාල පිරිසක් සුපිරි වෙළඳසැලට මාරු විය. අප නොසිතුවාට මෙය විශාල ආර්ථික සහ සාමාජීය ගැටළුවකට මුල පිරීය.

සාමාන්‍යයෙන් සුපිරි වෙළඳ සැලක විකිණෙන බඩුවකින් 40% ක් එම වෙළඳසැලට හිමිවෙයි. එසේම සුපිරි වෙළඳ සැලක මුල් තැන නිතරම ලැබෙන්නේ බහුජාතික සමාගම්වල භාණ්ඩ සඳහාය. 

ජාත්‍යන්තරව කරන ලද සමීක්ෂණ වලින් පෙනෙන්නේ සමාජයේ බහුතරයක් සුපිරි වෙළඳසැලකට ගිය විට බඩු ගැනීමට අවශ්‍ය කාලයට වඩා දෙතුන් ගුණයක කාලයක් නිකරුනේ වැය කරන බවයි. එසේම ඔවුහු ඇසුරුම් සහ ප්‍රදර්ශන මගින් කෙරෙන පෙළඹවීම් මත අවශ්‍ය නොවන බඩු රාශියක් සඳහාද මුදල් වැය කරති. 

අවසානයේදී රටේ ජනතාවට මෙමගින් විශාල පාඩුවක් සිදුවන අතර රටේ මුදල් සමාජයේ ඉතා සුළු කොටසක් අතට එක් රැස්වෙයි. ඒ සමගම සුළු ව්‍යාපාර මගින් මුදල් උපයාගත් පහල මධ්‍යම පන්තියේ විශාල පිරිසකගේ ජීවිකාවද බිඳ වැටී ඇත. 

සුපිරි වෙළඳ සැලෙන් නික්මී හන්දියේ ධර්මදාස ස්ටෝර්ස් එකටත් සති හෝ දිනපතා පොළටත් නැවත සංක්‍රමණය වීමට කාලය එළඹ ඇත. 

4. ඔබේ සේවය හරියට කරන්න 

ලොව කිසිඳු රටකට වඩා විශේෂත්වයක් මම ජපානය සහ ජර්මනිය යන රටවල දකිමි. ඒ සමාජයේ ඉතාම පහල ස්ථරයේ සිට ඉහලම තැනට යන තුරු සියළු දෙනාම පාහේ තමාගේ ජීවිකා වෘතිය හැකිතාක් නිවැරදිව සහ යහපත් ආකාරයෙන් ඉටු කිරීමට උත්සහ දැරීමයි. මෙහි යහඵල සමාජයේ සියලුදෙනාම භුක්ති විඳිති.  

දැන් ඔබ සිතන්න. ඔබ රජයේ සේවකයෙක් හෝ පෞද්ගලික අංශයේ සේවකයෙක් නම් ඔබ ලබා ගන්නා පඩියට කොපමණ සාධාරණයක් ඉටු කරනවාද? ඔබ ස්වයං ව්‍යාපාරයක යෙදෙන්නෙක් නම් තම පාරිභෝගිකයාට හෝ සේවාලාභියාට ගන්නා මුදලට සරිලන සේවයක් ලබා දෙනවාද? බොහෝ දෙනෙකුට මේ පැනයට හිතට අවංකව "ඔව්" යන පිළිතුර ලබා දිය නොහැකි වනු ඇත. 

මා පෞද්ගලිකවම දන්නා පරිදි බොහෝ ආයතනවල කිසිම වැඩක් නොකරන හෝ වැඩ ඉතා නොසැලකිල්ලෙන් කරන පිරිස අතර වෘතිය සමිති නායකයන් මුල් තැන ගනී. එසේම ආයතනය, පරිපාලනය හෝ රජය විවේචනය කිරීමේ ප්‍රමුඛතාවය ගන්නේ තමන්ගේ සේවය ඉතා අයහපත් අන්දමින් කරනා පිරිසයි. මේ ගැන ස්වයං-අවබෝධයකට පැමිණ ඔබේ පිළිවෙත් වෙනස් කරගන්න.

5. නාස්තිය පිටුදකින්න 

මා විසින් රචිත "ධනවතෙකු වීමේ මග" පොතෙහිද පරිච්ඡේද කිහිපයකම අවධාරණය කල පරිදි පුද්ගලයෙකුගේ, පවුලක හෝ රටක පරිහානිය සීඝ්‍රගාමී කිරීමේ ප්‍රධානම සාධකයක් නම් නාස්තියයි. මෙතෙක් මා සංචාරය කර ඇති රටවලදී මා දුටු විශේෂ රටාවක් නම් රටක සිදුවන නාස්තිය එම රටෙහි දිළිඳු කමට අනුලෝමව සමානුපාතික වන බවයි. එනම් අඩුවෙන්ම නාස්තියක් ඇත්තේ ලොව ධනවත්ම රටවල වන අතර වැඩියෙන්ම නාස්ති කරන්නේ ලොව දිළිඳුම රටවල්ය. 

මුලින්ම ඇතිවන්නේ නාස්තියද දිළිඳුකමද යන්න මම නොදනිමි. එහෙත් නාස්තිය වලකාගත නොහැකි රටක් දියුණු වේ යයි සිතීම නම් මුලාවක් බව පමණක් මට වැටහේ. ආහාර පාන, ජලය, විදුලිය, ලිපි ද්‍රව්‍ය, රෙදිපිළි ආදී මෙකී නොකී දහසකුත් දෑ ලාංකිකයා නිරන්තරයෙන් නාස්තිකර දමයි. මා කියන දේ වටහා ගැනීමට නම් ඔබ බුෆේ ක්‍රමයට ආහාර බෙදාගෙන භුක්ති විඳිය හැකි ස්ථානයකට හෝ උත්සවයකට ගොස් බලන්න. 

විශේෂයෙන්ම, බොහෝ දෙනෙක් තම සේවා ස්ථානයේ කරන නාස්තිය මොන තරම්දැයි සිතා බලන්න. 

ඔබ භාවිතය සඳහා අතට ගන්නා ඕනෑම දෙයක් එහි උපරිමය දක්වා ප්‍රයෝජනයට ගන්න. එසේ නොහැකි නම් එයට අත නොතබන්න. තමන්ට අවැසි තරමින් පමණක් ඕනෑම දෙයක් ලබා ගන්න. 

ඉහත සඳහන් පස් වැදෑරුම් ක්‍රමවේදය සඳහා ඔබට කිසිවෙකුගේ අනුග්‍රහයක් හෝ රජයේ මැදිහත්වීමක් අවශ්‍ය නොවේ. ඒ සෑම කරුණක්ම ඔබට පෞද්ගලික මට්ටමින් කල හැකි දේවල්ය. එය ක්‍රමයෙන්, පවුල, ගම, නගරය හරහා රටටම ව්‍යාප්ත වනු ඇත. 

මේ සියල්ල කිරීම සඳහා සිත සකස් කරගැනීමට ඔබට තව එක් දෙයක් අවශ්‍යවේ. එනම් තම ඊර්ෂ්‍යාව දුරලීමයි. ඊර්ෂ්‍යාව ඔබගේ මානසික සහනය වනසා දමයි. මමත්වය ඉස්මතු කරයි. අනෙකාට වින කැටීමට ක්‍රමයක් ඇත්තෙම නැත්නම් අවවාද අනුශාසනා දෙන මුවාවෙන් හෝ අනෙකාට පහරදීමට ඊර්ෂ්‍යාව ඔබව පොළඹවයි. මේ ඊර්ෂ්‍යාව පිරි ලාංකික චරිත මට ජීවිතයේදී අනන්තවත් හමුවී ඇත. ලෝකයේ කොතැනක සිටියත් ලාංකිකයාට දුරු කරගැනීමට අසීරු මේ ජානගත ගුණය කෙසේ හෝ සහමුලින් උපුටා දැමීමට ඔබත් අධිෂ්ඨාන කරගන්න. අළුත් ලොවක් එතනින් බිහිවනු ඇත. 


1 comment: