Wednesday 6 March 2024

අකුණු සන්නායකයේ රේඩියම්

 


"පරණ අකුණු සන්නායක වල අර්ත් එකේ වටිනා ලෝහ තියෙනවා කියන්නේ ඇත්තද?" මේ පසුගිය දෙවසර තුල මට නිරන්තරයෙන් ලැබුණු පණිවිඩයකි. මේ ලෝහය රේඩියම්, ඉරේඩියම් මෙන්ම පොසිට්‍රෝන තැන්පතුවක් ලෙසත් තිබෙනවාදැයි පැනය මතු කල අය අසා තිබුණි. මගේ පිළිතුර වූයේ අපට දැනට ඇති දැනුම අනුව මෙවැනි දෙයක් සිදු වීමට කිසිඳු ඉඩකඩක් නැති බවයි. එය සම්පුර්ණයෙන්ම අභව්‍ය දෙයක් බව මම ඔවුනට පැවසුයෙමි. මගේ පිළිතුර බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු සුන් කල බව ඔවුන්ගේ ඊළඟ කතාබහෙන් හැඟී ගියේය. මේ අතර මාධ්‍වේදීන්ද විය. සමහරෙක් මගේ දැනුම පිළිබඳව උද්වේගකරව ප්‍රශ්ණ කරන තරමට තත්වය වියවුල් විය. 

මේ ගැන නැවත නැවතත් පැමිණෙන පණිවිඩ නිසා මම ලෝකයේ වෙනත් රටවලත් මෙවැනි විප්‍රකාර සිදුවී ඇත්දැයි විපරම් කලෙමි. අවසානයේදී මට ඉන්දීය මිතුරෙකුගෙන් සමාන සිදුවීමක් පිළිබඳව අසන්න ලැබුණි. 

මීට වසර 20-30ට පමණ පෙර උතුරු ඉන්දියානු ප්‍රාන්ත කිහිපයකම බ්‍රිතාන්‍ය සමයේදී සවි කල කොඩි ගස් සඳහා මිලියන ගණනින් මුදල් දෙන බවට රාවයක් ගොස් ඇත. මේ ලෙස කොඩි ගස් මිළදී ගන්න බව කියූ පුද්ගලයන් ඒ සඳහා අවට සාරා කොඩි ගස ඉවතට ගෙන එම වල අවට සහ කොඩි ගසේ පාදම යම් පරීක්ෂණයකට ලක් කල යුතු බව කියා ඇත. පුද්ගලයන් ගණනාවක්ම තම පෞද්ගලික ඉඩම්වල ඇති පැරණි කොඩි ගස් මේ ආකාරයට විකිණීමට උත්සහ කර ඇත. කොඩි ගස ඉවතට ගෙන පස් ඉවත්කළ වලෙහි සහ කොඩි ගසේ පාදමෙහි යම් නිරීක්ෂණයක් (බොහෝ විට ඔවුන් metal detectors භාවිතාකරන්න ඇත) කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් අවශ්‍ය ලෝහ එහි නොමැති බව පවසා යන්න ගොස් ඇත. මිලියන ගණනකට කොඩි ගසක් විකුණු හෝ මිළදී  ගනු ලැබුවෙකු පිළිබඳව කිසිඳු වාර්තාවක් පලවී නැත.

ටික කලකට පසු ආරංචි වී ඇත්තේ මෙබඳු කතාවකි. යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු විසින් මහරජාවරුන්ගේ මාලිගාවලින් සහ කෝවිල්වලින් කොල්ලකන ලද විශාල වස්තු සම්භාරයක් බ්‍රිතාන්‍ය කිරීටයේ ලාංඡනය සහිත කොඩි ගසක් යට වළදමා ඇත. යම් ලියවිල්ලක ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇති අතර පසු කලෙක බ්‍රිතාන්‍යයට රැගෙන යාමට අදහස් කරගෙන සිටි බැවින් ඔහු එම කොඩි ගස ඇති නිශ්චිත ස්ථානය පිළිබඳව සඳහනක් කර නැත. නමුත්  මෙම නිලධාරියා අනපේක්ෂිත ලෙස මැලේරියාව වැළඳීමෙන් ඉන්දියාවේදී මිය ගොස් ඇත. පසු කලෙක මේ ලියවිල්ල කිසිවෙකු අතට පත්ව ඇත. 

බ්‍රිතාන්‍යයන් සිදුකල කොල්ලකෑම් සහ සොරකම් සලකා බලන විට ලංකාවේදී මෙබඳුම සිදුවීමක් වීමට ඇති ඉඩකඩ වැඩිය.  




Sunday 3 March 2024

ඇදහීම මිත්‍යාව සහ විද්‍යාව


"ඇදහීම" සඳහා විවිධාකාර අර්ථ දැක්වීම් ඇත. මේ අතරින් වඩාත්ම පිළිගත් නිර්වචනය නම් "තමාට ප්‍රත්‍යක්ෂ නොවූ යමක් වෙන කෙනෙක් පැවසූ නිසා සර්ව සත්‍යයක් ලෙස පිළිගැනීමයි".

මෙම නිර්වචනයට අනුව පව්-පිං වල විපාක ඇති බව, උපතට පෙර සහ මරණින් මතු පැවැත්ම, නිර්වාණය හෝ මෝක්ෂය, සර්වබලධාරී දෙවි කෙනෙකු සිටින බව, දෙවිවරුන්, දිව්‍යතල, භූත-ප්‍රේත ආත්ම සහ ලෝක, අපාය ආදී සංකල්ප සියල්ලම ඇදහිම්ය.

මිත්‍යාව යන සංකල්පය ඇතිවන්නේ ඇදහීම නිසාය. යමක් අදහන්නාට ඉන් පරිබාහිර වූ සියල්ල මිත්‍යාවන්ය. මේ අනුව මිත්‍යාව පුද්ගල-සාපේක්ෂ කරුණකි. කෙනෙකුගේ පරම සත්‍ය තවත් අයෙකුගේ මිත්‍යාවක් විය හැක. 

බොහෝ අය මගෙන් අසන ප්‍රශ්ණයක් වන්නේ මේ අර්ථ දැක්වීමට අනුව විද්‍යාවත් ඇදහීමක් නොවන්නේද යන්නයි. මෙම ගැටලුවට හේතුව බොහෝ දෙනෙකුට විද්‍යාවේ මූලික සංකල්පය පිළිබඳව අවබෝධයක් නැති වීමයි. විද්‍යාව නමැති සමස්ත ක්‍රියාවලියේම කිසිවක් සර්ව-සත්‍යයක් ලෙස පිළිගැනෙන්නේ නැත (තමාටම ප්‍රත්‍යක්ෂ වුවත්). මෙහිදී සිදු කෙරෙන්නේ යම් කාල රාමුවකදී යම් යම් තත්ව යටතේ යමක් තාවකාලිකව නිවැරදියයි සැලකීමයි. ඉන් පසු එම මොඩලය (නිවැරදි යැයි සැලකූ සංකල්පය) යොදාගෙන විශ්වයේ නොයෙකුත් සංසිද්ධීන් තේරුම් ගැනීමට අපි උත්සහ කරමු. එය කිරීමේදී ගැටළු මතුවන විට අපි මොඩලය වෙනස් කර ගනිමු.

"විද්‍යාවෙන් මිත්‍යාව බිඳීම" ආදී ප්‍රකාශවල කිසිඳු පදනමක් නැත. මිත්‍යාව ඇදහීම මත පදනම් වූ සංකල්පයකි. විද්‍යාවේ ඇදහීමක් නැත. මේ නිසා විද්‍යාවෙන් කිසිවක් මිත්‍යාවක් ලෙස දැකිය නොහැක. විද්‍යාව තුල ඇත්තේ දෙනු ලබන කාල රාමුවක් තුල අපගේ බුද්ධි මට්ටමට සහ දැනුම් සම්භාරයට ගෝචර වන සහ නොවන කාරණා පමණකි. වෙනත් කාල රාමුවක මේ තත්වයන් වෙනස් විය හැක.