Saturday 26 September 2020

කරවල කෑල්ලෙනුත් පර්යේෂණ පත්‍රිකාවක්


වසර තුනකට පමණ පෙර මට ලංකාවේ පැවති පර්යේෂණ ක්‍රමවේද පිලිබඳ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීමට ආරාධනා ලැබුණි.  මෙහිදී මට හමුවූ බොහෝ ලාංකික විද්‍යාඥයන් තුල දකින්නට ලැබුණු කරුණක් නම් ඔවුන් පර්යේෂණ ගැටළුවක් සොයාගත නොහැකිව අතරමං වී ඇති බවයි. නමුත් ඒ කිසිවෙක් මේ බව කෙලින්ම පැවසුවේ නැත. 

ලංකාවේ වෙසෙන බොහෝ පර්යේෂකයන් කරන්නේ තමන් ආචාර්ය උපාධිය සඳහා අධ්‍යනය කල විෂය ඔස්සේම තව දුරටත් ගමන් කිරීමට උත්සහ කිරීමයි. එය ඔවුනට යම් සුරක්ෂිතබාවයක් ලබා දෙයි. එසේම විදේශීය රටක සිටින ඔවුන්ගේ PhD  සුපවයිසර්වරයාගේද අභිප්‍රාය එයමය. මන්ද එමගින් ඔවුනට තමන්ගේ මූලික පර්යේෂණ අවශ්‍යතා සපුරාගත හැකි බැවිනි.  එබැවින් මේ දේශීය පර්යේෂකයෝ රටට අවශ්‍ය වුවත් නැතත් එකම හොද්ද සදාකාලිකවම හැඳි ගාති. ඒ වෙනුවෙන් ඉඳහිට ලැබෙන  විදේශීය ගමනකින්, පර්යේෂණ පත්‍රිකාවකින්, සුළු පර්යේෂණ අරමුදලකින් ඔවුහු සෑහීමකට පත්වෙති. මේ රටාවෙන් ඉවත්ව ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඔවුන්ගෙන්ද වැඩි පිරිසක් රට හැර ගොස් ඇත.

මේ තත්වය බොහෝ නොදියුණු රටවල මම පැහැදිලිවම දකිමි. ලංකාව ඉන් එකක් පමණි. මේ රටවල් නොදියුණු ලේබලයෙන් ගොඩ ඒ ගත නොහැකිව සිටින ප්‍රධාන හේතුවක් වන්නේද මෙයයි. 

ඔබට රටට සේවයක් කරන්නටත්, පර්යේෂණ පත්‍රිකා ඵල කරන්නටත් ඒ වෙනුවෙන් දැඩි ඇගයීමකට ලක්වීමටත් අවශ්‍ය නම් තමා සතු පර්යේෂණ උපකරණ වලින් පමණක් කල හැකි දේ පවා බොහෝ ඇත. 

මම උදාහරණයක් දෙන්නම්. 

ලංකාවේ කරවල සෑදීමේ ක්‍රමවේදය බොහෝ දෙනෙකුට නොරහසකි. විකුණා ගත නොහැකි කුණුවූ මාළුවන් ෆෝමලීන් සහ වෙනත් රසායනික ද්‍රව්‍යවල ගිල්ලා ඉන්පසු ක්ෂනිකව වේලා පිළියෙළ කරගන්නා මේ කරවල වලට මැස්සෙක් වත් වහන්නේ නැති බව බොහෝ දෙනෙකු අසා ඇත. 

මෙය කරන්නේ මුහුදු ගොස් දිවි පරදුවට තබා මත්ස්‍ය අස්වැන්න රැගෙන එන ධීවරයාද? බොහෝ විට උත්තරය නැත යන්නයි. මෙය දේශපාලන අධිකාරිය, පොලීසිය, පාතාලය යන ත්‍රිත්වයම එකතු වූ මහා පරිමාණ ක්‍රියාවලියක් බව බොහෝ දෙනෙකුට රහසක් නොවේ. 

මේ අවකල් ක්‍රියාවට එරෙහිව ගොඩනැගෙන අරගලයකදී  සහයවනවා නම්, රසායන විද්‍යාව හා සම්බන්ධ පර්යේෂකයෙකුට කල හැකි ඉතා සරල ක්‍රියාවලියක් ඇත. 

ලංකාවේ කරවල වෙළඳසැල් 100 කින් පමණ කුඩා කරවල නියැදි ලබාගෙන (ඔබට මේවා මිලදී ගත යුතු වනු ඇත), එහි ඇති සංඝටක පිළිබඳව විශ්ලේෂණය කරන්න. කරවල වර්ගය, කරවල කුරියාගේ අදාළ කොටස (හිස ආසන්නයේ, මාංශමය කොටස්, කටු, ආදී), තෙතමනය, එය ලබා ගත් ප්‍රදේශය, විකුණන ස්ථානයේ ස්වභාවය සහ  සොයාගත හැකිනම් කරවල සාදන ප්‍රදේශය සහ ඒවායේ කාලය  ආදී පරාමිති අනුව ඔබට කරවල වල ඇති රසායනික ද්‍රව්‍ය, බැර ලෝහ, ජීව කාරක ආදිය විශ්ලේෂණය කල හැක. මෙය අනිවාර්යයෙන්ම ඉහල IF (impact factor) අගයක් ඇති සඟරාවක පළ කල හැකි පත්‍රිකාවක් වනු ඇත. 

එසේම මෙවන් විද්‍යාත්මක සාක්‍ෂියක් මත පදනම්ව කටයුතු කිරීම මෙවැනි අවනීතික ක්‍රියාවලියකට එරෙහිව නැගී සිටීමට විශාල ශක්තියක් වනු ඇත. එය ඔබ සමාජ ජාලාවල පලකරන සහයෝගීතාවන්වලට වඩා ඉමහත් වටිනාකමක් ගනු ඇත. 

මේ ක්‍රමවේදය මේ ආකාරයටම කහ කුඩු, මිරිස් කුඩු, නොයෙකුත් පැණි බීම වර්ග, එළවලු-පලතුරු, සහල් සහ ධාන්‍ය වර්ග, මස් මාළු ආදී ආහාර වර්ග රාශියක් සඳහා ව්‍යාප්ත කල හැක. 

මෙය රසායනික විද්‍යාඥයන්ට පමණක් අදාළ කාරණයක් නොවේ.  ලංකාවේ විකුණන ගඩොල්, බ්ලොක් ගල්, උළු  කැට ආදියෙහි යාන්ත්‍රික ශක්තිය (mechanical strength), කල් පැවැත්ම, ජලය සමග හැසිරීම ආදිය පිළිබඳව කිසිවෙක් පත්‍රිකාවක් පළ කර ඇද්ද? ලී පදම් කිරීමට, කල් තබා ගැනීමට හා කෘමින්ගෙන් ආරක්ෂා කරගැනීමට ආලේප කරන තීන්ත සහ වෙනත් මිශ්‍රණවල සෞඛ්‍යමය බලපෑම ගැන හදාරා ඇත්ද? වෙළඳපොලේ ඇති සරල විද්‍යුත් උපකරණවල ආරක්‍ෂිත තත්වය පිළිබඳව පරික්ෂා කර ඇත්ද? මේ ලැයිස්තුව ඉතා දිගය.

ලාංකික පර්යේෂකයාගේ අදහස මේ සියල්ල ප්‍රමිති කාර්යාංශය මගින් කල යුතු බවද?  

හිතන්න යමක්. බලන්න දෑස් හැර අවට පරිසරය දෙස. ඔබේ රටට ඔබ අවශ්‍යය. ඔබ කල යුත්තේ ඔබට අවශ්‍ය දෙය විතරද? 


Friday 25 September 2020

Research for whom? A Message to the Third World Scientists



The Developed World used to fund researchers and research groups in under-developed countries (UDCs) for the last five decades. I am also a beneficiary of such generosity of the West. The UDCs should be thankful to the developed countries for such gestures with goodwill. There is no argument about that.

However, there is a point of concern.

How many research groups in the UDCs that have been funded by the developed world are successful in getting a significant revenue to their respective countries through their research outputs?

If that number is noticeably high, then there would not be UDCs by now.

If you do a careful review of the research groups that have been established in UDCs for the last half a century, you may detect one obvious common factor among them. All those groups are excelling in basic research, the essential ingredient for the survival of applied research. However, they hardly step beyond the basic research.

Almost all these West-funded groups in UDCs have a link university in the country that funded the group. Whereas the research group in the UDC work hard to produce fundamental research outcomes, the link research group and many other research teams in the developed countries take the applied part of the research forward, which ends up at the commercial spheres.

Many researchers in UDCs would not like to voice regarding this situation, even if they understand this pattern. The simple reason is that they are the beneficiaries of many perks such as research funding (most often insignificant amounts compared to what the research groups in developed countries get for producing the same outputs), occasional foreign trips, conference attendance etc. Research papers, H-index, citations are the other bag of carrots that is thrown at them to work hard while keeping their mouths shut.

Japan escaped from this loop at a very early stage. South Korea, Taiwan, and Singapore followed them a couple of decades later. In the last two decades Malaysia, Thailand and India have been making valiant efforts to break away from this trap.

I don't see any issue in starting and bringing up a research group in UDCs with the funding from the developed countries. However, at a certain stage, these groups need to be self-sufficient to stand on their own feet. In contrast, a vast majority of them are driven by a slave mentality, where they expect the masters to feed them forever. Most of these researchers think that their duty is to produce what their masters require.

During my almost ten year stay in Malaysia as a researcher and academic, I clearly noticed the change of mentality of the people there.

"Every dollar that the government throws on research should be converted into three dollars in terms of research outputs".

This message was there in between the line, in all grant announcements. The mindsets of researchers were impregnated with the note that the ultimatum of a research project is not a publication in a highly cited journal; not even getting IP rights; but to convert the outputs into commercialization.

Without this vision, researchers in UDCs will keep on moving in the same direction, where they are mere heavy-duty trucks that deliver goods to the factory. Their research will never make any noteworthy benefits to their own country.

Let's develop result-oriented researchers in UDCs who bring revenues to their own countries.


Friday 18 September 2020

තේරුම්ගැනීමේ සිට අවබෝධයට



කෙනෙකු යමක් තේරුම් ගැනීම යනු කුමක්ද? 

මගේ අර්ථ දැක්වීමේ හැටියට නම් යමක යථා තත්වය පිළිබඳව තමන්ගේ රාමුව තුල වටහා ගැනීම තේරුම් ගැනීමයි.  අවබෝධ කරගැනීම යනු තමා තේරුම් ගත් දෙය තමන්ගේ මනස විසින් පිළිගැනීමයි. 

කෙනෙකු යමක් තේරුම් ගන්නේ එකිනෙකට පරායත්ත කාරණා දෙකක් මතය. එනම් තමන්ගේ දැනුම් සම්භාරය සහ විශ්ලේෂණ හැකියාවයි. මේ කාරණා දෙකම එකිනෙකට සම්බන්ධව කාලය අනුව වෙනස් වේ. එබැවින් කෙනෙකුගේ තේරුම් ගැනීමේ ස්වභාවය කාලානුරූපී වෙයි. 

ලෝකයේ එකම දැනුම් සම්භාරය සහ විශ්ලේෂණ හැකියාව ඇති දෙදෙනෙකු සෙවීම එකම ඇඟිලි සලකුණු සහිත දෙදෙනෙකු සෙවීම හා සමානය. එබැවින් ඔබ තේරුම් ගත් දේ තවත් කෙනෙකු එලෙසටම තේරුම් ගැනීම හෝ එහි විලෝමය බලාපොරොත්තු වීම හාස්‍ය ජනකය. 

තේරුම් ගැනීමේ සිට අවබෝධය කරා යාමට විශාල බාධකයක් පසුකල යුතුය. එය මානසික අවස්ථිතිය (mental inertia) නම්වේ. එනම් කෙනෙකු තමන් සිටින මානසික ස්ථාවරයෙන් වෙනස්වීමට දරණ අකමැත්තයි. භෞතික වස්තූන් සඳහා මෙම සංකල්පය යෙදෙන විට එය නිව්ටන්ගේ පළමු නියමය ලෙස හැඳින්වෙයි. මෙය විශ්වීය සංසිද්ධියකි. 

මානසික අවස්ථිතිය රටක සාමය සහ සහජීවනයට (ඊළඟට සංවර්ධනයට) ප්‍රතිලෝමව සමානුපාතික බව මනෝ විද්‍යාත්මක මතයයි. එනම් මානසික අවස්ථිතිය අධික ජන විඥානයක් පවතින රටවල ගැටුම් අධිකය. මේ නිසා සංවර්ධනය දැඩි පසුබෑමකට ලක්වෙයි. විශ්ලේෂණ ශක්තිය සහ මානසික අවස්ථිතිය අතරත් පැහැදිලි ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තිබෙන බව කිවහැකියි. එනම් විශ්ලේෂණ ශක්තිය අඩු අය අතර මානසික අවස්ථිතිය අධිකය.

අප උදෑසන ගන්නා ආහාරය සහ සහ එහි ප්‍රමාණය නිර්ණය කිරීම වැනි සරල තීරණයක සිට වෘතිය, දේශපාලන සහ ආගමික කාරණා ආදිය සම්බන්ධයෙන් තමා ගන්නා තීරණ දක්වා මේ දැනුම් සම්භාරය, විශ්ලේෂණ ශක්තිය සහ මානසික අවස්ථිතිය බලපායි. 

යමෙක් තමාගේ තීරණය ක්‍රියාවේ යොදවන්නේ තමන් යමක් තේරුම් ගන්න ආකාරය මත නොව තමන් එය අවබෝධ කරගන්නා ආකාරය මතය. මේ අනුව තමන්ගේ දැනුම් සම්භාරය සහ විශ්ලේෂණ හැකියාව නිශේධනය කිරීමේ බලතල මානසික අවස්ථිතියට ඇත. සමහරුන්ට ඔබ යමක් තේරුම් කරදීමට උත්සහ ගනිද්දී. "ඒක නම් ඇත්ත, ඒ උනාට ...." කියමින් ඔහු තමන්ගේ මතයේම පිහිටා සිටින්නේ මේ මානසික අවස්ථිතිය නිසාය.

අලෙවි ප්‍රවර්ධනය සහ දේශපාලනය යන කාරණා වලදී සාර්ථක වන්නේ මේ මිනිස් මානසික ස්වභාවය මැනවින් වටහාගන්නා පිරිසයි. සමස්තයක් ලෙස දැනුම් සම්භාරය සහ විශ්ලේෂණ ශක්තිය අඩු ජන කොට්ඨාශයක එම පරාමිති දෙක වැඩි දියුණු කිරීමට වඩා ඔවුන්ගේ මානසික අවස්ථිතිය හැසිරවීමෙන් දේශපාලකයාට සහ වෙළෙන්දාට වාසිදායක ප්‍රතිඵල අත්කරගත හැකිය. පුජ්‍ය පක්ෂයද මේ වාසිය අත්කරගන්නා තවත් පිරිසකි. 

අධික මානසික අවස්ථිතියක් ඇති පුද්ගලයෝ ඉතා විශ්වාසවන්ත අනුගාමිකයෝය (නොඑසේ නම් සේවකයෝය). ඔවුන් මොනතරම් අඩුපාඩු, ගැහැට, අකටයුතු තේරුම් ගත්තත්, තමා පක්ෂපාති වන පුද්ගලයා, නිෂ්පාදනය හෝ මතවාදය මතම එල්බ ගෙන සිටියි. මෙවැනි පුද්ගලයන් වෙනස් කිරීම ඉතා අපහසුසේම වරක් වෙනස් කල පසු නව මතයෙන් නැවත වෙනස් කිරීමද ඉතා අපහසුය. 

මානසික අවස්ථිතිය අධික පුද්ගලයන් වෙනස් කිරීම වෙනමම කලාවකි. මෙහිදී ආමන්ත්‍රණය කල යුත්තේ ඔවුන්ගේ බුද්ධියට නොව සංවේදීතාවයටයි. මේ කලාව ප්‍රගුණ කළ විරුද්ධ හෝ තරඟකාරී පාර්ශවයක් නොමැති කල, මේ ආකාරයේ තමාට පක්ෂපාති අධි-අවස්ථිතික පුද්ගලයන් වෙනුවෙන් යම් යහපතක් හෝ සේවයක් කිරීමට දේශපාලකයාට, වෙළෙන්දාට හෝ ස්වාමියාට අවශ්‍යවන්නේ නැත. මන්ද කුමන තත්වයක් යටතේ වුවත් ඔවුන්ගේ පක්ෂපාතිත්වය පවතින බැවිනි. 


       



Sunday 13 September 2020

ජීවිතයට විරාමයක්



ආදී මානව සමූහයක් තුල ඉතා අර්ථවත් සහ සරල සහජීවනයක් තිබුණු බව මානව විද්‍යා මතයයි. සහජයෙන් ක්ෂමතාවය (power) අධික පුරුෂ පාර්ශවය දඩයමේ ගොස් ආහාර සොයාගෙන පැමිණෙයි. සතුන් පිටිපස හඹා යාම, ඔවුන් මෙල්ල කිරීම හෝ මරා දැමීම, විශාල බරක් ටික වේලාවකට එසවීම, දුෂ්කර ගිරිකදුරු තරණය, සතුරු මානවයන් සමග සටන් කිරීම ආදී කරුණු සඳහා අධික ක්ෂමතාවය අත්‍යවශ්‍ය වේ. අධික ශරීර කෂමතාවය යනු තමා සතුව පවතින ශක්තිය කෙටි කලකදී වැය කිරීමට ඇති හැකියාවයි. 

දැරීමේ ශක්තියෙන් (energy capacity) පුරුෂයාට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටි කාන්තාව ආහාර පිසීම, දරුවන් රැක බලා ගැනීම, වාසස්ථානය පවිත්‍රව තබා ගැනීම, පරිභෝජනයට අවශ්‍ය ජලය රැගෙන ඒම, දර එකතු කිරීම ආදී වැඩකටයුතු රාශියක් කරන ලදී. දැරීමේ ශක්තිය යනු මධ්‍යම ප්‍රමාණික ක්ෂමතාවයකින් දීර්ඝ කාලයක් හැල්මේ වැඩ කිරීමට ඇති හැකියාවයි. 

මේ අනුව ඉංග්‍රීසි බසින් පිරිමියා powerful සහ ගැහැණිය energetic වශයෙන් ගුණ අනුව බෙදිය හැක. සිංහලෙන් මෙම වදන් දෙකේ පරිවර්තනය වන "බලවත්" සහ "ශක්තිමත්" යන යෙදුම් මේ සඳහා මොන තරම් ගැලපේදැයි මට නොතේරේ.

ව්‍යතිරේක කිහිපයක් හැරුණු කොට මේ සරල බෙදීම වසර මිලියන දෙකක් පමණ තිස්සේ සුළු සුළු වෙනස්කම් සහිතව විකාශය විය. පිරිමියාගේ කාර්යභාරය සෑහෙන වෙනස්කම් වලට භාජනය වුවත් අධික ක්ෂමතාවයේ අවශ්‍යතාවය පහව නොගියේය. සමහර රැකියාවල් සම්බන්ධයෙන් ශාරීරික ක්ෂමතාවය, මානසික ක්ෂමතාවයෙන් ප්‍රතිස්ථාපනය විය. 

නමුත් 20 වන සියවසේ මැද භාගයේදී මේ වසර මිලියන දෙකක ජීවන රටාව වෙනස්විය. කාන්තාව නිවසේ ආර්ථිකයට දායකවන වාතාවරණයක් නිර්මාණය වන්න විය. මේ අනුව නොදැනුවත්වම කාන්තාව අධික-ක්ෂමතා කැටිගරියට වැටෙන්න විය. 

මේ තත්වය මුලින්ම ඇතිවූ යුරෝපය, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල ජන විඥානය මේ වන විට යතාර්ථය තේරුම් ගත හැකි තරම් උසස් මට්ටමක පැවතියේය. මෙයට දෙවන ලෝක යුද්ධයේදී ලද කටුක අත්දැකීම් බෙහෙවින් බලපාන්නට ඇතැයි මට සිතේ. ඔවුන් ක්‍රමයෙන් තම ජානගත මානසික ප්‍රතිරෝධතාවන්ගෙන් මිදෙමින් ගැහැණිය හා පිරිමියා අතර ක්ෂමතාවය සහ ශක්තිය බෙදා හදාගන්න විය. ගැහැණිය අධික ක්ෂමතාවයක් ඉල්ලන ආර්ථික බරෙන් කොටසකටත්, පිරිමියා අධික දැරීමේ ශක්තියක් ඉල්ලන ගෘහාශ්‍රිත කටයුතු වලටත් උරදෙන්න විය. 

මේ සුසංයෝගය නිවසේ සාමය, සතුට සහ ආර්ථික ප්‍රබෝධය යන තුනටම හේතු සාධක විය. මිනිසාට ගැහැණු පිරිමි බේදයකින් තොරව ජීවිතය සුන්දර විය. මට පෞද්ගලික අත්දැකීම් රාශියක් ඇති ස්කැන්ඩිනේවියානු රටවල තම රැකියාවේ සාර්ථකත්වය ගැනත් තම ඉවුම් පිහුම්, ගෘහ අලංකාරය පිලිබඳ ඇති නිපුණතා ගැනත් වහසිබස් දොඩවන ගැහැණු-පිරිමි දෙපාර්ශවයම  අනන්තවත් හමුවී ඇත. මෙම රටවලට ඉතා කෙටි කලෙකින් ඇලවුනු "සංවර්ධිත රටවල්" යන ලේබලය මුද්‍රණය වීමට මේ කාරණය විශාල සාධකයක් වන්න ඇතැයි මට සිතේ. 

මේ අතරම චීනය, රුසියාව, කියුබාව වැනි රටවල මේ සුසංයෝජනය දේශපාලනික ප්‍රතිපත්තියක් ලෙස නීති රාමුවකින් හඳුන්වා දෙනු ලැබීය. එහිද සෑහෙන සාර්ථකත්වයක් පැවතියේය.

නමුත් අවාසනාවකට ආසියාතිකරයේ, මැද පෙරදිග, ලතින් ඇමරිකාවේ, සහ අප්‍රිකාවේ බහුතරයක් රටවල තත්වය මීට ප්‍රතිවිරුද්ධ විය. ඔවුන්ගේ ආගමික සහ සාමාජීය මානසික අවස්ථිතිය නිසාදෝ ගැහැණිය ක්ෂමතාවයෙන් වැඩි බරකට කරගසද්දී ඇය කල දැරීමේ ශක්තිය අත්‍යවශ්‍ය වූ ගෘහ කටයුතු බෙදා ගැනීමට පිරිමියා අපොහසත්විය. මේ නිසා ගැහැණියට එකවර බලවත් සහ ශක්තිමත් යන කාරණා දෙකම දැරීමට සිදුවිය. නමුත් ගැහැනියගේ විශ්වීය නිර්මාණය එයට සුදුසු නොවීය. ප්‍රතිඵලය වුයේ ඇය දැරීමට නොහැකි තරම් බරකට උර දීම නිසා මානසිකව සහ ශාරීරිකව විඩාපත් වීම, අතෘප්තකර, අසහනකාරී ජිවිතයකට හුරුවීම, වයස 35 පමණ වන විට, කොඳු ඇට පෙළ සහ ස්නායු සම්බන්ධ ආබාධ වලට ගොදුරුවීම ආදී ඍණාත්මක කරුණු රාශියක් මතුවීමයි. 

විවාහක කාන්තාවන් ලිංගික සන්තර්පනයෙන් ඈත් වීමද මේ අධික වෙහෙසකර දිනචාරියාවේ ප්‍රතිඵලයකි. මෙය පුරුෂයාගේ මානසික සෞඛ්‍යයටද විශාල බලපෑමක් ඇතිකරයි. නමුත් අවාසනාවකට අප සමාජය මීට හේතුකාරක වන රෝග නිදානය සොයා පිළියම් යොදනවා වෙනුවට ගැහැණිය මතම වරද පටවයි. මෙය පවුල් ප්‍රශ්ණ රාශියකට මුල්වේ. 

ලංකාවේ බොහෝ රැකියා නියුක්ත කාන්තාවන්ගේ දිනචරියාව අඩු වැඩි වශයෙන් සමානය. උදෑසන හතරට පමණ අවදි වී උයා පිහා තමන්ටත්, ස්වාමියාටත් දරුවන්ටත් කෑම පැකට් පිළියෙළ කර, ගෙදර අස්පස් කොට, සාරියක් පටලවාගෙන බස් රියට හෝ දුම්රියට දුවයි. ඉන්පසු පැය අටක් පමණ ආතතිය, ආවේගය, අතෘප්තිය පිරුණු අධිවේගී කාර්යබාරයක් නිම කොට තදබදය ඉහවහා ගිය මගී ප්‍රවාහන සේවයක නිවසට පැමිණෙයි. ඉන්පසු කෝකී ව්‍යාපෘතියේ දෙවෙනි අදියර අරඹයි. මේ අතරම දරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලට උදව් කිරීමට සිදුවෙයි. මුළුතැන් ගෙය අස්පස් කර රෑ දොළහත් පසුවී නින්දට යන ඇය නැවතත් පසුවදා හිමිදිරි ජාමෙට අවදි විය යුතුය. 

මේ ශක්තිය හා ක්ෂමතාවය අතර දෝලනය වන දිනචරියාවේදී ඇයට සේවා තත්වයේ ආඩුපාඩු, දරුවන්ගේ අසමර්ථකම්, ගේදොර වැඩ අතපසුවීම් ආදී කරුණු රාශියකට තමා අවට සිටින සමාජයට උත්තර බැඳීමටත් සිදුවෙයි. මේ පීඩනය, ශක්තිය හා කෂමතාවයෙන්ද පරිබාහිරවූ භූතාර්ථයක් යයි මට සිතේ.

සමාජ ජාලා තුල පලවන, කාර්යාල වේලාවේදී නිදාසිටින හෝ සුළු සිද්ධීන් සම්බන්ධයෙන් කිපී බැන වදින සේවිකාවන් පිලිබඳ ජයාරූප හෝ වීඩියෝ දකින විට මට සිතට දැනෙන්නේ දැඩි වේදනාවකි. එම කාන්තාවන් හාස්‍යට ලක් කිරීම හෝ ඔවුන් පිළිබඳව කෝප ගැනීම වෙනුවට ඔවුන්ගේ පසුබිම සහ ඇතුලතාන්තය මම මනසින් දකිමි. සමාජය විසින් පිළියම් යෙදිය යුතු, සමාජය විසින්ම ඇතිකළ අවාසනාවන්ත ඉරණමකට සරදම් කිරීමට, ඒ සමාජයම යොමු වීම ඛේදජනකය.

මතක තබාගන්න නිරෝගී කාන්තාව යනු රටක සංවර්ධනයේ සහ සෞභාග්‍යයේ සලකුණයි. ලාංකිකයා අත්විඳින්නේ මෙහි විලෝමයයි. 

පිරිමියකු ලෙස ඔබත් හිතන්න. ගැහැණිය පුර්ණ වශයෙන් බලවත්වීම සහ ශක්තිමත්වීම යන දෙකම ඔබ අපේක්ෂා කරයි නම් ඔබගේ කාර්ය භාරය කුමක්ද?





Wednesday 9 September 2020

කාගේ අවිද්‍යාවද?


මෙම පැනයට පිළිතුරු සොයා මම වසර තුනක් තිස්සේ දෙස් විදෙස් බෞද්ධ කථිකයන්ට සවන් දුනිමි. නමුත් ඒ කිසිවෙකුගෙන්වත් තාර්කිකව අවබෝධ කරගත හැකි ආකෘතියක් ලැබුණේ නැත. 

සෑම ආගමික දර්ශනයකම අප කරන්නේ ආකෘති තැනීමයි. එය සාක්ෂාත් කරගැනීමට හැකි එකම ක්‍රමවේදය ස්වයං-අත්දැකීමයි. ස්වයං-අත්දැකීම කිසිවෙකුටත් ලබාදීම අපහසුය. මේ නිසා කිසිම ආකෘතියක් වැරදි යයි කීමට මට නොහැකිය. ආගමික ආකෘතිය අනුව අපගේ ජීවිතය සැපවත් කරගැනීම පිළිබඳව මට තර්කයක් නැත. ආගමික ආකෘති ගොඩ නැගී ඇත්තෙම යම් කාල-දේශ රාමුවකට සාපේක්ෂව තම වර්ගයාගේ ගත-හිත සුව පිණිසය. එය වෙනත් කාල-දේශ රාමුවකට ගැලපේද යන්න වෙනමම තර්ක කල යුතු කරුණකි. 

මේ ගිය ගමනේදී මට හමුවූ අපුරුම ආකෘතිය අද්වෛත වේදාන්ත සංකල්පයයි. එය හින්දු දහමේ මුලික අඩිතාලමයි.

අද්වෛත වේදාන්ත සංකල්පය අනුව විශ්වයේ හෝ සියලු විශ්වයන්හි ඇති සියලුම දේ බ්‍රහ්මත්වයේ විවිධ ස්වරූප ලෙස හැඳින්වෙනවා. බ්‍රහ්මත්වය ශුන්‍යත්වයෙන් බිහිවෙයි. එය නිර්ගුණ (ගැහැණු-පිරිමි, හොඳ-නරක, දෘඩ -මෘදු ආදී ගුණ රහිත), නිර්මාන (හැඩතල රහිත / non-dimensional), නිර්අර්ථික (අර්ථ දැක්විය නොහැකි / undefinable) රාශියක් ලෙස පිළිගැනෙනවා. බ්‍රහ්මත්වයේ ඉතා සුළු ප්‍රතිශතයක් සුගුණ (ගුණ සහිත) සහ මාන සහිත බවත් සත්වයාට ගෝචර වන්නේ මේ ප්‍රමාණය පමණක් බවත් පිළිගැනෙනවා. මේ බ්‍රහ්මත්වය, මහා පිපුරුම (big-bang theory) සහ අඳුරු ද්‍රව්‍ය (dark matter) සංකල්ප සමග මැනවින් සමපාත වන බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි.

අද්වෛත වේදාන්ත ආකෘතියට අනුව සියළුම සත්වයන් "මම" යයි හඳුන්වන්නේ මේ අප තුල පවතින අප නොහඳුන බ්‍රහ්මත්වයයි. අපගේ අවදි, සිහින සහිත නින්ද සහ සිහින රහිත ගැඹුරු නින්ද යන ත්‍රිත්ව අවස්ථාවේදීම පොදුවේ සිටින්නේ මෙම බ්‍රහ්මත්වයයි. ඒ අනුව සියළුම සත්වයන් තුල ඇත්තේ එකම "මම"ය. ජිවය පමණක් නොව අජීවී වස්තු තුලද ඇත්තේ මේ බ්‍රහ්මත්වයයි.

අප විසින් ඔබ සහ මම ලෙස වෙන් කරගන්නේ මායාවක් වන පංච කෝෂයයි. මෙය ආහාර කෝෂය (අන්නමය කෝෂ), ප්‍රාණ කෝෂය, මනෝමය කෝෂය, විඥානමය කෝෂය සහ ආනන්දමය කෝෂය ලෙස නාමකරණය වනවා. මරණයේදී මුල් කෝෂ දෙක පංච මහා භූතයන්ට සහ ශක්තියට විභේදනය වන අතර ඉතිරි කෝෂ තුන ශරීරයෙන් ඉවත්වෙනවා. ආත්මය යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. එය කර්මය නමැති සිවියෙන් වැසී තිබෙන බව පැවසෙනවා. ආත්මය ආහාර සහ ප්‍රාණ කෝෂ සමග සංගත වූ විට එතන ඔබ "මම"ය කියා නැවතත් මායාවක් ගොඩනගා ගන්නවා. මේ අනුව ඔබගේ මරණය හා ජීවිතය අතර හුවමාරු වන භූතාර්ථය (transmigratory entity) මමත් නොවේ, මම නොවේත් නොවේ. 

බොහෝ ස්වාමිවරු කර්මය සහ ආත්මය සබන් බුබුලකටත් අවට වාතය බ්‍රහ්මත්වයටත් සමාන කරනවා. සබන් පටලය කර්මයද, ඇතුලත ඇති වාතය ආත්මය ලෙසද සැලකිය හැක. මෝක්‍ෂය යනු කර්මය නමැති මෙම සබන් පටලය පුපුරුවා හැරීම බව කියවෙනවා. එවිට ඇතුලත තිබූ වාතය සහ පිටත වාතය අතර වෙනසක් නැහැ. අන් විදියකින් පැවසුවහොත් ඔබ බ්‍රහ්මත්වය සමග නැවත අනුගත වනවා.

අද්වෛත වේදාන්ත හින්දු ධර්මයේ ඇත්තටම දේව සංකල්පයක් නැහැ. බ්‍රහ්මත්වය වන්දනා මාන කලයුතු යමක් කියා පිළිගැනීමක් පැවතිය නොහැකියි. මන්ද අප සියළුදෙනාම බ්‍රහ්මත්වයේ කොටස් බැවිනි. එහි අමරණීය වන්නේ (සදා පවතින්නේ) බ්‍රහ්මත්වයයි. ආත්මය සියුම් සිවියකින් (කර්මය) වටවූ වායු බුබුලක් පමණයි. මෝක්‍ෂය (බෞද්ධ නිර්වාණය හා සමගාමී) ලැබීමේදී මෙම පටලය පිපිරී යනවා. 

බොහෝ දෙනෙක් හින්දු දර්ශනය ලෙස හඳුන්වන්නේ පසුකලෙක මාධව ආචාර්යවරයා ස්ථාපිත කල ද්වෛතික වේදාන්තයයි. එහි දෙවියන් කියා අධි-බලාත්මක භූතාර්ථයක් සහ ආත්මය කියා අමරණීය ප්‍රපංචයකුත් තිබෙන බව කියවෙනවා. මට සිතෙන ආකාරයට එය පූජකයන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සංකල්පයක්.