Friday, 11 September 2026

නුදුරු අනාගතයේ අපිට තව සරසවි අවශ්‍යද?


මීට මාස කිහිපයකට පෙර මට රුවන්ඩාවේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඊමේල් පණිවිඩයක් ලැබුණි. එහි කියවුනේ ඉදිරි පස් වසර තුල රුවන්ඩාව අප්‍රිකා මහාද්වීපයේ කාර්මික මධ්‍යස්ථානය (technical hub) බවට පත් කිරීම රජයේ අරමුණ බවත් ඒ සඳහා ඔවුන් පත් කර ඇති කමිටුවට මගේ දායකත්වය අපේක්ෂා කරන බවත්ය. 

මේ ආරාධනාවත් සමගම මම අන්තර්ජාලයේ මේ පිළිබඳව විමර්ශනයක් කලෙමි. එහිදී මට අවබෝධ වුයේ 80 දශකයේදී දකුණු කොරියාව සහ තායිවානය සාම්ප්‍රදායික සරසවි ගොඩනැගීම පසෙක තබා කාර්මික විද්‍යාල විශාල ප්‍රමාණයක් ආරම්බ කල බවයි. මෑතකදී වියට්නාමය මේ මග යාමට පටන් ගෙන ඇත. අප්‍රිකාවේ මොරොක්කෝව සහ රුවන්ඩාව කාර්මික අධ්‍යාපනයෙන් මුල් තැන ගැනීමට තියුණු තරඟයක නියැලෙයි.

ලංකාවේ මේසන් බාස්, වඩු බාස්, පයිප බාස්, කරන්ට් බාස්, මිකැනික් ආදී නම් වලින් අප හඳුන්වන තාක්ෂණික වෘත්තිකයන් 90% පමණ නිසි කාර්මික අධ්‍යාපනයක් ලැබූවන් නොව වසර ගණනක් ජේෂ්ඨ වෘත්තිකයන් යටතේ වැඩකර අත්දැකීම් එකතු කරගත් අයයි. ඔවුන් අතින් නව නිර්මාණ බිහිවෙන්න තියෙන ඉඩ කඩ අඩුය. එසේම සමහර ගැටලුවලදී සුදුසුම ප්‍රතිකර්මය දීමට ඔවුන් අසමත්ය. එසේම ඔවුන්ට වෘත්තීය ආචාරධර්ම (professional ethics) පිළිබඳව පුහුණුවක් ලැබී නැත. මේ නිසා ඔවුන් වැඩි දෙනෙකුට ඉහල වැටුපක් ගෙවන කාර්මික අංශයේ රැකියා සඳහා විදේශීය මෙන්ම දේශීය වෙළඳපොලේද හොඳ ඉල්ලීමක් නැත. ඔවුන් බොහෝ දෙනෙක් මේ නිසා අයදුම් කරන්නේ පහල ශ්‍රේණියේ කම්කරු රැකියා සඳහාය.

වෙනත් රටවල් සම්බන්ධයෙන් මා කල අධ්‍යයනයන්හිදී පෙනී ගියේ තෘතීක අධ්‍යාපනයේ යම් පරිවර්තනයක් කිරීමට තීරණ ගැනීමේදී ඔවුන් ඉතා ගැඹුරින් පවතින හා ඉදිරි දස වසර තුල ලෝකයේ ගමන් මග පිලිබන්දව විශ්ලේෂණයක් කරන බවයි. දැනට රුවන්ඩාවේ සිදුවන්නේද එයයි. මෙතැනදී මා රුවන්ඩාවට ඉදිරිපත්කල concept paper එකේ අවධාරණය කලේ ගොඩනගන කාර්මික අධ්‍යාපනය පුළුල් ලෙස AI මත පදනම් විය යුතු බවයි. මෙමගින් රුවන්ඩාවට අනෙක් රටවල් අභිබවා ඉදිරියට පැමිණිය හැක.