Sunday, 20 September 2026

දියුණු වෙමින් පවතින රටක සංවර්ධන ප්‍රමුඛතාවය


ඉහත පෝස්ට් එකට අදහස් දැක්වූ සැමටම ස්තුතියි. ඔබ සියළු දෙනා පලකල අදහස් පලදායකය.

මා මෙහි ඉදිරිපත් කරන්නේ මේ පිළිබඳව විද්වත් මඩුල්ල පලකල අදහසයි. පැය තුනකට ආසන්න කාලයක් ඉතා ගැඹුරින් අදහස් පලවූ මෙම සාකච්චාව මම කෙටියෙන් මෙලෙස සාරාංශ ගත කරමි. 

ඔවුන් සියළු දෙනාම එකඟවූ අදහස නම් නූතන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් හැම අතින්ම ඉහල වර්ධනයක් අත්පත් කරගැනීමට නම් ප්‍රමුඛතාවය දියයුත්තේ "බලශක්ති" සංවර්ධනයට බවයි.

රටක ජනතාවගේ ජිවන තත්වය නංවාලීමට අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය සහ සංනිවේදනය ආදී සෑම අංගයක්ම එකසේ ඉහලට ගත යුතුය. නමුත් මේ සැමටම ශක්තිමත් ආර්ථිකයක් තිබිය යුතුය. වර්තමානයේ සෑම නිෂ්පාදන සහ සේවා සැපයිමකටම බලශක්තිය නැතුවම බැරිය. කර්මාන්ත, කෘෂිකර්මය, සිවිල් සේවා ආදී කිසිම අංශයක් බලශක්තියෙන් තොරව පවත්වා ගත නොහැක. අඛණ්ඩ, විශ්වාසනීය සහ ඉහල ගුණාත්මක භාවයකින් යුතු බලශක්ති සැපයුමක් නොමැති කල රටක් කොපමණ සම්පත්වලින් අනූන වුවත් ආර්ථික වශයෙන් බිඳ වටේ. 

මීට හොඳම උදාහරණය ලෙස මෙම විද්වතුන් පෙන්වන්නේ දකුණු අප්‍රිකාවයි. මීට වසර දෙකකට පෙර පැවති රජයන්ගේ (නිලධාරීන්ද ඇතුළුව) පැවති වංචා, දුෂණ, අක්‍රමිකතා හේතුවෙන් ලොව ප්‍රධාන පෙලේ ගල් අඟුරු අපනයන කරුවෙකු වූ දකුණු අප්‍රිකාවේ බලශක්ති අංශය සම්පුර්ණයෙන්ම බිඳ වැටුණි. රටේ පැය 10-12 පමණ දීර්ඝ වූ විදුලිය විසන්දි කිරීම් පැවතුනි. මුළු රටේම කර්මාන්ත හා සේවා අඩපන විය. ඩොලරය රෑන්ඩ් 23ට පමණ ඉහල ගියේය. 

නමුත් පසුගිය වසර දෙකේදී ක්‍රමයෙන් තත්වය වෙනස් විය. රජය බලශක්ති අර්බුදයට විසඳුම් දීම තම ප්‍රමුඛතාවයක් ලෙස සැලකීය. පවතින අඩුපාඩු මගහරවා ගැනීම සඳහා ඉතා පැහැදිලි වැඩපිළිවලක් සහ ප්‍රතිපත්ති ඉදිරිපත්විය. ටිකෙන් ටික බලශක්ති අර්බුදය වියැකී යන්න විය. අද අපට "load shedding" යනු අතීත කාල ක්‍රියාවකි. ඩොලරය කෙමෙන් පහලට විත් අද රෑන්ඩ් 16හි ස්ථාපිත වී ඇත. ආර්ථිකය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතී. මේ ක්‍රියාවලියේ ඉතා කුඩා role එකක් play කිරීමට මටද හැකිවීම ගැන මම බොහෝ සෙයින් සතුටු වෙමි. තවමත් සියල්ල අවසන් නැත. අප ඉදිරියට තව දුරටත් යා යුතුය.

රටක බලශක්ති සංවර්ධනය යනු තෙල් ළිං සොයා ගැනීම හෝ හැකිතරම් සෝලා පැනල් ගැසීම නොවේ.ඒ ඉතා කල්පනාකාරීව දීර්ඝ කාලින රාජ්‍ය සැලැස්මක් ගොඩනැගීම සහ ප්‍රාමාණික නිපුණයන් කණ්ඩායමක් හරහා එය ක්‍රියාවේ යෙදවීමයි. මේ සඳහා ක්ෂේත්‍ර ගණනාවක විද්වතුන් හරහා workforce එකක් ගොඩ නැගිය යුතුය.  

Wednesday, 16 September 2026

උම්මාදයට අත වනන මතවාද


දාර්ශනික මතවාදයක් සහ ඒ හා බැඳුනු දේශපාලන සංස්කෘතියක් අන්තගාමි ලෙස හිස් මුදුනේ තබාගත් (මතවාදය උස්මුරුත්තාවේ ගිය) ලාංකිකයෙක් දරුණු මානසික ආබාධයකට ලක්වී රෝහල් ගත කල අවාසනාවන්ත සිදුවීමක් ඇමරිකාවෙන් අසන්න ලැබුණි. ආචාර්ය උපාධියක් ලබාගැනීමෙන් පසුවත් තමන්ට පාලනය කරගත නොහැකි මානසික ව්‍යාධි තත්වයකට මිනිසෙකු පත්වීම ඛේදාන්තයකි.

උදාහරණයක් ලෙස සිංහල බෞද්ධ වීම පිළිබඳව ලාංකිකයන් බොහෝ දෙනා තුල යම් ප්‍රෞඩත්‍වයක් ඇත. එහෙත් මේ හැඟීම සීමාව ඉක්මවා ගිය විට දන්නා හඳුනන අය සමග අනවශ්‍ය ගැටුම් ඇති කරගැනීමත් තම ප්‍රතිරූපය පවා විනාශ වන අයුරින් සමාජ මාධ්‍ය තුල හැසිරීමත් බොහෝ දෙනෙකු තුලින් අපි නිතරම දකිමු. මෙවන් පුද්ගලයන් ඉතා අසීරු තත්වයකට පත්වන්නේ ඔවුන්ගේ දරුවන් තමන් සටන් කරන මතවාද වලින් බොහෝ සේ ඈත්වීමට පටන් ගත් විටයි. මෑතකදී අපට සිංහල-බෞද්ධ උණ වැළඳුන අය මෙන්ම ආන්තික ලෙස සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී මතවාද කරපින්නා ගත් පිරිසද මේ අභාග්‍යසම්පන්න සංසිද්ධියට මුහුණු දෙනු අපට පෙනෙයි. 

මතවාද යනු ගතික (dynamic) සංකල්පයන්ය. ඒවායේ හැඩතල කාලය මෙන්ම දේශය අනුවද වෙනස් වේ. සමහර විට මතවාද නොවෙනස්ව තිබියදී අපට මතවාද පිළිබඳව ඇති අදහස් සහ හැඟීම් වෙනස් වෙයි. එය ස්වභාවිකය. මේ නිසා මතවාද යනු හුදෙක් ආශ්වාදය සඳහාම වූ වාද, විවාද, සංවාද වලින් ඔබ්බට හිස මත තබා ගෙන නොයා යුතු භූතාර්ථයන්ය. මේ බව අවබෝධ කරගැනීමට අසමත්වීම ඔබට උන්මත්තකාගාරයට යාමට පවා  හේතුවිය හැක. 


       


Friday, 11 September 2026

නුදුරු අනාගතයේ අපිට තව සරසවි අවශ්‍යද?


මීට මාස කිහිපයකට පෙර මට රුවන්ඩාවේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඊමේල් පණිවිඩයක් ලැබුණි. එහි කියවුනේ ඉදිරි පස් වසර තුල රුවන්ඩාව අප්‍රිකා මහාද්වීපයේ කාර්මික මධ්‍යස්ථානය (technical hub) බවට පත් කිරීම රජයේ අරමුණ බවත් ඒ සඳහා ඔවුන් පත් කර ඇති කමිටුවට මගේ දායකත්වය අපේක්ෂා කරන බවත්ය. 

මේ ආරාධනාවත් සමගම මම අන්තර්ජාලයේ මේ පිළිබඳව විමර්ශනයක් කලෙමි. එහිදී මට අවබෝධ වුයේ 80 දශකයේදී දකුණු කොරියාව සහ තායිවානය සාම්ප්‍රදායික සරසවි ගොඩනැගීම පසෙක තබා කාර්මික විද්‍යාල විශාල ප්‍රමාණයක් ආරම්බ කල බවයි. මෑතකදී වියට්නාමය මේ මග යාමට පටන් ගෙන ඇත. අප්‍රිකාවේ මොරොක්කෝව සහ රුවන්ඩාව කාර්මික අධ්‍යාපනයෙන් මුල් තැන ගැනීමට තියුණු තරඟයක නියැලෙයි.

ලංකාවේ මේසන් බාස්, වඩු බාස්, පයිප බාස්, කරන්ට් බාස්, මිකැනික් ආදී නම් වලින් අප හඳුන්වන තාක්ෂණික වෘත්තිකයන් 90% පමණ නිසි කාර්මික අධ්‍යාපනයක් ලැබූවන් නොව වසර ගණනක් ජේෂ්ඨ වෘත්තිකයන් යටතේ වැඩකර අත්දැකීම් එකතු කරගත් අයයි. ඔවුන් අතින් නව නිර්මාණ බිහිවෙන්න තියෙන ඉඩ කඩ අඩුය. එසේම සමහර ගැටලුවලදී සුදුසුම ප්‍රතිකර්මය දීමට ඔවුන් අසමත්ය. එසේම ඔවුන්ට වෘත්තීය ආචාරධර්ම (professional ethics) පිළිබඳව පුහුණුවක් ලැබී නැත. මේ නිසා ඔවුන් වැඩි දෙනෙකුට ඉහල වැටුපක් ගෙවන කාර්මික අංශයේ රැකියා සඳහා විදේශීය මෙන්ම දේශීය වෙළඳපොලේද හොඳ ඉල්ලීමක් නැත. ඔවුන් බොහෝ දෙනෙක් මේ නිසා අයදුම් කරන්නේ පහල ශ්‍රේණියේ කම්කරු රැකියා සඳහාය.

වෙනත් රටවල් සම්බන්ධයෙන් මා කල අධ්‍යයනයන්හිදී පෙනී ගියේ තෘතීක අධ්‍යාපනයේ යම් පරිවර්තනයක් කිරීමට තීරණ ගැනීමේදී ඔවුන් ඉතා ගැඹුරින් පවතින හා ඉදිරි දස වසර තුල ලෝකයේ ගමන් මග පිලිබන්දව විශ්ලේෂණයක් කරන බවයි. දැනට රුවන්ඩාවේ සිදුවන්නේද එයයි. මෙතැනදී මා රුවන්ඩාවට ඉදිරිපත්කල concept paper එකේ අවධාරණය කලේ ගොඩනගන කාර්මික අධ්‍යාපනය පුළුල් ලෙස AI මත පදනම් විය යුතු බවයි. මෙමගින් රුවන්ඩාවට අනෙක් රටවල් අභිබවා ඉදිරියට පැමිණිය හැක.