Monday 11 February 2019

ලංකාවේ සරසවි පර්යේෂකයන් වෙතට ලියන වග නම්



ඒ 2017 වසරේ දෙසැම්බරයයි. කැලණිය සරසවිය මගින් සංවිධානය කරන මානව සම්පත් සංවර්ධනය උදෙසා වූ  සම්මන්ත්‍රණයක් වන National Summit on People Management-2017 කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වුණි. එහි අධ්‍යයන අංශයේ ප්‍රධාන දේශකයා (academic keynote speaker) ලෙස මට ආරාධනා ලැබී තිබුණි

මගේ දේශනයේ මාතෘකාව වුයේ  "Need-based innovative research" යන්නයි. එහිදී මම අවධාරණය කර සිටියේ ඔබ කුමන පර්යේෂණයක් කලත් එහි ප්‍රතිඵල මුදල් බවට පත්කරගැනීමට මුල සිටම කල්පනාකාරී විය යුතු බවයි. අප වැනි රටක් මූලික පර්යේෂණ (basic research) වලට වඩා ව්‍යවහාරික පර්යේෂණ (applied research) කෙරේ වැඩි අවධානයක් යොමු කල යුතුය. පර්යේෂණ ව්‍යාපෘතියක අවසන් ඵලය පත්‍රිකාවක් හෝ පේටන්ට් බලපත්‍රයක් නොව ව්‍යාපාරික මොඩලයක් විය යුතුය. 

මේ මගේ දේශනයේ සංක්ෂිප්තයයි. 

ඉන් පසුව පැවතුනේ ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන ඇකඩමියේ අධ්‍යක්ෂිකා ආචාර්ය රාජේෂ්වරී නරේන්ද්‍රන් ගේ දේශනයයි. ඇය මා ඉදිරිපත්කල කරුණු තදබල ලෙස විවේචනය කරමින්, අප පර්යේෂණ කල යුත්තේ හිතේ සතුට උදෙසා මිස මුදල් ඉපයීම සඳහා නොවන බවත්, අප වැනි රටවලට අවශ්‍ය මූලික පර්යේෂණ කිරීම බවත් අවධාරණය කර සිටියාය. 

මම මුවින් නොබැන සිතින් දෙඩුවෙමි. 

"අප හිතේ සතුට වෙනුවෙන් පමණක් පර්යේෂණ කරන තාක් කල්; මූලික පර්යේෂණ වලම එල්ලී සිටින තාක් කල්; ඉන්දියාව බොහෝ සේ සතුටු වනු ඇත; යුරෝපය, ජපානය, ඇමරිකාවද සතුටු වනු ඇත............... අප දුකසේ ඔවුන් පසු පස සිගමනේ යනු ඇත".

ජපානය, කොරියාව, තායිවානය, සිංගප්පුරුව දියුණු වුයේ මා පවසන ඉහත ක්‍රමවේදය මතයි. ඔවුහු දශක කිහිපයකට පෙර සිටම ව්‍යවහාරික පර්යේෂණ වලට ජාතික තාක්‍ෂණ වැඩපිළිවෙලේ ඉහල ප්‍රමුඛතාවයක් දුන්හ. මෙහි ප්‍රතිඵලය වුයේ ඔවුන් එකවරම තාක්ෂණයේ ඉහලම තලයට ප්‍රවිෂ්ඨ වීමයි. 

මැලේසියාව පසුකලකදීද වියට්නාමය ඉතා මෑතකදීද මෙම මාර්ගයට පිවිසීය. මේ වන විට ඉන්දියාව මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් පසුවෙයි. ඔවුන් තොරතුරු තාක්‍ෂණය සහ කෘතිම බුද්ධිය ආශ්‍රිත දැනුමෙන් ලොව ජයගැනීමට සැරසෙයි.


මගේ සිත වසර 20ක් පිටුපසට ඇදී යයි. මට ලෙනාර්ට් හැසල්ග්‍රන් සිහිවෙයි. ඔහු එවකට ස්වීඩනයේ ISP ආයතනයේ භෞතික විද්‍යා කටයුතු අංශයේ ප්‍රධානියා විය. ඔහු මගේ අධ්‍යාපන ගමනේ අමතක නොවන චරිතයකි. මට ස්වීඩනයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වය ප්‍රදානය කලේ ISP ආයතනයයි. අපට ලබා දෙන හැම අනුග්‍රහයක්ම ලේනාර්ට්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය. 

අපි දිවා රාත්‍රී වෙහෙසවී මූලික පර්යේෂණ කළෙමු. ඉහල පෙලේ පත්‍රිකා රාශියකට දායක වුනෙමු. ස්වීඩනයේ පමණක් නොව ලංකාවේද අකුණු මගින් ඇතිවන විද්‍යුත් චුම්බක ක්‍ෂේත්‍ර පිළිබඳව ගැඹුරින් හැදෑරුවෙමු. 

ලෙනාර්ට් මා කෙරේ බොහෝ සේ පරිත්‍යාගශීලි විය. ලොව පුරා රටවල් රාශියක පැවති සම්මන්ත්‍රණ වල පත්‍රිකා ඉදිරිපත්කිරීම සඳහා ඔහු මට නොමසුරුව ආධාර කළේය. මෙහිදී මහාචාර්ය චන්දන ජයරත්නයන්ගෙන් ලැබුණු උදව් උපකාර සහ දිරි ගැන්වීමද මම ආදරයෙන් සිහිපත් කරමි. ISP ආයතනය සහ ස්වීඩන් රජයේ නොමසුරු පරිත්‍යාගශීලිත්වය නොවන්නට අද මම මේ සිටින තැනට නොපැමිණෙන බව නම් සහතිකය. ඒ ගැන මම අදටත් ඔවුනට කෘතඥ වෙමි. ISP එක මගින් කෙරුණු මෙම පරිත්‍යාගශීලීත්වය ආචාර්ය උපාධියෙන් පසුවද ටික කලක් නොඅඩුව ලැබුණි. 

එහෙත් 2001 ජනවාරියේ දිනක සියල්ල වෙනස්විය. 

එවකට මම භෞතික විද්‍යා කථිකාචාර්ය වරයෙකු වීමට අමතරව අකුණු ආරක්ෂක උපදේශකයෙකු වශයෙන්ද සෙමෙන් සෙමෙන් රට තුල ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් සිටියෙමි. මෙහිදී ක්ෂේත්‍රයේ මා දකින දේ මගේ හිතට වද දෙන්න විය. 

කොළඹ සරසවියේ පර්යේෂක කණ්ඩායම 1970 ගණන්වල සිට අකුණු පිළිබඳව හදාරමින් සිටියේය. ඒවන විටත් පත්‍රිකා රාශියකට අපේ විද්‍යාඥයන් දායක වී තිබුණි. ඒ මගින් දියුණු රටවල ව්‍යාපාරිකයන් බොහෝ  නිෂ්පාදන බිහි කරන්නට ඇත. එහෙත් එවන විට අපේ රටට අකුණු ආරක්ෂණයට සම්බන්ධ ඇණ මුරිච්චියේ සිටම පිටරටින් ආනයනය කරමින් තිබුණි. විය යුත්තේ මෙය නොවන බව මට වැටහුණි. ඒ මට අපේ දැනුම අපේ රටේ සුගතියට යෙදිය යුතුය යන උණ වැළඳී තිබුණු යුගයයි.


එවන විට මට අධ්‍යයනික පියකු (academic father) මෙන් සිටි ලෙනාර්ට් වෙත මම එදින දීර්ඝ ලිපියක් ලියුවෙමි. ස්වීඩනයේදී මා ලද දැනුම රටේ මුදල් උත්පාදනය සඳහා යෙදිය යුතු බවත් සියලුම ආකාරයේ විද්‍යුත් අකුණු ආරක්ෂණ උපකරණ (surge protectors) ලංකාවේ සෑදීමට අපට දැනුම සහ හැකියාව ඇති බවත් මම ඔහුට ලිව්වෙමි. මෙම උපකරණවල මුලික සහ තත්ව පරික්ෂාවන් සඳහා ධාරා ප්‍රභව සහිත ක්‍රමවත් අධි වෝල්ටීයතා පහසුකම් අවශ්‍ය වෙයි. මේ පිළිබඳව සකස් වුන ධාරිතා ගොඩනැංවීමේ යෝජනාවලියක්ද (capacity building proposal) මම ඊමේලයට ඇමුණුවෙමි 

පසුදා ලෙනාර්ට් මට කන කිස් කන පිළිතුරක් එවා තිබුණි. මා මේ තත්වයට (මා හිතන ආකාරයට මගේ ආචාර්ය පට්ටම) පැමිණුනේ මූලික පර්යේෂණ නිසා බවත්, ලංකාව වැනි රටකට සුදුසු වන්නේ මූලික පර්යේෂණ තුලින් ඉදිරියට යාම බවත්, මා එහි අගය නොදන්නා මෝඩයෙකු බවත් එහි සඳහන් විය. ස්වීඩනය විසින් ISP ආයතනය හරහා  දශක කිහිපයක් තිස්සේ ලංකාවට ලබා දුන් ඉමහත් ධනස්කන්ධය පිළිබඳවද එහි දීර්ඝ වශයෙන් සඳහන් විය. 

තවත් ඊමේල් දෙකක් පමණ හුවමාරු වූ පසු ලෙනාර්ට් සහ මා අතරවූ ගනුදෙනුව සදහටම නැවතුණි. මා ඔහු සොයන පුද්ගලයා නොවන බව ඔහුට වැටහෙන්න ඇත. එතැන් සිට මම මගේ පාඩුවේ මා යන ගමන ගියෙමි.

ඉන් පසු ගෙවුණු වසර 7-8 තුල මම හැකි හැම අයුරකින්ම දේශීය ව්‍යාපාරිකයන්ට අත හිත දුනිමි. සමහර ව්‍යාපාරිකයන් ඉතා ඉහලට එසවුණු අතර සමහරෙක් අතරමග නැවතුණි. මොන හේතුවකට හෝ මේ අවදියේදී මගෙන් වැඩිම ප්‍රයෝජනයක් ගත්තේ ඉන්දියානු සමාගම් කිහිපයක් විසිනි. 

කෙසේ නමුත් මා පර්යේෂණ ප්‍රතිදානයන් (research output) ව්‍යාපාරික මොඩලයන් බවට පරිවර්තනය කිරීමේ කලාව මැනවින් ප්‍රගුණ කලේ මැලේසියාවට පැමිණීමත් සමගමය. දකුණු අප්‍රිකාව, මා උගත් දේ මෙන්ම අත්දැකීම්ද ප්‍රයෝගිකවම වාණිජකරණය කිරීමට තෝතැන්නක් බව පෙනෙයි. 

ලංකාවේ පර්යේෂණ ව්‍යපෘති කීයක් සාර්ථක ව්‍යාපාරික ආකෘති කරා ගොස් වාණිජකරණය කර ඇත්දැයි සොයා බැලීම වටියි. යුරෝපීය හෝ කැනේඩියානු ආධාර යටතේ ක්‍රියාත්මක වූ හෝ ක්‍රියාත්මක වන බොහෝ පර්යේෂණ කණ්ඩායම් සදාකාලිකවම තම අරමුදල් සපයන්නාගේ අවශ්‍යතා සපුරමින් සිටිති. එසේ නොමැති නම් බටහිර රටක සහයෝගිතා පාර්ශවය (collaborative partner) වෙනුවෙන් දත්ත රැස් කරමින් සිටිති. ඉඳහිට පර්යේෂණ පත්‍රිකාවකට දායකවෙති. මින් ඔබ්බට යාමක් නැත. මේ සේවය වෙනුවෙන් ඔවුන්ට ඉඳහිට විදේශ සංචාරයක් ලැබෙයි. 

සමහර ලාංකික මහාචාර්යවරුන් ජිවිතයේ 55 වෙනි වසරට පියනගන්න ආසන්නයේ සිටියදීත් විදේශ සරසවියක සේවය කරන තම ආචාර්ය උපාධි අධීක්ෂකයා (PhD supervisor) ගෙන් ස්වායත්තව කිසිවක් කරගත නොහැකි තත්වයක පසුවෙයි. ඔහුගෙන් තොරව පර්යේෂණ පත්‍රිකාවක් පළකිරීම පවා ඔවුන්ට සිහිනයකි. මේ වහල් චින්තනය පවතින තාක් කල් ලංකාවට සෙතක් සැලසෙන්නේ නැත. 


ලංකාවේ පෞද්ගලික අංශය සරසවි පර්යේෂණ සඳහා අරමුදල් ලබා දීමට ඇති අකමැත්තට ප්‍රධානම හේතුව ලාංකික පර්යේෂකයාගේ පවතින ආකල්පයි. ආයෝජකයා ඵලදායි ප්‍රතිපලයක් (tangible outcome) බලාපොරොත්තු වෙත්දී පර්යේෂකයා සිතන්නේ තමාට අත් කරගත හැකි ඉහලම ජයග්‍රහණය ඉහළ පෙලේ සඟරාවක පත්‍රිකාවක් පළ කිරීම  බවයි. සඟරා පත්‍රිකාවක් හෝ බුද්ධිමය දේපල යනු පර්යේෂකයෙකුගේ ගමනේ එක් සන්ධිස්ථානයක් (milestone) පමණි. 

ISP ඇතුළු සංවර්ධිත රටවල අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා අරමුදල් සපයන ආයතන රාශියක් මගින් තුන්වන ලෝකයේ රටවලට කල උපකාර සහ එමගින් ඔවුන් ඇතිකළ අධ්‍යයනික ප්‍රබෝධය මම කිසිවිටෙකත් ලඝු කොට නොසලකමි. ඔවුහු මා වැනි බොහෝ දෙනෙකුගේ අනාගතය වෙනුවෙන් අමිල සේවයක් ඉටු කළහ. 

වරද ඇත්තේ අපේ අතේය. අපි හැමදාමත් කවුරුන් හෝ නැගිටින්නට අත දෙන තෙක් බලා සිටිමු. නැගිටගත් පසුද උපකාර කල තැනැත්තාගේ අතේ එල්ලී ඔහුට අවශ්‍ය තැනට යනවා විනා තමන්ගේ දෙපයින් තමන්ගේ ගමනක් යාමට ලංකාවේ සිටින බහුතරයක් පර්යේෂකයන් සුදානම් නැත. මෙය නැගිටින්න ත දුන් කෙනාගේ වරදක් නොවේ. වරද ඇත්තේ අප තුල ඇති අතහැර ගත නොහැකි හීනමානය සහ දුප්පත් මානසිකත්වය තුලයි.

ඔබ ඇමරිකාවේ, කැනඩාවේ, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, ජපානයේ හෝ දකුණු කොරියාවේ උපාධිය හදරුවාට කම් නැත. එහෙත් එය අවසන්ව ලංකාවට පැමිණේ නම් හැකි ඉක්මනින් තම ආචාර්ය උපාධි මූලයෙන් ඔබ්බට ගිය තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න උත්සහ කරන්න. පර්යේෂණ ප්‍රතිඵල සාර්ථකව වාණිජකරණය කල හැකි ව්‍යාපාරික ආකෘතියක් දක්වා පියනගන තෙක් ගමන නොනවත්වන්න. 

.............................................................................

පසුගිය දශක කිහිපයක් තුල බටහිර දියුණු යැයි සම්මත රටවල් බොහොමයක් අනුගමනය කල විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිපත්තියේ පැහැදිලි රටාවක් දැක ගත හැකිය. ඔවුන් 1950 ගණන් වන තෙක් මූලික පර්යේෂණ සඳහා විශාල මුදලක් වැය කළේය. අද ඔවුන් ලබා ඇති තාක්‍ෂණික දියුණුව එහි ප්‍රතිඵලයක් බවට විවාදයක් නැත.

ඉන් පසු ඔවුන්ට වැටහෙන්න ඇත්තේ මේ ගමන තව වේගවත් කිරීමට නම් මූලික පර්යේෂණ හැකි පමණ බාහිරකරණය (outsource) කර තම රටවල් ව්‍යවහාරික පර්යේෂණ  සඳහා වැඩි අවධානයක් යොමු කල යුතු බවයි. මේ අනුව 60 දශකයෙන් පසුව ඇමරිකාව, කැනඩාව, ස්කැන්ඩිනේවියානු  රටවල්, ජර්මනිය, බ්‍රිතාන්‍යය ආදියද 80 දශකය වන විට ජපානයද තරඟයට මෙන් ආසියාතික සහ ලතින් ඇමරිකානු රටවල පර්යේෂණ කණ්ඩායම් බිහි කරන්න විය. 

මෙම පර්යේෂණ කණ්ඩායම් වල ප්‍රධාන කාර්යය වුයේ බටහිර රටවල ඇති සහයෝගිතා පාර්ශවයේ (collaborative partner) මූලික පර්යේෂණ අවශ්‍යතාවය ඉටු කිරීමයි. මෙම කණ්ඩායම් වලින් අදාළ මව් රටවලට යහපතක් නොවුනා යයි මම නොකියමි. එහෙත් වඩාත්ම සිදුවුයේ දියුණු රටවල් අපේ කර මතින් ඉදිරියට යාමයි. 

නමුත් මේ බව කල්තියා හඳුනාගෙන කටයුතු කල රටවල් කිහිපයක්ද විය. චීනය, කොරියාව, සිංගප්පුරුව, තායිවානය, මැලේසියාව සහ තායිලන්තය (තරමක් දුරකට) සහ පසු කලෙක ඉන්දියාවද මේ අතර විය. ඔවුන්  බටහිරයන්ගෙන් ලැබුණු සම්පත් වැළඳ ගන්නා අතරම තමන්ගේම පර්යේෂණ අනන්‍යතාවයක් ගොඩනගාගෙන එක් අංශයකින් හෝ ඉහලම තලයට ලඟා වීමට උත්සුක විය. උදාහරණයක් ලෙස තායිලන්තය සහ මැලේසියාව අද කෘෂි  ජාන තාක්‍ෂණයෙන්  ඉතා ඉහල තලයක සිටිති. 

මේ තත්වය පැහැදිලිවම අවබෝධකරගත් ආසියාතික නායකයන් දෙදෙනෙකු විය. ඒ අබ්දුල් කලාම් (ඉන්දියාව) සහ අතාර්-උර්-රහමාන් (පකිස්ථානය). මින් පළමු තැනැත්තා ඉන්දියාව තුල පැහැදිලි ආකල්පමය වෙනසක් ඇති කල අතර දෙවැන්නාට දේශපාලන අස්ථාවරත්වය හමුවේ යමක් කරගැනීමට නොහැකිවිය. 

අපට කිසිවෙකු නොවීය............ 



          


Friday 8 February 2019

පට්ටපල් බොරු වාදය


අපේ රට දියුණු වෙන්න නම් මිනිස්සු ඔය මිත්‍යා මතවලින් ඈත්වෙලා විද්‍යානුකූලව හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපේ අය තාම හිතන්නේ දහ අටවැනි ශතවර්ෂයේ ඉඳන් නම් ඒ ගොල්ලන්ට කවදාවත්ම විසිවැනි ශතවර්ෂයේ ජිවත් වෙන්න බැහැ”.
මේ, වසර 40කට පමණ පෙර අපගේ ඥාති වන උපාධිධාරී විද්‍යා ගුරුවරයෙක් පවුලේ කෙනෙකුගේ දානේ ගෙදරක දී දැක් වූ අදහස් ය. එවකට කුඩා දරුවන් වූ අපි නෙත් අයා ඔහුගේ කතාවට සවන් දීගෙන සිටියෙමු. අපට මෙන්ම එතැන සිටි තරුණයන් බොහෝ දෙනෙකුට ඔහු වීරයකු සේ පෙනුන බව නම් ප්‍රත්‍යක්ෂ ය.
මීට කලකට පෙර අපගේ සාම්ප්‍රදායික මත සහ සිතිවිලි රටාවට විද්‍යාව අනුසාරයෙන් බැට දීම සමාජයේ කැපී පෙනිය හැකි කලාවක් විය. මේ “විද්‍යාව”, නවීන විද්‍යාව, නූතන විද්‍යාව හෝ බටහිර විද්‍යාව ආදී විශේෂණ පද යොදා අලංකාරවත් කැරුණි. මෙම “විද්‍යානුකුලව සිතීම” ජනප්‍රිය රැල්ලක්ව වේගයෙන් පැතිරෙන්න විය. පසුව එය සමාජයේ සම්මත කරගෙන ඇති උගත්කම නැමැති හිනිමගේ පහළම ස්ථර (ග්‍රාමීය බස් වහරින් ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටන්) අතරට පත්වන්න වූ විට එහි තිබූ “අභිමානවත් ගතිය” වියැකී ගියේ ය.
අප සරසවියේ අධ්‍යාපනය ලබන 80 දශකයේ අවසාන කාර්තුවේ දී විද්‍යාවට බැටදෙන යුගය තීව්‍රව ඇරඹෙන්නේ ය. ඒ වන විට විද්‍යාව “බටහිර විද්‍යාව” බවට ලේබල් කර තිබුණි. බටහිර විද්‍යාව බොරුවක් හෝ පට්ටපල් බොරුවක් බවට මෙම මතවාදය සඳහන් කරද්දී අපි නැවතත් උද්දාමයට පත් වුනෙමු. සරසවියේ මෙම මතවාදයට නැඹුරු වූ බොහෝ දෙනෙකු එහි ගැඹුර තේරුම් ගැනීමට වඩා එමගින් ලැබුණු නව අභිමානවත් ගතිය ආකර්ශනීය වූ බව පෙනෙන්නට තිබුණි. 
පසුගිය වසර කිහිපය තුළ මෙම පට්ටපල් බොරු වාදය සරසවියෙන් ඔබ්බට පැමිණ, දැන් වතපොත හරහා ගමේ ගොඩේ කුරුට්ටන් අතරට ගමන් කරමින් තිබේ. මේ අනුව තව දුරටත් එම මතවාදය දැරීම සමාජයේ කැපී පෙනීමේ යන්ත්‍රණයක් නොවන තත්වයට පත්වෙමින් පවතී.
යම් ශාස්ත්‍රීය මතවාදයක් බිහිවන විට ඒ පිළිබඳව පුළුල් සාමාජීය පදනමක් තුළ ඵලදායි සංවාදයක් බිහිවනවා වෙනුවට එම මතය දැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පුද්ගල ප්‍රතිරූප නගා සිටුවීමේ කලාවක් බවට පත් වීම අවාසනාවන්ත තත්වයකි. එය ලංකාවේ පමණක් නොව තව බොහෝ රටවල අපි දකින්නෙමු.
කුමන විශේෂණ හෝ උපසර්ග පද යෙදුවත් අප වර්තමානයේ විද්‍යාව යයි හඳුන්වන ක්‍රමවේදයෙහි එක් සුවිශේෂී ගති ලක්ෂණයක් තිබේ. එය සුවිශේෂී වන්නේ දැනට පවතින සියලු ම ආගම් සහ ආගමික දර්ශනවල එම ගති ලක්ෂණය නො තිබෙන බැවිනි. එනම් විද්‍යාවෙහි “වැරැදීමට සහ වෙනස්වීමට” ලබා දී ඇති පුළුල් ඉඩකඩයි. විද්‍යාව තුළින් යම් සංකල්පයක්, දර්ශනයක් හෝ නිපැයුමක් එළි දකින විටම එයට අනිවාර්යයෙන්ම ඇලවෙන ලේබලය නම් “මෙය වැරැදීමට හෝ වෙනස් වීමට ඉඩ ඇත” යන්නයි.
එහෙත් කිසිදු ආගමක මෙම වැරැදීමට හෝ වෙනස් වීමට ඉඩ ලබා දී නැත.

“දෙවියන් වහන්සේ පැවසූ දේ වැරැදි වීමටත් පුළුවන” හෝ 

“බුදුරජාණන් වහන්සේ පැවසූ දේ වැරැදි වීමටත් පුළුවන” හෝ 

“දෙවියන්වහන්සේ/බුදුරජාණන් වහන්සේ පැවසූ දෙය වර්තමානයට සරිලන ආකාරයට නවීකරණය කිරීමට කාලය එළඹ ඇත” ............

...... යැයි අප පැවසුවහොත් එය සිතීමටවත් නොහැකි තරම් ලොකු කැළඹීමක් සමාජය තුළ සිදු කරනු ඇත. මෙයට සාධාරණ හේතුවක් ඇත. 

ආගමික දර්ශනයක මූලය (දෙවියන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, ජෛන මහාවීර ආදී) ඉදිරිපත් කළ කරුණුවලට වැරැදීමට සම්භාවිතාවක් ඇතැයි අනුමාන කළ පමණින්ම එම ආගමෙහි පදනම කඩා වැටෙයි. ආගමක ඇති ඇදහීම යනු මෙම “වැරදීමට හෝ වෙනස්වීමට” කිසිඳු ඉඩක් නැතැයි කෙනෙකු කරනා නිගමනය ලෙස මම  දකිමි. 

මේ අනුව සියලුම ආගමිකයෝ අදහති.

ලියනාඩෝ ඩාවින්චි ඉදිරිපත් කළ පියාඹන මැෂිමේ ආකෘතියේ සිට එයාර්බස් A380-800 ගුවන් යානය දක්වා විද්‍යාව වෙනස් වෙත් දී සියලු ආගම් කාල යාත්‍රයේ එක් එක් මංසන්ධිවල සිර වී සිටින්නේ විද්‍යාවේ සහ ආගමෙහි ඇති මේ වෙනස නිසාවෙනි. අප දකින ආකාරයට බොහෝ ආගම් පදනම් වන්නේ එම ආගම බිහිවන කාලය හා දේශයට අදාළ දැනුම් සම්භාරය මත ය. එබැවින් ආගම සර්ව-නිරවද්‍ය යැයි අදහන විට කාල-අවකාශ ව්‍යාප්තියේ එක් ලක්‍ෂයක අදහන්නා සිරවෙයි.

බොහෝ ආගම් සහ වර්තමානයේ පවතින ගතික ඥාන සම්භාරය අතර අනේකවිධ ගැටුම් ඇතිවන්නේ සෑම ආගමකම පාහේ පවතින මෙම ඇදහීම හේතුවෙනි. තම ආගම නවීන විද්‍යාවට අනුකූළ බව සනාථ කිරීමට විද්වතුන් දැඩි උත්සහයක් ගන්නේ මේ පටලැවිල්ලෙන් මිදීමට ය. එහෙත් අප දකින ආකාරයට කිසිදු ආගමක් අප දැනට භාවිත කරන විද්‍යාවට අනුකූළ නොවේ. මන්ද මේ කිසිදු ආගමක් තම මූලය පැවසු කරුණු වැරැදීමට හැකි බව හෝ වෙනස් කිරීමට සිදුවිය හැකි බව නො පිළිගන්නා බැවිනි. 

බටහිර විද්‍යාව සරළ ය. එය දැනට කරුණු පහක් මත පදනම් වූ ක්‍රමවේදයක් ඉදිරිපත් කරයි. මෙම ක්‍රමවේදය ද අනිත්‍ය වේ. එනම් පසු කාලීනව මෙම ක්‍රමවේදය වෙනස් විය හැක. නැතිනම් නිශේධ විය හැක. පර්යේෂණ ගැටලුවක් තිබීම, පසුබිම් දැනුම හැදෑරීම, නව දැනුම ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් ගොඩනැගීම, ප්‍රතිඵල විශ්ලේෂණය සහ එමගින් නව දැනුම් සම්භාරය ගොඩනැගීම, ගොඩනැගූ දැනුම ලෝකය සමග බෙදා ගැනීම මෙම පියවර පහයි. ඔබ බෞද්ධයෙකු නම් සමහර විට මෙම ක්‍රමවේදයෙහි යම් හුරු බවක් ඔබේ විඥානයට හසුවනු ඇත.

විද්‍යාව එතෙකින් නොනවතී. අමතක නොකරන්න මේ විද්‍යාවට අනුව “දැනුම” නිරවද්‍ය වන්නේ වර්තමානය නමැති කාල පරාසය තුළයි. එය වෙනත් කාල පරාසයක දී නිවැරැදි නො වීමට ඉඩ ඇත. මේ නිසා ලබාගත් දැනුම නැවත නැවතත් පරීක්ෂණයට භාජනය කෙරෙයි. අප විද්‍යාව යොදා ගන්නේ අපට ගැටලුවක් ඇති විට එයට විසඳුමක් සෙවීමට ය. එබැවින් විද්‍යාත්මක ක්‍රමවේදය සඳහා පර්යේෂණ ගැටලුවක් තිබීම අනිවාර්ය වෙයි. එම ගැටලුවට අපි පවතින දැනුම් සහ ඥාන සම්භාරය මත පදනම්ව පිළිතුරු සොයන්නෙමු.

ඉහත පියවර දෙස බලන විට ඔබට යම් වැදගත් කරුණක් ප්‍රත්‍යක්ෂ වනු ඇත. එනම් මෙම ක්‍රමවේදය තුළ දැනුම ලබාගැනීමේ ආකාරය පිළිබඳව හෝ දැනුම භාවිත කිරීම පිළිබඳව සීමා පැනවීමක් නොමැති බවයි. උදාහරණයක් ලෙස ඇල්බර්ට් අයින්ස්ටයින් තම කල්පිත ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා දැනුම ලබාගත් ආකාරය ගැන පැහැදිලි විග්‍රහයක් සිදු කළේ නැත. එසේම එම සිද්ධාන්ත ඔප්පු කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් ඉදිරිපත් කළේ ද නැත. එවකට පැවති ඥාන සම්භාරය තුළ ඔහුගේ අදහස් තාර්කික වූ බැවින් (වාද විවාද බොහොමයකින් පසු) එම කරුණු පිළිගැනීමට සහ ඒ මත පදනම්ව තව තවත් දැනුම ගොඩ නැගීමට විද්‍යාඥයෝ පෙළඹුනහ. 

එහෙත් මෙහිදී ද අප සැලකිය යුතු වැදගත් කරුණ නම් විද්‍යාව විසින් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සිද්ධාන්ත පිළිගන්නේ ම එය වැරැදීමට ඉඩකඩ ඇති බවට ලේබල් කරමිනි. මේ නිසා ඔහුගේ ඉදිරිපත්කිරීම් මෙන්ම ඒ මත ගොඩ නැගුනු දැනුම ද නිරන්තර පරික්ෂාවට ලක් වුණු අතර සමහර සිද්ධාන්ත සාර්ථකව ඔප්පු කිරීමට සියවසක් ඉක්මවීය. සමහර විට ඉදිරියේ දී එම සිද්ධාන්ත බිඳ වැටෙනු ඇත.
ඉහත කරුණු තුළින් දැන් අපි පසුගිය සමයේ ලංකාවේ සාකච්ඡාවට භාජනය වූ කරුණක් පිළිබඳව නෙත් යොමු කරමු. එනම් දෙවියන්ගෙන් හෝ වෙනයම් භෞතික ලෝකයට ගෝචර නොවන මාධ්‍යයක් මගින් දැනුම ලබා ගැනීමයි. අප සිතන ආකාරයට මෙලෙස දැනුම ලබා ගැනීම විද්‍යා විරෝධී හෝ විද්‍යාව මගින් ප්‍රතික්ෂේප කරන ක්‍රමවේදයක් නොවේ. ඔබට ඕනෑම ආකාරයකින් දැනුම ලබා ගත හැක. එහෙත් ඒ දැනුම ප්‍රඥා ගෝචර විය යුතු ය. එසේම ඒ දැනුම වැරැදීමට හෝ වෙනස් කිරීමකට ඉඩ ඇති බව සැලකිය යුතු ය.
උදාහරණයක් ලෙස නාථ දෙවියන්ගෙන් ලබා ගත් දැනුම ආශ්‍රයෙන් රජරට පවතින වකුගඩු රෝගයට හේතුව පසෙහි හෝ ජලයෙහි ඇති ආසනික් බවට විද්‍යාඥයන් පිරිසක් කලකට ඉහත පළකළ අදහස සලකමු. මා මීට පෙරද පෙන්වා දී ඇති පරිදි එවකට ප්‍රකාශයට පත්ව තිබූ පර්යේෂණ පත්‍රිකා ආශ්‍රයෙන් මෙම රෝගයට එක් හේතුවක් ආසනික් විය හැකි බවත්, ආසනික් ආහාර පානවලට ඇතුළු වීමට ඇති එක් මාර්ගයක් කෘමිනාශක බවත් අනුමාන කළ හැකිව තිබුණි. ඒ කෙසේ වෙතත් මෙම විද්‍යාඥයන් පිරිස ඊළඟට කළ යුතුව තිබුණේ ලබාගත් දැනුම ඔස්සේ පර්යේෂණ කර තම මතය තහවුරු කිරීම සහ එතුළින් ඇති වී තිබෙන ගැටලුවට පිළිතුරු සෙවීමයි. එහෙත් මෙහිදී සිදු වුණේ සියලු සාකච්ඡා සහ නියැදි පරීක්ෂණ පවා දැනුම ලබා ගත් මූලය තහවුරු කිරීම අරඹයා සිදු කිරීම මිස රෝගී තත්වයට පිලියමක් සොයා පර්යේෂණ ඉදිරියට ගෙනයෑම නොවේ. සමාජයට වැදගත් වන්නේ තම ගැටලුවට පිළියමක් මිස දැනුම් මූලය විශ්ලේෂණය කිරීමක් නොවන බව අමතක නො කළ යුතු ය.
මෙම මුළු සංසිද්ධියේම තිබූ ප්‍රඥා ගෝචර නොවන කාරණය නම් දෙවියන්ට හැකියාව ඇත්තේ ආසනික් පිළිබඳව ප්‍රකාශ කිරීමට පමණ ද යන්නයි. වර්තමානයේ ලංකාවේ මෙන්ම මුළු ලෝකයේම බොහෝ සමාජීය සහ භෞතික ගැටලු පවතී. ඒවායින් යම් ප්‍රමාණයකටවත් විසඳුම් ලබාදීමට නාථ දෙවියන්ගෙන් (හෝ වෙනයම් දෙවි කෙනෙකුගෙන්) දැනුම ලබාගත හැකි නම් අප කලින් පැවසූ පර්යේෂණ ක්‍රමවේදය පවා නවීකරණය කිරීමට ජාත්‍යන්තර මට්ටමින් අපට යෝජනා කළ හැකි ය. එහෙත් එවැන්නක් සිදුවන බවක් නොපෙනේ.
දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන චීනය, ජපානය, කොරියාව වැනි පෙරදිග රටවල් බටහිර විද්‍යාව උපයෝගී කරගනිමින් තම ජනතාවට හොඳ ජීවන තත්වයක් ලබා දී ඇත. ඒ ඔවුන් “විද්‍යාව” තම භෞතික ගැටලුවලට විසඳුම් දිය හැකි උපාංගයක් ලෙස තෝරාගෙන ඇති නිසා ය. ඉන්දියාව අද එම මාර්ගයේ වේගයෙන් ඉදිරියට ඇදෙමින් සිටියි. චීනයේ සහ ඉන්දියාවේ වසර 5000-6000 පමණ කාලයකට පෙර සිට ඉතා දියුණු දේශීය තාක්‍ෂණයක් තිබූ බවට හොඳින් සංරක්ෂණය වූ පුරා විද්‍යාත්මක සොයාගැනීම් පෙන්වා දෙයි. මෙම රටවල උසස් දැනුම් සහ ඥාන සම්භාරයක් ද තිබුණු බවට පැහැදිලි සාක්ෂි ඇත. එහෙත් බටහිර විද්‍යාවේ හිනි පෙත්තට නැගීම සඳහා ඔවුන් මෙම “ප්‍රෞඩ අතීතය” බාධාවක් කරගෙන නැත.
සම්මත විද්‍යාත්මක ක්‍රමවලට පරිබාහිරව දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇත්නම් කළ යුත්තේ එම දැනුම උපරිමයෙන් ලබා ගෙන ලෝකය ඉදිරියේ තැබීමයි. එය ලෝකයට මහත් යහපතක් වනු ඇත. එවිට ලෝකයේ සම්මතයන් පවා වෙනස් වනු ඇත. මන්ද විද්‍යාවේ කිසිවක් සදා නො වරදින හෝ සදා නො වෙනස්ව පවතින භූතාර්ථ නොවන බැවිනි. මෙය පසෙක තබා දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනුවෙන් සටන් කරමින්, අන්‍යන්ට දෙස් දෙවොල් තබමින් සිටීමෙන් කිසිවෙකුටත් අර්ථවත් යමක් ලැබෙන්නේ නැත.
අපේම කියා, පවතිනවාට වඩා වෙනස් විද්‍යාවක් ගොඩනගා ගත හැකි නම් සහ එමගින් රටේ ජනතාවට (සහ ඉන් මතු සියලු සත්වයන්ට) සෙතක් සැලසිය හැකි නම් එය ඉතා යහපත් ය. එය එසේ වන තෙක් අනුන්ගෙන් ලබා ගත් විද්‍යාවකින් හෝ හරියට වැඩක් ගැනීමට අප කටයුතු නො කරන්නේ නම්......... 
........වැඩ බැරි ජාතියක් බවට ලෝකයා අපව ලේබල් කිරීම වැළක්විය නො හැකි ය.


දැන් මැටනිටි ලීව් ඉවර වෙන්නත් ලඟයි



“දැන් maternity leave (ප්‍රසුත නිවාඩු) ඉවර වෙන්නත් ලඟයි. අනේ මන්දා මොනවා කරන්නද කියලා. බබාව දාල යන්න කෙනෙක් නැහැ. අපේ අම්මා නංගිගේ බබා බලාගන්නවා. මහත්තයාගේ අම්මවවත් ගෙන්න ගන්න බලන්න ඕනේ” 

මේ මීට වසර වසර හයකට පමණ පෙර අප ලංකාවට පැමිණි විට අපගේ හිතවත් කාර්යාල නිලධාරිනියකගෙන් නැඟුණු අඳෝනාවකි.

එදිනම උදෑසන සිංහල පුවත්පතක පළ වූ සිරස්තලයක් මගේ මතකයට පැමිණෙයි. “යකඩ ඇණ රාශියක් ඇඟට ඇතුළු කර දස වධ දුන් ගෘහ සේවිකාවක් ලංකාවට ගෙන්වා ගනියි”.

මේ කරුණු දෙක දෙස විශ්ලේෂණාත්මකව බලන විට ලංකාව පිළිබඳව ඇතිවන්නේ තදබල පසුතැවීමකි. ඉල්ලුම-සැපයුම දෙකම අතැතිව අපගේ ව්‍යාපාරික ප්‍රජාව අන්ධ වූ දෑසින් සිටිති. රජය පාර්ශවයෙන් විය යුතු දේ සිදු වී නැති සෙයකි. මම සියළු කටයුතු පසෙකලා The Island පුවත්පතට ලිපියක් ලීවෙමි. මගේ හිතවතෙකු වූ දසුන් එදිරිසිංහ මහතා එය ඊට දින කිහිපයකට පසු පුවත්පතේ පළකර තිබුණි. 

මේ වන විට කාන්තා පක්ෂය ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ විශාල කොටසකට හිමිකම් කියයි. මෙය බර වැඩ සහිත කම්කරු පන්තියේ සිට ඉහළ ම විධායක ශ්‍රේණි දක්වා විහිදී යයි. අනෙක් අතට රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන විදේශ ගත ශ්‍රම බලකායේ ජීවනාලිය වන්නේ ද කාන්තාවයි. මේ නිසා කාන්තා උන්නතිය සඳහා හැකි සෑම පියවරක්ම ගැනීම රජයේ මෙන්ම සමාජයේ ද වගකීමකි.

රැකියාවට යන මවකට දරුවා බලාගැනීමට කෙනෙක් නැතිවීමත්, නොරට බැලමෙහෙවරට නුපුහුණු ශ්‍රමිකයන් ලෙස කාන්තාව පිටත්වීමත් අද ලංකාවේ පවුල් ඒකකය දෙදරා යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත. මේ තත්වයට විසඳුමක් ඇත්ද?

සැබැවින්ම මෙම තත්වය රටේ බොහෝ පාර්ශවයන්ට සෙත ගෙනෙනා මහා ව්‍යාපාර ජාලයකට දොරටු විවෘත කරයි. ඉහත ගැටලු දෙකට ම ගැලපෙන පියවරක් නම් නවීන තාක්‍ෂණයෙන් පිරිපුන් ළදරු සේවා මධ්‍යස්ථාන (baby care centers) රට පුරා බිහි කිරීම ය. තම කාර්යාලයේ සිට බොත්තමක් එබීමෙන් පරිගණක තිරයක් මත තම ළදරුවා නිදියන හැටි, කන බොන හැටි, සෙල්ලම් කරන හැටි දකින්නට හැකි නම්, දරුවා සමග කිහිප විටක් තිරය මත කතා කළ හැකි නම්, මවකට ඊට ඉහළින් යමක් ඇත්ද?

යුරෝපය, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය ආදී දියුණු ලෝකයේ මෙබඳු ළදරු මධ්‍යස්ථාන බොහෝ ය. මේවා පිහිටුවීමේ දී වැදගත්ම කාරණය වන්නේ ඒවාට තිබිය යුතු අවම ප්‍රමිතීන් නීතිගත කිරීමයි. ළදරු සේවා මධ්‍යස්ථානයක ප්‍රධාන පාර්ශවකරුවන් කිහිපදෙනෙකි. ඒ එහි අයිතිකරු, මධ්‍යස්ථාන පාලිකාව, දරුවන් රැකබලා ගන්නියන් (සේවා මව්වරුන්) සහ අනෙකුත් සේවකයන්ය (පිරිසිඳු කිරීම්, නඩත්තු කිරීම්, ප්‍රවාහන කටයුතු ආදිය සඳහා). 

මේ සියලු දෙනාටම තම කාර්යභාරයන් සඳහා සුදුසුකම් ප්‍රමිතිගත කළ යුතු ය. අදාළ තනතුර සඳහා තිබිය යුතු අවම වයස, පොලිස් වාර්තාව සහ මනෝ වෛද්‍ය වාර්තාව සියලුම දෙනාට අදාළ වෙයි. මීට අමතරව මධ්‍යස්ථාන පාලිකාව සහ සේවා මව්වරුන් සඳහා ළදරු සේවා පුහුණු සහතික, ප්‍රථමාධාර ලබාදීමේ පුහුණු සහතික වැනි දෑ අත්‍යවශ්‍ය අංග ලෙස ප්‍රමිති ගත කළ යුතු ය. අනෙකුත් සේවකයන් සඳහා අඩුම වශයෙන් ග්‍රාමසේවක සහතිකය සහ චරිත සහතිකයක් ඇතුළත් කළ යුතු ය.

එක් සේවා මවක් සඳහා යොමු කළ යුතු උපරිම ළදරුවන් ගණන දරුවාගේ වයස අනුව වෙනස් වේ. බොහෝ යුරෝපිය රටවල ප්‍රමිතිය වන්නේ වයස මාස 12ට අඩු නම් දරුවන් 3 දෙනෙක්, මාස 13-24 අතර නම් දරුවන් 5 දෙනෙක් සහ මාස 24ට වැඩි නම් දරුවන් 6 දෙනෙක් ලෙසටයි. මිට අමතරව තවත් ප්‍රමිතිගත කරුණු රාශියකි. 

සේවා මධ්‍යස්ථානයේ ඉඩකඩ සහ අභ්‍යන්තර නිර්මාණය, පිරිසිඳු කම, ආරක්ෂක කඩුළු, උෂ්ණත්වය, දුරකථන පහසුකම් ආදිය පමණක් නොව එය තුළ ඇති භාණ්ඩ පවා ළදරුවන්ට යෝග්‍ය ලෙස ප්‍රමිතිගත කර ඇත්දැයි සලකා බැලිය යුතු ය. මේ සියලු කරුණු රජයේ නිරතුරු අධීක්ෂණයට යටත් විය යුතු ය.

මෑතක දී දෙමාපියන් අතර ඉතාමත්ම ජනප්‍රිය වූ අංගය නම් ස්කයිප් (Skype) තාක්‍ෂණය ඔස්සේ තම ළදරුවා සේවා මධ්‍යස්ථානයේ සිටින මුළු කාලය පුරාම දැකබලා ගත හැකි වීමයි. මේ සඳහා සේවා මධ්‍යස්ථානයේ ළදරුවා රදවා සිටින සියළුම ස්ථානයන්හි සවි කළ කැමරා ජාලයක් යොදා ගැනේ. දෙමව්පියන්ට ලබා දී ඇති මුර පදයක් ආශ්‍රයෙන් ඕනෑම වෙලාවක තම ස්මාර්ට් ජංගම දුරකථනය හෝ පරිගණකය ඔස්සේ ළදරුවා නැරඹිය හැක. 

මෙමගින් දෙමව්පියන් තුළ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව ඇති බිය සම්පුර්ණයෙන්ම පහවෙයි. දරුවා කතා බහ කරන වයසේ නම් ඔහු හෝ ඇය සමග ඉඩකඩ ලැබෙන පරිදි වචන හුවමාරුවකට ද ඉඩකඩ සැලසිය හැක. මේ වන විට ස්කයිප් තාක්‍ෂණයට අමතරව තව නොයෙකුත් මෙවලම් ආශ්‍රයෙන් ඉතා පහසුවෙන් සහ නොමිළේ (අන්තර්ජාල පහසුකම් ඇතිනම්) මෙම සේවය ලබාගත හැක.

ලංකාවේ මෙම ළදරු සේවා මධ්‍යස්ථානවල අවශ්‍යතාවය ඇති මව්වරුන් ගණන අති විශාල බව අපට ස්ථිරවම කිව හැක. මෙම සේවා ලබාදීම සඳහා රජය නිර්දේශ කරන පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීමට පිළිගත් ආයතන බිහි කළ යුතු ය. මෙය තවත් ව්‍යාපාරයකට මුල් ගල තබයි. මෙහි දී රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ආයතන බිහි කළ යුතු අතර ඒවා නිරතුරුව ම නියාමනය විය යුතු ය. රජයේ සහ පෞද්ගලික යන අංශ දෙක සඳහාම පාඨමාලා ගාස්තුවක් අය කළ යුතු අතර අයදුම්කරුගේ ආර්ථික මට්ටම අනුව රජය විසින් යම් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ප්‍රදානය කළ යුතු ය. නොඑසේ නම් මෙය තවත් බරක් ජනතාව මත පැටවීමක් වනු ඇත.

නුපුහුණු ශ්‍රමිකයන්ට මැද පෙරදිග දී ලැබෙනවාට වඩා හොඳ වේතනයක් මෙරටේදීම පුහුණු මධ්‍යස්ථාන පාලිකාවන් සහ සේවා මව්වරුන්ට ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි. එසේම මෙසේ පුහුණුව ලබන යම් පිරිසකට ඉහළ සේවා මට්ටමක් සහ වැඩි වැටුපක් සඳහා විදේශ ගතවීමට ද හැකි ය. එවිට ඔවුන් ගුවන් තොටුපොළින් නික්ම යනු ඇත්තේ තැතිගත් “හවුස් මේඩ්ලා” ලෙස නොව, අභිමානවත් පුහුණු සේවා මව්වරුන් ලෙස ය.

මගේ ලිපිය පලවී සති කිහිපයකට පසු මට ඊමේලයක් ලැබුණි. ඒ පිලිපීන කාන්තා කාර්යාංශයේ සභාපතිනියගෙනි. ඇය මගෙන් ඉල්ලා සිටියේ ලිපියේ මුල් පිටපත WORD document එකක් ලෙස ලබා දිය හැකිද කියාය. මම නොපැකිලව එය වහාම ඇයට යැව්වෙමි. 

පිලිපීනය මීට වසර කිහිපයකට පෙර මේ කාර්ය ඇරඹීය. අද එරට ජනාධිපතිවරයා පිලිපීනයෙන් කාන්තා ශ්‍රමිකයන් ලබාගැනීමේදී වෙනත් රටවල හාම්පුතුන් අනුගමනය කලයුතු පිළිවෙත් පිළිබඳව දැඩි ස්ථාවරයක හිඳී. එහෙත් එම ශ්‍රමිකයන්ට මැදපෙරදිග, සිංගප්පුරුව මෙන්ම යුරෝපයේද විශාල ඉල්ලුමක් ඇත. 

පිලිපීනය ගිය මාවතේ යාමට ලංකාව තවමත් පමා වී නැතැයි අපි සිතමු.


Tuesday 5 February 2019

සහජීවනය සහ යහජීවනය



ඒ ස්වීඩනයට වැඩියෙන්ම හිම වැටෙන ශීතල පෙබරවාරියේ මුල් සතියයි. හරියටම මීට දශක දෙකකට පෙර උප්සලා නගරයේ පිහිටි අප නිවසේ සිට මම ජනේලයෙන් පිටත බලාගෙන උනිමි. අඩි ගණනක් උසට හිම වැටුණු තණ පිට්ටනියේ ඉතා තද පාට ශීත ඇඳුම් පැළඳි දෙමව්පියෝ දරුවන් සමග සන්ධ්‍යාවේ ඇවිදින්න යති. ගිම්හානයේ පිට්ටනිය පුරා දුව පැන ඇවිදිමින් ගමන් කරන පොඩිත්තෝ අද කීකරු මුව පොව්වන් සේ දෙමව්පියන් පිටුපසින් සීරුවට ඇවිද යති. ටික වෙලාවක් බලා සිටින විට මෙම පොඩිත්තන්ගේ ගමන පිළිබඳව මට අවබෝධ කරගත හැකි විය. 

දෙමව්පියන් තම විශාල පාදවලින් ඉදිරියේ ඇති හිම පතනය තලාගෙන ගමන් කරයි. තමන්ගේ කුඩා කකුල් වලින් අඩියක් දෙකක් උස් වූ හිම තට්ටුව තලාගෙන යනවාට වඩා දෙමව්පියන්ගේ පා සටහන් මත ඇවිද යාම ඔවුනට ඉතා පහසුය. කිසිවිටෙකත් දෙමව්පියන් දරුවන් පිටුපසින් ගමන් නොකරයි. 

සංචාරක විද්‍යාඥයන් පිරිසක් ඉන්දුනීසියාවේදී කල නිරීක්ෂණයක් කලකට ඉහත මාධ්‍යයේ පලවිය. ඔවුහු පොකුණක් අසල දිය කෙලින වඳුරු රැලක් නිරීක්ෂණය කරමින් වුන්හ. එහි ඉතා කුඩා පැටවුන්ගේ සිට මහා වදුරන් දක්වා විශාල පිරිසක් සිටියෝය. හදිසියේම ඉතා ආසන්නයේ වෙඩි හඬක් ඇසුණු අතර තත්පර කිහිපයකදී වදුරෝ සියළුම පැටවුන් රැගෙන අසල තිබූ විශාල ගසකට ගොඩ වුහ. 

ඉන් පසු ගස නිරීක්ෂණය කරන විද්‍යඥයන් දුටුවේ අමන්දානන්දනීය දසුනකි. ගසට නැගගත් වදුරෝ එකිනෙකා අතර පැටවුන් හුවමාරු කරගනිමින් සිටියහ. අනතුරක සේයාවක් දුටු සැනින් ඔවුන් ලඟම සිටින පැටියා රැගෙන ආරක්‍ෂිත ස්ථානය කරා දිවගොස් ඇත. තමාගේ පැටියා සොයමින් සිටියා නම් වඳුරු රැලට පැයකටවත් මේ ගමන සිදු කල නොහැක. 

අධිවොල්ටියතා විද්‍යුත් විද්‍යාවේදී අපි නිතරම ප්‍රශස්තිකරණ තාක්ෂණය (optimization techniques) යොදාගනිමු. මෙහිදී Particle swarm optimization (PSO) අපි බොහෝ විට භාවිතයට ගැනෙන්න ක්‍රමවේදයකි. මෙය කුරුල්ලන්ගේ සමුහ පියෑම්බිම නිරීක්ෂණයෙන් ගොඩනගා ගත් සංකල්පයක් බව කියැවේ. මේ නිසා මම දිනක් මේ කුරුළු පියෑඹිම පිළිබඳව තතු කියවුයෙමි.

සමහර කාල වලදී අහසේ පියඹා යන සංක්‍රමණික කුරුල්ලන් සමුහ ඔබ දැක ඇතුවාට සැක නැත. ඔවුන් බොහෝ විට පියඹන්නේ V අකුරේ හැඩයටය. මීට හේතුව කුමක් විය හැකිද?

කුරුල්ලෙක් පියඹන්නට අත්තටු සලන විට හරියටම උගේ පිටුපසින් වා තලයක් පහලට තල්ලු වන අතර ගමන් මාර්ගයේ සිට අංශක 45ත් 60ත් අතර කෝණයක අඳින සරළ රේඛාවක් තුලින් වා කඳක් ඉහලට එසවෙයි. එබැවින් එම කුරුල්ලාට පිටුපසින් මෙම රේඛාව මත මදක් ඉහලින් පියාඹන තවත් කුරුල්ලෙකුට නිතැනින්ම ඉහලට එසවීමක් සිදුවෙයි. මේ නිසා එම දෙවෙනි කුරුල්ලා අත්තටු ගැසිය යුත්තේ අඩුවෙනි. මෙහිදී ඉදිරියෙන් යන කුරුල්ලාට අමතර පීඩනයක් (back pressure) නොදෙන පරිදි ඉහලට තෙරපුම උපරිම වන දුරක් ඇති අතර එය පිටුපස සිටින කුරුල්ලා සංවේදනය කරගනී. මීට අමතරව පිටුපස සිටින කුරුල්ලන්ට රෑන යන දිශාව සහ රෑනේ සාමුහිකත්වය රැකගැනීමටද මෙම පිහිටුම උපකාරී වෙයි. 

මෙබඳු කුරුළු රෑනක නායකයෙකු නැති අතර ඉදිරියෙන් යන කුරුල්ලා වෙහෙසට පත්වන විට ඔහු පසුපසට යන අතර තවත් වැඩිහිටි කුරුල්ලෙක් ස්වේච්චාවෙන් ඉදිරිය ගනී. කුඩා සහ දුර්වල කුරුල්ලන් හැමවිටම පිහිටීමේ පසු පසින් පියාඹයි.  

මේ කතා තුනම මට ලියන්න සිත් වුනේ ලාංකිකයා පටලවා ගත් තවත් තැනක් පිළිබඳව නිතර දකින හෙයිනි. 

ලංකාවට අද අත්ව ඇති ඉරණමට ප්‍රධාන හේතුවක් වන්නේ ලාංකිකයා බොහෝ දේ ස්ව-කැමැත්තෙන්ම ව්‍යාකූල කරගැනීමයි. මේ සඳහා දේශපාලකයගේද නොමද සහය ලැබේ. 

බොහෝ ලාංකිකයන්ට ආගම ධර්මය අවශ්‍ය වන්නේ එය පිළිපැදීමට නොව ඒ හා බැඳුනු අනන්‍යතාවය රැකගැනීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් රට ඛේදවාචකයක් කරා ඇදගෙන යයි. 

ලංකාව ස්වභාවික සෞන්දර්ය අතින් බොහෝ රටවලට නොදෙවෙනිය. එහෙත් අප කරන්නේ එය ලෝකෙන් ලස්සනම, හොඳම, උතුම්ම රට යයි විශේෂණ පද යොදමින් උඩඟු වී සිටීම පමණකි. ඩුබායි දේශයේ වැලි කාන්තර නැරඹීමට අද දහස් ගණනින් ධනවතුන් ඇදෙද්දී අපේ රටේ සංචාරක ව්‍යාපාරය පණ අදී. 

සහජීවනයද ඒ හා සමානවම පොට පටලවා ගත් තවත් සංඛල්පයකි. සත්ව ලෝකය මෙන්ම කුඩා දරුවාද ස්වභාවයෙන්ම අවබෝධ කරගන්නා මේ යහ-සංකල්පය ලාංකිකයාට අපභ්‍රංශයක් වී ඇත. 



සහජීවනය යනු විවිධ හැඩතල සහිත පුද්ගලයන්ගෙන් සැදුම් ලත් සමාජ කුලකයක් එකිනෙකාගේ හැකියාවන් තම තමන්ගේ උන්නතිය උදෙසා සමුහයක් වශයෙන් ක්‍රමවත්ව සහ උපක්‍රමිකව යොදා ගැනීමයි. 

මෙය රටක මුළු මහත් ජනතාවම ඉහලට එසවෙන ක්‍රමවේදයකි. 

යථාර්තය ලාංකිකයා අප්‍රිය කරයි. ඒ වෙනුවට ඔවුන් කැමති පුහු ආටෝප වලින් අලංකාර කල මුරුංගා අතුවලටය. ඒ නිසා මේ කියන්න යන්නේ බොහෝ දෙනෙකුට පත්‍ය නොවන කතාවකි.

මම ලංකාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ වැඩමුළු කිහිපයක් පැවැත්වීමට උර දී ඇත්තෙමු. මේ හැම අවස්ථාවකම පාහේ අපි විදේශීය අමුත්තන්ට රාත්‍රී සාදයක් පවත්වමු. මෙහි ප්‍රධාන තැනක් ගන්නේ එහිදී පැවැත්වෙන සංස්කෘතික අංගයයි. මේ සඳහා අපි ත්‍රිවිධ හමුදාවල, පොලිසියේ හෝ වෙනත් නැටුම් ආයතනයක කණ්ඩායමක් ගෙන්වමු. 

විදේශීකයන් උදෙසා පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයක් යැයි කියූ පමණින් ඔවුන් කරන්නේ එකම කාර්යයකි. එනම් බෙරගැසිම සහ පිරිමි නැට්ටුවන් පිරිසක් උඩ පනිමින් නැටීමයි. බොහෝ දෙනෙකු ඉතා උනන්දුවෙන් මෙම අංග නැරඹීම ඇරඹුවත් ටික වෙලාවකින් එකිනෙකා සමග පිළිසඳරේ යෙදීමට හෝ ජංගම දුරකතනයේ  මුණ හොවා ගැනීමට පටන් ගනී. එම රංගනයන් මනරම්ය, එහෙත් ඒකාකාරිය. 

විදේශීය අමුත්තන් බොහෝ දෙනෙකුගෙන් එම රංගනයන් පිළිබඳව ඇසු විට ඔවුන් බොහොම හොඳයි කියා පවසයි. එහෙත් ඔවුන්ගේ හැසිරීම් රටාව මෙන්ම ශරීර භාෂාවද (body language) කියන්නේ එය මහා කන්දොස්කිරියාවක් බවයි. 

වරක් ඇමරිකන් ජාතික විද්‍යාඥයෙක් මගෙන් කෙලින්ම ඇසුවේ "බෙරගනවා, උඩ පනිනවා සහ හිනා නොයන විහිළු වැනි යමක් කරනවා ඇරෙන්න ඔබලාට වෙන සංස්කෘතික අංග නැද්ද" කියාය. ඔහු හිනා නොයන විහිළුවක් ලෙස හැඳින්වුයේ සළුපාලියයි.

ඇත්තෙන්ම අපි ලංකාවට පැමිණෙන අයට සංස්කෘතික සංදර්ශණයක් යනුවෙන් පෙන්වන්න හදන්නේ ලංකාවේ එක්තරා කාලයක තිබූ සිංහල රාමුවට කොටුවූ අංග කිහිපයකි. මෙහි ඇත්තේ බෙර වාදන පමණි. මෙම සංස්කෘතියේ තත් භාණ්ඩ (string instruments), වා භාණ්ඩ (wind instruments), කාන්තා ගයනා සහ රංගන නැත. 

මීට දශක තුන හතරකට පෙර කවුරුත් බලන්න පුන පුනා සිටි උඩරට නැට්ටුවාගේ පිනුම් සෙට් එක අද පේමන්ට් එකට පැමිණ ඇත. ඇමරිකාවේ පදික වේදිකා රඟන්නන් මීට වඩා ඉතා ඉහල පෙලේ කරණම් ගසයි. එහෙත් උඩරට නැට්ටුවා තවමත් එතැනමය.

අපි හැමවිටම සිතන්නේ අපේ දේ ඉතා ඉහල බවත් සියළු විදේශිකයන් එය අනිවාර්යයෙන්ම රස විඳිය යුතු බවත්ය. එහෙත් යතාර්ථය මින් බොහෝ ඈතය. අවශ්‍යවන්නේ සංස්කෘතික අංග නාමයෙන් අපේ ඒවා කියා අපම ලේබල් ගසා ගත් ඒවා බලෙන්ම පෙන්වීම නොවේ. ඒ වෙනුවට, ලංකාවේ නොයෙකුත් උප-සංස්කෘතියන්ගෙන් උකහා ගත් විවිධාංග ඇතුළත් නරඹන්නා පිනවිය හැකි දර්ශනයක් ඉදිරිපත් කිරීමයි.  

ඔබ මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර ඇති සලෝමා බිස්ට්‍රෝ (දැන් වාව් කේඑල් ) භෝජනාගාරයට රාත්‍රී ආහාරය සඳහා ගොඩ වදින්න, එහි සැමදා රාත්‍රී 8 සිට 10 තෙක් සංස්කෘතික සංදර්ශණයක් පැවැත්වේ. මෙහිදී ඔවුන් තම සංස්කෘතික අංග ලෙස මැලේ නැටුම්, චීන නැටුම්, ඉන්දියානු නැටුම්, අරාබි නැටුම්, බෝර්නියෝ නැටුම්, පෘතුගීසි නැටුම් ආදී තම රටට යන්තම් හෝ ගෑවී ගිය සියළුම ජන කොටස් වලට අදාළ අංග ඉදිරිපත් කරයි. බොහෝ දිනවල රුපියල් 4500 ට ආසන්න මුදලක් ගෙවා රාත්‍රී ආහාරය සඳහා සියගණනින් මෙම අවන්හලට රොක්වේ. මේ අතර විදේශිකයන් පමණක් නොව මැලේ  ජාතිකයන් පවා විශාල වශයෙන් සිටියි. 

හඳුනාගන්න මෙයයි සහජීවනය තුලින් යහජීවනයට යන පාර.


ලාංකික දෙමළ පිරිස් විශාල වශයෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ ව්‍යාපාර පවත්වාගෙන යයි. මේ අතර තොරතුරු තාක්‍ෂණය (IT) පැත්තෙන් මහා පරිමාන ව්‍යාපාර අධිරාජ්‍යයන් හිමි පුද්ගලයන් ඇත. ලංකාවේ සියළු ජාතිකයන් අතර තොරතුරු තාක්‍ෂණය පරතෙරට හැදෑරුවන් ඇත. මේ දෙපිරිස අතර පාලමක් තැනිය හැකි නම් එයයි සහජීවනය.

මේ වන විට ලංකාවේ ඇඳුම් පැළඳුම් වෙළඳාම් අංශයෙන් මුස්ලිම් ජාතිකයන් ඉදිරියෙන් සිටියි. ඔවුන්ගේ ව්‍යාපාර කඩාකප්පල් කිරීම සඳහා නොයෙකුත් විකට ස්වරූපී මුසාවාද ප්‍රචාරය කිරීම නවතා එම ව්‍යාපාර වලට ඔබටත් දායක විය හැකි තැන් සොයන්න. රටක කුමන ජාතියක්, ආගමක්, සමාජ මට්ටමක් හරහා හෝ ව්‍යාපාරයක් බිහිවේ නම් එය රටට ආශිර්වාදයකි. එය කඩා බිඳ දැමීමට නොසිතා එයින් තමන්ටත් යමක් ලබා ගත හැකි ආකාරයක් ගැන හිතන්න. 

උතුරේ නිෂ්පාදන පමණක් නොව මත්ස්‍ය අස්වැන්නද දකුණේ වෙළඳපොළට එන්නේ මද වශයෙනි. මෙයින් උතුරේ දෙමළා මෙන්ම දකුණේ සිංහලයා මරක්කලයාද යහපතක් අත් කරගන්නේ නැත. මේ පරතරය නැති කල හැකි නම් එයයි සහජීවනය.

සිංගප්පුරුවේ හෝ මැලේසියාවේ කෙනෙකු සමග ඔබ කුමක් කතා කරන්න ගියත් ඔබට නිතරම ඇසෙන්නේ win-win situation යන්නයි. එය සිංහලට පෙරලද්දී මම ජය-ජය මග ලෙස සඳහන් කරමි. යමක් කිරීමේදී අදාළ පාර්ශව දෙකටම ජය ලැබෙනසේ (වාසි සැලසෙන සේ) යමක් කිරීම ජය-ජය මගයි. ඔබ යෝජනා කරන්නේ ජය-ජය මගක යාමට නම් කිසිවෙකු ඔබ හා යාමට පැකිළෙන්නේ නැත. එවිට ජාති, කුලමල, ආගම්, කරලියට පැමිණෙන්නේ නැත. 

දැනටත් ඉතා හොඳ සහ ජීවනයකින් ජය-ජය මගේ ජයටම යන පිරිසක් ලංකාවේ සිටියි. ඒ දේශපාලකයන් සහ ජාවාරම් කරුවන්ය. ලංකාවේ අද සිටින බොහෝ දේශපාලකයන් ආගම ජාතිය කුලය වැනි බොහෝ බෙදුම් සාධක වලින් ස්වායත්තව නෑදෑ කම් වලින් බැඳී ඇත. 

මේ මහා සිංහලයාගේ නංගි අර හැඩි දෙමළා සමග විවාහවී ඇත. අර දෙමලාගේ දූවරු මේ සිංහල බෞද්ධ දේශපාලන රත්නයන්ගේ පුතුන් හා විවාහවී ඇත. අරයාගේ බිරිඳ කතෝලික, මෙයාගේ මල්ලි බැඳලා ඉන්නේ අර මුස්ලිම් ඇමතිතුමාගේ දුවව. එතැන ඇත්තේ අපූරු සහජිවනයකි. ඒ සහජීවනය තුලින් ඔවුන් යහජීවනය උදා කරගෙන ඇත. නමුත්  අවාසනාවට ඒ යහජීවනය සාමාන්‍ය ජනතාවට ලැබෙනවාට එරෙහිව වැට කොටු පවුරු බඳින්නේද මේ දේශපාලුවාමය.

කුඩු මුදලාලිලා, මිනිස් ජාවාරම් කරුවන්, පාතාලයන් අතරද මෙම සහජීවනය උපරිමයෙන් ඇත. නමුත් එයින් ජනතාවට ලැබෙන්නේ අයහපත පමණි. 

ලංකාවේ මේ සහජීවනය වෙනුවෙන්ම නඩත්තු කෙරුණ ඇමතිවරයෙකු තම ධුර කාලයටම කලේ විවිධ ජාතීන්ට අයත් කොල්ලෝ කුරුට්ටන් පිරිසක් සමග ගෝල්ෆේස් පිටියේ සරුංගල් ඇරිමයි. එය ඔහුගේ සහජීවනය අර්ථ දැක්වීමයි. සමහරුන්ට අනුව අන්‍යාගමිකයන් බෞද්ධ පිළිම කැඩීම හෝ සිංහලයන් අන්‍යාගමිකයන්ගේ ගෙවල් ගිනිතැබීම වැනි කාරණා පිළිබඳව මුවින් නොබැන ඉවසා වදාරා සිටීම සහජීවනයයි. මෙය නීතිය හා සහජීවනය සම්පුර්ණයෙන්ම පටලවා ගැනීමකි. නීතිය, නීතිය ලෙස ක්‍රියාකරවීමට දේශපාලකයා මැලිවීම සහජීවනයට ඇති විශාලම බාධාවයි. 

සහජීවනය වෙනුවෙන් මුලින්ම කල හැකි සරලම ක්‍රියාව නම් කිසිම ආකාරයකින් (කතාවෙන්, ලිවීමෙන්, ඇඳීමෙන්, ඉදිරිපත් කිරීමෙන්) අනෙකෙකුගේ ජාතිය, ආගම හෝ කුලය මත පදනම් වූ අනන්‍යතාවයට රිදවීම නැවැත්වීමයි. බදුරුදීන් කරන වන විනාශයට එරෙහිවිය යුත්තේ එය කරන්නේ බදුරුදීන් නිසා නොව වන විනාශය ඛේදවාචයක් වන බැවිනි. බදුරුදීන් ගේ විල්පත්තු වන විනාශය දකින බොහෝ දෙනෙක් සිංහරාජයට, යාලට, රූමස්සලට, මුතුරාජ වෙලට සිංහල දේශපාලකයන් කර ඇති විනාශය නොදකී. මෙයත් මහා ඛේදවාචකයකි.