වී වගාව කාර්යක්‍ෂම කරනවාද නැත්නම් සහල් ආනයනිතයකු වනවාද?
මේ මාතෘකාව කතාකිරීමත් මුවහත් පිහි තුඩක් මත ඇවිද යාමක් වැනිය. මේ ගැන හරවත් සංවාදයක් කිරීමට නම් ඔබගේ හිස මත ඇති 2500 ක මෙව්වා එක මදකට හෝ පසෙකින් තැබිය යුතුය.
රටක් දියුණු වීමට නම් හැගුම්බර හා චිත්තවේගී අදහස් පසෙක තබා තාර්කික චින්තනයකට එළඹිය යුතුය. මේ එවන් මාතෘකාවකි.
ලංකාව සහලින් ස්වයංපෝෂිත කර වී ගොවියා ඇති හැකි අයෙකු කිරීමට නම් ගත යුතු පියවර ගණනාවක් ඇත.
ඉන් පළමුවැන්න අඩු ජල සැපයුමකින්, කුඹුරු අක්කරයකින් ගත හැකි උපරිම ඵළදාව සහ ආදායම ලැබිය හැකි කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමයි. ඉන්පසු AI සහ predictive planning පිළිබඳව නිපුණයන්, කෘෂිකාර්මික ආයතන, වාරිමාර්ග සහ ජල ප්‍රවාහන මණ්ඩලය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, උද්භිදවිද්‍යා විශේෂඥයන් සහ අදාළ අමාත්‍යංශ ඇතුළත් task force එකක් මගින් රටේ වී වගාවේ හැඩතල හැසිරවිය යුතුය. තෙවනුව වී වගාවට අදාළ පොහොර, පලිබෝධ නාශක සහ වෙනත් කෘෂි රසායන සම්බන්ධයෙන් ඇති මාෆියාව බිඳ දමා එම අංශ රජයේ දැඩි නියාමනය යටතේ ඉදිරියට යා යුතුය. අවම කෘෂි රසායන ප්‍රමාණයකින් වැඩිම අස්වැන්නක් ගත හැකි ආකාරයට තම වගාව මෙහෙයවීමට ගොවියා දිරිමත් කල යුතුය. ඊළඟ වැදගත්ම කාරණය වී මිලට ගැනීම, වී මෝල් හිමියන්ගේ ක්‍රියාකාරිත්වය, වී ගබඩා කිරීම සහ බෙදා හරිම, සහල් ගබඩා කිරීම සහ බෙදා හැරීම රජයේ මැදිහත්වීම මත ක්‍රමවත් කිරීමයි. ඊට අමතරව රජය සහ වෙනත් ස්වෙච්චා ආයතන විසින් ආනයනිත ආහාර (තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන) වලින් ඈත්වී සහල් ආශ්‍රිත ආහාර වලට මුල් තැන දීමට ජනතාව දිරිමත් කල යුතුය.
මේ ක්‍රියාවලියට අවතීර්ණ නොවුනහොත් හෝ එය අසාර්ථක වුවහොත් වී වගාවෙන් සිදුවන හානි බොහෝය. ඉතා විශාල ජල ප්‍රමාණයක් වී වගාවට ලබා දීම නිසා ඇතිවිය හැකි ජල හිඟය, අධික ලෙස කෘෂි රසායන මතුපිට ජලයට, පසට සහ පරිසරයට එකතු වීම නිසා දැනටත් සිදුව ඇති මහා පරිසර විනාශය තව තවත් වැඩිවී ලංකාව ජීවත්වීමට නුසුදුසු රටක් බවට පත්වීම, වී ගොවියා මී උණ, වකුගඩු ආබාධ (CKD), පිළිකාව ආදී ලෙඩරෝග රාශියකට ගොදුරුවීම සහ ගොවි සමාජය අතර සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය ඉහළයාම, ගොවියා දුප්පත් පුරවැසියෙකු වීම, තරුණ පෙළ ගොවිතැනින් ඈත්වීම ආදී ඍණාත්මක වර්ධකයන් බොහොමයක් මේ අතර ඇත.
රජය සහ අදාළ පාර්ශව වී වගාවේ උන්නතියට අවශ්‍ය පියවර ගතහොත් ඉහත සඳහන් ඍණාත්මක කරුණු ඉවත්වන අතර රට ආර්ථික, සමාජීය සහ ආරක්ෂණ (defence) ඉදිරිපෙළ මායිම් (frontiers) වලින්ද ශක්තිමත්වේ.
මේ සඳහා ඇති අනෙක් තේරීම නම් වී වගාව සම්පුර්ණයෙන්ම පාහේ නවතා (අවශ්‍යනම් ඉතා ඉහල මිලක් සහිත සහල් ලබා ගැනීම පිළිබඳව පමණක් අවධානය යොමු කර) සහල් ආනයනිත රටක් බවට පත්වීමයි.
මේ වන විට චීනය, වියට්නාමය, කාම්බෝජය ආදී රටවල අපනයනිත සහල් මිල ලංකාවේ සහල් නිෂ්පාදන මිළෙන් 50% පමණ වේ. කොළඹ වරායෙන් ඉවතට එන විටද සහල් මිල ලංකාවේ නිෂ්පාදිත මිලෙන් 60%-70% පමණ වේ. සහල් ආනයනය කිරීමෙන් මේ අනුව 30%-40% පමණ ඍජු ලාබයක් ලැබිය හැකි අතර ඉහත සඳහන් කල බොහෝ ඍණාත්මක කරුණු නිෂ්ප්‍රභ වේ. ඊට අමතරව මෙතෙක් තිබූ කුඹුරු වඩාත් ඵලදායක සහ ලාබදායක වගාවන් හෝ වෙනත් කාර්යයන් සඳහා යොදාගත හැක. මෙමගින් රටේ ආදායම සැලකිය යුතු ආකාරයකින් වැඩි කරගත හැක. මෙහිදී වී අපනයනිත රටක් හෝ රටවල් කිහිපයක් සමග දීර්ඝ කාලීන ගිවිසුම් අත්සන් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
මේ නිසා සිදුවන අවාසි කිහිපයක්ද වේ. වී වගාව ආර්ථික ක්‍රියාදාමයක් සේම ලාංකික සංස්කෘතිය හා බැඳුනු සංසිද්ධියකි. මේ නිසා මේ දෙවැනි මනාපය තෝරා ගැනීමට ජන විරෝධයක් ඇතිවීම ස්වභාවිකය. මෙවැනි අවස්ථාවක වී වගාව ආශ්‍රිතව මේ වන විට විශාල වශයෙන් ලාබ ලබන පාර්ශව (කෘෂි රසායනික අළෙවියෙහි යෙදෙන බහුජාතික සමාගම්, වී මෝල් හිමියන්, වී ගබඩා හිමියන්, සහ වෙනත් අතරමැදි පාර්ශව) සංඝ සමාජය හරහා උග්‍ර ජන විරෝධයක් ගොඩනැගීමට විශාල සම්භාවිතාවයක් ඇත. එසේම රටේ ආහාර ස්ථායිතාවය (ඒ ඇසුරින් ආරක්ෂක ස්ථායිතාවය) යම් තරමකට වෙනත් රටක හැසිරවීමට යටත්වේ. එසේම නිදහස් වන කුඹුරු ඉඩම් මෙන්ම වී වගාව සහ සහල් කර්මාන්තය ආශ්‍රිතව වූ සම්පත් නිසි කළමනාකරණයකින් යුතුව නව මානයකට යොමු කරගැනීමට නොහැකි වුවහොත් රට දරුණු ආර්ථික අවපාතයකට ගොදුරුවීමේ හැකියාවක් ඇත.
මේ කාරණා කිරා මැන දෙපැත්තම සසඳා බලා emotional නොවී තාර්කික බුද්ධියෙන් තීරණයක් ගැනීම රජය සතුය.